Skip to content

පටුනට යන්න

අනිත් අයට උදව් ඕනෙ මොන පැතිවලින්ද කියලා අඳුනගන්න උත්සාහ කරන්න

සභාවේ අය වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් මොනවද?

සභාවේ අය වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් මොනවද?

යේසුස් ස්වර්ගයට යන්න කලින් ඔහුගේ ගෝලයන්ට මෙහෙම කිව්වා. ‘ඔබ පොළොවේ දුර ඈත කෙළවරවලද මා ගැන සාක්ෂි දරයි.’ (ක්‍රියා 1:8) ඒ තරම් ලොකු පැවරුමක් කරන්න මුල් සියවසේ හිටපු ඒ ක්‍රිස්තියානීන්ට පුළුවන් වෙයිද?

මහචාර්ය මාටින් ගුඩ්මන් මෙහෙම කියනවා. “ක්‍රිස්තියානීන්ට කරන්න ලොකු පැවරුමක් භාර දීලා තිබුණා. ඒත් යුදෙව්වන්ට සහ වෙනත් ආගම්වල අයට ඒ වගේ පැවරුමක් තිබුණේ නැහැ. ඔවුන්ට වඩා ක්‍රිස්තියානීන් වෙනස් වුණේ ඒ නිසයි.” යේසුස් පොළොවේ ඉද්දී “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය” දේශනා කරන්න විවිධ ප්‍රදේශවලට ගියා. (ලූක් 4:43) දෙවි ගැන දැනගන්න ආසාවෙන් ඉන්න අයව හෙව්වා. ඒ නිසා තමන් කරන්න ඕනෙත් ඒ දේ කියලා ගෝලයන් තේරුම්ගත්තා. මුල් සියවසේදී “නියෝජිතයන්ව” පත් කළෙත් ඒ හේතුව නිසයි. නියෝජිතයන් කියන වචනේ තේරුම යවනු ලැබූවන්. (මාක් 3:14) නියෝජිතයන් ඇතුළු ගෝලයන්ට යේසුස් මෙහෙම කිව්වා. “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න.”—මතෙ. 28:18-20.

ඒ එක නියෝජිතයෙක්වත් අද නැහැ. ඒත් එයාලා වගේ වෙනත් පැතිවලට ගිහින් උද්‍යෝගයෙන් සේවය කරන හුඟදෙනෙක් ඉන්නවා. ඒ අය යෙසායා වගේ “මම යන්න කැමතියි. මාව යවන්න” කියලා ඉදිරිපත් වෙලා තියෙනවා. (යෙසා. 6:8) උදාහරණෙකට ගිලියද් පාසැලෙන් පුහුණුව ලබපු මිෂනාරිවරුන් වෙනත් රටවලට ගිහින් සේවය කරනවා. තවත් අය තමන්ගෙම රටේ ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවලට ගිහින් සේවය කරනවා. තවත් හුඟදෙනෙක් වෙනත් භාෂාවක් ඉගෙනගෙන ඒ භාෂාව කතා කරන අය ඉන්න සභාවල නැත්නම් කණ්ඩායම්වල සේවය කරනවා. එහෙම සේවය කරන අය හුඟක් අසීරු තත්වයන්ට, අභියෝගවලට මුහුණ දෙනවා. ඒත් එයාලා තමන්ගේ සැප පහසුව හොයන්නේ නැතුව එහෙම කරන්නේ යෙහෝවා දෙවිටත් අසල්වැසියන්ටත් ආදරේ කරන නිසයි. කෙනෙක් යමක් ගොඩනඟන්න කලින් මුලින්ම ඒ සඳහා යන වියදම ගණන් බලනවා වගේ එයාලත් ඒ අභියෝග ගැන හොඳට හිතලා බලලා කැමැත්තෙන්ම පරිත්‍යාගයන් කරනවා. (ලූක් 14:28-30) ඒ වගේ සහෝදර සහෝදරියන් සභාවකට හුඟක් වටිනවා.

හැම කෙනෙක්ටම ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවලට ගිහින් සේවය කරන්න නැත්නම් අලුත් භාෂාවක් ඉගෙනගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපේ සභාවේ ඉඳන්ම මිෂනාරිවරුන් වගේ උද්‍යෝගයෙන් සේවය කරන්න අපිට පුළුවන්ද?

ඔයාගේ සභාවට ඔයා මිෂනාරිවරයෙක් වෙන්න

ඔයාට පුළුවන්ද

මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් හැමෝම මිෂනාරිවරුන් නොවුණත් මිෂනාරිවරුන් වගේ උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කළා. හුඟදෙනෙක් එහෙම කළේ වෙනත් ප්‍රදේශයකට ගිහින් නෙමෙයි. තමන්ගෙම සභාවේ ඉඳලයි. පාවුල් තිමෝතිට දුන්න මේ උපදෙස එයාලටත් අදාළ වුණා. “ශුභාරංචිය දේශනා කරන කෙනෙකුගේ කාර්යයෙහි නිරත වන්න. ඔබට පවරා ඇති දේවසේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න.” (2 තිමෝ. 4:5) ඒ උපදෙස අපිටත් අදාළයි. කොහේ හිටියත් ශුභාරංචිය දේශනා කරන එකත් යේසුස්ගේ ගෝලයන් වෙන්න අනිත් අයට උදව් කරන එකත් අපි හැමෝටම තියෙන වගකීමක්. ඒ නිසා අපිට අපේම සභාවේ ඉඳන් මිෂනාරිවරුන් වගේ හුඟක් දේවල් කරන්න පුළුවන්. ඒ කොහොමද?

මිෂනාරිවරුන් වෙනත් රටකට ගියාම එයාලට සිද්ධ වෙනවා ඒ අලුත් තත්වයන්ට අනුව හැඩගැහෙන්න. අලුත් විදි ඉගෙනගන්න. ඒත් අපිට වෙනත් රටකට නැත්නම් වෙනත් ප්‍රදේශයකට ගිහින් සේවය කරන්න බැරි නම් කරන්න පුළුවන් මොකක්ද? මේ ගැන හිතන්න. ඔයාගේ සභාවට අයිති ප්‍රදේශයේ ඉන්න අයට දැන් දේශනා කරලා වැඩක් නැහැ කියලා හිතන්නේ නැතුව එයාලගේ උනන්දුව වැඩි කරන විදිහේ අලුත් ක්‍රම අත්හදා බලන්න ඔයාට පුළුවන්ද? උදාහරණෙකට 1940දී සහෝදරයන්ට උනන්දු කළා සතියට දවසක් වීදි සේවයේ යන්න කියලා. ඒ විදිහේ දෙයක් ඔයාටත් කරන්න පුළුවන්ද? මහජනයා ගැවසෙන තැන්වල ජංගම පුවරු පාවිච්චි කරලා සේවය කරන්න ඔයාට පුළුවන්ද? දේශනා කරන්න ඔයා කවදාවත් පාවිච්චි කරලා නැති අලුත් ක්‍රම අත්හදා බලන්න ඔයා කැමැත්තෙන් ඉන්නවද?

උද්‍යෝගයෙන් “ශුභාරංචිය දේශනා” කරන්න අනිත් අයව දිරිගන්නන්න?

සභාව වෙනුවෙන් මීට වඩා යමක් කරන්න පුළුවන් කියන හැඟීමෙන් අපි වැඩ කරනවා නම් සේවයේ උද්‍යෝගයෙන් හවුල් වෙන්න අපිට පුළුවන්. සේවය කරන්න ප්‍රචාරකයන් අඩු ප්‍රදේශවලට නැත්නම් වෙනත් භාෂාවක් කතා කරන අය ඉන්න සභාවලට යන්නේ අද්දැකීම් තියෙන, දක්ෂ ප්‍රචාරකයන්. ඒ වගේ අය සේවයේ මුල් තැන අරන් වැඩ කරද්දී ඒක මුළු සභාවටම ආශීර්වාදයක්. සාමාන්‍යයෙන් සුදුසුකම් තියෙන සහෝදරයන් සභාවෙන්ම පත් වෙන කල් මිෂනාරිවරුන් සභාවේ මූලිකත්වය අරන් වැඩ කරනවා. ඔයා බව්තීස්ම වුණු සහෝදරයෙක්ද? සභාවේ “වගකීම් දරන්න” අවශ්‍ය සුදුසුකම් අත් කරගන්න ඔයා උත්සාහ කරනවද?—1 තිමෝ. 3:1.

“ශක්තියක් හා ධෛර්යයක්” වෙන්න

අනිත් අයට අවශ්‍ය සහය දෙන්න?

දේවසේවයේ උද්‍යෝගයෙන් හවුල් වෙන එක සහ සභාවේ වගකීම් දරන එකට අමතරව තවත් දේවල් අපිට කරන්න පුළුවන්. ඒ තමයි බාල වුණත් මහලු වුණත් අපි හැමෝටම පුළුවන් සභාවේ අනිත් අයට “ශක්තියක් හා ධෛර්යයක්” වෙන්න.—කොලො. 4:11.

බයිබලේ අපිට දිරිගන්වන්නේ අනිත් අය ගැන “උනන්දුවක් හා සැලකිල්ලක්” දක්වන්න කියලයි. (හෙබ්‍රෙ. 10:24) සහෝදරයන්ට උදව් කරන්න නම් අපි ඒ අයව හොඳට දැන හඳුන ගන්න ඕනේ. ඒ අයට උදව් අවශ්‍ය පැති තේරුම්ගන්න ඕනේ. ඒ කියන්නේ අපි එයාලගේ පුද්ගලික කාරණාවලට ඇඟිලි ගහනවා කියන එක නෙමෙයි. ඒ වෙනුවට එයාලට අවශ්‍ය කරන යම් දෙයක් කරලා දෙන්න, කනස්සල්ලෙන් ඉන්නවා නම් එයාලට සහනයක් වෙන්න, දෙවිත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් කරන්න අපිට පුළුවන්. සමහර වෙලාවට සහෝදරයෙකුට විශේෂ උපකාරයක් දෙන්න වැඩිමහල්ලන්ටත් සහායක සේවකයන්ටත් සිද්ධ වෙයි. (ගලා. 6:1) එත් සහෝදරයන්ට උදව් කරන එක එයාලට විතරක් තියෙන වගකීමක් කියලා හිතන්න එපා. අවශ්‍යතා තියෙන අයට උදව් කරන්න අපි හැමෝටම පුළුවන්.

කනස්සල්ලෙන් ඉන්න අයට සහනයක් වෙන්න?

මේ අද්දැකීම බලන්න. සල්වාටෝරෙ හුඟක් ආර්ථික අමාරුකම්වලට මුහුණ දුන්න නිසා එයාට සිද්ධ වුණා එයාගේ ව්‍යාපාරය, ගේදොර, බඩුමුට්ටු හැම දේම විකුණන්න. එයාලගේ අනාගතේ මොනා වෙයිද කියලා එයා කල්පනා කළා. ඒත් සභාවේ පවුලක් එයාලා ඉන්න තත්වය තේරුම් අරන් අවශ්‍ය හැම උපකාරයක්ම එයාලට දුන්නා. එයාලව නිතරම බලන්න ඇවිල්ලා ශක්තිමත් කළා. ඒ නිසා එයාලා අතරේ ලොකු බැඳීමක් ඇති වුණා. එකට මුහුණ දුන්න දේවල් ගැන හිතද්දී එයාලට දැන් දැනෙන්නේ දුකකට වඩා ලොකු සතුටක්.

සැබෑ ක්‍රිස්තියානීන් බයිබලේ තියෙන දේවල් ඉගෙනගෙන විතරක් නතර වෙන්නේ නැහැ. යේසුස් කළා වගේ දෙවිගේ පොරොන්දු ගැන අනිත් අයටත් කියනවා. සේවය කරන්න වෙනත් තැන්වලට යන්න පුළුවන් වුණත් නැතත් අපි හැමෝටම පුළුවන් අනිත් අය වෙනුවෙන් අපේ උපරිමය කරන්න. අපේ සභාවෙම ඉඳන් අපිට ඒක කරන්න පුළුවන්. (ගලා. 6:10) එහෙම කරනවා නම් දීමෙන් ලැබෙන නියම සතුට ලබන්නත් “සෑම යහපත් ක්‍රියාවක්ම කරමින් හොඳ ප්‍රතිඵල ලබන්නත්” අපිට පුළුවන්.—කොලො. 1:10; ක්‍රියා 20:35.