Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 21

යෙහෝවා දෙවියන් ඔයාව සවිමත් කරයි

යෙහෝවා දෙවියන් ඔයාව සවිමත් කරයි

“මා එසේ දුර්වල වී සිටින අවස්ථාවලදී මම බලවත් වන්නෙමි.”—2 කොරි. 12:10.

ගීතිකාව 73 දෙනු මැන නිර්භීතකම

මේ ලිපියෙන් *

1-2. ගොඩක් සාක්ෂිකරුවන් මුහුණ දෙන්නේ මොන වගේ අභියෝගවලටද?

පාවුල් තිමෝතිට කිව්වා එයාට භාර දුන්න සේවය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න කියලා. (2 තිමෝ. 4:5) ඒ උපදෙස අපිටත් අදාළයි. හැබැයි සමහර වෙලාවලදී සේවයේ හවුල් වෙන එක ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. (2 තිමෝ. 4:2) උදාහරණෙකට හිතන්න සේවේට තහංචි පනවලා තියෙන එහෙම නැත්නම් සේවේ තහනම් කරලා තියෙන රටවල ඉන්න සහෝදර සහෝදරියන් ගැන. සේවේ ගියොත් හිරේ යන්න වෙයි කියලා දැනන් හිටියත් එයාලා දිගටම සේවේ හවුල් වෙනවා.

2 යෙහෝවා දෙවියන්ගේ සෙනඟ තවත් අභියෝගවලට මුහුණ දෙනවා. උදාහරණෙකට පවුලේ අයට අත්‍යවශ්‍යම දේවල් ලබා දෙන්නත් හුඟක් අයට මැරීගෙන වැඩ කරන්න වෙනවා. වැඩිපුර සේවේ හවුල් වෙන්න එයාලට ලොකු ආසාවක් තිබුණත් සති අන්තය වෙද්දී එයාලා භාගෙට මැරිලයි ඉන්නේ. බරපතළ අසනීපයක් නිසා නැත්නම් මහලු වයස නිසා තවත් අයට එයාලා කැමති තරම් සේවයක් කරගන්න බැහැ. ඒ අතරේ ඉන්න සමහර අය ගෙවල්වලටම කොටු වෙලා. යෙහෝවා දෙවියන්ට සේවේ කරන්න තමන් වටින්නේ නැහැ කියලා හිතන අයත් ඉන්නවා. සහෝදරි මේරි * ඒ වගේ කෙනෙක්. එයා මෙහෙම කියනවා. “සමහර වෙලාවට අධෛර්යය කරවන සිතුවිලි එක්ක පොරබැදලා මං හොඳටම හෙම්බත් වෙනවා. ඒ නිසා සේවේ හරියට කරගන්න බැරි වෙද්දී මගේ හිත මට වධ දෙනවා.”

3. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

3 අපි මොන ප්‍රශ්නවලට මුහුණ දුන්නත් දිගටම උපරිමෙන් සේවේ කරන්න අපිට උදව් කරන්න යෙහෝවා දෙවියන්ට පුළුවන්. ඒ ගැන බලන්න කලින් අභියෝගවලට මුහුණ දුන්නත් දිගටම සේවේ කරගෙන යන්න පාවුල්ට සහ තිමෝතිට යෙහෝවා දෙවියන් උදව් කළේ කොහොමද කියලා අපි බලමු.

දිගටම සේවේ කරන්න උදව් කරනවා

4. පාවුල්ට මුහුණ දෙන්න වුණ අභියෝග මොනවාද?

4 පාවුල් අභියෝග ගොඩකට මුහුණ දුන්නා. උදාහරණෙකට මිනිසුන්ගෙන් එයා ගුටිකෑවා. මිනිස්සු එයාට ගල්වලිනුත් ගැහුවා. හිරෙත් දැම්මා. (2 කොරි. 11:23-25) සමහර වෙලාවට අධෛර්යය කරවන සිතුවිලිත් එක්ක පොරබදින්නත් වුණා. (රෝම 7:18, 19, 24) ඒ විතරක් නෙවෙයි “ශරීරයට ඇනී තිබෙන කටුවක් හා සමාන පීඩාවකට” නිතරම මුහුණ දෙන්නත් එයාට සිද්ධ වුණා. ඒක දරාගන්න එයාට කොච්චර අමාරු වුණාද කිව්වොත් ඒ දේ අයින් කරන්න කියලා දෙවියන්ගෙන් එයා කීප සැරයක්ම ඉල්ලුවා.—2 කොරි. 12:7, 8.

පාවුල්ට සේවය සම්පූර්ණ කරන්න උදව් වුණේ මොනවාද? (5-6 ඡේද බලන්න) *

5. අභියෝගවලට මුහුණ දුන්නත් පාවුල් කළේ මොනවාද?

5 පාවුල් මොන අභියෝගවලට මුහුණ දුන්නත් දිගටම දේශනා කරන්න යෙහෝවා දෙවියන් එයාට උදව් කළා. උදාහරණෙකට එයා රෝමයේ නිවාස අඩස්සියේ හිටිය කාලෙදිත් උද්‍යෝගයෙන් ශුභාරංචිය ගැන කතා කළා. යුදෙව් නායකයන්ටත් සමහරවිට ආණ්ඩුවේ නිලධාරීන්ටත් එයා නිර්භීතව සාක්ෂි දරන්න ඇති. (ක්‍රියා 28:17; ෆිලි. 4:21, 22) ඒ වගේම එයා ප්‍රීටෝරියානු ආරක්ෂක බළඇණියේ හුඟදෙනෙක්ටත් එයාව මුණගැහෙන්න ආපු හැමෝටමත් දේශනා කළා. (ක්‍රියා 28:30, 31; ෆිලි. 1:13) ඒ කාලය අතරතුරේදී දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් එයා ක්‍රිස්තියානීන්ට ලියුම් කීපයක්ම ලිව්වා. ඒ ලියුම්වල තියෙන තොරතුරු අදටත් අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම පාවුල්ගේ ආදර්ශය රෝමයේ හිටපු ක්‍රිස්තියානීන්ට ලොකු හයියක් වුණා. ප්‍රතිඵලයක් විදිහට ‘දෙවිගේ පණිවිඩය ගැන නිර්භීතව කතා කරන්න’ එයාලට පුළුවන් වුණා. (ෆිලි. 1:14) සමහර අවස්ථාවලදී පාවුල්ට කරන්න පුළුවන් දේවල් සීමා වුණත් එයා එයාගේ උපරිමය කළා කියලා පැහැදිලියි නේද? ඔව්, එයා කරපු හැම දෙයක්ම ‘ශුභාරංචියේ දියුණුවට දායක වුණා.’—ෆිලි. 1:12.

6. 2 කොරින්ති 12:9, 10 අනුව සේවය සම්පූර්ණ කරන්න පාවුල්ට උදව් වුණේ මොනවාද?

6 තමන්ට සේවය කරන්න පුළුවන් වුණේ දෙවියන්ගේ බලයේ උපකාරය නිසයි කියලා පාවුල් තේරුම්ගත්තා. ‘තමන්ගේ දුර්වලකම තුළින් දෙවියන්ගේ බලය සම්පූර්ණයෙන්ම දැකගන්න’ එයාට පුළුවන් වුණා. (2 කොරින්ති 12:9, 10 කියවන්න.) පීඩාවලට මුහුණ දුන්නත් හිර අඩස්සියේ හිටියත් තවත් අභියෝගවලට මුහුණ දුන්නත් සේවය සම්පූර්ණ කරන්න යෙහෝවා දෙවියන් පාවුල්ට බලය දුන්නා.

තිමෝතිට සේවය සම්පූර්ණ කරන්න උදව් වුණේ මොනවාද? (7 ඡේදය බලන්න) *

7. සේවය සම්පූර්ණ කරන්න නම් තිමෝතිට ජය ගන්න වුණේ මොන අභියෝගද?

7 තිමෝතිටත් එයාගේ පැවරුම කරගෙන යන්න දෙවියන්ගේ බලය ඕන වුණා. එයා පාවුල් එක්ක සේවේ කරන්න දුර ඈත පැතිවලටත් ගියා. ඒ විතරක් නෙවෙයි පාවුල් සහෝදරයන්ව දිරිගන්වන්න විවිධ සභාවලටත් තිමෝතිව යැව්වා. (1 කොරි. 4:17) සමහරවිට තිමෝතිට හිතෙන්න ඇති ඒ පැවරුම් කරන්න තමන්ට සුදුසුකම් නැහැ කියලා. ඒ නිසා වෙන්න ඇති “ඔබ තරුණයෙකු වූ පමණින් කිසි කෙනෙකුට ඔබව සුළු කිරීමට ඉඩ නොදෙන්න” කියලා පාවුල් එයාට කියන්න ඇත්තේ. (1 තිමෝ. 4:12) ඒ විතරක් නෙවෙයි තිමෝති “නිතරම අසනීප” වුණා. (1 තිමෝ. 5:23) ඒ මොන දේ වුණත් ශුභාරංචිය දිගටම දේශනා කරන්නත් සහෝදර සහෝදරියන්ව දිරිගන්වන්නත් යෙහෝවා දෙවියන් එයාට උදව් කරනවා කියන එක ගැන තිමෝතිට කිසිම සැකයක් තිබුණේ නැහැ.—2 තිමෝ. 1:7.

දිගටම විශ්වාසවන්තව ඉන්න උදව් කරනවා

8. යෙහෝවා දෙවියන් අපිව ශක්තිමත් කරන්නේ කොහොමද?

8 දිගටම විශ්වාසවන්තව සේවේ කරන්න යෙහෝවා දෙවියන් “සාමාන්‍යය ඉක්මවූ බලයක්” අපිට ලබා දෙනවා. (2 කොරි. 4:7) යාච්ඤාව, බයිබලය, සහෝදර ආශ්‍රය සහ සේවය මාර්ගයෙන් යෙහෝවා දෙවියන් අපිව ශක්තිමත් කරන්නෙත් දිගටම විශ්වාසවන්තව ඉන්න උදව් කරන්නෙත් කොහොමද කියලා දැන් අපි බලමු.

යාච්ඤාව මාර්ගයෙන් යෙහෝවා දෙවියන් අපිව ශක්තිමත් කරනවා (9 ඡේදය බලන්න)

9. යාච්ඤාව අපිට උදව් වෙන්නේ කොහොමද?

9 යාච්ඤා කරලා ශක්තිමත් වෙන්න. එෆීස 6:18 අපිව උනන්දු කරනවා ‘සෑම අවස්ථාවකදීම යාච්ඤා කරන්න’ කියලා. අපි එහෙම කරන කොට යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම අපිව ශක්තිමත් කරනවා. බොලිවියාවේ ඉන්න ජොනීගේ අද්දැකීම බලන්න. එයාගේ බිරිඳයි, අම්මායි, තාත්තායි හොඳටම අසනීප වුණා. ඒ තුන්දෙනාම බලාගන්න එක ජොනීට ලේසි වුණේ නැහැ. අසනීපය නිසා එයාගේ අම්මා මැරුණා. බිරිඳටයි, තාත්තාටයි සනීප වෙන්න සෑහෙන කාලයක් ගියා. ඒ කාලේ ගැන ජොනී මෙහෙම කියනවා. “ඒ කාලේ මං හිටියේ ලොකු පීඩනයකින්. මගේ හිතේ තියෙන හැම දෙයක්ම යෙහෝවා දෙවියන්ට කියපු එක තමයි ඒ දේවල් දරාගන්න මට උදව් වුණේ.” ඒ හැම දෙයක්ම විඳදරාගන්න යෙහෝවා දෙවියන් ජොනීට උදව් කළා. බොලිවියාවේ වැඩිමහල්ලෙක් වන රොනල්ඩ්ගේ අද්දැකීම බලන්න. එයාට දැනගන්න ලැබුණා එයාගේ අම්මාට පිළිකාවක් හැදිලා කියලා. මාසෙකට පස්සේ අම්මා මැරුණා. ඒක දරාගන්න එයාට උදව් වුණ දේ ගැන එයා මෙහෙම කියනවා. “මං යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරද්දී හිතේ තියෙන හැම දෙයක්ම ඔහුට කියනවා. මොකද මං දන්නවා වෙන කිසි කෙනෙක්ට වඩා, ඇත්තටම මටත් වඩා හොඳින් යෙහෝවා දෙවියන් මාව තේරුම්ගන්නවා කියලා.” සමහර වෙලාවට ලොකු පීඩනයකින් ඉද්දී යාච්ඤා කරන්න ඕනෙ මොනවා ගැනද කියලා අපිට තේරෙන එකක් නැහැ. හැබැයි ඒ වගේ වෙලාවට වුණත් හිතේ තියෙන හැම දෙයක්ම ඔහුට කියන්න කියලා යෙහෝවා දෙවියන් අපිව උනන්දු කරනවා.—රෝම 8:26, 27.

බයිබලය මාර්ගයෙන් යෙහෝවා දෙවියන් අපිව ශක්තිමත් කරනවා (10 ඡේදය බලන්න)

10. හෙබ්‍රෙව් 4:12 අනුව බයිබලය කියවලා හොඳට හිතන එක වැදගත් වෙන්නේ ඇයි?

10 බයිබලය කියවලා ශක්තිමත් වෙන්න. පාවුල් ශුද්ධ ලියවිල්ල කියවලා ශක්තිමත් වුණා. අපිත් කරන්න ඕනෙ ඒ දේම තමයි. (රෝම 15:4) ඇත්තටම අපි බයිබලය කියවලා ඒ ගැන හොඳට හිතන එක හරිම වැදගත්. මොකද අපි එහෙම කරද්දී යෙහෝවා දෙවියන්ට පුළුවන් අපි මුහුණ දෙන තත්වයට අනුව බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලා තේරුම්ගන්න අපිට උදව් කරන්න. (හෙබ්‍රෙව් 4:12 කියවන්න.) කලින් සඳහන් කරපු රොනල්ඩ් මෙහෙම කියනවා. “හැම දවසකම නිදියන්න කලින් බයිබලේ කොටසක් කියවලා ඒ ගැන හොඳට හිතන්න මං පුරුදු වුණා. ඒ වෙලාවට යෙහෝවා දෙවියන්ගේ ලස්සන ගුණාංග ගැනත් ඔහු තමන්ගේ සේවකයන් එක්ක කටයුතු කරපු විදිහ ගැනත් මං කල්පනා කරනවා. ඕනම දෙයකට ශක්තිමත්ව මුහුණ දෙන්න ඒක මට උදව් වෙනවා.”

11. වියෝදුකින් ඉන්න සහෝදරියකට බයිබලය කියවන එක උදව් වුණේ කොහොමද?

11 බයිබලේ කියවලා හොඳට හිතන එක අපේ වැරදි සිතුවිලි, ආකල්ප හදාගන්නත් අපිට උදව් වෙනවා. උදාහරණෙකට මහත්තයා මැරුණු නිසා දුකින් හිටපු සහෝදරියකට ඒ දේ උදව් වුණ විදිහ බලන්න. වැඩිමහල්ලෙක් එයාට කිව්වා යෝබ් පොත කියවන එක එයාට උදව් වෙයි කියලා. මුලින් යෝබ් පොත කියවද්දී එයාට හිතිලා තියෙනවා යෝබ් කොයි වෙලෙත් හිතුවේ එයාගෙම ප්‍රශ්න ගැන විතරයි කියලා. හැබැයි පස්සේ තමයි එයාට තේරිලා තියෙන්නේ එයා කරන්නෙත් යෝබ් කරපු දේම නේද කියලා. ඒ නිසා එයා හිතන විදිහ වෙනස් කරගන්නත් වියෝදුක දරාගන්නත් ඒක එයාට උදව් වුණා.

සහෝදර සහෝදරියන් මාර්ගයෙන් යෙහෝවා දෙවියන් අපිව ශක්තිමත් කරනවා (12 ඡේදය බලන්න)

12. යෙහෝවා දෙවියන් සහෝදර සහෝදරියන් මාර්ගයෙන් අපිව ශක්තිමත් කරන්නේ කොහොමද?

12 සහෝදරයන්ව ආශ්‍රය කරලා ශක්තිමත් වෙන්න. යෙහෝවා දෙවියන් සහෝදර සහෝදරියන් මාර්ගයෙනුත් අපිව ශක්තිමත් කරනවා. උදාහරණෙකට පාවුල් එක අවස්ථාවක කිව්වා සහෝදර සහෝදරියන්ව මුණගැහිලා එයාලව ‘දිරිගන්වන්නත්’ එයාලගෙන් ‘දිරිගැන්වීමක්’ ලබන්නත් එයා හුඟක් ආසාවෙන් ඉන්නවා කියලා. (රෝම 1:11, 12) කලින් සඳහන් කරපු මේරිත් සහෝදර සහෝදරියන්ව ආශ්‍රය කරන එකෙන් ලොකු සතුටක් අද්දකිනවා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “සමහර වෙලාවට මගේ ප්‍රශ්නේ ගැන කිසිම දෙයක් දන්නේ නැති සහෝදරයන් මාර්ගයෙනුත් යෙහෝවා දෙවියන් මාව ශක්තිමත් කරනවා. එයාලා මොනවා හරි දෙයක් කියලා මාව දිරිගන්වනවා. නැත්නම් කාඩ් එකක් එවනවා. හැබැයි ඒ දේ තමයි මට ඒ වෙලාවේ ඕනම කරලා තිබුණේ. ඒ වගේම මං මුහුණ දුන්න ප්‍රශ්නවලටම මුහුණ දුන්න සහෝදරියන් එක්කත් මං කතා කරනවා. එයාලගේ අද්දැකීම් මට ලොකු හයියක් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි වැඩිමහල්ලන් නිතරම මට මතක් කරනවා මාව සභාවට හුඟක් වටිනවා කියලා.”

13. රැස්වීම් ගියාම එකිනෙකාව දිරිගන්වන්න අපිට පුළුවන් කොහොමද?

13 රැස්වීම්වලට ගියාම එකිනෙකාව දිරිගන්වන්න අපිට ඕන තරම් අවස්ථා ලැබෙනවා. ඉතින් ඔයාටත් පුළුවන්ද රැස්වීම් ගියාම අනිත් අය කරන දේවල් අගය කරලා එයාලව දිරිගන්වන්න? වැඩිමහල්ලෙක් වන පීටර් සැමියා සත්‍යයේ නැති සහෝදරියක්ව දිරිගන්වපු විදිහ බලන්න. එයා ඒ සහෝදරියට මෙහෙම කිව්වා. “ඔයාලව දැක්කම ඇත්තටම මං දිරිගැන්වෙනවා. ඔයාගේ දරුවන් හයදෙනා හැම රැස්වීමකටම හොඳින් සහභාගි වෙනවා. ඒකෙන් තේරෙනවා එයාලව පුහුණු කරන්න ඔයා කොච්චර මහන්සි වෙනවද කියලා.” ඒ වෙලාවේ ඒ සහෝදරියගේ ඇස්වලට කඳුළු ආවා. එයා මෙහෙම කිව්වා. “අද මං හුඟක් අධෛර්යය වෙලයි හිටියේ. ඔයා කියපු දේවල් මට ලොකු හයියක්. තැන්ක් යූ මාව දිරිගැන්නුවාට.”

සේවේ මාර්ගයෙන් යෙහෝවා දෙවියන් අපිව ශක්තිමත් කරනවා (14 ඡේදය බලන්න)

14. සේවේ හවුල් වෙන එක අපිට උදව් වෙන්නේ කොහොමද?

14 සේවයේ හවුල් වෙලා ශක්තිමත් වෙන්න. සේවේ යද්දී මිනිස්සු අපිව පිළිගත්තත් නැතත් බයිබලේ තියෙන සත්‍යයන් ගැන මිනිසුන්ට කියන එකෙන් අපි ශක්තිමත් වෙනවා. (හිතෝ. 11:25) උදාහරණෙකට සහෝදරි ස්ටේසිගේ අද්දැකීම බලන්න. එයාගේ පවුලේ කෙනෙක්ව සභාවෙන් ඉවත් කළාම එයාට හුඟාක් දුක හිතුණා. කොයි වෙලෙත් එයා හිතුවා එහෙම වුණේ එයාගේ අතින් වුණ අඩුවක් නිසාද කියලා. ඒ ගැන දිගටම හිතපු නිසා වෙන කිසිම දෙයක් එයාට කරන්න බැරුව ගියා. ඒකෙන් ගොඩ එන්න එයාට උදව් වුණේ මොකක්ද දන්නවාද? සේවේ හවුල් වෙන එක. සේවේ හවුල් වෙද්දී එයා එයා ගැනම හිතනවා වෙනුවට මිනිසුන්ට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා හිතන්න පටන්ගත්තා. එයා මෙහෙම කියනවා. “ඒ කාලෙදී සත්‍යය ගැන දැනගන්න ඇත්තටම කැමැත්තෙන් ඉන්න කෙනෙක්ව හොයාගන්න යෙහෝවා දෙවියන් මට උදව් කළා. එයා ඉක්මනින්ම ජීවිතේ වෙනස්කම් කරගන්නවා දකිද්දී ඒක මට ලොකු දිරිගැන්වීමක් වුණා. සේවේ හවුල් වෙන එක තමයි ආයෙත් සතුටින් දේවල් කරගෙන යන්න මට උදව් වුණේ.”

15. මේරිගෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

15 මුහුණ දෙන තත්වයන් නිසා සමහර අයට හිතෙනවා ඇති ‘කැමති තරම් සේවයක් කරන්න මට බැහැනේ’ කියලා. ඔයාටත් එහෙම හිතෙනවාද? එහෙනම් ඔයා උපරිමයෙන් සේවේ කරන එක ගැන යෙහෝවා දෙවියන් ගොඩක් සතුටු වෙනවා කියලා අමතක කරන්න එපා. උදාහරණෙකට කලින් සඳහන් කරපු මේරිගේ අද්දැකීම බලන්න. එයා වෙන භාෂාවක් කතා කරන සභාවකට මාරු වුණා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “රැස්වීම්වලට ගියාම මං කළේ වචනයකින් දෙකකින් උත්තරයක් දෙන එක නැත්නම් පොඩි බයිබල් පදයක් කියවන එක විතරයි. සේවේ ගියාමත් මං කළේ පත්‍රිකාවක් දෙන එක විතරයි.” භාෂාව දක්ෂ විදිහට කතා කරන අයව දකිද්දී එයාට හිතිලා තියෙනවා සභාවට එයාගෙන් කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි එයා හිතන විදිහ වෙනස් කරගත්තා. එයා තේරුම්ගත්තා ඒ භාෂාව එයාට දක්ෂ විදිහට කතා කරන්න බැරි වුණත් අනිත් අයට උදව් කරන්න එයාව පාවිච්චි කරන්න යෙහෝවා දෙවියන්ට පුළුවන් කියලා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “මිනිසුන්ට ජීවිතේ වෙනස් කරගන්න උදව් වෙන්නේ බයිබලේ තියෙන සත්‍යයන්. කෙනෙක්ට භාෂාවක් දක්ෂ විදිහට කතා කරන්න පුළුවන්ද, බැරිද කියන එක ඒකට බලපාන්නේ නැහැ.”

16. ගෙදරටම කොටු වෙලා ඉන්න කෙනෙක් කරන්න ඕනෙ මොනවාද?

16 ඔයා ගෙදරටම කොටු වෙලා ඉන්න කෙනෙක්ද? එහෙනම් සේවයේ හවුල් වෙන්න ඔයාට තියෙන ආසාව යෙහෝවා දෙවියන් දකිනවා කියලත් ඔහු ඒක ගොඩක් අගය කරනවා කියලත් අමතක කරන්න එපා. ඔයාව බලාගන්න අයට නැත්නම් ඔයාට බෙහෙත් කරන්න එන අයට සාක්ෂි දරන්න යෙහෝවා දෙවියන් ඔයාට උදව් කරයි. හැබැයි කවදාවත් ඔයා දැන් කරන සේවේ කලින් කරපු සේවෙත් එක්ක සසඳන්න එපා. මොකද එහෙම කළොත් ඔයා අධෛර්යය වෙයි. ඒ නිසා යෙහෝවා දෙවියන් දැන් ඔයාට උදව් කරන්නේ කොහොමද කියලා හොඳට හිතන්න. එහෙම කරද්දී මොන දේට මුහුණ දෙන්න වුණත් දිගටම සතුටින් ඉන්න ඒක ඔයාට උදව් වෙයි.

17. දේශනාකාරයා 11:6 අනුව සේවේ ප්‍රතිඵල නොදැක්කත් අපි දිගටම සේවේ කරන්න ඕනෙ ඇයි?

17 අපි ශුභාරංචිය කියන අය අතරෙන් කීයෙන් කීදෙනෙක් සත්‍යයට එයිද කියලා අපි දන්නේ නැහැ. (දේශනාකාරයා 11:6 කියවන්න.) උදාහරණෙකට සහෝදරි බාබ්‍රාගේ අද්දැකීම බලන්න. එයාගේ වයස 80කටත් වඩා වැඩියි. හැබැයි ලියුම් ලියලා, කෝල් කරලා එයා දිගටම සාක්ෂි දරනවා. දවසක් එයා ලියපු ලියුමක් එක්ක 2014 මාර්තු 1 ‘මුරටැඹ’ සඟරාවකුත් එයා යැව්වා. “දෙවි පියාණන් ඔබ වෙනුවෙන් කර තිබෙන දේ” කියන මාතෘකාවෙන් ලිපියක් ඒ සඟරාවේ තිබුණා. සහෝදරි බාබ්‍රා දැනගෙන හිටියෙ නැහැ එයා ඒ ලියුම යවන්නේ අවුරුදු ගාණකට කලින් සත්‍යයේ හිටපු යුවළකට කියලා. ඒ වෙද්දී එයාලව සභාවෙන් ඉවත් කරලයි තිබුණේ. හැබැයි එයාලා ඒ සඟරාව ආයේ ආයේ කියෙව්වා. ඒ ස්වාමිපුරුෂයා කියනවා ඒ සඟරාව එයා කියවද්දී එයාට දැනුණේ හරියට යෙහෝවා දෙවියන් කෙළින්ම එයාත් එක්ක කතා කරනවා වගේ කියලා. අන්තිමේදී අවුරුදු 27කට පස්සේ එයාලා ආයෙත් සභාවට එකතු වුණා. ඒ ගැන දැනගන්න ලැබුණාම සහෝදරි බාබ්‍රාට කොහොම හැඟෙන්න ඇද්ද කියලා හිතාගන්න පුළුවන් නේද?

(1) යාච්ඤාව, (2) බයිබලය, (3) සහෝදර සහෝදරියන් සහ (4) සේවේ මාර්ගයෙන් යෙහෝවා දෙවියන් අපිව ශක්තිමත් කරනවා (9, 10, 12, 14 ඡේද බලන්න)

18. දෙවියන්ගේ බලයේ උපකාරය අද්දකින්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

18 අපිට උදව් කරන්න යෙහෝවා දෙවියන් මොන තරම් නම් දේවල් දීලා තියෙනවාද? උදාහරණෙකට යාච්ඤාව, බයිබලය, සහෝදර සහෝදරියන් සහ සේවේ මාර්ගයෙන් ඔහු අපිට උදව් කරන්නේ කොහොමද කියලා අපි මේ ලිපියෙන් බැලුවා. ඇත්තටම ‘ඔහුට පූර්ණ හදවතකින් සේවේ කරන අයට තම බලය ලබා දෙමින් උපකාර කරන්න’ යෙහෝවා දෙවියන් කැමැත්තෙනුයි ඉන්නේ. (2 ලේක. 16:9) ඉතින් ඔහු ලබා දෙන සැපයුම්වලින් අපි උපරිම ප්‍රයෝජන ගන්නවා නම් ඔහුව විශ්වාස කරනවා කියලා පෙන්නන්න අපිට පුළුවන්.

ගීතිකාව 61 සාක්ෂිකරුවෙනි ඉදිරියට යන්න!

^ 5 ඡේ. අපි ජීවත් වෙන්නේ හරිම අමාරු කාලෙක. හැබැයි අපි තනි වෙලා නැහැ. මොකද යෙහෝවා දෙවියන්ගේ උදව් අපිට ලැබෙනවා. අභියෝගවලට මුහුණ දුන්නත් දිගටම සේවේ කරගෙන යන්න පාවුල්ටයි, තිමෝතිටයි යෙහෝවා දෙවියන් උදව් කළේ කොහොමද කියලත් ඒ දේම කරන්න ඔහු අපිට උදව් කරන විදි 4ක් ගැනත් අපි මේ ලිපියෙන් බලමු.

^ 2 ඡේ. නම වෙනස් කර ඇත.

^ 53 ඡේ. පින්තූරයේ අදහස: රෝමයේ හිර අඩස්සියේ ඉද්දී පාවුල් සභාවලට ලියුම් ලියනවා. එයාව බලන්න එන අයට දේශනා කරනවා.

^ 55 ඡේ. පින්තූරයේ අදහස: තිමෝති සභාවලට ගිහිල්ලා සහෝදරයන්ව දිරිගන්වනවා.