Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 18

යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න ඔයාට තියෙන බාධාව මොකක්ද?

යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න ඔයාට තියෙන බාධාව මොකක්ද?

“යමෙකුට මා ගැන සැකයක් නැත්නම් ඒ තැනැත්තා සන්තෝෂවත්.”—මතෙ. 11:6.

ගීතිකාව 54 “යා යුතු හරි මඟ”

මේ ලිපියෙන් *

1. ඔයා බයිබල් සත්‍යයන් අනිත් අයත් එක්ක බෙදාගද්දී හුඟදෙනෙක්ගේ ප්‍රතිචාරය වුණේ මොකක්ද?

සත්‍යය මොකක්ද කියලා බයිබලෙන් දැනගන්න ලැබුණු මුල්ම දවස ඔයාට මතකද? ඒ සත්‍යයන් හරිම සරලයි, පැහැදිලියි කියලා ඔයාට හිතෙන්න ඇති. ඔයා වගේම අනිත් අයත් බයිබලේ තියෙන පණිවිඩය සතුටින් පිළිගනියි කියලත් ඔයා හිතන්න ඇති. මොකද අර්ථවත් ජීවිතයක් ගත කරන්න ඕන කරන මඟ පෙන්වීම්, අනාගතය ගැන ලස්සන බලාපොරොත්තුවක් ඒකෙන් අපිට ලැබෙනවා. (ගීතා. 119:105) ඒ නිසා ඔයා හරිම සතුටින් ඒ දේවල් ගැන ඔයා දන්න හැමෝටම කියන්න ඇති. හැබැයි ඔයා ආසාවෙන් කියපු ඒ පණිවිඩය හුඟදෙනෙක් ප්‍රතික්ෂේප කළා නේද?

2-3. යේසුස් ගැනත් ඔහු දේශනා කරපු දේ ගැනත් ඔහුගේ කාලේ හිටපු හුඟක් අය හිතුවේ කොහොමද?

2 අපේ පණිවිඩය හුඟදෙනෙක් ප්‍රතික්ෂේප කරන එක ගැන අපි පුදුම වෙන්න ඕනෙ නැහැ. ආශ්චර්යයන් කරලා තමන්ට දෙවියන්ගේ අනුමැතිය තියෙනවා කියලා යේසුස් ඔප්පු කළත් යේසුස්ගේ කාලේ හිටපු හුඟක් අය ඔහුව ප්‍රතික්ෂේප කළා. උදාහරණෙකට ලාසරුස්ව යේසුස් නැවත නැඟිට්ටුවා කියලා ඔහුට විරුද්ධ වුණ ආගමික නායකයනුත් පිළිගත්තා. හැබැයි එයාලා ඔහුව ගැලවුම්කරු විදිහට පිළිගත්තේ නැහැ. යේසුස්වයි ලාසරුස්වයි මරන්නත් ඒ අය සැලසුම් කළා.—යොහ. 11:47, 48, 53; 12:9-11.

3 හුඟදෙනෙක් තමන්ව ගැලවුම්කරු විදිහට පිළිගන්නේ නැහැ කියලා යේසුස් දැනන් හිටියා. (යොහ. 5:39-44) ඔහු යොහන් බව්තීස්තගේ ගෝලයන්ට කිව්වා “යමෙකුට මා ගැන සැකයක් නැත්නම් ඒ තැනැත්තා සන්තෝෂවත්” කියලා. (මතෙ. 11:2, 3, 6) ඒ කාලේ හිටපු හුඟදෙනෙක් යේසුස්ව ප්‍රතික්ෂේප කළේ ඇයි?

4. මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

4 යේසුස්ගේ කාලේ හිටපු මිනිස්සු ඔහුව ප්‍රතික්ෂේප කරන්න හේතු වුණු සමහර දේවල් මොනවාද? අපේ කාලේ ඉන්න හුඟදෙනෙක් යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ව ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? යේසුස්ව දිගටම අනුගමනය කරන්න ශක්තිමත් විශ්වාසයක් ඇතුව ඉන්න අපිට පුළුවන් කොහොමද? ඒවාට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

(1) යේසුස්ගේ පසුබිම

යේසුස්ගේ පසුබිම නිසා හුඟක් අය යේසුස් ගැලවුම්කරු කියලා පිළිගත්තේ නැහැ. අද ඉන්න සමහර අයටත් ඒක බලපාන්න පුළුවන් කොහොමද? (5 ඡේදය බලන්න) *

5. යේසුස් ගැලවුම්කරු කියලා හුඟක් අය විශ්වාස කළේ නැත්තේ ඇයි?

5 ඒ කාලේ මිනිස්සු යේසුස්ව ප්‍රතික්ෂේප කරන්න හේතු වුණු දෙයක් තමයි ඔහුගේ පසුබිම. ඔහු දක්ෂ ගුරුවරයෙක් කියලත් ආශ්චර්යවත් දේවල් කළා කියලත් ඒ අය පිළිගත්තා. හැබැයි හුඟදෙනෙක් යේසුස් දිහා බැලුවේ ගැලවුම්කරු විදිහට නෙවෙයි, දුප්පත් වඩුවෙක්ගේ පුතෙක් විදිහට. ඒ වගේම යේසුස් හැදී වැඩුණේ එච්චර වැදගත් කියලා සැලකුවේ නැති නාසරෙත් කියන නුවරේ. පස්සේ කාලෙක යේසුස්ගේ ගෝලයෙක් වුණ නතානියෙල් යේසුස් ගැන අහපු මුල්ම වතාවෙදී කිව්වේ “නාසරෙත් නුවරින් කොහොමද යහපත් කෙනෙක් එන්නේ” කියලා. (යොහ. 1:46) එයා එහෙම කියන්න ඇත්තේ ඒ නගරයේ අයව එයා පහත් කරලා සැලකුව නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් මීකා 5:2 කියන අනාවැකිය එයාගේ මනසේ තියෙන්න ඇති. මොකද එතන කියන්නේ ගැලවුම්කරු ඉපදෙන්නේ බෙත්ලෙහෙමේ මිසක් නාසරෙත්වල කියලා නෙවෙයි.

6. යේසුස් ගැලවුම්කරු කියලා හඳුනගන්න ලියවිලිවල තිබුණු සාක්ෂි මොනවාද?

6 ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙන්නේ මොනවාද? අනාගතවක්තෘ යෙසායා කලින්ම සඳහන් කරලා තිබුණා යේසුස්ගේ සතුරන් ගැලවුම්කරුගේ පෙළපතේ විස්තර ගැන සොයා බලන්නේ නැහැ කියලා. (යෙසා. 53:8) ඇත්තටම ගැලවුම්කරුව හඳුනගන්න උදව් වෙන තොරතුරු ශුද්ධ ලියවිල්ලේ කලින්ම කියලා තිබුණා. ඉතින් මිනිස්සු ඒ තොරතුරු ගැන හොයලා බැලුවා නම් ගැලවුම්කරු යේසුස් කියලා ලේසියෙන්ම හඳුනගන්න පුළුවන්කම තිබුණා. උදාහරණෙකට ගැලවුම්කරු ඉපදෙන්නේ බෙත්ලෙහෙමේ කියලත් ඔහු දාවිත් රජගේ පෙළපතෙන් පැවත එන කෙනෙක් කියලත් ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙලා තිබුණා. (ලූක් 2:4-7) මීකා 5:2 කියලා තිබුණ විදිහටම යේසුස් ඉපදුණේ බෙත්ලෙහෙමේ. ඒ තරම් පැහැදිලි සාක්ෂි තිබිලත් ගැලවුම්කරු යේසුස් කියලා මිනිස්සු පිළිගත්තේ නැත්තේ ඇයි? එහෙම වුණේ තිබුණු සාක්ෂි ගැන එයාලා හොයලා බැලුවේ නැති නිසයි.

7. හුඟක් අය අපිව පිළිගන්නේ නැත්තේ ඇයි?

7 අද කාලේ ඉන්නෙත් ඒ වගේ අයද? ඔව්. සාක්ෂිකරුවන් අතර ඉන්න වැඩිදෙනෙක් හුඟක් පොහොසත් අයවත් සමාජයේ ලොකු පිළිගැනීමක් තියෙන අයවත් නෙවෙයි. හුඟක් අය සාක්ෂිකරුවන්ව දකින්නේ “වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ, සාමාන්‍ය මිනිසුන්” විදිහට. (ක්‍රියා 4:13) ආගම කියන විෂය ගැන උපාධියක් ලබලා නැති නිසා බයිබලේ තියෙන දේවල් ගැන අනිත් අයට උගන්නන්න අපිට සුදුසුකම් නැහැ කියලා සමහර අය හිතනවා. තවත් අය හිතනවා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ ඇමරිකානු ආගමක් කියලා. හැබැයි ඒක ඇත්තක් නෙමෙයි. මොකද ඇමරිකාවේ ඉන්නේ සාක්ෂිකරුවන්ගෙන් 14%ක් වගේ සුළු පිරිසක්. සාක්ෂිකරුවන් යේසුස්ව පිළිගන්නේ නැහැ කියලා හිතන අයත් ඉන්නවා. අවුරුදු ගාණක් තිස්සේ සාක්ෂිකරුවන් කොමියුනිස්ට්වාදීන්, ඇමරිකානු ඔත්තුකරුවන් සහ අන්තවාදීන් කියලා චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ වගේ කටකතා නිසා තමයි හුඟක් අය සාක්ෂිකරුවන්ව පිළිගන්නේ නැත්තේ. ඒ කතාවල ඇත්ත නැත්ත එයාලා හොයලා බලලා නැහැ.

8. ක්‍රියා 17:11 අනුව සැබෑ ආගම හඳුනගන්න කැමති කෙනෙක් කරන්න ඕනෙ මොනවාද?

8 කරන්න ඕනෙ මොනවාද? ඇත්ත නැත්ත ගැන හොයලා බලන්න ඕනේ. බයිබල් ලේඛකයෙක් වුණ ලූක් ඒ දේ කළා. තමන් වාර්තා කරන හැම දෙයක්ම නිවැරදියි කියලා ස්ථිර කරගන්න ලූක් උපරිමයෙන් වෑයම් කළා. මොකද එයා වාර්තා කරන තොරතුරු කියවන අය එයාලට යේසුස් ගැන දැනගන්න ලැබුණ හැම දෙයක්ම නිවැරදියි කියලා සහතික කරගන්නවා දකින්නයි ලූක්ට ඕන වුණේ. (ලූක් 1:1-4) අතීතයේ බෙරීය නගරයේ හිටපු යුදෙව්වනුත් යේසුස් ගැන එයාලට අහන්න ලැබුණු දේවල් හෙබ්‍රෙව් ලියවිල්ලේ තියෙන දේවල්වලට එකඟයිද කියලා හොයලා බැලුවා. (ක්‍රියා 17:11 කියවන්න.) සැබෑ ආගම හඳුනගන්න කැමති කෙනෙකුත් කරන්න ඕනෙ ඒ දේම තමයි. දෙවියන් ගැන ඉගෙනගන්න දේවල් ශුද්ධ ලියවිල්ලට එකඟයිද කියලා එයා හොයලා බලන්න ඕනේ. ඒ වගේම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසය ගැනත් හොයලා බලන්න ඕනේ. එහෙම කරනවා නම් බොරු කටකතාවලට රැවටෙන්නේ නැතුව ඉන්න එයාට පුළුවන්.

(2) අනිත් අයගේ අවධානය ඇදගන්න අරමුණෙන් යේසුස් ආශ්චර්යයන් කළේ නැහැ

යේසුස් “අහසෙන් ලකුණක්” දෙන්න ප්‍රතික්ෂේප කරපු නිසා හුඟක් අය යේසුස් ගැලවුම්කරු කියලා පිළිගත්තේ නැහැ. අද ඉන්න සමහර අයටත් ඒක බලපාන්න පුළුවන් කොහොමද? (9-10 ඡේද බලන්න) *

9. යේසුස් අහසෙන් ලකුණක් පෙන්නුවේ නැති වුණාම මොකද වුණේ?

9 යේසුස් උගන්නපු දේවල්වලින් ඔහු ගැලවුම්කරු කියලා පැහැදිලිව පේන්න තිබුණත් ඒ කාලේ හිටපු සමහර අය ඒකෙන් සෑහීමට පත් වුණේ නැහැ. යේසුස් ඇත්තටම ගැලවුම්කරු නම් ඒක ඔප්පු කරන්න “අහසෙන් ලකුණක්” පෙන්නන්න කියලා එයාලා යේසුස්ට කිව්වා. (මතෙ. 16:1) සමහරවිට එයාලා එහෙම කියන්න ඇත්තේ දානියෙල් 7:13, 14 සඳහන් අනාවැකිය වැරදියට තේරුම්ගත්ත නිසා වෙන්න ඇති. හැබැයි යෙහෝවා දෙවියන් නියම කරලා තිබුණු විදිහට ඒ අනාවැකිය ඉටු වෙන්න තව සෑහෙන කාලයක් තිබුණා. යේසුස් අහසෙන් ලකුණක් දුන්නේ නැති නිසා ඔහු ගැලවුම්කරු කියලා එයාලා පිළිගත්තේ නැහැ.—මතෙ. 16:4.

10. ගැලවුම්කරු ගැන යෙසායා කියලා තිබුණු දේවල් යේසුස් ඉටු කළේ කොහොමද?

10 ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙන්නේ මොනවාද? යෙසායා ගැලවුම්කරු ගැන කලින්ම කියලා තිබුණා “ඔහු කෑගසන්නේවත් ප්‍රධාන වීථිවල ශබ්ද නඟා කතා කරන්නේවත් නැත” කියලා. (යෙසා. 42:1, 2) යේසුස් සේවය කළේ අනිත් අයගේ අවධානය ඇදගන්න විදිහට නෙවෙයි. ඔහු දේවමාලිගා ඉදි කළේවත් අනිත් ආගමික නායකයන් වගේ විශේෂ ඇඳුමක් ඇඳගෙන හිටියේවත් විශේෂ පදවි නමකින් තමන්ට කතා කරන්න කියලා කිව්වේවත් නැහැ. යේසුස්ගේ නඩු විභාගය පවත්වපු වෙලාවේ ඔහුගේ ජීවිතය අනතුරේ තිබුණත් ආශ්චර්යයක් කරලා හෙරොද් රජව සතුටු කරන්න යේසුස් කැමති වුණේ නැහැ. (ලූක් 23:8-11) සමහර අවස්ථාවලදී යේසුස් ආශ්චර්යයන් කළත් ඔහු වැඩියෙන්ම අවධානය දුන්නේ ශුභාරංචිය දේශනා කරන එකට. ඒ නිසයි ඔහු ගෝලයන්ට කිව්වේ “මම ආවේ ඒ කාර්යය සඳහායි” කියලා.—මාක් 1:38.

11. අද ඉන්න සමහර අයට තියෙන්නේ මොන වගේ වැරදි අදහස්ද?

11 අද කාලේ ඉන්නෙත් ඒ වගේ අයද? ඔව්. අද ඉන්න හුඟදෙනෙක් කැමති මිල අධික රූප තියෙන, කැපිල පේන විදිහට හදලා තියෙන දේවස්ථානවලට. ඒ වගේම ආගමික නායකයන්ව විශේෂ පදවි නම්වලින් හඳුන්වනවාටත් එයාලා කැමතියි. සමහර උත්සව එයාලා හරිම සතුටින් සැමරුවත් ඒවාවල මූලාරම්භය ගැන එයාලා දන්නේ නැහැ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට අපි නමස්කාර කරන විදිහ ඊට වඩා කොච්චර වෙනස්ද? අපේ නමස්කාර මධ්‍යස්ථාන හදලා තියෙන්නේ හරිම චාම් විදිහට. ඒවා හරිම පිරිසිදුයි. මූලිකත්වය අරන් වැඩ කරන අයට විශේෂ ඇඳුමක්වත් විශේෂ පදවි නම්වත් නැහැ. යෙහෝවා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද කියලත් ඔහුව සතුටු කරන්න පුළුවන් කොහොමද කියලත් අපේ රැස්වීම්වලින් අපි ඉගෙනගන්නවා. අපි ඉගෙනගන්න හැම දෙයක්ම පදනම් වෙන්නේ බයිබලය මත. එහෙනම් හුඟක් අය අපිට කැමති නැත්තේ ඇයි? ඒ අපි නමස්කාර කරන විදිහ සරල වැඩියි කියලා එයාලා හිතන නිසයි. ඒ වගේම එයාලා කැමති දේවල් අපි උගන්වන්නේ නැති නිසාත් එයාලා අපිට කැමති නැහැ.

12. හෙබ්‍රෙව් 11:1, 6 අනුව අපේ විශ්වාසය පදනම් වෙන්න ඕනෙ මොකක් මතද?

12 අපි කරන්න ඕනෙ මොනවාද? පාවුල් රෝමයේ හිටපු ක්‍රිස්තියානීන්ට මෙහෙම කිව්වා. ‘විශ්වාසයක් ඇති වන්නේ පණිවිඩයට සවන් දුන්නොත් පමණයි. ඒ පණිවිඩයට සවන් දිය හැක්කේ යමෙකු ක්‍රිස්තුස් ගැන කතා කරන විටය.’ (රෝම 10:17) ඒකෙන් පැහැදිලි වෙනවා අපි අපේ විශ්වාසය ශක්තිමත් කරගන්න ඕනෙ බයිබලය අධ්‍යයනය කරන එකෙන් මිසක් සිත් ඇදගන්න විදිහට තියෙන, බයිබලේට පටහැනි ආගමික උත්සවවලටත් චාරිත්‍රවලටත් සහභාගි වෙන එකෙන් නෙමෙයි කියලා. අපි අපේ විශ්වාසය පදනම් කරගන්න ඕනෙ නිවැරදි දැනුම මත. මොකද ‘යමෙකු තුළ දෙවි කෙරෙහි විශ්වාසයක් නැත්නම් ඔහුට දෙවිව කිසි ලෙසකින්වත් සතුටු කරන්න බැහැ.’ (හෙබ්‍රෙව් 11:1, 6 කියවන්න.) අපි ඉන්නේ සත්‍ය මාර්ගයේ කියලා තහවුරු කරගන්න බයිබලේ ඕන තරම් සාක්ෂි තියෙනවා. ඒ නිසා අපි බයිබලේ තියෙන තොරතුරු ගැන හොඳට හොයලා බලන එක හරිම වැදගත්. එහෙම කරද්දී අපි ඉන්නේ සත්‍ය මාර්ගයේ කියලා තහවුරු කරගන්න අපිට අහසින් ලකුණක් ඕන වෙන්නේ නැහැ.

(3) යේසුස් යුදෙව් සම්ප්‍රදායන් අනුගමනය කළේ නැහැ

යේසුස් සමහර සම්ප්‍රදායන් ප්‍රතික්ෂේප කරපු නිසා හුඟක් අය යේසුස් ගැලවුම්කරු කියලා පිළිගත්තේ නැහැ. අද ඉන්න සමහර අයටත් ඒක බලපාන්න පුළුවන් කොහොමද? (13 ඡේදය බලන්න) *

13. හුඟක් අය යේසුස්ව පිළිගත්තේ නැත්තේ ඇයි?

13 යේසුස්ගේ ගෝලයන් නිරාහාරව හිටියේ නැති එක ගැන යොහන් බව්තීස්තගේ ගෝලයන් පුදුම වුණා. හැබැයි යේසුස් එයාලට පැහැදිලි කළා ඒ වෙද්දී යේසුස් ජීවතුන් අතර හිටපු නිසා ගෝලයන් නිරාහාරව ඉන්න ඕනෙ නැහැ කියලා. (මතෙ. 9:14-17) හැබැයි පරිසිවරුයි යේසුස්ට විරුද්ධ වුණ අනිත් අයයි එයාලගේ සම්ප්‍රදායන් යේසුස් අනුගමනය කළේ නැති එක ගැන යේසුස්ට දොස් කිව්වා. උදාහරණෙකට අසනීප වෙලා හිටපු අයව යේසුස් සබත් දවස්වලදී සුව කළාම එයාලට හුඟක් කේන්ති ගියා. (මාක් 3:1-6; යොහ. 9:16) එයාලා සබත පවත්වන එක ගැන මහා උජාරුවෙන් කතා කළත් මිනිස්සු දේවමාලිගාවේ වෙළදාම් කරන එක ගැන එයාලට කිසි ගාණක් තිබුණේ නැහැ. ඒක යේසුස් හෙළාදැක්කාම ඒ ගැන එයාලට ගොඩක් කේන්ති ගියා. (මතෙ. 21:12, 13, 15) ඒ වගේම යේසුස් තවත් දවසක සිනගෝගයේ උගන්වමින් ඉද්දී ඒ කාලේ හිටපු යුදෙව්වන් හිතන්නේ තමන් ගැනම විතරයි කියලත් එයාලගේ විශ්වාසය දුර්වලයි කියලත් පැහැදිලි කරන්න අතීතයේ වුණ දේවල් ගැන මතක් කළා. ඒ වෙලාවෙත් සිනගෝගයේ හිටපු හැමෝටම කේන්ති ගියා. (ලූක් 4:16, 25-30) ඔව්, ඒ කාලේ හිටපු හුඟදෙනෙක් යේසුස්ව පිළිගත්තේ නැත්තේ එයාලා බලාපොරොත්තු වුණ විදිහට යේසුස් වැඩ කළේ නැති නිසයි.—මතෙ. 11:16-19.

14. බයිබලේට එකඟ නැති සම්ප්‍රදායන් පවත්වන එක වැරදියි කියලා යේසුස් ප්‍රසිද්ධියේම කිව්වේ ඇයි?

14 ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙන්නේ මොනවාද? යෙහෝවා දෙවියන් යෙසායා මාර්ගයෙන් මෙහෙම කිව්වා. “මේ ජනයා මා වෙතට ළං වන්නේ තමන්ගේ තොල්වලින් පමණි. ඔවුන් තමන්ගේ මුඛයෙන් මට ප්‍රශංසා කළත් ඔවුන්ගේ සිත් මා වෙතින් බොහෝ ඈත් වී තිබේ. මිනිසුන් විසින් සාදාගත් ආඥා ඉගෙනගත් පමණින් මට ගරුබිය දක්වනවායයි ඔවුහු සිතති.” (යෙසා. 29:13) එහෙනම් ශුද්ධ ලියවිල්ලට පටහැනි සම්ප්‍රදායන් පවත්වන එක වැරදියි කියලා ප්‍රසිද්ධියේම කියන්න යේසුස්ට හොඳ හේතුවක් තිබුණා නේද? ශුද්ධ ලියවිල්ලේ තියෙන දේවලට වඩා මිනිස්සු හදපු සම්ප්‍රදායන් වැදගත් කියලා සලකපු අය ඇත්තටම ඒකෙන් කළේ යෙහෝවා දෙවියන්වත් ඔහු එවපු ගැලවුම්කරුවත් ප්‍රතික්ෂේප කරපු එකයි.

15. අද ඉන්න හුඟක් අය සාක්ෂිකරුවන්ට කැමති නැත්තේ ඇයි?

15 අද කාලේ ඉන්නෙත් ඒ වගේ අයද? ඔව්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට අපි උපන් දින උත්සව, නත්තල වගේ බයිබලයට පටහැනි උත්සව සමරන්නේ නැති නිසා හුඟදෙනෙක් අපිට කැමති නැහැ. තවත් සමහර අය අපිට කැමති නැත්තේ ජාතියක් උසස් කරලා සලකන උත්සවවලට, බයිබලේට පටහැනි අවමංගල්‍ය චාරිත්‍රවලට අපි හවුල් වෙන්නේ නැති නිසයි. ඒ වගේ හේතු නිසා අපිට කැමති නැති අය හිතන්නේ එයාලා නමස්කාර කරන්නේ දෙවියන් කැමති විදිහට කියලා. හැබැයි බයිබලේ තියෙන දේවල් පිළිපදිනවා වෙනුවට මිනිසුන්ගේ සම්ප්‍රදායන් අනුගමනය කරන එකෙන් එයාලට කවදාවත් දෙවියන්ව සතුටු කරන්න බැහැ.—මාක් 7:7-9.

16. අපි කරන්න ඕනෙ සහ නොකරන්න ඕනෙ මොනවාද? (ගීතාවලිය 119:97, 113, 163-165)

16 අපි කරන්න ඕනෙ මොනවාද? යෙහෝවා දෙවියන්ගේ නීති සහ ප්‍රතිපත්ති ගැන ලොකු අගයක් අපි අපේ හිතේ ඇති කරගන්න ඕනේ. (ගීතාවලිය 119:97, 113, 163-165 කියවන්න.) යෙහෝවා දෙවියන් ගැන ලොකු ආදරයක් අපිට තියෙනවා නම් ඔහු අකමැති කිසිම දෙයක් අපි කරන්නේ නැහැ. ඒ වගේම ඔහුට වඩා කිසිම දෙයකට ආදරය කරන්න අපි පෙලඹෙන්නෙත් නැහැ.

(4) යේසුස් දේශපාලනයට හවුල් වුණේ නැහැ

යේසුස් දේශපාලනයට හවුල් වුණේ නැති නිසා හුඟක් අය යේසුස් ගැලවුම්කරු කියලා පිළිගත්තේ නැහැ. අද ඉන්න සමහර අයටත් ඒක බලපාන්න පුළුවන් කොහොමද? (17 ඡේදය බලන්න) *

17. යේසුස් මොනවා කරයි කියලාද මිනිස්සු බලාපොරොත්තු වුණේ?

17 යේසුස්ගේ කාලේ හිටපු සමහර අය හිතුවා ඔහු දේශපාලනයට සම්බන්ධ වෙලා එයාලගේ ප්‍රශ්න විසඳයි කියලා. මොකද එයාලා හිතන් හිටියේ ගැලවුම්කරු ඇවිත් රෝම පාලනය නිසා එයාලා වින්ද පීඩාවලින් එයාලව ගලවාගනියි කියලා. ඒත් එයාලා යේසුස්ව රජ කරන්න හැදුවාම යේසුස් ඒකට කැමති වුණේ නැහැ. (යොහ. 6:14, 15) යේසුස් දේශපාලනයට සම්බන්ධ වෙයි කියලා පූජකයන්ගේ හිත්වලත් ලොකු බයක් තිබුණා. මොකද එහෙම වුණා නම් රෝමවරුන් එයාලත් එක්ක කේන්ති අරන් පූජකයන් විදිහට එයාලට දීලා තිබුණ බලතල ආපහු ගනියි කියලා එයාලා හිතුවා. දේශපාලනයට සම්බන්ධ ඒ වගේ කාරණා නිසා හුඟක් යුදෙව්වන් යේසුස් ගැලවුම්කරු කියලා පිළිගත්තේ නැහැ.

18. ගැලවුම්කරු ගැන තිබුණු මොන අනාවැකිද හුඟක් අය නොසලකාහැරියේ?

18 ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙන්නේ මොනවාද? හුඟක් අනාවැකිවල සඳහන් වෙලා තිබුණා ගැලවුම්කරු ජයග්‍රාහී රජෙක් වෙනවා කියලා. හැබැයි ඒ දේ වෙන්නේ අපේ පව් වෙනුවෙන් ඔහු ජීවිතය පූජා කළාට පස්සේ කියලා තවත් අනාවැකිවල සඳහන් වෙලා තිබුණා. (යෙසා. 53:9, 12) එහෙනම් යුදෙව්වන්ට ගැලවුම්කරු ගැන වැරදි අදහස් තිබුණේ ඇයි? එහෙම වුණේ ඒ කාලේම එයාලගේ ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන්නේ නැහැ කියලා සඳහන් වුණු කිසිම අනාවැකියක් එයාලා විශ්වාස කළේ නැති නිසයි.—යොහ. 6:26, 27.

19. හුඟක් අය අපේ පණිවිඩය පිළිගන්නේ නැත්තේ ඇයි?

19 අද කාලේ ඉන්නෙත් ඒ වගේ අයද? ඔව්. හුඟක් අය අපේ පණිවිඩය පිළිගන්නේ නැත්තේ අපි දේශපාලන කටයුතුවලට හවුල් වෙන්නේ නැති නිසයි. එයාලා බලාපොරොත්තු වෙනවා අපි ඡන්දේ දායි කියලා. හැබැයි අපි මිනිසෙක්ව අපේ පාලකයා විදිහට තෝරගත්තොත් අපි කරන්නේ යෙහෝවා දෙවියන්ව ප්‍රතික්ෂේප කරන එකයි. (1 සාමු. 8:4-7) සමහර අයට හිතෙනවා ඇති අපි ඉස්කෝල, ඉස්පිරිතාල හදලා සමාජයට සේවයක් කරන්න ඕනෙ කියලා. අපි ලෝකේ ප්‍රශ්න විසඳන්න උත්සාහ කරනවා වෙනුවට දේශනා සේවය කරන්න උපරිමයෙන් වෑයම් කරන නිසා ඒ අය අපේ පණිවිඩය පිළිගන්නේ නැහැ.

20. මතෙව් 7:21-23 අනුව අපි කරන්න ඕනෙ වැදගත්ම දේ මොකක්ද?

20 අපි කරන්න ඕනෙ මොනවාද? (මතෙව් 7:21-23 කියවන්න.) අපි කරන්න ඕන වැදගත්ම දේ තමයි යේසුස් අපිට භාර දුන්න පැවරුම ඉටු කරන එක. (මතෙ. 28:19, 20) හැබැයි අපි දේශපාලන කාරණා ගැන සමාජයේ ප්‍රශ්න විසඳන එක ගැන හිතන්න ගියොත් ඒ පැවරුම කරන්න අපිට පුළුවන් වෙන්නේ නැහැ. ඇත්ත, අපි මිනිසුන්ට ආදරෙයි. ප්‍රශ්නවලින් එයාලා පීඩා විඳින එක ගැන අපිටත් ලොකු දුකක් දැනෙනවා. හැබැයි අපි දන්නවා එයාලා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හොඳම දේ දේවරාජ්‍යය ගැන එයාලට කියලා දීලා යෙහෝවා දෙවියන්ගේ යාළුවන් වෙන්න එයාලට උදව් කරන එකයි කියලා.

21. අපේ අධිෂ්ඨානය වෙන්න ඕනෙ මොකක්ද?

21 මිනිස්සු යේසුස්ව පිළිනොගන්නත් අපිව පිළිනොගන්නත් හේතු වුණ කාරණා හතරක් ගැන අපි මේ ලිපියෙන් බැලුවා. ඒකට හේතු වෙලා තියෙන තවත් කාරණා හතරක් ගැන ඊළඟ ලිපියෙන් අපිට දැනගන්න පුළුවන්. දිගටම යේසුස්ව අපේ ගැලවුම්කරු විදිහට දකින්නත් අපේ විශ්වාසය ශක්තිමත් කරගන්නත් අපි අදිටන් කරගමු.

ගීතිකාව 56 දෙවිගේ මාර්ගය ඔබේ මාර්ගය කරගන්න

^ 5 ඡේ. පොළොවේ හිටපු උතුම්ම ගුරුවරයා වුණේ යේසුස් වුණත් ඒ කාලේ හිටපු හුඟදෙනෙක් ඔහුගේ අනුගාමිකයෙක් වෙන්න කැමති වුණේ නැහැ. ඒකට හේතු වුණු කරුණු හතරක් ගැනත් අද ඉන්න යේසුස්ගේ අනුගාමිකයන්ව හුඟදෙනෙක් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි කියලත් යේසුස්ව දිගටම අනුගමනය කරන්න ශක්තිමත් විශ්වාසයක් ඇතුව ඉන්න අපිට පුළුවන් කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලමු. මේ ලිපියෙත් අනිත් ලිපියෙත් තියෙන තොරතුරු විශේෂයෙන්ම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න බයෙන් ඉන්න අයට උදව් වෙයි.

^ 60 ඡේ. පින්තූරයේ අදහස: යේසුස්ව මුණගැහෙන්න කියලා ෆිලිප් නතානියෙල්ව දිරිගන්වනවා.

^ 62 ඡේ. පින්තූරයේ අදහස: යේසුස් ශුභාරංචිය දේශනා කරනවා.

^ 64 ඡේ. පින්තූරයේ අදහස: යේසුස්ගේ සතුරන් බලාගෙන ඉද්දී ඔහු අතක් පණ නැති මිනිසෙක්ව සුව කරනවා.

^ 66 ඡේ. පින්තූරයේ අදහස: යේසුස් තනියෙන් කන්දකට යනවා.