Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 13

නිර්මාණවලින් දරුවන්ට උගන්වන්න

නිර්මාණවලින් දරුවන්ට උගන්වන්න

“මේ සියල්ල නිර්මාණය කළේ කවුද?”—යෙසා. 40:26.

ගීතිකාව 11 දෙවිගේ නිර්මාණ දෙවිව ප්‍රශංසා කරයි

මේ ලිපියෙන් a

1. දෙමාපියන්ට තියෙන එකම ආසාව මොකක්ද?

 අම්මේ තාත්තේ, අපි දන්නවා ඔයාලාගේ එකම ආසාව ඔයාලාගේ දරුවෝ යෙහෝවා දෙවියන්ව දැනගෙන ඔහුට ආදරේ කරනවා දකින එක කියලා. හැබැයි දෙවියන්ව අපිට පේන්නේ නැහැ. එහෙමනම් දෙවියන් ඇත්තටම ඉන්න කෙනෙක් කියලා තේරුම් අරන් ඔහුට ළං වෙන්න දරුවන්ට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද?—යාකො. 4:8.

2. යෙහෝවා දෙවියන් මොන වගේ කෙනෙක්ද කියලා දරුවන්ට කියලා දෙන්න පුළුවන් කොහොමද?

2 යෙහෝවා දෙවියන්ට ළං වෙන්න දරුවන්ට උදව් කරන්න පුළුවන් හොඳම විදිහක් මොකක්ද? ඒ තමයි එයාලා එක්ක බයිබලේ පාඩම් කරන එක. (2 තිමෝ. 3:14-17) හැබැයි ඒක කරන්න පුළුවන් තවත් විදිහක් ගැන බයිබලේම කියලා තියෙනවා. එක හිතෝපදේශයක තාත්තා කෙනෙක් එයාගේ පුතාට කියනවා යෙහෝවා ගැන, ඔහුගේ ගුණාංග ගැන නිර්මාණවලින් ඉගෙනගන්න තියෙන අවස්ථාව මඟහරින්න එපා කියලා. (හිතෝ. 3:19-21) ඒත් නිර්මාණ පාවිච්චි කරලා දෙවියන් ගැන දරුවන්ට උගන්වන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

ඒක කරන්නේ කොහොමද?

3. දෙමාපියන් එයාලාගේ දරුවන්ට උදව් කරන්න ඕනෙ මොනවා කරන්නද?

3 බයිබලේ මෙහෙම කියනවා. “දෙවිව නොපෙනුණත් ලෝකය සෑදූ දා පටන් ඔහුගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන. එය කළ හැක්කේ දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙනි.” (රෝම 1:20) දෙමාපියෙනි, කිසිම සැකයක් නැහැ ඔයාලත් ඔයාලාගේ දුවලා පුතාලා එක්ක එළියට පහළට බැහැලා ටිකක් විනෝද වෙනවා ඇති. ඒ වගේ අවස්ථාවලදී ඔයාලට පුළුවන් දෙවියන් “නිර්මාණය කරලා තියෙන දේවල්” පාවිච්චි කරලා ඔහු ගැන, ඔහුගේ ගුණාංග ගැන දරුවන්ට කියලා දෙන්න. දැන් අපි බලමු දෙමාපියන්ට යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා.

4. යේසුස් නිර්මාණවලින් ඉගැන්නුවේ කොහොමද? (ලූක් 12:24, 27-30)

4 යේසුස් එක අවස්ථාවක ගෝලයන්ට කිව්වා කපුටන් දිහා, ලිලී මල් දිහා හොඳට බලන්න කියලා. (ලූක් 12:24, 27-30 කියවන්න.) යේසුස්ට උදාහරණයක් විදිහට ගන්න තව ඕන තරම් දේවල් තිබුණා. හැබැයි ඔහු පාවිච්චි කළේ එයාලා නිතර දෙවේලේ දැකපු දේවල්. සමහරවිට යේසුස් ඒ ගැන කතා කරකර ඉද්දීත් එතනින් කපුටෝ ඉගිළෙන්න ඇති. ඒ අවට ලිලී මල් තියෙන්නත් ඇති. ඉතින් යේසුස් අත දික් කරලා ඒවා පෙන්නලා ගෝලයන්ට කතා කරන විදිහ ඔයාට හිතින් මවාගන්න පුළුවන්ද? ඒත් යේසුස් මේ උදාහරණ පාවිච්චි කරලා ගෝලයන්ට උගන්වපු පාඩම මොකක්ද? යෙහෝවා දෙවියන් ලිලී මල් එච්චර ලස්සනට සරසනවා නම්, කපුටන්ට අවශ්‍ය කෑම දෙනවා නම් ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව ඊට වඩා කොච්චර හොඳට බලාගනියිද! ඔව්, නිතර දෙවේලේ දකින ඒ නිර්මාණ පාවිච්චි කරලා යෙහෝවා දෙවියන්ගේ ත්‍යාගශීලීකම ගැන, කරුණාවන්තකම ගැන යේසුස් බලවත් පාඩමක් ඉගැන්නුවා.

5. දරුවන්ට යෙහෝවා දෙවියන් ගැන කියලා දෙන්න දෙමාපියන්ට උදාහරණෙකට ගන්න පුළුවන් මොන වගේ නිර්මාණද?

5 අම්මේ තාත්තේ, ඔයාලට යේසුස්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද? දෙවියන්ගේ නිර්මාණ අතරින් ඔයා වැඩියෙන්ම ආස දෙයක් ගැන, උදාහරණෙකට ආසම සතෙක් ගැන, ආසම ගහක් ගැන එයාලත් එක්ක කතා කරන්න. හැබැයි ඒකෙන් යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා කතා කරන්නත් අමතක කරන්න එපා. ඊටපස්සේ ඔයාට පුළුවන් ඔයාගේ දුවගෙන්, පුතාගෙන් අහන්න එයා ආසම සතා කවුද, ආසම ගහ මොකක්ද කියලා. ඒ විදිහට ඔයා දරුවෝ ආස දෙයක් ගැන කතා කරලා ඒකෙන් යෙහෝවා ගැන උගන්වනවා නම් එයාලා හරිම ආසාවෙන් ඒකට ඇහුම්කන් දෙයි.

6. ක්‍රිස්ටෝෆර්ගේ අම්මාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

6 දරුවන්ට නිර්මාණවලින් යෙහෝවා දෙවියන් ගැන උගන්වන්න දෙමාපියෝ සත්තු ගැන, ගස් කොළන් ගැන පැය ගාණක් තිස්සේ අධ්‍යයනය කරන්න ඕනෙද? නැහැ. යේසුස් කපුටන්ගේ ආහාර රටාව ගැන, ලිලී මල්වල සෛල හැදිලා තියෙන විදිහ ගැන ලොකු හෑල්ලක් කියන්න ගියේ නැහැ. ඔහු හරිම සරල විදිහට තමයි ඒවායින් පාඩම් කියලා දුන්නේ. ඇත්ත, සමහර වෙලාවට නිර්මාණ ගැන ටිකක් ගැඹුරු දේවල් කියලා දෙනවාට දරුවෝ ආස වෙන්න පුළුවන්. හැබැයි හුඟක් වෙලාවට පුංචි දේකින්, සරල ප්‍රශ්නෙකින් ලොකු පාඩමක් එයාලට කියලා දෙන්න පුළුවන්. ක්‍රිස්ටෝෆර්ගේ අම්මා කළෙත් ඒකමයි. ඒ ගැන ක්‍රිස්ටෝෆර් මෙහෙම කියනවා. “පොඩි කාලේ ඉඳන්ම අම්මා දෙවියන්ගේ නිර්මාණ ගැන අපේ හිතේ ලොකු අගයක් ඇති කළා. ඉස්සර අපි කඳුකර පැත්තකට යද්දී ඒ කඳු පෙන්නලා අම්මා අපිට කියනවා ‘අර බලන්නකෝ අර කඳුවල උස! යෙහෝවා හදලා තියෙන හැම දෙයක්ම හරිම ලස්සනයි නේද’ කියලා. එහෙම නැත්නම් අපිව එක්කං මුහුදු වෙරළට ගියාම අම්මා කියනවා ‘අර බලන්නකෝ අර මුහුදු රැළිවල ලොකු! දෙවියන්ට ලොකු බලයක් තියෙනවා නේද පුතේ’ කියලා. අම්මා කියපු ඒ පුංචි පුංචි දේවල් තමයි යෙහෝවා ගැන ලොකු ලොකු දේවල් ඉගෙනගන්න අපිව පෙලඹුවේ.”

7. නිතරම දෙවියන්ගේ නිර්මාණ ගැන හිතන්න දරුවන්ව පුහුණු කරන්න පුළුවන් කොහොමද?

7 දරුවෝ ටිකෙන් ටික ලොකු වෙද්දී ඔයාට පුළුවන් නිර්මාණ දිහා බලලා යෙහෝවා දෙවියන් ගැන යමක් ඉගෙනගන්න දරුවන්ව පුහුණු කරන්න. ඒකට මොකක් හරි නිර්මාණයක් පෙන්නලා ඔයාට දරුවාගෙන් අහන්න පුළුවන් “ඔයා මේකෙන් යෙහෝවා දෙවියන් ගැන මොනවාද ඉගෙනගත්තේ” කියලා. දරුවෝ දෙන උත්තර අහද්දී ඔයාට පුදුමත් හිතෙයි.—මතෙ. 21:16.

කොයි අවස්ථාවලදීද?

8. “ගමන්බිමන් යද්දී” ඊශ්‍රායෙල් දෙමාපියන්ට කරන්න පුළුවන් වුණේ මොකක්ද?

8 යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල් දෙමාපියන්ට කියලා තිබුණා “ගමන්බිමන් යන කොටත්” දරුවන්ට ඔහු ගැන උගන්වන්න කියලා. (ද්වි. 11:19) ඊශ්‍රායෙලයේ ගම්බද පළාත් දිගේ වැටිලා තිබුණ පාරවල් දෙපැත්තේ එක එක ජාතියේ සත්තු, කුරුල්ලෝ, මල් වගේ දේවල් දකින්න තිබුණා. ඉතින් දෙමාපියෝ දරුවොත් එක්ක ඔය පාරවල් දිගේ යද්දී දරුවන්ට දෙවියන්ගේ නිර්මාණ ගැන කුතුහලයක් ඇති කරන්න හොඳ අවස්ථාවන් උදා වුණා. දෙමාපියෙනි, අද ඉන්න ඔයාලටත් ඒ වගේ අවස්ථාවන් උදා කරගන්න පුළුවන්. සමහර දෙමාපියන් ඒ වෙනුවෙන් කළේ මොනවාද කියලා අපි දැන් බලමු.

9. පුනීතාගෙන් සහ කාට්‍යාගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

9 පුනීතා කියන්නේ ඉන්දියාවේ නාගරික පැත්තක ජීවත් වෙන කෙනෙක්. එයා මෙහෙම කියනවා. “අපි නෑදෑයෝ බලන්න ගමේ ගියාම යෙහෝවා දෙවියන් ගැන දරුවන්ට කියලා දෙන්න අපිට හුඟක් අවස්ථා ලැබෙනවා. මං නම් හිතන්නේ වාහන තදබදයක් නැති, නිස්කලංක ඒ වගේ පැත්තකට ගියාම තමයි දරුවන්ට නිවිහැනහිල්ලේ දෙවියන්ගේ නිර්මාණ රස විඳින්න පුළුවන්.” මොල්දාවියාවේ ඉන්න කාට්‍යා කියන දේ බලන්න. “මගේ ජීවිතේ මිහිරිම මතකයන් තියෙන්නේ මං ගමේ හිටපු කාලේ. අම්මලා මට ඒ කාලේ ඉඳන්ම ඉගැන්නුවා ටිකක් නැවතිලා දෙවියන් හදලා තියෙන දේවල් දිහා බලන්න කියලා. ඇත්තටම ඒක නිසා තමයි මේ නිර්මාණ පිටිපස්සේ ඉන්න නිර්මාතෘව දකින්න මට පුළුවන් වුණේ.”

ඔයා නගරබද පැත්තක හිටියත් දරුවන්ට යෙහෝවා ගැන උගන්වන්න හුඟක් නිර්මාණ ඔයා අවට තියෙනවා (10 ඡේදය බලන්න)

10. නගරබද පැත්තක ඉන්න කෙනෙක්ට ඈත පළාතකට යන එක ටිකක් අමාරු නම් මොකද කරන්නේ? (“ දෙමාපියන්ට උදව්” කියන කොටුව බලන්න.)

10 පරිසරයේ අසිරිය විඳින්න ඈත පළාතකට යන එක අමාරු නම් මොකද කරන්නේ? ඉන්දියාවේ ඉන්න අමෝල් කියන දේ බලන්න. “අපි ඉන්න පැත්තේ හැමෝම කාර්යබහුලයි. දෙමාපියන්ට නිවාඩුවක් ගන්න එක ලේසි නෑ. අනිත් එක ට්‍රිප් එකක් යන්නත් සෑහෙන වියදමක් යනවා. හැබැයි ඉතින් දෙවියන්ගේ නිර්මාණ දිහා බලන්න ඒ වගේ පැත්තකටම යන්න ඕනෙ නෑ. ළඟපාත තියෙන පාක් එකකට ගිහිල්ලා, නැත්නං ගෙදරම තියෙන බැල්කනියේ ඉඳන් වුණත් ඒ නිර්මාණ රස විඳින්න පුළුවන්.” ඔව්, ඔයා ටිකක් වටපිට බැලුවොත් දරුවන්ට පෙන්නන්න ඔයාගේ පේන මානෙම එක එක ජාතියේ කුරුල්ලෝ, පුංචි පුංචි සත්තු, පැළ වර්ග වගේ දේවල් ඕන තරම් තියෙනවා. (ගීතා. 104:24) ජර්මනියේ ඉන්න කරීනා කියන දේ බලන්න. “අපේ අම්මා මල්වලට හරි ආසයි. ඉතිං අම්මා මාව කොහේ හරි එක්කන් යද්දී යන මඟට ලස්සන ලස්සන මල් දැක්කාම ඒවා මට පෙන්නනවා.” දෙමාපියෙනි, දරුවන්ට නිර්මාණවලින් දෙවියන් ගැන කියලා දෙන්න සංවිධානයෙන් හුඟක් වීඩියෝ සහ ප්‍රකාශන දීලා තියෙනවා. ඒ නිසා ඔයා කොහේ ජීවත් වුණත් දෙවියන්ගේ නිර්මාණවල අපූර්වත්වය දකින්න දරුවන්ට උදව් කරන්න ඔයාට පුළුවන්. දැන් අපි නිර්මාණවලින් දකින්න තියෙන යෙහෝවා දෙවියන්ගේ ගතිලක්ෂණ කීපයක් බලමු.

‘නොපෙනෙන දෙවියන්ගේ ගුණාංග’ දකින්න

11. යෙහෝවාගේ ආදරේ දකින්න දරුවන්ට උදව් කරන්න පුළුවන් කොහොමද?

11 සත්තු උන්ගේ පැටවුන්ව ආදරෙන් රැකබලා ගන්න විදිහ පෙන්නලා දරුවන්ට දෙවියන්ගේ ආදරේ ගැන කියලා දෙන්න ඔයාලට පුළුවන්. (මතෙ. 23:37) ඒ වගේම දෙවියන්ගේ නිර්මාණ අතරේ තියෙන විවිධත්වය දකින්නත් දරුවන්ට උදව් කරන්න. කලින් කතා කරපු කරීනා මෙහෙම කියනවා. “අම්මයි, මායි ඇවිදින්න යද්දී අම්මා හැම වෙලේම පාර දෙපැත්තේ තියෙන මල් පෙන්නලා කියනවා ‘ටිකක් නැවතිලා මේ මල් දිහා බලන්න. ඒවා එකකට එකක් වෙනස්. ඒ හැම එකකටම ඒවාට ආවේණික ලස්සනක් තියෙනවා. ඒකෙන් පේන්නේ යෙහෝවා දෙවියන්ගේ ආදරේ’ කියලා. අවුරුදු ගාණක් ගිහින් තිබුණත් අදටත් මං මල්වල තියෙන විවිධත්වය, පාට, හැඩය දිහා බලද්දී යෙහෝවාගේ ආදරේ මට මතක් වෙනවා.”

අපේ පුදුමාකාර ශරීරය ගැන කියලා යෙහෝවාගේ අසමසම ප්‍රඥාව ගැන දරුවට උගන්වන්න (12 ඡේදය බලන්න)

12. දෙවියන්ගේ ප්‍රඥාව දකින්න දරුවන්ට උදව් කරන්න පුළුවන් කොහොමද? (ගීතාවලිය 139:14) (පින්තූරයත් බලන්න.)

12 යෙහෝවා දෙවියන්ගේ ප්‍රඥාව දකින්න දරුවන්ට උදව් කරන්න. අපිත් එක්ක බලද්දී ඔහුට තියෙන්නේ අසීමිත ප්‍රඥාවක්. (රෝම 11:33) ඔයාට පුළුවන් දෙවියන්ගේ නිර්මාණවලින් ඒක පේන්නේ කොහොමද කියලා දරුවොත් එක්ක කතා කරන්න. උදාහරණෙකට ඔයාට පුළුවන් වලාකුළු ගැන කියන්න. පොළොවෙන් වාෂ්ප වෙන වතුරෙන් හැදෙන වලාකුළු කොච්චර බර වුණත් ඒවා හරිම සැහැල්ලුවෙන් හුළඟට පා වෙලා තැනින් තැනට යනවා. (යෝබ් 38:36, 37) දෙවියන් අපේ ශරීරය හදලා තියෙන්නේ කොච්චර පුදුමාකාර විදිහටද කියලත් දරුවෝ එක්ක කතා කරන්න. (ගීතාවලිය 139:14 කියවන්න.) තාත්තා කෙනෙක් වන ව්ලැඩිමීර් මෙහෙම කියනවා. “දවසක් අපේ පුතා බයිසිකලෙන් වැටිලා තුවාල වුණා. දවස් දෙක තුනකට පස්සේ එයාගේ තුවාලේ වේළුණා. ඉතිං මායි, නෝනයි එයාට පෙන්නලා දුන්නා යෙහෝවා අපේ ශරීරය හදලා තියෙන්නේ සෛල අලුත් වෙන්න, තුවාල හොඳ වෙන්න පුළුවන් විදිහට කියලා. ඊටපස්සේ අපි එයාගෙන් ඇහුවා ‘මිනිස්සු හදලා තියෙන දේවල්වල එහෙම දෙයක් දකින්න තියෙනවාද’ කියලා. උදාහරණෙකට ‘කාර් එකක් හැප්පුණාම ඒක දවස් දෙක තුනකින් ඉබේටම හැදෙනවාද’ කියලා අපි එයාගෙන් ඇහුවා. ඒක පුතාට උදව් වුණා දෙවියන්ට කොච්චර ප්‍රඥාවක් තියෙනවාද කියලා තේරුම්ගන්න.”

13. දෙවිගේ බලය දකින්න දරුවන්ට උදව් කරන්න පුළුවන් කොහොමද? (යෙසායා 40:26)

13 යෙහෝවා දෙවියන් අපිට කියනවා “අහස දිහා බලන්න” කියලා. එතකොට අපිට තේරෙයි මේ විශ්වයේ තියෙන දේවල්, නියමයන් ක්‍රියාත්මක කරවන දෙවිගේ බලය කොච්චර ශ්‍රේෂ්ඨද කියලා. (යෙසායා 40:26 කියවන්න.) ඔයාටත් පුළුවන් දරුවන්ට කියන්න ‘අහස දිහා බලලා යෙහෝවා ගැන ටිකක් හිතන්න’ කියලා. තායිවානයේ ඉන්න සහෝදරි ෂිංෂිං එයාගේ පුංචි කාලේ ගැන මෙහෙම කියනවා. “දවසක් අම්මා මාව ට්‍රිප් එකක් එක්කං ගියා. එහෙදී අපි හිටියේ කූඩාරම් ගහගෙන. ඒ මුළු පැත්තම කළුවර නිසා රෑ අහස හරිම ලස්සනයි. ඒ කාලේ මට ඉස්කෝලේ යාළුවන්ගෙන් ආපු පීඩනය නිසා මං යෙහෝවාගෙන් ඈත් වෙයිද කියලා මට ලොකු බයක් දැනුණා. හැබැයි අම්මා මට කිව්වා ‘මේ තරු දිහා බලන්න. ඒවා හදන්න, ඒ හැම එකක්ම මතක තියාගන්න යෙහෝවාට කොච්චර බලයක් ඇද්ද! ඔය ප්‍රශ්නෙන් ගොඩ එන්න මගේ දුවට ඒ බලයෙන් චුට්ටක් දෙන එක යෙහෝවාට මහලොකු දෙයක්ද’ කියලා. ඒ ට්‍රිප් එකෙන් පස්සේ යෙහෝවාට තව ළං වෙන්න මගේ හිතේ ලොකු ආසාවක් ඇති වුණා. මං හිතාගත්තා කවදාවත් මං යෙහෝවාට සේවේ කරන එක නං නවත්තන්නේ නෑ කියලා.”

14. යෙහෝවා සතුටින් ඉන්න දෙවි කෙනෙක් කියලා දරුවන්ට පෙන්නලා දෙන්න පුළුවන් කොහොමද?

14 යෙහෝවා දෙවියන් විනෝදයට කැමති දෙවි කෙනෙක් කියලා ඔහුගේ නිර්මාණ දිහා බැලුවම පේනවා. උදාහරණෙකට විද්‍යාඥයන් කියනවා හුඟක් සත්තු සෙල්ලම් කරන්න හරි කැමතියි කියලා. කුරුල්ලෝ, මාළු වගේ සත්තු පවා. (යෝබ් 40:20) ඔයාගේ දුව, පුතා ඒ විදිහට සත්තු සෙල්ලම් කරන විදිහ දිහා හිනා වෙවී බලබල ඉන්නවා ඔයා දැකලා තියෙනවාද? සමහරවිට පුංචි පූස් පැටියෙක් නූල් බෝලයක් ඇඟ වටේ ඔතාගෙන සෙල්ලම් කරන විදිහ, චූටි බලු කුක්කෝ දෙන්නෙක් පෙරළි පෙරළි රණ්ඩු කරන විදිහ එයා ආසාවෙන් බලන් ඉන්න ඇති. ඉතින් ඊළඟ වතාවේ සත්තු කරන ඒ වගේ හුරතල් දඟ වැඩ එයා බලන් ඉන්නවා දැක්කොත් අපි නමස්කාර කරන්නේ සතුටට, විනෝදයට කැමති දෙවි කෙනෙක්ට කියලා එයාට මතක් කරන්න.—1 තිමෝ. 1:11.

පවුලක් විදිහට රස විඳින්න

පරිසරයත් එක්ක ඉද්දී හිතේ තියෙන දේවල් නිදහසේ කියන්න දරුවට ලේසියි (15 ඡේදය බලන්න)

15. දරුවන්ගේ හිත්වල තියෙන දේවල් එළියට ගන්න දෙමාපියන්ට උදව් වෙන්නේ මොනවාද? (හිතෝපදේශ 20:5) (පින්තූරයත් බලන්න.)

15 සමහර වෙලාවට දරුවන්ගේ හිත්වල හැංගිලා තියෙන දේවල් එළියට ඇදලා ගන්න එක දෙමාපියන්ට ලේසි නැහැ. ඔයාටත් ඒ අභියෝගය තියෙනවා නම් ඒක ජය ගන්න පුළුවන් හොඳම විදිහ මොකක්ද කියලා හිතලා බලන්න. (හිතෝපදේශ 20:5 කියවන්න.) සමහර දෙමාපියන් කියනවා දරුවෝ පරිසරයත් එක්ක ඉද්දී ඒක කරන්න ලේසියි කියලා. ඒ ඇයි? එක හේතුවක් තමයි ඒ වගේ වෙලාවට දරුවන්ගේ වගේම දෙමාපියන්ගෙත් අවධානය බිඳෙන දේවල් අඩුයි. තව හේතුවක් ගැන තායිවානයේ ඉන්න තාත්තා කෙනෙක් වන මසාහිකෝ මෙහෙම කියනවා. “අපි දරුවෝ එක්ක කන්දක් නඟින්න ගියාම, බීච් එකේ ටිකක් ඇවිදින්න ගියාම එයාලා ඉන්නේ හරිම සතුටින්, සැහැල්ලුවෙන්. ඒ වගේ වෙලාවට එයාලාගේ හිතේ තියෙන දේවල් එළියට ගන්න හරිම ලේසියි.” කලින් කතා කරපු කාට්‍යා මෙහෙම කියනවා. “මං ඉස්කෝලේ ඇරිලා ආවාම අම්මා මාව ලස්සන පාක් එකකට එක්කං යනවා. එතන හරිම නිස්කලංකයි. ඒ වගේ වෙලාවට ඉස්කෝලේදී වෙච්ච දේවල්, මගේ හිතට වධ දෙන දේවල් අම්මට කියන්න මට හරි ලේසියි.”

16. එකට එකතු වෙලා විනෝද වෙන්න පවුලේ අයට කරන්න පුළුවන් මොනවාද?

16 පවුලක් විදිහට එකට එකතු වෙලා සතුටු වෙන්න, විනෝද වෙන්න යෙහෝවා දෙවියන් හුඟක් දේවල් දීලා තියෙනවා. ඒවා භුක්ති විඳිද්දී මනසට සැහැල්ලුවක් දැනෙනවා විතරක් නෙවෙයි පවුලේ බැඳීමත් ශක්තිමත් වෙනවා. බයිබලෙත් කියනවා “සිනාසෙන්න කාලයක්ද” උඩ පැන පැන “නටන්න කාලයක්ද” තියෙනවා කියලා. (දේශ. 3:1, 4) යෙහෝවා දෙවියන්ගේ පුදුමාකාර අත්කම් නිර්මාණ පොළොව පුරාම දකින්න තියෙනවා. සමහරු හරි ආසයි පවුලක් විදිහට වනෝද්‍යාන බලන්න යන්න, ගම්බද පැතිවලට යන්න, කඳු නඟින්න වගේම මුහුදු වෙරළේ ඇවිදින්න යන්න. පාක් එකකට ගිහිල්ලා නිදහසේ දුවලා පැනලා සෙල්ලම් කරන්න අපේ පොඩ්ඩොත් ආසයි. සමහරු කැමතියි සත්තු බලන්න. තවත් සමහරුන්ගේ ආසාව ඉතින් ඇළක, දොළක, මුහුදක බැහැලා පීනන එකමයි. එහෙම බලද්දී බිත්ති හතරටම කොටු වෙලා ඉන්නේ නැතුව ටිකක් එළියට බැහැලා රස විඳින්න යෙහෝවා අපිට කොච්චර නම් දේවල් දීලා තියෙනවාද!

17. දෙවියන්ගේ නිර්මාණ බලලා සතුටු වෙන්න දරුවන්ට උදව් කරන්න ඕනෙ ඇයි?

17 වෙන කවදාවත් කරපු නැති විදිහට පාරාදීසේදී දෙමාපියන්ට, දරුවන්ට එකට එකතු වෙලා දෙවියන්ගේ නිර්මාණවලින් සතුටක් ලබන්න පුළුවන්. එදාට අපි අද වගේ සත්තුන්ට බය වෙන්නේ නැහැ. සත්තු අපිට බය වෙන්නෙත් නැහැ. (යෙසා. 11:6-9) ඒ වගේම සදහටම ජීවත් වෙද්දී අනන්ත වාරයක් දෙවියන්ගේ නිර්මාණ රස විඳින්න අපිට අවස්ථාව ලැබෙයි. (ගීතා. 22:26) හැබැයි අම්මේ තාත්තේ, නිර්මාණවලින් දරුවන්ට උගන්වන්න ඒ දවස එන කල් ඉන්න එපා. දැන් ඉඳන්ම නිර්මාණවලින් ඔයා දෙවියන් ගැන කියලා දෙනවා නම් ඔයාගේ පුංචි දරුවා එයාගේ පුංචි තොල්වලින් දාවිත් වගේම මෙහෙම කියයි. ‘යෙහෝවා දෙවියනි, ඔබ කරලා තියෙන දේවල්වලට සම කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ.’—ගීතා. 86:8.

ගීතිකාව 134 දරුවන් දෙවිගෙන් ලද සම්පතක්

a පුංචි කාලේ අම්මලා, තාත්තලා එක්ක ලස්සන ලස්සන තැන් බලන්න ගිහින් දෙවියන්ගේ නිර්මාණ රස විඳපු සොඳුරු මතකයන් හුඟක් අයට තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී දෙමාපියන් නිර්මාණවලින් යෙහෝවා දෙවියන් ගැන කියලා දීපු පාඩම් එයාලට අද වගේ මතකයි. ඔයාටත් දරුවන් ඉන්නවා නම් ඔයාට කොහොමද පුළුවන් ඔයාගේ දරුවන්ට නිර්මාණවලින් දෙවියන් ගැන කියලා දෙන්න? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.