හොඳ යාළුවෝ කවදාවත් යාළුකම අත්හරින්නේ නැහැ
අවුරුදු 50ක් තිස්සේ ජියාන්නියි මරිට්සියෝයි හොඳ යාළුවෝ. එයාලගේ යාළුකම අනතුරේ වැටුණ අවස්ථාවකුත් තිබුණා. මරිට්සියෝ මෙහෙම කියනවා. “මං දුෂ්කර දේකට මූණ දීලා හිටපු කාලෙක මගේ අතින් බරපතළ වැරදි කීපයක්ම වුණා. ඒකෙන් අපි දෙන්නා ටිකෙන් ටික ඈත් වුණා.” ජියාන්නි කියන්නේ මෙහෙමයි. “සත්‍යයට එන කාලේ මට පාඩම කළේ මරිට්සියෝ. එයා මට හුඟක් උදව් කළා. එයා කරපු දේවල් ගැන දැනගත්තම මට හිතාගන්න බැරි වුණා. දැන් අපිට යාළුවෝ වගේ ආශ්‍රය කරන්න බැරි වෙනවා කියලා මං දැනං හිටියා. ඒ ගැන හිතද්දී මට දැනුණේ ලොකු තනිකමක්.”
හොඳ යාළුවන්ගේ වටිනාකම මිල කරන්න බැහැ. එයාලා හැමදාටම අපිත් එක්ක ඉන්නවා. ඒ වගේ යාළුකමක් හතු පිපෙනවා වගේ එකපාරටම ඇති වෙන්නේ නැහැ. ඒත් එහෙම යාළුකමකට වුණත් තර්ජනයක් වෙන දෙයක් වුණොත් ඒක රැකගන්නේ කොහොමද? කිට්ටු යාළුකම් තිබුණ අය ගැන බයිබලෙත් කතා කරලා තියෙනවා. එයාලගේ යාළුකම අනතුරේ වැටුණ අවස්ථාවලදී එයාලා කළේ මොනවද?
යාළුවෙක් අතින් වරදක් වුණාම
දාවිත් රජට හොඳ යාළුවෝ හිටියා. එහෙම කියද්දී ඔයාට මුලින්ම මතක් වෙන්නේ යොනාතාන්ව වෙන්න ඇති. (1 සාමු. 18:1) අනාගතවක්තෘ නාතනුත් දාවිත්ට හිටපු තවත් හොඳ යාළුවෙක්. එයාලගේ යාළුකම පටන්ගත්තේ කොයි කාලෙදීද කියලා බයිබලේ කියන්නේ නැහැ. ඒත් එක අවස්ථාවක දාවිත් තමන්ගේ හිතේ තිබුණ දෙයක් ගැන නාතන්ට කිව්වා. යෙහෝවා දෙවි වෙනුවෙන් ගෘහයක් හදන්න එයාට තිබුණ ආසාව ගැන නාතන්ට හැඟුණේ කොහොමද කියලා දැනගන්න දාවිත්ට ඕනෙ වුණා. මොකද එයා හොඳ යාළුවෙක් වගේම දෙවිගේ අනාගතවක්තෘවරයෙක්.—2 සාමු. 7:2, 3.
එයාලගේ යාළුකම අනතුරේ වැටුණ අවස්ථාවකුත් තිබුණා. ඒ කොහොමද? දාවිත් රජ බැත්ෂෙබා එක්ක අනාචාරයේ යෙදුණා. ඊටපස්සේ 2 සාමු. 11:2-21) අවුරුදු ගාණක් පුරා දාවිත් දෙවිට විශ්වාසවන්තව හිටපු කෙනෙක්. යුක්තිගරුක රජ කෙනෙක්. ඒත් දැන් එයා මේ බරපතළ වරද කළා! එච්චර හොඳ කෙනෙක් ඒ වගේ දෙයක් කළේ කොහොමද? එයා කරපු දේ කොච්චර බරපතළද කියලා එයාට තේරුණේ නැද්ද? ඒ දේවල් දෙවිගෙන් හංගන්න පුළුවන් කියලා එයා හිතුවද?
එයාගේ පුරුෂයා වුණ උරියාව මරන්න සැලසුම් කළා. (දාවිත් කරපු දේ ගැන දැනගත්තම නාතන් මොනවා කරයිද? උරියාව මරන්න දාවිත් සැලසුම් කරපු විදිහ සමහරු දැනගෙන හිටියා. ඒ නිසා එයාලටම පුළුවන් දාවිත්ට මේ ගැන කතා කරන්න කියලා නාතන් හිතුවද? වරද පෙන්නලා දෙන්න ගිහින් යාළුකම නැති කරගන්නේ මොකටද කියලා එයා හිතුවද? සමහරවිට ඒකෙන් එයාගේ ජීවිතේටත් තර්ජනයක් වෙන්න ඉඩ තිබුණා. දාවිත් ඒ වෙද්දීත් උරියාව මරලා තිබුණ නිසා නාතන්ට එහෙම හිතන්න සාධාරණ හේතු තිබුණා.
ඒත් නාතන් දෙවි වෙනුවෙන් කතා කරපු කෙනෙක්. එයා නිහඬව හිටියොත් ඉස්සරහටත් එයාලට හොඳ යාළුවෝ වගේ ඉන්න බැහැ කියලත් තමන්ගේ හෘදය සාක්ෂිය තමන්ට දොස් කියයි කියලත් නාතන් දැනගෙන හිටියා. එයාගේ යාළුවා කළේ යෙහෝවා දෙවි අකමැති දෙයක්. දෙවි එක්ක ආයෙත් හොඳ බැඳීමක් ඇති කරගන්න නම් දාවිත්ට උදව් ඕනේ. හොඳ යාළුවෙක් ඒ වෙලාවේ කරන්නේ දාවිත් වැටිලා හිටපු වළෙන් ගොඩ එන්න එයාට අත දෙන එකයි. නාතන් ඇත්තටම හොඳ යාළුවෙක්. එයා දාවිත් කරපු දේ කොච්චර බරපතළද කියලා පෙන්නලා දෙන්න දාවිත්ගේ හිතට දැනෙයි කියලා හිතෙන කතන්දරයක් කිව්වා. ඒක එයා කියන්නේ දාවිත් කලින් එඬේරෙක් කියන දේ මතකයේ තියාගෙනයි. දෙවි නාතන්ට දන්වපු දේ දාවිත්ට කියන්න එයා තෝරගත්ත විදිහ නිසා වරදේ බරපතළකම දාවිත්ට තේරුණා. ඒ නිසා දාවිත් අවංකවම පසුතැවුණා.—2 සාමු. 12:1-14.
ඔයාගේ යාළුවා අතින් වරදක්, බරපතළ පාපයක් වුණොත් ඔයා මොකද කරන්නේ? වරද පෙන්නලා දුන්නොත් යාළුකම නැති වෙයි කියලා ඔයාට හිතෙනවද? නැත්නම් එයාට උදව් ඕන නිසා ඒ ගැන වැඩිමහල්ලන්ට කිව්වොත් ඒක යාළුවාට කරන ද්‍රෝහිකමක් කියලා ඔයාට හිතෙනවද?
ජියාන්නි මෙහෙම කියනවා. “මං මරිට්සියෝගේ වෙනසක් දැක්කා. එයා සමහර දේවල් හංගනවා කියලා මට තේරුණා. මං හිතුවා ඒ ගැන එයාත් එක්ක කතා කරන්න. ඒක කරන්න ලේසි නැහැ කියලා මං දැනං හිටියා. මොකද ‘එයා මගේ ගුරා. මට එයාට කියලා දෙන්න දෙයක් තියෙනවද? අනික මං කියන දේ එයා කොහොම භාරගනියිද’ කියලා මං හිතුවා. ඒත් අපි බයිබලෙන් ඉගෙනගත්ත දේවල් මං ආයෙත් මතක් කරගත්තා. එයාට කතා කරන්න ඒකෙන් මට හයියක් ආවා. මට උදව් ඕනෙ වුණ වෙලාවලදීත් මරිට්සියෝ ඒ දේම කළා. යාළුකම නැති වෙයි වගේ පේන්න තිබුණත් මට ඕනෙ වුණේ එයාට උදව් කරන්න. මොකද මං එයාට ආදරෙයි.”
“ජියාන්නි කියපු දේවල් හරි. මට මෙහෙම වුණේ එයා නිසාවත් දෙවි නිසාවත් නෙමෙයි මං ගත්ත වැරදි තීරණ නිසයි කියලා මං දැනං හිටියා. මට ලැබුණ හික්මවීම් මං පිළිගත්තා. ඒ නිසා කාලයක් යද්දී මට ආයෙත් යෙහෝවා දෙවි එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න පුළුවන් වුණා” කියලා මරිට්සියෝ කියනවා.
යාළුවෙක් කරදරේ වැටුණොත්
කටුක දේවලට මුහුණ දෙද්දී දාවිත්ව අත්හැරියේ නැති තවත් යාළුවෙක් හූෂයි. බයිබලේ එයාව හඳුන්වන්නේ “දාවිත් රජුගේ මිත්‍රයා” කියලා. (2 සාමු. 16:16; 1 ලේක. 27:33) හූෂයි රජමාලිගාවේ සේවය කරපු නිලධාරියෙක් වෙන්න ඇති. වෙන කවුරුත් දැනගෙන හිටියේ නැති සමහර පැවරුම් පවා දාවිත් එයාට භාර දුන්නා.
දාවිත්ගේ පුතා වුණ අබ්සලොම් රජකම පැහැරගන්න හදපු වෙලාවේ හුඟදෙනෙක් අබ්සලොම්ගේ පැත්ත ගත්තා. පුතායි තමන් විශ්වාස කරපු සමහර අයයි ඒ විදිහට ද්‍රෝහි වුණ එක ගැන දාවිත්ට දැනුණේ ලොකු දුකක්. ඒත් හූෂයි දාවිත්ට ළැදිව හිටියා. දාවිත් පලා යද්දී එයා දාවිත්ව හම්බ වෙන්න ගියා වගේම අබ්සලොම්ගේ කුමන්ත්‍රණය අසාර්ථක කරන්න දාවිත් යොදපු සැලැස්මට සහය දුන්නා. එයා එහෙම කළේ ජීවිතේ පරදුවට තියලයි. හූෂයි දාවිත්ට ළැදිව හිටියේ ඒක එයාගේ රාජකාරිය නිසාම නෙමෙයි එයා විශ්වාසවන්ත යාළුවෙක් නිසයි.—2 සාමු. 15:13-17, 32-37; 16:15–17:16.
අදත් දෙවිගේ සෙනඟ ආදරෙන් බැඳුණ පවුලක් වගේ. එයාලා එක් එක් කෙනාව ආශ්‍රය කරන්නේ ඒක තමන්ට තියෙන වගකීමක්, පැවරුමක් කියලා හිතලා නෙමෙයි. එයාලා කරන කියන
දේවලින් පැහැදිලි වෙන්නේ එයාලා හොඳ යාළුවෝ කියලයි. ඒක මවාපාන යාළුකමක් නෙමෙයි.මේ ෆෙඩ්රිකෝගේ අද්දැකීමයි. දුෂ්කර කාලෙක එයාගේ යාළුවා වුණ ඇන්ටෝනියෝ එයාට ලොකු හයියක් වුණා. ඒ ගැන ෆෙඩ්රිකෝ මෙහෙම කියනවා. “ඇන්ටෝනියෝ අපේ සභාවට ආපු කාලෙදීම වගේ අපි හොඳ යාළුවෝ වුණා. අපි දෙන්නම සහායක සේවකයෝ. සභාවේ දේවල් අපි කළේ එකට. ටික කාලයක් ගියාම එයා වැඩිමහල්ලෙක් වුණා. නමස්කාරයට සම්බන්ධ දේවලදී මං ආදර්ශයට ගත්තේ එයාව.” කාලයක් යද්දී ෆෙඩ්රිකෝ අතින් වරදක් වුණා. එයා ඉක්මනින්ම වැඩිමහල්ලන්ගෙන් උදව් ගත්තා. ඒත් සහායක සේවකයෙක් විදිහටවත් පුරෝගාමියෙක් විදිහටවත් සේවය කරන්න තවදුරටත් එයාට සුදුසුකම් තිබුණේ නැහැ. ඒ ගැන දැනගත්තම ඇන්ටෝනියෝ මොකද කළේ?
ෆෙඩ්රිකෝ මෙහෙම කියනවා. “මං දුකෙන් හිටපු නිසා ඒ ගැන ඇන්ටෝනියෝත් දුක් වෙනවා කියලා මට දැනුණා. එයා මාව අත්හැරියේ නැහැ. එයාට ඕනෙ වුණේ ආයෙත් දෙවි එක්ක හොඳ බැඳීමක් ඇති කරගන්න මට උදව් කරන්න. දෙවිට ආයෙත් ළං වෙන්න එයා මට නිතරම දිරිගැන්නුවා.” ඇන්ටෝනියෝ කියන්නේ මෙහෙමයි. “මං ෆෙඩ්රිකෝ එක්ක තව වැඩියෙන් කාලේ ගත කළා. ඕනෙම දෙයක් මාත් එක්ක නිදහසේ කතා කරන්න පුළුවන් කියන හැඟීම එයාට දෙන්නයි මට ඕනෙ වුණේ.” කාලයක් යද්දී ෆෙඩ්රිකෝට පුළුවන් වුණා ආයෙත් දෙවිට ළං වෙන්න. එයාව පුරෝගාමියෙක්, සහායක සේවකයෙක් විදිහට පත් කළා. “දැන් අපි ඉන්නේ සභා 2ක වුණත් අපේ යාළුකම වෙනදටත් වඩා ශක්තිමත්” කියලා ඇන්ටෝනියෝ කියනවා.
ද්‍රෝහි වුණා කියලා හැඟුණොත්?
උදව් ඕනෙම කරපු වෙලාවක ඔයාගේ කිට්ටු යාළුවා ඔයාව අත්හැරියොත් ඔයාට කොහොම හැඟෙයිද? දැනෙන වේදනාව විස්තර කරන්න වචන නැතුව ඇති. ඒත් එයාට සමාව දෙන්න ඔයාට පුළුවන්ද? කලින් වගේ ආයෙත් හොඳ යාළුවෝ වෙන්න පුළුවන් වෙයිද?
යේසුස්ට ඔහුගේ නියෝජිතයන් එක්ක විශේෂ බැඳීමක් තිබුණා. ඔහු එයාලා එක්ක හුඟක් කාලේ ගත කළා. එයාලව සැලකුවේ තමන්ගේ යාළුවන් හැටියට. (යොහ. 15:15) ඒත් යේසුස්ව අත්අඩංගුවට ගත්ත වෙලාවේ වුණ දේ මතකද? නියෝජිතයන් ඔහුව අත්හැරලා පලා ගියා. කවදාවත් යේසුස්ව අත්හරින්නේ නැහැ කියලා කිව්ව පේතෘස්, එදා රෑ යේසුස්ව අඳුරන්නෙවත් නැහැ කියලා කිව්වා.—මතෙ. 26:31-33, 56, 69-75.
සාතන් ගේන අවසන් පරීක්ෂණයට මුහුණ දෙන්න ඕනෙ තනියම කියලා යේසුස් දැනගෙන හිටියා. ඒත් තමන්ගේ කිට්ටු යාළුවන් කරපු දේ ගැන දුක් වෙන්න, කලකිරෙන්න ඕනෙ නම් යේසුස්ට තිබුණා. යේසුස් එයාලා එක්ක අමනාප වුණාද? ඔහුව නැවත නැඟිට්ටෙව්වට පස්සේ නියෝජිතයන්ව හම්බ වුණ වෙලාවේ ඔහු එයාලා එක්ක කතා කරපු දේවලින් ඔහුගේ හිතේ කිසිම තරහක් නැහැ කියලා පැහැදිලි වුණා. අත්අඩංගුවට ගත්ත වෙලාවේ ඔහුව අත්හැරලා ගිය එක ගැනවත් මෙච්චර කල් එයාලා අතින් වෙච්ච අඩුපාඩුකම් ගැනවත් යේසුස් කතා කළේ නැහැ.
ඒ වෙනුවට යේසුස් පේතෘස්වත් අනිත් නියෝජිතයන්වත් දිරිගන්වලා එතෙක් මෙතෙක් සිදු කරන වැදගත් කාර්යයක් එයාලට භාර දුන්නා. එහෙම කරන්න යේසුස්ට එයාලා ගැන කොච්චර විශ්වාසයක් තියෙන්න ඇද්ද! ඇත්ත, එයාලා අතින් වරදක් වුණා. ඒත් යේසුස් තවමත් එයාලව සැලකුවේ යාළුවන් හැටියට. ඔහු පෙන්නපු ආදරේ එයාලගේ හිතට තදින්ම වැදුණා. ආයේ කවදාවත් යේසුස්ට දුකක් නොදී ඉන්න එයාලා අදිටන් කරගන්න ඇති. ඒ නිසයි යේසුස් භාර දුන්න කාර්යය එයාලා සාර්ථකව කළේ.—ක්‍රියා 1:8; කොලො. 1:23.
එල්වීරායි එයාගේ හොඳ යාළුවෙක් වුණ ජූලියානායි අතරේ ප්‍රශ්නයක් ඇති වුණා. ඒ වෙලාවේ ජූලියානා වැඩ කරපු විදිහ ගැන එල්වීරා මෙහෙම කියනවා. “මං කරපු දේ නිසා එයාට ලොකු දුකක් දැනුණා කියලා එයා මට කිව්වම ඒක මට වාවගන්න බැරි වුණා. ඕනෙ නම් එයාට මාත් එක්ක තරහා වෙන්න තිබුණා. ඒත් එයා එහෙම කළේ නැහැ. එයා හිතුවේ මං ගැන. මං කරපු දේ නිසා මට වෙන හානිය ගැන. ඒක මගේ හිතට තදින්ම වැදුණා. මං එයාට කරපු දේට අවධානය දෙනවා වෙනුවට මට උදව් කරන්නයි එයාට ඕනෙ වුණේ. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. තමන්ගේ හැඟීම් පැත්තකට දාලා මං ගැන ඒ විදිහට සැලකිලිමත් වෙන යාළුවෙක්ව මට දුන්න එක ගැන මං යෙහෝවා දෙවිට ස්තුති කළා.”
යාළුකම අනතුරේ තියෙද්දී හොඳ යාළුවෙක් කරන්නේ මොකක්ද? අවශ්‍ය වෙලාවලදී විවෘතව ඒත් ආදරෙන් දේවල් කතා කරනවා. හොඳ යාළුවෙක් නාතන්, හූෂයි වගේ අමාරු අවස්ථාවලදීත් යාළුවා ළඟින්ම ඉඳලා එයාට හයියක් වෙනවා. යේසුස් වගේ සමාව දෙනවා. ඔයා ඒ වගේ යාළුවෙක්ද?