Skip to content

පටුනට යන්න

යෞවනයෙනි, යක්ෂයාට විරුද්ධව ස්ථිරව ඉන්න

යෞවනයෙනි, යක්ෂයාට විරුද්ධව ස්ථිරව ඉන්න

“යක්ෂයාගේ උපායන්වලට විරුද්ධව නොසැලී ස්ථිරව සිටීම සඳහා දෙවි ලබා දෙන මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න.”—එෆී. 6:11.

ගීතිකා: 79, 140

1, 2. (අ) සාතන්ට සහ භූතයන්ට විරුද්ධව කරන සටන යෞවනයන් ජය ගනිමින් ඉන්නවා කියන්නේ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) අපි බලන්නේ මොකක් ගැනද?

පාවුල් ක්‍රිස්තියානීන්ව සමාන කළේ සොල්දාදුවන්ට. මොකද අපි ඉන්නේ සාතන්ට සහ භූතයන්ට විරුද්ධව කරන යුද්දෙක. සටන් කරලා අවුරුදු දහස් ගාණක පළපුරුද්ද තියෙන ඒ අය දක්ෂයි. ඒ නිසා අපිට, විශේෂයෙන්ම අපේ යෞවන අයට හිතෙන්න පුළුවන් ඒ සටන දිනන්න බැහැ කියලා. ඒ තරම් බලවත් සතුරන් එක්ක කරන සටන ජය ගන්න අපේ යෞවනයන්ට පුළුවන්ද? ඔව්. එයාලා දැනටමත් ඒ සටන ජය ගනිමින් ඉන්නවා. ඒ කොහොමද? දෙවිගේ උදව් එයාලට ලැබෙනවා. ඒ වගේම එයාලා ඉන්නේ සටනට හොඳ සූදානමින්. මොකද එයාලා “දෙවි ලබා දෙන මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගෙනයි” ඉන්නේ.—එෆීස 6:10-12 කියවන්න.

2 යුද්ධායුධ කට්ටලය ගැන කතා කරද්දී රෝම සොල්දාදුවෙකුගේ යුධ ඇඳුම් කට්ටලය පාවුල්ගේ මනසේ තියෙන්න ඇති. (ක්‍රියා 28:16) ඒ යුධ ඇඳුම් කට්ටලය ගැන අපි මේ ලිපියෙන් බලමු. ඒ යුද්ධායුධ කට්ටලයේ එක් එක් කොටස පැළඳගද්දී ඇති වෙන අභියෝග ගැන සහ ඒවා පැළඳගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන යෞවනයන් කියන දේත් බලමු.

ඔයා මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගෙනද ඉන්නේ?

“සත්‍යය නමැති පටිය”

3, 4. සත්‍ය ඉගැන්වීම් රෝම සොල්දාදුවෙකු ඉණ වටා බැන්ද පටියට සමාන වෙන්නේ කොහොමද?

3 එෆීස 6:14 කියවන්න. රෝම සොල්දාදුවෙකුගේ ඉණ පටියට හතරැස් ලෝහ කෑලි සවි කරලා තිබුණා. ඒකෙන් සෙල්දාදුවාගේ ඉණ ආරක්ෂා වුණා වගේම ළයවැස්මේ බර දරාගන්නත් ඒක උදව් වුණා. කඩුවයි, කිනිස්සයි රඳවන ආධාරකත් සමහර පටිවලට සම්බන්ධ කරලා තිබුණා. ඉණ පටිය තද කරලා බැඳගත්තාම සටනට තමන් සූදානම් කියලා සොල්දාදුවාට නිසැකකමක් ඇති වුණා.

4 බයිබලෙන් අපි ඉගෙනගන්න සත්‍ය ඉගැන්වීම් ඒ ඉණ පටිය වගේ. ඒවා නිසා බොරු ඉගැන්වීම්වලින් අපි ආරක්ෂා වෙනවා. (යොහ. 8:31, 32; 1 යොහ. 4:1) සත්‍ය ඉගැන්වීම් ගැන අගය වැඩි වෙද්දී “ළයවැස්ම” පැළඳගෙන ඉන්න ඒ කියන්නේ දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න අපිට පහසුයි. (ගීතා. 111:7, 8; 1 යොහ. 5:3) සත්‍ය ඉගැන්වීම් ගැන අපේ අවබෝධය වැඩි කරගන්න තරමට අපේ සතුරන් ඒවා ගැන සැකයන් ඇති කරන්න හදද්දී, ඒවා ගැන ප්‍රශ්න කරද්දී බය නැතුව සත්‍යය වෙනුවෙන් කතා කරන්නත් අපිට පුළුවන්.—1 පේතෘ. 3:15.

5. අපි හැම වෙලේම ඇත්ත කතා කරන්න ඕනෙ ඇයි?

5 ඉණ පටිය තදින් බැඳගෙන ඉන්නවා වගේ බයිබල් ඉගැන්වීම් අපේ හදවතටම කාවදිද්දී ඒවා අපේ ජීවිතේට අදාළ කරගන්නත් හැම වෙලේම ඇත්ත කතා කරන්නත් අපි පෙලඹෙනවා. බොරු කියන එකෙන් අපි වළකින්න ඕනෙ ඇයි? බොරුව කියන්නේ සාතන්ගේ බලවත් ආයුධයක්. බොරු කියන කෙනාට විතරක් නෙමෙයි බොරුව විශ්වාස කරන කෙනාටත් වෙන්නේ ලොකු හානියක්. (යොහ. 8:44) ඒ නිසයි බොරු නොකියා ඉන්න අපි ලොකු උත්සාහයක් ගන්නේ. (එෆී. 4:25) ඒක කරන එක හැම තිස්සෙම ලේසි නැහැ. වයස 18ක් වන ඇබිගේල් මෙහෙම කියනවා. “අමාරු අවස්ථාවකදී බොරුවක් කියලා ලේසියෙන්ම බේරෙන්න පුළුවන් කියලා දැනෙද්දී ඇත්ත කියන එක අමාරුයි.” එහෙමනම් ඇයි ඇබිගේල් හැම වෙලේම ඇත්ත කියන්න උත්සාහ කරන්නේ? එයා මෙහෙම කියනවා. “මං ඇත්ත කියද්දී මට දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් තියාගන්න පුළුවන්. අම්මලටයි, යාළුවන්ටයි මං ගැන තියෙන විශ්වාසෙත් වැඩි වෙනවා.” අවුරුදු 23ක් වයස වික්ටෝරියා කියන්නේ මෙහෙමයි. “ඇත්ත කතා කරද්දී, අපේ විශ්වාසයන් ගැන බය නැතුව කතා කරද්දී අනිත් අය ඔයාට එක එක ඒවා කියයි, කරයි. ඒත් ඇත්ත කතා කරන එකෙන් ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසය වැඩි වෙනවා. දෙවිට තව ළං වුණා කියලා දැනෙනවා. ඔයාට ආදරේ කරන අයගේ ගෞරවයත් ඔයාට ලැබෙනවා.” හැම තිස්සෙම “සත්‍යය නමැති පටිය” පැළඳගෙන ඉන්න එක කොච්චර වටිනවාද!

සත්‍යය නමැති පටිය (3-5 ඡේද බලන්න)

“ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම”

6, 7. ධර්මිෂ්ඨකම ළයවැස්මකට සමාන කරලා තියෙන්නේ ඇයි?

6 රෝම සොල්දාදුවන්ගේ ළයවැස්ම හදලා තිබුණේ තිරස් අතට කපපු යකඩ පටිවලින්. ඒ පටි ළය ප්‍රදේශයට හරියටම සවි වෙන විදිහටයි හදලා තිබුණේ. ඒ යකඩ පටිවල ලෝහ කොකු නැත්නම් බකල් සවි කරලා තිබුණා. හම් පටිවලින් ඒ යකඩ පටි එකකට එකක් සම්බන්ධ කළා. උරහිස කොටසත් යකඩ පටිවලින් ආවරණය වුණා. ළයවැස්ම ඇඳගෙන ඉද්දී සොල්දාදුවාට ඕන ඕන විදිහට නැමෙන්න කරන්න ටිකක් අමාරු වුණා. ඒ වගේම යකඩ පටි එහේ මෙහේ වෙලා නැතුව හරි තැන තියෙනවාද කියලා නිතරම පරීක්ෂා කරලා බලන්නත් වුණා. ඒත් සොල්දාදුවාට ළයවැස්මෙන් ලැබුණේ ලොකු ආරක්ෂාවක්. කඩු පහරකින් හරි ඊතලයකින් හරි එයාගේ හදවතට නැත්නම් වෙනත් අවයවයකට වෙන්න තිබුණ හානිය ඒකෙන් වැළැක්කුවා.

7 යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිත් ඒ ළයවැස්ම වගේ අපේ “සිත” ආරක්ෂා කරනවා. (හිතෝ. 4:23) සොල්දාදුවෙක් කවදාවත් යකඩ ළයවැස්ම අයින් කරලා ඊට වඩා බාල ලෝහයකින් හදපු ළයවැස්මක් දාගත්තේ නැහැ. ඒ වගේ අපිත් යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිති අහක දාලා අපිට හරියි කියලා හිතෙන දේවල් කරන්නේ නැහැ. අපේම හැකියාවෙන් අපේ සිත ආරක්ෂා කරගන්න බැහැ කියලා අපි දන්නවා. (හිතෝ. 3:5, 6) අපේ ළයවැස්මේ පටි එහේ මෙහේ වෙලා නැතුව අපේ හදවත ආරක්ෂා වෙන විදිහට අපි ඒවා පැළඳගෙන ඉන්නවාද කියලා නිතරම පරීක්ෂා කරලා බලන්න ඕනෙ ඒ නිසයි.

8. දෙවිගේ ප්‍රමිතිවලට අපි කීකරු වෙන්න ඕනෙ ඇයි?

8 දෙවිගේ ප්‍රමිති නිසා ඔයාගේ නිදහස අඩු වෙලා කියලා ඔයාට හිතෙනවාද? වයස 21ක් වන ඩැනියෙල් මෙහෙම කියනවා. “බයිබල් ප්‍රතිපත්තිවලට අනුව වැඩ කරන නිසා ගුරුවරු, පන්තියේ ළමයි මට විහිළු කළා. ඒ නිසා කාලයක් මං මගේ විශ්වාසයන් ගැන කතා කරන්න බය වුණා. මං මානසිකව වැටුණා.” ඒත් දැන් එයාට හැඟෙන්නේ කොහොමද? එයා මෙහෙම කියනවා. “දෙවිගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන එකේ ප්‍රයෝජන මං දැක්කා. පන්තියේ සමහර ළමයි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණා. තවත් අය ඉස්කෝලේ එන එක නවත්තලා දැම්මා. යෙහෝවා දෙවිගේ ප්‍රමිති අපිට කොච්චර ආරක්ෂාවක්ද!” මැඩිසන් වයස 15ක යෞවනියක්. එයා මෙහෙම කියනවා. “පන්තියේ ළමයි එයාලා ආස දේවල් කරද්දී ඒවා නොකර දෙවිගේ ප්‍රමිති රකින එක මට ලේසි වුණේ නෑ.” එයා මොකද කළේ? “මං නිතරම මතක් කරගන්නවා මං දෙවිගේ නම දරන කෙනෙක් කියලා. වැරදි දෙයක් කරන්න එන පෙලඹීම සාතන්ගෙන් එන දෙයක් කියලත් මං මතකයේ තියාගත්තා. මං මාත් එක්කම කරන සටන ජය ගත්තාම මට දැනෙන්නේ ලොකු සතුටක්.”

ධර්මිෂ්ඨකම නමැති ළයවැස්ම (6-8 ඡේද බලන්න)

‘පාවහන් පැළඳ සූදානමින් ඉන්න’

9-11. (අ) පාවහන්වලින් නියෝජනය වුණේ මොකක්ද? (ආ) බය නැතුව දේශනා කරන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

9 එෆීස 6:15 කියවන්න. යුද්දෙට යන රෝම සොල්දාදුවෙකුට පාවහන් අත්‍යවශ්‍යම දෙයක් වුණා. එයාලා දාපු පාවහන්වලට කොටස් 3ක් තිබුණා. ඒ කොටස් 3ම හදලා තිබුණේ හම් පදම් කරලා. ඒ නිසා ඒවා ශක්තිමත් වගේම දාගෙන ඉන්න පහසුයි. ඒක හදලා තිබුණේ ලිස්සන්නේ නැතුව ඕනම තැනක ඇවිදින්න පුළුවන් විදිහට.

10 රෝම සොල්දාදුවෙක් දාගෙන හිටපු පාවහන් එයාට උදව් වුණේ යුද්ධ කරන්න. දෙවි දෙන යුද්ධායුධ කට්ටලයට අයිති පාවහන් අපිට උදව් කරන්නේ සමාදානය ගැන පණිවිඩය දේශනා කරන්න. (යෙසා. 52:7; රෝම 10:15) ඒත් සමහර අවස්ථාවලදී දේශනා කරන්න අපිට ධෛර්යය ඕනේ. වයස 20ක් වන බෝ මෙහෙම කියනවා. “ඉස්කෝලේ යන කාලේ පන්තියේ ළමයින්ට සාක්ෂි දරන්න මං බය වුණා. මං හිතුවා එහෙම කළොත් එයාලා මාව පල් කරයි කියලා. ඒත් දැන් මට හිතෙනවා අපරාදේ මං බය වුණේ කියලා. දැන් නම් මගේ වයසේ අයට සාක්ෂි දරලා මං ලබන්නේ ලොකු සතුටක්.”

11 හුඟක් අයට හැඟෙන දෙයක් තමයි කලින්ම සූදානම් වුණොත් බය නැතුව දේශනා කරන්න පුළුවන් කියලා. හොඳින් සූදානම් වෙන්න ඔයාට පුළුවන් කොහොමද? වයස 16ක් වන ජූලියා මෙහෙම කියනවා. “මං නිතරම අපේ ප්‍රකාශන කීපයක් බෑග් ඒකේ තියාගන්නවා. ඒ වගේම පන්තියේ ළමයි එයාලගේ විශ්වාසයන් ගැන කතා කරද්දී, එයාලගේ අදහස් කියද්දී මං හොඳට ඇහුම්කන් දෙනවා. එයාලට උදව් වෙන්නේ මොන වගේ දෙයක් ගැන කතා කළොත්ද කියලා ඊටපස්සේ මං හිතනවා. ඒ විදිහට සූදානම් වුණාම එයාලට ප්‍රයෝජනවත් වෙන දෙයක් ගැන කතා කරන්න මට පුළුවන්.” මැකෙන්සිට වයස 23යි. එයා මෙහෙම කියනවා. “ඔයා කරුණාවන්තයි නම්, හොඳින් සවන් දෙනවා නම් ඔයාගේ පන්තියේ ළමයි මුහුණ දෙන්නේ මොන වගේ ප්‍රශ්නවලටද කියලා ඔයාට තේරෙයි. යෞවනයන් වෙනුවෙන් සංවිධානය නිකුත් කරන හැම දෙයක්ම මං වරද්දන්නේ නැතුව කියවනවා. යාළුවෙක්ට උදව් වෙන බයිබල් පදයක් හරි jw.org වෙබ් අඩවියේ තියෙන ලිපියක් හරි පෙන්නන්න ඒක මට උදව් වෙනවා.” දේශනා කරන්න හොඳින් සූදානම් වෙනවා කියන්නේ ලේසියෙන් ගැලවෙන්නේ නැති වෙන විදිහට ඔයා පාවහන් හොඳින් දාගෙන ඉන්නවා කියන එකයි.

පාවහන් පැළඳගෙන ගමනට සූදානම්ව සිටින්න (9-11 ඡේද බලන්න)

“විශ්වාසය නමැති විශාල පලිහ”

12, 13. සාතන්ගේ “ගිනිමය ඊතල” මොනවාද?

12 එෆීස 6:16 කියවන්න. රෝම සොල්දාදුවෙක් අතේ තිබුණේ ඍජුකෝණාස්‍ර හැඩයට හදපු “විශාල පලිහක්.” උරහිසේ ඉඳලා දණහිස දක්වා ඒකෙන් ආවරණය වුණා. පලිහ නිසා කඩු, හෙල්ල, ඊතල වගේ දේවලින් සොල්දාදුවාට ආරක්ෂාවක් ලැබුණා.

13 සාතන් ඔයාට එල්ල කරන්න පුළුවන් මොන වගේ “ගිනිමය ඊතලද?” සමහරවිට ඒ යෙහෝවා දෙවි ගැන බොරු අදහසක් වෙන්න පුළුවන්. දෙවි ඔයාට ආදරේ නැහැ, ආදරේ ලබන්න ඔයා වටින්නේ නැහැ කියලා ඔයා හිතනවා දකින්නයි සාතන්ට ඕනේ. වයස 19ක් වන ඊඩා මෙහෙම කියනවා. “මට නිතරම හිතුණේ මගේ යාළුවෙක් වෙන්න යෙහෝවා දෙවි කැමති නැහැ කියලා.” එහෙම හැඟෙද්දී එයා මොකද කළේ? “මගේ විශ්වාසය ශක්තිමත් කරගන්න රැස්වීම් මට ලොකු උදව්වක්. කලින් මං රැස්වීම්වලට ගිහින් ඔහේ ඉඳන් හිටියා. උත්තරයක්වත් දුන්නේ නෑ. මං කියන දේවල් අහන්න කවුරුත් කැමති නෑ කියලයි මට හිතුණේ. ඒත් දැන් මං හොඳින් සූදානම් වෙලා උත්තර දෙක තුනක්වත් දෙන්න උත්සාහ කරනවා. ඒක ලේසි නැති වුණත් එහෙම කළාම මට සතුටක් දැනෙනවා. සභාවේ අයත් මාව දිරිගන්වනවා. යෙහෝවා දෙවිගේ ආදරේ හැම රැස්වීමකදීම මට දැනෙනවා.”

14. ඊඩාගේ අද්දැකීමෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

14 සොල්දාදුවෙක් අතේ තිබුණ පලිහේ විශාලත්වය අඩු වැඩි වුණේ නැහැ. ඒත් අපේ විශ්වාසය ඊට වඩා වෙනස්. ඊඩාගේ අද්දැකීමෙන් ඉගෙනගත්තා වගේ අපේ විශ්වාසය අඩු වැඩි වෙන්න පුළුවන්. ඒක දුර්වල කරගන්නෙත් ඒක ශක්තිමත් කරගන්නෙත් අපිමයි. තීරණය අපේ අතේ. (මතෙ. 14:31; 2 තෙස. 1:3) අපි ළඟ තියෙන ‘විශ්වාසය නමැති පලිහෙන්’ ආරක්ෂාවක් ලබන්න නම් අපි ඒක තව තවත් ශක්තිමත් කරගන්න ඕනේ.

විශ්වාසය නමැති විශාල පලිහ (12-14 ඡේද බලන්න)

“ගැලවීම නමැති හිස්වැස්ම”

15, 16. බලාපොරොත්තුව හිස්වැස්මක් වගේ වෙන්නේ කොහොමද?

15 එෆීස 6:17 කියවන්න. රෝම සොල්දාදුවෙක් දාපු හිස්වැස්ම නිසා එයාගේ හිසට, බෙල්ලට සහ මුහුණට ආරක්ෂාවක් ලැබුණා. හිස්වැස්ම අතේ අරන් යන්න පුළුවන් වෙන්න ඒකට පොඩි පටියකුත් තිබුණා.

16 හිස්වැස්ම නිසා සොල්දාදුවාගේ හිස ආරක්ෂා වුණා වගේ “අප ලබන ගැලවීම පිළිබඳ බලාපොරොත්තුව” අපේ සිතුවිලි ආරක්ෂා කරනවා. (1 තෙස. 5:8; හිතෝ. 3:21) ප්‍රශ්න එද්දී අධෛර්යය නොවී දෙවිගේ පොරොන්දුවලට මනස යොමු කරලා තියාගන්න අපිට උදව් කරන්නේ බලාපොරොත්තුවයි. (ගීතා. 27:1, 14; ක්‍රියා 24:15) ඒත් හිස්වැස්ම වගේ ඒක පැළඳගත්තොත් විතරයි අපිට ආරක්ෂාවක් ලැබෙන්නේ, නැතුව අතේ අරන් ගියොත් නෙමෙයි. ඒ කියන්නේ අපිට තියෙන බලාපොරොත්තුව අපිට සැබෑ එකක් වෙන්න ඕනේ.

17, 18. (අ) හිස්වැස්ම ගලවන්න සාතන් අපිව පොලඹවන්න පුළුවන් කොහොමද? (ආ) අපි සාතන්ට රැවටිලා නැහැ කියලා පෙන්නන්නේ කොහොමද?

17 අපේ හිස්වැස්ම ගලවන්න සාතන් අපිව පොලඹවන්න පුළුවන් කොහොමද? එයා යේසුස්ට කරන්න හදපු දේ බලන්න. සාතන් දැනන් හිටියා යේසුස් ඉදිරියේදී රජ වෙනවා කියලා. ඒත් ඊට කලින් යේසුස් දුක් විඳලා මැරෙන්න ඕනේ. ඊටපස්සේ රජ විදිහට පත් වෙන්න යෙහෝවා දෙවි නියම කරලා තියෙන කාලය එන කල් බලන් ඉන්න ඕනේ. ඒ නිසා දුක් විඳින්නේ නැතුව, කාලයක් බලන් ඉන්නේ නැතුව ඉක්මනින්ම රජ වෙන්න පුළුවන් විදිහේ අවස්ථාවක් සාතන් යේසුස්ට ඉදිරිපත් කළා. එක වතාවක් සාතන්ට නමස්කාර කළොත් ඉක්මනින්ම මේ ලෝකේ පාලකයා වෙන්න යේසුස්ට අවස්ථාව දෙනවා කියලා සාතන් පොරොන්දු වුණා. (ලූක් 4:5-7) පාරාදීසයේදී සතුටින් ජීවත් වෙන්න ඕනෙ කරන හැම දෙයක්ම අපිට දෙන්න යෙහෝවා දෙවි පොරොන්දු වෙලා තියෙනවා කියලා සාතන් දන්නවා. ඒත් ඒ පොරොන්දු ඉටු වෙන කල් අපි කාලයක් බලන් ඉන්න ඕනේ. ඒ අතරතුරේ හුඟක් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්නත් වෙනවා. ඒ නිසා පාරාදීසය එන කල් බලන් ඉන්නේ නැතුව දැන්ම සැප පහසු ජීවිතයක් ගත කරන්න අවස්ථාව සාතන් අපිටත් දෙනවා. අපේ ජීවිතේ මුල් තැන දේවරාජ්‍යයට දෙනවා වෙනුවට සැප පහසු ජීවිතයක් ගත කරන එකට අපි මුල් තැන දෙනවා දකින්නයි සාතන්ට ඕනේ.—මතෙ. 6:31-33.

18 සාතන්ට රැවටුණේ නැති යෞවන යෞවනියන් හුඟදෙනෙක් ඉන්නවා. අවුරුදු 20ක් වයස කියානා මෙහෙම කියනවා. “අපි අද්දකින හැම ප්‍රශ්නෙකටම විසඳුම ලැබෙන්නේ දේවරාජ්‍යයෙන් විතරයි කියලා මං දන්නවා.” එයාට තියෙන ඒ බලාපොරොත්තුව එයාගේ මනසට ආරක්ෂාවක් වෙලා තියෙන්නේ කොහොමද? මේ ලෝකේ තියෙන හැම දේම තාවකාලිකයි කියලා එයා තේරුම් අරන් ඉන්නවා. ඒ නිසා නැති වෙන්න තියෙන මේ ලෝකේ හිණි පෙත්තටම යන්න හදනවා වෙනුවට කියානා එයාගේ කාලය, ශක්තිය යොදවන්නේ යෙහෝවා දෙවිට සේවය කරන්න.

ගැලවීම නමැති හිස්වැස්ම (15-18 ඡේද බලන්න)

“දෙවිගේ බලය තුළින් ලබා දී ඇති කඩුව”

19, 20. දේවවචනය තව හොඳින් පාවිච්චි කරන්න ඉගෙනගන්න අපිට පුළුවන් කොහොමද?

19 රෝම සොල්දාදුවෙක් සටනට අරන් ගියේ අඟල් 20ක් විතර දිග කඩුවක්. ඒ සොල්දාදුවන් කඩුව පාවිච්චි කරන්න හැමදාම පුහුණු වුණ නිසා එයාලා කඩු සටන්වලට හරි දක්ෂයි.

20 දේවවචනය හරියට කඩුවක් වගේ. ඒක අපිට දීලා තියෙන්නේ යෙහෝවා දෙවි. ඒත් ඒක දක්ෂ විදිහට පාවිච්චි කරන්න අපි හොඳින් පුහුණු වෙන්න ඕනේ. අපේ විශ්වාසයන් ගැන ප්‍රශ්න කරද්දී ඒවාට හොඳින් උත්තර දෙන්නත් අපි හිතන විදිහ වෙනස් කරගන්නත් අපිට පුළුවන් වෙන්නේ එතකොටයි. (2 කොරි. 10:4, 5; 2 තිමෝ. 2:15) ඒක දක්ෂ විදිහට පාවිච්චි කරන්න පුහුණු වෙන්න පුළුවන් කොහොමද? වයස 21ක් වන සෙබස්තියන් මෙහෙම කියනවා. “මං බයිබලේ කියවද්දී හැම පරිච්ඡේදයකින්ම එක පදයක් වෙනම ලියාගන්නවා. මට ඕනෙ මං ආසම බයිබල් පදවල ලැයිස්තුවක් හදන්න.” යෙහෝවා දෙවි හිතන විදිහ තව හොඳින් තේරුම්ගන්න ඒක එයාට උදව් වෙලා තියෙනවා. ඩැනියෙල් කියන්නේ මෙහෙමයි. “මං බයිබලේ කියවද්දී සේවේදී හම්බ වෙන අයට උදව් වෙයි කියලා හිතෙන බයිබල් පද තෝරගන්නවා. බයිබලේ ගැන ඔයාට ලොකු ආදරයක් තියෙනවා කියලත් මිනිසුන්ට උදව් කරන්න ඔයා ලොකු උත්සාහයක් ගන්නවා කියලත් මිනිසුන්ට දැනෙද්දී එයාලා අපේ පණිවිඩේ අහන්න තියෙන අවස්ථාව වැඩියි.”

දෙවිගේ බලය තුළින් ලබා දී ඇති කඩුව (19-20 ඡේද බලන්න)

21. සාතන්ටවත් භූතයන්ටවත් අපි බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

21 මේ ලිපියේ බලපු යෞවනයන්ගේ අද්දැකීම්වලින් තේරෙනවා අපි සාතන්ටවත් භූතයන්ටවත් බය වෙන්න ඕනෙ නැහැ කියලා. ඇත්ත එයාලා බලවත්. ඒත් යෙහෝවා දෙවි තරම් එයාලා බලවත් නැහැ. එයාලා සදාකල් ජීවත් වෙන්නෙත් නැහැ. යේසුස්ගේ දහස් අවුරුදු පාලන කාලෙදී එයාලව හිර කරලා තියෙන නිසා කාටවත් කිසිම දෙයක් කරන්න එයාලට පුළුවන් වෙන්නේ නැහැ. ඊටපස්සේ එයාලව විනාශ කරනවා. (එළි. 20:1-3, 7-10) අපි අපේ සතුරාව, එයාගේ උපායන්, එයාගේ අරමුණ හඳුනගෙනයි ඉන්නේ. ඒ නිසා යෙහෝවා දෙවිගේ උදව්වෙන් සාතන්ට විරුද්ධව නොසැලී ස්ථිරව ඉන්න අපිට පුළුවන්.