Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 9

යෞවනයෙනි, අනිත් අයගේ විශ්වාසය දිනාගන්න ඔයාලට පුළුවන්

යෞවනයෙනි, අනිත් අයගේ විශ්වාසය දිනාගන්න ඔයාලට පුළුවන්

‘හිමිදිරි උදයේ පතිත වන පිනි මෙන් ඔබේ තරුණයෝ ඔබ වෙතට එන්නෝය.’—ගීතා. 110:3.

ගීතිකාව 39 දෙවි සමඟ හොඳ නාමයක් ඇති කරගන්න

මේ ලිපියෙන් *

1. අපේ යෞවන සහෝදරයන් ගැන කියන්න පුළුවන් මොනවාද?

යෞවන සහෝදරයෙනි, සභාව වෙනුවෙන් ගොඩක් දේවල් ඔයාලට කරන්න පුළුවන්. ඔයාලට ශක්තිය තියෙනවා. මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන්. (හිතෝ. 20:29) ඇත්තටම සභාවට ඔයාලව ගොඩක් වටිනවා. සහායක සේවකයෙක් විදිහට වැඩ කරන්න ඔයාත් ආසාවෙන් බලන් ඉන්නවා ඇති. ඔයා තාම පොඩි වැඩියි, වගකීමෙන් වැඩක් ඔයාට භාර දෙන්න බැහැ කියලා සභාවේ අය ඔයා ගැන හිතනවා කියලා ඔයාට දැනිලා තියෙනවාද? ඔයා යෞවනයෙක් වුණත් සභාවේ අයගේ විශ්වාසය, ගෞරවය දිනාගන්න දැන් ඉඳන්ම දේවල් කරන්න ඔයාට පුළුවන්.

2. මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

2 දාවිත් රජ ගැනත් යූදා දේශයේ රජ වෙලා හිටපු ආසා සහ යෙහෝෂපාට් ගැනත් අපි මේ ලිපියෙන් බලමු. එයාලා මුහුණ දුන්නේ මොන වගේ අභියෝගවලටද, එයාලා ඒවාට මුහුණ දුන්නේ කොහොමද සහ එයාලගෙන් යෞවන සහෝදරයන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලත් අපි බලමු.

දාවිත් රජගෙන් ඉගෙනගන්න

3. මහලු අයට උදව් කරන්න යෞවනයන්ට පුළුවන් කොහොමද?

3 දාවිත්ට යෞවන කාලේ ඉඳලම යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තිබුණා. ඒ වගේම සමහර දේවල් දක්ෂ විදිහට කරන්න එයා ඉගෙනගත්තා. ඒකෙන් අනිත් අයටත් ප්‍රයෝජන ලැබුණා. උදාහරණෙකට එයා දක්ෂ විදිහට වීණා වාදනය කරන්න ඉගෙනගත්ත නිසා එයාට පුළුවන් වුණා සාවුල් රජුව සන්සුන් කරන්න. (1 සාමු. 16:16, 23) යෞවනයෙක් විදිහට ඔයාට තියෙන හැකියාවන් පාවිච්චි කරලා සභාවේ අයට උදව් කරන්න ඔයාට පුළුවන්ද? උදාහරණෙකට සභාවේ ඉන්න මහලු අයට පෞද්ගලික අධ්‍යයනය කරන්න, රැස්වීම්වලට සහභාගි වෙන්න ටැබ් එක නැත්නම් ෆෝන් එක පාවිච්චි කරන්න උදව් කරන්න ඔයාට පුළුවන්ද? ඔයා එහෙම කරද්දී එයාලා ගොඩක් සතුටු වෙයි.

තාත්තාගේ බැටළු රැළ බලාගන්න තමන්ට ලැබිලා තිබුණු වගකීම දාවිත් හොඳින් ඉටු කළා. බැටළුවන්ව ආරක්ෂා කරගන්න වලහෙක් එක්ක සටන් කරන්න වුණත් එයා බය වුණේ නැහැ (4 ඡේදය බලන්න)

4. දාවිත් වගේ, යෞවන සහෝදරයන්ට දියුණු වෙන්න පුළුවන් මොන වගේ පැතිවලින්ද? (කවරයේ පින්තූරය බලන්න.)

4 දාවිත් වැඩ කරපු විදිහෙන් පැහැදිලිව පෙනුණා එයා වගකීමෙන් වැඩ කරන විශ්වාසයෙන් දේවල් භාර දෙන්න පුළුවන් කෙනෙක් කියලා. උදාහරණෙකට එයා යෞවන වයසේදී හුඟක් මහන්සි වෙලා තාත්තාගේ බැටළු රැළ බලාගත්තා. ඇත්තටම ඒක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. එයා සාවුල් රජුට කියපු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “මගේ ස්වාමීනි, මම මගේ පියාගේ බැටළුවන්ව රැකබලා ගන්න විට සිංහයෙක් ඇවිත් බැටළුවෙක්ව ඩැහැගෙන ගියා. තවත් දවසක වලහෙක් බැටළුවන්ව ඩැහැගන්න ආවා. මම උන් පස්සේ ගොස් උන්ට පහර දී උන්ගේ කටින් බැටළුවන්ව බේරාගත්තා.” (1 සාමු. 17:34, 35) බැටළුවන්ව බලාගන්න වගකීම දාවිත් සැහැල්ලුවට ගත්තේ නැහැ. ඒ නිසයි එයා ජීවිතේ පරදුවට තියලා බැටළුවන්ව බේරගත්තේ. දාවිත් වගේ, යෞවන සහෝදරයන්ටත් පුළුවන් තමන්ට ලැබෙන ඕනම පැවරුමක් මහන්සි වෙලා වගකීමෙන් කරන්න පුරුදු වෙන්න.

5. ගීතාවලිය 25:14 අනුව යෞවනයන් කරන්න ඕන වැදගත්ම දේ මොකක්ද?

5 දාවිත් ගොඩක් නිර්භීත, වීණාව වාදනය කරන්න හුඟක් දක්ෂ කෙනෙක් වුණත් ඊට වඩා වටින දෙයක් එයාට තිබුණා. ඒ තමයි යෞවන කාලේ ඉඳන් එයාට යෙහෝවා දෙවියන් එක්ක තිබුණු කිට්ටු බැඳීම. ඇත්තටම එයාගේ හොඳම යාළුවා වුණේ යෙහෝවා දෙවියන්. (ගීතාවලිය 25:14 කියවන්න.) යෞවනයෙනි, ඔයාලටත් පුළුවන්ද යෙහෝවා දෙවියන්ව ඔයාලගේ හොඳම යාළුවා කරගන්න? එහෙම කරද්දී සභාවේ අමතර පැවරුම් කරන්නත් ඔයාලට අවස්ථාව ලැබෙයි.

6. සමහර අය දාවිත් ගැන හිතුවේ මොනවාද?

6 සමහර අය හිතුවා වගකීම් භාර දෙන්න තරම් දාවිත් තාම පොඩි වැඩියි කියලා. උදාහරණෙකට ගොලියත් එක්ක සටන් කරන්න යන්නද කියලා දාවිත් සාවුල් රජුගෙන් ඇහුවාම එයා ඒකට කැමති වුණේ නැහැ. එයා කිව්වේ, ‘ඔයා පොඩි කොල්ලෙක්නේ’ කියලා. (1 සාමු. 17:31-33) දාවිත්ගේ අයියා කෙනෙකුත් එයාට කිව්වා එයා වගකීමෙන් වැඩ කරන්නේ නැති හිතුවක්කාර කෙනෙක් කියලා. (1 සාමු. 17:26-30) හැබැයි යෙහෝවා දෙවියන් දාවිත් දිහා බැලුවේ ඒ විදිහට නෙවෙයි. දාවිත් වගකීමෙන් වැඩ කරන, ඕනම වැඩක් විශ්වාසෙන් භාර දෙන්න පුළුවන් කෙනෙක් කියලා ඔහු දැනගෙන හිටියා. දාවිත් එයාගේ යාළුවා වුණ යෙහෝවා දෙවියන් මත විශ්වාසය තියලා වැඩ කරපු නිසා යෝධ ගොලියත්ව මරලා දාන්න එයාට පුළුවන් වුණා.—1 සාමු. 17:45, 48-51.

7. දාවිත් වැඩ කරපු විදිහෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

7 සමහරවිට පුංචි කාලේ ඉඳන් ඔයාව දන්න අය තාමත් ඔයාව දකින්නේ පොඩි ළමයෙක් විදිහට වෙන්න ඇති. ඔයාව වැඩිහිටියෙක් විදිහට දකින්න එයාලට කාලයක් යයි. ඒ නිසා දාවිත් වගේ ඔයාටත් ඉවසීමෙන් වැඩ කරන්න වෙයි. හැබැයි ඔයා බය වෙන්න ඕනෙ නැහැ. මොකද යෙහෝවා දෙවියන් ඔයා ගැන හොඳින්ම දන්නවා. (1 සාමු. 16:7) ඔයාට කරන්න පුළුවන් මොනවාද කියලත් ඔහු දන්නවා. ඒ නිසා දාවිත් වගේ ඔයාත් යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න. යෙහෝවා දෙවියන් නිර්මාණය කරලා තියෙන දේවල් දිහා බලන්නත් ඒ දේවලින් යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා හිතන්නත් දාවිත් කාලය ගත්තා. (ගීතා. 8:3, 4; 139:14; රෝම 1:20) ඔයාටත් ඒ දේම කරන්න පුළුවන්. ඒ වගේම ශක්තිය ඉල්ලලා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්නත් ඔයාට පුළුවන්. උදාහරණෙකට ඔයා සාක්ෂිකරුවෙක් නිසා ඉස්කෝලේ ළමයි ඔයාට විහිළුතහළු කරනවාද? එහෙනම් ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. ඊටපස්සේ බයිබලේ, ඒ මත පදනම් ප්‍රකාශනවල, වීඩියෝවල තියෙන මඟ පෙන්වීම් හොයලා බලලා ඒවා අදාළ කරගන්න. අභියෝග ජය ගන්න යෙහෝවා දෙවියන් ඔයාට උදව් කරන විදිහ අද්දකින හැම වතාවකම ඔයාට යෙහෝවා දෙවියන් ගැන තියෙන විශ්වාසය තවත් වැඩි වෙයි. ඔයා යෙහෝවා දෙවියන් මත රඳලා වැඩ කරන විදිහ අනිත් අය දකිද්දී ඒ අයගේ විශ්වාසය දිනාගන්න ඔයාට පුළුවන්.

යෞවන සහෝදරයන්ට හුඟක් පැතිවලින් අනිත් අයට උදව් කරන්න පුළුවන් (8-9 ඡේද බලන්න)

8-9. රජකම ලැබෙන කල් ඉවසීමෙන් ඉන්න දාවිත්ට උදව් වුණේ මොකක්ද? යෞවනයන්ට ඒකෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

8 දාවිත්ට තවත් අභියෝගයකට මුහුණ දෙන්න වුණා. එයාව රජ විදිහට අභිෂේක කරලා තිබුණත් රජකම ලැබෙන කල් අවුරුදු ගාණක් එයාට බලන් ඉන්න වුණා. (1 සාමු. 16:13; 2 සාමු. 2:3, 4) ඒ කාලේදී ඉවසීමෙන් වැඩ කරන්න එයාට උදව් වුණේ මොනවාද? අධෛර්යය කරවන සිතුවිලිවලින් යටපත් වෙනවා වෙනුවට එයාට කරන්න පුළුවන් දේවල් එයා කළා. උදාහරණෙකට පිලිස්තිවරුන්ගේ දේශයේ ජීවත් වුණ කාලෙදී ඊශ්‍රායෙල්වරුන්ගේ සතුරන්ට විරුද්ධව එයා සටන් කළා. ඒ නිසා යූදා දේශයේ දේශ සීමා ආරක්ෂා කරගන්න එයාට පුළුවන් වුණා.—1 සාමු. 27:1-12.

9 යෞවනයන්ට දාවිත්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? සහෝදරයන්ට උදව් කරන්න ඔයාට පුළුවන් හැම දේම කරන්න. සහෝදර රිකාඩෝගේ * අද්දැකීම බලන්න. කාලයක් තිස්සේ ස්ථාවර පුරෝගාමි සේවය කරන්න එයාට ලොකු ආසාවක් තිබුණා. හැබැයි වැඩිමහල්ලන් එයාට කිව්වා ඒකට සුදුසුකම් අත්කරගන්න ඕනෙ කියලා. ඒ ගැන කේන්ති අරන් අධෛර්යය වෙනවා වෙනුවට රිකාඩෝ සේවයේ තවත් වැඩියෙන් හවුල් වුණා. එයා මෙහෙම කියනවා. “ඒ දේවල් ගැන හිතද්දී දැන් මට හිතෙනවා ඒ හැම දෙයක්ම වුණේ මගේම හොඳට කියලා. ඒ කාලේදී අපේ පණිවිඩේ ගැන උනන්දුවක් දක්වපු හැම කෙනෙක්වම බලන්න යන්න මං වෑයම් කළා. මට බයිබල් පාඩමක් පටන්ගන්නත් පුළුවන් වුණා. සේවේ වැඩියෙන් හවුල් වෙද්දී මට තිබුණු බයත් නැති වුණා.” දැන් රිකාඩෝ ස්ථාවර පුරෝගාමියෙක් විදිහටත් සහායක සේවකයෙක් විදිහටත් සේවය කරනවා.

10. එක අවස්ථාවක වැදගත් තීරණයක් ගන්න කලින් දාවිත් කළේ මොකක්ද?

10 දාවිත්ට මුහුණ දෙන්න වුණ තවත් සිද්ධියක් ගැන බලන්න. දාවිත් සාවුල්ගෙන් පලා යමින් හිටපු කාලෙදී එයාටයි එයාගේ හමුදාවටයි පවුලේ අයව තියලා වෙන ප්‍රදේශයක සටනකට යන්න සිද්ධ වුණා. එයාලා ආයෙත් එද්දී වෙන සතුරු කණ්ඩායමක් එයාලට අයිති දේවලුයි එයාලගේ පවුලේ අයවයි පැහැරගෙන ගිහින් තිබුණා. දාවිත් යුද්ධයට දක්ෂ, අද්දැකීම් තිබුණු කෙනෙක් නිසා ඕනෙ නම් එයාට හිතන්න තිබුණා එයාලව බේරගන්න තමන්ට සැලසුම් කරන්න පුළුවන් කියලා. හැබැයි ඒ වෙනුවට එයා පූජකයෙක් වුණ අබියාතර්ට කියලා ඒෆොද් හැට්ටය ගෙන්නගෙන යෙහෝවා දෙවියන්ගෙන් ඇහුවා “මම මේ කොල්ලකරුවන්ව ලුහුබැඳ යන්නද” කියලා. එතකොට යෙහෝවා දෙවියන් එයාට කිව්වා ‘යන්න, ඔයා අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා’ කියලා. (1 සාමු. 30:7-10) ඒ සිද්ධියෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

යෞවනයන් වැඩිමහල්ලන්ගෙන් මඟ පෙන්වීම් ගන්න එක හරිම වැදගත් (11 ඡේදය බලන්න)

11. තීරණ ගන්න කලින් ඔයාට කරන්න පුළුවන් මොනවාද?

11 තීරණ ගන්න කලින් අනිත් අයගෙන් උදව් ඉල්ලන්න. ඔයාට පුළුවන් ඒ ගැන දෙමාපියන් එක්ක කතා කරන්න. ඒ වගේම අද්දැකීම් තියෙන වැඩිමහල්ලන්ගෙන් උදව් ගන්නත් ඔයාට පුළුවන්. යෙහෝවා දෙවියන්ට ඒ සහෝදරයන් ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඔහු එයාලව සලකන්නේ සභාවට ලැබුණු “තෑගි” විදිහට. (එෆී. 4:8) ඒ නිසා ඔයාටත් එයාලව විශ්වාස කරන්න පුළුවන්. එයාලගේ විශ්වාසය ආදර්ශයට ගන්නවා නම්, එයාලගේ මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් හොඳ තීරණ ගන්න ඔයාට පුළුවන් වෙයි. ආසා රජගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා දැන් අපි බලමු.

ආසා රජගෙන් ඉගෙනගන්න

12. රජකම ලැබුණු මුල් කාලෙදී ආසා වැඩ කළේ කොහොමද?

12 රජකම ලැබුණු මුල් කාලෙදී ආසා රජ නිහතමානීව, නිර්භීතව වැඩ කළා. උදාහරණෙකට තාත්තාගෙන් පස්සේ එයාට රජකම ලැබුණාම දේශයෙන් බොරු නමස්කාරය ඉවත් කරන්න එයා පියවර ගත්තා. ඒ වගේම “සෑම කාරණයකදීම තම මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවාගේ මඟ පෙන්වීම් පතන්නත් දෙවිගේ නීති හා දෙවි අණ කළ සියලු දේ පිළිපදින්නත් ඔහු යූදාහි වැසියන්ට අණ” කළා. (2 ලේක. 14:1-7) ඒ වගේම ඉතියෝපියානු ජාතික සේරා සෙබළුන් 10,00,000ක් එක්ක යූදා දේශයට විරුද්ධව ආවාම ආසා යෙහෝවා දෙවියන්ට මෙහෙම කිව්වා. “යෙහෝවා දෙවියනි, ඔබ උපකාර කිරීමට සූදානම් දෙවි කෙනෙක්. ඒ නිසා අප සුළු පිරිසක් වුණත් විශාල පිරිසක් වුණත් අපට උපකාර කිරීමට එය ඔබට බාධාවක් නොවෙයි. යෙහෝවා අපේ දෙවියනි, අපි විශ්වාසය තබා තිබෙන්නේ ඔබ මතයි.” යෙහෝවා දෙවියන්ට ඔහුගේ සෙනඟව ගලවගන්න පුළුවන් කියන එක ගැන එයාට කොච්චර විශ්වාසයක් තිබුණාද කියලා ඒ වචනවලින් පැහැදිලි වෙනවා. ආසා යෙහෝවා දෙවියන්ව විශ්වාස කරපු නිසා ‘දෙවි ඉතියෝපීය හමුදාව පරාජය කළා.’—2 ලේක. 14:8-12.

13. එක කාලෙක ආසාට මොකද වුණේ? ඒ ඇයි?

13 සෙබළුන් 10,00,000ක් වගේ විශාල හමුදාවක් ආපු වෙලාවේ ආසා යෙහෝවා දෙවියන් මත රඳා ඉඳලා සාර්ථකව ඒකට මුහුණ දුන්නා. හැබැයි ඊටපස්සේ ඊට වඩා පොඩි හමුදාවක් එක්ක සටන් කරන්න වුණාම එයා යෙහෝවා දෙවියන්ගෙන් මඟ පෙන්වීම් ඉල්ලුවේ නැහැ. දුෂ්ට බාෂා රජට බය වෙලා එයා සිරියාවේ රජගෙන් උදව් ඉල්ලුවා. එයා ගත්ත ඒ මෝඩ තීරණය නිසා නරක ප්‍රතිඵලවලට මුහුණ දෙන්න එයාට සිද්ධ වුණා. අනාගතවක්තෘ හනානි මාර්ගයෙන් යෙහෝවා දෙවියන් එයාට කියපු මේ දෙයින් ඒක පැහැදිලි වෙනවා. “ඔබ ඔබේ දෙවි වන යෙහෝවා කෙරෙහි විශ්වාසය නොතබා සිරියාවේ රජුගෙන් උදව් ඉල්ලූ නිසා සිරියානු රජුගේ හමුදාව තවදුරටත් ඔබේ පාලනය යටතේ තබාගැනීමට ඔබට හැකි වෙන්නේ නැහැ.” එදා ඉඳලා නිතරම යුද්ධවලට මුහුණ දෙන්න ආසා රජට සිද්ධ වුණා. (2 ලේක. 16:7, 9; 1 රාජා. 15:32) ඔයාට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?

14. ඔයාට යෙහෝවා දෙවියන් මත රඳා ඉන්න පුළුවන් කොහොමද? 1 තිමෝති 4:12 අනුව ඒකෙන් ඔයාට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

14 නිහතමානීව දිගටම යෙහෝවා දෙවියන් මත රඳා ඉන්න. ඔයා බව්තීස්ම වෙද්දී යෙහෝවා දෙවියන් ගැන ඔයාට ලොකු විශ්වාසයක් තියෙනවා කියලා ඔයා පෙන්නුවා. ඒ නිසා යෙහෝවා දෙවියන් හරිම සතුටින් ඔහුගේ පවුලට ඔයාව පිළි අරගෙන තියෙනවා. හැබැයි ඔයා දිගටම යෙහෝවා දෙවියන් මත විශ්වාසය තියලා වැඩ කරන එක හරිම වැදගත්. ජීවිතේ හුඟක් බැරෑරුම් තීරණ ගද්දී ඔයා අනිවාර්යයෙන්ම යෙහෝවා දෙවියන් මත රඳා ඉන්නවා ඇති. හැබැයි අනිත් කාරණාවලදීත් ඔයා ඒ දේ කරනවාද? උදාහරණෙකට විනෝදෙට කරන දේවල්, රැකියාව සහ ජීවිතේ ඉලක්ක වගේ දේවල් ගැන තීරණ ගන්න කලින් ඔයා යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් හොයලා බලනවාද? ජීවිතේ හැම කාරණයකදීම ඒ දේ කරන එක හරිම වැදගත්. ඒ නිසා කවදාවත් ඔයාට හරියි කියලා හිතෙන විදිහට දේවල් කරන්න එපා. ඒ වෙනුවට හරි තීරණයක් ගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති ගැන හොයලා බලලා ඒ අනුව වැඩ කරන්න. (හිතෝ. 3:5, 6) ඔයා එහෙම කරද්දී යෙහෝවා දෙවියන්ව සතුටු කරන්නත් සභාවේ අයගේ විශ්වාසය දිනාගන්නත් ඔයාට පුළුවන් වෙනවා.—1 තිමෝති 4:12 කියවන්න.

යෙහෝෂපාට් රජගෙන් ඉගෙනගන්න

15. 2 ලේකම් 18:1-3; 19:2 අනුව යෙහෝෂපාට් රජ කරපු වැරදි මොනවාද?

15 අපි හැමෝම පව්කාරකම උරුම කරගෙන තියෙන අය නිසා සමහර වෙලාවට ඔයා අතිනුත් වැරදි වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණා කියලා අධෛර්යය වෙලා යෙහෝවා දෙවියන්ට කරන සේවය කවදාවත් නතර කරන්න එපා. උදාහරණෙකට යෙහෝෂපාට් රජ ගැන හිතන්න. මුලදී එයා හැම දෙයක්ම හොඳින් කරපු කෙනෙක්. බයිබලේ කියන්නෙත් තරුණ කාලෙදී එයා “නිතරම තම පියා නමස්කාර කළ දෙවිගේ මඟ පෙන්වීම් පැතීමට උත්සාහ” කළා කියලා. ඒ විතරක් නෙවෙයි මිනිසුන්ට යෙහෝවා දෙවියන් ගැන උගන්වන්න එයා අධිපතීන්ව යූදා දේශය පුරාම යැව්වා. (2 ලේක. 17:4, 7) හැබැයි එයාත් සමහර අවස්ථාවල වැරදි තීරණ ගත්තා. ඒ වගේ අවස්ථාවක යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයෙක් මාර්ගයෙන් එයාව නිවැරදි කළා. (2 ලේකම් 18:1-3; 19:2 කියවන්න.) ඒ වාර්තාවෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

මහන්සි වෙලා වගකීමෙන් වැඩ කරන යෞවන සහෝදරයන්ට අනිත් අයගේ විශ්වාසය දිනාගන්න පුළුවන් (16 ඡේදය බලන්න)

16. රජීව්ගේ අද්දැකීමෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

16 උපදෙස් පිළිඅරන් අදාළ කරගන්න. හුඟක් යෞවනයන්ට හිතෙනවා යෙහෝවා දෙවියන්ට ජීවිතේ මුල් තැන දෙන එක ලේසි නැහැ කියලා. ඔයාටත් එහෙම හිතෙනවාද? එහෙනම් අධෛර්යය වෙන්න එපා. සහෝදර රජීව්ගේ අද්දැකීම බලන්න. එයාගේ යෞවන කාලය ගැන එයා මෙහෙම කියනවා. “ඒ කාලේ මං ඔහේ ජීවත් වුණා. මට කිසි අරමුණක් තිබුණේ නෑ. රැස්වීම් යන්න, සේවේ යන්න මට කිසි ආසාවක් තිබුණේ නෑ. අනිත් ළමයි වගේ මට ඕන වුණේ සෙල්ලම් කරලා ජොලියේ ඉන්න.” හරි දේ කරන්න රජීව්ට උදව් වුණේ මොකක්ද? එයා ගැන සැලකිලිමත් වුණ වැඩිමහල්ලෙක් එයාට උපදෙසක් දීලා තිබුණා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “1 තිමෝති 4:8 තියෙන ප්‍රතිපත්තිය ගැන හොඳට හිතලා බලන්න එයා මට උදව් කළා.” රජීව් නිහතමානීව එයාට ලැබුණු උපදෙස පිළිගත්ත නිසා හරි දේට මුල් තැන දෙන්න එයාට පුළුවන් වුණා. ඒ ගැන එයා කිව්වේ මෙහෙමයි. “යෙහෝවා දෙවියන්ට කරන සේවෙට මුල් තැන දෙන්න මං තීරණය කළා. ඒ නිසා අවුරුදු කීපයකට පස්සේ සහායක සේවකයෙක් විදිහට සේවය කරන්න මට පුළුවන් වුණා.”

යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න

17. යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන යෞවනයන් ගැන සභාවේ ඉන්න වැඩිහිටියන්ට හැඟෙන්නේ කොහොමද?

17 යෞවනයෙනි, වැඩිහිටියන් එක්ක ‘එකතු වෙලා යෙහෝවා දෙවියන්ට සේවය කරන’ ඔයාලා හැමෝටම වැඩිහිටියන් ගොඩක් ආදරෙයි. (ශෙප. 3:9) ලැබෙන ඕනම පැවරුමක් ඔයාලා උද්‍යෝගයෙන්, ආසාවෙන් කරන එක ගැන එයාලා ගොඩක් සතුටු වෙනවා. එයාලගේ විශ්වාසය ඔයාලා දැනටමත් දිනාගෙනයි තියෙන්නේ.—1 යොහ. 2:14.

18. හිතෝපදේශ 27:11 තියෙන විදිහට යෞවනයන් ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන්නේ කොහොමද?

18 යෞවනයෙනි, මේ දේ කවදාවත් අමතක කරන්න එපා. යෙහෝවා දෙවියන් ඔයාලට ගොඩක් ආදරෙයි. ඔයාලා ගැන ඔහුට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසයි අන්තිම කාලේ ඉන්න යෞවනයන් ඔහුට කැමැත්තෙන්ම සේවය කරන්න ඉදිරිපත් වෙනවා කියලා ඔහු අනාවැකියක් කියලා තිබුණේ. (ගීතා. 110:1-3) ඔයාලා යෙහෝවා දෙවියන්ට ආදරෙයි කියලත් ඔයාලට ඕනෙ උපරිමයෙන් ඔහුට සේවය කරන්නයි කියලත් ඔහු හොඳින්ම දන්නවා. ඒ නිසා අනිත් අයගේ විශ්වාසය දිනාගන්න, දේවල් හොඳින් කරන්න යම් කාලයක් ගියත් ඒ ගැන කලබල වෙන්න එපා. ඔයා අතින් වරදක් වුණාම ඔයාට උපදෙසක් ලැබුණොත් ඒක යෙහෝවා දෙවියන්ගෙන් ලැබෙන පුහුණුවක්, හික්මවීමක් විදිහට සලකන්න. (හෙබ්‍රෙ. 12:6) ඔයාට දෙන ඕනෙම පැවරුමක් උපරිමයෙන්ම කරන්න. ඔයා මොන දේ කළත් ඔයාගේ ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවියන් සතුටු වෙන විදිහට ඒ දේවල් කරන්න.—හිතෝපදේශ 27:11 කියවන්න.

ගීතිකාව 135 යෙහෝවා දෙවිගේ ආයාචනය, ‘මාගේ පුත්‍රය, ප්‍රඥාවන්ත වෙන්න’

^ 5 ඡේ. යෞවනයන් යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගද්දී ඔහුට වැඩිපුර සේවයක් කරන්න එයාලා ආස වෙනවා. සහායක සේවකයෙක් විදිහට සේවය කරන්න නම් එයාලා සභාවේ අයගේ ගෞරවය දිනාගන්න ඕනේ. ඒක කරන්න පුළුවන් කොහොමද?

^ 9 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.