Skip to content

පටුනට යන්න

ජීවිත කතාව

“මම අනිත් අයගෙන් හුඟක් දේවල් ඉගෙනගත්තා!”

“මම අනිත් අයගෙන් හුඟක් දේවල් ඉගෙනගත්තා!”

ඒ කාලේ ඇල්ජීරියාවේ යුද්දේ දරුණුවටම තිබුණා. මායි, ප්‍රංශ ජාතික අනිත් සෙබළු ටිකයි කඳවුරු බැඳගෙන හිටියේ කඳුකර පැත්තක. එදා රෑ කඳවුර මුර කරන්න තිබුණේ මට. කළුවරේ මං මැෂින් ගන් එකකුත් අතේ තියන් ඉද්දී එකපාරටම මට අඩි සද්දයක් ඇහුණා. ඒ වෙලාවේ නම් මං ගල්ගැහුණා. මං කොච්චර බය වුණාද කිව්වොත් “අනේ දෙවියනේ, මට උදව් කරන්න” කියලා මට කියවුණා. ඒ සිද්ධිය වුණේ මට අවුරුදු 20දී විතර. තව කෙනෙක්ව මරන්නවත් මැරෙන්නවත් මට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ.

ඒ සිද්ධියෙන් මගේ මුළු ජීවිතේම වෙනස් වුණා. මොකද එදා තමයි මං මගේ ජීවිතේ මුල්ම වතාවට දෙවි කෙනෙක්ගෙන් උදව් ඉල්ලුවේ. එදා රෑ වෙච්ච දේ ගැන තව තොරතුරු කියන්න කලින් මගේ පුංචි කාලේ ගැන මං ඔයාලට කියන්නම්.

තාත්තාගෙන් ඉගෙනගත්ත දේවල්

මං ඉපදුණේ 1937 උතුරු ප්‍රංශයේ පතල් කර්මාන්තයට ප්‍රසිද්ධ ගේනන් නගරයේ. මගේ තාත්තා වැඩ කළෙත් පතලක. මහන්සි වෙලා වැඩ කරන එකේ වැදගත්කම එයා මට ඉගැන්නුවා. තාත්තා අයුක්තියට, අසාධාරණයට පොඩ්ඩක්වත් කැමති නැහැ. සමහර පතල්කරුවන්ට අසාධාරණ විදිහට සලකද්දී තාත්තා එයාලගේ උදව්වට ගියා. එයාලා වෙනුවෙන් තාත්තා වෘත්තිය සමිතිවලට බැඳිලා වැඩ වර්ජනවලටත් හවුල් වුණා. පූජකයන්ගේ කුහකකම් ගැනත් තාත්තා කලකිරිලයි හිටියේ. එයාලා සැප පහසු ජීවිතයක් ගෙව්වත් එදා වේල පිරිමහගන්න මැරීගෙන පතල්වල වැඩ කරපු මිනිසුන්ට සිද්ධ වුණා එයාලට සල්ලියි කෑමයි දෙන්න. පූජකයන් කරපු දේවල් ගැන තාත්තාට කොච්චර පිළිකුලක් ඇති වුණාද කියනවා නම් ආගම ගැන තියා දෙවියන් ගැනවත් මට කිසිම දෙයක් කියලා දුන්නේ නැහැ.

පොඩි කාලේ ඉඳන්ම මටත් අසාධාරණය පේන්න බැරුව ගියා. පිටරටවලින් ඇවිත් හිටිය අයට අපේ රටේ අය සලකපු විදිහට මං පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. වෙන රටවලින් අපේ රටට පදිංචියට ඇවිත් හිටිය ළමයි එක්ක මං හරිම ආසාවෙන් ෆුට් බෝල් ගැහුවා. මගේ අම්මාත් ප්‍රංශ ජාතිකයෙක් නෙවෙයි. එයා පෝලන්ත ජාතිකයෙක්. මට ඕන වුණේ හැමෝම ජාති භේද බලන්නේ නැතුව හැමෝටම එක වගේ සලකගෙන සතුටින් ඉන්නවා දකින්න.

ජීවිතයේ අරමුණ ගැන මං හිතන්න පටන්ගත්තා

මම හමුදාවේ හිටපු කාලේ

රජයෙන් දාපු නීතියක් නිසා 1957දී මට හමුදාවට බැඳෙන්න වුණා. ඒ නිසා තමයි මං මුලින්ම කියපු විදිහට ඇල්ජීරියාවේ හමුදා කඳවුරක මට සේවය කරන්න වුණේ. එදා රෑ මං හොඳටම බය වෙලා තියෙන්නේ සතුරු හමුදාවේ කෙනෙක්ට නෙවෙයි, කැලෑ බූරුවෙක්ට. ඒ වෙලාවේ මට දැනුණේ පුදුම සහනයක්. හැබැයි ඒ සිද්ධියෙන් පස්සේ මං මගේ ජීවිතේ ගැන හිතන්න පටන්ගත්තා. ජීවිතේ අරමුණ මොකක්ද, දෙවියන් ඇත්තටම අපි ගැන සැලකිලිමත්ද, හැමදාම සාමයෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන් කාලයක් එයිද වගේ ප්‍රශ්න ගැන මං කල්පනා කළා.

කාලෙකට පස්සේ නිවාඩුවට මං ගෙදර ගිහින් ඉද්දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්ව මට මුණගැහුණා. එයා මට ප්‍රංශ භාෂාවෙන් තිබුණු කතෝලික බයිබලයක් දුන්නා. මං ඇල්ජීරියාවට යද්දී ඒකත් අරන් ගියා. එහෙදී මං බයිබලේ කියවන්න පටන්ගත්තා. දවසක් බයිබලේ කියවද්දී එළිදරව් 21:3, 4 තියෙන මේ දේ මං දැක්කා. ‘දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.’ * ඒක ඒ විදිහටම වෙයිද කියලා මං කල්පනා කළා. ඇත්තම කියනවා නම් ඒ කාලේ වෙද්දී මං බයිබලේ ගැනවත් දෙවියන් ගැනවත් කිසිම දෙයක් දැනන් හිටියේ නැහැ.

1959දී මං හමුදාවෙන් අයින් වුණාට පස්සේ මට ෆ්‍රාන්ස්වාව මුණගැහුණා. එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. බයිබලේ තියෙන හුඟක් දේවල් එයා මට ඉගැන්නුවා. උදාහරණෙකට දෙවියන්ගේ නම යෙහෝවා කියලා එයා මට බයිබලෙන්ම පෙන්නුවා. (ගීතා. 83:18) ඒ වගේම යෙහෝවා දෙවියන් යුක්තිය ඉටු කරලා පොළොව පාරාදීසයක් කරනවා කියලා එළිදරව් 21:3, 4 කියන දේ ඒ විදිහටම ඉටු කරනවා කියලත් එයා මට පැහැදිලි කළා.

ඒ දේවල් දැනගන්න ලැබුණාම මගේ හිතට ලොකු සහනයක් දැනුණා. හැබැයි පූජකයන් ගැන නම් මට ආවේ පුදුම කේන්තියක්. එයාලා උගන්නන්නේ බයිබලේ තියෙන දේවල් නෙවෙයි කියලා ප්‍රසිද්ධියේම කියන්න ඕනෙ කියලත් මට හිතුණා. ඒ වෙද්දිත් මං වැඩ කළේ මගේ තාත්තා විදිහටම තමයි. අසාධාරණයක් දකිද්දී මට ඉවසන් ඉන්න බැරුව වුණා.

ෆ්‍රාන්ස්වායි මගේ යාළුවන් වුණු අනිත් සාක්ෂිකරුවනුයි මගේ කේන්තිය පාලනය කරගන්න මට උදව් කළා. එයාලා මට පැහැදිලි කළා අපි කරන්න ඕනෙ මිනිසුන්ව විනිශ්චය කරන එක නෙමෙයි, දෙවියන්ගේ රාජ්‍යය ගැන ශුභාරංචිය මිනිසුන්ට දැනුම් දෙන එකයි කියලා. යේසුස් මේ පොළොවේ ඉද්දීත් කළේ ඒ දේම තමයි. ඒ දේ කරන්න කියලා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ටත් කියලා තියෙනවා. (මතෙ. 24:14; ලූක් 4:43) ඉතින් ශුභාරංචිය කියන්න යද්දී ඒක අහන්න අකමැති අයට වුණත් ආදරෙන්, කරුණාවෙන් සලකන්න මට ඉගෙනගන්න වුණා. බයිබලේ කියන විදිහට ‘ස්වාමීන්ගේ දාසයෙක් විදිහට සේවය කරන කෙනෙක්ට දබර කරන්න අවශ්‍යතාවක් නැහැ. ඒ වෙනුවට එයා හැමෝම එක්ක මෘදුකමින් කටයුතු කරන්න ඕනේ.’—2 තිමෝ. 2:24.

මගේ ජීවිතේ වෙනස් කරගන්න ඕන පැති මං වෙනස් කරගත්තා. ඊටපස්සේ 1959දී තිබුණු චාරිකා සමුළුවක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට මං බව්තීස්ම වුණා. එහෙදී තමයි මට ඒන්ජල්ව මුණගැහුණේ. එයා හරිම ලස්සන කෙනෙක්. මුලදී මං එයා ඉන්න සභාවට ගිහින් එයාත් එක්ක කතා කළා. 1960දී අපි විවාහ වුණා. එයා හරිම හොඳ කෙනෙක්. බිරිඳක් විදිහට එයා උපරිමෙන් මට සහයෝගය දෙනවා. එයා ඇත්තටම යෙහෝවා දෙවියන්ගෙන් මට ලැබුණු වටිනා තෑග්ගක්.—හිතෝ. 19:14.

අපි විවාහ වුණ දවසේ

අද්දැකීම් තියෙන සහෝදරයන්ගෙන් මං හුඟක් දේවල් ඉගෙනගත්තා

පහුගිය කාලය පුරාම අද්දැකීම් තියෙන සහෝදරයන්ගෙන් මං හුඟක් වැදගත් පාඩම් ඉගෙනගත්තා. ඒ අතරින් එකක් තමයි අභියෝගයක් වගේ තියෙන පැවරුමක් වුණත් සාර්ථකව කරන්න නම් අපි නිහතමානී වෙලා හිතෝපදේශ 15:22 අදාළ කරගන්න ඕනෙ කියන දේ. එතන කියන්නේ ‘උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙනවා’ කියලයි.

1965 ප්‍රංශයේ චාරිකා සේවය කරමින්

1964දී චාරිකා සේවකයෙක් විදිහට සේවය කරන්න මට පැවරුමක් ලැබුණාම ඒ දේ කොච්චර ඇත්තක්ද කියලා මං තේරුම්ගත්තා. මට කරන්න තිබුණේ සභාවලට ගිහින් සහෝදරයන්ව දිරිගන්වලා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් පවත්වගන්න එයාලට උදව් කරන එකයි. හැබැයි ඒ වෙද්දී මට වයස 27යි. මට එච්චර අද්දැකීම් තිබුණේ නැති නිසා මගේ අතින් වැරදි අඩුපාඩු වුණා. හැබැයි ඒ වැරදිවලින් පාඩමක් ඉගෙනගන්න මං උත්සාහ කළා. ඒ හැම දේටම වඩා “උපදේශකයන්ගෙන්” ඒ කියන්නේ අද්දැකීම් තියෙන සහෝදරයන්ගෙන් හුඟක් වැදගත් පාඩම් මං ඉගෙනගත්තා.

මං චාරිකා සේවකයෙක් වුණ අලුත වෙච්ච දෙයක් මට තාමත් මතකයි. මං පැරිස්වල තිබුණු සභාවකට ගියාම එහේ හිටිය අවබෝධයෙන් වැඩ කරපු සහෝදරයෙක් මගෙන් ඇහුවා මාත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද කියලා. මං කිව්වා “ඔව්, පුළුවන්” කියලා.

එයා මගෙන් මෙහෙම ඇහුවා. “ලුයිස්, ලෙඩෙක්ට බෙහෙත් කරන්න ඩොක්ටර් කෙනෙක් ලෙඩාගේ ගෙදරට ගියාම ඩොක්ටර් වැඩි අවධානයක් දෙන්නේ කාටද?”

මං කිව්වා “ලෙඩාට” කියලා.

එතකොට එයා මෙහෙම කිව්වා. “හරියට හරි. හැබැයි මං දැක්කා ඔයා වැඩිපුර කතාබහ කළේ වැඩිමහල්ලන් වගේ දෙවියන් එක්ක ශක්තිමත් බැඳීමක් තියෙන අයත් එක්ක කියලා. හැබැයි අධෛර්යය වෙලා ඉන්න සහෝදර සහෝදරියන්, අලුත් අය වගේම අනිත් අය එක්ක කතා කරන්න ගොඩක් ලැජ්ජ අය අපේ සභාවේ ඉන්නවා. ඔයා එයාලත් එක්ක කතා කළොත් අඩුම ගාණේ කෑමකට හරි එයාලගේ ගෙදරට ගියොත් එයාලා ගොඩක් සතුටු වෙයි.”

ඒ සහෝදරයා හරිම ආදරෙන් දුන්න ඒ උපදෙස මට ගොඩක් වටිනවා. යෙහෝවා දෙවියන්ගේ බැටළුවන්ට එයා කොච්චර ආදරෙයිද කියලා මට තේරුණා. ඒ නිසා උඩඟු වෙලා ඒ උපදෙස මට අදාළ නැහැ කියලා හිතනවා වෙනුවට මං ඉක්මනින්ම ඒක අදාළ කරගත්තා. ඒ වගේ සහෝදරයන්ව දීලා තියෙන එක ගැන මං යෙහෝවා දෙවියන්ට ස්තුති කරනවා.

1969ත් 1973ත් පැරිස්වල තිබුණු ජාත්‍යන්තර සමුළු දෙකේම අමුත්තන්ට කෑම දෙන වැඩේ අධීක්ෂණය කරන පැවරුම ලැබුණේ මට. 1973 තිබුණු සමුළුවට මිනිස්සු 60,000ක් විතර ආවා. සමුළුව තිබුණ දවස් පහේම එයාලට කෑම දෙන්න අපිට සිද්ධ වුණා. ඒ පැවරුම කොහොම ඉටු කරන්නද කියලා මුලදී මට හිතාගන්නවත් බැරි වුණා. හැබැයි ඒ පැවරුම හොඳට ඉටු කරන්නත් හිතෝපදේශ 15:22 තියෙන උපදෙස මට උදව් වුණා. ඒකේ තියෙන විදිහට උපදේශකයන්ගෙන් ඒ කියන්නේ අද්දැකීම් තියෙන සහෝදරයන්ගෙන් මං උදව් ගත්තා. ඒ අය අතරේ මස් විකුණපු අය, එළවළු වවපු අය, කෝකියෝ, හොඳම බඩු මිල දී ගන්න පුළුවන් තැන් ගැන දැනන් හිටපු අය වගේ අයත් හිටියා. අන්තිමේදී අපි හැමෝම එකතු වෙලා අපිට කවදාවත් කරගන්න බැරි වෙයි කියලා හිතුණ ඒ පැවරුම සාර්ථකව කළා.

1973දී මටයි මගේ බිරිඳටයි ප්‍රංශයේ බෙතෙල් එකේ සේවය කරන්න ආරාධනාවක් ලැබුණා. එහෙදී මට මුලින්ම ලැබුණ පැවරුම පොඩ්ඩක්වත් ලේසි වුණේ නැහැ. අප්‍රිකානු රටක් වන කැමරූන්වල ඉන්න අපේ සහෝදරයන්ට අපේ ප්‍රකාශන ලැබෙන්න සලස්වන එක තමයි මගේ පැවරුම වුණේ. හැබැයි 1970 ඉඳන් 1993 වෙන කල්ම එහේ අපේ සේවය තහනම් කරලයි තිබුණේ. ඉතින් 1973 ඒ පැවරුම මට ලැබුණාම මං කල්පනා කළා කොහොමද මං ඒ පැවරුම කරන්නේ කියලා. ඒ කාලේ මං හිටියේ ලොකු පීඩනයකින්. සමහරවිට ඒක තේරුම් අරන් වෙන්න ඇති අපේ වැඩ බලන සහෝදරයා මාව දිරිගන්වන්න හිතාගෙන මෙහෙම කිව්වේ. “කැමරූන්වල ඉන්නේ අපේම සහෝදරයන්. කොහොම හරි අපි මේ ප්‍රකාශන එයාලට යවමු.” අන්තිමේදී අපි ඒ දේ කළා.

1973 කැමරූන්වල සාක්ෂිකරුවන් එක්ක නයිජීරියාවේ තිබ්බ විශේෂ රැස්වීමක්

කැමරූන් අවට රටවල හිටපු වැඩිමහල්ලන්ව මුණගැහෙන්න මං කීප සැරයක්ම ගියා. ඒ සහෝදරයන් හරිම නිර්භීතයි. එයාලා වැඩ කළේ හරිම ඥානවන්ත විදිහට. කැමරූන්වල ඉන්න අපේ සහෝදරයන්ට දිගටම අපේ ප්‍රකාශන යවන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න එයාලා මට උදව් කළා. යෙහෝවා දෙවියන් අපේ වෑයම්වලට ආශීර්වාද කළා. අවුරුදු 20ක් විතර වරද්දන්නෙ නැතුව හැම මාසෙකම ‘මුරටැඹ’ සඟරාවත් ‘රාජ්‍ය සේවාව’ විදිහට ඒ කාලේ හඳුන්වපු අපේ වැඩපොතත් කැමරූන්වලට යවන්න අපිට පුළුවන් වුණා.

1977දී කැමරූන්වල සේවය කරපු චාරිකා සේවකයන්වයි එයාලගේ භාර්යාවන්වයි නයිජීරියාවේදී අපිට මුණගැහුණ අවස්ථාවක්

මගේ ආදරණීය බිරිඳගෙන් මං ගොඩක් දේවල් ඉගෙනගත්තා

අපි යාළු වුණ මුල් කාලෙදීම මට තේරුණා ඒන්ජල්ට යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් තියෙනවා කියලා. අපි බැන්දාට පස්සේ ඒක මට තවත් පැහැදිලි වුණා. අපි බැඳපු දවසේම ඒන්ජල් මට කිව්වා යුවළක් විදිහට දිගටම පූර්ණකාලීන සේවය කරන්න යෙහෝවා දෙවියන්ගෙන් ආශීර්වාද ඉල්ලලා යාච්ඤා කරන්න කියලා. ඇත්තටම යෙහෝවා දෙවියන් අපේ යාච්ඤාවට උත්තර දුන්නා.

යෙහෝවා දෙවියන් ගැන සම්පූර්ණ විශ්වාසය තියලා වැඩ කරන්න ඒන්ජල් මට උදව් කළා. උදාහරණෙකට 1973දී බෙතෙල් සේවය කරන්න අපිට ආරාධනාවක් ලැබුණාම මුලදී මං ඒකට කැමති වුණේ නැහැ. මොකද ඒ කාලේ මං චාරිකා සේවය කරකර හිටියේ හරිම සතුටින්. හැබැයි ඒන්ජල් හරිම ආදරෙන් මට මෙහෙම කිව්වා. ‘අපි අපේ ජීවිත යෙහෝවා දෙවියන්ට කැප කරලා තියෙන්නේ. ඉතින් සංවිධානයෙන් කියන ඕනම දෙයක් අපි කරන්න ඕනෙ නේද?’ (හෙබ්‍රෙ. 13:17) එයා කියපු දේට මං එකඟ වුණා. අන්තිමේදී අපි බෙතෙල් එකට ගියා. මගේ බිරිඳ යෙහෝවා දෙවියන්ට ගොඩක් ආදරෙයි. එයා වැඩ කළේ හරිම ඥානවන්ත විදිහට. අවුරුදු ගාණක් තිස්සේ අපේ විවාහ ජීවිතේ සතුටින් ගත කරන්නත් හොඳට හිතලා බලලා හරි තීරණ ගන්නත් ඒක අපිට උදව් වෙලා තියෙනවා.

මායි ඒන්ජලුයි ප්‍රංශයේ බෙතෙල් එකේ

වයසට ගියත් ඒන්ජල් මට තාමත් උදව් කරනවා. උදාහරණෙකට සංවිධානයෙන් මෙහෙයවපු හුඟක් පාසැල් තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙන් නිසා ඉංග්‍රීසි ඉගෙනගන්න අපි දෙන්නාම හුඟක් මහන්සි වුණා. අපි ඉංග්‍රීසි සභාවකට මාරු වුණා. ඒ වෙද්දී අපිට වයස 70ත් පැනලයි තිබුණේ. ප්‍රංශයේ ශාඛා කමිටු සාමාජිකයෙක් විදිහට වැඩ කරන ගමන් අලුත් භාෂාවක් ඉගෙනගන්න එක මට ලේසි වුණේ නැහැ. හැබැයි ඒන්ජල් ඒ දේ කරන්න මට උදව් කළා. දැන් අපි දෙන්නාගේ වයස අවුරුදු 80කටත් වඩා වැඩියි. අපි හැම රැස්වීමකටම ප්‍රංශ භාෂාවෙනුයි, ඉංග්‍රීසි භාෂාවෙනුයි සූදානම් වෙනවා. රැස්වීම්වලදී ලැබෙන හැම අවස්ථාවකම අදහස් දෙන්නත් සභාවේ අයත් එක්ක සේවේ යන්නත් අපි උපරිමෙන් වෑයම් කරනවා. ඉංග්‍රීසි ඉගෙනගන්න අපි ගත්ත වෙහෙසට යෙහෝවා දෙවියන් අපිට ගොඩක් ආශීර්වාද කරලා තියෙනවා.

එක ආශීර්වාදයක් තමයි ඇමෙරිකාවේ නිව් යෝර්ක්වල පවත්වන ශාඛා කමිටු සාමාජිකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් සඳහා පාසැලට 2017දී අපිට සහභාගි වෙන්න ලැබුණ එක. ඒක අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

ඇත්තටම යෙහෝවා දෙවියන් තමයි අපේ උදාර උපදේශකයාණන්. (යෙසා. 30:20) ඉතින් අපි තරුණ වුණත් මහලු වුණත් ඔහුගෙන් තමයි අපිට හොඳම අධ්‍යාපනය ලැබෙන්නේ. (ද්වි. 4:5-8) යෞවනයන් යෙහෝවා දෙවියන්ටයි අද්දැකීම් තියෙන සහෝදර සහෝදරියන්ටයි ඇහුම්කන් දෙනවා නම් හරි තීරණ ගන්නත් යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව දිගටම සේවේ කරන්නත් පුළුවන් වෙනවා කියලා මං මගේ ජීවිතෙන්ම අද්දැක්කා. හිතෝපදේශ 9:9 කියන මේ දේ හරියටම හරි. “ප්‍රඥාවන්තයෙකුට උපදෙස් දෙන්න. එවිට ඔහු තවත් ප්‍රඥාවන්ත වන්නේය. ධර්මිෂ්ඨයෙකුට උගන්වන්න. එවිට ඔහු දැනුම තවත් වැඩි කරගන්නේය.”

මීට අවුරුදු 60කට විතර කලින් එදා රෑ ඇල්ජීරියාවේ සිද්ධ වෙච්ච දේ මට තාමත් මතක් වෙනවා. එදා නම් මං දැනන් හිටියේ නැහැ මට මේ වගේ සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. මං අනිත් අයගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා. සතුටින් පිරුණු තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න යෙහෝවා දෙවියන් මට ආශීර්වාද කරලා තියෙනවා. මගේ ආදරණීය බිරිඳත් දෙවියන්ගෙන් මට ලැබුණු ආශීර්වාදයක්. යෙහෝවා දෙවියන්ගෙනුයි ඔහුට ආදරය කරන අද්දැකීම් තියෙන සහෝදර සහෝදරියන්ගෙනුයි ඉගෙනගන්න එක අපි කවදාවත් නතර කරන්නේ නැහැ.

^ 11 ඡේ. ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය.’