Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 19

දෙවියන්ගේ නීතියට ප්‍රිය කරන අය පය පැටලී වැටෙන්නේ නැහැ

දෙවියන්ගේ නීතියට ප්‍රිය කරන අය පය පැටලී වැටෙන්නේ නැහැ

“ඔබේ නීතියට ප්‍රිය කරන අය මහත් සමාදානයක් අද්දකිනු ඇත. පය පැටලී ඔවුහු කිසිවිටක වැටෙන්නේ නැත.”—ගීතා. 119:165.

ගීතිකාව 122 ස්ථිරව නොසැලී සිටිමු

මේ ලිපියෙන් *

1-2. එක ලේඛකයෙක් කියලා තියෙන්නේ මොනවාද? මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

අද ඉන්න මිලියන ගාණක් මිනිස්සු කියන්නේ එයාලා යේසුස්ව විශ්වාස කරනවා කියලා. හැබැයි ඒ අය යේසුස් කියපු විදිහට ජීවත් වෙන්නේ නැහැ. (2 තිමෝ. 4:3, 4) එක ලේඛකයෙක් කියලා තියෙන දේ බලන්න. “යේසුස් වගේ තවත් කෙනෙක් ඇවිත් මීට අවුරුදු 2,000කට කලින් යේසුස් උගන්නපු දේවල්ම ඉගැන්නුවොත් මිනිස්සු එයාව පිළිගනියිද? එහෙම වෙයි කියලා හිතන්න බැහැ.”

2 යේසුස්ගේ කාලේ හිටපු මිනිස්සු යේසුස්ගේ ඉගැන්වීම්වලට ඇහුම්කන් දුන්නත් ඔහු කරපු ආශ්චර්යයන් දැක්කත් ඒ අයගෙන් වැඩිදෙනෙක් යේසුස්ව විශ්වාස කළේ නැහැ. ඒ ඇයි? ඒකට හේතු වෙච්ච කාරණා හතරක් ගැන අපි කලින් ලිපියේ බැලුවා. ඒකට හේතු වුණ තවත් කාරණා හතරක් අපි මේ ලිපියෙන් බලමු. ඒ වගේම අද ඉන්න හුඟදෙනෙක් යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ව පිළිගන්නේ නැත්තේ ඇයි කියලත් මොනම හේතුවක් නිසාවත් දෙවියන්ට කරන සේවය නතර කරන්නේ නැතුව ඉන්න අපිට පුළුවන් කොහොමද කියලත් අපි බලමු.

(1) යේසුස් හැමෝටම එක හා සමානව සැලකුවා

යේසුස් ආශ්‍රය කරපු අය නිසා හුඟක් අය ඔහුව ගැලවුම්කරු විදිහට පිළිගත්තේ නැහැ. ඒ දේම අද ඉන්න සමහර අයටත් බාධාවක් වෙන්න පුළුවන් කොහොමද? (3 ඡේදය බලන්න) *

3. සමහර අය යේසුස්ව ප්‍රතික්ෂේප කළේ යේසුස් කරපු මොන දේ නිසාද?

3 යේසුස් පොළොවේ හිටපු කාලෙදී හැමෝටම සැලකුවේ එක විදිහට. උදාහරණෙකට ඔහු හුඟක් පොහොසත් බලවත් අය එක්ක එකට ඉඳන් කෑම කෑවා. ඒ වගේම අන්ත අසරණ තත්වයේ හිටපු මිනිසුන්වත් ඔහු ආශ්‍රය කළා. ඒ විතරක් නෙවෙයි සමාජයේ අය පව්කාරයන් විදිහට සලකපු අයටත් ඔහු ආදරෙන් සැලකුවා. හැබැයි උඩඟු විදිහට වැඩ කරපු අය නම් ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඒ නිසා එයාලා යේසුස්ගේ ගෝලයන්ගෙන් මෙහෙම ඇහුවා. “ඔබ බදු එකතු කරන්නන් හා පව්කාරයන් සමඟ එකම මේසයේ ඉඳගෙන කන්නෙත් බොන්නෙත් ඇයි?” එතකොට යේසුස් මෙහෙම කිව්වා. “රෝගීන්ට මිස නිරෝගී අයට වෛද්‍යවරයෙකුගෙන් වැඩක් නැහැ. මා ආවේ පව්කාරයන්ට පසුතැවිලි වෙන්න උපකාර කරන්න මිස ධර්මිෂ්ඨයන්ට උපකාර කරන්න නොවෙයි.”—ලූක් 5:29-32.

4. යෙසායා ගැලවුම්කරු ගැන කලින්ම කියලා තිබ්බේ මොනවාද?

4 ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙන්නේ මොනවාද? යෙසායා ගොඩක් කාලෙකට කලින් ගැලවුම්කරු ගැන මෙහෙම කියලා තිබුණා. “ඔහු මිනිසුන් විසින් සුළු කොට එපා කරනු ලැබුවේය. අපි ඔහු ගැන කිසිදු තැකීමක් නොකර ඔහුව හෙළාදුටුවෙමු. අපි ඔහුගේ මුහුණ බැලුවේවත් නැත.” (යෙසා. 53:3) ඒ අනාවැකියේ පැහැදිලිවම සඳහන් වෙලා තිබුණා මිනිස්සු ගැලවුම්කරුව පිළිගන්නේ නැහැ කියලා. මුල් සියවසේ හිටපු යුදෙව්වන් ඒක තේරුම් අරගෙන හිටියා නම් යේසුස්ට ඒ දේ වුණ එක ගැන එයාලා පුදුම වෙන්න ඕනෙ නැහැ.

5. යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් ගැන අද ඉන්න හුඟදෙනෙක් හිතන්නේ මොන විදිහටද?

5 අද කාලේ ඉන්නෙත් ඒ වගේ අයද? ඔව්. අද ඉන්න ආගමික නායකයන් පොහොසත්, ප්‍රසිද්ධ, උගත් අය එයාලගේ ආගමේ සාමාජිකයන් වෙද්දී ඒ ගැන හුඟක් සතුටු වෙනවා. ඒ අය අතරින් හුඟදෙනෙක් ජීවත් වෙන්නේ දෙවියන් අකමැති විදිහට වුණත් ආගමික නායකයන්ට ඒ ගැන කිසිම ගාණක් නැහැ. හැබැයි දෙවියන් දීලා තියෙන උසස් සදාචාර ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ව ඒ ආගමික නායකයන් පහත් කරලා සලකනවා. එහෙම කරන්නේ එයාලට සමාජයෙන් ලොකු පිළිගැනීමක් නැති නිසයි. හැබැයි යෙහෝවා දෙවියන්ට නම් ඒ අයව හුඟක් වටිනවා. මිනිසුන් හෙළා දකින අයවත් කිසිම පිළිගැනීමක් නැති අයවත් ඔහු තමන්ගේ සෙනඟ විදිහට පිළි අරගෙන තියෙනවා.—1 කොරි. 1:26-29.

6. මතෙව් 11:25, 26 යේසුස් කියලා තියෙන්නේ මොනවාද? ඔහුව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

6 අපි කරන්න ඕනෙ මොනවාද? (මතෙව් 11:25, 26 කියවන්න.) දෙවියන්ගේ සෙනඟ ගැන ලෝකයේ අය හිතන විදිහට හිතන්න එපා. යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟ විදිහට තෝරගන්නේ නිහතමානී අයව කියලා තේරුම්ගන්න. (ගීතා. 138:6) ඒ අය උගත් නැහැ, බුද්ධිමත් නැහැ කියලා ලෝකයේ අය හිතුවත් එයාලා මාර්ගයෙන් යෙහෝවා දෙවියන් කොච්චර දේවල් කරලා තියෙනවාද කියලා හොඳට හිතන්න.

(2) යේසුස් වැරදි ඉගැන්වීම් හෙළි කළා

7. යේසුස් පරිසිවරුන්ට කුහකයන් කියලා කිව්වේ ඇයි? ඒ ගැන එයාලට හැඟුණේ කොහොමද?

7 යේසුස් ඒ කාලේ හිටපු ආගමික නායකයන්ගේ කුහකකම් ගැන ප්‍රසිද්ධියේම කිව්වා. උදාහරණෙකට එයාලා අත් හෝදන එක ගැන මහා ලොකුවට කතා කළත් එයාලගේ දෙමව්පියන්ව බලාගන්න එක ගැන කිසිම තැකීමක් කළේ නැහැ. (මතෙ. 15:1-11) යේසුස් ඒ දේවල් ප්‍රසිද්ධියේම කියපු එක ගැන ඔහුගේ ගෝලයන්ට පුදුම හිතෙන්න ඇති. එයාලා යේසුස්ගෙන් ඇහුවා “ඔබ කී දේ අසා මේ පරිසිවරුන් කෝප වූ බව ඔබ දන්නවාද” කියලා. එතකොට යේසුස් මෙහෙම කිව්වා. “ස්වර්ගයේ සිටින මගේ පියාණන් පැළ නොකළ සෑම පැළයක්ම උදුරා දමනු ලබයි. ඔවුන් ඔහේ සිටියාවේ. ඔවුන් අන්ධ මඟ පෙන්වන්නෝ වගෙයි. අන්ධ මිනිසෙක් තවත් අන්ධ මිනිසෙකුට මඟ පෙන්නුවොත් ඒ දෙදෙනාම වළක වැටෙයි.” (මතෙ. 15:12-14) යේසුස් කියපු දේවල් ගැන ආගමික නායකයන්ට හුඟක් කේන්ති ගියා. හැබැයි ඔහු ඇත්ත කතා කරන එක නතර කළේ නැහැ.

8. දෙවියන් හැම ආගමක්ම පිළිගන්නේ නැහැ කියලා යේසුස් පෙන්නලා දුන්නේ කොහොමද?

8 ආගමික නායකයන්ගේ බොරු ඉගැන්වීම් ගැනත් යේසුස් හෙළි කළා. ඔහු කිව්වා හොඳට ඉඩකඩ තියෙන විනාශයට යන පළල් පාරේ හුඟදෙනෙක් ගියත් ඒ තරම් ඉඩකඩ නැති ජීවනයට යන පටු පාරේ යන්නේ ටිකදෙනයි කියලා. (මතෙ. 7:13, 14) ඔහු පැහැදිලිවම කිව්වා සමහර අය දෙවියන්ට සේවය කරනවා වගේ පේන්න හිටියත් ඇත්තටම එයාලා එහෙම කරන්නේ නැහැ කියලා. ඒ වගේ අය ගැන යේසුස් මෙහෙම අනතුරු ඇඟෙව්වා. “බොරු අනාගතවක්තෘවරුන් ගැන සෝදිසියෙන් සිටින්න. ඔවුන් බැටළු වෙස් ගෙන ඔබ වෙතට පැමිණියත් ඔවුන් ඇතුළතින් රෞද්‍ර වෘකයෝයි. නමුත් ඔවුන්ගේ පලවලින් ඔබට ඔවුන්ව හඳුනාගත හැකියි.”—මතෙ. 7:15-20.

යේසුස් බොරු ඉගැන්වීම් සහ චාරිත්‍ර හෙළි කරපු නිසා හුඟක් අය ඔහුව ගැලවුම්කරු විදිහට පිළිගත්තේ නැහැ. ඒ දේම අද ඉන්න සමහර අයටත් බාධාවක් වෙන්න පුළුවන් කොහොමද? (9 ඡේදය බලන්න) *

9. යේසුස් හෙළි කරපු සමහර බොරු ඉගැන්වීම් මොනවාද?

9 ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙන්නේ මොනවාද? ගැලවුම්කරුට දෙවියන්ගේ ගෘහය ගැන කොයි තරම් ළැදියාවක් තියෙනවාද කියලා බයිබල් අනාවැකිවල සඳහන් වෙලා තිබුණා. (ගීතා. 69:9; යොහ. 2:14-17) ආගමික නායකයන්ගේ බොරු ඉගැන්වීම් ගැනත් බොරු චාරිත්‍රයන් ගැනත් යේසුස් හෙළි කළේ දෙවියන්ගේ ගෘහය ගැන ඔහුට තිබුණු ළැදියාව නිසයි. උදාහරණෙකට පරිසිවරු විශ්වාස කළා කෙනෙක් මැරුණාම නොමැරී පවතින දෙයක් ඉතුරු වෙනවා කියලා. හැබැයි යේසුස් කිව්වා මැරුණ කෙනෙක් ඉන්නේ තද නින්දක කියලා. (යොහ. 11:11) සද්දුසිවරු නැවත නැඟිටීම ගැන විශ්වාස කළේ නැහැ. හැබැයි යේසුස් ලාසරුස්ව නැවත නැඟිට්ටෙව්වා. (යොහ. 11:43, 44; ක්‍රියා 23:8) පරිසිවරු කිව්වේ හැම දෙයක්ම වෙන්නේ දෛවයට අනුව සහ දෙවියන්ගේ කැමැත්තට අනුව කියලා. හැබැයි යේසුස් කිව්වා තීරණ ගන්න මිනිසුන්ට නිදහස තියෙනවා කියලා. ඇත්තටම දෙවියන්ට සේවය කරනවාද, නැද්ද කියලා තීරණය කරන්න ඕනම කෙනෙක්ට නිදහස තියෙනවා.—මතෙ. 11:28.

10. අපි උගන්වන දේවල් හුඟදෙනෙක් පිළිගන්නේ නැත්තේ ඇයි?

10 අද කාලේ ඉන්නෙත් ඒ වගේ අයද? අපි බයිබලෙන් උගන්වද්දී අනිත් ආගම්වල උගන්වන දේවල් බොරුයි කියලා ඔප්පු වෙන නිසා හුඟක් අය අපිට ඇහුම්කන් දෙන්න කැමති නැහැ. උදාහරණෙකට පූජකයන් උගන්වනවා වැරදි කරන අය මැරුණාට පස්සේ දෙවියන් එයාලව නිරයක දාලා වධ විඳින්න සලස්වනවා කියලා. ඒ වගේ බොරු දේවල් උගන්වලා මිනිසුන්ව තමන් යටතේ තියාගන්නයි පූජකයන් උත්සාහ කරන්නේ. හැබැයි ප්‍රේමයේ උල්පත වන යෙහෝවා දෙවියන් ගැන උගන්වලා තියෙන ඒ දේ බොරුවක් කියලා අපි හෙළි කරනවා. පූජකයන් උගන්වනවා කෙනෙක් මැරුණාට පස්සේ නොමැරී පවතින දෙයක් ඉතුරු වෙනවා කියලා. හැබැයි ඒ ඉගැන්වීම පදනම් වෙලා තියෙන්නේ මිථ්‍යා විශ්වාසයක් මත කියලත් ඒ ඉගැන්වීම ඇත්තක් නම් කිසිම කෙනෙක්ට නැවත නැඟිටීමක් ඕනෙ වෙන්නේ නැහැ කියලා තේරුම්ගන්නත් අපි මිනිසුන්ට උදව් කරනවා. ඒ වගේම හුඟක් ආගම්වලින් උගන්වනවා හැම දෙයක්ම වෙන්නේ දෛවයට අනුව නැත්නම් දෙවියන්ගේ කැමැත්ත අනුවයි කියලා. හැබැයි ඒක බොරුවක් කියලත් දෙවියන්ට සේවය කරනවාද, නැද්ද කියලා තීරණය කරන්න හැමෝටම නිදහස තියෙනවා කියලත් අපි උගන්වනවා. ආගමික නායකයන්ගේ බොරු ඉගැන්වීම් අපි හෙළි කරන නිසා එයාලා ඉන්නේ පුදුම කේන්තියකින්.

11. යොහන් 8:45-47 අනුව දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

11 අපි කරන්න ඕනෙ මොනවාද? අපි සත්‍යයට ළැදි නම් දෙවියන් කියන දේවල් පිළි අරන් ඒවාට කීකරු වෙන්න ඕනේ. (යොහන් 8:45-47 කියවන්න.) අපිට ඕනෙ යක්ෂයා වගේ වෙන්නේ නැතුව සත්‍යය මාර්ගයේ දිගටම ඉන්න. (යොහ. 8:44) අපේ විශ්වාසයන්වලට පටහැනි කිසිම දෙයක් අපි කරන්නේ නැහැ. අපි යේසුස් වගේ “දුෂ්ට දේවල් පිළිකුල් කරයි” කියලත් “අත්නෑර යහපත් දේවලට ඇලුම් කරයි” කියලත් දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙනවා.—රෝම 12:9; හෙබ්‍රෙ. 1:9.

(3) යේසුස්ට පීඩා කළා

යේසුස් වධකණුවක මිය ගිය නිසා හුඟක් අය ඔහුව ගැලවුම්කරු විදිහට පිළිගත්තේ නැහැ. ඒ දේම අද ඉන්න සමහර අයටත් බාධාවක් වෙන්න පුළුවන් කොහොමද? (12 ඡේදය බලන්න) *

12. යේසුස් මැරුණ විදිහ නිසා ඔහු ගැලවුම්කරු කියලා පිළිගන්න හුඟක් අය අකමැති වුණේ ඇයි?

12 යේසුස්ගේ කාලේ හිටපු යුදෙව්වන් යේසුස්ව ගැලවුම්කරු කියලා පිළිනොගන්න හේතු වුණ තවත් දෙයක් මොකක්ද? පාවුල් මෙහෙම කිව්වා. “අප දේශනා කරන්නේ වධකණුවක ඇණ ගසා මරනු ලැබූ ක්‍රිස්තුස් ගැනයි. යුදෙව්වරු ඒ ගැන කෝප වී එය පිළි නොගනිති.” (1 කොරි. 1:23) ඒකෙන් පැහැදිලි වෙනවා යේසුස් මැරුණ විදිහ නිසාත් හුඟක් අය ඔහු ගැලවුම්කරු බව පිළි අරගෙන නැහැ කියලා. යේසුස් වධකණුවක මැරුණ නිසා එයාලා යේසුස්ව දැක්කේ අපරාධකාරයෙක් සහ පව්කාරයෙක් විදිහට මිසක් ගැලවුම්කරු විදිහට නෙවෙයි.—ද්වි. 21:22, 23.

13. යේසුස් ගැලවුම්කරු කියලා පිළිගත්තේ නැති අය තේරුම් අරන් හිටියේ නැත්තේ මොනවාද?

13 යේසුස් කිසිම වරදක් කරලා තිබුණේ නැහැ. ඔහුව අත්අඩංගුවට අරන් තිබුණේ බොරු චෝදනා මත. ඔහුට සලකලා තිබුණේ හරිම අසාධාරණ විදිහට. යේසුස්ව ගැලවුම්කරු විදිහට පිළිගත්තේ නැති අය ඒ වැදගත් කාරණා තේරුම් අරන් තිබුණේ නැහැ. යේසුස්ගේ නඩු විභාගය පවත්වපු අය යුක්තිය කණපිට පෙරළුවා. යුදෙව් ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඔහුගේ නඩුව පැවැත්තුවේ නීති විරෝධී විදිහට. (ලූක් 22:54; යොහ. 18:24) යේසුස්ගේ නඩුව විභාග කරපු අය යේසුස්ට එල්ල වෙලා තිබුණු චෝදනා ඇත්තද, බොරුද කියලා හොයලා බලනවා වෙනුවට යේසුස්ව මරන්න ඔහුට විරුද්ධව “බොරු සාක්ෂි” හෙව්වා. ඒ දේ කරගන්න බැරි වුණාම යේසුස් වැරදිකාරයෙක් කියලා ඔප්පු වෙන දෙයක් ඔහුගේම කටෙන් කියවගන්න උත්තම පූජකයා උත්සාහ කළා. ඒක නීති විරෝධියි. (මතෙ. 26:59; මාක් 14:55-64) යේසුස්ගේ නැවත නැඟිටීම බොරුවක් කියලා ඔප්පු කරන්නත් එයාලා උත්සාහ කළා. එයාලා යේසුස්ගේ සොහොන් ගෙය මුර කරපු සෙබළුන්ට “ප්‍රමාණවත් රිදී කාසි දීලා” කිව්වා යේසුස්ගේ සොහොන් ගෙය හිස් වෙලා තියෙන එක ගැන බොරු කතාවක් පතුරුවන්න කියලා.—මතෙ. 28:11-15.

14. ගැලවුම්කරුගේ මරණය ගැන කලින්ම ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙලා තිබුණේ මොනවාද?

14 ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙන්නේ මොනවාද? ගැලවුම්කරුට මිය යන්න සිද්ධ වෙනවා කියලා හුඟක් යුදෙව්වන් තේරුම් අරගෙන තිබුණේ නැති වුණත් ශුද්ධ ලියවිල්ලේ කලින්ම මෙහෙම සඳහන් වෙලා තිබුණා. “ඔහු තම දිවි පිදුවේය. පව්කාරයෙකු මෙන් ගණන් ගනු ලැබූ ඔහු පව්කාරයන් වෙනුවෙන් මැදිහත් වී බොහෝදෙනෙකුගේ පාප දැරුවේය.” (යෙසා. 53:12) එහෙම බලද්දී යේසුස්ට පව්කාරයෙක් විදිහට මිය යන්න සිද්ධ වෙච්ච නිසා ඔහු ගැලවුම්කරු නෙවෙයි කියලා හිතන්න යුදෙව්වන්ට කිසිම හේතුවක් තිබුණේ නැහැ.

15. ගොඩක් අය සාක්ෂිකරුවන්ව ප්‍රතික්ෂේප කරන්නේ එයාලට තියෙන මොන චෝදනා නිසාද?

15 අද කාලේ ඉන්නෙත් ඒ වගේ අයද? ඔව්. එදා යේසුස් මුහුණ දුන්නා වගේ අසාධාරණකම්වලට මුහුණ දෙන්න මෑත කාලේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ටත් සිද්ධ වෙලා තියෙනවා. උදාහරණෙකට 1930ත් 1940ත් අතර කාලෙදී ඇමරිකාවේ අපේ සහෝදරයන්ට නමස්කාර කටයුතු නිදහසේ කරගෙන යන්න කීප වතාවක්ම උසාවිවල පෙනී ඉන්න සිද්ධ වුණා. ඒ වගේ අවස්ථාවලදී සමහර විනිසුරුවන් ප්‍රසිද්ධියේම අපිට විරුද්ධව කතා කරලා තියෙනවා. කැනඩාවෙත් පූජකයනුයි, රජයයි එකතු වෙලා අපේ වැඩ තහනම් කරන්න උත්සාහ කළා. ප්‍රතිඵලයක් විදිහට අසල්වැසියන්ට දේවරාජ්‍යය ගැන ශුභාරංචිය කියපු නිසා එහේ ඉන්න හුඟක් ප්‍රචාරකයන්ට හිරේ යන්න සිද්ධ වුණා. ජර්මනියේ නාට්සි පාලනය පැවතුණ කාලේ දිගටම දෙවියන්ට විශ්වාසවන්තව හිටපු තරුණ සහෝදරයන් හුඟදෙනෙක්ව කුරිරු විදිහට මරලා දැම්මා. මෑත කාලේ රුසියාවේ සහෝදරයන්වත් බයිබලේ දේවල් උගන්වන නිසා හිරේ දාලා තියෙනවා. ශුභාරංචිය දේශනා කරන එක ඒ රජය සලකන්නේ අන්තවාදී ක්‍රියාවක් විදිහට. එයාලා රුසියානු භාෂාවෙන් තියෙන ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ අන්තවාදී අදහස් තියෙන පොතක් විදිහට නම් කරලා තහනම් කරලා තියෙනවා. එහෙම කරලා තියෙන්නේ ඒකේ යෙහෝවා කියන නම තියෙන නිසයි.

16. 1 යොහන් 4:1 අනුව මිනිස්සු යෙහෝවා දෙවියන්ගේ සෙනඟ ගැන කියන බොරුවලට අපි රැවටෙන්න හොඳ නැත්තේ ඇයි?

16 අපි කරන්න ඕනෙ මොනවාද? කන්ද උඩ දේශනයේදී යේසුස් කිව්වා සමහර අය ඔහුගේ අනුගාමිකයන්ට ‘විරුද්ධව බොරු චෝදනා නඟයි, සියලු ආකාර දුෂ්ට දේවල් කියයි’ කියලා. (මතෙ. 5:11) ඒ හැම දෙයක්ම පිටිපස්සේ ඉන්නේ සාතන්. සත්‍යයට ආදරය කරන අය ගැන අමූලික බොරු පතුරුවන්න සාතන් මිනිසුන්ව පොලඹවනවා. (එළි. 12:9, 10) අපි කවදාවත් ඒ බොරුවලට රැවටෙන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපි බය වෙන්නත් දෙවියන් ගැන අපිට තියෙන විශ්වාසය දුර්වල වෙන්නත් පුළුවන්.1 යොහන් 4:1 කියවන්න.

(4) යේසුස්ව පාවා දුන්නා, ඔහුව අත්හැරියා

යූදස් යේසුස්ව පාවලා දුන්න නිසා හුඟක් අය යේසුස්ව ගැලවුම්කරු විදිහට පිළිගත්තේ නැහැ. ඒ දේ අද ඉන්න සමහර අයටත් බාධාවක් වෙන්න පුළුවන් කොහොමද? (17-18 ඡේද බලන්න) *

17. යේසුස්ගේ මරණයට කලින් සිද්ධ වෙච්ච දේවල් ගැන සමහර අයට කොහොම හිතෙන්න ඇද්ද?

17 යේසුස් මැරෙන්න ටිකකට කලින් නියෝජිතයන් 12දෙනාගෙන් කෙනෙක් ඔහුව පාවලා දුන්නා. තවත් නියෝජිතයෙක් යේසුස්ව අඳුනන්නේ නැහැ කියලා තුන්පාරක්ම කිව්වා. ඒ විතරක් නෙවෙයි, යේසුස් මැරෙන්න කලින් නියෝජිතයන් හැමෝම ඔහුව දාලා ගියා. (මතෙ. 26:14-16, 47, 56, 75) හැබැයි යේසුස් නම් ඒ ගැන පුදුම වුණේ නැහැ. මොකද ඔහු කලින්ම කියලා තිබුණා ඒ දේවල් ඒ විදිහටම වෙනවා කියලා. (යොහ. 6:64; 13:21, 26, 38; 16:32) සිද්ධ වෙච්ච ඒ දේවල් දැකපු අයට සමහරවිට හිතෙන්න ඇති ‘මේ වගේ අයත් එක්ක එකතු වෙන්න මට නම් ඕනෙ නැහැ’ කියලා.

18. යේසුස්ගේ මරණයට කලින් සිද්ධ වෙන දේවල් ගැන ලියවිලා තිබුණු අනාවැකි මොනවාද?

18 ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙන්නේ මොනවාද? සියවස් ගාණකට කලින්ම යෙහෝවා දෙවියන් කියලා තිබුණා ගැලවුම්කරුව රිදී කාසි තිහකට පාවලා දෙනවා කියලා. (සෙක. 11:12, 13) ඒ කෙනා යේසුස්ගේ කිට්ටුම යාළුවෙක් කියලත් කලින්ම සඳහන් වුණා. (ගීතා. 41:9) යේසුස්ව අත්අඩංගුවට ගත්තට පස්සේ සිද්ධ වෙන දෙයක් ගැන සෙකරියා කලින්ම මෙහෙම කියලා තිබුණා. “එඬේරාට පහර දෙන්න. එවිට රැළේ බැටළුවෝ සීසීකඩ විසිරී යනු ඇත.” (සෙක. 13:7) ඉතින් අවංක හදවත් තිබුණු අය ඒ අනාවැකි ඒ විදිහටම ඉටු වෙනවා දකිද්දී එයාලගේ විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න ඇති.

19. අවංක අය තේරුම්ගන්නේ මොනවාද?

19 අද කාලේ ඉන්නෙත් ඒ වගේ අයද? ඔව්. සාක්ෂිකරුවන් වෙලා හිටපු සමහර අය සත්‍යයට විරුද්ධව කැරලි ගහලා තියෙනවා. ඒ අය ජනමාධ්‍ය සහ අන්තර්ජාලය පාවිච්චි කරලා සාක්ෂිකරුවන් ගැන බොරු තොරතුරු පතුරුවනවා. ඒ අය එහෙම කරන්නේ අනිත් අයවත් තමන්ගේ පැත්තට හරවාගන්න බලාපොරොත්තුවෙන්. හැබැයි අවංක අය කවදාවත් එයාලට රැවටෙන්නේ නැහැ. මොකද එයාලා දන්නවා ඒ වගේ දේවල් ගැන බයිබලේ අනතුරු අඟවලා තියෙනවා කියලා.—මතෙ. 24:24; 2 පේතෘ. 2:18-22.

20. සත්‍යය අත්හැරපු අය කියන දේවලට රැවටෙන්නේ නැතුව ඉන්න අපිට පුළුවන් කොහොමද? (2 තිමෝති 4:4, 5)

20 අපි කරන්න ඕනෙ මොනවාද? අපි අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න ඕනේ. නොකඩවා බයිබලය අධ්‍යයනය කරන එක, යාච්ඤා කරන එක සහ උද්‍යෝගයෙන් සේවේ හවුල් වෙන එක ඒ දේ කරන්න අපිට උදව් වෙනවා. (2 තිමෝති 4:4, 5 කියවන්න.) අපිට ශක්තිමත් විශ්වාසයක් තියෙනවා නම් සාක්ෂිකරුවන් ගැන බොරු තොරතුරු අහන්න ලැබෙද්දී අපි කලබල වෙන්නේ නැහැ. (යෙසා. 28:16) ඇත්තටම අපි යෙහෝවා දෙවියන්ට, සත්‍යයට සහ අපේ සහෝදරයන්ට ළැදි නම් සත්‍යය අත්හැරලා ගිය අයට රැවටෙන්නේ නැතුව ඉන්න අපිට පුළුවන් වෙනවා.

21. හුඟක් අය අපේ පණිවිඩය ප්‍රතික්ෂේප කළත් අපිට නිසැක වෙන්න පුළුවන් මොකක් ගැනද?

21 මුල් සියවසේ හිටපු හුඟදෙනෙක් යේසුස්ව ගැලවුම්කරු විදිහට පිළිගත්තේ නැහැ. හැබැයි ඔහුව පිළිගත්ත හුඟදෙනෙකුත් හිටියා. ඒ අය අතරේ අඩුම තරමේ යුදෙව් මහාධිකරණයේ සාමාජිකයෙකුත් පූජකයන් විශාල පිරිසකුත් ඉඳලා තියෙනවා. (ක්‍රියා 6:7; මතෙ. 27:57-60; මාක් 15:43) අද ඉන්න මිලියන ගාණක් යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් වෙලා තියෙනවා. මොකද ඒ අය බයිබලේ තියෙන වටිනා සත්‍යයන් තේරුම් අරන් තියෙනවා. ඒ ගැන එයාලට තියෙන්නේ ලොකු අගයක්. ඒ වගේ අය ගැන බයිබලේ කියන්නේ මෙහෙමයි. ‘ඔබේ නීතියට ප්‍රිය කරන අය මහත් සමාදානයක් අද්දකිනු ඇත. පය පැටලී ඔවුහු කිසිවිටක වැටෙන්නේ නැත.’—ගීතා. 119:165.

ගීතිකාව 124 යෙහෝවා දෙවිට ළැදි වෙමු

^ 5 ඡේ. මිනිස්සු යේසුස්ව පිළි නොගන්නත් අපිව පිළි නොගන්නත් හේතු වෙච්ච කාරණා හතරක් ගැන අපි කලින් ලිපියෙන් බැලුවා. ඒකට හේතු වෙලා තියෙන තවත් කාරණා හතරක් ගැන අපි මේ ලිපියෙන් බලනවා. යෙහෝවා දෙවියන්ට ආදරේ අය මොනම හේතුවක් නිසාවත් ඔහුට කරන සේවය නතර කරන්නේ නැත්තේ ඇයි කියලා අපි බලමු.

^ 60 ඡේ. පින්තූරයේ අදහස: යේසුස් මතෙව් සහ බදු එකතු කරන්නන් එක්ක කෑම කනවා.

^ 62 ඡේ. පින්තූරයේ අදහස: යේසුස් දේවමාලිගාවේ වෙළඳාම් කරමින් ඉන්න අයව එළවනවා.

^ 64 ඡේ. පින්තූරයේ අදහස: යේසුස් වධකණුව උස්සගෙන යනවා.

^ 66 ඡේ. පින්තූරයේ අදහස: යූදස් යේසුස්ව සිපගනිමින් පාවලා දෙනවා.