පාඨකයන්ගෙන් ප්‍රශ්න
රූත්ව විවාහ කරගත්තොත් තමන්ගේ “උරුමයට අලාභයක්” වෙයි කියලා “නෑදෑයා” කිව්වේ ඇයි? (රූත් 4:1, 6)
අතීතයේදී පුරුෂයෙක් මැරෙද්දී එයාට දරුවෝ හිටියේ නැත්නම් මේ වගේ ප්‍රශ්න මතු වුණා. “එයාට අයිති ඉඩකඩම්වලට මොකද වෙන්නේ? එයාගේ පෙළපතේ නම මැකිලා යයිද?” ඒ ප්‍රශ්නවලට උත්තර නීතියේ තිබුණා.
පුරුෂයෙක් මැරුණොත් නැත්නම් දුප්පත්කම නිසා එයාට ඉඩකඩම් විකුණන්න වුණොත් එයාගේ සහෝදරයෙක්, කිට්ටු නෑදෑයෙක් එයා වෙනුවෙන් ඒක ආයේ මිල දී ගන්න ඕනේ. එතකොට පවුලේ උරුමය පිට යන්නේ නැහැ.—ලෙවී. 25:23-28; ගණන්. 27:8-11.
අනිත් අතට, මෝසෙස්ගේ නීතියේ තිබුණා පුරුෂයෙක් මැරුණොත් එයාගේ බිරිඳව පුරුෂයාගේ සහෝදරයා විවාහ කරගන්න ඕනෙ කියලා. ඊටපස්සේ ඒ දෙන්නාට ලැබෙන මුල්ම දරුවා තමයි ඒ මැරුණ කෙනාගේ නම ගෙනිච්චේ. එයාගේ දේපළ අයිති වුණෙත් ඒ දරුවාට. ඒ ප්‍රේමණීය සැලැස්ම නිසා ඊශ්‍රායෙල් දේශයේ හිටපු වැන්දඹුවන් අසරණ වුණේ නැහැ.—ද්වි. 25:5-7; මතෙ. 22:23-28.
දැන් අපි නායොමි ගැන බලමු. එයාගේ මහත්තයා එලිමෙලෙකුයි, පුතාලායි මැරුණාම එයාව බලාගන්න කවුරුත් හිටියේ නැහැ. (රූත් 1:1-5) පස්සේ නායොමි එයාගේ ලේලි වන රූත්ට කිව්වා නෑදෑයෙක්ගේ වගකීම ඉටු කරන්න පුළුවන්ද කියලා බෝවස්ගෙන් අහන්න කියලා. මොකද බෝවස් එලිමෙලෙක්ගේ ළඟ නෑයෙක්. (රූත් 2:1, 19, 20; 3:1-4) හැබැයි බෝවස්ට මතක් වුණා එයාටත් වඩා අයිතිය තියෙන කිට්ටු නෑයෙක් ඉන්නවා කියලා. ඒ නෑයාගේ නම බයිබලේ නැහැ.—රූත් 3:9, 12, 13.
මුලින් නම් වියදමක් දරලා වුණත් උදව් කරන්න ඒ නෑයා කැමති වුණා. (රූත් 4:1-4) මොකද නායොමි හුඟක් වයස නිසා එයා දැනන් හිටියා එලිමෙලෙක්ගේ ඉඩකඩම්වලට උරුමක්කාරයෙක් බිහි වෙන්නේ නැහැ කියලා. එතකොට එලිමෙලෙක්ගේ ඉඩම් සේරම අයිති වෙන්නේ එයාට. ඉතින් එයා හිතන්න ඇති මේක හොඳ ආයෝජනයක් කියලා.
ඒත් රූත්ව බඳින්න වෙනවා කියලා දැනගත්තාම එයා කිව්වා ‘මට ඒක මිල දී ගන්න හැකියාවක් නැහැ. ඒකෙන් මගේ උරුමයට අලාභයක් වෙයි’ කියලා. (රූත් 4:5, 6) ඇයි එයා එහෙම කිව්වේ?
රූත් එක්ක විවාහ වෙලා පුතෙක් හම්බ වුණොත් ඒ පුතාට තමයි එලිමෙලෙක්ගේ ඉඩම් අයිති වෙන්නේ. ඒත් ඒකෙන් නෑයාගේ උරුමයට අලාභයක් වෙන්නේ කොහොමද? එයා එහෙම හිතන්න මේ දේවල් හේතු වෙන්න ඇති.
එලිමෙලෙක්ගේ ඉඩම් අයිති වෙන්නේ රූත්ගේ පුතාට නිසා එයාට හිතෙන්න ඇති එයා වියදම් කරන සල්ලි අපතේ යයි කියලා.
එයා මේකට එකඟ වුණොත් එයාට නායොමිවයි, රූත්වයි දෙන්නාවම බලාගන්න වෙනවා.
මේ නෑයාගෙන් රූත්ට තව දරුවෝ ලැබුණොත් එයාලටත් උරුමයක් දෙන්න වෙනවා. ඒ වෙද්දීත් නෑයාට දරුවෝ හිටියා නම් ඒ දරුවන්ගේ උරුමයෙන් කොටසක් තමයි එහෙම දෙන්න වෙන්නේ.
නෑයාට දරුවෝ හිටියේ නැත්නම් රූත්ගේ පුතාට තමයි එලිමෙලෙක්ගේ වගේම ඒ නෑයාගේ ඉඩමුත් අයිති වෙන්නේ. ඒ කියන්නේ නෑයාගේ උරුමයත් යන්නේ එලිමෙලෙක්ගේ පෙළපතේ නමින්. ඒකයි එයාගේ උරුමය අවදානමේ දාලා නායොමිට උදව් කරන්න එයා අකමැති වුණේ. ඒ වෙනුවට එයා ඊළඟට අයිතිය තිබුණ බෝවස්ට ඒ වගකීම පැවරුවා. බෝවස් ඒක කැමැත්තෙන්ම භාරගත්තා. මොකද එයාට ඕන වුණේ ‘මිය ගිය කෙනාගේ නමින්ම එයාගේ උරුමය පවතිනවා’ දකින්නයි.—රූත් 4:10.
පේන විදිහට ඒ නෑයා හිතුවේ එයාගේ නමයි, උරුමයයි රැකගන්න එක ගැන විතරයි. හැබැයි අන්තිමේදී එයාගේ නම රැකුණා නෙවෙයි ඉතිහාසයෙන්ම ඒ නම මැකුණා. ඒ වගේම ගැලවුම්කරුගේ පෙළපතට අයිති කෙනෙක් වෙන්න තිබුණ වටිනා වරප්‍රසාදයත් එයාට නැති වුණා. අසරණ කෙනෙක්ට උදව් කරන්න පුළුවන්කම තියෙද්දීත් අහක බලන කෙනෙක්ට වෙන දේ ගැන මේක අපි හැමෝටම හොඳ පාඩමක්!—මතෙ. 1:5; ලූක් 3:23, 32.