Skip to content

පටුනට යන්න

“හික්මවීම පිළිගෙන ප්‍රඥාවන්ත වන්න”

“හික්මවීම පිළිගෙන ප්‍රඥාවන්ත වන්න”

‘මාගේ පුත්‍රයෙනි, හික්මවීම පිළිගෙන ප්‍රඥාවන්ත වන්න.’—හිතෝ. 8:32, 33.

ගීතිකා: 56, 89

1. අපිට ප්‍රඥාව ලබාගන්න පුළුවන් කොහොමද? ඒක අපිට උදව් වෙන්නේ කොහොමද?

ප්‍රඥාවේ උල්පත යෙහෝවා දෙවි. බයිබලේ කියන්නේ “තමාට ප්‍රඥාව අඩුයි කියා යමෙකුට හැඟෙනවා නම් එය ඔහුට නොකඩවා දෙවිගෙන් ඉල්ලිය හැක” කියලා. “මන්ද දෙවි අදිමදි නොකර සියල්ලන්ට ප්‍රඥාව ත්‍යාගශීලීව ලබා දෙයි.” (යාකො. 1:5) දෙවි දෙන ප්‍රඥාව ලබාගන්න පුළුවන් එක විදිහක් තමයි දෙවිගෙන් ලැබෙන හික්මවීම් පිළිගන්න එක. හික්මවීම් පිළිගද්දී වැරදි දේවල් නොකර ඉන්නත් දෙවිත් එක්ක තියෙන බැඳීම රැකගන්නත් අපිට පුළුවන්. (හිතෝ. 2:10-12) සදාකාල ජීවිතය ගැන අපිට තියෙන බලාපොරොත්තුවත් තව ශක්තිමත් වෙයි.—යූද් 21.

2. දෙවි දෙන හික්මවීම් ගැන අගයක් ඇති කරගන්න පුළුවන් කොහොමද?

2 උරුම වෙලා තියෙන පාපය නිසාත් අපි හැදුණු වැඩුණු විදිහ නිසාත් හික්මවීමක් ලැබෙද්දී ඒක භාරගන්න, ඒකේ ප්‍රයෝජන දකින්න අපිට අමාරු වෙයි. ඒත් දෙවි දෙන හික්මවීම්වලින් ප්‍රයෝජන ලබද්දී ඒ ගැන අපේ හිතේ අගයක් ඇති වෙනවා වගේම දෙවිගේ ආදරේ අපිට දැනෙනවා. හිතෝපදේශ 3:11, 12 මෙහෙම කියනවා. ‘මාගේ පුත්‍රය, යෙහෝවා දෙවි දෙන හික්මවීම ප්‍රතික්ෂේප නොකරන්න. යෙහෝවා දෙවි තමා ප්‍රේම කරන තැනැත්තාට අවවාද කරයි.’ දෙවි හැම වෙලේම හිතන්නේ අපේ යහපත ගැනයි කියලා අපි මතක තියාගමු. (හෙබ්‍රෙව් 12:5-11 කියවන්න.) දෙවි අපි ගැන හොඳින් දන්න නිසා අපිට දරාගන්න බැරි හික්මවීමක් ඔහු කවදාවත් දෙන්නේ නැහැ. දැන් අපි හික්මවීමට සම්බන්ධ කාරණා හතරක් බලමු. ඒවා නම් (1) අපිවම හික්මවාගැනීම, (2) දෙමාපියන් දරුවන්ට දෙන්න ඕනෙ හික්මවීම්, (3) සභාවෙන් ලැබෙන හික්මවීම් සහ (4) හික්මවීමක් ලැබෙද්දී අද්දකින වේදනාවට වඩා වේදනාකාරී වන දෙයක්.

අපිවම හික්මවාගන්න එක ප්‍රඥාවන්ත දෙයක් වෙන්නේ ඇයි?

3. දරුවෙක් තමාවම හික්මවාගන්න පුහුණු වෙන්නේ කොහොමද? උදාහරණයක් දෙන්න.

3 තමාවම හික්මවාගන්න කෙනෙක් එයා හිතන, හැසිරෙන විදිහ පාලනය කරගන්නවා. ඒත් ඒක උපතින් ලැබෙන හැකියාවක් නෙමෙයි. එහෙම කරන්න අපි ඉගෙනගන්න ඕනේ. මේ උදාහරණේ බලන්න. දරුවෙක් බයිසිකලයක් පදින්න පුරුදු වෙන කාලේ වැටෙන්නේ නැතුව ඉන්න එයාට උදව් කරන්න තාත්තා බයිසිකලේ අල්ලන් ඉන්නවා. දරුවා ටිකක් පුරුදු වුණාම තාත්තා තත්පර කීපයකට බයිසිකලේ අතහරිනවා. වැටෙන්නේ නැතුව බයිසිකලේ පදින්න දරුවාට පුළුවන් කියලා තේරුණාම තාත්තා දරුවාට තනියම පදින්න ඉඩ දෙනවා. තමාවම හික්මවාගන්න දරුවෙක්ව පුහුණු කරන එකත් ඒ වගේ. දෙමාපියන් ඉවසීමෙන් ‘යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දීලා දෙවි හිතන විදිහට හිතන්න දරුවාට උගන්වද්දී’ එයාලා කරන්නේ තමන්වම හික්මවාගන්නත් ප්‍රඥාවන්තව වැඩ කරන්නත් දරුවාව ටිකෙන් ටික පුහුණ කරන එකයි.—එෆී. 6:4.

4, 5. (අ) අපිවම හික්මවාගන්න එක “අලුත් පෞද්ගලිකත්වයට” ඇතුළත් වැදගත් අංගයක් කියන්නේ ඇයි? (ආ) අපි අතින් වරදක් වුණත් අධෛර්යය වෙන්න හොඳ නැත්තේ ඇයි?

4 දරුවන් විතරක් නෙමෙයි වැඩිහිටි වයසේදී සත්‍යයට එන අයත් තමාවම හික්මවාගන්න පුහුණු වෙන්න ඕනේ. දැනටමත් යම් දුරකට එයාලා තමන්වම හික්මවාගන්නවා ඇති. ඒත් එයාලා තවමත් අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානීන් නෙමෙයි. ඒ කියන්නේ තමන්වම හික්මවාගන්න හැකියාව එයාලා තව දියුණු කරගන්න ඕනේ. එයාලා ටිකෙන් ටික “අලුත් පෞද්ගලිකත්වය” පැළඳගද්දී, යේසුස් වගේ හිතන්න, වැඩ කරන්න පුරුදු වෙද්දී එයාලට පුළුවන් වෙනවා අවබෝධයෙන් වැඩ කරන අය වෙන්න. (එෆී. 4:23, 24) තමාවම හික්මවාගන්න ඉගෙනගන්න කෙනෙක්ට ‘දෙවිට අගෞරවයක් ගෙන දෙන ක්‍රියා හා පව්කාර ආශාවන් ප්‍රතික්ෂේප කරලා මේ සමාජය තුළ හොඳ සිහිකල්පනාවෙන්, ධර්මිෂ්ඨකමින් හා දේවභක්තියෙන් ජීවත් වෙන්න’ පුළුවන්.—තීත. 2:12.

5 ඒත් අපි හැමෝම පව්කාරයන් නිසා අපි අතින් වැරදි වෙනවා. (දේශ. 7:20) ඒකෙන් අදහස් කරනවාද අපිට අපිවම හික්මවාගන්න කොහොමටවත් බැහැ කියලා? නැහැ. හිතෝපදේශ 24:16 කියන්නේ “ධර්මිෂ්ඨයා සත් වතාවක් වැටුණත් ඔහු නැඟිටින්නේය” කියලා. ‘නැඟිටින්න’ අපිට උදව් වෙන්නේ මොකක්ද? ඒක අපිට අපේම හැකියාවෙන් කරන්න බැහැ. ඒක කරන්න දෙවිගේ බලයේ උදව් ඕනේ. (ෆිලිප්පි 4:13 කියවන්න.) දෙවිගේ බලය අපි තුළ ක්‍රියාත්මක වෙද්දී අපිට අපිවම පාලනය කරගන්න පුළුවන් වෙනවා. අපිවම පාලනය කරගන්න පුළුවන් හැකියාව අපිවම හික්මවාගන්න පුළුවන් හැකියාවට ගොඩක් දුරට සමානයි.

6. දේවවචනය හොඳින් අධ්‍යයනය කරන අය වෙන්න අපිට පුළුවන් කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

6 යාච්ඤා කරන එකත් බයිබලේ අධ්‍යයනය කරලා ඒ ගැන හොඳට හිතන එකත් අපිවම හික්මවාගන්න උදව් වෙනවා. ඒත් අධ්‍යයනය කරන එක ඔයාට අමාරුද? නැත්නම් ඒකට ආස නැද්ද? ඔයා දෙවිට ඉඩ දෙනවා නම් දේවවචනය අධ්‍යයනය කරන්න ඔයා තුළ “දැඩි ආශාවක් වර්ධනය කරගන්න” ඔහු උදව් කරයි. (1 පේතෘ. 2:2) ඔයාවම හික්මවාගෙන බයිබලේ අධ්‍යයනය කරන්න කාලය හොයාගන්න ඔයාට උදව් කරන්න කියලා දෙවිගෙන් ඉල්ලන්න. මුලින් එක දිගට ගොඩක් වෙලා අධ්‍යයනය කරන්න හදන්නේ නැතුව පොඩි පොඩි වෙලාවල් අරගෙන ඒක කරන්න. කාලයක් යද්දී අධ්‍යයනය කරන එක ලේසි, රසවත් දෙයක් කියලා ඔයාට දැනෙයි. යෙහෝවා දෙවිගේ වටිනා අදහස් ගැන හිතන්න ඔයා වෙන් කරන වෙලාවන් ඔයා ආසාවෙන් ගත කරයි.—1 තිමෝ. 4:15.

7. දෙවිට වැඩි සේවයක් කරන්න තියෙන ඉලක්ක ජය ගන්න අපිවම හික්මවාගන්න එක උදව් වෙන්නේ කොහොමද?

7 අපිවම හික්මවාගන්න එක ඉලක්ක තියලා ඒවා ජය ගන්න අපිට උදව් වෙනවා. එක තාත්තා කෙනෙක්ට තේරුණා සේවය කරන්න එයාට තියෙන උද්‍යෝගය ටිකක් අඩු වෙලා කියලා. ඒ නිසා එයා ඉලක්කයක් තියාගත්තා ස්ථාවර පුරෝගාමි සේවය කරන්න. එයාවම හික්මවාගන්න එක ඒ ඉලක්කය ජය ගන්න උදව් වුණේ කොහොමද? පුරෝගාමි සේවය ගැන අපේ ප්‍රකාශනවලින් එයා කියෙව්වා. එයාගේ ඉලක්කය ගැන යාච්ඤා කළා. ප්‍රතිඵලයක් විදිහට දෙවි එක්ක එයාට තිබුණ බැඳීම තව ශක්තිමත් වුණා. පුළුවන් වෙලාවලදී එයා සහායක පුරෝගාමි සේවයත් කළා. එයාගේ ඉලක්කයට ළං වෙන එකෙන් එයාව නවත්තන්න එයා කිසිම දේකට ඉඩ දුන්නේ නැහැ. කාලයක් යද්දී එයා ස්ථාවර පුරෝගාමි සේවය පටන්ගත්තා.

දෙවිගෙන් ලැබෙන හික්මවීම් දරුවන්ට ලබා දෙන්න

හරි වැරැද්ද ගැන අවබෝධයක් දරුවන්ට උපතින්ම ලැබෙන්නේ නැහැ. එයාලව පුහුණු කරන්න ඕනේ (8 ඡේදය බලන්න)

8-10. දෙවිගේ සේවකයෙක් වෙන්න දරුවන්ට උදව් කරන්න දෙමාපියන් කරන්න ඕනෙ මොකක්ද? උදාහරණයක් දෙන්න.

8 ‘යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දීලා දෙවි හිතන විදිහට හිතන්න දරුවන්ට උගන්වන’ වගකීම දෙවි දීලා තියෙන්නේ දෙමාපියන්ට. (එෆී. 6:4) ඇත්ත, අද කාලේ ඒක කරන්න ලේසි නැහැ. (2 තිමෝ. 3:1-5) හරි වැරැද්ද ගැන අවබෝධයක් දරුවෙක්ට උපතින් ලැබෙන්නේ නැහැ. එයාගේ හෘදය සාක්ෂිය පුහුණු කරලත් නැහැ. ඒ පුහුණුව එයාට දෙන්න ඕනේ. ඒකට හික්මවීමත් ඇතුළත්. (රෝම 2:14, 15) හික්මවීම කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනයට වගකීමෙන් වැඩ කරන වැඩිහිටියෙක් වෙන්න දරුවෙක්ව පුහුණු කරනවා කියන අදහස ඇතුළත් කියලා බයිබල් විශාරදයෙක් කියනවා.

9 දෙමාපියන් දරුවන්ව ආදරෙන් හික්මවද්දී ඒ දරුවන්ට ආරක්ෂාවක් දැනෙනවා. නිදහසට සීමාවන් තියෙනවා කියලත් කරන කියන හැම දේකටම හොඳ නැත්නම් නරක ප්‍රතිඵල විඳින්න වෙනවා කියලත් එයාලා ඉගෙනගන්නවා. ඒ නිසා දරුවන්ව ඇතිදැඩි කරද්දී දෙමාපියන් දෙවි දීලා තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න එක වැදගත්. දරුවන්ව ඇතිදැඩි කරන විදිහ ගැන තියෙන උපදෙස් රටින් රටට, කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒත් දෙවිගේ මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් ‘මෙහෙම කළොත් හොඳයිද නැත්නම් අර විදිහට කළොත් හොඳයිද’ කියලා හිතහිත ඉන්නවත් තමන්ගේ අද්දැකීම් අනුව දේවල් කරන්නවත් දෙමාපියන්ට සිද්ධ වෙන්නේ නැහැ.

10 නෝවා ගැන හිතන්න. නැව හදන්න කියලා දෙවි කියද්දී ඒක කරන විදිහ එයා දැනන් හිටියේ නැහැ. දෙවිගේ මඟ පෙන්වීම්වලට එයා කීකරු වෙන එක අත්‍යවශ්‍ය දෙයක් වුණා. නෝවා දෙවි කියපු ‘සියල්ල එලෙසම ඉටු කළා.’ (උත්. 6:22) ප්‍රතිඵලය? නෝවාගෙත් පවුලේ අයගෙත් ජීවිත බේරුණා. හොඳ තාත්තා කෙනෙක් වෙන්නත් නෝවාට පුළුවන් වුණා. මොකද දෙවිගේ මඟ පෙන්වීම් ගැන එයාට ලොකු විශ්වාසයක් තිබුණා. ඒ මඟ පෙන්වීම් එයා දරුවන්ට කියලා දුන්නා. හොඳ ආදර්ශයක් වුණා. ජලගැල්මට කලින් තිබුණ දුෂ්ට සමාජයේ ඒ වගේ පුහුණුවක් දෙන එක එයාට ලේසි වෙන්න නැතුව ඇති.—උත්. 6:5.

11. දරුවන්ව පුහුණු කරන්න දෙමාපියන් ලොකු වෑයමක් ගන්න ඕනෙ ඇයි?

11 දෙවි කියන දේවල් ‘එලෙසම කරන්න’ දෙමාපියන්ට පුළුවන් කොහොමද? දෙවිට සවන් දෙන්න. දරුවන්ව ඇතිදැඩි කරන විදිහ ගැන දෙවි ඔහුගේ වචනය, සංවිධානය මාර්ගයෙන් දෙන උපදෙස් අදාළ කරගන්න. පස්සේ කාලෙක දරුවන් ඒ ගැන ඔයාට ස්තුති කරයි. සහෝදරයෙක් මෙහෙම ලිව්වා. “මගේ දෙමාපියන් මාව ඇතිදැඩි කරපු විදිහ මං හුඟක් අගය කරනවා. දේවල් මගේ හදවතටම කාවද්දන්න එයාලා ලොකු වෑයමක් දැරුවා.” යෙහෝවා දෙවිට ළං වෙන්න එයාට උදව් කළේ එයාගේ දෙමාපියන් කියලා ඒ සහෝදරයා කියනවා. දෙවි ගැන ආදරයක් ඇති කරගන්න දරුවාට උදව් කරන්න දෙමාපියන් කරන්න පුළුවන් හැම දේම කළත් සමහර දරුවන් දෙවිට සේවය කරන එක අත්හරිනවා. එහෙම වුණා කියලා දෙමාපියන් අධෛර්යය වෙන්න ඕනෙ නැහැ. මොකද දෙවි දුන්න වගකීම එයාලා ඉටු කළා. දරුවා ආයෙත් දෙවි ළඟට එයි කියන බලාපොරොත්තුවෙන් ඉන්න එයාලට පුළුවන්.

12, 13. (අ) දරුවෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළාම දිගටම දෙවිට කීකරු වෙන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද? (ආ) දෙමාපියන් දෙවිට කීකරු වුණ නිසා පවුලක් ලබපු ප්‍රයෝජන මොනවාද?

12 දරුවෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළාම දෙවිට කීකරු වෙන එක සමහර දෙමාපියන්ට ගොඩක් අමාරුයි. සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු තමන්ගේ දුව ගෙදරින් ගියාම වුණ දේ ගැන සහෝදරියක් මෙහෙම කියනවා. “දුවයි, මිනිබිරියි එක්ක කාලේ ගත කරන්න තිබ්බ ආසාව නිසා මං අපේ ප්‍රකාශනවල තිබුණ ලිපිවලින් මගේ වාසියට ගන්න පුළුවන් දේවල් හෙව්වා. ඒත් මගේ මහත්තයා මට පෙන්නලා දුන්නා දැන් දුව වෙනුවෙන් අපිට කරන්න දෙයක් නැහැ කියලා. අපි කරන්න ඕනෙ දෙවිට කීකරු වෙන එකයි කියලා එයා මට මතක් කළා.”

13 අවුරුදු කීපයකට පස්සේ ඒ දුවව ආයෙත් සභාවට පිළිගත්තා. අම්මා මෙහෙම කියනවා. “දුවට අපි දෙන්නා ගැන තියෙන්නේ ලොකු ගෞරවයක්. මොකද එයා දන්නවා කොච්චර අමාරු වුණත් අපි දෙවිට කීකරු වුණා කියලා. දැන් දුවයි, අපියි හොඳ යාළුවෝ.” ඔයාගේ දුවව, පුතාව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළොත් ඔයාත් ‘ඔයාගේ නුවණ මත විශ්වාසය තියන්නේ නැතුව මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරලා’ වැඩ කරනවාද? (හිතෝ. 3:5, 6) මතකද, දෙවි හික්මවීම් දෙද්දී ඔහුගේ ප්‍රඥාව, ආදරේ අපිට දකින්න පුළුවන් කියලා? දෙවි ඔහුගේ එකම පුතාව දුන්නේ හැම කෙනෙක්ම වෙනුවෙන් කියලා කවදාවත් අමතක කරන්න එපා. ඔයාගේ දුව, පුතා ඇතුළුව හැම කෙනෙක්ම සදාකාල ජීවනය ලබනවා දකින්නයි දෙවි කැමති. (2 පේතෘස් 3:9 කියවන්න.) ඒ නිසා දෙමාපියෙනි, කීකරු වෙන එක කොයි තරම් අමාරු වුණත් දෙවි දෙන හික්මවීම්වල කිසිම වරදක් නැහැ කියලා විශ්වාස කරන්න. ඒවා පිළිගන්න. ඒවාට පිටුපාන්න එපා.

සභාවෙන් ලැබෙන හික්මවීම්

14. ‘විශ්වාසවන්ත සේවකයා’ මාර්ගයෙන් දෙවි දෙන උපදෙස්වලින් අපි ප්‍රයෝජන ලබන්නේ කොහොමද?

14 සභාව රැකබලා ගෙන ආරක්ෂා කරන්න, සභාවේ ඉන්න අයව පෝෂණය කරන්න යෙහෝවා දෙවි පොරොන්දු වුණා. ඔහු ඒක විදි කීපයකින්ම කරනවා. උදාහරණෙකට සභාව රැකබලා ගන්න දෙවි ඔහුගේ පුතාව පත් කළා. සභාවේ අයට අවශ්‍ය පෝෂණේ දෙන්න යේසුස් ‘විශ්වාසවන්ත සේවකයෙක්ව’ පත් කළා. (ලූක් 12:42) ඒ “සේවකයා” අපිට ඕනෙ කරන මඟ පෙන්වීම්, හික්මවීම් දෙනවා. ඔයා හිතන විදිහ, වැඩ කරන විදිහ වෙනස් කරගන්න උදව් වුණ දේශනයක්, සඟරාවක ලිපියක් ඔයාට මතකද? ඒ වෙනස්කම් කරගත්ත එකෙන් පේන්නේ ඔයාව හික්මවන්න ඔයා දෙවිට ඉඩ දෙනවා කියලයි.—හිතෝ. 2:1-5.

15, 16. (අ) වැඩිමහල්ලන්ගෙන් ප්‍රයෝජන ලබන්න අපිට පුළුවන් කොහොමද? (ආ) සතුටින් සේවය කරන්න වැඩිමහල්ලන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

15 සභාව ආදරෙන් රැකබලා ගන්න යේසුස් වැඩිමහල්ලන්වත් දීලා තියෙනවා. බයිබලේ කියන්නේ එයාලව දුන්නේ “තෑගි වශයෙන්” කියලයි. (එෆී. 4:8, 11-13) වැඩිමහල්ලන්ගෙන් ප්‍රයෝජන ලබන්න නම් එයාලගේ විශ්වාසය, ආදර්ශය දිහා බලලා අපි ඉගෙනගන්න ඕනේ. බයිබලෙන් එයාලා දෙන උපදෙස් පිළිපදින්න ඕනේ. (හෙබ්‍රෙව් 13:7, 17 කියවන්න.) වැඩිමහල්ලන් අපිට ආදරෙයි. එයාලට ඕනෙ අපිව දෙවිට තව ළං කරන්න. අපිට රැස්වීම් අතපසු වෙනවා නම්, අපේ උද්‍යෝගය ටිකක් අඩු වෙලා නම් එයාලා ඉක්මනින්ම අපිට උදව් කරනවා. එයාලා අපිට හොඳට ඇහුම්කන් දෙනවා, දිරිගන්වනවා, අවශ්‍ය උපදෙස් දෙනවා. එයාලගේ ඒ උදව්වලින් ඔයා යෙහෝවා දෙවිගේ ආදරේ දකිනවාද?

16 උපදෙස් දෙන එක වැඩිමහල්ලන්ට ලේසි දෙයක් නෙමෙයි. දාවිත් රජුට උපදෙසක් දෙන්න වුණාම නාතන්ට කොහොම හැඟෙන්න ඇද්ද? (2 සාමු. 12:1-14) නියෝජිතයන් 12දෙනාගෙන් කෙනෙක් වුණ පේතෘස්ට උපදෙස් දෙන්න වෙද්දී පාවුල්ට කොහොම හැඟෙන්න ඇද්ද? ඒක කරන්න පාවුල්ට ලොකු ධෛර්යයක් ඕනෙ වුණා. (ගලා. 2:11-14) වැඩිමහල්ලන්ට එයාලගේ වගකීම ඉටු කරන්න පහසු වෙන්නේ ඔයා මොන වගේ කෙනෙක් නම්ද? ඔයා නිහතමානී, මිත්‍රශීලී, දෙන උපදෙස් අගය කරන කෙනෙක් නම් ඔයාට උපදෙසක් දෙන්න වැඩිමහල්ලන්ට අමාරු වෙන්නේ නැහැ. එයාලගේ උදව් දෙවි ඔයාට ආදරේ පෙන්නන විදිහක් හැටියට දකින්න. ඒකෙන් ඔයාට ප්‍රයෝජන ලැබෙනවා වගේම වැඩිමහල්ලනුත් එයාලගේ සේවයෙන් සතුටක් ලබයි.

17. වැඩිමහල්ලන් එක සහෝදරියකට උදව් කළේ කොහොමද?

17 අතීතයේ වුණ යම් දේවල් නිසා සහෝදරියක් හිටියේ මානසිකව වැටිලා. එයා මෙහෙම කියනවා. “ඒ ගැන මං වැඩිමහල්ලන්ට කිව්වාම එයාලා මාව පහත් කළේවත් මට දොස් කිව්වේවත් නැහැ. මාව දිරිගැන්නුවා. ශක්තිමත් කළා. කොච්චර වැඩ තිබුණත් හැම රැස්වීමකටම පස්සේ වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් හරි ඇවිත් මාත් එක්ක ටිකක් කතා කළා. මගේ අතීතේ නිසා මට දැනුණේ දෙවිගේ ආදරේ ලබන්න මං වටින්නේ නැහැ කියලයි. ඒත් යෙහෝවා දෙවි සභාව මාර්ගයෙන්, වැඩිමහල්ලන් මාර්ගයෙන් ඔහුගේ ආදරේ නිතර නිතර මට පෙන්නුවා. මං යාච්ඤා කරන්නේ දෙවිව අත්හරින්නේ නැතුව ඉන්න මට උදව් කරන්න කියලයි.”

හික්මවීමකින් දැනෙන වේදනාවට වඩා වේදනාවක්

18, 19. හික්මවීමක් ලැබෙද්දී අද්දකින වේදනාවට වඩා වේදනාකාරී දේ මොකක්ද? පැහැදිලි කරන්න.

18 හික්මවීමක් ලැබෙද්දී අපිට වේදනාවක් දැනෙයි. ඒත් හික්මවීම් ප්‍රතික්ෂේප කළාම ලැබෙන ප්‍රතිඵල ඊට වඩා වේදනාකාරියි. (හෙබ්‍රෙ. 12:11) කායින්ටත් ශෙදකියාටත් වුණ දෙයින් ඒක පැහැදිලියි. කායින් එයාගේ මල්ලිට වෛර කරනවා කියලා දැකලා දෙවි එයාට මෙහෙම කිව්වා. “ඔබ මෙතරම් කෝපයෙන් සිටින්නේ මන්ද? ඔබේ මුහුණ පවා වෙනස් වී තිබේ. ඔබ යහමඟට හැරුණොත් මම ඔබව පිළිගන්නේ නැද්ද? නමුත් ඔබ යහමඟට හැරුණේ නැත්නම් පාපය ඔබව හසු කරගැනීමට දොරකඩ ළඟ මාන බලමින් සිටින්නේය. ඔබ එයින් ජය ගන්නෙහිද?” (උත්. 4:6, 7) ඒත් කායින් දෙවි දුන්න ඒ හික්මවීම ප්‍රතික්ෂේප කරලා එයාගේ මල්ලිව මැරුවා. ප්‍රතිඵලයක් විදිහට එයාට ජීවිත කාලේ පුරාම ගොඩක් කටුක දේවලට මුහුණ දෙන්න වුණා. (උත්. 4:11, 12) දෙවිට සවන් දුන්නා නම් ඒ වගේ වේදනාකාරී දේවල් එයාට අද්දකින්න වෙන්නේ නැහැ.

19 ශෙදකියා කොන්ද පණ නැති, දුෂ්ට රජෙක්. වෙනස් වෙන්න කියලා දෙවි යෙරෙමියා මාර්ගයෙන් ශෙදකියාට අනතුරු ඇඟෙව්වත් එයා ඒ හික්මවීම් පිළිගත්තේ නැහැ. ප්‍රතිඵලයක් විදිහට එයා හුඟක් දරුණු දේවලට මුහුණ දුන්නා. (යෙරෙ. 52:8-11) කිසිම තේරුමක් නැතුව අපි දුක් විඳිනවා දකින්න යෙහෝවා දෙවි කැමති නැහැ.—යෙසායා 48:17, 18 කියවන්න.

20. දෙවි දෙන හික්මවීම් පිළිගන්න අයට ලැබෙන ආශීර්වාද මොනවාද? ප්‍රතික්ෂේප කරන අය මුහුණ දෙන්නේ මොන දේටද?

20 හුඟක් අය දෙවි දෙන හික්මවීම් දිහා බලන්නේ සමච්චලේට. නැත්නම් ඒවා ගණන් ගන්නේ නැහැ. ඒත් ළඟදීම ඒ අයට වේදනාකාරී ප්‍රතිඵලවලට මුහුණ දෙන්න වෙනවා. (හිතෝ. 1:24-31) ඒ නිසා අපි ‘හික්මවීම් පිළිගෙන ප්‍රඥාවන්ත වෙමු.’ හිතෝපදේශ 4:13 කියන මේ දේ අපි හිතට ගමු. “ඔබට ලැබෙන උපදෙස් හා හික්මවීම් හදවතින්ම පිළිගෙන කිසිදා ඒවා අත් නොහරින්න. ඒවා ඉතා උසස් කොට සලකන්න. මන්ද එමගින් ඔබට ජීවනය අත් වෙයි.”