Skip to content

පටුනට යන්න

ජීවනයට යන මාර්ගයේ දෙවි තම සෙනඟව ගෙන යයි

ජීවනයට යන මාර්ගයේ දෙවි තම සෙනඟව ගෙන යයි

“යා යුතු හරි මඟ මම ඔබට පෙන්වන්නෙමි. ඒ මාර්ගයේ ගමන් කරන්න.”—යෙසා. 30:21.

ගීතිකා: 65, 48

1, 2. (අ) හුඟදෙනෙක්ට ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ මොන අනතුරු ඇඟවීමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) දෙවිගේ සෙනඟට ලැබෙන මඟ පෙන්වීම් මොන වගේද?

ගමනක් යද්දී ඉදිරියෙන් දුම්රිය හරස් මාර්ගයක් තියෙනවා නම් ඊට කලින් යම් අනතුරු ඇඟවීමේ පුවරු සවි කරලා තියෙනවා ඔයා දකියි. දුම්රියක් එනවා නම් අනතුරු ඇඟවීමේ හඬක් ඇහෙයි. දැල්වුණු රතු ලයිට් එකකුත් දකින්න පුළුවන් වෙයි. රේල් ගේට්ටුවත් වහලා තියෙයි. ඒ වගේ දේවල් තියෙන්නේ අනතුරකින් අපිව වළක්වන්න. ඒවාට හොඳ අවධානයක් දීලා වාහනය නතර කරගන්නවා නම් ජීවිතේ ආරක්ෂා කරගන්න පුළුවන්.

2 යෙහෝවා දෙවිත් අපිට අනතුරු ඇඟවීම් දෙනවා. ඒත් ඊටත් වඩා දෙයක් ඔහු අපි වෙනුවෙන් කරනවා. ආදරණීය එඬේරෙක් බැටළුවන්ට මඟ පෙන්නනවා වගේ ඔහු අපි ළඟින්ම ඉඳන් සදාකාල ජීවනයට යන මාර්ගයේ අපිව ගෙනියනවා. ඉදිරියේ තියෙන අනතුරු ගැන දැනුම් දෙනවා.—යෙසායා 30:20, 21 කියවන්න.

අතීතයේදී දෙවි තම සෙනඟට මඟ පෙන්නුවා

3. මිනිසුන් මරණයේ මාවතට ඇද වැටුණේ කොහොමද?

3 මිනිස් ඉතිහාසයේ මුල ඉඳන්ම යෙහෝවා දෙවි මිනිසුන්ට නිශ්චිත මඟ පෙන්වීම් දුන්නා. උදාහරණෙකට සදාකාලයටම සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම් ඔහු ඒදන් උයනේදී මුල් මිනිස් යුවළට දුන්නා. (උත්. 2:15-17) ඒත් තමන්ගේ ආදරණීය පියා දුන්න ඒ මඟ පෙන්වීම් ආදම් සහ ඒව තුට්ටුවකටවත් මායිම් කළේ නැහැ. ඒ වෙනුවට ඒව කළේ සර්පයෙක් කියපු දේ. ආදම් කළේ බිරිඳ කියපු දේ. ප්‍රතිඵලයක් විදිහට දෙන්නටම දුක් විඳින්න වුණා. එයාලා මිය ගියෙත් කිසිම බලාපොරොත්තුවක් නැතුවයි. ඒ විතරක් නෙමෙයි තමන්ගෙන් පැවතෙන හැමෝවම මරණයේ මාවතට ඇදලා දැම්මා.

4. (අ) ජලගැල්මෙන් පස්සේ අලුත් මඟ පෙන්වීම් අවශ්‍ය වුණේ ඇයි? (ආ) ඒ මඟ පෙන්වීම්වලින් දෙවි හිතන විදිහ පැහැදිලි වුණේ කොහොමද?

4 යෙහෝවා දෙවි නෝවාට දුන්න මඟ පෙන්වීම් නිසා ජීවිත ගැලවුණා. ජලගැල්මට පස්සේ දෙවි නෝවාට අලුත් මඟ පෙන්වීමක් දුන්නා. ඒ “ජීවය වන ලේ සමඟ ඔබ මස් නොකෑ යුතුයි” කියන ආඥාව. (උත්. 9:1-4) දෙවි ඒ වගේ ආඥාවක් දුන්නේ ජලගැල්මෙන් පස්සේ සතුන්ගේ මස් කන්න මිනිසුන්ට අවසර දුන්න නිසයි. ඒකෙන් තේරෙන්නේ තත්වයන් වෙනස් වෙද්දී ඒකට අවශ්‍ය අලුත් මඟ පෙන්වීම් දෙවි දෙනවා කියන එකයි. දෙවි දුන්න ඒ ආඥාවෙන් ජීවිතය ගැන ඔහුට හැඟෙන්නේ කොහොමද කියලා අපිට තේරුම්ගන්න පුළුවන්. අපිව නිර්මාණය කළෙත් ජීවිතය දුන්නෙත් ඔහුයි. ඒ නිසා ජීවිතයට සම්බන්ධ දේවල් ගැන නීති දාන්න දෙවිට අයිතියක් තියෙනවා. මිනී මැරීම තහනම් කරපු එක ඒකට උදාහරණයක්. ජීවිතයත් රුධිරයත් දෙවි සලකන්නේ ශුද්ධ දේවල් විදිහට. ඒවාට ගෞරවයක් පෙන්නන්නේ නැති ඕනම කෙනෙක්ට දෙවි දඬුවම් කරනවා.—උත්. 9:5, 6.

5. මේ ලිපියෙන් බලන්නේ මොකක්ද? ඒ ඇයි?

5 නෝවාගේ කාලෙන් පස්සෙත් දෙවි දිගටම මිනිසුන්ට මඟ පෙන්නුවා. ඒ වගේ උදාහරණ කීපයක් මේ ලිපියෙන් බලමු. පාරාදීසයට යන ගමනේදී දෙවි දෙන මඟ පෙන්වීම් පිළිගන්න අපිට තියෙන අධිෂ්ඨානය ඒකෙන් තව වැඩි වෙයි.

අලුත් ජාතියට අලුත් මඟ පෙන්වීම්

6. මෝසෙස් මාර්ගයෙන් දීපු නීතියට දෙවිගේ සෙනඟ කීකරු වෙන එක අත්‍යවශ්‍ය වුණේ ඇයි? එයාලට ඒ ගැන හැඟෙන්න ඕනෙ කොහොමද?

6 මෝසෙස්ගේ කාලෙදී යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට හැසිරීම සහ නමස්කාරය සම්බන්ධයෙන් අලුත් මඟ පෙන්වීම් දුන්නා. එහෙම කළෙත් තත්වයන් වෙනස් වුණු නිසයි. අවුරුදු 200කට වැඩි කාලයක් පුරා ඊශ්‍රායෙල්වරුන් වහලුන් විදිහට හිටියේ මළවුන්ට කරන නමස්කාරය, රූප නමස්කාරය සහ දෙවිව අගෞරවයට පත් කරපු තවත් හුඟක් දේවල් ප්‍රචලිත වෙලා තිබුණු ඊජිප්තුවේ. ඊශ්‍රායෙල්වරුන්ට අලුත් මඟ පෙන්වීම් අවශ්‍ය වුණේ ඒ නිසයි. ඒත් එයාලා තවදුරටත් වහලුන් නෙමෙයි, දෙවිගේ නීතියට විතරක් යටත් නිදහස් ජාතියක්. ‘නීතිය’ හැටියට පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනයට ‘මඟ පෙන්වීම්, උපදෙස්’ කියන අදහසුත් ඇතුළත් කියලා සමහර පොත්වල සඳහන් වෙනවා. දෙවි නීතිය දුන්නේ අවට ජාතීන් අතරේ තිබුණු පහත් සදාචාර හැසිරීම්වලින්, බොරු නමස්කාරයෙන් ඊශ්‍රායෙල් සෙනඟව ආරක්ෂා කරන්නයි. දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙද්දී ආශීර්වාදත් ඒවාට අකීකරු වෙද්දී භයානක ප්‍රතිඵලත් සෙනඟ අද්දැක්කා.—ද්විතීය කතාව 28:1, 2, 15 කියවන්න.

7. (අ) දෙවි තම සෙනඟට මඟ පෙන්වීම් දුන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න. (ආ) නීතිය ඊශ්‍රායෙල්වරුන්ට උපදේශකයෙක් වුණේ කොහොමද?

7 අලුත් මඟ පෙන්වීම් අවශ්‍ය වුණු තවත් හේතුවක් තිබුණා. ඒ තමයි දෙවිගේ අරමුණට සම්බන්ධ වැදගත් දෙයක් වුණු ගැලවුම්කරුගේ පැමිණීමට ඊශ්‍රායෙල්වරුන්ව සූදානම් කරන්න. තමන් පාපය උරුම කරගත්ත අය කියලත් පාපයෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙන්න ජීවිත පූජාවක් අවශ්‍යයි කියලත් ඊශ්‍රායෙල්වරුන්ට මතක් කළේ නීතියයි. (ගලා. 3:19; හෙබ්‍රෙ. 10:1-10) ගැලවුම්කරු එන පෙළපත ආරක්ෂා කරන්නත් ඔහු පැමිණියම ඔහුව හඳුනගන්නත් නීතිය උදව් වුණා. ඒ දේවල් නිසා නීතිය ක්‍රියා කළේ ක්‍රිස්තුස් ළඟට ගෙන යන “උපදේශකයෙක්” වගේ.—ගලා. 3:23, 24.

8. නීතිය පදනම් වෙලා තියෙන ප්‍රතිපත්තිවලට හොඳ අවධානයක් දෙන්න ඕනෙ ඇයි?

8 අනතුරු ඇඟවීමේ සංඥාවලට හොඳ අවධානයක් දෙද්දී ජීවිත ආරක්ෂා වෙනවා වගේ නීතිය පදනම් වෙලා තියෙන ප්‍රතිපත්තිවලට හොඳ අවධානයක් දෙනවා නම් ඒක අපිට ප්‍රයෝජනවත්. අපි නීතිය යටතේ හිටියේ නැතත් එදිනෙදා ජීවිතේදී, දෙවිට කරන නමස්කාරයේදී ඒකේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න අපිට පුළුවන්. දෙවි නීතිය බයිබලේට ඇතුළත් කළේ ඒකෙන් යම් පාඩම් ඉගෙනගන්නයි. නීතිය පදනම් වෙලා තියෙන ප්‍රතිපත්ති අපේ ජීවිතවලට අදාළ කරගන්නයි. ඒ වගේම යේසුස්ගේ ඉගැන්වීම් නීතියට වඩා කොච්චර උසස්ද කියලා තේරුම් අරන් ඒවා අගය කරන්න අපිට උදව් කරන්නයි. උදාහරණෙකට යේසුස් කියපු මේ දේ බලන්න. “‘අනාචාරයේ නොහැසිරෙන්න’ කියා පවසා තිබෙන බව ඔබ අසා ඇති. නමුත් මා ඔබට කියන්නේ, කාමාශාවකින් ස්ත්‍රියක් දෙස දිගින් දිගටම බලමින් සිටින සෑම කෙනෙකුම ඒ වන විටත් සිතින් ඇය සමඟ අනාචාරයේ හැසිරී ඇති බවයි.” අනාචාරයේ යෙදීම විතරක් නෙමෙයි ඒකට මඟ පාදන සිතුවිලි, ආශාවලින් අපි වළකින්න ඕනෙ කියලත් යේසුස් කියපු ඒ දෙයින් පැහැදිලියි.—මතෙ. 5:27, 28.

9. අලුත් මඟ පෙන්වීම් අත්‍යවශ්‍ය වුණේ සිද්ධ වුණු මොන වෙනස්කම් නිසාද?

9 ගැලවුම්කරු විදිහට යේසුස් ආවට පස්සේ යෙහෝවා දෙවි ආයෙත් අලුත් මඟ පෙන්වීම් දීලා ඔහුගේ අරමුණට සම්බන්ධ තවත් තොරතුරු හෙළි කළා. ඒ ඇයි? තමන්ගේ සෙනඟ විදිහට ඊශ්‍රායෙල්වරුන්ව ප්‍රතික්ෂේප කරලා ක්‍රි.ව. 33දී යෙහෝවා දෙවි ක්‍රිස්තියානි සභාව තෝරගත්ත නිසයි. ඒ අලුත් තත්වයත් එක්කම අලුත් මඟ පෙන්වීම්වල අවශ්‍යතාවක් මතු වුණා.

ක්‍රිස්තියානි සභාවට අලුත් මඟ පෙන්වීම්

10. ක්‍රිස්තියානි සභාවට අලුත් මඟ පෙන්වීම් දුන්නේ ඇයි? ඊශ්‍රායෙල්වරුන්ට දුන්න නීතියට වඩා ඒක වෙනස් වුණේ කොහොමද?

10 දෙවි මෝසෙස් මාර්ගයෙන් නීතිය දුන්නේ ඊශ්‍රායෙල්වරුන් ජීවත් වෙන්න ඕන විදිහත් නමස්කාර කරන්න ඕන විදිහත් කියලා දෙන්නයි. ඒත් පළවෙනි සියවස වෙද්දී දෙවිගේ සෙනඟ වුණේ එක ජාතියකට අයිති අය විතරක් නෙමෙයි. විවිධ ජාතීන්ට, විවිධ පසුබිම්වලට අයිති අය දෙවිගේ සෙනඟට ඇතුළත් වුණා. එයාලව හැඳින්නුවේ දෙවිගේ ඊශ්‍රායෙල් කියලා. ක්‍රිස්තියානි සභාව හැදුණේ එයාලගෙන්. ඒ අය දැන් අලුත් ගිවිසුමකට ඇතුළත්. ජීවත් වෙන්න ඕන විදිහ ගැන, නමස්කාර කරන්න ඕන විදිහ ගැන යෙහෝවා දෙවි ඒ අයට අලුත් මඟ පෙන්වීම් දුන්නා. ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා කියලත් කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා කියලත්’ ඒකෙන් පැහැදිලි වුණා. (ක්‍රියා 10:34, 35) ඒ අය පිළිපැද්දේ ප්‍රතිපත්ති මත පදනම් වුණු “ක්‍රිස්තුස්ගේ නීතියයි.” ඒක ලියලා තිබුණේ එයාලගේ හදවත්වල මිසක් ගල් පුවරු මත නෙමෙයි. ලෝකෙ කොහෙ ජීවත් වුණත් ඒ නීතිය අදාළ කරගෙන ඒකෙන් ප්‍රයෝජන ලබන්න ඒ අලුත් ජාතියට පුළුවන්.—ගලා. 6:2.

11. “ක්‍රිස්තුස්ගේ නීතිය” අපිට බලපාන පැති දෙකක් සඳහන් කරන්න.

11 ක්‍රිස්තුස් මාර්ගයෙන් දෙවි දුන්න ඒ අලුත් මඟ පෙන්වීම්වලින් දෙවිගේ ඊශ්‍රායෙලයට අයිති හැමෝම හුඟක් ප්‍රයෝජන ලැබුවා. අලුත් ගිවිසුම හඳුන්වලා දෙන්න කලින් යේසුස් වැදගත් ආඥා 2ක් ඒ අයට දුන්නා. පළවෙනි එක දේශනා සේවය ගැන දුන්න ආඥාවයි. දෙවෙනි එක ක්‍රිස්තියානීන් හැසිරෙන්න ඕන, එකිනෙකාට සලකන්න ඕන විදිහ ගැන දුන්න ආඥාවයි. ඒ ආඥා හැම ක්‍රිස්තියානියෙක්ටම අදාළයි. ඒ කියන්නේ අපේ බලාපොරොත්තුව ස්වර්ගයේ වුණත් පොළොවේ වුණත් අපි හැමෝම ඒවාට කීකරු වෙන්න ඕනෙ කියන එකයි.

12. දේශනා සේවයේ තියෙන විශේෂත්වය මොකක්ද?

12 අතීතයේදී විවිධ ජාතීන්ට අයත් අයට සිද්ධ වුණා දෙවිට නමස්කාර කරන්න ඊශ්‍රායෙල් දේශයට එන්න. (1 රාජා. 8:41-43) ඒත් මතෙව් 28:19, 20 (කියවන්න.) සඳහන් ආඥාව දෙද්දී යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වේ ‘සෑම ජාතියකටම අයත් මිනිසුන්ට ළඟට ගොස්’ දේශනා කරන්න කියලයි. දෙවිගේ කැමැත්ත ලෝකෙ පුරාම ඉන්න මිනිසුන්ට දේශනා කරන එකයි කියලා ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේ වුණු දෙයින් පැහැදිලියි. එදා අලුතෙන් පිහිටවපු ක්‍රිස්තියානි සභාවට අයිති වෙලා හිටපු 120දෙනාටම දෙවිගේ බලය ලැබුණා. ඊටපස්සේ යුදෙව්වන්ටත් යුදෙව් ආගමට හැරිලා හිටපු වෙනත් ජාතීන්ටත් විවිධ භාෂාවලින් එයාලා දේශනා කරන්න පටන්ගත්තා. (ක්‍රියා 2:4-11) ඊළඟට සමරිතානුවන්ටත් ක්‍රි.ව. 36දී වෙනත් ජාතීන්ටත් ඒ කියන්නේ චර්මච්ඡේදනය නොවුණු අයටත් දේශනා කරන්න පටන්ගත්තා. ක්‍රිස්තියානීන්ට දුන්න වගකීම ලෝකෙ පුරාම ඉන්න අයට දේශනා කරන එකයි කියන දේ ඒකෙන් පැහැදිලි වුණා.

13, 14. (අ) “අලුත් ආඥාවට” ඇතුළත් වෙන්නේ මොනවද? (ආ) යේසුස්ගේ ආදර්ශයෙන් අපි ඉගෙනගන්නේ මොනවද?

13 සහෝදර සහෝදරියන්ට සලකන්න ඕන විදිහ ගැනත් යේසුස් අලුත් ආඥාවක් දුන්නා. (යොහන් 13:34, 35 කියවන්න.) ගත වෙන දවසක් ගාණේ ඒ අයට ආදරෙන් සලකන එක විතරක් නෙමෙයි ඒ අය වෙනුවෙන් අපේ ජීවිතේ වුණත් දෙන්න අපි කැමැත්තෙන් ඉන්න ඕනේ. මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතියෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ.—මතෙ. 22:39; 1 යොහ. 3:16.

14 ඒ වගේ ආදරයක් පෙන්නලා අපිට හොඳම ආදර්ශය දුන්නේ යේසුස්. ඔහු තමන්ගේ ගෝලයන්ට කොච්චර ආදරේ කළාද කියනවා නම් එයාලා වෙනුවෙන් මිය යන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. තමන්ගේ අනුගාමිකයනුත් ඒ වගේ කරයි කියලා යේසුස් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි අපේ සහෝදරයන් වෙනුවෙන් ඕනම දුෂ්කරතාවක් විඳින්න විතරක් නෙමෙයි මැරෙන්න වුණත් ලෑස්ති වෙලා ඉන්න ඕනේ.—1 තෙස. 2:8.

අදටත් අනාගතයටත් මඟ පෙන්වීම්

15, 16. අපි දැන් මුහුණ දෙන අලුත් තත්වයන් මොනවද? දෙවි අපිට මඟ පෙන්නන්නේ කොහොමද?

15 තමන්ගේ අනුගාමිකයන්ට “නියම වේලාවට ආහාර දීම සඳහා” යේසුස් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාව” පත් කළා. (මතෙ. 24:45-47) තත්වයන් වෙනස් වෙද්දී තමන්ගේ සෙනඟට අවශ්‍ය කරන මඟ පෙන්වීම් දෙන එකත් ඒ පෝෂණය කිරීමේ කාර්යයට ඇතුළත්. අපි මුහුණ දෙන තත්වයන් එදාට වඩා වෙනස් ඇයි?

16 අපි ජීවත් වෙන්නේ “අවසාන කාලයේ.” ළඟදීම වෙන කිසිම දාක සිද්ධ නොවුණු විදිහේ මහත් පීඩාවකට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. (2 තිමෝ. 3:1; මාක් 13:19) සාතන්ව සහ භූතයන්ව ස්වර්ගයෙන් පොළොවට හෙළපු නිසා මිනිසුන් හුඟක් දුෂ්කරතා අද්දකිනවා. (එළි. 12:9, 12) ඒ වගේම යේසුස්ගේ ආඥාවට කීකරු වෙමින් ලෝකෙ පුරාම අස්සක් මුල්ලක් නෑර, භාෂා ගණනාවකින් අපි දේශනා කරනවා.

17, 18. අපිට ලැබෙන මඟ පෙන්වීම් අපි සලකන්න ඕනෙ කොහොමද?

17 දේශනා සේවය සාර්ථකව කරන්න දෙවිගේ සංවිධානය අපිට හුඟක් දේවල් දීලා තියෙනවා. ඔයා ඒවා පාවිච්චි කරනවද? ඒවා සේවයේදී හොඳින් යොදාගන්නේ කොහොමද කියලා රැස්වීම්වලදී අපිට මඟ පෙන්වීම් ලැබෙනවා. ඒවා යෙහෝවා දෙවිගෙන් ලැබෙන මඟ පෙන්වීම් හැටියටද ඔයා සලකන්නේ?

18 අනතුරු ඇඟවීමේ සංඥාවලට හොඳ අවධානයක් දීලා කීකරු වෙනවා වගේ සභාව මාර්ගයෙන් දෙවි දෙන මඟ පෙන්වීම්වලටත් අපි හොඳ අවධානයක් දීලා කීකරු වෙන්න ඕනේ. දෙවිගේ ආශීර්වාද ලැබෙන්නේ එතකොටයි. දැන් අපි ඒ මඟ පෙන්වීම්වලට කීකරු වෙනවා නම් “මහත් පීඩාව” අතරතුරේ ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න අපිට පහසු වෙයි. (මතෙ. 24:21) ඊටපස්සේ සාතන්ගේ කිසිම බලපෑමක් නැති, පාරාදීසයේ අපි ජීවත් වෙන්න යනවා. එදාටත් අපිට අලුත් මඟ පෙන්වීම් අවශ්‍ය වෙයි.

පාරාදීසයේදී අපිට අවශ්‍ය මඟ පෙන්වීම් දෙන්න අලුත් ලියවිලි දිගහරියි (19 සහ 20 ඡේද බලන්න)

19, 20. දිගහරින අලුත් ලියවිලි මොනවද? ලැබෙන්නේ මොන වගේ ප්‍රතිඵලද?

19 මෝසෙස්ගේ කාලෙදී ඊශ්‍රායෙල්වරුන්ට අලුත් මඟ පෙන්වීම් නීතිය මාර්ගයෙන් දුන්නා. පස්සේ ක්‍රිස්තියානි සභාවට “ක්‍රිස්තුස්ගේ නීතිය” දුන්නා. පාරාදීසයේදී මඟ පෙන්වීම් ඇතුළත් අලුත් ලියවිලි දිගහරිනවා කියලා බයිබලේ කියනවා. (එළිදරව් 20:12 කියවන්න.) ඒ කාලෙදී දෙවි ඔහුගේ සෙනඟගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා ඒ අලුත් ලියවිලිවල සඳහන් වෙයි කියලා හිතන්න පුළුවන්. නැවත නැඟිටින අය ඇතුළු පොළොවේ ඉන්න හැම කෙනෙක්ම ඒවා අධ්‍යයනය කරද්දී තමන්ගෙන් දෙවි බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා දැනගන්න එයාලට පුළුවන් වෙයි. දෙවි හිතන විදිහ තවත් හොඳට තේරුම්ගන්නත් ඒ ලියවිලි අපිට උදව් වෙයි. ඒ විතරක් නෙමෙයි බයිබලේ තියෙන දේවල් තවත් පැහැදිලිව තේරුම්ගන්නත් එදාට පුළුවන් වෙයි. ඒ නිසා පාරාදීසයේ ඉන්න හැමෝම එකිනෙකාට ආදරෙන්, ගෞරවයෙන් සලකයි කියලා කිසිම සැකයක් නැහැ. (යෙසා. 26:9) අපේ රජු වන යේසුස්ගේ පාලනය යටතේ එදාට අපි මොන තරම් දේවල් ඉගෙනගනියිද!

20 “ඒ ලියවිලිවල සටහන් කර තිබෙන දේවලට” කීකරු වෙලා අවසන් පරීක්ෂණය අතරතුරේ දෙවිට විශ්වාසවන්තව ඉන්නවා නම් යෙහෝවා දෙවි අපේ නමත් “ජීවන ලියවිල්ලේ” සටහන් කරයි. ඒ කියන්නේ අපිට සදාකාල ජීවනේ ලැබෙනවා. ඒ නිසා අනතුරු ඇඟවීමේ සංඥාවලට අවධානය දීලා කීකරු වෙනවා වගේ බයිබලේ තියෙන දේවලට අවධානය දෙන්න කාලේ වෙන් කරමු. ඒකේ තියෙන මඟ පෙන්වීම් හිතට ගමු. ඒවා ජීවිතේට අදාළ කරගමු. එතකොට මහත් පීඩාවෙන් බේරිලා අපේ ආදරණීය සහ ප්‍රඥාවන්ත දෙවි ගැන සදාකාලයටම ඉගෙනගන්න අපිට පුළුවන් වෙයි.—දේශ. 3:11; රෝම 11:33.