ජීවිත කතාව
දෙවිට ආදරේ කරන අයව ඇසුරු කරපු නිසා මං ප්‍රයෝජන ලැබුවා
එදා හරිම ලස්සන උදෑසනක්. අපි හිටියේ එක්සත් ජනපදයේ දකුණු ඩකෝටා ප්‍රාන්තයේ බෲකින්ස්වල තිබුණ ගොවිපොළක. හමාගෙන ආව සීතල හුළඟ ඇඟේ වදිද්දී සීත කාලේ ළඟ ළඟම එනවා කියලා මට මතක් වුණා. මමයි තව කීපදෙනෙකුයි ගොවිපොළේ තිබුණ ගබඩාවක සතුන්ට වතුර දෙන දියඔරුවක් ඉස්සරහා හිටගෙනයි හිටියේ. දියඔරුව පිරිලා තිබුණේ සීතල වතුරෙන්. ඔයාලා හිතනවා ඇති ඇයි අපි එදා එතන හිටියේ කියලා. මං දැන් මගේ අතීතය ගැන ටිකක් කියන්නම්. එතකොට එදා අපි එතන හිටියේ ඇයි කියලා ඔයාලා දැනගනියි.
පවුලේ විස්තර
මං ඉපදුණේ 1936 මාර්තු 7වෙනිදා. අපේ පවුලේ ළමයි 4දෙනාගෙන් මං තමයි බාලයා. අපි ජීවත් වුණේ ගොවිපොළක. අපේ පවුලේ අය ගොවිපොළේ වැඩවලට වැදගත් තැනක් දුන්නා. ඒත් අපේ ජීවිතවල වැදගත්ම දේ වුණේ ඒක නෙමෙයි. අම්මායි තාත්තායි එයාලගේ ජීවිත යෙහෝවා දෙවිට කැප කරලා තිබුණා. ඒ නිසා දෙවිගේ සේවයටයි එයාලගේ ජීවිතවල මුල් තැන දුන්නේ. එයාලා බව්තීස්ම වෙලා තිබුණේ 1934. මගේ තාත්තාගේ නම ක්ලැරන්ස්. එයා සභාවේ වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක විදිහට සේවය කළා. පස්සේ කාලෙක මගේ බාප්පාත් ඒ වගකීම දැරුවා. එයාගේ නම ඇල්ෆ්‍රඩ්. අපි ගියේ කොන්ඩි නගරයේ තිබුණ පුංචි සභාවකට.
රැස්වීම් යන එක, ගෙයින් ගෙට ගිහින් බයිබලේ තියෙන ලස්සන පොරොන්දුව ගැන මිනිසුන්ට කියන එක අපේ පවුලේ අය වරද්දන්නේ නැතුව කරපු දෙයක්. අම්මාගෙයි තාත්තාගෙයි ආදර්ශය, එයාලා අපිට දුන්න පුහුණුව දෙවිට සේවය කරන්න අපි 4දෙනාගේම හිත්වල ලොකු ආසාවක් ඇති කළා. මගේ අක්කා ප්‍රචාරකයෙක් වෙද්දී එයාට අවුරුදු 6යි. මමත් ප්‍රචාරකයෙක් වුණේ අවුරුදු 6දී. 1943දී මං සේවා පාසැලට ඇතුල් වුණා. ඒ කාලේ තමයි සේවා පාසැල පටන්ගත්තේ.
අපේ ජීවිතවල වැදගත් තැනක් ගත්ත තවත්
දෙයක් තමයි සමුළු. 1949 සූ ෆෝල්ස්වල තිබුණ සමුළුවේ සහෝදර ග්‍රාන්ට් සූටර් දුන්න දේශනය මට අද වගේ මතකයි. කැප වෙලා ඉන්න හැම කෙනෙක්ම ශුභාරංචිය දේශනා කරන්න එයාලගේ ජීවිතවල මුල් තැන දෙන්න ඕනෙ කියලා ඒ දේශනයේදී එයා කාවැද්දුවා. එදා මට හිතුණා මමත් මගේ ජීවිතේ යෙහෝවා දෙවිට කැප කරන්න ඕනෙ කියලා. ඊළඟ සමුළුවේදී ඒ කියන්නේ 1949 නොවැම්බර් 12වෙනිදා මං බව්තීස්ම වුණා. මතකද මං කිව්වා දියඔරුවක් ඉස්සරහා අපි කට්ටියක් හිටගෙන හිටියා කියලා? මං ඒ විස්තර කළේ මං බව්තීස්ම වුණ දවසයි.බව්තීස්ම වුණාට පස්සේ මගේ ඉලක්කේ වුණේ පුරෝගාමි සේවය. 1952 ජනවාරි 1වෙනිදා මං ඒ ඉලක්කේ ජය ගත්තා. එතකොට මට වයස 15යි. බයිබලේ කියන්නේ “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය” කියලා. (හිතෝ. 13:20) මට ආශ්‍රය කරන්න ප්‍රඥාවන්ත අය මගේ පවුලේම හිටියා. මගේ තීරණේට එයාලා මට සහය දුන්නා. වයස අවුරුදු 60ක් වුණ මගේ බාප්පා තමයි මගේ පුරෝගාමි සහයකයා වුණේ. එයාගේ නම ජූලියස්. අපි දෙන්නා සතුටින් සේවය කළා. අපේ වයස් පරතරය ඒකට බාධාවක් වුණේ නැහැ. එයාගෙන් මං හුඟක් දේවල් ඉගෙනගත්තා. වැඩි කල් යන්න කලින් මගේ අක්කාත් පුරෝගාමි සේවය පටන්ගත්තා.
චාරිකා සේවකයන්ගෙන් ලැබුණ දිරිගැන්වීම්
තරුණ කාලෙදී මට චාරිකා සේවකයන් හුඟදෙනෙක්ව ආශ්‍රය කරන්න පුළුවන් වුණා. සභාවට ආවම හුඟක් වෙලාවට එයාලා නතර වුණේ අපේ ගෙදර. ඒ වගේ ආපු යුවළක් තමයි ජෙසී සහ ලින් කැන්ට්වෙල්. පුරෝගාමි සේවය තෝරගන්න එයාලගේ දිරිගැන්වීමත් මට උදව් වුණා. අපේ සභාවට කිට්ටු සභාවල එයාලා සේවය කරද්දී මටත් එයාලා එක්ක සේවේ හවුල් වෙන්න එන්න කියනවා. එයාලා එක්ක ගත කරපු කාලේ මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. එයාලා පෙන්නපු සැලකිල්ල නිසා දෙවිට වැඩි සේවයක් කරන්න මට තිබුණ ආසාව තව වැඩි වුණා.
එයාලගෙන් පස්සේ අපේ සභාවට චාරිකා ආවේ මිලර් යුවළ. ඒ වෙද්දී මට වයස 18යි. සාමාන්‍යයෙන් කෙනෙක්ව හමුදාවට බඳවගන්නේ ඒ වයසෙදී. හමුදාවට බඳවගන්න කාර්යාලය මාව නම් කරලා තිබුණේ දේවසේවකයෙක් විදිහට නෙමෙයි. ඒත් මට ඕන වුණේ දේශනා සේවය කරන්න. එයාලා මාව නම් කරලා තිබුණ විදිහ නිසා මට හැඟුණා දේශපාලන කාරණාවලදී පැති ගන්න එපා කියලා යේසුස් කියපු ආඥාවට ඒක 100%ක් එකඟ නැහැ කියලා. (යොහ. 15:19) ඒ නිසා මාව දේවසේවකයෙක් හැටියට නම් කරන්න කියලා මං අභියාචනයක් ඉදිරිපත් කළා.
ඒ අභියාචනය විභාග කරපු දවසේදී සහෝදර මිලර් මාත් එක්ක ආවා. එයා සාමාන්‍යයෙන් මිනිස්සු එක්ක
හොඳට කතාබහ කරන, ලේසියෙන් කාටවත් බය වෙන්නේ නැති කෙනෙක්. ඒ වගේ කෙනෙක් මාත් එක්ක හිටපු නිසා මට ලොකු හයියක් දැනුණා. ඒ නඩු විභාගයේ ප්‍රතිඵලයක් විදිහට 1954දී මාව දේවසේවකයෙක් හැටියට නම් කළා. මට තිබුණ තවත් ඉලක්කයට ළං වෙන්න ඒක උදව් වුණා.බෙතෙල් එකේ සේවය කරන්න මට ආරාධනයක් ලැබුණේ ඔය කාලෙදී. නිව් යෝර්ක් ප්‍රාන්තයේ ස්ටැටන් අයිලන්ඩ්වල තිබුණ “වොච්ටවර් ෆාම්” එකේ වැඩ කරන්නයි මට එන්න කිව්වේ. මං එහේ අවුරුදු 3ක් විතර සේවය කළා. දෙවිට ආදරේ කරන හුඟදෙනෙක්ව ඒ කාලේ පුරා ආශ්‍රය කරන්න මට අවස්ථාව ලැබුණා. මං එයාලගෙන් කොච්චර නම් දේවල් ඉගෙනගත්තද!
බෙතෙල් ජීවිතේ
“වොච්ටවර් ෆාම්” එකේම තමයි WBBR කියන අපේ ගුවන්විදුලි මධ්‍යස්ථානය තිබුණේ. අපි 1924 ඉඳන් 1957 වෙන කල් ඒ ගුවන්විදුලි සේවය පාවිච්චි කළා. බෙතෙල් සාමාජිකයන්ගෙන් 15ක් 20ක් විතර තමයි ෆාම් එකේ වැඩ කළේ. ඒ අයගෙන් වැඩිදෙනෙක් තරුණයි. ඒත් අපිත් එක්ක සහෝදර වුඩ්වර්ත් හිටියා. එයා අභිෂේක ලත් කෙනෙක්. එයා මට ආශ්‍රය කරන්න හම්බ වුණ ප්‍රඥාවන්ත අය අතරින් කෙනෙක්. තාත්තා කෙනෙක් වගේ එයා අපිව බලාගත්ත නිසා දේවල් සමබරව කරන්න අපිට පුළුවන් වුණා. අනිත් අයගේ අඩුපාඩුකම් දරාගෙන වැඩ කරන්න ටිකක් අමාරු වෙද්දී සහෝදර වුඩ්වර්ත් මෙහෙම කියනවා. “අඩුපාඩුකම් තියෙන අපි වගේ අයව පාවිච්චි කරලා අපේ ස්වාමියා කොයි තරම් වැඩ කොටසක් කරලා තියෙනවද! ඇත්තටම එයා අපිට කොච්චර උදව් කරලා තියෙනවද!”
ඒ කාලේ සහෝදර ෆ්‍රෙඩ්රික් ෆ්‍රාන්සුත් අපිත් එක්ක හිටියා. එයාට බයිබලේ ගැන තිබුණ අවබෝධයෙන්, එයාට තිබුණ අද්දැකීම්වලින් අපි හැමෝටම ප්‍රයෝජන ලැබුණා. එයා අපි එක් එක් කෙනාගේ සැප දුක් නිතරම හොයලා බැලුවා. ඒ වගේ දෙවිට ආදරේ කරපු සහෝදරයෙක්ව ආශ්‍රය කරන්න ලැබුණ එක ආශීර්වාදයක්. අපිට කෑම හැදුවේ සහෝදර පීටර්සන්. එයාත් අභිෂේක ලත් සහෝදරයෙක්. එයාට සේවය ගැන තිබුණේ පුදුම උද්‍යෝගයක්. එයා බෙතෙල් එකේ කොච්චර මහන්සි වෙලා වැඩ කළත් සේවේ යන එක අතපසු කළේ නැහැ. හැම මාසෙකම එයා අපේ සඟරා සිය ගාණක් බෙදලා දෙනවා. එයාටත් බයිබලේ ගැන හොඳ දැනුමක් තිබුණා. අපි අහන ප්‍රශ්නවලට එයාට බයිබලෙන් උත්තර තිබුණා.
ප්‍රඥාවන්ත සහෝදරියන්ගෙනුත් මං ඉගෙනගත්තා
ෆාම් එකේ හැදෙන එළවළු, පලතුරු ෆාම් එකේම තිබුණ තැනක ටින් කළා. හැම අවුරුද්දකම එළවළු, පලතුරු ලීටර් 42,600ක් විතර එතන ටින් කරනවා. ඒවා ටින් කළේ බෙතෙල් පවුලේ ප්‍රයෝජනයට. ටින්
කරපු හැම කෑම වර්ගයකටම වට්ටෝරු සකස් කළේ සහෝදරි එටා හර්ත්. ඒ සහෝදරියත් එක්ක වැඩ කරන්න මටත් අවස්ථාව ලැබුණා. එයාත් හරිම ප්‍රඥාවන්ත සහෝදරියක්. ටින් කරන වැඩවලට හවුල් වෙන්න ළඟපාත සභාවල සහෝදරියනුත් ආවා. එයාලගේ වැඩ හොඳට සැලසුම් කරන්න උදව් කළේ සහෝදරි එටා. එයා එතන ලොකු වැඩ කොටසක් කළත් ෆාම් එකේ වැඩකටයුතු බලා කියා ගත්ත සහෝදරයන්ට එයා හැම වෙලාවෙම කීකරු වුණා. එයා මගේ මතකයේ ඉන්නේ පෙරමුණ ගත්ත අයට ගරු කරපු සහෝදරියක් හැටියටයි.ටින් කරන වැඩවලට උදව් කරන්න ආපු සහෝදරියන්ගෙන් කෙනෙක් ඇන්ජලා රොමානෝ. සත්‍යයට ආපු කාලේ සහෝදරි එටා එයාට උදව් කරලා තියෙනවා. එයාත් මට මුණගැහුණ ප්‍රඥාවන්ත සහෝදරියක්. 1958දී ඇන්ජියි මායි බැන්දා. දැන් අපි අවුරුදු 58ක් තිස්සේ එකට දෙවිට සතුටින් සේවය කරනවා. ගත වුණ කාලේ පුරාම ඇන්ජි යෙහෝවා දෙවිට පෙන්නපු ළැදිකම අපේ පවුල් ජීවිතේට ලොකු ශක්තියක්. මොන අභියෝග ආවත් එයා මාත් එක්ක ඉන්නවා කියලා මට කිසිම සැකයක් නැහැ.
මිෂනාරි සේවයෙත් චාරිකා සේවයෙත් රස බැලුවා
1957දී අපේ ගුවන්විදුලි මධ්‍යස්ථානය විකුණුවට පස්සේ මං ටික කාලයක් බෘක්ලින් බෙතෙල් එකේ වැඩ කළා. අපි විවාහ වුණාට පස්සේ මං බෙතෙල් එකෙන් ගියා. ඊටපස්සේ අවුරුදු 3ක් විතර ස්ටැටන් අයිලන්ඩ්වල පුරෝගාමි සේවය කළා. අපේ ගුවන්විදුලි මධ්‍යස්ථානය මිල දී ගත්ත අය ළඟත් මං ටික කාලයක් වැඩ කළා.
සංවිධානයෙන් කියන ඕනෙම තැනකට ගිහින් සේවය කරන්න තිබුණ ආසාව නිසා මමයි ඇන්ජියි තීරණය කළා සරල ජීවිතයක් ගත කරන්න. 1961දී නෙබ්‍රස්කා ප්‍රාන්තයේ ෆෝල්ස් සිටිවල විශේෂ පුරෝගාමි සේවය කරන්න අපිට පැවරුමක් ලැබුණා. එහේ ගිහින් වැඩි කල් යන්න කලින් අපිට පුහුණුවක් සඳහා පාසැලකට සහභාගි වෙන්න ආරාධනයක් ලැබුණා. ඒ පාසැල තිබුණේ දකුණු ලැන්සින්ග්වල. මාසයක් පුරා අපිට ලැබුණ ඒ පුහුණුව ගැන අපි හුඟක් සතුටු වුණා. අපි හිතුවේ ඒ පුහුණුවෙන් පස්සේ අපිව ආයෙමත් නෙබ්‍රස්කාවලට යවයි කියලා. ඒත් අපේ අලුත් පැවරුම කාම්බෝජයේ මිෂනාරි සේවය කියලා දැනගත්තම අපි දෙන්නා පුදුම වුණා. ගිනිකොනදිග ආසියාවේ තියෙන ඒ ලස්සන රටේදී අපි අහපු, දැකපු, අද්දැක්ක හැම දෙයක්ම අපිට අලුත්. එහේ අයට ශුභාරංචිය කියන්න අපිට තිබුණේ ලොකු ආසාවක්.
ඒත් එහේ දේශපාලන වාතාවරණය වෙනස් වුණ නිසා අපිට දකුණු වියට්නාමයට යන්න වුණා. අවුරුදු දෙකක් විතර එහේ සේවය කරකර ඉද්දී මං හොඳටම අසනීප වුණා. ඒ නිසා ආයෙමත් අපි එක්සත් ජනපදයට ආවා. මගේ අසනීපේ හොඳ වෙන්න ටික කාලයක් ගියා. ඒත් සෞඛ්‍ය හොඳ තත්වයට හැරුණ ගමන්ම අපි පුරෝගාමි සේවය පටන්ගත්තා.
1965 මාර්තු මාසේ ඉඳන් අපිට චාරිකා සේවයේ යන්න පැවරුමක් ලැබුණා. අපි අවුරුදු 33 තිස්සේ චාරිකා සහ දිස්ත්‍රික් සේවය කළා. ඒ කාලෙදී සමුළු සංවිධානය කරන වැඩවලටත් හවුල් වුණා. සමුළු කියන්නේ මං හරිම ආස දෙයක් නිසා මං ඒ වැඩවලට හවුල් වුණේ හුඟක් කැමැත්තෙන්. අවුරුදු කීපයක්ම අපි සේවය කළේ නිව් යෝර්ක් නගරේ අවට තිබුණ සභාවල.
බෙතෙල් සේවය කරන්න ආයෙත් ආරාධනයක්!
ගත වුණ අවුරුදු ගාණ පුරා අපේ පැවරුම් වෙනස් වුණා. අභියෝගයක් වුණ පැවරුමුත් ඒ අතරේ තිබුණා. දේවසේවා පුහුණු පාසැලේ උපදේශකයෙක් විදිහට සේවය කරන්න 1995දී මට පැවරුමක් ලැබුණා. බෙතෙල් සේවය කරන්න අපිට ආරාධනයක් ලැබුණේ ඊට අවුරුදු 3කට පස්සෙයි. මං විශේෂ පූර්ණකාලීන සේවය පටන්ගත්ත තැනට අවුරුදු 40කට පස්සේ ආයෙත්
එන්න ලැබුණ එක ගැන මට දැනුණේ ලොකු සතුටක්. ටික කාලයක් යන කල් මං සේවා අංශයෙත් විවිධ පාසැල්වල උපදේශකයෙක් හැටියටත් සේවය කළා. පාලක මණ්ඩලය 2007දී බෙතෙල් එකේ පවත්වපු හැම පාසැලක්ම එක අංශයක් යටතට ගෙනාවා. ඒ අංශය හැඳින්නුවේ සේවා පාසැල් අංශය කියලා. අවුරුදු කීපයක් යන කල්ම මම ඒ අංශය භාරව වැඩ කළා.බෙතෙල් එකේ පවත්වන පාසැල්වල මෑත කාලවලදී හුඟක් වෙනස්කම් කළා. 2008දී වැඩිමහල්ලන් සඳහා පාසැලක් පටන්ගත්තා. ඊටපස්සේ ගත වුණ අවුරුදු දෙක පුරා පැටර්සන් සහ බෘක්ලින් බෙතෙල් එකේ පවත්වපු ඒ පාසැලෙන් වැඩිමහල්ලන් 12,000ටත් වැඩිදෙනෙක් පුහුණුව ලැබුවා. දැන් ඒ පාසැල විවිධ තැන්වල පවත්වනවා. 2010දී දේවසේවා පුහුණු පාසැල, තනිකඩ සහෝදරයන් සඳහා බයිබල් පාසැල හැටියට නම් කළා. විවාහක යුවළයන් සඳහා බයිබල් පාසැල කියන අලුත් පාසැලකුත් හඳුන්වලා දුන්නා.
2015දී ඒ පාසැල් දෙකම එකට එකතු කරලා ඒක ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල හැටියට නම් කළා. විවාහක යුවළයන්ට, තනිකඩ සහෝදර සහෝදරියන්ට ඒ පාසැලට සහභාගි වෙන්න අවස්ථාව තියෙනවා. තමන්ගේ රටෙත් ඒ පාසැල පවත්වනවා කියලා දැනගත්තම ලෝකෙ පුරා ඉන්න හුඟක් අය සතුටු වුණා. තව හුඟදෙනෙක්ට ඒ පාසැල්වලට සහභාගි වෙන්න අවස්ථාව ලැබෙන එක කොයි තරම් දෙයක්ද! දෙවි ලබා දෙන පුහුණුවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන විදිහට තමන්ගේ ජීවිත සකස් කරගත්ත හුඟදෙනෙක්ව මුණගැහෙන්න මට ලැබුණ එක ලොකු ආශීර්වාදයක්.
එදා ඒ ගොවිපොළේදී මං බව්තීස්ම වුණ දවසේ ඉඳන් අද වෙන කල් ගත කරපු ජීවිතේ ගැන කල්පනා කරලා බලද්දී යෙහෝවා දෙවිට ආදරේ කරපු, ප්‍රඥාවන්ත අයගෙන් මට කොයි තරම් නම් උදව් ලැබිලා තියෙනවද කියලා පැහැදිලියි. දෙවිව හොඳින් දැන හඳුන ගන්න, දෙවිට තව හොඳින් සේවය කරන්න ඒ අය මට හුඟක් පැතිවලින් උදව් කළා. ඒ ගැන මං යෙහෝවා දෙවිට හැමදාම ස්තුති කරනවා. එයාලගෙන් සමහර අය මට වඩා බාලයි. තවත් අය මට වඩා වැඩිමල්. ඒ හුඟදෙනෙක් හැදුණ වැඩුණ පරිසරය මං හැදුණ පරිසරයට වඩා වෙනස්. ඒත් ඒ හැම කෙනෙක්ම කරපු කියපු දේවලින් එයාලා යෙහෝවා දෙවිට කොයි තරම් ආදරේද කියලා මං දැක්කා. දෙවිගේ සෙනඟ අතරින් ඒ වගේ යාළුවන් මට ලැබුණ එක කොච්චර වටිනවද!