Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 10

ඔයා බව්තීස්ම වෙන්න ඕනෙ ඇයි?

ඔයා බව්තීස්ම වෙන්න ඕනෙ ඇයි?

‘ඔබ සියලුදෙනා බව්තීස්ම වෙන්න.’—ක්‍රියා 2:38.

ගීතිකාව 34 දෙවිට විශ්වාසවන්තව සිටීම

මේ ලිපියෙන් a

1-2. බව්තීස්ම දවසේදී වෙන්නේ මොනවාද? ඔයා හිතලා බලන්න ඕනෙ මොනවා ගැනද?

 හිතන්න, ඔයා දැන් ඉන්නේ සමුළුවක. ඔයා දකිනවා ඉස්සරහම පේළිවල බව්තීස්ම අපේක්ෂකයන් ඉන්නවා. අහන ප්‍රශ්න දෙකට එයාලා විශ්වාසයෙන් උත්තර දෙනවා. ඒ වෙලාවේ පවුලේ අයගෙයි, යාළුවන්ගෙයි මුහුණුවල තියෙන්නෙත් පුදුම සතුටක්. ඊටපස්සේ එයාලා බව්තීස්ම වෙලා වතුරෙන් උඩට එද්දී එයාලාගේ මුහුණුවලත් තියෙන හිනාව ඔයාට පේනවාද? වටේ ඉන්න අයගේ අත්පොළසන් හඬ ඔයාට ඇහෙනවාද? ඔව්, ඒක ඇත්තටම ප්‍රීතිමත් අවස්ථාවක්. හැම සතියේම ඒ විදිහට දහස් ගාණක් දෙවියන්ට කැප වෙලා බව්තීස්ම වෙනවා.

2 ඔයාත් බව්තීස්ම වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? එහෙමනම් මේ දුෂ්ට ලෝකේ මිනිස්සු අතරෙන් ඔයා ගොඩක් විශේෂ කෙනෙක්. මොකද ‘දෙවියන්ගේ මඟ පෙන්වීම් ඔයාගේ ජීවිතේට අවශ්‍යයි කියලා ඔයා තේරුම් අරගෙන ඉන්නවා.’ (ගීතා. 14:1, 2) මේ ලිපිය බව්තීස්ම වෙන්න ආසාවෙන් ඉන්න තරුණ, මහලු හැමෝටම ගොඩක් උදව් වෙයි. ඒත් ඔයා මේ වෙද්දීත් බව්තීස්ම වුණ කෙනෙක් නම්? යෙහෝවා දෙවියන්ට සදහටම සේවේ කරන්න ඔයා අරන් තියෙන අධිෂ්ඨානය තව ශක්තිමත් කරගන්න මේ ලිපිය ඔයාට හයියක් වෙයි. දැන් අපි යෙහෝවාට සේවේ කරන්න අපිට තියෙන හේතු තුනක් ගැන බලමු.

ඔයා සත්‍යයට සහ ධර්මිෂ්ඨකමට ආදරෙයි

සාතන් අවුරුදු දහස් ගාණක් තිස්සේ දෙවියන්ගේ නමට මඩ ගහනවා, අදටත් ඒක නවත්තලා නැහැ (3-4 ඡේද බලන්න)

3. දෙවියන්ගේ සෙනඟ සත්‍යයටයි, ධර්මිෂ්ඨකමටයි ආදරේ ඇයි? (ගීතාවලිය 119:128, 163)

3 යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟගෙන් ඉල්ලනවා “සත්‍යයට ප්‍රිය කරන්න” කියලා. (සෙක. 8:19) යේසුත් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා ධර්මිෂ්ඨකමට ඇලුම් කරන්න කියලා. (මතෙ. 5:6) ඒකෙන් පැහැදිලි වෙනවා හරි දේ කරන්න, දෙවියන් ඉස්සරහා පවිත්‍රව ඉන්න දෙවියන්ගේ සෙනඟට කොච්චර ලොකු ආසාවක් තියෙන්න ඕනෙද කියලා. ඔයාත් ධර්මිෂ්ඨකමට, සත්‍යයට ප්‍රිය කරන කෙනෙක් කියලා කිසිම සැකයක් නැහැ. ඒකයි ඔයා බොරුව, දුෂ්ටකම පිළිකුල් කරන්නේ. (ගීතාවලිය 119:128, 163 කියවන්න.) මොකද බොරුව කියන්නේ මේ ලෝකේ පාලකයා වන සාතන්ගේ දෙයක්. (යොහ. 8:44; 12:31) ඒදන් උයනේ මුල්ම කැරැල්ල ඇති වුණ දවසේ ඉඳලා සාතන් දෙවියන්ගේ ශුද්ධ නමට මඩ ගහනවා. සාතන්ට ඕනෙ යෙහෝවා කියන්නේ හුඟක් ආත්මාර්ථකාමී, විශ්වාසය තියන්න බැරි, හොඳ දේවල් දෙන්නේ නැති කෙනෙක් කියලා මිනිස්සු හිතනවා දකින්නයි. (උත්. 3:1, 4, 5) අදටත් ඒ විස මිනිස්සුන්ගේ ඔළුවලට දාන එක සාතන් නවත්තලා නැහැ. කෙනෙක්ගේ හිතේ සත්‍යයට ආදරයක් නැත්නම් සාතන්ට පුළුවන් එයාව රූකඩයක් වගේ නටවලා එයාව මේ ලෝකේ තියෙන පහත්ම දේවල්වල වහලෙක් කරන්න.—රෝම 1:25-31.

4. යෙහෝවා “සත්‍යතාවේ දෙවි” කියලා ඔප්පු කරලා තියෙන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

4 යෙහෝවා කියන්නේ “සත්‍යතාවේ දෙවි.” (ගීතා. 31:5) සත්‍යය කියන්නේ මොකක්ද කියලා ඔහු අපිට හෙළි කරලා තියෙනවා. එහෙම කරලා ඔහු සාතන්ගේ බොරුවලින් අපිව නිදහස් කළා. ඒ නිසා සාතන්ට බැහැ තවත් අපිව මෝඩයන්ට අන්දන්න. ඒ වගේම අවංක, ධර්මිෂ්ඨ අය වෙන්න යෙහෝවා අපිට උගන්වනවා. ඒ නිසා තමයි මනසේ සාමය තියාගන්න, අපි ගැනම හොඳ හැඟීමක් ඇතුව ඉන්න අපිට පුළුවන් වෙන්නේ. (හිතෝ. 13:5, 6) බයිබලේ ඉගෙනගද්දී ඔයාත් ඒක අද්දැකලා තියෙනවාද? දෙවියන්ගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙද්දී ප්‍රයෝජන ලැබෙනවා කියලා ඔයාත් ඔයාගේ ජීවිතෙන් අද්දැකලා තියෙනවාද? (යෙසා. 48:17) ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඒ නිසයි ඔයාට ඕනෙ දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව දිගටම ජීවත් වෙන්න. (මතෙ. 6:33) පුළුවන් තරම් දෙනෙක්ට දෙවියන් ගැන සත්‍යය කියලා සාතන්ගේ චෝදනාව බොරුයි කියලා ඔප්පු කරන්න. ඒත් කොහොමද ඒක කරන්නේ?

5. සත්‍යයට සහ ධර්මිෂ්ඨකමට එකඟව ජීවත් වෙනවා කියලා අපිට පෙන්නන්න පුළුවන් කොහොමද?

5 ‘මං සාතන්ගේ බොරුවලට අහු වෙන්නේ නැතුව සත්‍යය මගේ ජීවිතේ කරගන්නවා. මගේ පාලකයා යෙහෝවා. මං ජීවත් වෙන්නේ ඔහු කියන විදිහට.’ ඔයාගේ අධිෂ්ඨානයත් ඒකද? එහෙමනම් මුලින්ම දෙවියන්ට විශේෂ යාච්ඤාවක් කරලා ඔයාගේ ජීවිතේ ඔහුට කැප කරන්න. ඊටපස්සේ ඒ කැප වීම බව්තීස්මයෙන් අනිත් අයට ප්‍රසිද්ධියේ පෙන්නන්න. සත්‍යය ගැන, ධර්මිෂ්ඨකම ගැන දිගටම ඔයාගේ හිතේ ආදරයක් ඇති කරගන්න. මොකද ඒකට පුළුවන් බව්තීස්මයට ළඟා වෙන්න ඔයාව පොලඹවන්න.

ඔයා යේසුස්ට ආදරෙයි

6. ගීතාවලිය 45:4 කියන විදිහට යේසුස්ට ආදරේ කරන්න තියෙන හේතු මොනවාද?

6 ඇයි ඔයා යේසුස්ට ආදරේ? ඒකට හේතු කීපයක් ගීතාවලිය 45:4න් හොයාගන්න පුළුවන්. (කියවන්න.) යේසුස් කියන්නේ නිහතමානිකම ගැන, ධර්මිෂ්ඨකම ගැන, සත්‍යය ගැන ලොකු අගයක් තිබුණ කෙනෙක්. ඔහු ධර්මිෂ්ඨකම වෙනුවෙන්, සත්‍යය වෙනුවෙන් නැඟී හිටපු අවස්ථා ඕන තරම් තියෙනවා. (යොහ. 18:37) ඔයාත් ධර්මිෂ්ඨකමටයි, සත්‍යයටයි ආදරේ නම් ඔයාට යේසුස් ගැන ආදරයක් ඇති වෙන එක අහන්නත් දෙයක්ද! ඒත් යේසුස් නිහතමානිකම පෙන්නුවේ කොහොමද?

7. යේසුස්ගේ නිහතමානිකම ගැන ඔයාගේ හිතට වැදුණේ මොකක්ද?

7 යේසුස්ගේ නිහතමානිකම ඔහු වැඩ කරපු විදිහෙන් පෙනුණා. ඔහු තමන්ටම ගෞරවය ගන්න හදනවා වෙනුවට හැම වෙලාවෙම ගෞරවය දුන්නේ ඔහුගේ තාත්තාට. (මාක් 10:17, 18; යොහ. 5:19) යේසුස්ගේ නිහතමානිකම ගැන හිතද්දී ඔහු ගැන ලොකු ආදරයක් ඇති වෙන්නේ නැද්ද? ඔහුව ආදර්ශයට ගන්න පෙලඹෙන්නේ නැද්ද? ඒත් යේසුස් කොහොමද එච්චර නිහතමානී වුණේ? ඒ ඔහු නිහතමානිකමේ උතුම්ම ආදර්ශය වන යෙහෝවාට ගොඩක් ආදරේ කරපු නිසයි. යෙහෝවාව ආදර්ශයට ගත්ත නිසයි. (ගීතා. 18:35; හෙබ්‍රෙ. 1:3) ඒ ගැන හිතද්දී යේසුස්ට තවත් කිට්ටු වෙන්න අපේ හිතෙත් ආසාවක් ඇති වෙනවා.

8. යේසුස් අපේ රජ වුණ එක ගැන අපිට සතුටු ඇයි?

8 යේසුස් තමයි අපේ රජ වෙන්න සුදුසුම කෙනා. යෙහෝවාම තමයි ඔහුව පුහුණු කරලා ඔහුට රජ කිරුළ පැලඳුවේ. (යෙසා. 50:4, 5) හිතන්න, අපිට ආදරේ පෙන්නන්න යේසුස් කළේ කොච්චර ලොකු පරිත්‍යාගයක්ද! (යොහ. 13:1) එහෙම බලද්දී අපේ රජ විදිහට ඔහු අපේ ආදරේ ලබන්න වටිනවා. අපි යේසුස්ට ආදරේ නම් අපි ඔහුගේ ආඥා පිළිපදිනවා. එතකොට ඔහු අපිව සලකන්නේ ඔහුගේ ‘යාළුවෝ’ විදිහට. (යොහ. 14:15; 15:14, 15) යෙහෝවා දෙවියන්ගේ පුතාගේ යාළුවෙක් වෙන්න ලැබෙන එක කොච්චර ගෞරවයක්ද!

9. යේසුස්ගේ බව්තීස්මයයි, අපේ බව්තීස්මයයි අතර තියෙන සමානකම මොකක්ද?

9 යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා බව්තීස්ම වෙන්න කියලා. (මතෙ. 28:19, 20) ඔහුත් බව්තීස්ම වුණා. හැබැයි යේසුස්ගේ බව්තීස්මයයි, ඔහුගේ අනුගාමිකයන්ගේ බව්තීස්මයයි අතර සමහර වෙනස්කම් තියෙනවා. (“ යේසුස්ගේ සහ ඔහුගේ අනුගාමිකයන්ගේ බව්තීස්මය අතර තියෙන වෙනස” කියන කොටුව බලන්න.) හැබැයි සමානකමුත් තියෙනවා. උදාහරණෙකට, යේසුස් බව්තීස්ම වෙද්දී පෙන්නුවා දෙවියන්ගේ කැමැත්ත කරන්න ඔහු ඉදිරිපත් වෙලා ඉන්නවා කියලා. (හෙබ්‍රෙ. 10:7) ඒ වගේ අදත් අපි බව්තීස්ම වෙද්දී හැමෝම ඉස්සරහා පෙන්නනවා දෙවියන්ගේ කැමැත්ත කරන්න ඉදිරිපත් වෙලා ඉන්නවා කියලා. එදායින් පස්සේ අපි ජීවත් වෙන්නේ අපි වෙනුවෙන් නෙවෙයි යෙහෝවා වෙනුවෙන්. හරියට අපේ ස්වාමියා වන යේසුස් වගේ.

10. යේසුස්ට ආදරේ කරන්න තියෙන හේතු මොනවාද? ඒ ආදරේ ඔයාව පොලඹවන්නේ මොනවා කරන්නද?

10 අපි දන්නවා දෙවියන් ඔහුගෙම අතින් නිර්මාණය කරපු එකම පුතා යේසුස් කියලා. අපේ රජ විදිහට දෙවියන් පත් කරලා තියෙන්නෙත් ඔහුව. යේසුස් තමන්ගේ පියාව සීයට සීයක් ආදර්ශයට ගත්තා. ඔහු මිනිස්සුන්ගේ බඩගින්න නිවපු විදිහ, එයාලව සනසපු විදිහ, අසනීප සුව කරපු විදිහ ඔයා බයිබලෙන් ඉගෙනගෙන තියෙනවා. (මතෙ. 14:14-21) ඒ විතරක් නෙවෙයි අපේ නායකයා විදිහට ඔහු සංවිධානයට මඟ පෙන්නන විදිහත් ඔයා ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. (මතෙ. 23:10) දේවරාජ්‍යයේ රජ විදිහට යේසුස් අනාගතයේදී මීට වඩා දේවල් කරනවා. ඒ දේවල් ගැන හිතද්දී යේසුස් ගැන ආදරයක් ඇති වෙන්නේ නැද්ද? ඒ ආදරේ ඔයාව පොලඹවනවා පුළුවන් තරම් කිට්ටුවෙන් ඔහුව ආදර්ශයට ගන්න. (යොහ. 14:21) හැබැයි ඒක කරන්න නම් ඔයා මුලින්ම ඔයාගේ ජීවිතේ යෙහෝවාට කැප කරලා බව්තීස්ම වෙන්න ඕනේ.

ඔයා යෙහෝවාට ආදරෙයි

11. බව්තීස්ම වෙන්න තියෙන ප්‍රධානම හේතුව මොකක්ද? එහෙම කියන්නේ ඇයි?

11 බව්තීස්ම වෙන්න කෙනෙක් පෙලඹෙන්න ඕනෙ ප්‍රධානම හේතුව මොකක්ද? උතුම්ම ආඥාව ගැන කියද්දී යේසුස් කියපු දෙයින් ඒක තේරුම්ගන්න පුළුවන්. ඔහු මෙහෙම කිව්වා. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. එලෙසම ඔබේ මුළු ශක්තියම ඔහු වෙනුවෙන් වැය කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.” (මාක් 12:30) ඔයාගේ හිතෙත් යෙහෝවා දෙවියන් ගැන තියෙන්නේ ඒ වගේ ආදරයක්ද?

ඔයා මෙච්චර කල් භුක්ති විඳලා තියෙන, ඉස්සරහට භුක්ති විඳින්න යන හැම දෙයක්ම ලැබුණේ දෙවියන්ගෙන් (12-13 ඡේද බලන්න)

12. ඔයා යෙහෝවා දෙවියන්ට ආදරේ ඇයි? (පින්තූරයත් බලන්න.)

12 දෙවියන්ට ආදරේ කරන්න අපිට ඕන තරම් හේතු තියෙනවා. උදාහරණෙකට ඔහු තමයි අපේ “ජීවිතයේ උල්පත.” ඒ වගේම “සෑම යහපත් දීමනාවක්ම හා කිසිම අඩුපාඩුවක් නැති සෑම තෑග්ගක්ම” අපිට ලැබිලා තියෙන්නේ ඔහුගෙන්. (ගීතා. 36:9; යාකො. 1:17) කොටින්ම කිව්වොත් ඔයා ඔයාගේ ජීවිතේ භුක්ති විඳින හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ අපේ ආදරණීය දෙවි යෙහෝවාගෙන්.

13. ජීවිත පූජාව ඒ තරම්ම වටින්නේ ඇයි?

13 ජීවිත පූජාව දෙවියන් අපිට දීපු විශිෂ්ටම තෑග්ගක්. ඇයි එහෙම කියන්නේ? යේසුස් කිව්වා ‘පියාණන් මට ආදරෙයි,’ ‘මම පියාණන්ට ආදරෙයි’ කියලා. (යොහ. 10:17; 14:31) ඒකෙන් පේනවා ඒ දෙන්නා අතරේ හරිම කිට්ටු බැඳීමක් තියෙනවා කියලා. අවුරුදු බිලියන ගාණක් එකට ඉද්දී ඒ බැඳීම ගොඩක් ශක්තිමත් වෙන්න ඇති. (හිතෝ. 8:22, 23, 30) ඉතින් යේසුස් මේ පොළොවේ දුක් විඳලා මැරෙනවා බලන් ඉන්න එක යෙහෝවාට කොච්චර වේදනාවක් වෙන්න ඇද්ද! හැබැයි ඒ වගේ දෙයක් වුණත් ඔහු උහුලගත්තේ අපිට තියෙන ආදරේ නිසයි. අපිට සදාකාල ජීවනය දෙන්න ඕනෙ නිසයි. (යොහ. 3:16; ගලා. 2:20) ඉතින්, යෙහෝවාට ආදරේ කරන්න අපිට ඊටත් වඩා හේතු ඕනෙද!

14. අපිට තියාගන්න පුළුවන් වැදගත්ම ඉලක්කය මොකක්ද?

14 යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගද්දී ඔයාගේ හිතේ ඔහු ගැන තියෙන ආදරේ වැඩි වුණා. ඒ නිසා ඔයාට ඕනෙ සදහටම ඔහුට ළං වෙලා ඉන්න. ඒක ඔයාට කරන්න බැරි දෙයක් නෙවෙයි. යෙහෝවාත් ඔයාගෙන් ආදරෙන් ඉල්ලනවා ඔහුගේ හිත සතුටු කරන්න කියලා. (හිතෝ. 23:15, 16) ඒත් ඒක වචනවලට විතරක් සීමා කරන්න හොඳ නැහැ. ක්‍රියාවෙනුත් පෙන්නන්න ඕනේ. මොකද ඔයා යෙහෝවාට කොච්චර ආදරේද කියලා ඔයා ජීවත් වෙන විදිහෙන් තමයි පේන්නේ. (1 යොහ. 5:3) ඒ නිසා හැම දේකදීම දෙවියන්ගේ හිත සතුටු කරන්න අධිෂ්ඨාන කරගන්න. ඔයාට තියන්න පුළුවන් හොඳම ඉලක්කය ඒකයි.

15. යෙහෝවා දෙවියන්ට තියෙන ආදරේ පෙන්නන්න පුළුවන් කොහොමද?

15 යෙහෝවාට තියෙන ආදරේ පෙන්නන්න නම් මුලින්ම යාච්ඤාවකින් ඔයාගේ ජීවිතේ ඔහුට කැප කරන්න. (ගීතා. 40:8) ඒක ඔයා දෙවියන්ට කරන හරිම විශේෂ යාච්ඤාවක්. ඊටපස්සේ ඒ තීරණය බව්තීස්මයෙන් ප්‍රසිද්ධියේ පෙන්නන්න. මේ ලිපියේ මුලින් බැලුවා වගේ ඒ තීරණය ඔයාගේ ජීවිතේ ප්‍රධාන සන්ධිස්ථානයක් වෙයි. එදායින් පස්සේ ඔයා ගත කරන්නේ අලුත්ම අලුත් ජීවිතයක්. ඊටපස්සේ ඔයා ජීවත් වෙන්නේ ඔයාගේ කැමැත්ත වෙනුවෙන් නෙවෙයි, යෙහෝවාගේ කැමැත්ත වෙනුවෙන්. (රෝම 14:8; 1 පේතෘ. 4:1, 2) ඒක ගොඩක් බැරෑරුම් තීරණයක් තමයි. හැබැයි ඒ තීරණයත් එක්කම ඔයාට ගත කරන්න පුළුවන් හොඳම ජීවිතේට දොර ඇරෙනවා.

16. දෙවියන්ට ජීවිතේ කැප කරන අයට ඔහු දෙන ආශීර්වාද මොනවාද? (ගීතාවලිය 41:12)

16 යෙහෝවා දෙවියන් තමයි විශ්වයේ ඉන්න ත්‍යාගශීලීම කෙනා. ඒ නිසා ඔයා ඔහු වෙනුවෙන් මොන දේ දුන්නත් ඒ වගේ සිය ගුණයකින් ඔහු ආපහු ඔයාට දෙනවා. (මාක් 10:29, 30) ඔහු ඔයාගේ ඉස්සරහින් තියලා තියෙන්නේ වචනවලින් විස්තර කරන්න බැරි, ආශීර්වාදවලින් පිරුණු ජීවිතයක්. ඒක අනාගතයේදී විතරක් නෙවෙයි දවසින් දවස මියැදෙන මේ දුෂ්ට සමාජයේදී වුණත් භුක්ති විඳින්න පුළුවන්. බව්තීස්මයත් එක්ක ඔයා පටන්ගන්න අලුත් ජීවිතේ සදාකාලයටම ගෙනියන්න ඔයාට අවස්ථාව තියෙනවා. කාලේ ගෙවිලා යද්දී යෙහෝවායි, ඔයායි අතරේ තියෙන ආදරේ තව තවත් වැඩි වෙයි. ඒ වගේම දෙවියන් ජීවත් වෙලා ඉන්න තාක් කල් ඒ කියන්නේ සදහටම ජීවත් වෙන්නත් ඔයාට අවස්ථාව ලැබෙයි.—ගීතාවලිය 41:12 කියවන්න.

17. යෙහෝවා දෙවියන් ළඟ නැති දෙයක් ඔයාට ඔහු වෙනුවෙන් දෙන්න පුළුවන්. ඒ මොකක්ද?

17 ඔයා භුක්ති විඳින හැම හොඳ දෙයක්ම, ඔයා සතුටින් ගත කරන හැම මොහොතක්ම ලැබුණේ යෙහෝවා දෙවියන් නිසා. ඔහුට කැප වෙලා බව්තීස්ම වෙද්දී ඔයාටත් අවස්ථාව ලැබෙනවා ඔහු වෙනුවෙන් වටින දෙයක් දෙන්න. ඒක මේ අහස පොළොව අයිති දෙවියන් ගාවවත් නැති දෙයක්. ඒ තමයි ඔයා හදවතින්ම පෙලඹිලා ඔහුට පිරිනමන පරිශුද්ධ සේවය. (යෝබ් 1:8; 41:11; හිතෝ. 27:11) දෙවියන් වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් ඊටත් වඩා වැදගත් දෙයක් තව තියෙනවාද! ඒ හැම දේකින්ම පැහැදිලියි බව්තීස්ම වෙන්න ඔයාට තියෙන හොඳම හේතුව යෙහෝවාට තියෙන ආදරේ කියලා.

ඇයි පරක්කු?

18. ඔයා හිතලා බලන්න ඕනෙ මොන ප්‍රශ්න ගැනද?

18 ඔයාත් දවසක බව්තීස්ම වෙයිද? ඒකට උත්තරේ තියෙන්නේ ඔයා ළඟමයි. ඒත් ඇයි ඔයා ඒ තීරණය ගන්න පරක්කු කියලා හිතලා බලන්න. (ක්‍රියා 8:36) බව්තීස්ම වෙන්න උදව් වෙන දේවල් තුනක් ගැන අපි මේ ලිපියෙන් බැලුවා. (1) ඔයා සත්‍යයටයි, ධර්මිෂ්ඨකමටයි ආදරෙයි. (2) ඔයා යේසුස්ට ආදරෙයි. (3) ඒ හැම දේටම වඩා ඔයා යෙහෝවා දෙවියන්ට ආදරෙයි. ඒ නිසා ඔයාගෙන්ම මෙහෙම අහගන්න. “හැමෝම සත්‍යය කතා කරන, ධර්මිෂ්ඨ දේවල් කරන කාලය ඇස් දෙකෙන්ම බලාගන්න මං ආසද? යේසුස්ව මගේ රජ විදිහට මං පිළිගන්නවාද? මං ඔහුව ආදර්ශයට ගන්නවාද? යෙහෝවාව මගේ දෙවියන් විදිහට පිළි අරන් ඔහුගේ හිත සතුටු කරන්න මට ඕනෙද?” ඒ ප්‍රශ්නවලට උත්තරේ “ඔව්” නම් ඇයි ඔයා තාමත් බව්තීස්ම වෙලා නැත්තේ? ඇයි පරක්කු?—ක්‍රියා 16:33.

19. බව්තීස්ම වෙන්න අදිමදි කරන්න ඕනෙ නැත්තේ ඇයි? උදාහරණෙකින් පැහැදිලි කරන්න. (යොහන් 4:34)

19 ඔයාත් බව්තීස්ම වෙන්න අදිමදි කරන කෙනෙක් නම් හොඳ තීරණයක් ගන්න යේසුස් කියපු දෙයක් ඔයාට උදව් වෙයි. (යොහන් 4:34 කියවන්න.) යේසුස් දෙවියන්ගේ කැමැත්ත කරන එක කෑමවලට සමාන කළා. කෑම තියෙන්නේ අපේ ප්‍රයෝජනයට. යේසුස් දැනන් හිටියා යෙහෝවා අපිට මොකක් හරි කරන්න කියනවා නම් ඒකෙනුත් අපිට ප්‍රයෝජන ලැබෙනවා කියලා. ඔහු කවදාවත් අපිට හානියක් වෙන දෙයක් කරන්න කියන්නේ නැහැ. බව්තීස්ම වෙන්න කියලා අපෙන් ඉල්ලන්නෙත් යෙහෝවාමයි. ඒ නිසා ඒකෙනුත් අපිට ප්‍රයෝජන ලැබෙනවා කියලා කිසිම සැකයක් නැහැ. (ක්‍රියා 2:38) කටට රහට හදපු කෑමක් අත ළඟ තියාගෙන ඒක කන්න ඔයා පරක්කු කරකර ඉන්නවාද? එහෙනම් බව්තීස්ම වෙන්න ඇයි පරක්කු?

20. ඊළඟ සතියේ අපි කතා කරන්නේ මොනවා ගැනද?

20 හුඟදෙනෙක් කියනවා “මං තාම බව්තීස්මයට ලෑස්ති නෑ” කියලා. ඇත්ත, යෙහෝවා දෙවියන්ට කැප වෙන්න ඔයා ගන්න ඒ තීරණය ගොඩක් බැරෑරුම් එකක්. ඒ නිසා ඒ ගැන හොඳට හිතලා බලන්න, සුදුසුකම් අත් කරගන්න කාලයක් යයි. ඒත් බව්තීස්ම වෙන්න ඔයාගේ හිතේ ඇත්තටම ආසාවක් තියෙනවා නම් ඔයාට දැන් ඉඳන්ම කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ මොනවාද කියලා අපි ඊළඟ සතියේ බලමු.

ගීතිකාව 28 දෙව්ඳුන් හා මිත්‍රත්වයෙන් බැඳීම

a බව්තීස්මය කියන්නේ බයිබල් ශිෂ්‍යයෙක් ගන්නම ඕන පියවරක්. ඒත් ඒ පියවර ගන්න එයාව පොලඹවන්නේ මොකක්ද? එක වචනෙකින් කියනවා නම් ඒ තමයි ආදරය. හැබැයි මොකකට තියෙන ආදරේද, කාට තියෙන ආදරේද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු. ඒ වගේම බව්තීස්මයෙන් පස්සේ කෙනෙක්ගේ ජීවිතේ කොයි වගේ වෙයිද කියලත් අපි බලමු.