Skip to content

පටුනට යන්න

දෙමාපියෙනි, බව්තීස්මය කියන ඉලක්කය ජය ගන්න දරුවාට උදව් කරන්න

දෙමාපියෙනි, බව්තීස්මය කියන ඉලක්කය ජය ගන්න දරුවාට උදව් කරන්න

‘ඔබ තවත් ප්‍රමාද වන්නේ ඇයි? නැඟිට, බව්තීස්ම වෙන්න.’—ක්‍රියා 22:16.

ගීතිකා: 51, 135

1. දරුවන් බව්තීස්ම වෙන්න කලින් දෙමාපියන් ස්ථිර වෙන්න ඕනෙ මොකක් ගැනද?

“බව්තීස්ම වෙන්න ඕනෙ කියලා අම්මාටයි, තාත්තාටයි මං මාස ගාණක් තිස්සේ කියකියයි හිටියේ. එයාලත් නිතරම වගේ මාත් එක්ක ඒ ගැන කතා කළා. එයාලට ඕනෙ වුණේ බව්තීස්ම වෙන එකේ බැරෑරුම්කම මං තේරුම් අරන්ද ඉන්නේ කියලා ස්ථිර කරගන්න. 1934 දෙසැම්බර් 31වෙනිදා මං කාලයක් තිස්සේ බලන් හිටපු ඒ දවස උදා වුණා.” සහෝදරි බ්ලොසම් බ්‍රෑන්ට් ඒ විස්තර කළේ බව්තීස්ම වෙන්න එයා ගත්ත තීරණය ගැන. එයාගේ දෙමාපියන්ට වගේ අද ඉන්න දෙමාපියන්ටත් ඕනෙ තමන්ගේ දරුවාට ඥානවන්ත තීරණ ගන්න උදව් කරන්නයි. සාධාරණ හේතුවක් නැතුව බව්තීස්ම වෙන එක කල් දානවා නම් ඒකෙන් දරුවායි, යෙහෝවා දෙවියි අතරේ තියෙන බැඳීමට හානියක් වෙන්න පුළුවන්. (යාකො. 4:17) ඒත් යේසුස්ගේ ගෝලයෙක් වෙන වගකීම භාරගන්න දරුවා ලෑස්තිද කියලා එයා බව්තීස්ම වෙන්න කලින් දෙමාපියන් ස්ථිර කරගන්න ඕනේ.

2. (අ) චාරිකා සේවකයන්ගේ අවධානයට ලක් වෙලා තියෙන්නේ මොන කාරණයද? (ආ) මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

2 සමහර චාරිකා සේවකයන්ගේ අවධානයට ලක් වුණ දෙයක් තමයි වයස 18, 19 නැත්නම් 20 ගණන්වල මුල් කාලේ ඉන්න හුඟක් යෞවනයන් පොඩි කාලේ ඉඳලා සත්‍යයේ ඇතිදැඩි වෙලා තිබුණත් තවමත් බව්තීස්ම වෙලා නැහැ කියන දේ. එයාලගෙන් වැඩිදෙනෙක් රැස්වීම්, සේවයේ නිතිපතා යනවා. එයාලා තමන්ව හඳුන්වලා දෙන්නේ සාක්ෂිකරුවන් හැටියටයි. ඒත් මොකක් හරි හේතුවක් නිසා එයාලා ජීවිතේ දෙවිට කැප කරලා බව්තීස්ම වෙලා නැහැ. සමහර දරුවන් එහෙම නොකරන්නේ එයාලා බව්තීස්ම වෙන්න තාම සූදානම් නැහැ කියලා දෙමාපියන් හිතන නිසයි. දෙමාපියන් තමන්ගේ දරුවන්ට බව්තීස්ම වෙන්න උනන්දු නොකරන්න බලපාන හේතු 4ක් අපි මේ ලිපියෙන් බලමු.

දරුවා තවම පොඩි වැඩිද?

3. බ්ලොසම්ගේ දෙමාපියන්ට දැනගන්න ඕනෙ වුණේ මොකක්ද?

3 මුල් ඡේදයේ කතා කරපු බ්ලොසම්ගේ දෙමාපියන්ට ඕනෙ වුණේ පොඩි වයසේ හිටපු බ්ලොසම් බව්තීස්මයෙන් අදහස් කරන දේ, ඒකේ බැරෑරුම්කම තේරුම් අරන්ද ඉන්නේ කියලා දැනගන්නයි. දරුවා එයාගේ ජීවිතේ දෙවිට කැප කරන්න සූදානම්ද කියලා දෙමාපියන් දැනගන්නේ කොහොමද?

4. මතෙව් 28:19, 20 යේසුස් දීපු ආඥාව දෙමාපියන්ට උදව් වෙන්නේ කොහොමද?

4 මතෙව් 28:19, 20 කියවන්න. කෙනෙක් බව්තීස්ම වෙන්න ඕනෙ මෙන්න මේ වයසට ආවාට පස්සෙයි කියලා බයිබලේ සඳහන් වෙන්නේ නැහැ. ඒත් මතෙව් 28:19 සඳහන් යේසුස්ගේ ආඥාව ගැන බැරෑරුම්ව හිතන එකෙන් දෙමාපියන්ට වැදගත් දෙයක් තේරුම්ගන්න පුළුවන්. එතන යේසුස් කිව්වේ ඔහුගේ ගෝලයන් වෙන්න අනිත් අයට උදව් කරන්න කියලා. ඒ කියන්නේ දරුවාට බයිබලේ තියෙන සත්‍යයන් දෙමාපියන් උගන්වන්න ඕනෙ එයාට යේසුස්ගේ ගෝලයෙක් වෙන්න උදව් කරන ඉලක්කය ඇතුවයි. යේසුස්ගේ ගෝලයෙක් කියන්නේ ඔහුගේ ඉගැන්වීම් හොඳින් තේරුම් අරන් ඔහුට කීකරු වෙන කෙනෙක්ටයි. ළදරු වයසේ ඉඳන්ම දරුවාට උගන්වද්දී දෙමාපියන් එයාලගේ ඉලක්කය මතකයේ තියාගන්න ඕනේ. ඇත්ත, ළදරුවන්ට බව්තීස්ම වෙන්න බැහැ. ඒත් බයිබලේ තියෙන සත්‍යයන් තේරුම් අරන් ඒවාට ඇලුම් කරන්න පුංචි වයසේ ඉන්න දරුවන්ට වුණත් පුළුවන් කියලා බයිබලේ සඳහන් වාර්තාවලින් පැහැදිලියි.

5, 6. (අ) තිමෝති ගැන බයිබලේ සඳහන් විස්තරවලින් එයාගේ බව්තීස්මය ගැන අපිට හිතන්න පුළුවන් මොනවාද? (ආ) ඥානවන්ත දෙමාපියන් දරුවන්ට උදව් කරන්නේ කොහොමද?

5 තිමෝති යෙහෝවා දෙවිට සේවය කරන්න තීරණය කළේ පොඩි වයසේදීමයි. ශුද්ධ ලියවිලි ගැන තිමෝති ඉගෙනගත්තේ “ළදරු කාලයේ පටන්” කියලා පාවුල් කිව්වා. තිමෝතිගේ තාත්තා දෙවිට සේවය කරපු කෙනෙක් නෙමෙයි. ඒත් එයාගේ අම්මායි, ආච්චියි දේවවචනය ගැන හිතේ ලොකු ඇල්මක් ඇති කරගන්න එයාට උදව් කළා. ප්‍රතිඵලයක් විදිහට දෙවි ගැන ලොකු විශ්වාසයක් තිමෝතිට ඇති වුණා. (2 තිමෝ. 1:5; 3:14, 15) වයස 20ක් විතර වෙද්දී විශේෂ පැවරුම් ලබන්න තරම් සුදුසුකම් එයාට තිබුණා.—ක්‍රියා 16:1-3.

6 අපි දන්නවා හැම දරුවෙක්ම එක වගේ නැහැ කියලා. හැමෝම එකම වයසකදී අවබෝධයෙන් වැඩ කරන අය වෙයි කියලා හිතන්නත් බැහැ. සමහරුන්ට පොඩි වයසේදීම සත්‍ය ඉගැන්වීම් අවබෝධ කරගෙන ඥානවන්ත තීරණ ගන්න පුළුවන්. බව්තීස්ම වෙන එක ගැනත් එයාලා ඒ වයසේදී හිතනවා. තවත් අය ටිකක් ලොකු වෙන කල් ඉන්නවා බව්තීස්ම වෙන්න. කොහොමවුණත් ඥානවන්ත දෙමාපියන් බව්තීස්ම වෙන්න කියලා දරුවාට බල කරන්නේවත් හදිසි කරන්නේවත් නැහැ. ඒ වෙනුවට දරුවාටම ඒ තීරණය ගන්න එයාලා උදව් කරනවා. හිතෝපදේශ 27:11 (කියවන්න.) සඳහන් දේ දරුවා හිතට ගද්දී ඒ ගැන දෙමාපියන්ට සතුටු වෙන්න පුළුවන්. දෙමාපියෝ කොයිම වෙලාවකවත් අමතක කරන්න හොඳ නැහැ එයාලගේ ඉලක්කය යේසුස්ගේ ගෝලයෙක් වෙන්න දරුවාට උදව් කරන එකයි කියලා. ඒත් දෙමාපියෙක්ට මෙහෙම හිතෙන්න පුළුවන්. ‘දෙවිට ජීවිතේ කැප කරලා බව්තීස්ම වෙන්න තරම් දැනුමක් මගේ දරුවාට තියෙනවාද?’

දරුවාට තියෙන දැනුම ඇද්ද?

7. බව්තීස්ම වෙන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් බයිබලේ තියෙන හැම තොරතුරක් ගැනම දැනගෙන ඉන්න ඕනෙද? පැහැදිලි කරන්න.

7 දෙමාපියන් කැමති දරුවෝ සත්‍යය ගැන හොඳ දැනුමක් ලබාගන්නවාට. ජීවිතේ දෙවිට කැප කරන්න තීරණය කරන්න ඒ දැනුම දරුවාට උදව් වෙනවා. ඒත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ කැප වෙලා බව්තීස්ම වෙන්න කලින් එයා බයිබලේ තියෙන හැම තොරතුරක් ගැනම දැනගෙන ඉන්න ඕනෙ කියලා. යේසුස්ගේ ගෝලයෙක් වෙන හැම කෙනෙක්ම බව්තීස්ම වුණාට පස්සෙත් දිගටම බයිබලේ ගැන තියෙන දැනුම වැඩි කරගන්න ඕනේ. (කොලොස්සි 1:9, 10 කියවන්න.) එහෙමනම් බව්තීස්ම වෙන්න කොයි තරම් දැනුමක් කෙනෙක්ට තියෙන්න ඕනෙද?

8, 9. හිරගෙයි භාරකරුගේ සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

8 අතීතයේ හිටපු පවුලකින් අද ඉන්න දෙමාපියන්ට යමක් ඉගෙනගන්න පුළුවන්. (ක්‍රියා 16:25-33) ක්‍රි.ව. 50දී විතර පාවුල් එයාගේ දෙවෙනි මිෂනාරි සංචාරය යද්දී ෆිලිප්පිය කියන නගරෙටත් ගියා. එහේදී එයාටයි, සීලස්ටයි හොඳටම පහර දීලා එයාලව හිරගෙදරට දැම්මා. එදා රෑ ලොකු භූමිකම්පාවක් ඇති වෙලා හිරගෙදර දොරවල් ඔක්කොම ඇරුණා. හිරකරුවෝ පැනලා යන්න ඇති කියලා හිතපු හිරගෙයි භාරකරු එයාගේ ජීවිතේ නැති කරගන්න හැදුවා. ඒත් පාවුල් එයාව නැවැත්තුවා. ඊටපස්සේ පාවුල් සීලස් එක්ක එකතු වෙලා හිරගෙදර භාරකරුටයි, එයාගේ පවුලේ අයටයි යේසුස් ගැන සත්‍යය කියලා දුන්නා. යේසුස් ගැන ඉගෙනගත්ත දේවල් ගැන එයාලට ඇති වුණේ ලොකු විශ්වාසයක්. යේසුස්ට කීකරු වෙන එක කොච්චර වැදගත්ද කියලත් එයාලට තේරුණා. එදාම එයාලා බව්තීස්ම වුණා. ඒ සිද්ධියෙන් අපිට මොනවාද ඉගෙනගන්න පුළුවන්?

9 හිරගෙයි භාරකරු විශ්‍රාම ගිය රෝම සොල්දාදුවෙක් වෙන්න ඇති. එයාට දේවවචනය ගැන දැනුමක් තිබුණේ නැහැ. ඒත් පාවුල් එක්ක කතා කරපු ඒ කෙටි කාලය ඇතුළත ශුද්ධ ලියවිලිවල තියෙන මූලික ඉගැන්වීම් ගැනත් දෙවි ඔහුගේ සේවකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලත් තේරුම්ගන්න එයාට පුළුවන් වුණා. යේසුස්ට කීකරු වෙන්න කැමැත්තකුත් එයාගේ හිතේ ඇති වුණා. ඒ දේවල් එයාට උදව් වුණා බව්තීස්ම වෙන්න තීරණය කරන්න. බව්තීස්ම වුණාට පස්සේ එයා අනිවාර්යයෙන්ම දෙවි ගැන තවත් ඉගෙනගන්න ඇති. ඔයාගේ දරුවා ඔයාට කිව්වොත් යෙහෝවා දෙවිට එයා ආදරේ නිසාත් දෙවිට කීකරු වෙන්න කැමති නිසාත් එයාට බව්තීස්ම වෙන්න ඕනෙ කියලා ඔයා මොනවාද කරන්න ඕනේ? සභාවේ වැඩිමහල්ලන් එක්ක ඒ ගැන කතා කරන්න කියලා එයාව දිරිගන්වන්න. එතකොට එයාලට පුළුවන් බව්තීස්ම වෙන්න දරුවාට සුදුසුකම් තියෙනවාද කියලා තීරණය කරන්න. * බව්තීස්ම වුණ අනිත් අයට වගේ එයාටත් පුළුවන් සදාකාලයටම යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න.—රෝම 11:33, 34.

දරුවාට දෙන්න පුළුවන් හොඳම අධ්‍යාපනය මොකක්ද?

10, 11. (අ) සමහර දෙමාපියන් හිතන්නේ මොන විදිහටද? (ආ) දරුවෙක්ට සැබෑ ආරක්ෂාව ලැබෙන්නේ මොන දෙයින්ද?

10 දරුවා හොඳට ඉගෙනගෙන, හොඳ රස්සාවක් හොයාගත්තාට පස්සේ බව්තීස්ම වෙන එක තමයි හොඳම දේ කියලා සමහර දෙමාපියන් හිතනවා. එයාලා එහෙම හිතන්නේ හොඳ චේතනාවෙන් වුණත් මේ ප්‍රශ්න ගැන හිතන්න එයාලට පුළුවන්. ‘එහෙම කළොත් මගේ දරුවාට එයාගේ ජීවිතේ ඇත්තටම සාර්ථක කරගන්න පුළුවන් වෙයිද? ඒක අපි බයිබලෙන් ඉගෙනගන්න දේවලට එකඟද? යෙහෝවා දෙවි කැමති අපි අපේ ජීවිතේ කොහොම ගත කරනවාටද?’—දේශනාකාරයා 12:1 කියවන්න.

11 අමතක කරන්න එපා මේ දුෂ්ට සමාජය හිතන්නේ දෙවි හිතන විදිහට නෙමෙයි කියලා. ඒකේ තියෙන කිසිම දේකින් දෙවි බලාපොරොත්තු වෙන දේ ඉටු වෙන්නේ නැහැ. (යාකො. 4:7, 8; 1 යොහ. 2:15-17; 5:19) දරුවාට දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියෙනවා නම් ඒක තමයි සාතන්ගෙන්, දුෂ්ට සමාජයෙන් ආරක්ෂා වෙන්න පුළුවන් හොඳම විදිහ. ඒත් දෙමාපියෝ හොඳට ඉගෙනගන්න එකට, හොඳ රස්සාවක් කරන එකට දරුවාගේ අවධානය වැඩිපුර යෙදෙව්වොත් දරුවා හිතයි දෙවි එක්ක තියෙන බැඳීමට වඩා ඒ දේවල් වටිනවා කියලා. ඒක හරිම භයානකයි. ‘සතුට ලබාගන්න පුළුවන් මෙන්න මේ විදිහටයි’ කියලා ඔයාගේ දරුවාට උගන්වන්න ඔයා මේ සමාජයට ඉඩ දෙනවාද? සාර්ථක වෙන්නත් නියම සතුට අද්දකින්නත් පුළුවන් වෙන්නේ අපේ ජීවිතේ මුල් තැන යෙහෝවා දෙවිට දුන්නොත් විතරයි.—ගීතාවලිය 1:2, 3 කියවන්න.

දරුවා අතින් බරපතළ වරදක් වුණොත්?

12. සමහර දෙමාපියන් බව්තීස්ම වෙන එක කල් දාන්න කියලා දරුවාට කියන්නේ ඇයි?

12 බව්තීස්මය කල් දාන්න කියලා තමන්ගේ දුවට කිව්ව හේතුව ගැන එක අම්මා කෙනෙක් මෙහෙම කිව්වා. “දුව දැන්ම බව්තීස්ම වෙනවාට මං ගොඩක්ම අකමැති වුණේ සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන සැලැස්ම නිසයි.” ඒ සහෝදරිය හිතුවා වගේ සමහර දෙමාපියන් හිතනවා දරුවා මෝඩ විදිහට වැඩ කරන කාලේ පහු කළාට පස්සේ බව්තීස්ම වුණොත් හොඳයි කියලා. (උත්. 8:21; හිතෝ. 22:15) ‘බව්තීස්ම වුණ කෙනෙක් අතින් වරදක් වුණොත් තමයි එයාව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන්නේ. දරුවා බව්තීස්ම නොවී ඉන්න තාක් කල් ඒ දේ එයාට වෙන්නේ නැහැ’ කියන අදහස ඒ දෙමාපියන්ට තියෙනවා. ඒත් ඒ අදහස වැරදි ඇයි?—යාකො. 1:22.

13. කෙනෙක් බව්තීස්ම වෙලා නැත්නම් එයා කරන දේවල් ගැන දෙවිට ගණන් දෙන්න ඕනෙ නැද්ද? පැහැදිලි කරන්න.

13 දරුවා එයාගේ ජීවිතේ දෙවිට කැප කරන්න සූදානම් නැත්නම් එයා බව්තීස්ම වෙනවා දකින්න දෙමාපියන් අකමැති වෙන එක සාධාරණයි. ඒත් බව්තීස්මයට කලින් දරුවා එයා කරන දේවලට දෙවිට ගණන් දෙන්න ඕනෙ නැහැ කියලා හිතන එක වැරදියි. කෙනෙක් බව්තීස්ම වෙලා හිටියත් නැතත් හරි වැරැද්ද ගැන යෙහෝවා දෙවි කියලා තියෙන දේවල් දන්නවා නම් එයා තමන් කරන කියන දේවලට දෙවිට ගණන් දෙන්න ඕනේ. (යාකොබ් 4:17 කියවන්න.) ඥානවන්ත දෙමාපියන් බව්තීස්ම වෙන එක පරක්කු කරන්න කියලා දරුවාට කියන්නේ නැහැ. ඒ වෙනුවට දෙවි හරියි කියන දේවලට ඇලුම් කරන්නත් දෙවි වැරදියි කියන දේවලට වෛර කරන්නත් පොඩි වයසේ ඉඳන්ම දරුවාට උගන්වනවා. එයාලත් ඒ දේම කරලා දරුවාට ආදර්ශයක් වෙනවා. (ලූක් 6:40) දරුවාගේ හිතේ දෙවි ගැන ආදරයක් තියෙනවා නම් එයා බරපතළ වැරදි කරන්නේ නැහැ. මොකද දෙවි ගැන එයාගේ හිතේ තියෙන ආදරේ හරි දේ කරන්න එයාව පොලඹවනවා.—යෙසා. 35:8.

අනිත් අයත් උදව් කරයි

14. දෙමාපියන්ට සහය වෙන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද?

14 බව්තීස්මය කියන ඉලක්කය ජය ගන්න දරුවන්ට උදව් කරන්න දෙමාපියන් ගන්න උත්සාහයට සහය වෙන්න වැඩිමහල්ලන්ට පුළුවන්. ඒක කරන්න පුළුවන් එක විදිහක් තමයි දෙවිගේ සේවයේ තියාගන්න පුළුවන් ඉලක්ක ගැන දරුවෝ එක්ක කතා කරන එක. දවසක් සහෝදර රසල් වයස 6ක දැරියක් එක්ක ඒ දැරියගේ ඉලක්ක ගැන විනාඩි 15ක් විතර කතා කළා. පස්සේ කාලෙක පුරෝගාමි සේවය පටන්ගත්ත ඒ දැරිය අවුරුදු 70කටත් වැඩි කාලයක් ඒ සේවය කළා. දිරිගන්වන වචන ටිකකට පුළුවන් කෙනෙක්ගේ මුළු ජීවිතේම වෙනස් කරන්න. (හිතෝ. 25:11) නමස්කාර මධ්‍යස්ථානයේ කරන සමහර වැඩවලට දෙමාපියන් එක්ක දරුවන්ව හවුල් කරගන්නත් වැඩිමහල්ලන්ට පුළුවන්. දරුවාගේ වයසට, හැකියාවන්ට ගැළපෙන විදිහට පොඩි පොඩි වැඩ එයාට භාර දෙන්න.

15. දරුවන්ට උදව් කරන්න සභාවේ ඉන්න අනිත් අයට පුළුවන් කොහොමද?

15 දරුවෝ ගැන පෞද්ගලික සැලකිල්ලක් දක්වලා එයාලට උදව් කරන්න සභාවේ ඉන්න අනිත් අයටත් පුළුවන්. ඔයා හොඳ අවධානයකින් ඉන්නවා නම් දරුවෙක් දෙවි එක්ක එයාට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උත්සාහයක් ගන්නවා කියලා එයා කරන කියන දේවලින් දකින්න පුළුවන් වෙයි. උදාහරණෙකට එයා රැස්වීමේදී අර්ථවත් විදිහට උත්තරයක් දුන්නාද? සති මැද රැස්වීමේදී එයාට පැවරුමක් ලැබිලාද? එයා ඉස්කෝලේදී කාට හරි සාක්ෂි දරලාද? වැරදි පෙලඹීමකට අහු නොවී එයා හරි දේ කරලාද? එහෙමනම් එයාව අගය කරන්න. හැම රැස්වීමකටම කලින්, රැස්වීම ඉවර වුණාම දරුවන් එක්ක කතා කරන්න කාලේ ගන්න. අපි එහෙම කරද්දී දරුවන්ට දැනෙයි එයාලත් සභාවේ වටිනා සාමාජිකයන් කියලා.—ගීතා. 35:18.

බව්තීස්ම වෙන්න දරුවාට උදව් කරන්න

16, 17. (අ) දරුවන් බව්තීස්ම වෙන එක වැදගත් ඇයි? (ආ) දෙමාපියන්ට අද්දකින්න පුළුවන් ලොකුම සතුට මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

16 යෙහෝවා දෙවිට ආදරේ කරන්න තමන්ගේ දරුවන්ට උගන්වන වගකීම දෙමාපියන්ට ලැබිලා තියෙන වටිනාම වගකීමයි. (ගීතා. 127:3; එෆී. 6:4) අතීතයේ ඊශ්‍රායෙල්වරු ජාතියක් විදිහට දෙවිට කැප වෙලා හිටපු නිසා එයාලගේ දරුවෝ ඉපදුණේම දෙවිට කැප වුණ අය විදිහට. ඒත් අපේ දරුවෝ උපතින්ම දෙවිට කැප වුණ අය නෙමෙයි. දෙමාපියෝ යෙහෝවා දෙවිට ආදරේ කළා කියලා, සත්‍ය ඉගැන්වීම්වලට ඇලුම් කළා කියලා දරුවොත් ඒ දේම කරයි කියලා හිතන්න බැහැ. දෙවිට ජීවිතේ කැප කරලා, බව්තීස්ම වෙලා යේසුස්ගේ ගෝලයෙක් වෙන්න දරුවාට උදව් කරන එකයි දරුවා ඉපදුණ දවසේ ඉඳන්ම දෙමාපියන්ගේ ඉලක්කය වෙන්න ඕනේ. දෙමාපියන්ට දරුවා වෙනුවෙන් කරන්න ඊට වඩා වටිනා දෙයක් තවත් නැහැ. මොකද දෙවිට කැප වෙලා, බව්තීස්ම වෙලා, දිගටම විශ්වාසවන්තව සේවය කරන කෙනෙක්ට මහත් පීඩාවෙන් බේරෙන්න අවස්ථාව ලැබෙනවා.—මතෙ. 24:13.

දෙමාපියන්ගේ ඉලක්කය වෙන්න ඕනෙ යේසුස්ගේ ගෝලයෙක් වෙන්න දරුවාට උදව් කරන එක (16 සහ 17 ඡේද බලන්න)

17 මුල් ඡේදයේ සඳහන් කරපු බ්ලොසම් බව්තීස්ම වෙන්න කැමතියි කිව්වාම මුලින්ම එයාගේ දෙමාපියෝ එයා ඇත්තටම ඒකට ලෑස්තිද කියලා ස්ථිර කරගත්තා. ඊටපස්සේ එයා ගත්ත තීරණයට උදව් කළා. බව්තීස්ම වෙන්න කලින් දවසේ රෑ වුණ දෙයක් ගැන බ්ලොසම් මෙහෙම කියනවා. “එදා තාත්තා අපි හැමෝම එක්ක දෙවිට යාච්ඤාවක් කළා. ‘යෙහෝවා දෙවියනි, මගේ පුංචි දුව එයාගේ ජීවිතේ ඔබට කැප කරන්න ගත්ත තීරණය ගැන මට ගොඩක් සතුටුයි’ කියලා තාත්තා කිව්වා. අවුරුදු 60කට පස්සෙත් මට ඒ වචන අද වගේ මතකයි. ඒක කවදාවත් මට අමතක වෙන්නේ නෑ.” දෙමාපියෙනි, ඔයාගේ දරුවා එයාගේ ජීවිතේ දෙවිට කැප කරලා දෙවිගේ සේවකයෙක් විදිහට බව්තීස්ම වෙද්දී ඔයාටත් ඔයාගේ ජීවිතේ ලොකුම සතුට අද්දකින්න පුළුවන් වෙයි.

^ 9 ඡේ. ‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්’ 2වන පොතේ 304-310 පිටුවල තියෙන තොරතුරු දරුවා එක්ක සාකච්ඡා කරන්න දෙමාපියන්ට පුළුවන්. 2011 අප්‍රියෙල් ‘අපගේ රාජ්‍ය සේවාවේ’ 2වෙනි පිටුවේ “ප්‍රශ්න පෙට්ටිය” බලන්න.