Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 13

යෙහෝවා දෙවියන් ඔයාව ආරක්ෂා කරන්නේ කොහොමද?

යෙහෝවා දෙවියන් ඔයාව ආරක්ෂා කරන්නේ කොහොමද?

“ස්වාමීන් විශ්වාසවන්තය. ඔහු ඔබව ශක්තිමත් කර දුෂ්ටයාගේ හානිකර බලපෑම්වලින් ඔබව ආරක්ෂා කරයි.”—2 තෙස. 3:3.

ගීතිකාව 124 යෙහෝවා දෙවිට ළැදි වෙමු

මේ ලිපියෙන් *

1. තමන්ගේ ගෝලයන්ව ආරක්ෂා කරන්න කියලා යේසුස් යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලුවේ ඇයි?

යේසුස් පොළොවේ ගත කරපු අන්තිම රාත්‍රියේදී ඔහුගේ ගෝලයන්ට ඉදිරියේදී මුහුණ දෙන්න වෙන පීඩා ගැන කල්පනා කළා. යේසුස් ගෝලයන්ට හුඟක් ආදරේ කරපු නිසා දුෂ්ටයාගේ බලපෑමෙන් එයාලව ආරක්ෂා කරන්න කියලා ඔහු දෙවියන්ගෙන් ඉල්ලුවා. (යොහ. 17:14, 15) තමන් ස්වර්ගයට ගියාට පස්සේ සාතන් දෙවියන්ට සේවය කරන අයට දිගටම පීඩා කරනවා කියලා ඔහු දැනන් හිටියා. යෙහෝවා දෙවියන්ගේ සෙනඟට ඔහුගේ රැකවරණය ඕනෙමයි කියලා ඒකෙන් පැහැදිලියි නේද?

2. අපේ යාච්ඤාවලට යෙහෝවා දෙවියන් උත්තර දෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන් ඇයි?

2 යෙහෝවා දෙවියන් යේසුස්ගේ යාච්ඤාවට උත්තර දුන්නේ ඔහු යේසුස්ට ගොඩක් ආදරේ කරපු නිසයි. අපිත් යෙහෝවා දෙවියන්ගේ හිත සතුටු කරන්න අපේ උපරිමය කරනවා නම් ඔහු අපිටත් ආදරේ කරයි. රැකවරණය, උදව්ව ඉල්ලලා අපි කරන යාච්ඤාවලටත් ඔහු උත්තර දෙයි. ආදරණීය තාත්තා කෙනෙක් වගේ යෙහෝවා දෙවියන් ඔහුගේ දරුවන්ව දිගටම ආදරෙන් රැකබලා ගන්නවා. එහෙම කළේ නැත්නම් ඔහුගේ නමට වෙන්නේ ලොකු අගෞරවයක්.

3. මේ කාලේදී යෙහෝවා දෙවියන්ගේ රැකවරණය අපිට ඕනෙ ඇයි?

3 වෙන කවදාටත් වඩා මේ කාලේදී යෙහෝවා දෙවියන්ගේ රැකවරණය අපිට ඕනෙමයි. මොකද සාතන්ව පොළොවට හෙළලා තියෙන නිසා එයා ඉන්නේ හරිම කේන්තියෙන්. (එළි. 12:12) අපිට පීඩා කරන එක ‘දෙවියන්ට කරන සේවයක්’ කියලා හිතන්න සාතන් මිනිසුන්ව පොලඹවලා තියෙනවා. (යොහ. 16:2) දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ නැති සමහර අය අපිට පීඩා කරන්නේ ලෝකේ අයට අපි සමාන වෙන්නේ නැති නිසයි. ඒ මොන හේතුව නිසා මිනිස්සු අපිට පීඩා කළත් අපි බය වෙන්න ඕනෙ නැහැ. මොකද බයිබලේ මෙහෙම කියනවා. “ස්වාමීන් විශ්වාසවන්තය. ඔහු ඔබව ශක්තිමත් කර දුෂ්ටයාගේ හානිකර බලපෑම්වලින් ඔබව ආරක්ෂා කරයි.” (2 තෙස. 3:3) යෙහෝවා දෙවියන් අපිව ආරක්ෂා කරන විදි දෙකක් ගැන දැන් අපි බලමු.

යුද්ධායුධ කට්ටලය

4. එෆීස 6:13-17 අනුව අපිව ආරක්ෂා කරන්න යෙහෝවා දෙවියන් දීලා තියෙන්නේ මොකක්ද?

4 සාතන්ගේ ප්‍රහාරවලින් ආරක්ෂා වෙන්න යෙහෝවා දෙවියන් යුද්ධායුධ කට්ටලයක් අපිට දීලා තියෙනවා. (එෆීස 6:13-17 කියවන්න.) ඒක කොච්චර ශක්තිමත් වුණත් ඒකෙන් ආරක්ෂාව ලබන්න නම් යුද්ධායුධ කට්ටලයේ තියෙන හැම කොටසක්ම අපි පැළඳගෙන ඉන්න ඕනේ. ඒ යුද්ධායුධ කට්ටලයේ කොටස් මොනවාද කියලා දැන් බලමු.

5. සත්‍යය නමැති පටියෙන් නියෝජනය වෙන්නේ මොකක්ද? ඒක අපි පැළඳගෙන ඉන්න ඕනෙ ඇයි?

5 සත්‍යය නමැති පටියෙන් නියෝජනය වෙන්නේ බයිබලේ සඳහන් සත්‍යයන්. ඒ පටිය අපි බැඳගෙන ඉන්න ඕනෙ ඇයි? මොකද “බොරුවේ පියා” වන සාතන් අවුරුදු දහස් ගාණක් තිස්සේ බොරු කියලා “මුළු පොළොවම” නොමඟ යවලා තියෙනවා. (යොහ. 8:44; එළි. 12:9) හැබැයි බයිබල් සත්‍යයන්වලට පුළුවන් අපිව ඒ බොරුවලින් ආරක්ෂා කරන්න. සත්‍යය නමැති පටිය අපිට පැළඳගන්න පුළුවන් කොහොමද? අපි යෙහෝවා දෙවියන් ගැන සත්‍යය ඉගෙනගන්නවා නම්, “ඔහු ලබා දෙන මඟ පෙන්වීමට හා ඔහු එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව” හැම කාරණයකදීම අවංකව වැඩ කරනවා නම් සත්‍යය නමැති ඒ පටිය අපි බැඳගෙන ඉන්නවා කියලා කියන්න පුළුවන්.—යොහ. 4:24; එෆී. 4:25; හෙබ්‍රෙ. 13:18.

පටිය: බයිබලේ තියෙන සත්‍යයන්

6. ධර්මිෂ්ඨකම නමැති ළයවැස්මෙන් නියෝජනය වෙන්නේ මොකක්ද? ඒක අපි ඇඳගෙන ඉන්න ඕනෙ ඇයි?

6 ධර්මිෂ්ඨකම නමැති ළයවැස්මෙන් නියෝජනය වෙන්නේ යෙහෝවා දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිති. අපි ඒක ඇඳගෙන ඉන්න ඕනෙ ඇයි? මොකද, ළයවැස්මකින් සොල්දාදුවෙක්ගේ පපුව ආරක්ෂා කරගන්න පුළුවන් වගේ මේ දූෂිත ලෝකයේ බලපෑම්වලින් අපේ හදවත ආරක්ෂා කරගන්න ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම උදව් වෙනවා. (හිතෝ. 4:23) අපි මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ට ආදරේ කරයි කියලත් සේවය කරයි කියලත් ඔහු බලාපොරොත්තු වෙනවා. (මතෙ. 22:36, 37) හැබැයි සාතන් හදන්නේ මේ ලෝකේ තියෙන දේවලට අපේ හිතේ ආශාවක් ඇති කරලා අපි මුළු හදවතින්ම යෙහෝවා දෙවියන්ට කරන සේවය නතර කරන්න. (යාකො. 4:4; 1 යොහ. 2:15, 16) ඒක හරි ගියේ නැත්නම් අපිව බය කරලා, තර්ජනය කරලා යෙහෝවා දෙවියන් අකමැති දෙයක් කරන්න පොලඹවන්න සාතන් උත්සාහ කරනවා.

ළයවැස්ම: යෙහෝවා දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිති

7. ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම අපිට ඇඳගන්න පුළුවන් කොහොමද?

7 යෙහෝවා දෙවියන් දීලා තියෙන නීති, ප්‍රතිපත්ති පිළි අරන් ඒවා අදාළ කරගන්නවා නම් අපි පෙන්නන්නේ ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම අපි ඇඳගෙන ඉන්නවා කියලයි. (ගීතා. 97:10) සමහර අයට හිතෙන්න පුළුවන් ඒ නීති, ප්‍රතිපත්ති ජීවිතයට ලොකු බරක් කියලා. හැබැයි එහෙම හිතලා ඒ ප්‍රතිපත්ති අදාළ කරගන්න එක නතර කළොත් මොනවා වෙයිද? ඒක හරියට යුද්ධයක් අතරතුරේදී සොල්දාදුවෙක් ළයවැස්ම බර වැඩියි කියලා ඒක ගලවලා දානවා වගෙයි. ඒක කොච්චර මෝඩ තීරණයක්ද! හැබැයි යෙහෝවා දෙවියන්ට ආදරේ අය නම් ඔහුගේ ආඥා පිළිපදින එක “බරක්” කියලා හිතන්නේ නැහැ, ඒකෙන් ජීවිතයට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා කියලා එයාලා දන්නවා.—1 යොහ. 5:3.

8. පාවහන් පැළඳගෙන ගමනට සූදානම්ව සිටිනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

8 පාවහන් පැළඳගෙන ගමනට සූදානම්ව ඉන්නවා වගේ නිතරම ශුභාරංචිය දේශනා කරන්න සූදානමින් ඉන්න කියලා පාවුල් අපිව දිරිගැන්නුවා. බයිබලේ තියෙන පණිවිඩය අනිත් අයට කියද්දී අපේ විශ්වාසය තවත් වැඩි වෙනවා. ලොව පුරා ඉන්න සහෝදර සහෝදරියන් ශුභාරංචිය කියන්න ලැබෙන හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්න එක අපිට ලොකු සතුටක්. උදාහරණෙකට වැඩපොළේදී, ඉස්කෝලෙදී, ගෙයින් ගෙට සේවය කරද්දී, ව්‍යාපාරික ස්ථානවලදී, කඩසාප්පු යද්දී, සත්‍යයේ නැති නෑදෑයන්ව සහ යාළුවන්ව මුණගැහෙද්දී වගේ හැම අවස්ථාවකම එයාලා ශුභාරංචිය ගැන කතා කරනවා. සමහර තත්වයන් නිසා ගෙදරටම කොටු වෙලා ඉන්න වුණත් එයාලා දේශනා කරන එක නතර කරන්නේ නැහැ. අපි බය වෙලා ශුභාරංචිය දේශනා කරන එක නතර කළොත් ඒක හරියට යුද්ධයකදී සොල්දාදුවෙක් එයාගේ පාවහන් ගලවලා දානවා වගේ. ඒකෙන් ලේසියෙන්ම එයාගේ කකුල් තුවාල වෙන්න පුළුවන්. සතුරු ප්‍රහාරවලට මුහුණ දෙන්නත් හමුදාපතිගේ නියෝග පිළිපදින්නත් එයාට බැරි වෙයි.

පාවහන්: ශුභාරංචිය දේශනා කරන්න සූදානමින් ඉන්න එක

9. විශ්වාසය නමැති විශාල පලිහ අපි කොයි වෙලෙත් අතේ තියන් ඉන්න ඕනෙ ඇයි?

9 විශ්වාසය නමැති විශාල පලිහෙන් නියෝජනය වෙන්නේ යෙහෝවා දෙවියන් ගැන අපිට තියෙන විශ්වාසය. දෙවියන්ගේ පොරොන්දු ඔහු අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියන එක ගැන අපිට කිසිම සැකයක් නැහැ. ‘දුෂ්ටයා විදින සියලුම ගිනිමය ඊතල නිවා දාන්න’ ඒක අපිට උදව් වෙනවා. විශ්වාසය කියන විශාල පලිහ කොයි වෙලෙත් අපි අතේ තියන් ඉන්න ඕනෙ ඇයි? සත්‍යයට විරුද්ධව කැරලිගහන අයගේ ඉගැන්වීම්වලින් ආරක්ෂා වෙන්නත් අපිට විරුද්ධව නින්දා අපහාස කරද්දී නොසැලී ඉන්නත් ඒක අපිට උදව් වෙනවා. හැබැයි අපිට ශක්තිමත් විශ්වාසයක් තිබුණේ නැත්නම් යෙහෝවා දෙවියන් අකමැති දෙයක් කරන්න අනිත් අය අපිව පොලඹවන්න හදද්දී ඒකට විරුද්ධව ඉන්න අපිට පුළුවන් වෙන්නේ නැහැ. ටිකකට මෙහෙම හිතන්න. ඉස්කෝලෙදී නැත්නම් වැඩපොළේදී යෙහෝවා දෙවියන් අකමැති දෙයක් කරන්න අනිත් අය ඔයාව පොලඹවන්න හදද්දී ඔයා ඒක ප්‍රතික්ෂේප කරනවාද? (1 පේතෘ. 3:15) නමස්කාර කටයුතුවලට බාධා වෙන හොඳ පඩියක් ලැබෙන රස්සාවක් ලැබුණොත් ඔයා ඒක ප්‍රතික්ෂේප කරනවාද? (හෙබ්‍රෙ. 13:5, 6) කොච්චර විරුද්ධවාදිකම් ආවත් ඔයා දිගටම දෙවියන්ට සේවය කරනවාද? (1 තෙස. 2:2) ඒ හැම ප්‍රශ්නයකටම උත්තරය “ඔව්” නම් ඒ කියන්නේ ඒ හැම වතාවකදීම ඔයාගේ විශ්වාසය විශාල පලිහක් වගේ ඔයාව ආරක්ෂා කරලා තියෙනවා.

පලිහ: යෙහෝවා දෙවියන් ගැනත් ඔහු දීලා තියෙන පොරොන්දු ගැනත් තියෙන විශ්වාසය

10. ගැලවීම නමැති හිස්වැස්ම මොකක්ද? ඒක අපි දාගෙන ඉන්න ඕනෙ ඇයි?

10 ගැලවීම නමැති හිස්වැස්මෙන් නියෝජනය වෙන්නේ යෙහෝවා දෙවියන් දීලා තියෙන බලාපොරොත්තුව. ඒ තමයි යෙහෝවා දෙවියන්ගේ සේවකයන්ට ඔහු ආශීර්වාද කරනවා, අපි මැරුණත් අනිවාර්යයෙන්ම ඔහු අපිට ආයෙත් ජීවිතය දෙනවා කියන බලාපොරොත්තුව. (1 තෙස. 5:8; 1 තිමෝ. 4:10; තීත. 1:1, 2) හිස්වැස්මකින් සොල්දාදුවෙක්ගේ හිස ආරක්ෂා වෙනවා වගේ අපිට තියෙන බලාපොරොත්තුවෙන් අපේ සිතුවිලි ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. ඒ කොහොමද? ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙද්දී දෙවියන් දීලා තියෙන පොරොන්දු ගැන හිතන්නත් කාරණා දිහා දෙවියන් බලන විදිහට බලන්නත් අපේ බලාපොරොත්තුව අපිට උදව් වෙනවා. ගැලවීම නමැති හිස්වැස්ම අපිට දාගෙන ඉන්න පුළුවන් කොහොමද? යෙහෝවා දෙවියන් හිතන විදිහට හිතන්න අපිත් උත්සාහ කරනවා නම් ඒක කරන්න අපිට පුළුවන්. උදාහරණෙකට අපි විශ්වාසය තියන්නේ දෙවියන් ගැන මිසක් අවිනිශ්චිත ධනය ගැන නෙවෙයි.—ගීතා. 26:2; 104:34; 1 තිමෝ. 6:17.

හිස්වැස්ම: සදාකාලයටම ජීවත් වෙන්න තියෙන බලාපොරොත්තුව

11. දෙවියන්ගේ බලය තුළින් ලබා දී ඇති කඩුව මොකක්ද? අපි ඒක පාවිච්චි කරන්න ඕනෙ ඇයි?

11 දෙවියන්ගේ බලය තුළින් ලබා දී ඇති කඩුවෙන් නියෝජනය වෙන්නේ බයිබලය. බොරු ඉගැන්වීම්වලිනුත් හානිකර පුරුදුවලිනුත් මිනිසුන්ව නිදහස් කරන්න බයිබලේට පුළුවන්. (2 කොරි. 10:4, 5; 2 තිමෝ. 3:16, 17; හෙබ්‍රෙ. 4:12) පෞද්ගලික අධ්‍යයනයෙනුත් සංවිධානයෙන් දෙන පුහුණුවෙනුත් අපේ කඩුව ඒ කියන්නේ බයිබලය දක්ෂ විදිහට පාවිච්චි කරන්න අපිට ඉගෙනගන්න පුළුවන්. (2 තිමෝ. 2:15) දෙවියන් දීලා තියෙන යුද්ධායුධ කට්ටලයට අමතරව තවත් විදිවලින් ඔහු අපිව ආරක්ෂා කරනවා. දැන් අපි ඒ ගැන බලමු.

කඩුව: දෙවියන්ගේ වචනය වන බයිබලය

අපි සටන් කරන්නේ තනියෙන් නෙවෙයි

12. අපිට උදව් ඕනෙ තව කාගෙන්ද? ඒ ඇයි?

12 අද්දැකීම් තියෙන සොල්දාදුවෙක් දන්නවා සතුරු හමුදාවක් එක්ක එයාට තනියෙන් සටන් කරන්න බැහැ කියලා. අනිත් සොල්දාදුවන්ගේ උදව් එයාට ඕනේ. ඒ වගේ සාතනුයි එයාගේ පැත්තේ ඉන්න අයයි එක්ක අපිටත් තනියෙන් සටන් කරන්න බැහැ. සහෝදර සහෝදරියන්ගේ උදව් අපිට ඕනෙමයි. අපිට උදව් කරන්න ලෝකේ පුරාම මිලියන ගාණක් සහෝදරයන්ව යෙහෝවා දෙවියන් අපිට දීලා තියෙනවා.—1 පේතෘ. 2:17.

13. හෙබ්‍රෙව් 10:24, 25 අනුව රැස්වීම්වලට සහභාගි වෙන එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

13 රැස්වීම්වලට සහභාගි වෙන එකෙනුත් අපිට ප්‍රයෝජන ලැබෙනවා. (හෙබ්‍රෙව් 10:24, 25 කියවන්න.) සමහර වෙලාවට අපි අධෛර්යය වුණාම ඒකෙන් ගොඩ එන්න රැස්වීම් අපිට උදව් වෙනවා. උදාහරණෙකට රැස්වීම්වලදී අනිත් අය දෙන අදහස්වලින් අපි දිරිගැන්වෙනවා. දේශනවලින්, නිරූපණවලින් යෙහෝවා දෙවියන්ට සේවය කරන්න අපි අරන් තියෙන අධිෂ්ඨානය ශක්තිමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි රැස්වීම් පටන්ගන්න කලින් සහ ඉවර වුණාම සහෝදරයන්ව ආශ්‍රය කරන එකෙනුත් අපි දිරිගැන්වෙනවා. (1 තෙස. 5:14) ඒ වගේම රැස්වීම් ගියාම අනිත් අයට උදව් කරන්න ලැබෙන එකෙනුත් අපිට ලොකු සතුටක් දැනෙනවා. (ක්‍රියා 20:35; රෝම 1:11, 12) දක්ෂ ගුරුවරයෙක් වෙන්න රැස්වීම්වලින් අපිට හොඳ පුහුණුවකුත් ලැබෙනවා. උදාහරණෙකට අපේ ඉගැන්වීම් කට්ටලය දක්ෂ විදිහට පාවිච්චි කරන්න රැස්වීම්වලින් අපි ඉගෙනගන්නවා. ඒ නිසා රැස්වීම්වලට යන්න කලින් හොඳින් සූදානම් වෙන්න. රැස්වීම්වල උගන්වන දේවලට හොඳින් ඇහුම්කන් දෙන්න. ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න. එහෙම කරනවා නම් “ක්‍රිස්තුස් යේසුස්ගේ යහපත් හේවායෙක්” වෙන්න ඔයාට පුළුවන්.—2 තිමෝ. 2:3.

14. අපිට උදව් ලැබෙන තවත් විදිහක් මොකක්ද?

14 දේවදූතයන් මිලියන ගාණකගේ උදව්වත් අපිට ලැබෙනවා. ටිකකට හිතන්න එක දේවදූතයෙක්ට කොච්චර ලොකු බලයක් තියෙනවාද කියලා. (යෙසා. 37:36) එහෙනම් දේවදූතයන් මිලියන ගාණක් එකතු වුණාම එයාලට කොච්චර දේවල් කරන්න පුළුවන් වෙයිද? කිසිම මිනිසෙක්ටවත් භූතයෙක්ටවත් යෙහෝවා දෙවියන්ගේ බලවත් සේනාව එක්ක සටන් කරලා දිනන්න බැහැ. ඒ නිසා යෙහෝවා දෙවියන් අපිත් එක්ක ඉද්දී කිසිම සතුරෙක්ට අපිව පරද්දන්න බැහැ. (විනි. 6:16) ඉස්කෝලේ කෙනෙක්, වැඩපොළේ කෙනෙක් නැත්නම් සත්‍යයේ නැති නෑදෑයෙක් කියන කරන දෙයක් නිසා ඔයා අධෛර්යය වුණොත් ඔයාගේ උදව්වට කීදෙනෙක් ඉන්නවාද කියලා මතක් කරගන්න එක ඔයාට ලොකු ශක්තියක් වෙයි. ඔයා මේ සටන කරන්නේ තනියම නෙවෙයි. ඔයා යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් පතන නිසා ඔහු ඔයා ළඟින්ම ඉන්නවා.

යෙහෝවා දෙවියන් දිගටම අපිව ආරක්ෂා කරනවා

15. යෙසායා 54:15, 17 අනුව දෙවියන්ගේ සෙනඟ කරන සේවය නතර කරන්න කාටවත් බැරි ඇයි?

15 සාතන් යටතේ ඉන්න මිනිස්සු අපිට වෛර කරන්න ඕන තරම් හේතු තියෙනවා. අපි දේශපාලනයටවත් යුද්ධවලටවත් හවුල් වෙන්නේ නැහැ. දෙවියන්ගේ නාමය ගැනත් පොළොවට සාමය ගේන්න පුළුවන් දේවරාජ්‍යයට විතරයි කියලත් අපි දේශනා කරනවා. අපි ජීවත් වෙන්නේ බයිබල් ප්‍රතිපත්ති අනුව. මේ ලෝකේ පාලකයා වන සාතන් බොරුකාරයෙක්, මිනී මරුවෙක් කියලා අපි හෙළි කරනවා. (යොහ. 8:44) ළඟදීම සාතන්ගේ පැත්තේ ඉන්න අයට වෙන විනාශය ගැනත් අපි කියනවා. අපේ දේශනා සේවය නතර කරන්න සාතනුයි එයාගේ පැත්තේ ඉන්න අයයි කොච්චර උත්සාහ කළත් අපි අපේ සේවය නතර කරන්නේ නැහැ. ඒ වෙනුවට හැම අවස්ථාවකින්ම ප්‍රයෝජන අරන් අපි සදහටම යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරනවා. සාතන් කොච්චර බලවත් වුණත් ලෝකේ පුරාම සිද්ධ වෙන දේශනා සේවය නතර කරන්න සාතන්ට පුළුවන් වෙලා නැහැ. ඒ යෙහෝවා දෙවියන්ගේ ආරක්ෂාවත් උපකාරයත් අපිට ලැබෙන නිසයි.—යෙසායා 54:15, 17 කියවන්න.

16. මහත් පීඩාවේදී යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන්ව ආරක්ෂා කරන්නේ කොහොමද?

16 ළඟ ළඟම එන මහත් පීඩාවෙන් යෙහෝවා දෙවියන් අපිව ආරක්ෂා කරනවා. මුලින්ම ආණ්ඩු මහා බැබිලෝනිය ඒ කියන්නේ අසත්‍යය උගන්වන හැම ආගමක්ම විනාශ කරද්දී ඔහු අපිව ආරක්ෂා කරනවා. (එළි. 17:16-18; 18:2, 4) ඊටපස්සේ හර්–මගෙදොන් යුද්ධයේදී ඔහු සාතන්ගේ පැත්තේ ඉන්න හැමෝවම විනාශ කරද්දීත් අපිව ගලවගන්නවා.—එළි. 7:9, 10; 16:14, 16.

17. දිගටම යෙහෝවා දෙවියන්ට ළං වෙලා ඉන්න එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

17 අපි දිගටම යෙහෝවා දෙවියන්ට ළං වෙලා ඉන්නවා නම් අපිට සදාකාලික හානියක් කරන්න සාතන්ට බැහැ. ඇත්තටම සදහටම විනාශ වෙන්නේ සාතන්. (රෝම 16:20) ඒ නිසා මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගෙන ඉන්න. ඒක ගලවන්න එපා. තනියම සටන් කරන්න හදන්නත් එපා. සහෝදර සහෝදරියන්ට උදව් කරන්න. යෙහෝවා දෙවියන්ගෙන් ලැබෙන මඟ පෙන්වීම් පිළිපදින්න. ඔයා එහෙම කළොත් යෙහෝවා දෙවියන් දිගටම ඔයාව ශක්තිමත් කරයි කියලත් ආරක්ෂා කරයි කියලත් නිසැක වෙන්න පුළුවන්.—යෙසා. 41:10.

ගීතිකාව 149 ජයග්‍රහණේ ගීතය

^ 5 ඡේ. යෙහෝවා දෙවියන් අපිව ශක්තිමත් කරනවා කියලත් ආරක්ෂා කරනවා කියලත් පොරොන්දු වෙලා තියෙනවා. යෙහෝවා දෙවියන්ගේ රැකවරණය අපිට ඕනෙ ඇයි? ඔහු අපිව ආරක්ෂා කරන්නේ කොහොමද? ඒ ආරක්ෂාව ලබන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද? ඒවාට උත්තර අපි මේ ලිපියෙන් බලන්න යනවා.