Skip to content

පටුනට යන්න

බව්තීස්මය අපි ගන්නම ඕන පියවරක්

බව්තීස්මය අපි ගන්නම ඕන පියවරක්

‘ඔබ දැන් ගැලවෙන්නේ බව්තීස්මය මගිනි.’—1 පේතෘ. 3:21.

ගීතිකා: 52, 41

1, 2. (අ) තමන්ගේ දුව නැත්නම් පුතා බව්තීස්ම වෙන්න කැමතියි කියද්දී සමහර දෙමාපියන්ට හැඟෙන්නේ කොහොමද? (ආ) බව්තීස්ම වෙන්න සූදානමින් ඉන්න අයගෙන් එයාලා ජීවිතේ දෙවිට කැප කරලාද කියලා අහන්නේ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

මරියා අනිත් බව්තීස්ම අපේක්ෂකයන් එක්ක හිටගෙන ඉද්දී එයාගේ දෙමාපියන් එයා දිහා බලාගෙන හිටියේ සතුටින්. කථිකයා අහපු ප්‍රශ්න දෙකට මරියා ශබ්ද නඟලා උත්තර දුන්නා. ටික වෙලාවකට පස්සේ එයා බව්තීස්ම වුණා.

2 දුව එයාගේ ජීවිතේ දෙවිට කැප කරලා බව්තීස්ම වුණ එක ගැන මරියාගේ දෙමාපියන්ට දැනුණේ කියාගන්න බැරි සතුටක්. ඒත් එයා බව්තීස්ම වෙන්න කැමතියි කිව්වාම අම්මාට පොඩි බයක් දැනුණේ නැතුවමත් නෙමෙයි. ‘බව්තීස්ම වෙන්න මරියා පොඩි වැඩිද? යෙහෝවා දෙවිට ජීවිතේ කැප කරන එක කොයි තරම් බැරෑරුම් තීරණයක්ද කියලා දුව තේරුම් අරන්ද ඉන්නේ? තව ටිකක් හිටියොත් හොඳ නැද්ද?’ ඔය වගේ ප්‍රශ්න තමයි මරියාගේ අම්මාගේ හිතේ වැඩ කළේ. එයාට විතරක් නෙමෙයි තමන්ගේ දරුවා බව්තීස්ම වෙන්න කැමතියි කියද්දී හුඟක් දෙමාපියන්ට එහෙම හිතෙනවා. (දේශ. 5:5) මොකද ජීවිතේ දෙවිට කැප කරලා බව්තීස්ම වෙන්න ගන්න තීරණය තමයි කෙනෙක් ගන්න වැදගත්ම තීරණය.—“ ඔයා යෙහෝවා දෙවිට කැප වෙලාද?” යන කොටුව බලන්න.

3, 4. (අ) බව්තීස්ම වෙන එකේ වැදගත්කම පේතෘස් පැහැදිලි කළේ කොහොමද? (ආ) නෝවා නැව හදපු සිද්ධියට බව්තීස්ම වෙන එක සමාන කරලා තියෙන්නේ ඇයි?

3 බව්තීස්ම වෙන එක පේතෘස් සමාන කළේ නෝවා නැව හදපු සිද්ධියට. එයා මෙහෙම කිව්වා. “එම සිද්ධිය බව්තීස්මයට සංකේතයකි. ඔබ දැන් ගැලවෙන්නේ ඊට සමාන බව්තීස්මයක් මගිනි.” (1 පේතෘස් 3:20, 21 කියවන්න.) දෙවි කැමති දේ මුළු හදවතින්ම කරන්න නෝවාට තිබුණ කැමැත්ත නැව හදපු එකෙන් පැහැදිලිව පෙනුණා. එයාවිශ්වාසවන්තව දෙවි එයාට භාර දුන්න කාර්යය කළා. විශ්වාසයෙන් පෙලඹිලා එයා කරපු ඒ දේ නිසයි එයායි, එයාගේ පවුලේ අයයි ජලගැල්මෙන් බේරුණේ. පේතෘස් කියන්න හැදුවේ මොකක්ද?

4 නෝවා හදපු නැව දකිද්දී නෝවාට දෙවි ගැන ලොකු විශ්වාසයක් තිබුණා කියලා අනිත් අය හොඳින්ම දැක්කා. කෙනෙක් බව්තීස්ම වෙද්දීත් අනිත් අය දකින දෙයක් තියෙනවා. ඒ තමයි ඒ කෙනා යේසුස්ගේ ජීවිත පූජාව ගැනත් ඔහුගේ නැවත නැඟිටුවීම ගැනත් විශ්වාසය තියලා එයාගේ ජීවිතේ දෙවිට කැප කරලා තියෙනවා කියන දේ. බව්තීස්ම වෙන අයත් නෝවා වගේ දෙවිට කීකරු වෙලා දෙවි එයාලට භාර දීලා තියෙන කාර්යය උපරිමයෙන් කරනවා. යෙහෝවා දෙවි ජලගැල්මෙන් නෝවාව බේරගත්තා වගේ මේ දුෂ්ට සමාජය විනාශ කරද්දී බව්තීස්ම වෙලා ඉන්න ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්වත් බේරගන්නවා. (මාක් 13:10; එළි. 7:9, 10) කෙනෙක් බව්තීස්ම වෙන එක කල් දානවා නම් එයාට සදාකාල ජීවිතය අහිමි වෙන්න ඉඩ තියෙනවා. ජීවිතේ දෙවිට කැප කරලා බව්තීස්ම වෙන එක කොච්චර වැදගත් දෙයක්ද!

5. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවාද?

5 බව්තීස්ම වෙන එක වැදගත් දෙයක් කියලා අපි දැනගත්තා. ඒ නිසා අපි මේ ප්‍රශ්නවලට උත්තර බලමු. (1) බව්තීස්මය ගැන බයිබලේ කියන්නේ මොනවාද? (2) බව්තීස්ම වෙන්න නම් ඊට කලින් කෙනෙක් කරන්න ඕනෙ මොනවාද? (3) අපේ දරුවන්ට, බයිබල් පාඩම්වලට උගන්වද්දී බව්තීස්මය වැදගත් පියවරක් කියලා අපි නිතරම මතක තියාගන්න ඕනෙ ඇයි?

බව්තීස්මය ගැන බයිබලේ කියන්නේ මොනවාද?

6, 7. (අ) යොහන් ළඟට ගිහින් සෙනඟ බව්තීස්ම වුණ එකෙන් අදහස් කළේ මොකක්ද? (ආ) අනිත් හැම බව්තීස්මයකටම වඩා වෙනස් වුණේ කාගේ බව්තීස්මයද? ඒ ඇයි?

6 අනිත් අයව බව්තීස්ම කරපු මුල්ම කෙනා යොහන් බව්තීස්ත. (මතෙ. 3:1-6) සෙනඟ බව්තීස්ම වෙන්න යොහන් ළඟට ගියේ මෝසෙස්ට දීපු නීතිය ඒ විදිහටම පිළිපදින්න බැරි වුණ එක ගැන එයාලගේ පසුතැවිල්ල පෙන්නන්නයි. ඒත් දෙවිගේ පරිපූර්ණ පුත්‍රයා වුණ යේසුස් බව්තීස්ම වෙන්න යොහන් ළඟට ගියේ ඒ හේතුව නිසා නෙමෙයි. (මතෙ. 3:13-17) මොකද යේසුස් කිසිම පාපයක් කළේ නැහැ. ඒ නිසා යේසුස්ට පසුතැවිලි වෙන්න අවශ්‍යය වුණේ නැහැ. (1 පේතෘ. 2:22) එහෙමනම් යේසුස් බව්තීස්ම වුණේ ඇයි? දෙවි ඔහුගෙන් බලාපොරොත්තු වුණ දේ කරන්න දැන් ඔහු සූදානම් කියලා පෙන්නන්නයි යේසුස් බව්තීස්ම වුණේ.—හෙබ්‍රෙ. 10:7.

7 යේසුස් දේශනා කරන්න පටන්ගත්තාට පස්සේ ඔහුගේ ගෝලයොත් අනිත් අයව බව්තීස්ම කළා. (යොහ. 3:22; 4:1, 2) ගෝලයන් ළඟට ආපු අය බව්තීස්ම වුණෙත් නීතියට අකීකරු වුණ එක ගැන පසුතැවිලි වෙනවා කියලා පෙන්නන්නයි. ඒත් යේසුස් මිය ගිහින් ඔහුව නැවත නැඟිට්ටෙව්වාට පස්සේ යේසුස්ව අනුගමනය කරන්න කැමති අය බව්තීස්ම වෙන්නේ වෙනත් හේතුවකට.

8. (අ) යේසුස්ව නැවත නැඟිට්ටෙව්වාට පස්සේ ඔහු දුන්නේ මොන ආඥාවද? (ආ) යේසුස්ගේ අනුගාමිකයන් බව්තීස්ම වෙන්න ඕනෙ ඇයි?

8 ක්‍රි.ව. 33 යේසුස්ව නැවත නැඟිටුවලා ටික දවසකට පස්සේ ඔහු 500කට වැඩි පිරිසකට කතා කළා. එතන පිරිමි අය, ගැහැණු අය වගේම දරුවොත් ඉන්න ඇති. ඒ වෙලාවේ වෙන්න ඇති යේසුස් මේ ආඥාව දුන්නේ. “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නා අයව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න.” (මතෙ. 28:19, 20; 1 කොරි. 15:6) ඔහුගේ අනුගාමිකයන්ට යේසුස් කිව්වේ ඔහුගේ ගෝලයෝ වෙන්න අනිත් අයට උදව් කරන්න කියලයි. ඒ වගේම ඔහුගේ “වියගහ” පිළිගන්න කැමති අය ඒ කියන්නේ ඔහුගේ අනුගාමිකයන් වෙන්න කැමති අය බව්තීස්ම වෙන්න ඕනෙ කියලා යේසුස් කිව්වා. (මතෙ. 11:29, 30) කෙනෙක් කැමති නම් දෙවි සතුටු වෙන විදිහට නමස්කාර කරන්න එයා පිළිගන්න ඕනෙ දෙවි ඔහුගේ අරමුණ ඉටු කරන්නේ යේසුස් මාර්ගයෙන් කියලා. ඊටපස්සේ ඒ කෙනාට පුළුවන් බව්තීස්ම වෙන්න. දෙවි අනුමත කරන වතුරෙන් සිදු කරන එකම බව්තීස්මය ඒකයි. බව්තීස්ම වෙන එක කොච්චර වැදගත්ද කියලා මුල් සියවසේ හිටපු යේසුස්ගේ ගෝලයන් දැනගෙන හිටියා කියලා බයිබල් වාර්තාවලින් පැහැදිලි වෙනවා. බව්තීස්මය කල් දැම්මාට කමක් නැහැ කියලා එයාලා හිතුවේ නැහැ.—ක්‍රියා 2:41; 9:18; 16:14, 15, 32, 33.

කල් දාන්න එපා

9, 10. බව්තීස්මය ගැන ඉතියෝපියානු නිලධාරියාගෙනුත් සාවුල්ගෙනුත් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

9 ක්‍රියා 8:35, 36 කියවන්න. යුදෙව් ආගමට හැරුණු ඉතියෝපියානු නිලධාරියෙක් නමස්කාර කරන්න යෙරුසලමට ගිහින් ආපහු එයාගේ රටට යමින් හිටියා. දේවදූතයෙක් ෆිලිප්ට කිව්වා එයාට දේශනා කරන්න කියලා. ෆිලිප් එයාට “යේසුස් පිළිබඳ ශුභාරංචිය” දේශනා කළාම එයා තේරුම්ගත්තා යේසුස්ව ස්වාමීන් විදිහට පිළිගන්න එක කොයි තරම් වැදගත්ද කියලා. යේසුස්ගේ අනුගාමිකයන්ගෙන් දෙවි බලාපොරොත්තු වෙන දේ කරන්න එයාට ලොකු ආසාවකුත් ඇති වුණා. කල් දාන්නේ නැතුව ඒ වෙලාවෙම බව්තීස්ම වෙන්න එයාට ඕනෙ වුණේ ඒ නිසයි.

10 යුදෙව් ජාතික සාවුල්ගෙනුත් අපිට දෙයක් ඉගෙනගන්න පුළුවන්. යුදෙව්වන් ජාතියක් විදිහට දෙවිට කැප වෙලා හිටියත් එයාලා දෙවිට අකීකරු වුණ නිසා දෙවි එයාලව ප්‍රතික්ෂේප කළා. ඒත් සාවුල් හිතුවේ යුදෙව්වන් දෙවි බලාපොරොත්තු වෙන විදිහට නමස්කාර කරනවා කියලයි. ඒ නිසා එයා ක්‍රිස්තියානීන්ට පීඩා කළා. සාවුල් හිතන් හිටියේ යේසුස් මැරිලා කියලා. ඒත් නැවත නැඟිටුවලා හිටපු යේසුස් ස්වර්ගයේ ඉඳන් සාවුල්ට කතා කළා. සාවුල් මොකද කළේ? එයා යේසුස්ගේ ගෝලයෙක් වුණ අනනියස්ගේ උදව් පිළිගත්තා. ඊටපස්සේ “සාවුල් නැඟිට බව්තීස්ම විය” කියලා බයිබලේ කියනවා. (ක්‍රියා 9:17, 18; ගලා. 1:14) දෙවි ඔහුගේ අරමුණ ඉටු කරන්නේ යේසුස් මාර්ගයෙන් කියලා තේරුම්ගත්ත ගමන්ම එයාත් කල් දාන්නේ නැතුව බව්තීස්ම වුණා.—ක්‍රියා 22:12-16 කියවන්න.

11. (අ) බයිබලේ පාඩම් කරන අය බව්තීස්ම වෙන්න පෙලඹෙන්නේ ඇයි? (ආ) කෙනෙක් බව්තීස්ම වෙද්දී අපිට හැඟෙන්නේ කොහොමද?

11 බයිබලෙන් ඉගෙනගන්න වටිනා සත්‍යයන් විශ්වාසයක් තියෙන, ඒවා අගය කරන බාල, තරුණ, මහලු හුඟදෙනෙක් අදත් එයාලගේ ජීවිත දෙවිට කැප කරලා බව්තීස්ම වෙන්න ලොකු ආසාවකින් ඉන්නවා. එයාලා වෙනුවෙන්ම සමුළුවල දෙන දේශනය හරිම විශේෂයි. බයිබලේ පාඩම් කරන අය බව්තීස්ම වෙන්න තීරණය කරද්දී ඒ ගැන අපිට දැනෙන්නේ ලොකු සතුටක්. තමන්ගේ දරුවන් ඒ තීරණය ගද්දී දෙමාපියන්ට කොයි තරම් සතුටක් දැනෙනවාද! 2017 සේවා වසරේදී 2,84,000කට වඩා වැඩිදෙනෙක් බව්තීස්ම වුණා. (ක්‍රියා 13:48) යේසුස්ගේ අනුගාමිකයන් අනිවාර්යයෙන්ම බව්තීස්ම වෙන්න ඕනෙ කියන දේ එයාලා තේරුම් අරන් කියලා ඒකෙන් පැහැදිලියි. ඒත් බව්තීස්ම වෙන්න කලින් එයාලා කළේ මොනවාද?

12. බයිබලේ පාඩම් කරන කෙනෙක් බව්තීස්ම වෙන්න නම් කරන්න ඕනෙ මොනවාද?

12 බයිබලේ පාඩම් කරන කෙනෙක් බව්තීස්ම වෙන්න කලින් යෙහෝවා දෙවි ගැන නිවැරදි දැනුම ලබාගන්න ඕනේ. මිනිසුන් සහ පොළොව සඳහා දෙවිගේ අරමුණ ගැන, මිනිසුන්ව පාපයෙන් ගලවගන්න දෙවි කරපු දේ ගැන එයා ඉගෙනගන්න ඕනේ. (1 තිමෝ. 2:3-6) ඉගෙනගන්න තොරතුරු ගැන හොඳට හිතලා දෙවි ගැන විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. දෙවිගේ නීතිවලට කීකරු වෙන්නත් දෙවි අකමැති දේවල් නොකර ඉන්නත් ඒ විශ්වාසය එයාව පොලඹවනවා. (ක්‍රියා 3:19) ඒක හරිම වැදගත් පියවරක්. මොකද දෙවි අකමැති දේවල් දිගටම කරකර කෙනෙක් දෙවිට කැප වුණාට දෙවි ඒ කැපවීම පිළිගන්නේ නැහැ. (1 කොරි. 6:9, 10) තමන්ගේ ජීවිතේ දෙවිට කැප කරලා යේසුස්ව අනුගමනය කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් කරන්න ඕනෙ තවත් දේවල් තියෙනවා. එයා නිතිපතා රැස්වීම්, දේශනා සේවයේ හවුල් වෙන්න ඕනේ. අනිත් අයට උගන්වන්නත් ඕනේ. (ක්‍රියා 1:8) ඒ හැම දෙයක්ම කරන කෙනෙක්ට පුළුවන් යාච්ඤාවකින් තමන්ගේ ජීවිතේ දෙවිට කැප කරන්න. ඊටපස්සේ එයාට බව්තීස්ම වෙන්න පුළුවන්.

බයිබලේ පාඩම් කරන අයට ඉලක්කයක්

බව්තීස්මය කොච්චර වැදගත්ද කියලා තේරුම්ගන්න ඔයාත් එක්ක පාඩම් කරන අයට ඔයා උදව් කරනවාද? (13 ඡේදය බලන්න)

13. යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න නම් අපිත් එක්ක පාඩම් කරන අය බව්තීස්ම වෙන්නම ඕනෙ කියලා අපි මතක තියාගන්න එක වැදගත් ඇයි?

13 බව්තීස්මයට කලින් ගන්න ඕනෙ ඒ වැදගත් පියවර කීපය ගන්න අපේ දරුවන්ට, අපි එක්ක බයිබලේ පාඩම් කරන අයට උදව් කරද්දී අපි මතක තියාගන්න ඕනෙ දෙයක් තියෙනවා. ඒ තමයි යේසුස්ගේ සැබෑ අනුගාමිකයෙක් වෙන්න කැමති හැම කෙනෙක්ම බව්තීස්ම වෙන්න ඕනෙ කියන දේ. ඒක නිතරම මතක තියාගන්න එක වැදගත් ඇයි? එතකොට සුදුසු හැම අවස්ථාවකදීම කැපවීම සහ බව්තීස්මය කොයි තරම් වැදගත්ද කියලා එයාලත් එක්ක කතා කරන්න අපි අදිමදි කරන්නේ නැහැ. අපිට ඕනෙ අපේ දරුවෝ, අපිත් එක්ක පාඩම් කරන අය ඒ වැදගත් පියවර කීපය අරන් බව්තීස්ම වෙනවා දකින්නයි.

14. බව්තීස්ම වෙන්න අපි කාටවත් බල කරන්නේ නැත්තේ ඇයි?

14 බයිබලේ පාඩම් කරන අයට, අපේ දරුවන්ට බව්තීස්ම වෙන්න කියලා කවුරුත් බල කරන්න හොඳ නැහැ. මොකද දෙවි තමන්ට සේවය කරන්න කියලා කාටවත් බල කරන්නේ නැහැ. (1 යොහ. 4:8) ඒ වෙනුවට කෙනෙක්ට උගන්වද්දී අපි කරන්න ඕනෙ දෙවිත් එක්ක එයා කිට්ටු බැඳීමක් ඇති කරගන්න එකේ වැදගත්කම තේරුම්ගන්න උදව් කරන එකයි. බයිබලෙන් ඉගෙනගන්න සත්‍යයන් ගැන එයාට අගයක් ඇති වෙද්දී, යේසුස්ගේ අනුගාමිකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන දේ කරන්න ආසාවක් ඇති වෙද්දී බව්තීස්ම වෙන්න එයාම තීරණය කරයි.—2 කොරි. 5:14, 15.

15, 16. (අ) බව්තීස්ම වෙන්න නිසි වයසක් තියෙනවාද? පැහැදිලි කරන්න. (ආ) කෙනෙක් වෙන ආගමක ඉද්දී බව්තීස්ම වෙලා තිබුණත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වෙන්න ඕනෙ ඇයි?

15 කෙනෙක්ට බව්තීස්ම වෙන්න නිසි වයසක් නැහැ. මොකද හැමෝම එක වගේ නෙමෙයි. සමහර අය අනිත් අයට වඩා ඉක්මනින් බව්තීස්ම වෙන්න ඕන කරන පියවර ගන්නවා. පොඩි වයසේදීම බව්තීස්ම වෙලා වැඩිහිටියන් වුණාමත් දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න අය ඕනෙ තරම් ඉන්නවා. තවත් අය සත්‍යය ඉගෙනගෙන බව්තීස්ම වෙලා තියෙන්නේ මැදි වියේදී නැත්නම් මහලු වියේදී. අවුරුදු 100කට වඩා වයස අයත් ඒ අතරේ ඉන්නවා.

16 වයසක කාන්තාවක් බයිබලේ පාඩම් කරන්න කලින් ආගම් කීපයකම බව්තීස්ම වෙලා තිබුණා. පාඩම කරපු කෙනාගෙන් එයා ඇහුවා ආයෙත් බව්තීස්ම වෙන්න ඕනෙද කියලා. ඒ ප්‍රශ්නෙට උත්තරේ තිබුණ බයිබල් පද කීපයක් පාඩම කරපු කෙනා එයාට පෙන්නුවා. බයිබලේ ඒ ගැන කියලා තියෙන දේ තේරුම්ගත්තාට පස්සේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වෙන්න එයා තීරණය කළා. එතකොට එයාට වයස 80ට කිට්ටුයි. ඒ අද්දැකීමෙන් තේරෙන්නේ මොනවාද? දෙවි අපේ බව්තීස්මය පිළිගන්නේ අපි දෙවිගේ කැමැත්ත ගැන නිවැරදි දැනුම ලබාගෙන ඒ තීරණය ගත්තොත් විතරයි. ඒ නිසා අපි වෙන ආගම්වල ඉද්දී බව්තීස්ම වෙලා තිබුණත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට ආයෙත් බව්තීස්ම වෙන්න ඕනේ.—ක්‍රියා 19:3-5 කියවන්න.

17. කෙනෙක් බව්තීස්ම වෙන දවසේ හිතන්න ඕනෙ මොනවා ගැනද?

17 කෙනෙක් බව්තීස්ම වෙන දවස සතුටුදායක දවසක්. සතුටු වෙනවා වගේම කැපවීම සහ බව්තීස්මයට ඇතුළත් වෙන්නේ මොනවාද කියලා හොඳට හිතන එකත් වැදගත්. දෙවිට කැප වුණ කෙනෙක්ගෙන් දෙවි බලාපොරොත්තු වෙන දේවල් කරන්න එයා වෑයමක් දරන්න ඕනේ. මොකද යේසුස්ගේ අනුගාමිකයන් විදිහට ‘ජීවත් වන සියලුදෙනා තවදුරටත් තමන් වෙනුවෙන් ජීවත් නොවී තමන් වෙනුවෙන් මිය ගොස් මරණයෙන් නැඟිටුවනු ලැබූ තැනැත්තා වෙනුවෙන්’ ජීවත් වෙන්න ඕනේ.—2 කොරි. 5:15; මතෙ. 16:24.

18. ඊළඟ ලිපියෙන් අපි උත්තර හොයන්නේ මොන ප්‍රශ්නවලටද?

18 මේ ලිපියෙන් බලපු විදිහට සැබෑ ක්‍රිස්තියානියෙක් වෙන්න අපි ගන්න තීරණය බැරෑරුම් එකක්. ඒ නිසා තමයි මේ ලිපියේ මුලින් සඳහන් කරපු ප්‍රශ්න ගැන මරියාගේ අම්මා හිතුවේ. ඔයාත් දෙමාපියෙක් නම් ඔයාටත් මෙහෙම හිතිලා ඇති. ‘මගේ දුව, පුතා බව්තීස්ම වෙන්න ඇත්තටම ලෑස්තිද? දෙවිට එයාගේ ජීවිතේ කැප කරන්න තරම් එයා දෙවිව හොඳින් දැන හඳුන ගෙනද ඉන්නේ? බව්තීස්ම වෙන්න කලින් හොඳට ඉගෙනගෙන රස්සාවක් කළොත් හොඳ නැද්ද? බව්තීස්ම වුණාට පස්සේ එයාගේ අතින් බරපතළ වරදක් වුණොත් මොනවා වෙයිද?’ ඒ ප්‍රශ්න ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු. බව්තීස්මය ගැන දෙවි හිතන විදිහට හිතන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද කියලත් අපි බලමු.