Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ක්‍රිස්තියානීන් ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයන් හරහා පණිවිඩ හුවමාරු කරන එක ගැන පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?

අපි අතර ඉන්න සමහර අය පවුලේ අය එක්ක, යාළුවන් එක්ක කතාබහ කරන්න අලුත් තාක්ෂණය පාවිච්චි කරනවා. හැබැයි අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානියෙක් බයිබලේ තියෙන මේ උපදෙස අමතක කරන්නේ නැහැ. “බුද්ධිමත් තැනැත්තා අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙයි. එහෙත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.”—හිතෝ. 27:12.

යෙහෝවා දෙවියන් ආශ්‍රිතයන් ගැන සැලකිලිමත් වෙන්න කියලා කියන්නේ අපේම හොඳටයි කියලා අපි දන්නවා. ඒ නිසා භේද පතුරුවන අයත් එක්ක, සභාවෙන් ඉවත් කරපු අයත් එක්ක නැත්නම් බොරු ඉගැන්වීම් පතුරුවන අයත් එක්ක අපි ආශ්‍රය කරන්නේ නැහැ. (රෝම 16:17; 1 කොරි. 5:11; 2 යොහ. 10, 11) බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන්නේ නැති අයත් සභාවේ ඉන්න පුළුවන්. (2 තිමෝ. 2:20, 21) ඒ නිසා යාළුවන්ව තෝරගද්දී අපි පරෙස්සම් වෙන්න ඕනේ. හැබැයි අපි යාළුවන් එක්ක අදහස් හුවමාරු කරන්නේ ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයෙන් නම් ඒක කරන එක ලේසි නැහැ.

විශේෂයෙන්ම ලොකු කණ්ඩායමක් එක්ක පණිවිඩ හුවමාරු කරගද්දී අපි ගොඩක් පරෙස්සම් වෙන්න ඕනේ. මොකද සමහර සහෝදරයන් ඒකෙන් ගොඩක් නරක ප්‍රතිඵල අද්දැකලා තියෙනවා. කෙනෙක් සිය දහස් ගාණක් ඉන්න කණ්ඩායමක් එක්ක අදහස් හුවමාරු කරන්න ගියොත් යාළුවන් තෝරගන්න එක ගැන පරෙස්සම් වෙන්න එයාට පුළුවන්ද? ඒ කණ්ඩායමේ ඉන්නේ මොන වගේ අයද, එයාලා බයිබල් ප්‍රතිපත්ති අනුව ජීවත් වෙනවාද කියලා දැනගන්න විදිහක් නැහැ. ගීතාවලිය 26:4 කියන්නේ “වංක මිනිසුන් සමඟ හිඳ නොගත්තෙමි. තමන් කවුදැයි සඟවන අය සමඟ ඇසුරු නොකළෙමි” කියලයි. අපි දන්න කියන අය එක්ක විතරක් ඉලෙක්ට්‍රෝනික මාධ්‍යය හරහා පණිවිඩ හුවමාරු කරන එක කොච්චර ඥානවන්තද කියලා පැහැදිලියි නේද?

අපි සම්බන්ධ වෙලා ඉන්නේ පොඩි කණ්ඩායමක් එක්ක වුණත් අපි ඒකට කොච්චර කාලයක් වැය කරනවාද ඒ අය කතා කරන්නේ මොනවා ගැනද කියලා සැලකිලිමත් වෙන්න ඕනේ. එයාලා එවන හැම පණිවිඩයකටම උත්තර යවන්න අපි බැඳිලා නැහැ. පාවුල් තිමෝතිට අනතුරු ඇඟෙව්වා සභාව තුළ ඉන්න ‘ඕපාදූප කියන අය සහ අනුන්ගේ වැඩකටයුතුවලට ඇඟිලි ගහන්න පුරුදු වෙලා ඉන්න අයගෙන්’ පරෙස්සම් වෙන්න කියලා. (1 තිමෝ. 5:13) අදත් ඉලෙක්ට්‍රෝනික මාධ්‍යය හරහා අපිත් එක්ක සම්බන්ධ වෙන අය අතරේ ඒ වගේ අය ඉන්න පුළුවන්.

අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් අනිත් අයව විවේචනය කරන්නෙවත් එයාලගේ පෞද්ගලික කාරණා හෙළි කරන්නෙවත් නැහැ. අනිත් අය ඒ ගැන කතා කරද්දී ඒවාට සවන් දෙන්නෙත් නැහැ. (ගීතා. 15:3; හිතෝ. 20:19) කිසි පදනමක් නැති දේවලට ඇහුම්කන් දෙන්නෙවත් ඒවා පතුරුවන්නෙවත් නැහැ. (එෆී. 4:25) දෙවියන් එක්ක තියෙන අපේ බැඳීම ශක්තිමත් කරන්න උදව් වෙන තොරතුරු ඕනෙ තරම් අපේ වෙබ් අඩවියේ සහ JW බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන්වල තියෙනවා. උදාහරණෙකට බයිබලේ මත පදනම් තොරතුරු, ලෝකේ පුරාම ඉන්න අපේ සහෝදරයන් ගැන සත්‍ය තොරතුරු ඒවායින් අපිට දැනගන්න පුළුවන්.

සමහර සාක්ෂිකරුවන් දේවල් මිල දී ගන්න, විකුණන්න, වෙළඳ දැන්වීම් දාන්න සහ රැකියාවන් ලබාගන්න ඉලෙක්ට්‍රෝනික මාධ්‍යය හරහා පණිවිඩ හුවමාරු කරගන්නවා. හැබැයි ඒවා නමස්කාර කටයුතුවලට සම්බන්ධ ඒවා නෙවෙයි. “මුදලට තිබෙන ආශාව” නැති කරලා දාන්න උපරිමයෙන් වෑයම් කරන ක්‍රිස්තියානීන් කවදාවත් ව්‍යාපාරික කටයුතු කරද්දී අපේ සහෝදරත්වයෙන් අයුතු ප්‍රයෝජන ගන්නේ නැහැ.—හෙබ්‍රෙ. 13:5.

අවශ්‍යතා තියෙන සහෝදරයන්ට හරි ආපදාවක් නිසා පීඩා විඳින සහෝදරයන්ට හරි උදව් කරන්න කියලා ඉලෙක්ට්‍රෝනික මාධ්‍යය හරහා පණිවිඩ යවන එක ගැන කියන්න පුළුවන් මොකක්ද? අපි අපේ සහෝදරයන්ට ගොඩක් ආදරේ නිසා එයාලව දිරිගන්වන්න එයාලට උදව් කරන්න අපි හදවතින්ම පෙලඹෙනවා. (යාකො. 2:15, 16) හැබැයි ලොකු කණ්ඩායමක් හවුල් කරගෙන ඒ දේ කළොත්, ශාඛා කාර්යාලයෙන් නැත්නම් සභාවේ වැඩිමහල්ලන් යොදලා තියෙන සැලසුම්වලට ඒක බාධාවක් වෙන්න පුළුවන්. (1 තිමෝ. 5:3, 4, 9, 10, 16) අනික දෙවියන්ගේ සෙනඟව බලාගන්න අපිට විශේෂ පැවරුමක් ලැබිලා තියෙනවා කියලා ඇඟවෙන විදිහට වැඩ කරන එකෙන් වැළකිලා ඉන්න අපි වගබලා ගන්න ඕනේ.

කරන කියන හැම දේකින්ම දෙවියන්ට ප්‍රශංසාව දෙන්නයි අපිට ඕනේ. (1 කොරි. 10:31) ඒ නිසා ඉලෙක්ට්‍රෝනික මාධ්‍යය හරහා පණිවිඩ හුවමාරු කරද්දී ඒවාවල තියෙන අනතුරු, අවධානම් ගැන අපි සැලකිලිමත් වෙමු.