Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 11

බව්තීස්මයට ලෑස්ති වෙන්න

බව්තීස්මයට ලෑස්ති වෙන්න

“මට දැන් බව්තීස්ම වෙන්න මොකක්ද තිබෙන බාධාව?”—ක්‍රියා 8:36.

ගීතිකාව 50 කැපවීමේ යාච්ඤාව

මේ ලිපියෙන් a

ලෝකේ පුරාම බාල, මහලු හුඟදෙනෙක් සත්‍යය තුළ දියුණු වෙලා බව්තීස්ම වෙනවා (1-2 ඡේද බලන්න)

1-2. බව්තීස්ම වෙන්න ඔයා තාම ලෑස්ති නැත්නම් ඒ ගැන අධෛර්යය වෙන්න හොඳ නැත්තේ ඇයි? (කවරයේ පින්තූරය බලන්න.)

 ඔයාත් බව්තීස්ම වෙන්න ඉලක්කයක් තියලා තියෙන කෙනෙක්ද? එහෙමනම් ඔයා තියලා තියෙන්නේ ඔයාට තියන්න පුළුවන් හොඳම ඉලක්කය. ඔයා ඒකට ලෑස්තිද? ඒකට උත්තරේ “ඔව්” නම්, වැඩිමහල්ලනුත් ඒකට අනුමැතිය දුන්නා නම් ඊළඟ සමුළුවේදීම බව්තීස්ම වෙන්න. මොකද බව්තීස්මයත් එක්ක යෙහෝවාට සේවේ කරලා හිතාගන්න බැරි තරම් ආශීර්වාද භුක්ති විඳින්න ඔයාට අවස්ථාවක් ලැබෙනවා.

2 හැබැයි කවුරු හරි ඔයාට පෙන්නලා දුන්නොත් ඔයා බව්තීස්මයට කලින් තව හදාගන්න ඕන පැති තියෙනවා කියලා? එහෙම නැත්තම් ඔයාටම හිතුණොත් ඔයා තාම ඒකට ලෑස්ති නැහැ කියලා? අධෛර්යය වෙන්න එපා. ඔයා යෞවන කෙනෙක් වුණත් වැඩිහිටි කෙනෙක් වුණත් ඒ වැදගත් පියවරට යන්න අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන්.

“මොකක්ද බාධාව?”

3. ඉතියෝපියානු නිලධාරියා ෆිලිප්ගෙන් ඇහුවේ මොනවාද? අපේ මනසට එන්නේ මොන ප්‍රශ්නෙද? (ක්‍රියා 8:36, 38)

3 ක්‍රියා 8:36, 38 කියවන්න. ඉතියෝපියානු නිලධාරියා ෆිලිප්ගෙන් ඇහුවා “මට දැන් බව්තීස්ම වෙන්න මොකක්ද තියෙන බාධාව” කියලා. ඒකෙන් තේරෙනවා බව්තීස්ම වෙන්න එයාට ලොකු ආසාවක් තිබුණා කියලා. ඒත් ඒ වෙද්දී ඒ වැදගත් පියවර ගන්න එයා ලෑස්තිද?

ඉතියෝපියානු නිලධාරියා යෙහෝවා දෙවියන් ගැන දිගටම ආසාවෙන් ඉගෙනගත්තා (4 ඡේදය බලන්න)

4. ඉගෙනගන්න ලොකු ආසාවක් තිබුණා කියලා ඉතියෝපියානු නිලධාරියා පෙන්නුවේ කොහොමද?

4 ඉතියෝපියානු නිලධාරියා “නමස්කාරය සඳහා යෙරුසලමට ගිහින්” එද්දී තමයි ෆිලිප්ට එයාව හම්බ වෙන්නේ. (ක්‍රියා 8:27) ඒ කියන්නේ ඒ නිලධාරියා අනිවාර්යයෙන්ම යුදෙව් ආගමට හැරුණ කෙනෙක් වෙන්න ඕනේ. යෙරුසලමේදී එයා හෙබ්‍රෙව් ලියවිලිවලින් දෙවියන් ගැන ගොඩක් දේවල් ඉගෙනගන්න ඇති. හැබැයි එයා එතනින් නතර වුණේ නැහැ. මතකද ෆිලිප්ට මේ නිලධාරියාව හම්බ වෙද්දී එයා මොනවාද කරකර හිටියේ කියලා? එයා යෙසායාගේ ලියවිල්ල කියව කියව හිටියේ. (ක්‍රියා 8:28) ඒකේ තියෙන්නේ ගොඩක් ගැඹුරු කාරණා. ඒකෙන් තේරෙනවා එයා මූලික ඉගැන්වීම්වලින් විතරක් සෑහීමට පත් වුණ කෙනෙක් නෙවෙයි කියලා.

5. ඒ නිලධාරියා දේවල් දැනගත්තාට පස්සේ මොකද කළේ?

5 ඒ නිලධාරියා ඉතියෝපියාවේ කන්දසී රැජින යටතේ සේවය කරපු “උසස් නිලධාරියෙක්.” එයා තමයි රැජිනගේ “මුළු වස්තුවම භාරව හිටියේ.” (ක්‍රියා 8:27) එයා හුඟක් වගකීම් තිබ්බ, ගොඩක් කාර්යබහුල කෙනෙක්. ඒ වුණත් එයා යෙහෝවාට නමස්කාර කරන්න කාලේ හොයාගත්තා. එයා නිකම්ම සත්‍යය ඉගෙනගෙන විතරක් නතර වුණේ නැහැ. ඒ දේවල් අදාළ කරගත්තා. ඒ නිසයි ඉතියෝපියාවේ ඉඳලා ගව් ගාණක් දුර ගෙවාගෙන නමස්කාර කරන්න යෙරුසලමට ආවේ. ඒ ගමනට සෑහෙන කාලයක් ගත වෙන්න ඇති. ලොකු වියදමකුත් යන්න ඇති. හැබැයි යෙහෝවා දෙවියන් වෙනුවෙන් ඒ ඕනම කැප කිරීමක් කරන්න එයා ලෑස්ති වෙලා හිටියා.

6-7. ඉතියෝපියානු නිලධාරියාගේ හිතේ යෙහෝවා ගැන තිබ්බ ආදරේ වැඩි වුණේ කොහොමද?

6 ඒ නිලධාරියා ෆිලිප්ගෙන් ගොඩක් අලුත් දේවල් ඉගෙනගත්තා. විශේෂයෙන්ම එයා ගැලවුම්කරු ගැන සත්‍යය දැනගත්තා. (ක්‍රියා 8:34, 35) ඒ නිසා යේසුස් ඒ වෙද්දීත් එයා වෙනුවෙන් කරපු දේවල් ගැන එයාගේ හිතේ ලොකු අගයක් ඇති වෙන්න ඇති. ඊටපස්සේ මොකද වුණේ? එයා යුදෙව් ආගමට හැරුණ කෙනෙක්. ඒ නිසා එයා හැමෝගෙම ගෞරවය දිනාගෙනයි හිටියේ. ඕනෙ නම් එයාට හිතන්න තිබුණා ‘මං දැනටමත් කරලා තියෙන ටික හොඳටම ඇති’ කියලා. හැබැයි එයා එහෙම හිතුවේ නැහැ. ෆිලිප්ගෙන් දැනගත්ත දේවල් නිසා එයාගේ හිතේ යෙහෝවා ගැන, යේසුස් ගැන ලොකු ආදරයක් ඇති වුණා. ඒ ආදරේ එයාව පෙලඹුවා එයාගේ මුළු ජීවිතේම වෙනස් කරන විදිහේ තීරණයක් ගන්න. ඒ, යේසුස්ගේ අනුගාමිකයෙක් විදිහට බව්තීස්ම වෙන්න. ඉතින් ෆිලිප් දැක්කා එයා බව්තීස්මයට ලෑස්තියි කියලා. ඒ නිසා එයාව බව්තීස්ම කළා.

7 ඉතියෝපියානු නිලධාරියාව ආදර්ශයට ගන්නවා නම් ඔයාටත් බව්තීස්මයට ලෑස්ති වෙන්න පුළුවන්. එතකොට ඔයාත් ලොකු විශ්වාසයකින් කියයි ‘මට දැන් බව්තීස්ම වෙන්න මොකක්ද තියෙන බාධාව’ කියලා. ඒ නිලධාරියා දිගටම ඉගෙනගත්තා. ඉගෙනගත්ත දේවල් අදාළ කරගත්තා. ඒ වගේම යෙහෝවා ගැන එයාගේ හිතේ තිබ්බ ආදරේ දිගටම වැඩි කරගත්තා. දැන් අපි ඒ පියවර තුන ගැන ටිකක් කිට්ටුවෙන් බලමු.

දිගටම ඉගෙනගන්න

8. යොහන් 17:3 කියන විදිහට ඔයා කරන්න ඕනෙ මොනවාද?

8 යොහන් 17:3 සහ පාදසටහන කියවන්න. යේසුස් කියපු ඒ වචන මුල්ම වතාවට අහද්දී සත්‍යය දැනගන්න අපේ හිතේ ලොකු ආසාවක් ඇති වුණා. ඒ වගේම සත්‍යය ගැන දිගටම ඉගෙනගන්නත් ඒ බයිබල් පදේ අපිව දිරිගන්වනවා. මොකද ඒකේ කියන්නේ ‘එකම සැබෑ දෙවිව දැන හඳුන ගන්න’ කියලා. (දේශ. 3:11) අපිට යෙහෝවා දෙවියන් ගැන සදහටම ඉගෙනගන්න දේවල් තියෙනවා. ඔහු ගැන ඉගෙනගන්න ඉගෙනගන්න අපි ඔහුට තව තවත් ළං වෙනවා.—ගීතා. 73:28.

9. බයිබලේ තියෙන මූලික ඉගැන්වීම් දැනගත්තාට පස්සේ අපි කරන්න ඕනෙ මොනවාද?

9 කෙනෙක් යෙහෝවා ගැන ඉගෙනගන්න පටන්ගන්නේ බයිබලේ තියෙන මූලික ඉගැන්වීම්වලින්. (හෙබ්‍රෙ. 6:1) පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට ලියපු ලිපියේ ඒවා හැඳින්නුවේ “මුලික දේවල්” කියලා. (හෙබ්‍රෙ. 5:12) හැබැයි එයා එහෙම කිව්වේ ඒවා අඩු තක්සේරු කරන නිසා නෙවෙයි. මොකද එයා ඒවා සමාන කළේ පුංචි බිළිඳෙක්ට අවශ්‍ය පෝෂණය ලබා දෙන යහ ගුණයෙන් පිරුණු කිරිවලට. හැබැයි පාවුල් ක්‍රිස්තියානීන්ට උනන්දු කළා එතනින් නතර වෙන්නේ නැතුව බයිබලේ තියෙන ගැඹුරු කාරණා තේරුම්ගන්න උත්සාහ කරන්න කියලා. ඔයාටත් බයිබලේ තියෙන ගැඹුරු කාරණා දැනගන්න මේ වෙද්දීත් ලොකු ආසාවක් තියෙනවාද? යෙහෝවා දෙවියන් ගැන, ඔහුගේ අරමුණු ගැන තව තවත් ගැඹුරට ඉගෙනගන්න පිපාසයක් තියෙනවාද?

10. සමහරුන්ට අධ්‍යයනය කරන එක අමාරු ඇයි?

10 සමහරු ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම පොත පතට හරි ආසයි. එයාලා ඒකේ රස හොඳට අඳුරනවා. හැබැයි තවත් අයට පොත් කියවන එක වහ කදුරු වගේ. ‘මං ඉගෙනගන්න දක්ෂ නෑ. පොත් කියවන එක මට හරියන්නේ නෑ.’ ඔන්න ඔහොම තමයි එයාලට හිතෙන්නේ. ඔයාටත් එහෙමද? එහෙමනම් අධෛර්යය වෙන්න එපා. මොකද එහෙම හිතන හුඟදෙනෙක් ඉන්නවා. යෙහෝවා දෙවියන්ට පුළුවන් ඒකෙන් ගොඩ එන්න ඔයාට උදව් කරන්න. මොකද වෙන කාටත් වඩා අපිට උගන්වන්න ඕන හොඳම විදිහ දන්නේ ඔහුයි.

11. යෙහෝවා දෙවියන් “උදාර උපදේශකයාණන්” කියලා ඔප්පු කරලා තියෙන්නේ කොහොමද?

11 යෙහෝවාම ඔහුව හඳුන්වලා තියෙන්නේ “ඔබේ උදාර උපදේශකයාණන්” කියලා. (යෙසා. 30:20, 21) ඔහු හරිම ඉවසීමෙන්, කාරුණිකව, ශිෂ්‍යයන්ව තේරුම් අරන් උගන්වන ගුරුවරයෙක්. ඔහු හැම තිස්සේම ශිෂ්‍යයන්ගේ හොඳ දකිනවා. (ගීතා. 130:3) ඔහු එයාලාගෙන් කරන්න බැරි දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. යෙහෝවා දෙවියන් අපේ මොළේ නිර්මාණය කරලා තියෙන්නෙත් පුදුමාකාර විදිහට. (ගීතා. 139:14) ඒ නිසා අලුත් දේවල් ඉගෙනගන්න අපිට සහජයෙන්ම ලොකු ආසාවක් තියෙනවා. ඒකෙන් තේරෙනවා ඔහුට ඕනෙ අපි සදහටම දේවල් ඉගෙනගෙන ඒවායින් ලොකු සතුටක් ලබනවා දකින්න කියලා. හැබැයි ඒකට දැන් ඉඳන්ම අපි සත්‍යයට “මහත් ආශාවක්” වර්ධනය කරගන්න ඕනේ. (1 පේතෘ. 2:2) ඉතින්, අධ්‍යයනය කරන්න ඔයාගේ තත්වයට ගැළපෙන ඉලක්ක තියාගන්න. බයිබලේ කියවන්න, අධ්‍යයනය කරන්න වෙලාවක් වෙන් කරගන්න. මොනම හේතුවක් නිසාවත් ඒක අතපසු කරන්න එපා. (යොෂු. 1:8) ඔයා එහෙම කරද්දී කාලෙත් එක්කම බයිබලේ කියවන එකෙන්, ඔහු ගැන ඉගෙනගන්න එකෙන් කලින්ටත් වඩා ලොකු සතුටක් ලබන්න යෙහෝවා ඔයාට උදව් කරයි.

12. අපි යේසුස් ගැන අධ්‍යයනය කරන්න ඕනෙ ඇයි?

12 කාලේ අරන් යේසුස්ගේ ජීවිතේ ගැන, ඔහු කරපු සේවය ගැන හොඳට හිතන්න. මොකද යෙහෝවා දෙවියන්ට සේවේ කරන්න නම් අපි යේසුස්ව ආදර්ශයට ගන්නම ඕනේ. විශේෂයෙන්ම මේ අමාරු කාලේදී. (1 පේතෘ. 2:21) මොකද ගෝලයන්ට ගොඩක් අභියෝග එනවා කියලා යේසුස් කිව්වා. (ලූක් 14:27, 28) හැබැයි ඔහුට ලොකු විශ්වාසයක් තිබුණා ඔහු වගේම එයාලත් ඒවා සාර්ථකව ජය ගනියි කියලා. (යොහ. 16:33) ඉතින් යේසුස් ජීවිතේ ගත කරපු විදිහ ගැන හොඳට අධ්‍යයනය කරලා ඔහුව ආදර්ශයට ගන්න ඉලක්ක තියාගන්න.

13. ඔයා යෙහෝවා දෙවියන්ගෙන් දිගටම ඉල්ලන්න ඕනෙ මොනවාද? ඒ ඇයි?

13 අපි අපේ ඔළුව දැනුමෙන් පුරෝගෙන විතරක් මදි. ඒ දැනුමෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ යෙහෝවාට ළං වෙන්න, ඔහු ගැන ආදරයක්, විශ්වාසයක් ඇති කරගන්න අපි ඒ දැනුම පාවිච්චි කළොත් විතරයි. (1 කොරි. 8:1-3) ඒ නිසා ඔයා බයිබලේ ඉගෙනගද්දී දෙවියන් ගැන තියෙන විශ්වාසය ශක්තිමත් කරන්න කියලා ඔහුගෙන් දිගටම ඉල්ලන්න. (ලූක් 17:5) ඒ වගේ යාච්ඤාවලට ඔහු කවදාවත් උත්තර නොදී ඉන්නේ නැහැ. ඒ විදිහට ඔයා නිවැරදි දැනුම ලබාගෙන ඒ මත ඔයාගේ විශ්වාසය ගොඩනඟද්දී බව්තීස්මය කියන ඉලක්කයට තව අඩියක් තියන්න ඔයාට පුළුවන් වෙයි.—යාකො. 2:26.

දිගටම අදාළ කරගන්න

ජලගැල්මට කලින් නෝවායි, එයාගේ පවුලේ අයයි ඉගෙනගත්ත දේවල් අදාළ කරගත්තා (14 ඡේදය බලන්න)

14. ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න එකේ වැදගත්කම පේතෘස් පෙන්නලා දුන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

14 ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න එකේ වැදගත්කම ගැන එක අවස්ථාවක පේතෘස් කතා කළා. එයා ඒකට පාවිච්චි කළේ නෝවාගේ සිද්ධිය. දෙවියන් නෝවාට කිව්වා ජලගැල්මක් ගෙනල්ලා මේ පොළොවේ ඉන්න දුෂ්ට මිනිස්සුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා කියලා. හැබැයි නෝවායි, එයාගේ පවුලේ අයයි ඒ විනාශයෙන් බේරෙන්න නම් ඒ ගැන දැනගෙන ඉන්න එක විතරක් ප්‍රමාණවත් වුණේ නැහැ. මතකද, පේතෘස් එතන කිව්වේ ජලගැල්මට කලින් නෝවා නැව හදපු කාලය ගැන. (1 පේතෘ. 3:20) නෝවායි, එයාගේ පවුලේ අයයි එයාලා දැනගෙන හිටපු දේවල් ජීවිතේට අදාළ කරගත්ත නිසා ලොකු නැවක් හැදුවා. (හෙබ්‍රෙ. 11:7) ඊටපස්සේ පේතෘස් එයාලා කරපු දේ බව්තීස්මයට සමාන කරලා මෙහෙම කිව්වා. “එම සිද්ධිය බව්තීස්මයට සංකේතයකි. ඔබ දැන් ගැලවෙන්නේ ඊට සමාන බව්තීස්මයක් මගිනි.” (1 පේතෘ. 3:21) ඒ විදිහට බලද්දී ඔයා අද බව්තීස්මය කියන පියවරට යන්න කරන දේවල් එදා නෝවායි, එයාගේ පවුලේ අයයි අවුරුදු ගාණක් තිස්සේ නැව හදන්න කරපු දේවල්වලට සමානයි. ඒත් බව්තීස්මය වෙනුවෙන් ඔයා කරන්න ඕන දේවල් මොනවාද?

15. අවංකවම පසුතැවිලි වෙන කෙනෙක් කරන්නේ මොනවාද?

15 කෙනෙක් මුලින්ම එයාගේ වැරදි ගැන අවංකවම පසුතැවිලි වෙන්න ඕනේ. (ක්‍රියා 2:37, 38) ඒ වගේ කෙනෙක් මුළු ජීවිතේම වෙනස් කරගන්නවා. ඔයාත් අනාචාර ජීවිතයක් ගත කරන එක, දුම්කොළ පාවිච්චි කරන එක, අසභ්‍ය වචන සහ පහත් කතාබහ වගේ දේවල් ජීවිතෙන් ඈත් කරපු කෙනෙක්ද? (1 කොරි. 6:9, 10; 2 කොරි. 7:1; එෆී. 4:29) ඔයා තාමත් එහෙම කරලා නැත්නම් දිගටම ජීවිතේ වෙනස් කරගන්න මහන්සි වෙන්න. ඔයාට පුළුවන් බයිබලේ පාඩම් කරන කෙනාගෙන් නැත්නම් වැඩිමහල්ලන්ගෙන් ඒකට උදව් ඉල්ලන්න. ඔයා තාමත් දෙමාපියන් යටතේ ජීවත් වෙන දරුවෙක් නම් දෙමාපියන්ගෙන් උදව් ඉල්ලන්න. ඔයාගේ නරක පුරුදු කඩාගෙන බව්තීස්මය කියන ඉලක්කයට යන්න එයාලා ඔයාට උදව් කරයි.

16. නමස්කාරයේ දේවල් පිළිවෙළකට කරන්න නම් ඔයා කරන්න ඕනෙ මොනවාද?

16 ඔයා කරන්න ඕන තව දෙයක් තමයි නමස්කාරයේ දේවල් පිළිවෙළකට කරන එක. ඒකට රැස්වීම්වලට යන එක වගේම රැස්වීම්වලදී උත්තර දෙන එකත් හරිම වැදගත්. (හෙබ්‍රෙ. 10:24, 25) ඒ වගේම ඔයා සේවේ යන්න සුදුසුකම් ලැබුවාට පස්සේ ඒකත් කාලසටහනකට අනුව පිළිවෙළකට කරන්න. ඔයා වැඩියෙන් සේවේ යන තරමට ඔයා ලබන සතුටත් තව වැඩි වෙනවා. (2 තිමෝ. 4:5) ඔයා තාමත් අම්මායි, තාත්තායි යටතේ ජීවත් වෙන දරුවෙක් නම් මේ ගැන හිතන්න. ‘රැස්වීම් යන්න, සේවේ යන්න කියලා අම්මලා හැම තිස්සේම මට ඇඟිල්ලෙන් ඇනඇන කියන්න ඕනෙද? නැත්නම් මංම හිතලා ඒවාට කලින්ම ලෑස්ති වෙනවාද?’ ඔයාම හිතලා ඒ දේවල් කරනවා නම් ඒකෙන් පෙන්නන්නේ ඔයාගේ හිතේ යෙහෝවා ගැන විශ්වාසයක්, ආදරයක්, අගයක් තියෙනවා කියලයි. ඒ විදිහට ඔයා ඔයාගේ ‘භක්තිය ක්‍රියාවෙන් පෙන්නද්දී’ ඒක යෙහෝවා දෙවියන්ට ඔයා දෙන තෑග්ගක් වගේ. (2 පේතෘ. 3:11; හෙබ්‍රෙ. 13:15) කාගෙවත් බල කිරීමක් නැතුව අපි කැමැත්තෙන් දෙන ඒ වගේ තෑගි ගැන දෙවියන් ගොඩක් සතුටු වෙනවා. (2 කොරි. 9:7) ඔහුට හොඳම දේ දීපු එක ගැන ඔයාටත් සතුටු හිතෙයි.

දිගටම ආදරේ වැඩි කරගන්න

17-18. බව්තීස්ම වෙන්න ඔයාට තියෙන්න ඕනෙ මොන ගුණාංගයද? ඒ ඇයි? (හිතෝපදේශ 3:3-6)

17 බව්තීස්මය කියන ඉලක්කයට යද්දී ඔයාට ගොඩක් අභියෝගවලට මුහුණ දෙන්නත් වෙයි. සමහර අය ඔයාගේ විශ්වාසයන් නිසා ඔයාව පහත් කරලා සලකන්න ඉඩ තියෙනවා. සමහරවිට එයාලා ඔයාට පීඩා කරන්නත් පුළුවන්. (2 තිමෝ. 3:12) එහෙම නැත්නම් ඔයා වැරදි පුරුද්දක් එක්ක සටන් කරනවා ඇති. කොච්චර සටන් කළත් කාලෙන් කාලෙට ඔයා ඒ මඩ වගුරටම ආයෙත් වැටෙන්න පුළුවන්. අනිත් අතට ‘බව්තීස්ම වෙන්න නම් මට හදාගන්න තව ගොඩක් දේවල් තියෙනවා’ කියලා ඔයාට හිතෙනවාද? එහෙම වුණාම ඔයාට ඔයා ගැන ලොකු කේන්තියක් ඇති වෙන්න පුළුවන්. ඔයා අධෛර්යය වෙන්නත් පුළුවන්. හැබැයි ඒ හැම දේකටම මුහුණ දෙන්න ඔයාට උදව් වෙන දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාගේ හිතේ යෙහෝවා ගැන තියෙන ආදරේ.

18 යෙහෝවා දෙවියන් වෙනුවෙන් ඔයාට දෙන්න පුළුවන් හොඳම දේ තමයි ආදරය. (හිතෝපදේශ 3:3-6 කියවන්න.) දෙවියන් ගැන ඔයාට නොසැලෙන ආදරයක් තියෙනවා නම් ඒ ආදරේට පුළුවන් ප්‍රශ්න මැද වුණත් දිගටම යෙහෝවාට සේවය කරන්න ඔයාට ශක්තියක් වෙන්න. දැන් ටිකකට හිතන්න යෙහෝවා තමන්ගේ සෙනඟට පෙන්නන ආදරේ ගැන. ඒක හරිම විශේෂයි. ඔහු තමන්ගේ සෙනඟ එක්ක කොච්චර තදින් බැඳිලා ඉන්නවාද කියනවා නම් මොනම දේකදීවත් ඔහු එයාලව අත්හැරලා යන්නේ නැහැ. (ගීතා. 100:5) දෙවියන් ඔයාව හදලා තියෙන්නෙත් ඔහුගේ ඒ ගතිලක්ෂණ ඇතුව. (උත්. 1:26) ඉතින් යෙහෝවා පෙන්නනවා වගේම ආදරයක් පෙන්නන්න ඔයාට පුළුවන් කොහොමද?

හැම දවසකම යෙහෝවා දෙවියන් ගැන තියෙන අගය පෙන්නන්න ඔයාට පුළුවන් (19 ඡේදය බලන්න) b

19. යෙහෝවා දෙවියන් ඔයා වෙනුවෙන් කරලා තියෙන දේවල්වලට අගය පෙන්නන්න ඔයාට පුළුවන් කොහොමද? (ගලාති 2:20)

19 මුලින්ම ලොකු අගයක් ඇති කරගන්න. (1 තෙස. 5:18) ‘යෙහෝවා අද මට ආදරේ පෙන්නලා තියෙන්නේ කොහොමද’ කියලා හැම දවසකම හිතන්න. ඊටපස්සේ ඔයා වෙනුවෙන් ඔහු කරලා තියෙන දේවල් නිශ්චිතව කියලා ඔහුට ස්තුති කරන්න. ඒවා පොදුවේ හැමෝම වෙනුවෙන් කරපු දේවල් විදිහට දකින්න එපා. පෞද්ගලිකව ඔයා වෙනුවෙන් කරපු දේවල් විදිහට දකින්න. පාවුල් කළෙත් ඒකමයි. (ගලාති 2:20 කියවන්න.) මේ ගැනත් හිතන්න. ‘මාත් ආදරෙන් පෙලඹිලා යෙහෝවා වෙනුවෙන් දෙයක් කරන්න ඕනෙ කියලා මට හිතෙනවාද?’ ඒ ආදරේ ඔයාට උදව් වෙයි වැරදි පෙලඹීම්වලට අහු වෙලා යෙහෝවාගේ හිත රිද්දන්නේ නැතුව ඉන්න, ඕනම අභියෝගයකට හොඳින් මුහුණ දෙන්න. ඒ විතරක් නෙවෙයි ඒක ඔයාව පොලඹවයි නමස්කාරයේ දේවල් අතපසු කරන්නේ නැතුව පිළිවෙළකට කරන්න. එතකොට ඉඳලා හිටලා නෙවෙයි හැම දවසකම යෙහෝවාට තියෙන ආදරේ පෙන්නන්න ඔයාට පුළුවන්.

20. යෙහෝවා දෙවියන්ට කැප වෙනවා කියන්නේ මොකක්ද? ඒ තීරණය ගන්න එක වැදගත් ඇයි?

20 කාලයත් එක්කම දෙවියන් ගැන තියෙන ආදරේ ඔයාව පොලඹවයි විශේෂ යාච්ඤාවක් කරලා ඔයාගේ ජීවිතේ ඔහුට කැප කරන්න. ඒ තීරණය ගන්නවත් එක්කම ඔයා සදහටම යෙහෝවාට අයිති කෙනෙක් වෙනවා. ඒ පොරොන්දුව දෙද්දී ඔයා කියන්නේ, හොඳ කාලවලදී වගේම අමාරු කාලවලදීත් ඔයා දිගටම යෙහෝවාට සේවේ කරනවා කියලා. මේ වෙද්දී ඔයා ජීවිතේ ඕන තරම් තීරණ අරන් ඇති. සමහර ඒවා ගොඩක් හොඳ තීරණ වෙන්නත් පුළුවන්. හැබැයි මේ තීරණය ඒ හැම එකකටම වඩා විශේෂයි. (ගීතා. 50:14) ඒත් සාතනුත් නිකම් ඉන්නේ නැහැ. එයා බලන්නේ කොහොමහරි ඔයාගේ හිතේ යෙහෝවා ගැන තියෙන ආදරේ උදුරගන්න. මොකද එයාට ඕනෙ එහෙම කරලා ඔයාම යෙහෝවාව අත්හැරලා දානවා දකින්න. කවදාවත් සාතන්ට දිනන්න නම් දෙන්න එපා. (යෝබ් 27:5) දිගටම ඒ ආදරේ රැකගන්න. මොකද ඒකට පුළුවන් ඔයා වුණ කැප වීමට එකඟව ජීවත් වෙන්න, සදහටම යෙහෝවාට ළං වෙලා ඉන්න ඔයාට හයියක් වෙන්න.

21. බව්තීස්මය කියන්නේ ගමනක අවසානය නෙවෙයි පටන්ගැන්ම කියලා කියන්න පුළුවන් ඇයි?

21 ඔයා යෙහෝවාට ජීවිතේ කැප කළාට පස්සේ වැඩිමහල්ලන්ට කියන්න ඔයා බව්තීස්ම වෙන්න ආසයි කියලා. හැබැයි මතක තියාගන්න බව්තීස්මය කියන්නේ අවසානයක් නෙවෙයි. ඒක ආරම්භයක් විතරයි. මොකද සදහටම යෙහෝවාට සේවේ කරන පාරට ඔයා ඇතුල් වෙන්නේ බව්තීස්මයත් එක්ක. ඉතින් යෙහෝවා දෙවියන් ගැන ඔයාගේ හිතේ තියෙන ආදරේ දිගටම වැඩි කරගන්න. ඒ ආදරේ දවසින් දවස වැඩි කරගන්න උදව් වෙන ඉලක්ක තියන්න. එතකොට ඒ පුංචි පුංචි ඉලක්ක බව්තීස්මය කියන ඉලක්කයට ඔයාව ගෙනියයි. ඔයා බව්තීස්ම වෙන ඒ දවස ඔයාට කවදාවත් අමතක වෙන එකක් නැහැ. හැබැයි ආයෙත් මතක තියාගන්න, මේක ආරම්භයක් විතරයි! ඉතින් යෙහෝවා දෙවියන් ගැන, යේසුස් ගැන ඔයාගේ හිතේ තියෙන ආදරේ මොහොතින් මොහොත වැඩි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

ගීතිකාව 135 යෙහෝවා දෙවිගේ ආයාචනය, ‘මාගේ පුත්‍රය, ප්‍රඥාවන්ත වෙන්න’

a බව්තීස්මය කියන පියවර ගන්න නම් යෙහෝවා දෙවියන් ගැන, යේසුස් ගැන වගේම සත්‍යය සහ ධර්මිෂ්ඨකම ගැනත් අපේ හිතේ ලොකු ආදරයක් තියෙන්න ඕනේ. හැබැයි ඒක හිතේ තිබිලා විතරක් මදි. ඒක අපි කරන කියන දේවල්වලින් පේන්නත් ඕනේ. අපි මේ ලිපියේ විශේෂයෙන්ම ඉතියෝපීය නිලධාරියා ගැන කතා කරනවා. බයිබල් ශිෂ්‍යයෙක් බව්තීස්මය කියන ඉලක්කයට යන්න කරන්න ඕනෙ මොනවාද කියලා තේරුම්ගන්න එයාගේ ආදර්ශය උදව් වෙයි.

b පින්තූරයේ අදහස: තරුණ සහෝදරියක් එයා වෙනුවෙන් යෙහෝවා දෙවියන් කරලා තියෙන දේවල් ගැන ඔහුට ස්තුති කරනවා.