Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 21

ඔයාගේ අනාගතය ගැන එළිදරව්වක්!

ඔයාගේ අනාගතය ගැන එළිදරව්වක්!

“ආමෙන්! ස්වාමීන් වන යේසුස්, එන්න.”—එළි. 22:20.

ගීතිකාව 142 බලාපොරොත්තුව තදින් අල්ලාගන්න

මේ ලිපියෙන් *

1. හැම කෙනෙක්ම ගන්න ඕනෙ වැදගත් තීරණය මොකක්ද?

 අපි හැමෝටම හරිම වැදගත් තීරණයක් ගන්න තියෙනවා. ඒ තමයි මේ විශ්වයේ පාලකයා වන යෙහෝවාගේ පාලනයට යටත් වෙනවාද නැත්නම් කෲර පාලකයෙක් වන සාතන්ගේ පාලනයට යටත් වෙනවාද කියන එක. අපි හැමෝම ඒ තීරණ දෙකෙන් එකක් ගන්නම ඕනේ. අපි ගන්න ඒ තීරණය අනාගතයේදී සදාකාල ජීවිතය ලැබෙනවාද නැද්ද කියන එකට කෙළින්ම බලපානවා. (මතෙ. 25:31-33, 46) ඒ වගේම කෙනෙක් ගන්න තීරණයට අනුව එයා ගැලවෙනවාද නැත්තම් විනාශ වෙනවාද කියලා “මහත් පීඩාව” අතරතුරේදී ලකුණක් ලැබෙනවා.—එළි. 7:14; 14:9-11; එස. 9:4, 6.

2. (අ) හෙබ්‍රෙව් 10:35-39 අපිව දිරිගන්වන්නේ මොනවා කරන්නද? (ආ) එළිදරව් පොත අපිට උදව් වෙන්නේ කොහොමද?

2 හෙබ්‍රෙව් 10:35-39 කියවන්න. ඔයා දැනටමත් ඉන්නේ යෙහෝවාගේ පාලනය පිළි අරගෙන නම් ඔයා අරන් තියෙන්නේ ඔයාට ගන්න පුළුවන් හොඳම තීරණය. දැන් ඔයාට ලොකු ආසාවක් ඇති ඒ තීරණය ගන්න අනිත් අයටත් උදව් කරන්න. ඒක කරන්න එළිදරව් පොතේ තියෙන තොරතුරු ඔයාට උදව් වෙයි. දෙවියන්ගේ පාලනයට විරුද්ධ වෙන අයට ඉස්සරහට වෙන්නේ මොනවාද කියලත් ඔහුගේ පාලනයට සහයෝගය දෙන අයට ලැබෙන්නේ මොනවාද කියලත් මේ පුදුමාකාර අනාවැකි පොතේ යෙහෝවා එළිදරව් කරලා තියෙනවා. ඒ නිසා ඒ පොතේ තියෙන කාරණා ගැන ගැඹුරින් අධ්‍යයනය කරන එක හරිම වැදගත්. මොකද එහෙම කරන එකෙන් දිගටම යෙහෝවාට නමස්කාර කරන්න ඔයා අරන් තියෙන අධිෂ්ඨානය තවත් ශක්තිමත් වෙයි. ඒ වගේම හරි තීරණය අරගෙන දෙවියන්ට නමස්කාර කරන්න අනිත් අයට උදව් කරන්නත් ඔයාට පුළුවන් වෙයි.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 දෙවියන්ගේ පාලනයට සහයෝගය දෙන අය වෙනුවෙන් ඔහු ලෑස්ති කරලා තියෙන ආශීර්වාද මොනවාද? එළිදරව් පොතේ විස්තර කරලා තියෙන තද රතු පාට මෘගයාට සහයෝගය දෙන අයට ඉස්සරහට වෙන්නේ මොනවාද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලමු.

විශ්වාසවන්ත අයට ලැබෙන දේ

4. යේසුස් එක්ක ස්වර්ගයේ ඉන්නවා යොහන් දැක්කේ මොන කණ්ඩායමද?

4 දෙවියන්ගේ පාලනයට සහයෝගය දෙන කණ්ඩායම් දෙකක් යොහන් දකිනවා. ඒ කණ්ඩායම් දෙකටම සදාකාලික ආශීර්වාද ලැබෙනවා. පළවෙනි කණ්ඩායමේ ඉන්නේ 1,44,000දෙනෙක්. (එළි. 7:4) එයාලව මේ පොළොවෙන් අරගෙන තියෙන්නේ ස්වර්ගයේ යේසුස් එක්ක රජකම් කරන්න. අනාගතේදී එයාලා යේසුස් එක්ක එකතු වෙලා මේ පොළොව පාලනය කරනවා. (එළි. 5:9, 10; 14:3, 4) යොහන් දර්ශනයෙන් දකින්නේ 1,44,000දෙනා සියොන් කන්ද මත ඒ කියන්නේ ස්වර්ගයේ යේසුස් එක්ක හිටගෙන ඉන්න විදිහයි.—එළි. 14:1.

5. මේ පොළොවේ ඉන්න අභිෂේක ලත් අයට ළඟදීම වෙන්නේ මොකක්ද?

5 යේසුස්ගේ මුල් නියෝජිතයන්ගේ කාලේ ඉඳන්ම 1,44,000දෙනාට අයිති අයව තෝරගෙන තියෙනවා. (ලූක් 12:32; රෝම 8:17) හැබැයි යොහන් කිව්වා අවසාන කාලේ අතරතුරේදී මේ පොළොවේ ඉන්නේ ඒ අයගෙන් ටිකදෙනයි කියලා. ‘ඉතුරු වෙලා ඉන්න’ ඒ අයට මහත් පීඩාව එන්න කලින් යෙහෝවාගේ අනුමැතිය කියන අවසාන “මුද්‍රාව” ලැබෙනවා. (එළි. 7:2, 3; 12:17) ඊටපස්සේ මහත් පීඩාව අතරතුර යම් අවස්ථාවකදී එයාලවත් ස්වර්ගයට ගන්නවා. අන්තිමේදී 1,44,000දෙනාම යේසුස් එක්ක එකතු වෙලා දේවරාජ්‍යයේ හවුල් පාලකයන් විදිහට මේ පොළොව පාලනය කරනවා.—මතෙ. 24:31; එළි. 5:9, 10.

6-7. (අ) යොහන් ඊළඟට දකින කණ්ඩායම කවුද? යොහන් එයාලා ගැන කියන්නේ මොනවාද? (ආ) මේ පොළොවේ ඉතුරු වෙලා ඉන්න අභිෂේක ලත් අයයි, “මහත් සමූහයයි” එළිදරව් 7වෙනි පරිච්ඡේදයේ තියෙන තොරතුරු හොයලා බලන්න ඕනෙ ඇයි?

6 ඊළඟට යොහන් තවත් කණ්ඩායමක් දකිනවා. ඒ කණ්ඩායමට ගණන් කරන්නවත් බැරි “මහත් සමූහයක්” ඇතුළත්. (එළි. 7:9, 10) ඒ ගැන එළිදරව් පොතේ මෙහෙම කියනවා. “ඔවුන් මහත් පීඩාවෙන් බේරී එන අයයි. ඔවුන් තම වස්ත්‍ර සෝදා සුදු කරගෙන තිබෙන්නේ බැටළු පැටවාගේ රුධිරයෙනි.” (එළි. 7:14) මහත් පීඩාවෙන් බේරිලා එන මේ “මහත් සමූහය” මේ පොළොවේ කියලා නිම කරන්න බැරි තරම් ආශීර්වාද ලබනවා.—ගීතා. 37:9-11, 27-29; හිතෝ. 2:21, 22; එළි. 7:16, 17.

7 ඔයාව තෝරාගෙන තියෙන්නේ ස්වර්ගයේ ජීවත් වෙන්න වුණත් මේ පොළොවේ ජීවත් වෙන්න වුණත් එළිදරව් 7වෙනි පරිච්ඡේදයේ තියෙන දේවල්වල ඉටු වීමට ඔයාත් සම්බන්ධයි. තමන්ගේ විශ්වාසවන්ත සේවකයන් වෙනුවෙන් යෙහෝවා සූදානම් කරලා තියෙන්නේ මොන තරම් අපූරු අනාගතයක්ද! දෙවියන්ගේ පාලනයට කීකරු වෙන්න තීරණය කරපු එක ගැන අපි එදාට කොච්චර නම් සතුටු වෙයිද! දැන් අපි එළිදරව් පොතෙන් මහත් පීඩාව ගැන තව තොරතුරු ටිකක් හොයලා බලමු.—මතෙ. 24:21.

දෙවියන්ට විරුද්ධ වෙන අයට වෙන දේ

8. මහත් පීඩාව පටන්ගන්නේ කොහොමද? ඒක හුඟක් අයට බලපාන්නේ කොහොමද?

8 අපි කලින් ලිපියේ බැලුවා වගේ ළඟදීම දේශපාලනය කියන මෘගයා බොරු ආගම්වල අධිරාජ්‍යයක් වගේ ඉන්න මහ බැබිලෝනිය කියන ගණිකාවට පහර දෙනවා. (එළි. 17:16, 17) ඒ දේ සිද්ධ වෙනවාත් එක්කම මහත් පීඩාව පටන්ගන්නවා. බොරු ආගම් විනාශ වුණාට පස්සේ මිනිස්සු වැල නොකැඩී සැබෑ නමස්කාරයට ඇදිලා එයිද? නැහැ. එළිදරව් 6වෙනි පරිච්ඡේදයේ කියනවා යෙහෝවාගෙන් පිහිට පතනවා වෙනුවට එයාලා ඒ කාලේදීත් පිහිට පතන්නේ කඳු වගේ තියෙන දේශපාලනයෙන් සහ ව්‍යාපාරික ලෝකයෙන් කියලා. මිනිස්සු එදාටත් දෙවියන්ගේ රාජ්‍යයට සහයෝගය දෙන්නේ නැති නිසා යෙහෝවා එයාලව සලකන්නේ දේවරාජ්‍යයට විරුද්ධ අය විදිහට.—ලූක් 11:23; එළි. 6:15-17.

9. මහත් පීඩාව අතරතුරේදී දෙවියන්ගේ සෙනඟ අනිත් අයට වඩා වෙනස් කියලා පේන්නේ කොහොමද? ඒ නිසා එයාලට මුහුණ දෙන්න වෙන්නේ මොන දේටද?

9 අභියෝගවලින් පිරුණු මහත් පීඩාව අතරතුර දෙවියන්ට නමස්කාර කරන අයගේ පැහැදිලි වෙනසක් අනිත් අය දකිනවා. මොකද යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරන්නෙත් “මෘගයාට” විරුද්ධ වෙන්නෙත් එයාලා විතරයි. (එළි. 13:14-17) එයාලා දිගටම දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නවා දකිද්දී දෙවියන්ගේ සතුරන්ට එයාලා ගැන ඇති වෙන්නේ පුදුම කේන්තියක්. ඒ නිසා ජාතීන්ගේ එකතුවක් ලෝකේ පුරාම ඉන්න දෙවියන්ගේ සෙනඟට විරුද්ධව එනවා. දැවෙන කෝපයකින් දෙවියන්ගේ සෙනඟව අතුගාලා දාන්න එන මේ ජාතීන්ගේ එකතුව බයිබලේ හඳුන්වලා තියෙන්නේ මාගොග් දේශයේ ගොග් විදිහට.—එස. 38:14-16.

10. එළිදරව් 19:19-21 කියන විදිහට මාගොග් දේශයේ ගොග් තමන්ගේ සෙනඟට පහර දෙන්න එද්දී යෙහෝවා කරන්නේ මොනවාද?

10 ගොග් තමන්ගේ සෙනඟට විරුද්ධව එද්දී යෙහෝවාට කොහොම හැඟෙයිද? ඔහු කියනවා “මාගේ උදහස දැවෙනු ඇත” කියලා. (එස. 38:18, 21-23) ඊටපස්සේ වෙන්නේ මොකක්ද කියලා එළිදරව් 19වෙනි පරිච්ඡේදයෙන් දැනගන්න පුළුවන්. සතුරන්ව විනාශ කරලා තමන්ගේ සෙනඟව බේරගන්න යෙහෝවා දෙවියන් යේසුස්ව එවනවා. යේසුස් එන්නේ “ස්වර්ගයේ ඉන්න සේනාවන්” එක්ක. ඒ කියන්නේ 1,44,000දෙනා සහ බලවත් දේවදූතයන් එක්ක. (එළි. 17:14; 19:11-15) ඒ භයානක යුද්ධය, දෙවියන්ට විරුද්ධව වැඩ කරන මිනිස්සුන්ගේ සහ සංවිධානවල විනාශයත් එක්කම අවසන් වෙනවා.එළිදරව් 19:19-21 කියවන්න.

යුද්ධයෙන් පස්සේ උත්කර්ෂවත් විවාහ උත්සවයක්!

11. එළිදරව් පොතේ අන්තිමට කියලා තියෙන විශේෂ සිදුවීම මොකක්ද?

11 දෙවියන්ගේ සතුරන් සහමුලින්ම විනාශ වෙද්දී මේ පොළොවේ ඉතුරු වෙන විශ්වාසවන්ත සේවකයන්ට ඒක මොන තරම් ප්‍රීතිමත් අවස්ථාවක් වෙයිද! ඒ වගේම මහ බැබිලෝනිය විනාශ වෙලා යද්දී ස්වර්ගයේ ඉන්න අයටත් ලොකු ප්‍රීතියක් දැනෙයි. හැබැයි ඊළඟට වෙන දේ නිසා එයාලගේ ප්‍රීතිය දෙගුණ තෙගුණ වෙනවා. (එළි. 19:1-3) ඒ තමයි එළිදරව් පොතේ අන්තිමට කියලා තියෙන “බැටළු පැටවාගේ විවාහය.”—එළි. 19:6-9.

12. එළිදරව් 21:1, 2 කියන විදිහට බැටළු පැටවාගේ විවාහය සිද්ධ වෙන්නේ කවදාද?

12 ඒත් බැටළු පැටවාගේ විවාහය සිද්ධ වෙන්නේ කවදාද? හර්–මගෙදොන් යුද්ධය පටන්ගන්න කලින් 1,44,000දෙනාට අයිති හැමෝම ස්වර්ගයට ගිහිල්ලයි ඉන්නේ. හැබැයි ඒ වෙද්දිත් ඒ විවාහය සිද්ධ වෙන්න වෙලාව ඇවිල්ලා නැහැ. (එළිදරව් 21:1, 2 කියවන්න.) ඒක වෙන්නේ හර්–මගෙදොන් යුද්ධයෙන් දෙවියන්ගේ හැම සතුරෙක්වම විනාශ කළාට පස්සෙයි.ගීතා. 45:3, 4, 13-17.

13. බැටළු පැටවාගේ විවාහයේදී සිද්ධ වෙන්නේ මොනවාද?

13 බැටළු පැටවාගේ විවාහයේදී සිද්ධ වෙන්නේ මොනවාද? සාමාන්‍යයෙන් ස්ත්‍රියක් සහ පුරුෂයෙක් අතර සිද්ධ වෙන විවාහයකදී වගේ මේ විවාහයේදීත් සංකේතාත්මක විදිහට දේවරාජ්‍යයේ රජු වන යේසුස් ඔහුගේ “මනාලිය” ඒ කියන්නේ 1,44,000දෙනා එක්ක අතිනත ගන්නවා. මේ උත්කර්ෂවත් අවස්ථාවත් එක්කම යේසුස් 1,44,000දෙනා එක්ක එකතු වෙලා අවුරුදු 1,000කට මේ පොළොව පාලනය කරන්න පටන්ගන්නවා.—එළි. 20:6.

තේජවත් නුවරක් සහ ආශීර්වාද රැසක්!

එළිදරව් 21වෙනි පරිච්ඡේදයේ සංකේතවත් නව යෙරුසලම “දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන විදිහ” විස්තර කරනවා. දහස් අවුරුදු පාලනයේදී ඒ මාර්ගයෙන් කීකරු මිනිස්සුන්ට ගණන් කරන්න බැරි තරම් ආශීර්වාද ලැබෙනවා (14-16 ඡේද බලන්න)

14-15. එළිදරව් 21වෙනි පරිච්ඡේදයේ 1,44,000දෙනාව සමාන කරලා තියෙන්නේ මොකකටද? (කවරයේ පින්තූරය බලන්න.)

14 ඊළඟට එළිදරව් පොතේ 1,44,000දෙනාව “නව යෙරුසලම” කියන අලංකාරවත් නුවරට සමාන කරලා තියෙනවා. (එළි. 21:2, 9) ඒ නුවර ඉදි කරලා තියෙන්නේ අත්තිවාරම් ගල් 12ක් උඩ. ඒ ගල්වල බැටළු පැටවාගේ “නියෝජිතයන් දොළොස්දෙනාගේ නම් දොළහ” ලියලා තියෙනවා. ඒක දකින යොහන්ට දැනෙන්නේ ලොකු සතුටක්. ඒ ඇයි? මොකද එයා දකිනවා ඒ එක ගලක එයාගේ නමත් ලියලා තියෙනවා.—එළි. 21:10-14; එෆී. 2:20.

15 මේ සංකේතවත් නුවර වෙන කිසිම නුවරකට සමාන කරන්න බැහැ. ඒකේ ප්‍රධාන වීථිය හදලා තියෙන්නේ පිරිසිදු රත්තරන්වලින්. දොරටු 12 හදලා තියෙන්නේ මුතුවලින්. පවුරේ අත්තිවාරම හදලා තියෙන්නේ අනර්ඝ මැණික්වලින්. ඒ නුවරේ දිග, පළල, උස එක සමානයි. (එළි. 21:15-21) හැබැයි ඒ නුවරේ එක දෙයක් දකින්න තිබුණේ නැහැ. බලන්න ඒ ගැන යොහන් කියන දේ. “එහි දේවමාලිගාවක් මා දුටුවේ නැත. මන්ද සියලු බලැති යෙහෝවා දෙවි හා බැටළු පැටවා එහි දේවමාලිගාව වන්නෝය. ඒ නුවරට ආලෝකය දීමට ඉරවත් සඳවත් අවශ්‍ය නැත. මන්ද දෙවිගේ තේජසින් එය ආලෝකවත් විය. බැටළු පැටවාද ඊට පහනක් විය.” (එළි. 21:22, 23) නව යෙරුසලමට අයිති අයට එයාලගේම ඇස්වලින් යෙහෝවාව දැකලා ඔහුට නමස්කාර කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා එයාලට දේවමාලිගාවක් ඕනෙ වෙන්නේ නැහැ. (එළි. 22:3, 4) ඒ වෙද්දීත් යේසුස් උත්තම පූජකයා විදිහට කටයුතු කරන නිසා එයාලා යේසුස් එක්ක එකතු වෙලයි දෙවියන්ට පරිශුද්ධ සේවයක් පිරිනමන්නේ. (හෙබ්‍රෙ. 7:27) යෙහෝවා දෙවියන්වයි, යේසුස්වයි ඒ නුවරේ දේවමාලිගාව විදිහට හඳුන්වලා තියෙන්නේ ඒ හේතු නිසයි.

‘ගංගාවෙන්’ සහ ‘වෘක්ෂවලින්’ නියෝජනය වෙන දෙවියන්ගේ සැපයුම්වලින් ප්‍රයෝජන ගන්නේ කවුද? (16 සහ 17 ඡේද බලන්න)

16. දහස් අවුරුදු පාලනය යටතේ මිනිස්සුන්ට අද්දකින්න ලැබෙන්නේ මොනවාද?

16 නව යෙරුසලම ගැන හිතද්දී අභිෂේක ලත් අයට දැනෙන්නේ කියාගන්න බැරි සතුටක්. හැබැයි මේ පොළොවේ ජීවත් වෙන අය ගැන කියන්න පුළුවන් මොකක්ද? එයාලටත් නව යෙරුසලම ගැන සතුටු වෙන්න ඕන තරම් හේතු තියෙනවා. මොකද දහස් අවුරුදු පාලනය යටතේ නව යෙරුසලමෙන් මේ පොළොවට ආශීර්වාද ගලාගෙන එනවා. යොහන් ඒක දැක්කේ “ජීවන වතුර ඇති ගංගාවක්” විදිහට. ඒ ගංගාවේ ඉවුර දෙපැත්තේ “ජීවන වෘක්ෂ” තියෙනවා. ඒ ගස්වල කොළවලින් “ජාතීන්ට සුවයක්” ලැබෙනවා. (එළි. 22:1, 2) එදාට අපි හැමෝටම අවස්ථාව ලැබෙනවා දෙවියන් දෙන ඒ සැපයුම්වලින් ප්‍රයෝජන ලබන්න. ඒ විතරක් නෙවෙයි දෙවියන්ට කීකරු වෙන අය ඒ කාලේදී ටිකෙන් ටික පරිපූර්ණත්වයට ළඟා වෙනවා. එදාට දුක, වේදනාව, කඳුළ කියන්නේ මොකක්ද කියලවත් අපිට මතක් වෙන එකක් නැහැ.—එළි. 21:3-5.

17. එළිදරව් 20:11-13 කියන විදිහට දහස් අවුරුදු පාලනයෙන් ප්‍රයෝජන ලැබෙන්නේ කාටද?

17 ඇත්තටම දෙවියන් ලබා දෙන සැපයුම්වලින් ප්‍රයෝජන ලැබෙන්නේ කාටද? හර්–මගෙදොන් යුද්ධයෙන් බේරෙන අය සහ ඊටපස්සේ ඉපදෙන දරුවන් ඒ සැපයුම්වලින් මුලින්ම ප්‍රයෝජන ලබනවා. ඒ වගේම එළිදරව් 20වෙනි පරිච්ඡේදයේ කියනවා මැරුණ අය නැවත නැඟිටිනවා කියලා. (එළිදරව් 20:11-13 කියවන්න.) දහස් අවුරුදු පාලනය යටතේදී “ධර්මිෂ්ඨ” අය වගේම යෙහෝවාව දැන හඳුනා ගන්න අවස්ථාවක් ලැබුණේ නැති “අධර්මිෂ්ඨ” අයවත් නැවත නැඟිටුවනවා. (ක්‍රියා 24:15; යොහ. 5:28, 29) ඒ කියන්නේ අතීතයේ ඉඳන් මිය ගිය හැමෝම නැවත නැඟිටිනවා කියලද? නැහැ. යෙහෝවා දෙවියන්ට සේවය කරන්න අවස්ථාව ලැබිලත් ඒක ප්‍රතික්ෂේප කරපු අයට නැවත නැඟිටීමක් ලැබෙන්නේ නැහැ. මොකද දෙවියන්ව ප්‍රතික්ෂේප කරපු නිසා පාරාදීසේ ජීවත් වෙන්න තමන් සුදුසු නැහැ කියලා එයාලා ඔප්පු කරලා ඉවරයි.—මතෙ. 25:46; 2 තෙස. 1:9; එළි. 17:8; 20:15.

අවසාන පරීක්ෂණය

18. දහස් අවුරුදු පාලනයෙන් පස්සේ මොනවා වෙයිද?

18 දහස් අවුරුදු පාලනය අවසන් වෙද්දී මේ පොළොවේ ජීවත් වෙන හැමෝම පරිපූර්ණත්වයට ඇවිල්ලයි ඉන්නේ. ඒ කාලේදී ආදම්ගේ අකීකරුකම නිසා ඇති වුණ ශාපයෙන් හැමෝම නිදහස් වෙනවා. එදාට කවුරුත් ආදම්ගෙන් උරුම වුණ පාපයේ වහල්ලු නෙවෙයි. (රෝම 5:12) වෙන විදිහකින් කියනවා නම් දහස් අවුරුදු පාලනය අවසන් වෙද්දී පරිපූර්ණ අය විදිහට හැමෝම ‘ජීවමාන වෙනවා.’—එළි. 20:5.

19. අවසන් පරීක්ෂණයක් ඕනෙ ඇයි?

19 යේසුස්ව වරදකට පොලඹවාගන්න සාතන් කොච්චර උත්සාහ කළත් යේසුස් දිගටම යෙහෝවාට ළැදිව හිටියා. ඔහුගේ විශ්වාසවන්තකම දශමෙකින්වත් හොල්ලන්න ඔහු ඉඩ දුන්නේ නැහැ. පරිපූර්ණත්වයට ආවාට පස්සේ මිනිස්සුන්ටත් ඒ දේම කරන්න පුළුවන් වෙයිද? අවුරුදු 1,000 අවසානයේදී සාතන්ව නිදහස් කළාට පස්සේ ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න හැම කෙනෙක්ටම අවස්ථාව ලැබෙනවා. (එළි. 20:7) යෙහෝවා දෙවියන්ට දිගටම විශ්වාසවන්තව ඉඳලා අවසාන පරීක්ෂණය ජය ගන්න අයට මොකද වෙන්නේ? එයාලට මේ පොළොවේ සතුටින්, සදහටම සැබෑ නිදහසක් ලබන්න අවස්ථාව ලැබෙනවා. (රෝම 8:21) ඒත් යෙහෝවාට විරුද්ධ වෙන අයට සිද්ධ වෙන්නේ සාතන් සහ භූතයන් එක්කම විනාශ වෙන්නයි.—එළි. 20:8-10.

20. එළිදරව් පොතේ තියෙන පුදුමාකාර අනාවැකි ගැන ඔයාට දැනෙන්නේ කොහොමද?

20 එළිදරව් පොතේ තියෙන තොරතුරු අධ්‍යයනය කරද්දී ඔයාට කොහොමද දැනුණේ? ඔයාත් ඒ ෆොටෝ එකේ ඉන්නවා කියලා ඔයා දැක්කාද? ඒ අනාවැකිවල ඉටු වීමට ඔයාත් සම්බන්ධයි. ඒ නිසා යෙහෝවාට නමස්කාර කරන්න අනිත් අයටත් උදව් කරන්න ඔයාගේ හිතේ ලොකු ආසාවක් ඇති වුණාද? (එළි. 22:17) ඇත්තටම ඒ පුදුමාකාර අනාවැකි ඉටු වෙන කල් අපි බලන් ඉන්නේ නොඉවසිල්ලෙන්! ඒ නිසයි යොහන් වගේ අපිත් මෙහෙම කියන්න පෙලඹෙන්නේ. “ආමෙන්! ස්වාමීන් වන යේසුස්, එන්න.”—එළි. 22:20.

ගීතිකාව 27 දෙව්ගේ පුත්‍රයන්ව එළිදරව් කරයි

[පාදසටහන]

^ එළිදරව් පොත ගැන තිබුණ ලිපි මාලාවේ අවසන් ලිපියයි මේ. දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අයට ලැබෙන ආශීර්වාද ගැනත් දෙවියන්ගේ පාලනයට විරුද්ධ වෙන අයට සිද්ධ වෙන දේ ගැනත් අපි මේ ලිපියෙන් බලනවා.