Skip to content

පටුනට යන්න

2012දී යුක්රේනයේ නිෂ්න්‍යො අප්ෂාවල තිබුණ තුන්දින සමුළුවක්

සරු අස්වැන්නක්!

සරු අස්වැන්නක්!

මේ දුෂ්ට සමාජයේ අවසාන කාලේදී විශාල පිරිසක් සත්‍යය ගැන දැනගන්න කැමති වෙනවා කියලා යේසුස් කිව්වා. ඔහු ඒ අයව සමාන කළේ විශාල අස්වැන්නකට. (මතෙ. 9:37; 24:14) යේසුස් කියපු ඒ වචන යුක්රේනයේ ට්‍රාන්ස්කාපතියා ප්‍රදේශයේ ඉටු වෙලා තියෙන විදිහ බලන්න. ඒ ප්‍රදේශයේ එකිනෙකට කිට්ටුවෙන් තියෙන නගර 3ක විතරක් සභා 50ක ප්‍රචාරකයන් 5,400කට වඩා ඉන්නවා. ඒ නගර තුනේ ඉන්න මුළු ජනයාගේ එකතුව අරන් බලද්දී හැම 4දෙනෙක්ගෙන් එක් කෙනෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්.

ඒ ප්‍රදේශයේ ඉන්නේ මොන වගේ අයද? “මෙහේ ඉන්නේ බයිබලේ අගය කරන, නීතියට ගරු කරන, පවුල් බැඳීම් රැකගන්න කැමති, එකිනෙකාට උදව් කරන පිරිසක්. එයාලා අපි විශ්වාස කරන හැම දේකටම එකඟ වෙන්නේ නෑ. ඒත් අපි මොනවා හරි බයිබලෙන් පෙන්නුවාම එයාලා ඒකට හොඳට සවන් දෙනවා” කියලා සහෝදර වාසිලෙ කියනවා.

ඒ ප්‍රදේශයේ ඉන්න ජනගහනය එක්ක බලද්දී ප්‍රචාරකයන් ලොකු පිරිසක් ඉන්න නිසා එයාලා මුහුණ දෙන්නේ වෙනස්ම විදිහේ අභියෝගවලට. උදාහරණෙකට එක සභාවක ප්‍රචාරකයන් 134දෙනෙක් ඉන්නවා. ඒත් එයාලගේ ප්‍රදේශයේ තියෙන්නේ ගෙවල් 50ක් විතරයි. සහෝදරයන් ඒ අභියෝගය ජය ගත්තේ කොහොමද?

හුඟක් සහෝදර සහෝදරියන් ප්‍රචාරකයන් අඩු පළාත්වලට ගිහින් සේවය කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. වයස 90ක් වන සහෝදර යෝනාෂ් මෙහෙම කියනවා. “අපිට සේවේ කරන්න තියෙන ප්‍රදේශයේ ඉන්න සෙනඟයි, අපේ සභාවේ ඉන්න ප්‍රචාරකයන් ගාණයි බලද්දී එක ප්‍රචාරකයෙක්ට දේශනා කරන්න තියෙන්නේ ගෙවල් දෙකකට විතරයි. මං අපේ ගමෙත් දේශනා කරනවා. ඒ එක්කම අසනීප වෙන්න කලින් මේ ළඟක් වෙන කල්ම මං කි.මී. 160ක් විතර දුර තියෙන කලාතුරකින් සේවය කරන ප්‍රදේශයකට ගිහිල්ලත් සේවේ කළා. එහේ ඉන්න වැඩිදෙනෙක් හංගේරියානු භාෂාව කතා කරන අය.” එහෙම වෙන ප්‍රදේශයකට ගිහින් සේවය කරන්න ඒ සහෝදරයන්ට ලොකු කැප කිරීම් කරන්නත් වෙනවා. “වෙලාවට කෝච්චිය අල්ලගන්න නිසා මං නැඟිටින්නේ පාන්දර 4ට. ආපහු ගෙදර එන්නේ හවස හයේ කෝච්චියේ. ඒ වෙන කල්ම මං දේශනා කරනවා. මං සතියට දවස් දෙක තුනක්ම ඔය විදිහට කළා” කියලා සහෝදර යෝනාෂ් කියනවා. එච්චර මහන්සි වුණ එක ගැන එයාට හැඟෙන්නේ කොහොමද? එයා මෙහෙම කියනවා. “ඒ සේවෙන් මං ලැබුවේ ලොකු සතුටක්. පිටිසර පැත්තක ඉන්න පවුලකට සත්‍යයට එන්න උදව් කරන්නත් මට පුළුවන් වුණා.”

ඒ ප්‍රදේශයේ තියෙන සභාවල ඉන්න හැමෝටම එහෙම දුර පළාත්වලට ගිහින් සේවය කරන්න බැහැ තමයි. ඒත් මහලු අය ඇතුළුව හැම ප්‍රචාරකයෙක්ම එයාලට සේවය කරන්න තියෙන ප්‍රදේශයේ එක ගෙයක්වත් අත් නෑර සම්පූර්ණ සාක්ෂියක් දරන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 2017 සිහි කිරීමට ඒ නගර තුනේ ඉන්න සෙනඟගෙන් භාගයක්ම සහභාගි වුණා. ඒ කියන්නේ එහේ ඉන්න ප්‍රචාරකයන්ගේ ගාණ වගේ දෙගුණයක්. අපි කොහේ සේවය කළත් ‘ස්වාමීන් වෙනුවෙන්’ කරන්න විශාල වැඩ කොටසක් තවමත් තියෙනවා.—1 කොරි. 15:58.