Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 14

“ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි”

“ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි”

“ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.”—යොහ. 13:35.

ගීතිකාව 106 උතුම්ම ගුණාංගය ප්‍රේමයයි

මේ ලිපියෙන් a

සාක්ෂිකරුවන් අතර තියෙන ආදරේ දකින හුඟක් අය හිතන්නේ මොනවාද? (1 ඡේදය බලන්න)

1. මුල්ම වතාවට රැස්වීම් එන හුඟදෙනෙක්ගේ හිත්ගන්නේ මොන දේද? (පින්තූරයත් බලන්න.)

 හිතන්න, යුවළක් මුල්ම වතාවට අපේ රැස්වීමකට එනවා කියලා. එයාලා ආවාම හැමෝම එයාලව ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ළඟට ගිහිල්ලා එයාලා එක්ක කතා කරනවා. සාක්ෂිකරුවන් අතරේ තියෙන ආදරේ එයාලට හොඳටම දැනෙනවා. ඉතින් රැස්වීම ඉවර වෙලා ගෙදර යද්දී නෝනා එයාගේ මහත්තයාට කියනවා “අනිත් අයට වඩා එයාලා ගොඩක් වෙනස් නේද? හරිම හොඳ කට්ටියක්!” කියලා.

2. සමහරු යෙහෝවාට සේවේ කරන එක නවත්තලා තියෙන්නේ ඇයි?

2 දෙවියන්ගේ සෙනඟ අතරේ තියෙන ආදරේ හරිම විශේෂයි. හැබැයි එයාලා සර්ව සම්පූර්ණ කට්ටියක් නෙවෙයි. එයාලා අතිනුත් අඩුපාඩුකම් වෙනවා. (1 යොහ. 1:8) ඉතින් අපි සහෝදරයන්ව කිට්ටුවෙන් ආශ්‍රය කරන තරමටම එයාලාගේ අඩුපාඩු හරිම කිට්ටුවෙන් පේන්න පටන්ගන්නවා. (රෝම 3:23) සමහරු ඒ අඩුපාඩුකම් දරාගන්නවා වෙනුවට යෙහෝවාට සේවේ කරන එක නවත්තලා තියෙනවා. ඒ ගැන හිතද්දී අපිට කොච්චර දුකද!

3. සැබෑ ගෝලයන්ව අඳුරගන්න යේසුස් දීපු ලකුණ මොකක්ද? (යොහන් 13:34, 35)

3 මේ ලිපියේ ප්‍රධාන බයිබල් පදේ ආයෙත් බලන්න. (යොහන් 13:34, 35 කියවන්න.) යේසුස් කියපු විදිහට ඔහුගේ සැබෑ අනුගාමිකයන්ව අඳුරගන්න තියෙන ලකුණ මොකක්ද? ඒ ආදරය. එහෙම නැතුව පරිපූර්ණත්වය නෙවෙයි. ඒ වගේම යේසුස් එතන කිව්වේ ‘ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව ඔබ දැනගනියි’ කියලා නෙවෙයි “සියලුදෙනාම දැනගනියි” කියලයි. ඒකෙන් පැහැදිලි වෙනවා සැබෑ ක්‍රිස්තියානීන් අතර කුහකකමක් නැති ආදරයක් තියෙනවා කියලා පේන්න ඕනෙ සභාවේ අයට විතරක් නෙවෙයි, ඒක අනිත් අයත් දකින්න ඕනෙ කියලා.

4. සමහරු අහන්නේ මොන වගේ ප්‍රශ්නද?

4 සාක්ෂිකරුවන් නොවන අය සමහර වෙලාවට මේ වගේ ප්‍රශ්න අහනවා. “යේසුස්ගේ සැබෑ ගෝලයන්ව අඳුරගන්න තියෙන ලකුණ ආදරය කියලා කියන්නේ ඇයි? යේසුස් ඔහුගේ ගෝලයන්ට ආදරේ පෙන්නුවේ කොහොමද? අද ඉන්න අපි කොහොමද යේසුස්ව ආදර්ශයට ගන්නේ?” අපි හැමෝමත් ඒ ප්‍රශ්න ගැන හිතලා බලන එක ගොඩක් වැදගත්. මොකද ඒක අපිට උදව් වෙනවා තව වැඩියෙන් අනිත් අයට ආදරේ කරන්න. විශේෂයෙන්ම අපි අතර ප්‍රශ්න ඇති වෙද්දී.—එෆී. 5:2.

අඳුරගන්න තියෙන ලකුණ ආදරය කියලා කියන්නේ ඇයි?

5. යොහන් 15:12, 13 යේසුස් කියපු දේ පැහැදිලි කරන්න.

5 යේසුස් කිව්වා ඔහුගේ ගෝලයන් අතර විශේෂ ආදරයක් තියෙනවා කියලා. ඒකෙන් තමයි එයාලව අඳුරගන්නේ. (යොහන් 15:12, 13 කියවන්න.) ඒ වගේම ඔහු කිව්වා “මා ඔබට ප්‍රේම කළා වගේම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න” කියලා. මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? යේසුස් වගේ අනිත් අයට ආදරේ කරන කෙනෙක් තමන්ටත් වඩා අනිත් කෙනා ගැන හිතනවා. ඕනෙ නම් ජීවිතේ වුණත් දෙන්න එයා දෙසැරයක් හිතන්නේ නැහැ. b

6. ආදරේ පෙන්නන එකේ වැදගත්කම බයිබලේ කාවද්දලා තියෙන්නේ කොහොමද?

6 ආදරේ පෙන්නන එක කොච්චර වැදගත්ද කියලා බයිබලෙත් කාවද්දලා තියෙනවා. හුඟදෙනෙක්ගේ ආසම බයිබල් පද අතරේ මේ බයිබල් පදත් තියෙනවා. “දෙවි ප්‍රේමයයි.” (1 යොහ. 4:8) “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.” (මතෙ. 22:39) “ප්‍රේමයෙන් පව් රාශියක් මකා දැමිය හැක.” (1 පේතෘ. 4:8) ‘ප්‍රේමය සදාතනිකය.’ (1 කොරි. 13:8) ඒ බයිබල් පදවලින් වගේම තවත් පදවලින් පැහැදිලි වෙනවා මේ ලස්සන ගුණාංගය පෙන්නන එක කොච්චර වැදගත්ද කියලා.

7. සැබෑ ආදරෙන් මිනිස්සුන්ව එක්සත් කරන්න සාතන්ට කවදාවත් බැරි ඇයි?

7 හුඟක් අය මෙහෙම කල්පනා කරනවා. ‘සැබෑ ආගම අඳුරගන්නේ කොහොමද? හැමෝම කියන්නේ එයාලා තමයි සත්‍යය උගන්වන්නේ කියලා. එහෙම කිව්වාට එයාලා දෙවියන් ගැන උගන්වන්නේ එක එක දේවල්.’ ඇත්ත, මිනිස්සුන්ව නොමඟ යවන්න සාතන් බොරු ආගම් ගොඩක් ඇති කරලා තියෙනවා. ඒකයි මිනිස්සුන්ට සැබෑ ආගම අඳුරගන්න අමාරු. හැබැයි බොරු ආගම් දහස් ගාණක් ඇති කළත් සාතන්ට කවදාවත් බැහැ මුළු ලෝකෙම අයව එක්සත් කරලා ආදරෙන් පිරුණු එක පවුලක් වගේ ආගමක් ඇති කරන්න. ඒක කරන්න පුළුවන් යෙහෝවා දෙවියන්ට විතරයි. මොකද සැබෑ ආදරේ උල්පත ඔහුයි. ඔහුගේ බලය සහ ආශීර්වාදය තිබ්බොත් විතරයි මිනිස්සුන්ට ආදරෙන් බැඳිලා ඉන්න පුළුවන්. (1 යොහ. 4:7) එහෙම බලද්දී සැබෑ ගෝලයන්ව අඳුරගන්න තියෙන ලකුණ ආදරයයි කියලා යේසුස් කියපු එක පුදුමයක්ද!

8-9. සාක්ෂිකරුවන් අතර තියෙන ආදරේ දැකපු හුඟක් අය කියන්නේ මොකක්ද?

8 යේසුස් කියපු විදිහට හුඟක් අය සැබෑ ක්‍රිස්තියානීන්ව අඳුරගන්නේ එයාලා අතර තියෙන අවංක ආදරෙන්. අපි දැන් සහෝදර ඉයන්ගේ අද්දැකීම බලමු. එයා මුල්ම වතාවට ගිය සමුළුව තිබුණේ එයාගේ ගෙවල් ගාව තිබ්බ ලොකු ක්‍රීඩාංගණයක. ඊට සති කීපයකට කලින් එයා තරඟයක් බලන්නත් එතනටම ගිහිල්ලා තිබුණා. එයා මෙහෙම කියනවා. “ඒ තරඟේ තිබ්බ දවසයි, සමුළුව තිබ්බ දවසයි අහසට පොළොව වගේ. සාක්ෂිකරුවෝ අනිත් අය ගැන හරි සැලකිලිමත්. එයාලා හොඳ පිළිවෙළට ඇඳ පැලඳගෙන හිටියා. එයාලාගේ ළමයි පවා හොඳට හැසිරුණා. ඒ හැම දේටම වඩා මං දැක්ක දෙයක් තමයි එයාලා ගාව තිබ්බ සතුට. එයාලා අතර කිසිම තරඟයක් නෑ. අවුරුදු ගාණක් තිස්සේ මාත් හෙව්වේ ඒකම තමයි. ඇත්තම කිව්වොත් එදා එයාලාගේ දේශනවල කියපු දේවල් මට හරියට මතක නෑ. හැබැයි එයාලා හැසිරුණ විදිහ අද වගේ මට මතකයි.” c ඒ වගේ දෙයක් කොහොමද වෙන්නේ? ඒ ආදරේ නිසයි. ඒ ආදරේ අපිව පොලඹවනවා එකිනෙකාට කරුණාවෙන්, ගෞරවයෙන් සලකන්න.

9 මුල්ම වතාවට රැස්වීමකට ආවම සහෝදර ජෝන්ට දැනුණෙත් ඒ වගේම දෙයක්. එයා මෙහෙම කියනවා. “දන්න අඳුරන අය වගේ එයාලා හැමෝම මාත් එක්ක හොඳට කතා කළා. මට දැනුණේ එයාලා හරියට සාන්තුවරයෝ වගේ. එයාලා ළඟ තිබ්බ ආදරේ මට උදව් වුණා මේක තමයි හරි ආගම කියලා තේරුම්ගන්න.” d ඒ වගේ අද්දැකීම්වලින් ආයේ ආයේ පැහැදිලි වෙනවා යෙහෝවා දෙවියන්ගේ සෙනඟ තමයි සැබෑ ක්‍රිස්තියානීන් කියලා.

10. විශේෂයෙන්ම අපිට ආදරේ පෙන්නන්න පුළුවන් මොන වගේ වෙලාවටද? (පාදසටහනත් බලන්න.)

10 අපි කලිනුත් බලපු විදිහට දෙවියන්ගේ සෙනඟ සර්ව සම්පූර්ණ අය නෙවෙයි. ඒ නිසා අනිත් අය කියන කරන දේවල් නිසා සමහරවිට අපේ හිත රිදෙයි. e (යාකො. 3:2) අන්න ඒ වගේ වෙලාවට අපි කියන කරන දේවල්වලින් අපි ඇත්තටම එයාලට ආදරෙයි කියලා පෙන්නන්න අපිට පුළුවන්. ඒ කාරණය ගැන අපිට යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා අපි බලමු.—යොහ. 13:15.

යේසුස් ගෝලයන්ට ආදරේ පෙන්නුවේ කොහොමද?

ගෝලයන් අතින් අඩුපාඩුකම් වෙද්දීත් යේසුස් දිගටම එයාලට ආදරේ කළා (11-13 ඡේද බලන්න)

11. යාකොබ්ටයි, යොහන්ටයි තිබුණේ මොන වගේ නරක ගතිගුණද? (පින්තූරයත් බලන්න.)

11 ගෝලයෝ හැම දේම අකුරටම කරන්න ඕනෙ කියලා යේසුස් කවදාවත් එයාලාගෙන් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ වෙනුවට එයාලා ගාව තිබ්බ අඩුපාඩුකම් හදාගෙන දෙවියන්ගේ අනුමැතිය දිනාගන්න යේසුස් එයාලට දිගටම ආදරෙන් උදව් කළා. අපි දැන් ඒ වගේ සිද්ධියක් බලමු. දවසක් යාකොබ් සහ යොහන් එයාලාගේ අම්මව ඉස්සරහට දාලා යේසුස්ගෙන් දේවරාජ්‍යයේ උසස් තනතුරු ඉල්ලුවා. (මතෙ. 20:20, 21) ඒකෙන් පේනවා එයාලාගේ හිත් ඇතුළේ පොඩි උඩඟුකමක්, තනතුරුවලට කෑදරකමක් තිබුණා කියලා.—හිතෝ. 16:18.

12. නරක ගතිගුණ තිබුණේ යාකොබ්ටයි, යොහන්ටයි විතරද? පැහැදිලි කරන්න.

12 ඒ වෙලාවේ වැරදි විදිහට හැසිරුණේ යාකොබ් සහ යොහන් විතරක් නෙවෙයි. බලන්න අනිත් ගෝලයෝ දහදෙනා ගැන බයිබලේ කියන දේ. “අනික් දසදෙනාට ඒ ගැන ආරංචි වූ විට ඔවුහු ඒ සහෝදරයන් දෙදෙනා ගැන උදහස් වූහ.” (මතෙ. 20:24) ඒ වෙලාවේ යාකොබ්, යොහන් සහ ගෝලයෝ දහදෙනා අතර කොයි වගේ වචන හුවමාරුවක් යන්න ඇතිද කියලා හිතාගන්න පුළුවන්ද? සමහරවිට අනිත් අය යාකොබ්ටයි, යොහන්ටයි මෙහෙම කියන්න ඇති. “ඔයාලා කවුරු කියලා හිතාගෙනද දේවරාජ්‍යයේ තනතුරු ඉල්ලන්න ගියේ? ඔයාලා විතරක් නෙවෙයි අපිත් යේසුස් එක්ක මහන්සි වෙලා වැඩ කළා. ඉතින් ලැබෙන දෙයක් ඔයාලට විතරක් නෙවෙයි අපිටත් ලැබෙන්න ඕනේ.” අපි දන්නේ නැහැ ඒ වෙලාවේ හරියටම වුණේ මොනවාද කියලා. හැබැයි ඒ මොකක් වුණත් එකිනෙකාට ආදරේ පෙන්නන්න ඒ වෙලාවේ එයාලට බැරි වුණා.

13. ගෝලයන් අතින් අඩුපාඩුකම් වෙද්දී යේසුස් කළේ මොනවාද? (මතෙව් 20:25-28)

13 ඒ වෙලාවේ යේසුස් වැඩ කළේ කොහොමද? ගෝලයෝ හැසිරෙන විදිහ දැකලා ඔහු කේන්ති ගත්තාද? නැහැ. ඒ වගේම ඔහු කිව්වේ නැහැ “ඔයාලා නං කිසිම වැඩක් නෑ. මං ඔයාලට වඩා නිහතමානී, අනිත් අයට ආදරේ කරන කට්ටියක්ව මගේ ගෝලයෝ කරගන්නවා” කියලා. ඒ වෙනුවට ඔහු එයාලත් එක්ක ගොඩක් ඉවසීමෙන් වැඩ කළා. මොකද ඔහු දැනන් හිටියා එයාලටත් ඕනෙ හරි දේ කරන්න කියලා. (මතෙව් 20:25-28 කියවන්න.) හැබැයි මේක ගෝලයෝ අනිත් අයට වඩා උසස් වෙන්න හදපු පළවෙනි වතාවවත් අන්තිම වතාවවත් නෙවෙයි. ඒත් ඒ හැම වෙලාවකම යේසුස් එයාලත් එක්ක වැඩ කළේ ආදරෙන් සහ ඉවසීමෙන්.—මාක් 9:34; ලූක් 22:24.

14. යේසුස්ගේ ගෝලයන් හැදී වැඩුණේ මොන වගේ පසුබිමකද?

14 යේසුස්ට ගෝලයන් එක්ක ඒ විදිහට වැඩ කරන්න පුළුවන් වුණේ ඔහු එයාලාගේ පසුබිම තේරුම් අරන් හිටපු නිසයි. (යොහ. 2:24, 25) ඒ කාලේ හිටපු ආගමික නායකයන් තනතුරු පස්සේ ගිය, හැමෝම අතරේ කැපිලා පේන්න හදපු අය. (මතෙ. 23:6) f ඒ වගේම එයාලා තමන් ගැන හිතන් හිටියේ මහ ඉහළින්. g (ලූක් 18:9-12) යේසුස් දැනන් හිටියා එයාලාගේ බලපෑම ඔහුගේ ගෝලයන්ටත් පොඩ්ඩක් හරි කාන්දු වෙලා ඇති කියලා. (හිතෝ. 19:11) ඒ නිසා කිසිම අඩුපාඩුවක් නැතුව එයාලා හැම දේම හරියටම කරයි කියලා යේසුස් එයාලාගෙන් බලාපොරොත්තු වුණේ නැහැ. ඔහු දැනන් හිටියා දෙවියන්ව සතුටු කරන්න එයාලාගේ හිතෙත් ලොකු ආසාවක් තියෙනවා කියලා. ඒ නිසා ඉවසීමෙන් වැඩ කළොත් එයාලාගේ හිත්වල තියෙන උඩඟුකම, කෑදරකම අයින් කරලා ඒ හිත් ආදරෙන් පුරවන්න පුළුවන් කියලා යේසුස් දැනන් හිටියා.

යේසුස් වගේ වෙන්න පුළුවන් කොහොමද?

15. යාකොබ්ගෙයි, යොහන්ගෙයි සිද්ධියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

15 යාකොබ්ගේ සහ යොහන්ගේ සිද්ධියෙන් අපිටත් දෙයක් ඉගෙනගන්න තියෙනවා. ඇත්ත, එයාලා යේසුස් ගාවට ගිහින් දේවරාජ්‍යයේ තනතුරු ඉල්ලපු එක වැරදියි. හැබැයි ඒක දැනගත්තාම අනිත් ගෝලයෝ වැඩ කරපු විදිහත් වැරදියි. මොකද එයාලා කේන්ති ගත්තා. අන්තිමට එයාලා අතරේ තියෙන සාමය නැති වුණා. ඒත් ඒ අයට වඩා වෙනස්ව යේසුස් මේ වෙලාවේ ගෝලයන් එක්ක වැඩ කළේ ගොඩක් ආදරෙන්, කරුණාවෙන්. මොකක්ද අපිට තියෙන පාඩම? අනිත් අයගේ අතින් අපිට මොකක් හරි වැරැද්දක් වුණොත් අපි හිතන්න ඕනෙ එයාලා කරපු දේ ගැන විතරක් නෙවෙයි. ඒ වෙනුවට ඒ වෙලාවට අපි වැඩ කරන විදිහ ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක කරන්න නම් කෙනෙක්ගේ අතින් අපිට වැරැද්දක් වුණාම අපිට පුළුවන් මෙහෙම හිතන්න. ‘එයා කරපු දේට මට මෙච්චර අප්සෙට් ගියේ ඇයි? මට ඒකට එච්චර දුක හිතුණේ, කේන්ති ගියේ මගේ ගුණාංගවල මොකක් හරි අඩුවක් නිසාද? එයා එහෙම කළේ එයාත් ප්‍රශ්නෙක හිටපු නිසා වෙන්න බැරිද? එයා කරපු දේ වැරදියි කියලා හිතුණත් ඒක අමතක කරලා එයාට දිගටම ආදරේ පෙන්නන්න මට බැරිද?’ ඒ වගේ පැති ගැන කල්පනා කරලා අපි අනිත් අයට ආදරේ කරන තරමටම යේසුස්ගේ සැබෑ ගෝලයන් කියලා අපි ඔප්පු කරලා පෙන්නනවා.

16. යේසුස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් තව දෙයක් මොකක්ද?

16 යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් තව දෙයක් තමයි අනිත් අයව තේරුම්ගන්න එකේ වටිනාකම. (හිතෝ. 20:5) යේසුස්ට නම් අනිත් අයගේ හිත් කියවන්න පුළුවන්. හැබැයි අපිට ඒක කරන්න බැහැ. ඒත් අපිට කරන්න පුළුවන් දේකුත් තියනවා. ඒ තමයි අනිත් කෙනාගේ තත්වයට බැහැලා එයා එහෙම කරන්න ඇත්තේ ඇයි කියලා හිතන එක. එහෙම කරද්දී අපිට එයාත් එක්ක ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන්. (එෆී. 4:1, 2; 1 පේතෘ. 3:8) එයාගේ පසුබිම තේරුම්ගත්තොත් අපිට ඒක කරන්න ලේසි වෙයි. එහෙම කියන්නේ ඇයි කියලා අපි දැන් උදාහරණෙකින් බලමු.

17. සහෝදරයෙක්ව හොඳට අඳුරගත්ත එක, චාරිකා සේවකයෙක්ට උදව් වුණේ කොහොමද?

17 නැඟෙනහිර අප්‍රිකාවේ සේවේ කරන චාරිකා සේවකයෙක්ගේ අද්දැකීමක් දැන් අපි බලමු. එයා ගිය සභාවක එක සහෝදරයෙක් හිටියා. චාරිකා සේවකට මුලදී හිතුණා ඒ සහෝදරයා කට ඇරියොත් කියන්නේ අනිත් අයගේ හිත රිදෙන දේවල්මයි කියලා. ඉතින් එයා මොකද කළේ? බලන්න එයා කියන දේ. “මං ඒ සහෝදරයාව මඟ අරිනවා වෙනුවට එයාව තව හොඳට දැනගෙන, එයාව හොඳට තේරුම්ගන්න ඕනෙ කියලා හිතුවා.” එහෙම කරද්දී චාරිකා සේවකට තේරුණා ඒ සහෝදරයා හැදුණු වැඩුණු විදිහ එයාගේ පෞද්ගලිකත්වයට ගොඩක් බලපාලා තියෙනවා කියලා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “පොඩි කාලේ ඉඳන් එයාගේ ඇඟ ඇතුළේ තිබුණ සමහර ගුණාංග නැති කරන්න එයා මොන තරම් සටනක් කරනවාද කියලා මං දැක්කා. ඒ වගේම මේ වෙන කල් එයා කොච්චර වෙනස් වෙලා තියෙනවාද කියලත් මට තේරුණා. ඒ ගැන හිතද්දී මට එයා ගැන ලොකු ආදරයක් ඇති වුණා. දැන් අපි හොඳ යාළුවෝ.” සහෝදරයෙනි, අනිත් අයව අඳුරගන්න, එයාලව තේරුම්ගන්න පුළුවන් උපරිමය කරන්න. මොකද එහෙම කරනවා නම් එයාලට හදවතින්ම ආදරේ කරන්න ඔයාට ලේසියි.

18. අපි අපෙන්ම අහගන්න ඕනෙ මොන වගේ ප්‍රශ්නද? (හිතෝපදේශ 26:20)

18 ප්‍රශ්නයක් ඇති වුණාම සමහරවිට අපිට හිතෙන්න පුළුවන් ‘මේක ගැන නං කෙළින්ම ගිහින් කතා කරන්න ඕනෙ’ කියලා. හැබැයි ඊට කලින් මේ වගේ ප්‍රශ්න ගැන හිතලා බලන්න. ‘මං මේ කාරණය ගැන හැම තොරතුරක්ම දන්නවාද?’ (හිතෝ. 18:13) ‘මේක එච්චර හිතන්නේ බලන්නේ නැතුව කරපු දෙයක් වෙන්න බැරිද?’ (දේශ. 7:20) ‘මේ වගේ දෙයක් මගේ අතින් අනිත් අයට වෙලා නැද්ද?’ (දේශ. 7:21, 22) ‘මේ ප්‍රශ්නේ කතා කරන්න ගිහින් නැති ප්‍රශ්න ඇති වෙයිද?’ (හිතෝපදේශ 26:20 කියවන්න.) අපි කාලේ අරන් ඒ වගේ පැති ගැන හිතලා බලනවා නම් ප්‍රශ්නේ ලොකු කරගන්නේ නැතුව හොඳම දේ ඒක ආදරෙන් වහලා දාන එක කියලා අපිට තේරෙයි.

19. අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?

19 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සෙනඟක් විදිහට යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් කියලා ඔප්පු කරලා තියෙනවා. හැබැයි සෙනඟක් විදිහට විතරක් නෙවෙයි අපි එක් එක් කෙනාටත් ඒක ඔප්පු කරන්න අවස්ථාව තියෙනවා. ඒ කොහොමද? ඒ සහෝදර සහෝදරියන් අතින් අඩුපාඩු වෙද්දී යේසුස් වගේ එයාලට දිගටම ආදරේ කරන එකෙන්. එහෙම කරනවා නම් ඒක අනිත් අයට උදව් වෙයි “මේක තමයි සැබෑ ආගම” කියලා අඳුරගෙන ආදරේ උල්පත වන යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න. ඒ නිසා මොන දේ වුණත් දිගටම අනිත් අයට ආදරේ කරලා අපි සැබෑ ක්‍රිස්තියානීන් කියලා ඔප්පු කරන්න අධිෂ්ඨාන කරගමු.

ගීතිකාව 17 “මා කැමතියි”

a අපි අතරේ තියෙන ආදරේ දැකලා හුඟක් අය සත්‍යයට ආකර්ෂණය වෙලා තියෙනවා. හැබැයි අපි පරිපූර්ණ අය නෙවෙයි. ඒ නිසා අනිත් අයට ආදරෙන් සලකන්න අපිටත් අමාරු වෙන අවස්ථා තියෙනවා. ඒත් ඕනම තත්වයක් මැද අනිත් අයට ආදරේ කරන එක වැදගත් ඇයි? අපේ සහෝදරයන් අතින් අඩුපාඩුකම් වෙද්දී යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.

c 2012 නොවැම්බර් 1 ‘මුරටැඹ’ සඟරාවේ 13-14 පිටුවල තියෙන “දැන් මගේ ජීවිතේට අරමුණක් තියෙනවා” කියන ලිපිය බලන්න.

d 2012 මැයි 1 ‘මුරටැඹ’ සඟරාවේ 18-19 පිටුවල තියෙන “මට හිතුණේ මගේ ජීවිතේ සාර්ථකයි කියලා” කියන ලිපිය බලන්න.

e මේ ලිපියේ කතා කරන්නේ 1 කොරින්ති 6:9, 10 තියෙන වැඩිමහල්ලන් විසින් හසුරුවන බරපතළ වැරදි ගැන නෙවෙයි.

f 2010 අප්‍රියෙල් 1 ‘මුරටැඹ’ සඟරාවේ 16-18 පිටුවල තියෙන “සිනගෝගය කියන්නේ කුමක්ද?” කියන ලිපිය බලන්න.

g පස්සේ කාලෙක හිටපු යුදෙව් ආගමික නායකයෙක් මේ වගේ දෙයක් කිව්වා කියලා වාර්තා වෙනවා. “මේ ලෝකේ ආබ්‍රහම් වගේ ධර්මිෂ්ඨ මිනිස්සු අඩුම තරමේ තිස්දෙනෙක්වත් ඉන්නවා. ඇත්තටම තිස්දෙනා නම් ඉන්නේ ඒ අය අතරේ අනිවාර්යයෙන් මායි, මගේ පුතයි ඉන්නවා. ඉන්නේ දහදෙනෙක් නම් ඒත් මායි, මගේ පුතයි ඒ අතර ඉන්නවා. පස්දෙනෙක් නම් ඉන්නේ ඒත් මායි, මගේ පුතයි ඉන්නවා. දෙන්නායි නම් ඉන්නේ ඒ මායි, මගේ පුතයි තමයි. හැබැයි මුළු ලෝකෙටම ධර්මිෂ්ඨ අය ඉන්නේ එක් කෙනායි නම් ඒ ඉතින් මම තමයි.”