Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 20

සේවයේ සතුට නැති කරගන්න එපා

සේවයේ සතුට නැති කරගන්න එපා

‘කිසි විවේකයක් නොගෙන බීජ වපුරන්න.’—දේශ. 11:6.

ගීතිකාව 70 සුදුස්සන්ව සොයන්න

මේ ලිපියෙන් *

යේසුස් ස්වර්ගයට ගියාට පස්සේ ගෝලයන් යෙරුසලමෙත් දුර ඈත පැතිවලත් උද්‍යෝගයෙන් සේවේ කරනවා (1 ඡේදය බලන්න)

1. යේසුස් ගෝලයන්ට තිබ්බේ මොන වගේ ආදර්ශයක්ද? එයාලා ඔහුව ආදර්ශයට ගත්තේ කොහොමද? (කවරයේ පින්තූරය බලන්න.)

යේසුස් පොළොවේ හිටිය කාලේදී ඔහු දිගටම සතුටින් සේවයේ හවුල් වුණා. ගෝලයනුත් ඒ දේම කරනවා දකින්නයි ඔහුට ඕන වුණේ. (යොහ. 4:35, 36) යේසුත් එක්ක ඉද්දී ගෝලයන් උද්‍යෝගයෙන් සතුටින් සේවයේ හවුල් වුණා. (ලූක් 10:1, 5-11, 17) හැබැයි යේසුස්ගේ මරණයෙන් පස්සේ දේශනා කරන්න එයාලට තිබුණු උද්‍යෝගය නැති වෙලා ගියා. (යොහ. 16:32) ඒ නිසයි නැවත නැඟිටීමෙන් පස්සේ යේසුස් එයාලට උනන්දු කළේ දේශනා සේවයට ජීවිතේ මුල් තැන දෙන්න කියලා. ඊටපස්සේ එයාලා ආයෙත් සතුටින් සේවයේ හවුල් වෙන්න පටන්ගත්තා. එයාලා කොච්චර උද්‍යෝගයකින් සේවය කළාද කියනවා නම් එක අවස්ථාවක එයාලගේ සතුරන් කිව්වා, “නුඹලා උගන්වා ඇති දේවල් යෙරුසලම පුරාම පැතිරිලා” කියලා.—ක්‍රියා 5:28.

2. දේශනා සේවයට යෙහෝවා දෙවියන් ආශීර්වාද කරලා තියෙන්නේ කොහොමද?

2 මුල් සියවසේ යේසුස්ගේ මඟ පෙන්වීමෙන් සිද්ධ වුණ දේශනා සේවයට යෙහෝවා දෙවියන් ආශීර්වාද කළා. උදාහරණයක් විදිහට ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී 3,000ක් විතර බව්තීස්ම වුණා. (ක්‍රියා 2:41) එදා ඉඳන් ක්‍රිස්තියානීන්ගේ ගණන එන්න එන්නම වැඩි වුණා. (ක්‍රියා 6:7) ඒ විතරක් නෙවෙයි යේසුස් කලින්ම කිව්වා, වෙන කවරදාකටත් වඩා වැඩි පිරිසක් අන්තිම කාලේදී ඔහුගේ අනුගාමිකයන් අතරට එකතු වෙනවා කියලා.—යොහ. 14:12; ක්‍රියා 1:8.

3-4. සමහර පැතිවල දේශනා කරන එක අභියෝගයක් වෙලා තියෙන්නේ ඇයි? මේ ලිපියෙන් අපි බලන්නේ මොනවා ගැනද?

3 අපි හැමෝම සතුටින් සේවය කරගෙන යන්න උපරිමයෙන් උත්සාහ කරනවා. සමහර ප්‍රදේශවල ඒක කරන එක එච්චර අමාරු නැහැ. මොකද ඒ ප්‍රදේශවල මිනිස්සු බයිබලය ගැන ඉගෙනගන්න ගොඩක් ආසයි. ඒ වගේ පැතිවල ප්‍රචාරකයන්ට ගොඩක් බයිබල් පාඩම් කරන්න වෙන නිසා සමහර අයට සාක්ෂිකරුවෙක් එයාලගේ පාඩම පටන්ගන්න කල් ටික කාලයක් බලාගෙන ඉන්න වෙනවා. ඒත් තවත් පැතිවල සේවය කරන එක ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. මොකද ඒ වගේ පැතිවල හුඟක් මිනිස්සු කොයි වෙලෙත් ගෙදර නැහැ. නැත්නම් අපේ පණිවිඩයට කිසි උනන්දුවක් පෙන්නන්නේ නැහැ.

4 ඔයා ජීවත් වෙන්නෙත් ඒ වගේ ප්‍රදේශයකද? එහෙනම් මේ ලිපිය ඔයාට ප්‍රයෝජනවත් වෙයි. ගෙවල්වලදී මුණගැහෙන්නේ නැති අයට සාක්ෂි දරන්න අපේ සහෝදර සහෝදරියන් කරලා තියෙන්නේ මොනවාද කියලත් මිනිස්සු අපේ පණිවිඩය පිළිගත්තත් නැතත් දිගටම සතුටින් සේවය කරගෙන යන්න අපිට තියෙන හේතු මොනවාද කියලත් අපි මේ ලිපියෙන් බලන්න යනවා.

මිනිසුන්ව ගෙවල්වලදී මුණගැහුණේ නැතත්

5. හුඟක් සාක්ෂිකරුවන් මුහුණ දෙන්නේ මොන වගේ අභියෝගවලටද?

5 සාක්ෂිකරුවන්ට මිනිසුන්ව ගෙවල්වලදී මුණගැහෙන එක අභියෝගයක් වෙලා තියෙන්නේ ඇයි? සමහර ප්‍රචාරකයන් ඉන්නේ අධිආරක්ෂිත නිවාස සංකීර්ණ තියෙන පැතිවල. ඒ වගේ ගෙවල්වල මුරකරුවන් ඉන්න නිසා අවසරයක් නැතුව ඒවාට ඇතුල් වෙන්න බැහැ. තවත් ප්‍රචාරකයන් ජීවත් වෙන්නේ ගෙයින් ගෙට සේවයේ යන්න බාධාවක් නැති පැතිවල වුණත් හුඟක් වෙලාවට ඒ ගෙවල්වල මිනිස්සු නැහැ. ඒ වගේම පිටිසර ගම් පළාත්වල ජීවත් වෙන ප්‍රචාරකයන්ට මිනිසුන්ව හම්බ වෙන්න සෑහෙන දුරක් යන්න වෙනවා. ඒ ගියත් හුඟක් වෙලාවට මිනිස්සු ගෙවල්වල නැහැ. සේවයේ යද්දී ඔයාත් ඒ වගේ අභියෝග අද්දකිනවාද? එහෙනම් අධෛර්යය වෙන්න එපා. ඒ අභියෝග ජය අරන් සතුටින් දිගටම සේවය කරන්න පුළුවන් කොහොමද කියලා දැන් අපි බලමු.

6. දේශනා කරන අය ධීවරයන්ට සමාන වෙන්නේ මොන පැතිවලින්ද?

6 යේසුස් දේශනා සේවය මාළු අල්ලන්නන්ගේ වැඩේට සමාන කළා. (මාක් 1:17) සමහර වෙලාවට ධීවරයන් දවස් ගාණක් මාළු අල්ලන්න මහන්සි වුණත් එක මාළුවෙක්වත් අල්ලගන්න බැරි වෙනවා. හැබැයි එයාලා අධෛර්යය වෙලා වැඩේ නතර කරනවා වෙනුවට තත්වයට අනුව හැඩ ගැහෙනවා. එයාලා මාළු අල්ලන්න යන වෙලාව, තැන, මාළු අල්ලන විදි වෙනස් කරනවා. අපිටත් පුළුවන් ඒ වගේ වෙනස්කම් කරගන්න. ඒ කොහොමද?

අපි සේවය කරන වෙලාව වෙනස් කළොත් ගෙවල්වලදී මුණගැහෙන්නේ නැති අයටත් සාක්ෂි දරන්න අපිට පුළුවන් (7-10 ඡේද බලන්න) *

7. සේවයේ යන වෙලාව වෙනස් කරද්දී ලැබෙන හොඳ ප්‍රතිඵල මොනවාද?

7 සේවයේ යන වෙලාව වෙනස් කරන්න. ගෙවල්වලින් එළියට ගිය මිනිස්සු කොයි වෙලාවක හරි ගෙදරට එන්න ඕනනෙ, නේද? ඉතින් එයාලා ගෙවල්වල ඉන්නවා කියලා හිතෙන වෙලාවක අපි සේවයේ ගියොත් හුඟදෙනෙක්ට සාක්ෂි දරන්න අපිට පුළුවන් වෙයි. හුඟක් ප්‍රචාරකයන් අද්දැකලා තියෙනවා දවල් වරුවේ හරි හවස් වරුවේ හරි සේවයේ හවුල් වෙන එක හුඟක් සාර්ථකයි කියලා. ඒ වගේම ඒ වෙලාවට හුඟක් අය විවේකීව ඉන්න නිසා අපිට ඇහුම්කන් දෙන්න එයාලා කැමති වෙයි. වැඩිමහල්ලෙක් වන ඩේවිඩ්ගේ අද්දැකීම බලන්න. එයායි, එයාත් එක්ක සේවයේ යන අනිත් කෙනායි ගෙයින් ගෙට සේවය පටන් අරන් පැයකට දෙකකට පස්සේ ගෙවල්වල හිටියේ නැති අයව බලන්න ආයෙත් යනවා. එයා කියනවා “අපි දෙවෙනි වතාවට යද්දී මුලින් ගෙදර හිටියේ නැති හුඟදෙනෙක්ව අපිට හම්බ වෙනවා” කියලා. *

අපි සේවය කරන වෙලාව, සේවය කරන තැන සහ සේවය කරන ක්‍රම වෙනස් කළොත් ගෙවල්වලදී මුණගැහෙන්නේ නැති අයටත් සාක්ෂි දරන්න අපිට පුළුවන් (7-8 ඡේද බලන්න)

8. දේශනාකාරයා 11:6 සේවයට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

8 තේමා බයිබල් පදයේ කියන විදිහට අපි අපේ සේවය දිගටම උද්‍යෝගයෙන් ප්‍රීතියෙන් කරන්න ඕනේ. (දේශනාකාරයා 11:6 කියවන්න.) ඒ නිසා අපි උත්සාහය අත්හරින්න හොඳ නැහැ. කලින් සඳහන් කරපු ඩේවිඩ්, කෙනෙක්ව හම්බ වෙන්න කීප වතාවක්ම ගියත් ඒ කෙනා ගෙදර හිටියේ නැහැ. හැබැයි ඩේවිඩ් උත්සාහය අත්හැරියේ නැහැ. අන්තිමේදී ඩේවිඩ්ට එයාව හම්බ වුණාම බයිබල් පාඩමක් කරන්න එයා කැමති වුණා. “අවුරුදු අටක් විතර මං මෙහේ ජීවත් වුණත් කවදාවත් සාක්ෂිකරුවන්ව මට හම්බ වෙලා නැහැ” කියලා එයා ඩේවිඩ්ට කිව්වා. ඩේවිඩ් ඒ ගැන මෙහෙම කියනවා. “කීප වතාවක්ම උත්සාහ කරලා කෙනෙක්ව හම්බ වුණාම හුඟක් වෙලාවට ඒ අය අපේ පණිවිඩයට ඇහුම්කන් දෙන්න කැමති වෙනවා කියලයි මං අද්දැකලා තියෙන්නේ.”

අපි සේවය කරන තැන වෙනස් කළොත් ගෙවල්වලදී මුණගැහෙන්නේ නැති අයටත් සාක්ෂි දරන්න අපිට පුළුවන් (9 ඡේදය බලන්න)

9. ගෙවල්වල මුණගැහෙන්නේ නැති අයව හම්බ වෙන්න සාක්ෂිකරුවන් කරලා තියෙන්නේ මොනවාද?

9 සේවය කරන තැන් වෙනස් කරන්න. ගෙවල්වලදී මුණගැහෙන්නේ නැති අයට දේශනා කරන්න සමහර ප්‍රචාරකයන් එයාලා සේවය කරන තැන වෙනස් කරලා තියෙනවා. උදාහරණෙකට එයාලා වීදි සේවය කරනවා. ජංගම පුවරු තියාගෙන සාක්ෂි දරනවා. ගෙවල්වලදී මුණගැහෙන්නේ නැති අයට, විශේෂයෙන්ම නිවාස සංකීර්ණවල ඉන්න අයට සාක්ෂි දරන්න ඒ වගේ ක්‍රම හරිම සාර්ථකයි කියලා එයාලා අද්දැකලා තියෙනවා. ඒ වගේම උද්‍යානවල, වෙළඳපොළවල්වල සහ ව්‍යාපාරික ස්ථාන අවට සාක්ෂි දරද්දී මිනිස්සු හුඟක් වෙලාවට නිදහසේ කතා කරනවා කියලා හුඟක් ප්‍රචාරකයන් කියනවා. බොලිවියාවේ චාරිකා සේවකයෙක් වන ෆ්ලෝරන් කියන දේ බලන්න. “අපි ව්‍යාපාර ස්ථානවලටයි කඩ සාප්පුවලටයි යන්නේ දවල් 1ත් 3ත් අතර. මොකද ඒ වගේ වෙලාවට එයාලා නිදහසේ ඉන්න නිසා බයිබලේ තියෙන දේවල් ගැන කතා කරන්න විතරක් නෙවෙයි අලුතින් බයිබල් පාඩම් පටන්ගන්නත් අපිට පුළුවන් වෙලා තියෙනවා.”

අපි සේවය කරන ක්‍රම වෙනස් කළොත් ගෙවල්වලදී මුණගැහෙන්නේ නැති අයටත් සාක්ෂි දරන්න අපිට පුළුවන් (10 ඡේදය බලන්න)

10. ගෙයින් ගෙට සේවයට අමතරව දේශනා කරන්න පුළුවන් තවත් ක්‍රම මොනවාද?

10 විවිධ ක්‍රම අත්හදලා බලන්න. හිතන්න ඔයා කෙනෙක්ව මුණගැහෙන්න කීප වතාවක්ම උත්සාහ කළත් ඔයාට එයාව මුණගැහුණේ නැහැ කියලා. දැන් මොකද කරන්නේ? සහෝදරි කැට්‍රීනා මෙහෙම කියනවා. “කෙනෙක්ව මුණගැහෙන්න කීප සැරයක්ම උත්සාහ කරලත් ඒ කෙනාව මුණගැහුණේ නැත්නම් මං ලියුමක් ලියලා එයාට සාක්ෂි දරනවා.” මොකක්ද පාඩම? සාක්ෂි දරන්න අපිට විවිධ ක්‍රම තියෙන නිසා අපි සේවය කරන ප්‍රදේශයේ ඉන්න හැමෝටම මොනවා හරි ක්‍රමයකින් සාක්ෂි දරන්න අපි උත්සාහ කරන්න ඕනේ.

මිනිසුන් අපේ පණිවිඩයට ඇහුම්කන් දුන්නේ නැතත්

11. සමහර අය අපේ පණිවිඩයට ඇහුම්කන් දෙන්නේ නැත්තේ ඇයි?

11 සමහර අය අපේ පණිවිඩය අහන්න කැමති නැත්තේ ඇයි? ඒකට බලපාන හේතු කීපයක්ම තියෙනවා. උදාහරණෙකට සමහර අය හිතනවා එයාලට දෙවියන් ගැනවත් බයිබලය ගැනවත් දැනගන්න ඕනෙ නැහැ කියලා. තවත් අය මේ ලෝකේ සිද්ධ වෙන දේවල් නිසා දෙවි කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම බයිබලය අතේ තියාගෙන කුහක විදිහට හැසිරෙන ආගමික නායකයන් නිසාත් තවත් අය බයිබලේ තියෙන දේවල් ගැන ඉගෙනගන්න කැමති නැහැ. රස්සාව, පවුලේ අය වගේ දේවල් ගැන හිතන නිසා තවත් අයට බයිබලේ තියෙන දේවල් ගැන ඉගෙනගන්න වෙලාවක් නැහැ. අනික බයිබලේ තියෙන දේවල් එයාලට උදව් වෙනවා කියලා එයාලා හිතන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ හේතු නිසා මිනිසුන් අපේ පණිවිඩයට ඇහුම්කන් දෙන්නේ නැති වෙද්දී දිගටම සතුටින් සේවය කරන්න අපිට පුළුවන් කොහොමද?

12. ෆිලිප්පි 2:4 සේවයට උදව් වෙන්නේ කොහොමද?

12 අවංකවම සැලකිලිමත් වෙන්න. මුලදී අපේ පණිවිඩය අහන්න අකමැති වුණු සමහර අය ප්‍රචාරකයෙක්ගේ අවංක සැලකිල්ල දැකලා පස්සේ අපේ පණිවිඩය අහන්න කැමති වෙලා තියෙනවා. (ෆිලිප්පි 2:4 කියවන්න.) කලින් සඳහන් කරපු ඩේවිඩ් මෙහෙම කියනවා. “කවුරු හරි කෙනෙක් අපේ පණිවිඩය අහන්න කැමති නැහැ කියලා කිව්වොත් අපි මුලින්ම අපේ බයිබලෙයි, සඟරා ටිකයි බෑග් එකට දාගන්නවා. ඊටපස්සේ අපි හරිම සන්සුන්ව එයාගෙන් අහනවා, ‘එහෙම වෙන්න මොකක් හරි හේතුවක් තියෙනවාද’ කියලා.” අපි ඇත්තටම මිනිසුන් ගැන සැලකිලිමත් වෙද්දී ඒක එයාලට දැනෙනවා. අපි කියපු හැම දෙයක්ම එයාලට මතක තියෙන එකක් නැහැ. හැබැයි අපි එයාලට සලකපු විදිහ නම් එයාලට මතක තියෙයි. ඒ නිසා කෙනෙක් අපිට ඇහුම්කන් දෙන්න අකමැති වුණත් අපි ඇත්තටම එයා ගැන සැලකිලිමත් කියලා අපි හැසිරෙන විදිහෙන්, අපේ මුහුණේ ඉරියව්වලින් එයාට දැනෙන්න සලස්වමු.

13. නිවැසියාට ගැළපෙන විදිහට පණිවිඩය කියන්න අපිට පුළුවන් කොහොමද?

13 සේවයේදී මුණගැහෙන අයට අනුව අපි අපේ පණිවිඩය සකස් කරනවා නම් අපි ඇත්තටම එයාලා ගැන සැලකිලිමත් කියලා පෙන්නන්න පුළුවන්. උදාහරණෙකට අපි යන ගෙදරක දරුවන් ඉන්නවා කියලා අපිට තේරුණොත් මොකක්ද කරන්න පුළුවන්? ඒ වගේ ගෙදරක ඉන්න අය කැමති වෙයි දරුවන්ව හදා වඩා ගන්න විදිහ ගැන නැත්නම් පවුල් ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන් විදිහ ගැන කතා කරන්න. හිතන්න ඔයා යන ගෙදරක කැමරා කීපයක්ම හයි කරලා තියෙනවා කියලා. එහෙනම් ළඟදීම දුෂ්ටකම්වලට නිමාවක් එනවා කියලා දැනගන්න එයා කැමති වෙයි. අපේ පණිවිඩයට ඇහුම්කන් දෙන්න කැමති අයව හම්බ වෙන හැම වතාවකම බයිබලේ තියෙන උපදෙස්වල වටිනාකම තේරුම්ගන්න එයාලට උදව් කරන්න. කලින් සඳහන් කරපු කැට්‍රීනා බයිබලේ තියෙන දේවල් එයාගේ ජීවිතයට කොච්චර ආලෝකයක් වුණාද කියලා නිතරම කල්පනා කරනවා. ශුභාරංචිය ගැන උද්‍යෝගයෙන් කතා කරන්න ඒක එයාට උදව් වෙලා තියෙනවා.

14. හිතෝපදේශ 27:17 සේවයට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

14 අනිත් අයගෙන් උදව් ගන්න. මුල් සියවසේදී පාවුල් දක්ෂ විදිහට දේශනා කරන්නත් උගන්වන්නත් තිමෝතිව පුහුණු කළා. ඒ විදිහට අනිත් අයව පුහුණු කරන්න කියලත් පාවුල් තිමෝතිට කිව්වා. (1 කොරි. 4:17) තිමෝති වගේ අපිටත් පුළුවන් සභාවේ ඉන්න අද්දැකීම් තියෙන අයගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න. (හිතෝපදේශ 27:17 කියවන්න.) පුරෝගාමියෙක් වන ෂෝන්ගේ අද්දැකීම බලන්න. එයා සේවය කරපු ප්‍රදේශයේ හිටිය අය අපේ පණිවිඩය අහන්න කැමති වුණේ නැහැ. එයා මොකද කළේ? ඒ ගැන එයා මෙහෙම කියනවා. “පුළුවන් හැම වතාවකම මං තව කාත් එක්ක හරි සේවයේ යන්න උත්සාහ කළා. ඉතින් එක ගෙදරක ඉඳන් තව ගෙදරකට යන කල් සේවේ දියුණු වෙන්න පුළුවන් පැති ගැන අපි කතා වුණා. උදාහරණෙකට එක නිවැසියෙක්ට කතා කළාට පස්සේ ඒ වගේ කෙනෙක් එක්ක ආයෙ කතා කරන්න ලැබුණොත් ඊට වඩා හොඳ විදිහට කතා කරන්න පුළුවන් කොහොමද කියලා අපි කතා වුණා.”

15. සේවය හොඳින් කරන්න යාච්ඤාව ගොඩක් වැදගත් ඇයි?

15 යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. සේවේ යන හැම වතාවකම යෙහෝවා දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න. මොකද ඔහුගේ උදව්ව නැතුව කිසිම දෙයක් සාර්ථකව කරන්න බැහැ. (ගීතා. 127:1; ලූක් 11:13) හැබැයි යාච්ඤා කරද්දී ඔයාට ඕන දේවල් ගැන නිශ්චිතව කියන්න. උදාහරණෙකට සේවේ යද්දී අපේ පණිවිඩය ගැන දැනගන්න කැමති අයව හොයාගන්න උදව් කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න. ඊටපස්සේ ඔයාට මුණගැහෙන හැම කෙනෙක්ටම උද්‍යෝගයෙන් සාක්ෂි දරන්න උපරිමයෙන් වෑයම් කරන්න.

16. සේවය සාර්ථකව කරන්න පෞද්ගලික අධ්‍යයනය වැදගත් වෙන්නේ ඇයි?

16 පෞද්ගලික අධ්‍යයනය අතපසු කරන්න එපා. බයිබලේ කියනවා ‘දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත කුමක්ද කියා හොඳින් වටහාගන්න’ කියලා. (රෝම 12:2) බයිබලේ තියෙන දේවල් සත්‍යයයි කියලා අපිට තහවුරු වෙන තරමටම සේවය කරන්න අපිට තියෙන උද්‍යෝගයත් වැඩි වෙනවා. කලින් සඳහන් කරපු කැට්‍රීනා මෙහෙම කියනවා. “ටික කාලෙකට කලින් මට තේරුණා බයිබලේ තියෙන මූලික ඉගැන්වීම් ගැන මගේ විශ්වාසය තව වැඩි කරගන්න ඕනෙ කියලා. ඒ නිසා හැම දෙයක්ම නිර්මාණය කළේ දෙවියන්, බයිබලේ තියෙන්නේ ඔහුගේ අදහස් සහ ඔහු තමන්ගේ සෙනඟට මඟ පෙන්නන්නේ ඔහුගේ සංවිධානය මාර්ගයෙන් වගේ දේවල් ගැන මං තවත් හොඳට අධ්‍යයනය කළා.” කැට්‍රීනා කියනවා එයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්නත් සේවයෙන් ලබන සතුට වැඩි කරගන්නත් පෞද්ගලික අධ්‍යයනය එයාට උදව් වුණා කියලා.

දිගටම සතුටින් සේවය කරන්න අපිට තියෙන හේතු

17. යේසුස්ට දිගටම සතුටින් සේවය කරන්න පුළුවන් වුණේ ඇයි?

17 යේසුස් කියපු පණිවිඩයට සමහර අය ඇහුම්කන් දුන්නේ නැති වුණත් ඔහු දිගටම සතුටින් සේවය කළා. මොකද ඔහු දැනන් හිටියා ඒ පණිවිඩය මිනිස්සු දැනගන්න එක කොච්චර වැදගත්ද කියලා. ඒ වගේම ඔහු දැනන් හිටියා සමහර අය මුලින් ඒ පණිවිඩය අහන්න අකමැති වුණත් පස්සේ එයාලා වෙනස් වෙන්න පුළුවන් කියලා. ටිකකට හිතන්න ඔහුගේම පවුලේ අය ගැන. යේසුස් අවුරුදු තුනහමාරක් සේවය කළත් ඒ කාලේදී ඔහුගේ සහෝදරයන් ඔහුගේ ගෝලයන් වුණේ නැහැ. (යොහ. 7:5) හැබැයි ඔහු නැවත නැඟිට්ටාට පස්සේ එයාලා ක්‍රිස්තියානීන් වුණා.—ක්‍රියා 1:14.

18. අපි දිගටම දේශනා කරන්නේ ඇයි?

18 අපි මිනිසුන්ට බයිබලේ තියෙන දේවල් ගැන ඉගැන්නුවත් අන්තිමේදී කවුරු සත්‍යයට එයිද කියන එක ගැන අපි හරියටම දන්නේ නැහැ. සමහර අයට අපි කියන පණිවිඩය ගැන උනන්දුවක් ඇති වෙන්න කාලයක් යයි. අපේ පණිවිඩයට ඇහුම්කන් දෙන්න අකමැති අය වුණත් අපේ යහපත් හැසිරීම දැකලා වෙනස් වෙන්න ඉඩ තියෙනවා.—1 පේතෘ. 2:12.

19. 1 කොරින්ති 3:6, 7 අනුව අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

19 අපි දේශනා කළත් ඉගැන්නුවත් අපි මතක තියාගන්න ඕනෙ ඒ වැඩේ සාර්ථක වෙන්න සලස්වන්නේ යෙහෝවා දෙවියන් කියලා. (1 කොරින්ති 3:6, 7 කියවන්න.) ඉතියෝපියාවේ සේවය කරන සහෝදර ගාටහන් මෙහෙම කියනවා. “මං සේවය කරපු ප්‍රදේශයේ අවුරුදු 20ක් යන කල්ම සාක්ෂිකරුවෙක්ට හිටියේ මං විතරයි. හැබැයි දැන් මෙහේ ප්‍රචාරකයන් 14ක් ඉන්නවා! ඒ අයගෙන් 13ක්ම බව්තීස්ම වුණු අය. මගේ බිරිඳත් දරුවෝ තුන්දෙනාත් ඒ අතරේ ඉන්නවා. සාමාන්‍යයෙන් අපේ රැස්වීම්වලට 30ට වඩා එනවා.” ඒ කාලේ ගැන හිතද්දී යෙහෝවා දෙවියන් අවංක හදවත් තියෙන අයව සංවිධානයට ඇදගන්න කල් දිගටම ඉවසීමෙන් සේවය කරපු එක ගැන ගාටහන් දැන් ගොඩක් සතුටු වෙනවා.—යොහ. 6:44.

20. අපේ සේවය ජීවිත ගලවන වැඩක් කියලා කියන්න පුළුවන් ඇයි?

20 යෙහෝවා දෙවියන්ට මිනිසුන්ගේ ජීවිත හුඟක් වටිනවා. ඒ නිසයි අවසානය එන්න කලින් ඔහුව දැන හඳුනා ගෙන ඔහුට ළං වෙන්න ඔහු සියලු ජාතීන්වල අයට අවස්ථාව දීලා තියෙන්නේ. (හග්. 2:7) යේසුස් එක්ක එකතු වෙලා එයාලට උදව් කරන්න ඔහු අපිටත් අවස්ථාව දීලා තියෙනවා. ටිකකට හිතන්න පතලක හිර වෙලා ඉන්න අයව බේරගන්න වැඩ කරන කණ්ඩායමක් ගැන. සමහරවිට පතලේ හිර වෙලා ඉන්න අය අතරින් ජීවතුන් අතර ඉන්නේ ටිකදෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒ ටිකදෙනාව හොයන්න කණ්ඩායමේ ඉන්න හැමෝම දරන වෙහෙස හුඟක් වටිනවා. අපි කරන දේශනා සේවයත් ඒ වගේ. සාතන් යටතේ තියෙන මේ ලෝකයෙන් කීදෙනෙක් ගැලවෙයිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි යෙහෝවා දෙවියන්ට පුළුවන් එයාලට උදව් කරන්න ඕනම කෙනෙක්ව පාවිච්චි කරන්න. බොලිවියාවේ ජීවත් වෙන ආන්ඩ්‍රියාස් මෙහෙම කියනවා. “බයිබලේ තියෙන දේවල් ගැන ඉගෙනගෙන බව්තීස්ම වෙන්න කෙනෙක්ට පුළුවන් වෙන්නේ හුඟදෙනෙක් එකතු වෙලා එයාට උදව් කරලා තියෙන නිසයි.” අපිත් ඒ විදිහට හිතලා දිගටම උද්‍යෝගයෙන් සේවයේ හවුල් වෙමු. එහෙම කරද්දී යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය අපිට නොඅඩුව ලැබෙන නිසා දිගටම සතුටින් සේවය කරන්න අපිට පුළුවන්.

ගීතිකාව 66 රාජ්‍ය පණිවිඩය දේශනා කරන්න

^ 5 ඡේ. අපි සේවය කරන ප්‍රදේශයේ ගෙවල්වල මිනිසුන්ව මුණගැහෙන්න බැරි වෙද්දී හුඟදෙනෙක් අපේ පණිවිඩයට ඇහුම්කන් දෙන්න අකමැති වෙද්දී දිගටම සතුටින් සේවය කරන්න පුළුවන් කොහොමද? ඒකට උදව් වෙන යෝජනා කීපයක් අපි මේ ලිපියෙන් බලන්න යනවා.

^ 7 ඡේ. මේ ලිපියේ තියෙන යෝජනා අදාළ කරගන්න ඕනෙ අනිත් අයගේ තොරතුරුවල රහස්‍යභාවය සම්බන්ධයෙන් රටේ තියෙන නීති කඩ නොවන විදිහටයි.

^ 60 ඡේ. පින්තූරයේ අදහස: (ඉහළ සිට පහළට): යුවළක් මිනිසුන්ව ගෙවල්වල මුණගැහෙන්න අමාරු ප්‍රදේශයක සේවය කරනවා. පළවෙනි ගෙදර කෙනා වැඩට ගිහින්. දෙවෙනි ගෙදර කෙනා ඉස්පිරිතාලේ ගිහින්. තුන්වෙනි ගෙදර කෙනා බඩු ගන්න ගිහින්. ඒ යුවළ පළවෙනි ගෙදර කෙනාව මුණගැහෙන්න ටිකක් හවස් වෙලා යනවා. ඉස්පිරිතාලයක් ළඟ ජංගම පුවරු තියාගෙන සාක්ෂි දරද්දී ඒ යුවළට දෙවෙනි ගෙදර හිටපු කෙනාව මුණගැහෙනවා. තුන්වෙනි ගෙදර කෙනාට එයාලා දුරකථනයෙන් සාක්ෂි දරනවා.