Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 12

ප්‍රේමය වෛරයට වඩා බලවත්

ප්‍රේමය වෛරයට වඩා බලවත්

“මම ඔබට මේ දේවල් කිරීමට අණ කරන්නේ එකිනෙකාට ප්‍රේම කරන්න ඔබට හැකි වීම සඳහායි. ලෝකය ඔබට වෛර කළොත් ඔබට වෛර කරන්න කලින් එය මට වෛර කළ බව ඔබ හොඳටම දන්නවා.”—යොහ. 15:17, 18.

ගීතිකාව 129 දිගටම විඳදරාගනිමු

මේ ලිපියෙන් *

1. මතෙව් 24:9 අනුව ලෝකයේ මිනිස්සු අපිට වෛර කරන එක ගැන පුදුම වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

යෙහෝවා දෙවියන් අපිව නිර්මාණය කරලා තියෙන්නේ අනිත් අයට ආදරේ කරන්න සහ අනිත් අයගෙන් ආදරේ ලබන්න. කෙනෙක් අපිට වෛර කරද්දී අපිට ලොකු දුකක්, ලොකු බයක් දැනෙන්නේ ඒ නිසයි. උදාහරණෙකට යුරෝපයේ ජීවත් වෙන සහෝදරි ජෝජීනා මෙහෙම කියනවා. “මං යෙහෝවා දෙවියන්ට සේවය කරන්න පටන්ගත්ත නිසා අම්මාට මාව පේන්න බැරුව ගියා. ඒ නිසා මට ලොකු දුකක්, තනිකමක් දැනුණා. එතකොට මට වයස 14යි. මං ඇත්තටම හොඳ කෙනෙක්ද කියලත් මට හිතුණා.” * ඩැනීලෝ කියන දේ බලන්න. “මං සාක්ෂිකරුවෙක් නිසා හමුදාවේ අය ගහලා තර්ජනය කරද්දී මට ලොකු බයක් දැනුණා. එයාලා මට අපහාස කරද්දී මට ලැජ්ජා හිතුණා.” අනිත් අය අපිට වෛර කරද්දී ඒකට මුහුණ දෙන එක ලේසි නැති වුණත් අපි ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. මොකද යේසුස් කිව්වා සියලු ජාතීන් අපිට වෛර කරයි කියලා.—මතෙව් 24:9 කියවන්න.

2-3. අනිත් අය අපිට වෛර කරන්නේ ඇයි?

2 මිනිස්සු අපිට වෛර කරන්නේ ඇයි? ඒකට හේතුව යේසුස් වගේ අපිත් “මේ ලෝකයේ මිනිසුන්ට සමාන” වෙන්නේ නැති නිසයි. (යොහ. 15:17-19) අපි ආණ්ඩුවලට ගරු කළත් දේශපාලන කාරණාවලදී පැති ගන්නෙවත් ජාතික ගීය කියන්නෙවත් ජාතික කොඩියට ආචාර කරන්නෙවත් නැහැ. අපි නමස්කාර කරන්නේ යෙහෝවා දෙවියන්ට විතරයි. සාතන් සහ ඔහුගෙන් ‘පැවතෙන අය’ දෙවියන්ගේ පාලනය ප්‍රතික්ෂේප කළත් අපි දිගටම ඒකට සහයෝගය දෙනවා. (උත්. 3:1-5, 15) මිනිසුන්ගේ ප්‍රශ්නවලට එකම විසඳුම දේවරාජ්‍යය කියලත් සියලුම මිනිස් ආණ්ඩු ළඟදීම දේවරාජ්‍යයෙන් විනාශ කරනවා කියලත් අපි දේශනා කරනවා. (දානි. 2:44; එළි. 19:19-21) නිහතමානී අයට ඒක ශුභාරංචියක් වුණත් දුෂ්ට අයට නම් ඒක එහෙම නෙවෙයි.—ගීතා. 37:10, 11.

3 ලෝකයේ මිනිස්සු අපිට වෛර කරන තව හේතුවක් තමයි අපි දෙවියන්ගේ ප්‍රමිති අනුව ජීවත් වෙන එක. දෙවියන් දීලා තියෙන සදාචාර ප්‍රමිති සහ මිනිස්සු ජීවත් වෙන විදිහ අහසට පොළොව වගේ වෙනස්. උදාහරණෙකට අතීතයේ දෙවියන් විනාශ කරපු සොදොම සහ ගොමෝරාවේ මිනිසුන්ගේ පහත් ක්‍රියා අද මිනිස්සු එළිපිටම කරනවා. ඒ දේවල් හුඟදෙනෙක්ට සාමාන්‍ය දෙයක් වෙලා. (යූද් 7) අපි උසස් බයිබල් ප්‍රතිපත්තිවලට ඇලී ඉන්න නිසා ඒ අය අපිව දකින්නේ අන්තවාදීන් විදිහට.—1 පේතෘ. 4:3, 4.

4. මිනිස්සු වෛර කරද්දී ඒක දරාගන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

4 මිනිස්සු අපිට වෛර කරද්දී, නින්දා අපහාස කරද්දී ඒක දරාගන්න අපිට උදව් වෙන්නේ මොනවාද? එක දෙයක් තමයි යෙහෝවා දෙවියන් ගැන තියෙන ශක්තිමත් විශ්වාසය. අපේ විශ්වාසය හරියට පලිහක් වගේ. ‘දුෂ්ටයා එවන ගිනිමය ඊතල නිවලා දාන්න ඒක උදව් වෙනවා.’ (එෆී. 6:16) හැබැයි විශ්වාසය විතරක් මදි. ප්‍රේමය අපිට තියෙන්නම ඕනේ. මොකද ප්‍රේමයෙන් ක්‍රියා කරන කෙනා ‘ඉක්මනින් කෝප වෙන්නේ නැහැ.’ අනිත් අය එයාට මොන විදිහට සැලකුවත් ඒ දේවල් එයා විඳදරාගන්නවා. (1 කොරි. 13:4-7, 13) අනිත් අය අපිට වෛර කරද්දී ඒක දරාගන්න යෙහෝවා දෙවියන්ට තියෙන ආදරේ, සහෝදරයන්ට තියෙන ආදරේ, අපිට විරුද්ධ වෙන අයට ආදරේ පෙන්නන එක උදව් වෙන්නේ කොහොමද කියලා දැන් බලමු.

යෙහෝවා දෙවියන් ගැන තියෙන ආදරේ

5. පීඩා දරාගන්න යෙහෝවා දෙවියන්ට තියෙන ආදරේ යේසුස්ට උදව් වුණේ කොහොමද?

5 යේසුස්ගේ සතුරන් ඔහුව මරන්න කලින් දවසේ රෑ ඔහු මෙහෙම කිව්වා. ‘මම පියාණන්ට ප්‍රේම කරනවා. පියාණන් මට අණ කර ඇති දේවල් මම කරන්නේ ඒ නිසයි.’ (යොහ. 14:31) ටික වෙලාවකින් යේසුස්ට මුහුණ දෙන්න වුණු දරුණු පීඩා දරාගන්න දෙවියන්ට තිබුණු ආදරේ ඔහුට උදව් වුණා. අපිටත් ඒක ඒ විදිහටම උදව් වෙනවා.

6. රෝම 5:3-5 අනුව දෙවියන්ගේ සේවකයන්ට අනිත් අය වෛර කරද්දී එයාලා ඒක සලකන්නේ කොයි විදිහටද?

6 අතීතයේ ඉඳලාම දෙවියන්ගේ සේවකයන් අනිත් හැම දේටම වඩා දෙවියන්ට ආදරේ කරපු නිසා පීඩා විඳදරාගන්න එයාලට පුළුවන් වෙලා තියෙනවා. උදාහරණෙකට දේශනා කරන්න එපා කියලා යුදෙව් මහාධිකරණයෙන් යේසුස්ගේ අනුගාමිකයන්ට නියෝග කළාම එයාලා ‘කීකරු වුණේ මිනිසුන්ට නෙවෙයි දෙවියන්ට.’ (ක්‍රියා 5:29; 1 යොහ. 5:3) අදත් බලවත් ආණ්ඩු අපේ සහෝදරයන්ට ගේන දරුණු පීඩා විඳදරාගන්න එයාලට පුළුවන් වෙලා තියෙන්නේ එයාලට යෙහෝවා දෙවියන් ගැන නොසැලෙන ආදරයක් තියෙන නිසයි. ලෝකේ මිනිස්සු අපිට වෛර කරද්දී අධෛර්යය වෙනවා වෙනුවට දෙවියන් වෙනුවෙන් පීඩා විඳින්න ලැබෙන එක ගැන අපි සතුටු වෙනවා.—ක්‍රියා 5:41; රෝම 5:3-5 කියවන්න.

7. පවුලේ අය අපිට විරුද්ධ වෙද්දී අපි කරන්නේ නැත්තේ මොනවාද?

7 සමහර වෙලාවට අපිට දරාගන්න අමාරුම වෙන්නේ අපේම පවුලේ අය පීඩා කරද්දී. අපි බයිබලේ තියෙන දේවල් ඉගෙනගන්නවා දැක්කාම එයාලට හිතෙයි අපි රැවටිලා නැත්නම් අපි ඉන්නේ හොඳ සිහියෙන් නෙවෙයි කියලා. (මාක් 3:21) එයාලා අපිට දරුණු විදිහට පීඩා කරන්නත් ඉඩ තියෙනවා. හැබැයි අපි ඒ ගැන පුදුම වෙන්නේ නැහැ. මොකද යේසුස් කිව්වේ “මිනිසෙකුගේ සතුරන් වන්නේ ඔහුගේම පවුලේ සාමාජිකයන්” කියලා. (මතෙ. 10:36) එයාලා අපිව සතුරන් විදිහට සැලකුවත් අපි එයාලව සතුරන් විදිහට සලකන්නේ නැහැ. මොකද යෙහෝවා දෙවියන් ගැන අපේ හිතේ තියෙන ආදරේ වැඩි වෙන තරමටම මිනිස්සු ගැන තියෙන ආදරෙත් වැඩි වෙනවා. (මතෙ. 22:37-39) එහෙමයි කියලා පවුලේ අයව සතුටු කරන්න අපි කවදාවත් බයිබල් ප්‍රතිපත්ති බාල කරන්නේ නැහැ.

කාලයක් තිස්සේ අපි පීඩා වින්දත් යෙහෝවා දෙවියන් අපි ළඟින්ම ඉඳන් අපිව සනසනවා, ශක්තිමත් කරනවා (8-10 ඡේද බලන්න)

8-9. පීඩාවලට සාර්ථකව මුහුණ දෙන්න සහෝදරියකට උදව් වුණේ මොනවාද?

8 කලින් සඳහන් කරපු ජෝජීනා මෙහෙම කියනවා. “මායි, අම්මායි සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තේ එකට. හැබැයි මාස හයකට විතර පස්සේ මං රැස්වීම් යන්න පටන්ගත්තාම අම්මා වෙනස් වුණා. පස්සේ තමයි මං දැනගත්තේ අම්මා සත්‍යයට විරුද්ධව කැරලිගහන අයගේ තොරතුරු විශ්වාස කරන්න පටන් අරන් කියලා. ඒ අය කියන දේවල් අහලා අම්මා මාත් එක්කත් තර්ක කරන්න පටන්ගත්තා. ඒ විතරක් නෙවෙයි මං ළඟ තිබුණු සාක්ෂිකරුවන්ගේ පොත් විසි කළා. මට හොඳටම බැන්නා. මගේ කොණ්ඩෙන් ඇද්දා. බෙල්ලත් මිරිකුවා. ඒ මොන දේ වුණත් මං පාඩම් කරන එක නතර කළේ නෑ. අවුරුදු 15දී මං බව්තීස්ම වුණා. ඊටපස්සේ අම්මා මාව ළමා නිවාසෙක නැවැත්තුවා. අපරාධවලට හවුල් වුණු, කුඩුවලට ඇබ්බැහි වුණු ළමයිනුත් එතන හිටියා. මාව ආදරෙන් බලාගන්න ඕන කෙනෙක්ම මට දරුණු විදිහට සලකද්දී ඒක දරාගන්න එක ලේසි නෑ.”

9 ඒ දේවල් දරාගන්න ජෝජීනාට පුළුවන් වුණේ කොහොමද? එයා මෙහෙම කියනවා. “මං සම්පූර්ණයෙන්ම බයිබලේ කියවලා ඉවර වුණ දවසෙම තමයි අම්මා මට නපුරු විදිහට සලකන්න පටන්ගත්තේ. ඒ වෙද්දී මේක සත්‍යය කියලා මට කිසි සැකයක් තිබුණේ නෑ. යෙහෝවා දෙවියන් මට ගොඩක් ළං වෙලා කියලා මට දැනුණා. මං ගොඩක් යාච්ඤා කළා. මගේ යාච්ඤාවලට දෙවියන් උත්තර දෙන විදිහ මං අද්දැක්කා. ළමා නිවාසේ හිටිය කාලෙදී සහෝදරියක් එයාගේ ගෙදරට මාව එක්කන් ගිහින් මට උදව් වෙන තොරතුරු බයිබලෙන් අධ්‍යයනය කළා. ඒ කාලය පුරාම සභාවේ සහෝදරයන් මට හුඟක් උදව් කළා. එයාලා මාව සැලකුවේ එයාලගෙම පවුලේ කෙනෙක් විදිහට. අපිට කවුරු විරුද්ධ වුණත් ඒ කාටත් වඩා යෙහෝවා දෙවියන් බලවත් කියලා මං තේරුම්ගත්තා.”

10. යෙහෝවා දෙවියන් මොනවා කරයි කියලාද අපිට විශ්වාස කරන්න පුළුවන්?

10 පාවුල් කිව්වා ‘කිසිම දේකට අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ප්‍රකාශ වන දෙවිගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ නොහැකියි’ කියලා. (රෝම 8:38, 39) කාලයක් තිස්සේ අපි පීඩාවලට මුහුණ දුන්නත් යෙහෝවා දෙවියන් අපිත් එක්කම ඉඳලා අපිව සනසනවා, ශක්තිමත් කරනවා කියන එක ගැන අපිට කිසිම සැකයක් නැහැ. ඒ වගේම ජෝජීනාගේ අද්දැකීමෙනුත් පැහැදිලි වුණු විදිහට යෙහෝවා දෙවියන් අපගේ ආදරණීය සහෝදර සහෝදරියන් මාර්ගයෙනුත් අපිට උදව් කරනවා.

සහෝදර සහෝදරියන්ට තියෙන ආදරේ

11. යොහන් 15:12, 13 යේසුස් කිව්වා වගේ ප්‍රේමයක් පෙන්නන එක ගෝලයන්ට උදව් වුණේ කොහොමද? උදාහරණයක් දෙන්න.

11 දිගටම එකිනෙකාට ආදරේ කරන්න කියලා මිය යන්න කලින් රාත්‍රියේ යේසුස් ඔහුගේ ගෝලයන්ට මතක් කළා. (යොහන් 15:12, 13 කියවන්න.) මොකද දිගටම එකමුතුව ඉන්නත් ලෝකයෙන් එන පීඩා විඳදරාගන්නත් ඒක උදව් වෙනවා කියලා ඔහු දැනගෙන හිටියා. උදාහරණෙකට තෙසලෝනික සභාවේ අයට ඒක උදව් වුණු විදිහ බලන්න. සභාව පිහිටුවපු කාලේ ඉඳන් ඒ සහෝදර සහෝදරියන් ගොඩක් පීඩාවලට මුහුණ දුන්නා. හැබැයි එයාලා දිගටම එකිනෙකාට ආදරෙන් සැලකුවා. දෙවියන්ට විශ්වාසවන්තව හිටියා. (1 තෙස. 1:3, 6, 7) පාවුල් දිරිගැන්නුවා එයාලගේ ආදරේ ‘තව තවත් වැඩි කරගන්න’ කියලා. (1 තෙස. 4:9, 10) කලකිරිලා ඉන්න අයව සනසන්නත් දුර්වල වෙලා ඉන්න අයට උදව් කරන්නත් ඒක උදව් වෙනවා කියලා එයා දැනගෙන හිටියා. (1 තෙස. 5:14) පාවුල් ලියපු දෙවෙනි ලියුමේ සඳහන් කරලා තිබුණා ‘එකිනෙකා සඳහා ඔබට තිබෙන ප්‍රේමය වැඩි වන ආකාරය ගැන අපට ආරංචි වී ඇත’ කියලා. (2 තෙස. 1:3-5) පාවුල් දීපු ඒ උපදෙස එයාලා අදාළ කරගෙන තිබුණා කියලා ඒකෙන් පැහැදිලියි. විරුද්ධවාදිකම්, පීඩා විඳදරාගන්න ඒ ආදරේ එයාලට උදව් වුණා.

මිනිස්සු අපිට වෛර කරද්දී දිගටම විඳදරාගන්න ආදරේ අපිට උදව් වෙනවා (12 ඡේදය බලන්න) *

12. යුද්ධ කාලේදී අපේ සහෝදරයන් එකිනෙකාට ආදරේ පෙන්නුවේ කොහොමද?

12 කලින් සඳහන් කරපු ඩැනීලෝ සහ එයාගේ බිරිඳගේ අද්දැකීම බලන්න. යුද්ධයක් තිබුණු කාලෙදී එයාලා දිගටම රැස්වීම්වලට සහභාගි වුණා. සේවයේ හවුල් වුණා. කෑම බීම සහෝදරයන් එක්ක බෙදාගත්තා. දවසක් හිටිහැටියෙම හමුදාවේ කට්ටියක් එයාලගේ ගෙදරට ආවා. ඒ ගැන ඩැනීලෝ මෙහෙම කියනවා. “සාක්ෂිකාරයෙක් විදිහට මං කරන සේවය නතර කරන්න කියලා එයාලා මට තර්ජනය කළා. මම බැහැ කියලා කිව්වාම එයාලා මට ගහලා මාව මරනවා කියලා බය කරන්න මගේ ඔළුවට උඩින් වෙඩි තිබ්බා. එයාලා යද්දී මට කිව්වා ආයෙත් ඇවිල්ලා මගේ බිරිඳව දූෂණය කරනවා කියලා. හැබැයි අපේ සහෝදරයන් ඉක්මනින්ම අපි දෙන්නාව කෝච්චියක නග්ගලා වෙන නගරයකට අපිව යැව්වා. ඒ සහෝදරයන් පෙන්නපු ආදරේ අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ. අපි අලුත් නගරයට ආවාම එහේ හිටිය සහෝදරයන් අපිව ආදරෙන් බලාගත්තා. අපිට කෑම බීම දුන්නා. ඉන්න තැනක් හොයාගන්නත් රස්සාවක් හොයාගන්නත් එයාලා අපිට උදව් කළා. ඒ නිසා අපිට පුළුවන් වුණා යුද්ධයෙන් පලා යන සහෝදරයන්ට අපේ ගෙදර නවාතැන් දෙන්න.” ඒ වගේ අද්දැකීම්වලින් පැහැදිලි වෙනවා ලෝකේ අය අපිට වෛර කරද්දී ඒක දරාගන්න සහෝදරයන්ට තියෙන ආදරේ අපිට උදව් වෙනවා කියලා.

සතුරන්ට පෙන්නන ආදරේ

13. මිනිස්සු අපිට වෛර කළත් දිගටම දෙවියන්ට සේවය කරන්න දෙවියන්ගේ බලය අපිට උදව් වෙන්නේ කොහොමද?

13 යේසුස් අනුගාමිකයන්ට කිව්වා සතුරන්ට ප්‍රේම කරන්න කියලා. (මතෙ. 5:44, 45) ඒක කරන එක ලේසි නැති වුණත් දෙවියන්ගේ බලයේ උදව්වෙන් අපිට ඒක කරන්න පුළුවන්. මොකද දෙවියන්ගේ බලයේ උදව්වෙන් ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම වගේ ගුණාංග වර්ධනය කරගන්න පුළුවන්. (ගලා. 5:22, 23) පීඩා දිගටම විඳදරාගන්න ඒ ගුණාංග උදව් වෙනවා. සත්‍යයේ ඉන්න සැමියා, බිරිඳ, දරුවන්, අසල්වැසියන් ඒ ගුණාංග පෙන්නපු නිසා කලින් අපිට විරුද්ධ වුණ හුඟදෙනෙක් වෙනස් වෙලා තියෙනවා. සමහර අය සත්‍යයට ඇවිල්ලත් තියෙනවා. ඉතින්, ඔයාට වෛර කරන අයට ආදරේ කරන්න අමාරුයි කියලා හිතෙනවා නම් දෙවියන්ගේ බලය ඉල්ලලා යාච්ඤා කරන්න. (ලූක් 11:13) යෙහෝවා දෙවියන් කියන විදිහට දේවල් කළොත් කවදාවත් වරදින්නේ නැහැ.—හිතෝ. 3:5-7.

14-15. සැමියා පීඩා කළත් එයාට ආදරෙන් සලකන්න රෝම 12:17-21 යැස්මීන්ට උදව් වුණේ කොහොමද?

14 මැදපෙරදිග රටක ජීවත් වෙන යැස්මීන්ගේ අද්දැකීම බලන්න. යැස්මීන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණාම එයාගේ මහත්තයා හිතුවේ එයා හොඳටම රැවටිලා කියලා. ඒ නිසා යැස්මීන් දෙවියන්ට සේවය කරන එක නතර කරන්න එයා පුළුවන් හැම දේම කළා. නෑදෑයන්ට, කට්ටඩියෙක්ට, පූජකයෙක්ට කියලා යැස්මීන්ව බය කරන්න හැදුවා. ඒ විතරක් නෙවෙයි පවුල කඩන්න හදනවා කියලා එයාලා චෝදනා කළා. රැස්වීමක් පවත්වන වෙලාවක යැස්මීන්ගේ මහත්තයා ඇවිත් එහේ හිටිය සහෝදරයන්ට හොඳටම බැන්නා. මහත්තයා සලකපු විදිහ නිසා යැස්මීන් හුඟක් වෙලාවට හිටියේ හරිම දුකෙන්.

15 යැස්මීන් රැස්වීමට ගියාම සහෝදරයන් එයාව සැනසුවා, ශක්තිමත් කළා. වැඩිමහල්ලන් එයාට දිරිගැන්නුවා රෝම 12:17-21 (කියවන්න) අදාළ කරගන්න කියලා. යැස්මීන් ඒ ගැන මෙහෙම කියනවා. “ඒක කරන එක මට ලේසි වුණේ නෑ. ඒ නිසා මං යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලලා බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න උපරිමයෙන් උත්සාහ කළා. මගේ මහත්තයා හිතාමතාම කුස්සිය හැඩි කළාම මං මුකුත්ම කියන්නේ නැතුව ඒක සුද්ද කළා. මට අපහාස කරද්දී මං කේන්ති ගත්තේ නෑ. එයා අසනීප වුණාම මං එයාව ආදරෙන් බලාගත්තා.”

අපිට පීඩා කරන අයට අපි ආදරෙන් සලකද්දී සමහරවිට එයාලා වෙනස් වෙයි (16-17 ඡේද බලන්න) *

16-17. යැස්මීන්ගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

16 දිගටම මහත්තයාට ආදරෙන් සලකපු නිසා යැස්මීන්ට හොඳ ප්‍රතිඵල ලැබුණා. එයා මෙහෙම කියනවා. “මං හැම වෙලාවෙම ඇත්ත කතා කරපු නිසා මගේ මහත්තයාට මං ගැන ලොකු විශ්වාසයක් ඇති වුණා. ආගම් ගැන ගෙදර කතා කරද්දී මං කියන දේවලටත් එයා හොඳින් ඇහුම්කන් දුන්නා. නමස්කාරයේ දේවල් නිදහසේ කරගෙන යන්න එයා මට ඉඩ දුන්නා. දැන් එයා මාව දිරිගන්වනවා රැස්වීම් යන්න කියලා. දැන් අපි දෙන්නා හරිම ආදරෙන් සතුටෙන් ඉන්නවා. යෙහෝවා දෙවියන්ට සේවය කරන්න කවදා හරි දවසක මගේ මහත්තයාත් සත්‍යයට එයි කියලා මං බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

17 ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා සියල්ල ඉවසා දරාගනියි, සියල්ල ගැන බලාපොරොත්තුවෙන් සිටියි, සියල්ල විඳදරාගනියි’ කියලා යැස්මීන්ගේ අද්දැකීමෙන් පැහැදිලි වෙනවා නේද? (1 කොරි. 13:4, 7) ඇත්තටම ප්‍රේමය වෛරයට වඩා හුඟක් බලවත්. වෛරය නිසා හිත් පෑරුණත් ආදරේට පුළුවන් හිත් දිනාගන්න. අපි දිගටම අනිත් අයට ආදරෙන් සලකද්දී යෙහෝවා දෙවියනුත් ඒ ගැන සතුටු වෙනවා. අපිට පීඩා කරන අයට අපි දිගටම ආදරෙන් සැලකුවත් සමහරවිට එයාලා අපිට පීඩා කරන එක නවත්වන එකක් නැහැ. ඒත් අපිට සතුටින් ඉන්න පුළුවන්. ඒ ඇයි?

වෛරයට ලක් වුණත් සතුටින්

18. වෛරයට ලක් වුණත් සතුටින් ඉන්න අපිට තියෙන හේතු මොනවාද?

18 යේසුස් කිව්වා ‘මිනිසුන් ඔබට වෛර කරද්දී ඔබ සන්තෝෂවත්’ කියලා. (ලූක් 6:22) මිනිස්සු අපිට වෛර කරද්දී, අපිට පීඩා කරද්දී අපි සතුටක් දැනෙන්නේ නැහැ. එහෙනම් අනිත් අය අපිට වෛර කරද්දී සතුටු වෙන්න පුළුවන් කියලා යේසුස් කිව්වේ ඇයි? ඒකට හේතු තුනක් තියෙනවා. (1) පීඩා විඳදරාගද්දී දෙවියන්ගේ අනුමැතිය අපිට ලැබෙනවා. (1 පේතෘ. 4:13, 14) (2) අපේ විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. (1 පේතෘ. 1:7) (3) සදහටම ජීවත් වෙන්න අපිට අවස්ථාව ලැබෙනවා.—රෝම 2:6, 7.

19. හොඳටම ගුටි කෑවට පස්සෙත් නියෝජිතයන් සතුටින් හිටියේ ඇයි?

19 යේසුස් කිව්ව ඒ සතුට මොන වගේ එකක්ද කියලා ඔහු නැවත නැඟිටලා ටික කාලෙකට පස්සේ නියෝජිතයන් අද්දැක්කා. හොඳටම ගහලා, දේශනා සේවය නතර කරන්න කියලා තර්ජනය කළාට පස්සෙත් එයාලා සතුටින් හිටියා. ඒ ඇයි? බයිබලේ ඒ ගැන කියන්නේ, ‘ඔවුන් යේසුස්ගේ නාමය නිසා නින්දා විඳින්න ලැබීම කොතරම් උතුම් වරප්‍රසාදයක්ද කියා සිතමින් ප්‍රීතියෙන් පිටත්ව ගියා’ කියලා. (ක්‍රියා 5:40-42) සතුරන්ගෙන් ආපු පීඩා ගැන බයක් දැනුණත් එයාලගේ හිත්වල යේසුස් ගැන ඊට වඩා ලොකු ආදරයක් තිබුණා. එයාලා නතර කරන්නේ නැතුව දිගටම ශුභාරංචිය දේශනා කරපු එකෙන් ඒක පැහැදිලි වුණා. අද ඉන්න අපේ සහෝදර සහෝදරියනුත් විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන්නත් දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරනවා. එයාලට යෙහෝවා දෙවියන් ගැන තියෙන ආදරේ, ඔහු වෙනුවෙන් කරන සේවය කවදාවත් දෙවියන් අමතක කරන්නේ නැහැ කියලා එයාලා දන්නවා.—හෙබ්‍රෙ. 6:10.

20. ඊළඟ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

20 මේ දුෂ්ට සමාජය විනාශ වෙන කල් ලෝකේ අයගේ වෛරයට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. (යොහ. 15:19) හැබැයි අපි බය වෙන්න ඕනෙ නැහැ. මොකද අපි ඊළඟ ලිපියෙන් බලන්න යන විදිහට යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව ‘ශක්තිමත් කරනවා. එයාලව ආරක්ෂා කරනවා.’ (2 තෙස. 3:3) ඒ නිසා යෙහෝවා දෙවියන්ටත් සහෝදරයන්ටත් අපේ සතුරන්ටත් දිගටම ආදරේ පෙන්නන්න අධිෂ්ඨාන කරගමු. අපි එහෙම කරද්දී යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් වෙයි. සහෝදරයන් අතරේ තියෙන එකමුතුකම තවත් වැඩි වෙයි. ඒ විතරක් නෙවෙයි යෙහෝවා දෙවියන්ව ගෞරවයට පත් කරන්නත් ප්‍රේමය වෛරයට වඩා ගොඩක් බලවත් කියලා ඔප්පු කරන්නත් අපිට පුළුවන් වෙයි.

ගීතිකාව 106 උතුම්ම ගුණාංගය ප්‍රේමයයි

^ 5 ඡේ. ලෝකයේ මිනිස්සු අපිට වෛර කරද්දී දිගටම විඳදරාගන්න යෙහෝවා දෙවියන්ට තියෙන ආදරේ, සහෝදරයන්ට තියෙන ආදරේ, සතුරන්ට පෙන්නන ආදරේ අපිට උදව් වෙන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් බලනවා. අනිත් අය වෛර කරද්දී ඒ ගැන සතුටු වෙන්න කියලා යේසුස් කිව්වේ ඇයි කියලත් අපි බලනවා.

^ 1 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 58 ඡේ. පින්තූරයේ අදහස: හමුදාවේ අය තර්ජනය කළාම ඩැනීලෝ සහ එයාගේ බිරිඳට වෙනත් ප්‍රදේශයකට යන්න සහෝදරයන් උදව් කළා. අලුත් ප්‍රදේශයේ සහෝදරයන් එයාලව ආදරෙන් පිළිගත්තා.

^ 60 ඡේ. පින්තූරයේ අදහස: සැමියාගේ විරුද්ධවාදීකම්වලට මුහුණ දීපු යැස්මීන්ට වැඩිමහල්ලන් අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දුන්නා. හොඳ බිරිඳක් වෙන්න එයාට පුළුවන් හැම දේම එයා කළා. සැමියා අසනීප වුණාම ආදරෙන් බලාගත්තා.