ජීවිත කතාව
දුප්පත්ව ඉපදුණත් ආශීර්වාද පිරුණු ජීවිතයක්
මං ඉපදුණේ එක්සත් ජනපදයේ ඉන්ඩියානා ප්‍රාන්තයේ ලිබටි කියන නගරයේ තිබුණ පුංචි ගෙදරක. ලී කොටංවලින් හදලා තිබුණ ඒ ගෙදර තිබුණේ එක කාමරයක් විතරයි. මං පවුලේ හතරවෙනියා. මට අයියා කෙනෙකුයි, අක්කලා දෙන්නෙකුයි, මල්ලිලා දෙන්නෙකුයි, නංගි කෙනෙකුයි ඉන්නවා.
ඉස්කෝලේ යන කාලේ කියන්න තරම් දේවල් වුණේ නැහැ. පළවෙනි පන්තියේ හිටපු ළමයින්ම තමයි ඉස්කෝලේ අන්තිම පන්තිය වෙන කල්ම හිටියේ. අපේ ටවුන් එකේ හිටපු හැමෝම එකිනෙකාව හොඳට අඳුරනවා.
අපේ ටවුම වටේම තිබුණේ ගොවිපොළවල්. මගේ තාත්තාත් වැඩ කළේ ගොවිපොළක. යෞවන වයසට එද්දී ට්‍රැක්ටරයක් පදින්න, ගොවිපොළේ කරපු තවත් හුඟක් වැඩ කරන්න මං ඉගෙනගත්තා.
මං ඉපදෙද්දී තාත්තාට වයස 56යි. අම්මාට 35යි. ඒ වයසේදී වුණත් තාත්තා ශක්තිමත්, නිරෝගී කෙනෙක්. මහන්සි වෙලා වැඩ කරන්න එයා ආසයි. එයා අපිටත් නිතරම කිව්වේ මහන්සි වෙලා වැඩ කරන්න කියලයි. එයා හුඟක් සල්ලි හම්බ කරපු කෙනෙක් නම් නෙමෙයි. ඒත් අපිට අඩුවක් කළෙත් නැහැ. ඉන්න තැනක්, ඇඳුම්, කෑම බීම එයා අපිට සැපයෙව්වා. එයා අපිත් එක්ක කාලේ ගත කළා. තාත්තා මැරෙද්දී එයාට වයස 93යි. අම්මා මැරුණේ වයස 86දී. ඒ දෙන්නාම යෙහෝවා දෙවිට සේවේ කරපු අය නෙමෙයි. මගේ එක මල්ලි කෙනෙක් නම් සාක්ෂිකරුවෙක්.
යෞවන කාලේ
මගේ අම්මා ආගමට ළැදි කෙනෙක්. එයා අපිව හැම ඉරිදාම බැප්ටිස්ට් පල්ලියට එක්කගෙන ගියා.
ත්‍රිත්වය ගැන දැනගද්දී මට වයස 12යි. මං අම්මාගෙන් ඇහුවා “යේසුස්ට කොහොමද පුළුවන් තාත්තායි, පුතායි දෙන්නාම වෙන්න” කියලා. එතකොට අම්මා කිව්වා “පුතේ, ඒක අභිරහසක්. ඒක තේරුම්ගන්න අපිට බැහැ” කියලා. ඒක නම් අභිරහසක්ම තමයි. ඒත් වයස 14දී ඒ පැත්තේ තිබුණ ගඟක මං බව්තීස්ම වුණා. බව්තීස්ම කරද්දී පියාණන්, පුත්‍රයාණන්, ශුද්ධාත්මයාණන් වෙනුවෙන් කියලා තුන් වතාවක්ම මාව වතුරේ ගිල්ලුවා.ඉස්කෝලේ ලොකු පන්තිවල ඉගෙනගද්දී මට බොක්සිං ගහන යාළුවෙක් හිටියා. එයාගේ කීමට මාත් බොක්සිං ගහන්න පුරුදු වුණා. බොක්සිං සංවිධානයක සාමාජිකයෙකුත් වුණා. ටික දවසකට පස්සේ බොක්සිං ගහන එක මං අතහැරලා දැම්මේ මං ඒකට දක්ෂ නැහැ කියලා තේරුණ නිසයි. පස්සේ මට සිද්ධ වුණා එක්සත් ජනපදයේ හමුදාවට බැඳෙන්න. එයාලා මාව ජර්මනියට යැව්වා. හමුදාවේ හොඳ නායකයෙක් වෙන්න මට පුළුවන් කියලා ඉහළ නිලධාරීන් හිතපු නිසා මාව හමුදා පුහුණු කඳවුරකට යැව්වා. එයාලට ඕනෙ වුණේ මං හමුදා සේවයේ ඉහළටම යනවාටයි. ඒත් දිගටම හමුදාවේ ඉන්න මට ආසාවක් තිබුණේ නැහැ. ඒ නිසා අවුරුදු දෙකේ මගේ සේවා කාලය ඉවර වුණාට පස්සේ 1956දී මං ඒකෙන් අයින් වුණා. ඒත් වැඩි කාලයක් යන්න කලින් මං වෙනස්ම විදිහේ හමුදාවකට බැඳුණා.
අලුත් ජීවිතයක ආරම්භය
සත්‍යය ඉගෙනගන්න කලින් මට වැරදි මතයක් තිබුණා නියම පිරිමියෙක් මොන වගේද කියන දේ ගැන. මං බලපු චිත්‍රපටි, ආශ්‍රය කරපු අය නිසයි ඒ වගේ වැරදි අදහසක් මට තිබුණේ. බයිබලේ ගැන දේශනා කරන අය නියම පිරිමි නෙමෙයි කියලයි මං හිතුවේ. ඒත් මං හිතපු විදිහ වෙනස් වෙන්න වැඩි දවසක් ගියේ නැහැ. දවසක් මං කාර් එකේ ටවුන් එක හරහා යද්දී තරුණියන් දෙන්නෙක් අත වනලා එයාලා හිටපු තැනට එන්න කියලා කිව්වා. ඒ මගේ අක්කාගේ මහත්තයාගේ නංගිලා දෙන්නා. එයාලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. එයාලා මට මීට කලිනුත් ‘මුරටැඹ,’ ‘පිබිදෙව්!’ සඟරා දීලා තිබුණා. ‘මුරටැඹ’ සඟරාව නම් තේරුම්ගන්න අමාරුයි කියලයි මට හිතුණේ. මේ වතාවේ එයාලා මට කිව්වා එයාලගේ ගෙදර තියෙන පොත් පාඩමට එන්න කියලා. “මං එන්න බලන්නම්” කියලා කිව්වාම එයාලා කිව්වා “පොරොන්දු වෙන්න” කියලා. මං කිව්වා “පොරොන්දු වෙනවා” කියලා.
එහෙම කිව්වේ අපරාදේ කියලා පස්සේ හිතුණත් වෙච්ච පොරොන්දුව කඩන්න බැරි නිසා මං එයාලගේ ගෙදර තිබුණ පොත් පාඩමට ගියා. එතන හිටපු පොඩි ළමයින්ට බයිබලේ ගැන තිබුණ දැනුම දැකලා මට පුදුම හිතුණා. අම්මාත් එක්ක හැම ඉරිදාම පල්ලි ගිහින් තිබුණත් බයිබලේ ගැන මං දැනන් හිටියේ හරිම ටිකයි. බයිබලේ ගැන තව දැනගන්න තිබුණ ආසාව නිසා පාඩමක් කරන්න මං කැමති වුණා. මං ඉගෙනගත්ත පළවෙනි දේවලින් එකක් තමයි සියලු බලැති දෙවිගේ නම යෙහෝවා කියන දේ. අවුරුදු ගාණකට කලින් මං අම්මාගෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන අහද්දී එයා කිව්වේ “ආ එයාලා මේ යෙහෝවා කියන වයසක මනුස්සයෙක්ව අදහන කට්ටියක්නේ” කියලා. ඒත් සාක්ෂිකරුවන් ගැන ඇත්ත දැනගන්න ලැබුණ එක කොයි තරම් දෙයක්ද!
මං සත්‍යයේ ඉක්මනින් දියුණු වුණා. පළවෙනි රැස්වීමට ගිහින් මාස නවයකට පස්සේ 1957 මාර්තු මාසේ මං බව්තීස්ම වුණා. කලින් මට තිබුණ වැරදි මත ඒ වෙද්දී වෙනස් වෙලා තිබුණා. නියම පිරිමියෙක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා මං හිතන් හිටපු විදිහ වැරදියි කියලා බයිබලෙන් දැනගන්න ලැබුණ එක කොයි තරම් දෙයක්ද! යේසුස් පරිපූර්ණ කෙනෙක්. වෙන කිසිම පිරිමියෙක්ට තිබුණේ නැති ශක්තියක්, බලයක් යේසුස්ට තිබුණා. ඒත් ඔහු රණ්ඩුවලට පැටලුණේ නැහැ. “ඔහු සියල්ල නිහඬව දරාගෙන හිටියා.” (යෙසා. 53:2, 7) යේසුස්ගේ සැබෑ අනුගාමිකයෙක් ‘හැමෝම එක්ක මෘදුකමින් කටයුතු කරන්න ඕනෙ’ කියලා මං ඉගෙනගත්තා.—2 තිමෝ. 2:24.
බව්තීස්ම වෙලා ඊළඟ අවුරුද්දේ ඒ කියන්නේ 1958දී මං පුරෝගාමි සේවේ පටන්ගත්තා. ඒත් ටික කාලෙකට මට ඒ සේවේ නතර කරන්න වුණා. ඒ මං ග්ලෝරියා එක්ක විවාහ වෙන්න තීරණය කරපු නිසා. එයා එදා මට පොත් පාඩමට ආරාධනා කරපු තරුණියන් දෙන්නාගෙන් එක් කෙනෙක්. ග්ලෝරියා එක්ක විවාහ වෙන්න මං ගත්ත තීරණය ගැන මං කවදාවත් පසුතැවිලා නැහැ. ග්ලෝරියා එදා මට මැණිකක්. අදටත් එහෙම්මමයි. මේ ලෝකේ තියෙන වටිනාම දියමන්තියටත් වඩා මට එයාව වටිනවා. ග්ලෝරියාම එයා ගැන විස්තර ටිකක් ඔයාලට කියයි. අහලා බලන්නකෝ.
“මට සහෝදර සහෝදරියෝ 16ක් හිටියා. මගේ අම්මා දෙවිට විශ්වාසවන්තව සේවේ කරපු කෙනෙක්. එයා මැරෙද්දී මට වයස 14යි. ඊටපස්සේ මගේ තාත්තාත් බයිබලේ පාඩම් කරන්න පටන්ගත්තා. අම්මා නැති නිසා නංගිලා, මල්ලිලාව බලාගන්න වුණේ මටයි, ඉස්කෝලේ අන්තිම වසරේ ඉගෙනගත්ත මගේ අක්කාටයි. ඉතින් තාත්තා අපේ ඉස්කෝලේ විදුහල්පතිව හම්බ වෙලා අවසර ගත්තා අක්කාටයි, මටයි දවසක් ඇර දවසක් මාරුවෙන් මාරුවට ඉස්කෝලේ යන්න. එහෙම කරපු නිසා පොඩි අයව බලාගන්නත් තාත්තා වැඩ ඇරිලා එද්දී පවුලේ හැමෝටම කෑම ලෑස්ති කරලා තියන්නත් අපි දෙන්නාගෙන් එක් කෙනෙක් හැමදාම ගෙදර හිටියා. අක්කා ඉස්කෝලේ ගිහින් ඉවර වෙන කල්ම අපි එහෙම කළා. අපි එක්ක පවුල් දෙකක් බයිබලේ පාඩම් කළා. අන්තිමේදී අපේ පවුලේ 11දෙනෙක්ම සාක්ෂිකරුවන් වුණා. මං ටිකක් ලැජ්ජාශීලී කෙනෙක්. ඒත් සේවේ යන්න හරි ආසයි. මගේ ලැජ්ජාශීලීකම ජය ගන්න මගේ ආදරණීය සැමියා මට ගොඩක් උදව් කළා.”
ග්ලෝරියායි, මමයි විවාහ වුණේ 1959 පෙබරවාරි මාසේ. ඊටපස්සේ අපි දෙන්නාම පුරෝගාමි සේවේ කළා. ලෝක මූලස්ථානයේ සේවේ කරන්න අපිට තිබුණ ආසාව නිසා ඒ අවුරුද්දේම ජූලි මාසේ අපි බෙතෙල් සේවෙට අයදුම් කළා. අපිට සම්මුඛ සාකච්ඡාවකට එන්න කියලා තිබුණා. සහෝදර සයිමන් ක්‍රැකර් තමයි අපිත් එක්ක කතා කළේ. විස්තර අහලා එයා කිව්වා ඒ කාලේ බෙතෙල් එකට යුවළයන් ගන්නේ නැහැ කියලා. ඒත් බෙතෙල් එකට යන්න අපිට තිබුණ ආසාව නම් නැති වුණේ නැහැ. හැබැයි ඒ ආසාව ඉටු කරගන්න ගොඩක් කල් බලාගෙන ඉන්න වුණා.
පස්සේ අපි ලෝක මූලස්ථානයට ලියුමක් ලියලා කිව්වා ප්‍රචාරකයන් අඩු පැත්තකට ගිහින් සේවේ කරන්න කැමතියි කියලා. එයාලා අපිට පයින් බ්ලෆ්වලට යන්න කිව්වා. ඒ කාලේ එහේ තිබුණේ සභාවන් දෙකයි. එකක් සුදු ජාතික සාක්ෂිකරුවන්ට. අනිත් එක කලු ජාතික සාක්ෂිකරුවන්ට. අපිව යැව්වේ ප්‍රචාරකයන් 14දෙනෙක් හිටපු කලු ජාතිකයන්ගේ සභාවට.
කලු සුදු භේද නිසා තිබුණ අභියෝග
කලු, සුදු කියලා සභාවන් දෙකක් තිබුණේ ඇයි කියලා ඔයාලට හිතෙයි. ඒ කාලේ කලු සුදු අය එකට රැස් වෙන එක නීතියෙන් තහනම්. එහෙම රැස් වුණා නම් සමහරවිට සහෝදරයන්ට පහර දෙන්නත් ඉඩ තිබුණා. හුඟක් පැතිවල සහෝදරයෝ බයෙන් හිටියා එයාලා එකට රැස් වුණොත් මැර පිරිස් ඇවිත් නමස්කාර මධ්‍යස්ථාන විනාශ කරයි කියලා. එහෙම සිද්ධීන් කීපයකුත් වෙලා තිබුණා. කලු සහෝදරයෝ සුදු ජාතිකයන්ගේ ගෙවල්වලට ගිහින් දේශනා කරනවා දැක්කොත් පොලිසියෙන් එයාලව අත්අඩංගුවට අරන් එයාලට පහර දෙන්න පවා ඉඩ තිබුණා. අනවශ්‍ය ප්‍රශ්න නැතුව දේශනා සේවේ දිගටම කරගෙන යන්න තිබුණ වුවමනාව නිසා අපි ඒ නීතිවලට කීකරු වුණා. ඒත් අපි හිටියේ ඉක්මනින්ම දේවල් වෙනස් වෙයි කියන බලාපොරොත්තුවෙන්.
අපි කලු ජාතිකයන් හිටපු පළාත්වල සේවේ කළත් සමහර වෙලාවට වැරදීමකින් සුදු ජාතිකයෙක්ගේ ගෙදරකට තට්ටු කරපු අවස්ථාත් තිබුණා. ඒ වෙලාවලදී අපිට තීරණය කරන්න වුණා කෙටියෙන් එයාලට පණිවිඩය කියනවාද නැත්නම් සමාවෙන්න කියලා වෙන ගෙදරකට යනවාද කියලා.
පුරෝගාමි සේවේ කරන ගමන් අපේ වියහියදම් පියවගන්න අපිට වැඩ කරන්නත් වුණා. අපි කරපු හුඟක් වැඩවලට දවසකට ගෙව්වේ ඩොලර් 3යි. ග්ලෝරියා ගෙවල් කීපයකම වැඩ කළා. එයා වැඩ කරපු එක ගෙදරක අය ඉක්මනින් වැඩ ටික ඉවර කරගන්න ඕනෙ නිසා ග්ලෝරියාට උදව් කරන්න මට අවසර දීලා තිබුණා. එයාලා අපිට කෑම පාර්සලයකුත් දුන්නා. වැඩ ඉවර වෙලා යන්න කලින් මමයි, ග්ලෝරියායි බෙදාගෙන ඒ කෑම එක කෑවා. ග්ලෝරියා හැම සතියකම තව ගෙදරකට යනවා එයාලගේ ඇඳුම් අයන් කරන්න. එයා ඒක කරන කල් මං ඒ ගෙදර වත්තේ වැඩ, ජනෙල් හෝදන වැඩ වගේම කියන වෙන ඕනෙම වැඩක් කරලා දුන්නා. එක සුදු ජාතික ගෙදරක අපි ජනෙල් හේදුවා. මං එළියේ ඉඳන් ජනෙල් හෝදද්දී ග්ලෝරියා ඇතුල් පැත්තෙන් ඒවා හේදුවා. ඒ වැඩේට දවසම ගිය නිසා එයාලා අපිට දවල් කෑම දුන්නා. ග්ලෝරියාට ගේ ඇතුළේ ඉඳන් කන්න පුළුවන් වුණත් මට කන්න දුන්නේ ගරාජ් එකේ. ඒක මට එච්චර ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද එයාලා අපිට දුන්නේ හොඳ කෑම වේලක්. ඇත්තටම ඒ ගෙදර අය හොඳ කට්ටියක්. ඒත් සමාජයේ
අදහස් එයාලටත් බලපාලා තිබුණා. මට මතකයි දවසක් අපි ඉන්ධන පිරවුම් හලකට ගියාම එතන වැඩ කරපු සුදු ජාතිකයෙක්ගෙන් මං ඇහුවා ග්ලෝරියාට වොෂ්රූම් එක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. ඒ මනුස්සයා රවාගෙන මං දිහා බලලා කිව්වා “ඒක ලොක් කරලා” කියලා.සහෝදරයන් පෙන්නපු කරුණාව
මිනිස්සු අපිට වෙනස්කම් කළත් සහෝදරයන් නම් අපිට ආදරෙන් සැලකුවා. එහේ සේවෙත් නියමයි! එහෙට ගිය මුල් කාලේ අපි නැවතිලා හිටියේ සභාවේ සේවකගේ ගෙදර. ඒ වෙද්දී එයාගේ බිරිඳ සාක්ෂිකාරියක් නෙමෙයි. ග්ලෝරියා එයා එක්ක පාඩමක් පටන්ගත්තා. මම එයාගේ දුවයි, බෑනායි එක්ක පාඩමක් කළා. පස්සේ ඒ අම්මායි, දුවයි දෙන්නාම බව්තීස්ම වුණා.
සුදු ජාතිකයන්ගේ සභාවෙත් අපිට හොඳ යාළුවෝ හිටියා. සමහර දවස්වලට එයාලා අපිට රෑ කෑමට එයාලගේ ගෙදරට එන්න කියනවා. ඒත් කාටවත් පේන්නේ නැති වෙන්න අපි ඒ ගෙවල්වලට ගියේ කළුවර වැටුණාට පස්සේ. ඒ කාලේ “කූ ක්ලුක්ස් ක්ලෑන්” කියලා සංවිධානයක් තිබුණා. එයාලා තමයි ජාතිවාදය අවුස්සලා හුඟක් සැහැසික දේවල් කළේ. ඒ සංවිධානයේ අයට සෑහෙන බලයක් තිබුණා. ඒ වගේ අනතුරුදායක තත්වයක් තිබුණත් සහෝදරයන් අපිට ආදරෙන් සලකන එක නැවැත්තුවේ නැහැ. දවසක් අපිට සමුළුවකට යන්න සල්ලි මදි වුණ නිසා අපේ කාර් එක සල්ලිවලට ගන්න සහෝදරයෙක් කැමති වුණා. ඒත් මාසෙකට විතර පස්සේ පුදුම දෙයක් වුණා. අපිට කාර් එක තිබුණේ නැති නිසා සේවේ, බයිබල් පාඩම්වලට අපි ගියේ පයින්මයි. දවසක් අපි හුඟක් මහන්සි වෙලා ගෙදර එද්දී අපේ කාර් එක ගේ ළඟ නවත්තලා තිබුණා. ඒකේ මේ වගේ සටහනක් තිබුණා. “මේක මගෙන් ඔයාලට තෑග්ගක්. මීට ඔයාලගේ සහෝදරයා.”
1962දී නිව් යෝර්ක් ප්‍රාන්තයේ දකුණු ලැන්සින්ග්වල තිබුණ පාසැලකට සහභාගි වෙන්න මට ආරාධනාවක් ලැබුණා. ඒක වැඩිමහල්ලන්ට, චාරිකා, දිස්ත්‍රික් සේවකයන්ට මාසයක් පුරා තිබුණ පාසැලක්. ඒ වෙද්දී මට රස්සාවක් තිබුණේ නැහැ. අතේ ඉතුරු වෙලා තිබුණෙත් පොඩි මුදලක්. හැබැයි මම ඒ වෙද්දී පයින් බ්ලෆ්වල තිබුණ දුරකථන සමාගමක රැකියාවකට අයදුම් කරලා ඒකේ සම්මුඛ පරීක්ෂණයටත් ගිහින් තිබුණේ. එයාලා මාව රස්සාවට ගත්තොත් මම තමයි ඒ සමාගමේ වැඩ කරන පළවෙනි කලු ජාතිකයා වෙන්නේ. එයාලා මට කිව්වා රස්සාවට එන්න කියලා. දැන් මං මොකද කරන්නේ? නිව් යෝර්ක්වලට යන්න සල්ලිත් නැහැ. පාසැලට යන්නේ නැතුව රස්සාව භාරගන්න එක තමයි හොඳම දේ කියලා මං හිතුවා. ඒ ගැන බෙතෙල් එකට ලියුමක් ලියන්න ඕනෙ කියලා හිතහිත ඉද්දී වෙච්ච දේ නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
කවුද උදෙන්ම දොරට තට්ටු කරනවා ඇහිලා බලද්දී අපේ සභාවේ සහෝදරියක් මාව හම්බ වෙන්න ඇවිත් හිටියා. එයාගේ සැමියා සත්‍යයේ නැහැ. ඒ සහෝදරිය මට ලියුම් කවරයක් දුන්නා. ඒක සල්ලිවලින් පිරිලා තිබුණා. එයායි, එයාගේ දරුවෝ කීපදෙනෙකුයි දවස් ගාණක් තිස්සේ පාන්දරින්ම නැඟිටලා කපු වගා කරලා තිබුණ වතු සුද්ද කරන්න ගිහින් තිබුණා. එයාලා එහෙම කළේ මට නිව් යෝර්ක්වලට යන්න ඕනෙ කරන සල්ලි හොයලා දෙන්නයි. එයා මට ඒ ලියුම් කවරය දීලා මෙහෙම කිව්වා. “ඔයා පාසැලට ගිහින් හොඳට ඉගෙනගන්න. ඇවිත් ඒවා අපිටත් කියලා දෙන්න.” පස්සේ මං දුරකථන සමාගමෙන් ඇහුවා සති පහකින් මං රස්සාවට එන්නද කියලා. එයාලා ඒකට අකමැති වුණා. රස්සාව හම්බ වුණත් නැතත් පාසැලට යන්න මං
තීරණය කරලයි තිබුණේ. ඒ රස්සාව භාර නොගත්ත එක ගැන මං අදටත් සතුටු වෙනවා.අපි පයින් බ්ලෆ්වල ගත කරපු ජීවිතය ගැන ග්ලෝරියා කියන දේත් අහන්නකෝ. “මං එහේ සේවේ කළේ හරි ආසාවෙන්. මට බයිබල් පාඩම් 15ත් 20ත් අතර ප්‍රමාණයක් තිබුණා. උදේ ගෙයින් ගෙට සේවේ ගිහින් මුළු හවස් වරුවෙම සමහර දවස්වලට රෑ 11 විතර වෙන කල් අපි බයිබල් පාඩම්වලට ගියා. එහේ සේවේ නම් නියමයි. ඇත්තම කියනවා නම් චාරිකා සේවේ යන්න පැවරුම ලැබුණාම මං ඒ ගැන එච්චරම සතුටු වුණේ නැහැ. ඒත් යෙහෝවා දෙවි අපි වෙනුවෙන් ලෑස්ති කරලා තිබුණේ අපි හිතුවේවත් නැති දෙයක්.” ඒක නම් ඇත්ත.
චාරිකා සහ දිස්ත්‍රික් සේවේ කරපු කාලේ
පයින් බ්ලෆ්වල පුරෝගාමි සේවේ කරකර ඉද්දී විශේෂ පුරෝගාමීන් විදිහට සේවේ කරන්නත් අපි අයදුම් කළා. අපි හිතුවෙම ඒ පැවරුම අපිට ලැබෙයි කියලා. මොකද අපේ දිස්ත්‍රික් සේවකට අදහසක් තිබුණා විශේෂ පුරෝගාමීන් විදිහට ටෙක්සාස්වල තිබුණ සභාවට උදව් කරන්න අපිව යවන්න. අපිත් ඒකට කැමති වුණා. ඉතින් අපි කාලයක් තිස්සේ ඒක ලැබෙන කල් බලන් හිටියා. ඒත් හැමදාම වගේ ලියුම් පෙට්ටිය බැලුවත් අපිට උත්තරයක් නම් ආවේ නැහැ. අන්තිමේදී ලියුමක් ආවා. ඒකේ තිබුණේ අපිට චාරිකා සේවේ කරන්න පැවරුමක් ලැබිලා කියලයි. ඒ පැවරුම ලැබුණේ 1965 ජනවාරි මාසේ. දැන් එක්සත් ජනපදයේ ශාඛා කමිටුවේ සම්බන්ධීකාරක විදිහට සේවේ කරන සහෝදර ලියොන් වීවර්ට චාරිකා සේවේ යන්න පැවරුම ලැබුණෙත් ඒ කාලෙදීමයි.
චාරිකා සේවකයෙක් වෙන එක ගැන මගේ හිතේ පොඩි බයක් තිබුණා. අපේ දිස්ත්‍රික් සේවක විදිහට හිටපු සහෝදර ජේම්ස් ඒ. තොම්සන් අවුරුද්දකට විතර කලින් චාරිකා සේවේ යන්න මට තියෙන සුදුසුකම් ගැන හොයලා බැලුවා. හොඳ චාරිකා සේවකයෙක් වෙන්න මට දියුණු කරගන්න පුළුවන් පැති ගැන එයා මට කියලා දුන්නා. චාරිකා සේවේ පටන් අරන් වැඩි කාලයක් යන්න කලින් එයා දීපු ඒ උපදෙස් කොච්චර වටිනවාද කියලා මට තේරුණා. මං මුලින්ම සේවේ කරපු චාරිකාව තිබුණෙත් සහෝදර තොම්සන් බලාගත්ත දිස්ත්‍රික්කය යටතේ. ඒ විශ්වාසවන්ත සහෝදරයාගෙන් මං හුඟක් දේවල් ඉගෙනගත්තා.
ඒ කාලේ චාරිකා සේවකයෙක්ට ලොකු පුහුණුවක් ලැබුණේ නැහැ. චාරිකා සේවකයෙක් එක්ක මං සතියක් වැඩ කළා. එයා ඒ සතියේ සභාවේ දේවල් කරන විදිහ මං හොඳට බලාගන්න ඕනේ. ඊළඟ සතියේ අපි වෙන සභාවකට ගියාම එයා මං දේවල් කරන විදිහ හොඳට බලනවා. එහෙම බලලා එයා මට දියුණු වෙන්න ඕනෙ පැති ගැන කියලා දුන්නා. ඊටපස්සේ අපි තනියම චාරිකා සේවේ යන්න ඕනේ. මට මතකයි මං ග්ලෝරියාට කිව්වා “එයා තව ටික දවසක් අපිත් එක්ක හිටියා නම් හොඳයි නේ” කියලා. ඒත් කාලයත් එක්කම මං වැදගත් දෙයක් තේරුම්ගත්තා. ඒ තමයි අපිට උදව් කරන්න පුළුවන් හොඳ සහෝදරයෝ ඕනෙ තරම් ඉන්නවා කියලා. ඒත් අපිට උදව් කරන්න එයාලට පුළුවන් වෙන්නේ අපි එයාලට ඉඩ දුන්නොත් විතරයි. ඒ කාලේ
චාරිකා සේවේ කරපු ජේ. ආර්. බ්‍රවුන්, බෙතෙල් එකේ සේවේ කරපු ෆ්‍රෙඩ් රස්ක් වගේ අයගෙන් මට ලැබුණ උදව් මං තාමත් අගය කරනවා.ඒ කාලේ හැම තැනම කලු සුදු භේදය තිබුණා. දවසක් අපි සේවේ යන අතරේ පොඩි විවේකයක් ගන්න ළඟ තිබුණ රෙස්ටුරන්ට් එකකට ගියා. මං මූණ ටිකක් හෝදගන්න ගිය වෙලාවේ ඇඟ පුරාම පච්ච ගහගත්ත සුදු ජාතිකයෙක් කේන්තියෙන් මගේ පිටිපස්සෙන් ආවා. ඒ වෙලාවේ අපි දෙන්නාටම වඩා උස මහත සුදු ජාතික සහෝදරයෙක් අපි හිටපු තැනට ඇවිත් ඇහුවා “මුකුත් ප්‍රශ්නයක් නැහැ නේද සහෝදර හර්ඩ්” කියලා. පච්ච ගහගෙන හිටපු කෙනා ඉක්මනින්ම එතනින් ගියා. පහුගිය අවුරුදු ගාණ පුරාම මං තේරුම්ගත්ත දේ තමයි ජාති භේද ඇති වෙන්න හේතුව හමේ පාට නෙමෙයි අපිට උරුම වෙලා තියෙන පාපයයි. සහෝදරයන් අතරේ නම් හමේ පාට මොකක් වුණත් සහෝදරකම වෙනස් වෙන්නේ නැහැ. තව සහෝදරයෙක් වෙනුවෙන් මැරෙන්න වුණත් එයාලා ලෑස්තියි.
ආශීර්වාද පිරුණු ජීවිතයක්
අපි අවුරුදු 12ක් චාරිකා සේවෙත් අවුරුදු 21ක් දිස්ත්‍රික් සේවෙත් කළා. ඒ කාලේ පුරාම අපි හුඟක් ආශීර්වාද අද්දැක්කා. දිරිගැන්වෙන අද්දැකීම් ලැබුවා. යෙහෝවා දෙවි අපි වෙනුවෙන් තවත් ආශීර්වාදයක් ලෑස්ති කරලයි තිබුණේ. අවුරුදු ගාණක් තිස්සේ අපේ හීනයක් වෙලා තිබුණ බෙතෙල් සේවෙට අපිට ආරාධනාවක් ලැබුණා. එක්සත් ජනපදයේ බෙතෙල් එකේ සේවේ කරන්න අපිට ආරාධනය ලැබුණේ 1997 අගෝස්තු මාසේ. ඒ කියන්නේ අපි මුලින්ම බෙතෙල් එකට අයදුම් කරලා අවුරුදු 38කට පස්සේ. ඊළඟ මාසෙම අපි බෙතෙල් සේවේ පටන්ගත්තා. මං හිතුවේ අපි එහේ ටික කාලයක් ඉඳියි කියලා. ඒත් මං හිතුවා වැරදියි.
මට මුලින්ම පැවරුම ලැබුණේ සේවා අංශයේ. එහෙදී මං හුඟක් දේවල් ඉගෙනගත්තා. රට පුරාම ඉන්න චාරිකා සේවකයන්, වැඩිමහල් මණ්ඩල සේවා අංශයට එක එක විදිහේ ප්‍රශ්න යොමු කරනවා. සමහර ප්‍රශ්න හරිම බැරෑරුම්. තවත් ඒවාට පිළිතුරු දෙන්න හරිම අමාරුයි. ඒ අංශයේ සහෝදරයන් හරිම ඉවසීමෙන් මාව පුහුණු කරපු විදිහ මං හුඟක් අගය කරනවා. මට ආයෙත් ඒ අංශයේ සේවේ කරන්න පැවරුමක් ලැබුණොත් මට තවත් හුඟක් දේවල් ඉගෙනගන්න තියෙයි.
බෙතෙල් ජීවිතේට මමයි, ග්ලෝරියායි හුඟක් ආසයි. අපි සාමාන්‍යයෙන් උදෙන්ම නැඟිටින්න කැමතියි. බෙතෙල් එකේදී ඒ පුරුද්ද අපිට හුඟක් ප්‍රයෝජනවත් වුණා. බෙතෙල් එකට ඇවිත් අවුරුද්දක් විතර ගියාම මට අවස්ථාව ලැබුණා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සේවා කමිටුවට උපකාර කරන්නෙක් විදිහට සේවේ කරන්න. ඊටපස්සේ 1999දී මාව පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් විදිහට පත් කළා. ඒ පැවරුම කරද්දී මං හුඟක් දේවල් ඉගෙනගත්තා. මං ඉගෙනගත්ත ලොකුම පාඩම තමයි ක්‍රිස්තියානි සභාවේ නායකයා යේසුස් මිසක් කිසිම මනුෂ්‍යයෙක් නෙමෙයි කියන දේ.
මගේ ජීවිතේ දිහා ආපහු හැරිලා බලද්දී මට හිතෙන්නේ මං හරියට ආමොස් වගේ කියලා. එයා එඬේරෙක්. රස්සාව විදිහට දුප්පත් මිනිස්සු ආහාරයට ගත්ත අත්තික්කා ගස් බලාගන්න එකත් එයා කළා. ඒත් යෙහෝවා දෙවි එයා ගැන සැලකිලිමත් වෙලා අනාගතවක්තෘවරයෙක් විදිහට එයාට පැවරුමක් දුන්නා. ඒ පැවරුම කරද්දී එයා හුඟක් ආශීර්වාද අද්දැක්කා. (ආමො. 7:14, 15) ඒ වගේ යෙහෝවා දෙවි ඉන්ඩියානා ප්‍රන්තයේ ලිබටි කියන පුංචි ටවුමේ හිටපු දුප්පත් ගොවියෙක්ගේ පුතෙක් වුණ මං ගැනත් සැලකිලිමත් වුණා. යෙහෝවා දෙවි මට හුඟක් ආශීර්වාද කළා. ඒ හැම ආශීර්වාදයක් ගැනම ලියන්න ගියොත් මේ ලිපියේ ඉඩ මදි වෙනවා. (හිතෝ. 10:22) මං ජීවිතේ පටන්ගත්තේ දුප්පතෙක් විදිහට. ඒත් මං දැන් ගත කරන්නේ හිතාගන්නත් බැරි තරම් ආශීර්වාද පිරුණු ජීවිතයක්.