Skip to content

පටුනට යන්න

ආගන්තුක සත්කාරය පෙන්වීම අත්‍යවශ්‍ය දෙයක්!

ආගන්තුක සත්කාරය පෙන්වීම අත්‍යවශ්‍ය දෙයක්!

“කොඳුරන්නේ නැතුව එකිනෙකාට ආගන්තුක සත්කාරය දක්වන්න.”—1 පේතෘ. 4:9.

ගීතිකා: 100, 87

1. මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් ජීවත් වුණේ මොන වගේ තත්වයන් මැදද?

ක්‍රි.ව. 62ත් 64ත් අතර යම් කාලෙකදී පේතෘස් ‘පොන්තසය, ගලාතිය, කපදෝසිය, ආසියාව සහ බිතිනිය යන පළාත්වල තාවකාලිකව පදිංචි වෙලා හිටපු’ ක්‍රිස්තියානීන්ට ලිපියක් ලියුවා. (1 පේතෘ. 1:1) විවිධ පැතිවලින් ආපු එයාලට දිරිගැන්වීම්, මඟ පෙන්වීම් ඕනෙම වෙලයි තිබුණේ. මොකද “ගින්නක් හා සමාන දුෂ්කරතාවලට” එයාලා මුහුණ දුන්නා. එයාලා ජීවත් වුණෙත් භයානක කාලෙක. යෙරුසලම විනාශ වෙන්න තිබුණේ තව අවුරුදු 10කට වඩා අඩු කාලයක්. “සියලු දේවල අවසානය ළඟා වී ඇත” කියලා පේතෘස් කියපු දෙයින් ඒක පැහැදිලියි. ඒ අමාරු කාලෙට මුහුණ දෙන්න ක්‍රිස්තියානීන්ට උදව් වෙන්නේ මොනවාද?—1 පේතෘ. 4:4, 7, 12.

2, 3. ආගන්තුක සත්කාරය පෙන්නන්න කියලා පේතෘස් සහෝදරයන්ට කිව්වේ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

2 එයාලට උදව් වෙන එක දෙයක් ගැන පේතෘස් මෙහෙම කිව්වා. “එකිනෙකාට ආගන්තුක සත්කාරය දක්වන්න.” (1 පේතෘ. 4:9) “ආගන්තුක සත්කාරය” කියන්න යොදාගත්ත ග්‍රීක වචනෙන් අදහස් කළේ “නාඳුනන අයට කාරුණිකව සලකන්න” කියන දේයි. ඒත් පේතෘස් කිව්වේ “එකිනෙකාට” ඒ කියන්නේ එයාලා දැනටමත් දන්න අඳුරන, එකට දේවල් කරන සහෝදර සහෝදරියන්ට ආගන්තුක සත්කාරය පෙන්නන්න කියලයි.

3 එයා එහෙම කිව්වේ ආගන්තුක සත්කාරය පෙන්නද්දී එයාලා අතරේ තියෙන බැඳීම් තව ශක්තිමක් වෙන නිසයි. ඒක ඔයාත් අද්දැකලා ඇති. කවුරු හරි එයාලගේ ගෙදරට ඔයාට ආරාධනා කරලා ඔයාලා සතුටින් කාලේ ගත කරපු හැටි මතකද? නැත්නම් සභාවේ කාට හරි ඔයාගේ ගෙදරට එන්න කියලා එකට කාලේ ගත කළා මතකද? ඔයාලා අතරේ තිබුණ බැඳීම ඒකෙන් වැඩි වුණේ නැද්ද? ආගන්තුක සත්කාරය පෙන්නද්දී සහෝදරයන්ව තව හොඳින් අඳුරගන්න පුළුවන්. තත්වයන් දරුණු අතට හැරෙද්දී පේතෘස්ගේ කාලේ හිටපු අය එකිනෙකාට තව ළං වෙන එක අත්‍යවශ්‍ය වුණා. මේ “අවසාන කාලයේ” ඉන්න අපිත් කරන්න ඕනෙ ඒ දේමයි.—2 තිමෝ. 3:1.

4. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

4 “එකිනෙකාට” ආගන්තුක සත්කාරය පෙන්නන්න ලැබෙන අවස්ථා මොනවාද? ආගන්තුක සත්කාරය පෙන්නන එකෙන් අපි වැළකෙන්නේ ඇයි? ඒ බාධා ජය ගන්න පුළුවන් කොහොමද? ආගන්තුක සත්කාරය ලැබෙද්දී ඒක අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්න ගැන දැන් බලමු.

ආගන්තුක සත්කාරය පෙන්නන්න

5. රැස්වීම්වලදී අනිත් අයට ආදරෙන් සලකන්න පුළුවන් කොහොමද?

5 රැස්වීම්වලදී. රැස්වීම්වලට එන්න කියලා අපිට ආරාධනා කරන්නේ යෙහෝවා දෙවි සහ ඔහුගේ සංවිධානය. රැස්වීම්වලට එන හැමෝටම විශේෂයෙන්ම අලුත් අයට එයාලව සාදරයෙන් පිළිගත්තා කියන හැඟීම ඇති වෙනවාටයි අපි කැමති. (රෝම 15:7) අලුතින් එන අයටත් ආරාධනා කරලා තියෙන්නේ යෙහෝවා දෙවි. ඒ නිසා එයාලගේ පෙනුම, ඇඳුම් පැළඳුම් මොන වගේ වුණත් අපි එයාලට ආදරෙන් සලකන්න ඕනේ. (යාකො. 2:1-4) අලුතින් ආපු කෙනෙක් තනියම ඉන්නවා දැක්කොත් එයාව ඔයා ළඟ වාඩි කරවගන්න. රැස්වීමේදී මොනවාද වෙන්නේ කියලා එයාට කියන්න. කියවන බයිබල් පද හොයාගන්න උදව් කරන්න. ඒකත් ‘ආගන්තුක සත්කාරය පෙන්නන්න’ පුළුවන් විදිහක්.—රෝම 12:13.

6. අපි වැඩියෙන්ම ආගන්තුක සත්කාරය පෙන්නන්න ඕනෙ කාටද?

6 තේ එකක් බොන්න, කෑම වේලකට ආරාධනා කරලා. අතීතයේදී ආගන්තුක සත්කාරය පෙන්නුවේ අමුත්තන්ට ගෙදරට එන්න කියලා එයාලට කෑම වේලක් දීලයි. (උත්. 18:1-8; විනි. 13:15; ලූක් 24:28-30) එහෙම කළේ හොඳ යාළුවෝ වෙන්න, එයාලා අතරේ සාමය රැකගන්න තිබුණ කැමැත්ත නිසයි. අපි වැඩියෙන්ම ආගන්තුක සත්කාරය පෙන්නන්න ඕනෙ කාටද? අපේ සභාවේ ඉන්න සහෝදර සහෝදරියන්ට. ඉස්සරහට තත්වය තවත් දරුණු අතට හැරෙද්දී අපිට එකිනෙකාගේ උදව්, දිරිගැන්වීම් තව තවත් ඕනෙ වෙනවා. කාලයක් තිස්සේ ඇමරිකාවේ බෙතෙල් පවුලේ ‘මුරටැඹ’ පාඩම පටන්ගත්තේ ප.ව. 6:45ට. ඒත් 2011දී ඒක ප.ව. 6:15ට පටන්ගන්න පාලක මණ්ඩලය තීරණය කළා. ඒකට හේතුව විදිහට එයාලා කිව්වේ රැස්වීම වේලාසන ඉවර වෙන නිසා බෙතෙල් පවුලේ අයට එකිනෙකාට ආගන්තුක සත්කාරය පෙන්නන්න වැඩිපුර අවස්ථාව ලැබෙනවා කියලයි. වෙනත් ශාඛා කාර්යාලවලත් ඒ දේම කළා. ඒකෙන් බෙතෙල් පවුලේ අයට එකිනෙකාව හොඳින් අඳුරගන්න අවස්ථාව ලැබෙනවා.

7, 8. අපේ සභාවට දේශන දෙන්න එන සහෝදරයන්ට ආගන්තුක සත්කාරය පෙන්නන්න පුළුවන් කොහොමද?

7 වෙනත් සභාවල සහෝදරයෝ, චාරිකා සේවකයෝ, බෙතෙල් එකේ සහෝදරයෝ දේශන දෙන්න අපේ සභාවට එද්දී එයාලට ආගන්තුක සත්කාරය පෙන්නන්න. (3 යොහන් 5-8 කියවන්න.) අපිට පුළුවන් තේ එකක් බොන්න හරි කෑම වේලකට හරි එයාලට අපේ ගෙදරට ආරාධනා කරන්න.

8 ඇමරිකාවේ සහෝදරියක් මෙහෙම කියනවා. “ගෙවුණු අවුරුදු ගාණ පුරා අපේ සභාවට දේශන දෙන්න ආපු සහෝදරයන්ටයි, එයාලගේ භාර්යාවන්ටයි ආගන්තුක සත්කාරය පෙන්නන්න අපිට පුළුවන් වුණා. එහෙම කරපු හැම අවස්ථාවකදීම අපේ විශ්වාසය තව ශක්තිමත් වුණා. අපි ලොකු සතුටකුත් ලැබුවා.”

9, 10. (අ) අපේ ගෙදර නවාතැන් දීලා ආගන්තුක සත්කාරය පෙන්නන්න පුළුවන් කාටද? (ආ) අපේ නිවස පොඩි වුණත් ඒක කරන්න පුළුවන්ද? උදාහරණයක් දෙන්න.

9 ගෙදර නවාතැන් දීලා. අතීතයේදී හුඟක් අය අමුත්තන්ට තමන්ගේ ගෙවල්වල නවාතැන් දුන්නා. (යෝබ් 31:32; ෆිලෙ. 22) අපිටත් ඒක කරන්න පුළුවන්. චාරිකා සේවකයන් සභාවට එද්දී එයාලට නවතින්න තැනක් ඕනේ. සංවිධානය මගින් පවත්වන පාසැල්වලට සහභාගි වෙන ශිෂ්‍යයන්ට, ඉදි කිරීම්වලට හවුල් වෙන අයට නවාතැන් පහසුකම් ඕනේ. ආපදාවක් නිසා ඉන්න හිටින්න තැන් නැති වුණ සහෝදර සහෝදරියන්ටත් එයාලගේ ගෙවල් ආපහු හදන කල් හිසට සෙවණක් ඕනේ. ඒ වගේ අයට නවාතැන් දෙන්න පුළුවන් ලොකු ගෙවල් තියෙන අයට විතරයි කියලා හිතන්න එපා. ඒ අය මේ වෙද්දී ඒක කීප සැරයක්ම කරලා ඇති. ඔයාගේ ගෙදර පොඩි වුණත් නවාතැන් දෙන්න ඔයාටත් පුළුවන්.

10 විවිධ පාසැල්වලට සහභාගි වෙන්න ආපු අයට නවාතැන් දුන්න දකුණු කොරියාවේ සහෝදරයෙක් මෙහෙම කියනවා. “මුලින් එයාලට නවාතැන් දෙන්න මං ටිකක් අදිමදි කළා. මොකද එතකොට අපි බැඳලා වැඩි දවසක් නැහැ. හිටියෙත් පොඩි ගේක. ඒත් නවාතැන් දුන්න එකෙන් අපිට හුඟක් රසවත් අද්දැකීම් ලැබුණා. ඉලක්ක තියලා ඒවා ජය ගද්දී යුවළක් විදිහට කොයි තරම් සතුටක් ලබන්න පුළුවන්ද කියලා අපි එයාලත් එක්ක කාලේ ගත කරද්දී දැක්කා.”

11. සභාවට අලුතින් එන සහෝදරයන්ට ආගන්තුක සත්කාරය පෙන්නන්න ඕනෙ ඇයි?

11 සභාවට අලුතින් සහෝදර සහෝදරියන් ආවාම. වෙන සභාවකින් තනිකඩ සහෝදරයෙක්, සහෝදරියක් නැත්නම් පවුලක් අලුතින් ඔයාගේ සභාවට එන්න පුළුවන්. එයාලා ආවේ ඔයාගේ සභාවට උදව් කරන්න වෙන්න ඇති. නැත්නම් පුරෝගාමි සේවය කරන්න පැවරුමක් ලැබිලා ඇති. එයාලා අලුත් ප්‍රදේශයකට, සභාවකට, සමහරවිට අලුත් භාෂාවකට, අලුත් සංස්කෘතියකට පුරුදු වෙන්න ඕනේ. ඒක එයාලට ලොකු වෙනසක්. ඒ වගේ ආපු අයට ඔයාගේ ගෙදරට ආරාධනා කරන්න පුළුවන්ද? නැත්නම් එයාලවත් එක්කගෙන කොහේ හරි යන්න පුළුවන්ද? යාළුවෝ ඇති කරගන්න, වෙනසට හුරු වෙන්න ඒක එයාලට උදව්වක් වෙයි.

12. ආගන්තුක සත්කාරය පෙන්නන්න ගොඩක් දේවල් ඕනෙ නැහැ කියලා අද්දැකීමකින් පැහැදිලි වෙන්නේ කොහොමද?

12 ආගන්තුක සත්කාරය පෙන්නන්න ගොඩක් දේවල් ලෑස්ති කරන්න ඕනෙ නැහැ. (ලූක් 10:41, 42 කියවන්න.) බිරිඳත් එක්ක මිෂනාරි සේවය පටන්ගත්ත කාලේ වෙච්ච දෙයක් ගැන සහෝදරයෙක් මෙහෙම කියනවා. “ඒ කාලේ අපි තරුණයි. වැඩිය අද්දැකීම් තිබුණෙත් නැහැ. හැම වෙලේම වගේ අපිට ගෙදර මතක් වුණා. දවසක් මගේ බිරිඳට එයාගේ ගෙදර මතක් වෙලා හුඟක් දුකින් හිටියේ. එයාගේ හිත හදන්න මං කොච්චර උත්සාහ කළත් හරි ගියේ නැහැ. හවස 7:30ට විතර කවුදෝ දොරට තට්ටු කරනවා ඇහිලා ගිහින් බලද්දී බයිබල් පාඩමක් දොඩම් ගෙඩි තුනකුත් අරන් අපිව බලන්න ඇවිත් හිටියා. අපි එයාට ඇතුළට එන්න කියලා වතුර එකක් දීලා තේ ටිකක් හදන්න ගත්තා. ඒ වෙද්දී අපිට ස්වහීලී භාෂාව බැහැ. එයාට ඉංග්‍රීසි බැහැ. ඒත් එයා ආපු එකෙන් අපි ලොකු දිරිගැන්වීමක් ලැබුවා. සභාවේ හොඳ යාළුවෝ ඇති කරගන්නත් දිගටම එහේ සතුටින් සේවය කරන්නත් ඒ අද්දැකීම අපිට උදව් වුණා.”

බාධා ජය ගන්න

13. ආගන්තුක සත්කාරය පෙන්නන එක ඔයාට උදව් වෙන්නේ කොහොමද?

13 ආගන්තුක සත්කාරය පෙන්නන්න ඔයා අදිමදි කරලා තියෙනවාද? එහෙමනම් ඔයාට මඟහැරිලා තියෙන්නේ හොඳ යාළුවන් ඇති කරගන්න පුළුවන් වටිනා අවස්ථාවක්. දැනෙන පාළුව නැති කරගන්නත් ආගන්තුක සත්කාරය හොඳ විසඳුමක්. එහෙමනම් ඇයි සමහරු ඒක කරන්න අදිමදි කරන්නේ?

14. ආගන්තුක සත්කාරය පෙන්නන්න හරි ඒක පිළිගන්න හරි අපිට කාලේ, ශක්තිය නැත්නම් මොකද කරන්නේ?

14 කාලය, ශක්තිය. දෙවිගේ සෙනඟ හුඟක් කාර්යබහුලයි. ඒ නිසා ආගන්තුක සත්කාරය පෙන්නන්න කාලය, ශක්තිය වැය කරන එක අමාරු දෙයක් කියලා සමහරුන්ට හිතෙනවා. ඔයාටත් එහෙම හිතෙනවා නම් ඔයාගේ එදිනෙදා වැඩවල පොඩි වෙනසක් කරලා ආගන්තුක සත්කාරය පෙන්නන්න නැත්නම් ඒක පිළිගන්න කාලේ හොයාගන්න. ඒකෙන් කාලේ අපතේ යනවා කියලා හිතන්න එපා. මොකද බයිබලේ කියන්නේ ආගන්තුක සත්කාරය පෙන්නන එක අත්‍යවශ්‍ය දෙයක් කියලයි. (හෙබ්‍රෙ. 13:2) වැදගත්කමින් අඩු දේවලට යොදවන කාලේ අඩු කළොත් ඔයාට පුළුවන් ආගන්තුක සත්කාරය පෙන්නන්න කාලේ හොයාගන්න.

15. ආගන්තුක සත්කාරය පෙන්නන්න සමහරු අදිමදි කරන්නේ ඇයි?

15 තමන් ගැන අඩුවෙන් හිතන එක. ආගන්තුක සත්කාරය පෙන්නන්න ඕනෙ කියලා හිතුණත් ඒක කරන්න ඔයාට බැරි වෙයි කියලා හිතිලා තියෙනවාද? ඔයා වැඩිය කතා කරන්නේ නැති කෙනෙක් නම් අමුත්තන්ට කම්මැළි හිතෙයි කියලා ඔයා හිතනවා ඇති. නැත්නම් සමහරවිට ඔයාට හුඟක් සල්ලි නැති නිසා අනිත් සහෝදරයන් දෙනවා වගේ දේවල් දෙන්න බැහැ කියලා ඔයා හිතනවා ඇති. ආගන්තුක සත්කාරය පෙන්නන්න ලොකු ගෙයක්, අලුත් බඩු මුට්ටු ඕනෙ නැහැ. ගෙදර පිරිසිදුව, පිළිවෙළකට තියෙනවා නම්, ඔයා මිත්‍රශීලී නම් ඒ ඇති.

16, 17. ගෙදරට අමුත්තන් එන එක ගැන ඔයාට බයක් දැනෙනවා නම් කරන්න පුළුවන් මොනවාද?

16 අමුත්තන්ට සලකන එක ගැන ඔයාට පොඩි බයක් දැනෙනවාද? හුඟක් අයට එහෙම දැනෙනවා. බ්‍රිතාන්‍යයේ ඉන්න වැඩිමහල්ලෙක් මෙහෙම කියනවා. “කෙනෙක්ට ආරාධනා කළාම එයාට හරියට සලකන්න පුළුවන් වෙයිද කියලා පොඩි බයක් දැනෙනවා. දෙවිගේ සේවේ ඕනෙම දෙයක් කරද්දී මුලින් පොඩි බයක් දැනෙනවානේ. ඒත් ඒක කළාම දැනෙන සතුට, තෘප්තිය ඊට වඩා හුඟක් වැඩියි. ආගන්තුක සත්කාරය පෙන්නද්දීත් ඒක එහෙමයි. ලොකු දේවල් කරලා නෙමෙයි ගෙදරට ආපු අය එක්ක කෝපි එකක් බිබී කතා කරලත් මං ලොකු සතුටක් අද්දැකලා තියෙනවා.” ගෙදරට එන අය ගැන පෞද්ගලික සැලකිල්ලක් දක්වන්න. (ෆිලි. 2:4) හුඟක් අය කැමතියි එයාලගේ අද්දැකීම් ගැන කතා කරන්න. අනිත් අයගේ අද්දැකීම් ගැන දැනගන්න පුළුවන් හොඳම විදිහක් තමයි එයාලත් එක්ක එකට කාලය ගත කරන එක. තව වැඩිමහල්ලෙක් මෙහෙම කියනවා. “සභාවේ අයට ගෙදරට එන්න කියලා එයාලා එක්ක කතා කරද්දී එයාලව හොඳින් තේරුම්ගන්න, එයාලව තවත් හොඳින් අඳුරගන්න විශේෂයෙන්ම එයාලා සත්‍යයට ආපු විදිහ දැනගන්න පුළුවන් වෙනවා.” ගෙදරට එන අය ගැන පෞද්ගලික සැලකිල්ලක් පෙන්නද්දී ඒකෙන් හැමෝම සතුටක් ලබනවා.

17 විවිධ පාසැල්වලට සහභාගි වෙන අයට නවාතැන් දීපු පුරෝගාමි සහෝදරියක් මෙහෙම කිව්වා. “අපේ ගෙදර ගොඩක් දේවල් තිබුණේ නැහැ. ඒ නිසා නවාතැන් දෙන එක ගැන මං හිටියේ ටිකක් බයෙන්. ඒත් පාසැලේ උපදේශකයෙක්ගේ බිරිඳක් කියපු දෙයක් නිසා මගේ බය නැතුව ගියා. එයා කිව්වා එයාලා චාරිකා සේවයේ යද්දී ගොඩක් සතුටු වුණේ ඒ තරම් බඩු මුට්ටු නැතත් ජීවිතේ සරල කරගෙන දෙවිගේ සේවයට මුල් තැන දීපු අයගේ ගෙවල්වල නතර වෙන්න ලැබුණාම කියලා. එයා එහෙම කියද්දී අම්මා නිතරම කියපු දෙයක් මට මතක් වුණා. අම්මා කිව්වේ ‘ඉස්තරම්ම දේවල් ඕනෙ නැහැ, ප්‍රේමය ඇතුව එළවළු ටිකක් තිබුණත් ඇති’ කියලයි.” (හිතෝ. 15:17) අමුත්තන්ට වටින්නේ ඔයා පෙන්නන ආදරේ මිසක් ඔයාගේ බඩු මුට්ටු, ගෙදර නෙමෙයි.

18, 19. අනිත් අය ගැන හොඳ හැඟීමක් ඇති කරගන්න ආගන්තුක සත්කාරය පෙන්නන එක උදව් වෙන්නේ කොහොමද?

18 අනිත් අය ගැන ඔයාට හැඟෙන විදිහ. සභාවේ ඉන්න කෙනෙක් කරන කියන දේවල් ඔයාට එච්චර අල්ලන්නේ නැද්ද? එයා ගැන ඔයාට හැඟෙන විදිහ ඔයා වෙනස් කරගන්න උත්සාහ කළේ නැත්නම් ඒ හැඟීම් ඉබේම වෙනස් වෙන්නේ නැහැ. නැත්නම් කවුරු හරි ඔයාගේ හිත රිද්දලා තියෙනවා නම් ඒක අමතක කරලා එයාත් එක්ක සුහදව ආශ්‍රය කරන්න ඔයාට අමාරු ඇති. ඒ වගේ අයට ඔයාගේ ගෙදරට ආරාධනා කරන්න ඔයා කැමති වෙන එකක් නැහැ.

19 ඒත් බයිබලේ කියන්නේ ඔයා එක්ක තරහින් ඉන්න කෙනෙක්ට වුණත් ඔයා අගන්තුක සත්කාරය පෙන්නනවා නම් අමනාපකම් නැති කරගෙන හොඳ බැඳීමක් ඇති කරගන්න පුළුවන් කියලයි. (හිතෝපදේශ 25:21, 22 කියවන්න.) එයා එක්ක ආශ්‍රය කරද්දී එයා ගැන ඔයා හිතන් ඉන්න විදිහ වෙනස් කරගන්න ඔයාට පුළුවන් වෙනවා. දෙවි සත්‍යය ගැන එයාගේ හිතේ ආසාවක් ඇති කළේ එයා තුළ තිබුණ හොඳ ගුණාංග දැක්ක නිසයි. ඔයාටත් ඒ ගුණාංග දකින්න ඒ ආශ්‍රය උදව් වෙයි. (යොහ. 6:44) ඔයා ආරාධනා කරයි කියලා බලාපොරොත්තු නොවන කෙනෙක්ට ඔයාගේ ගෙදරට ආරාධනා කරන එක හොඳ මිතුදමක ආරම්භය වෙන්න පුළුවන්. ඒත් ඒක ආදරෙන් පෙලඹිලා කරන්න පුළුවන් කොහොමද? ඒක කරන්න පුළුවන් එක විදිහක් ෆිලිප්පි 2:3 තියෙනවා. එතන කියන්නේ “නිහතමානීව අන් අය ඔබට වඩා උතුම් කියා සිතන්න” කියලයි. අපේ සහෝදර සහෝදරියන් අපිට වඩා උතුම් වෙන්නේ මොන වගේ පැතිවලින්ද කියලා අපි හිතන්න ඕනේ. එයාලා පෙන්නන විශ්වාසය, විඳදරාගැනීම, එයාලට තියෙන වෙනත් හොඳ ගුණාංග අපිට ආදර්ශයට ගන්න පුළුවන් ඇති. එයාලගේ හොඳ පැති ගැන හිතන්න හිතන්න එයාලා ගැන තියෙන ආදරේ වැඩි වෙනවා වගේම එයාලට ආගන්තුක සත්කාරය පෙන්නන්න අපිට ලේසියි.

ඔයාටත් ආරාධනයක් ලැබුණොත්

අමුත්තන්ට හොඳින් සංග්‍රහ කරන්න ගෙදර අය කැමතියි (20 ඡේදය බලන්න)

20. ආරාධනයක් ලැබුණාම ඔයා ඒක අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? ඒ ඇයි?

20 “යෙහෝවා දෙවියනි, ඔබේ ශුද්ධ කූඩාරමට ඇතුල් විය හැක්කේ කාටද” කියලා දාවිත් ඇහුවා. (ගීතා. 15:1) ඊළඟට ඒකට ඇතුල් වෙන අයට තියෙන්න ඕනෙ එක සුදුසුකමක් ගැන දාවිත් මෙහෙම කිව්වා. “ඔහුට පාඩුවක් සිදු වුණත් ඔහු දුන් පොරොන්දු එලෙසම ඉටු කරයි.” (ගීතා. 15:4) කවුරු හරි එයාලගේ ගෙදරට එන්න කියලා කරපු ආරාධනය අපි භාරගත්තොත් හදිසිම කාරණයකදී හැර ඒ පොරොන්දුව කඩ කරන්න හොඳ නැහැ. අපි වෙනුවෙන් එයා යම් දේවල් ලෑස්ති කරලා ඇති. අන්තිම මොහොතේ ‘අපි එන්නේ නැහැ’ කියලා කිව්වොත් එයාගේ මහන්සිය අපතේ යයි. (මතෙ. 5:37) සමහරු ලැබිලා තියෙන ආරාධනයට වඩා හොඳයි කියලා හිතෙන ආරාධනයක් ලැබුණාම කලින් එක ප්‍රතික්ෂේප කරනවා. ඒක ප්‍රේමණීය දෙයක් නෙමෙයි. ආරාධනා කරපු කෙනා අපි වෙනුවෙන් ලෑස්ති කරන ඕනෙම දෙයක් අපි අගය කරන්න ඕනේ. (ලූක් 10:7) හදිසි කාරණයක් නිසා අපිට යන්න බැරි වෙනවා නම් ඒ ගැන කලින්ම කියන එක තමයි හොඳම දේ.

21. යම් ප්‍රදේශයක තියෙන චාරිත්‍රවලට ගරු කරන එකෙන් අපිට ලැබුණ ආරාධනය අපි අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

21 ආගන්තුක සත්කාරය පිළිගද්දී ඒ ප්‍රදේශයේ තියෙන චාරිත්‍රවලට ගරු කරන එකත් වැදගත්. සමහර ප්‍රදේශවල කලින් කියන්නේ නැතුව ගෙදරට එන අයටත් කැමැත්තෙන් ආගන්තුක සත්කාරය පෙන්නනවා. ඒත් සමහර පැතිවල ගෙදරකට යන්න කලින් එයාලට කියලා වෙලාවක් දාගෙන යන එක තමයි හොඳ. සමහරු ගෙදරට ආපු අයට හොඳම දේ දීලා ගෙදර අය කන්නේ ඊටපස්සේ. තවත් පැතිවල හැමෝම එකට ඉඳගෙන කෑම කනවා. සමහර පැතිවල කෙනෙක්ට ආරාධනා කළාම එයාත් මොනවා හරි හදාගෙන එනවා. තවත් අය එහෙම කිසිම දෙයක් අරන් එනවාට කැමති නැහැ. තවත් සංස්කෘතීන්වල කෙනෙක්ට ආරාධනා කළාම එයා ඒක පිළිගන්නේ වතාවක් දෙවතාවක් ඒක ප්‍රතික්ෂේප කළාට පස්සෙයි. තවත් අය එහෙම අදිමදි කරන එක සලකන්නේ පහත් කිරීමක් හැටියට. මොන දේ වුණත් අපි උත්සාහ කරන්න ඕනෙ අපිට ආරාධනා කරපු එක ගැන එයාලගේ හිතේ සතුටක් ඇති වෙන විදිහට වැඩ කරන්න.

22. ‘එකිනෙකාට ආගන්තුක සත්කාරය පෙන්නන’ එක හුඟක් වැදගත් ඇයි?

22 “සියලු දේවල අවසානය ළඟා වී ඇත” කියලා පේතෘස් කිව්වා. (1 පේතෘ. 4:7) මේ දුෂ්ට සමාජය තවත් නරක අතට හැරෙද්දී සහෝදරයන් ගැන අපිට තියෙන ආදරේ වැඩි කරගන්න ඕනේ. මීට කලින් අද්දැකලා නැති විදිහේ දුෂ්කරතාවලට අපි මුහුණ දෙන්න යනවා. ඒ නිසයි “එකිනෙකාට ආගන්තුක සත්කාරය දක්වන්න” කියලා පේතෘස් කියපු දේ වෙන කිසිදාකටත් වඩා අදට අදාළ වෙන්නේ. (1 පේතෘ. 4:9) අදත් හැමදාටමත් ආගන්තුක සත්කාරය පෙන්නලා අපි සතුටක් අද්දකිමු. ඒක අපේ ජීවිතේ අත්‍යවශ්‍ය දෙයක් කරගමු.