Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 23

දෙමාපියෙනි, පුංචි හිත්වල යෙහෝවා ගැන ආදරයක් ඇති කරන්න

දෙමාපියෙනි, පුංචි හිත්වල යෙහෝවා ගැන ආදරයක් ඇති කරන්න

“ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.”—මතෙ. 22:37.

ගීතිකාව 134 දරුවන් දෙවිගෙන් ලද සම්පතක්

මේ ලිපියෙන් *

1-2. අපේ ජීවිතවල වෙනස්කම් වෙද්දී අපි හොඳටම දන්න බයිබල් ප්‍රතිපත්ති වුණත් අපිට බලපාන විදිහ වෙනස් වෙනවා. ඒ කොහොමද?

 ටිකකට හිතන්න දැන් ඔයා ඉන්නේ විවාහ උත්සවයක කියලා. කඩවසම් තරුණයෙක් සහ රූමත් තරුණියක් අතිනත ගන්නා දවසයි මේ. දැන් එයාලා මල්වලින් සරසලා තියෙන ලස්සන පුටුවක ඉඳගෙන විවාහ දේශනයට ඇහුම්කන් දෙනවා. දේශනයෙන් පෙන්නන බයිබල් ප්‍රතිපත්ති එයාලට නුහුරු නුපුරුදු ඒවා නෙවෙයි. ඒ දෙන්නා කලිනුත් ඒවා අහලා තියෙනවා. හැබැයි මේ වෙලාවේ ඒ ප්‍රතිපත්ති ගැන එයාලට හැඟෙන්නේ වෙනස්ම විදිහකට. ඇයි ඒ? මොකද අලුත විවාහ වුණ යුවළක් විදිහට එයාලා දැන් ඒවා අදාළ කරගන්නයි යන්නේ.

2 ඔයා අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වුණේ ළඟදීද? එහෙමනම් ඔයාත් දරුවන් හදා වඩා ගන්න විදිහ ගැන කාලයක් තිස්සේ ඕන තරම් බයිබල් දේශන අහලා ඇති. හැබැයි දැන් ඒවා ඔයාගේ හදවතට දැනෙන විදිහ වෙනස්. මොකද දැන් ඔයා ඔයාගෙම දරුවෙක්ව හදා වඩා ගන්නයි යන්නේ. ඒක ඔයා ඉස්සරහා තියෙන භාරදූර වැඩක් වගේම හරිම වටින වගකීමක්! ඔව්, අපි බලපු විදිහට ජීවිතේ සමහර වෙනස්කම් වෙද්දී අපි දන්න කියන බයිබල් ප්‍රතිපත්ති වුණත් අපිට බලපාන විදිහ වෙනස් වෙනවා. ඒක නිසයි යෙහෝවාගේ සෙනඟ “සෑම දවසකදීම” ශුද්ධ ලියවිල්ල කියවලා ඒකේ තියෙන දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන්නේ. දෙවියන් අතීතයේදී ඊශ්‍රායෙල් රජවරුන්ටත් එහෙම කරන්න කියලා මඟ පෙන්වලා තිබුණා.—ද්වි. 17:19.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 දෙමාපියෙනි, ඔයාලගේ ඉස්සරහා තියෙන්නේ හරිම වටිනා අවස්ථාවක්. ඒ තමයි යෙහෝවා ගැන ඔයාලගේ දරුවන්ට උගන්වන්න ලැබෙන එක. හැබැයි ඒක කරන්න නම් නිකම්ම ඔහු ගැන තොරතුරු කියලා දීලා විතරක් මදි, යෙහෝවා ගැන ආදරයක් ඇති කරගන්නත් දරුවන්ට උදව් කරන්න ඕනේ. ඒත් ඒක කරන්නේ කොහොමද? ඒකට උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති හතරක් ගැන අපි මේ ලිපියෙන් බලමු. (2 තිමෝ. 3:16) ඒ වගේම බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න එකෙන් හුඟක් දෙමාපියන් ලබලා තියෙන ප්‍රයෝජන ගැනත් බලමු.

ඔයාට උදව් වෙන ප්‍රතිපත්ති හතරක්

ඔයා හැම වෙලේම යෙහෝවාගෙන් මඟ පෙන්වීම් පතනවා දකිද්දී ඒක ඔයාගේ දරුවන්ට බලපාන්නේ කොහොමද? (4 සහ 8 ඡේද බලන්න)

4. දරුවන්ගේ හිතේ යෙහෝවා ගැන ආදරයක් ඇති කරන්න දෙමාපියන්ට උදව් වෙන බයිබල් ප්‍රතිපත්තියක් කියන්න. (යාකොබ් 1:5)

4 1වෙනි ප්‍රතිපත්තිය: හැම වෙලේම යෙහෝවාගෙන් මඟ පෙන්වීම් පතන්න. දරුවාගේ හිතේ යෙහෝවා ගැන ආදරයක් ඇති කරන්න යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. ඒක කරන්න ඔයාට ප්‍රඥාව දෙන්න කියලා යෙහෝවාට කියන්න. (යාකොබ් 1:5 කියවන්න.) මොකද ඔහු තමයි ඔයාට උදව් ඉල්ලන්න පුළුවන් හොඳම කෙනා. එහෙම කියන්න තියෙන හේතු දෙකක් බලමු. (1) මේ විශ්වයේ වැඩියෙන්ම අද්දැකීම් තියෙන තාත්තා තමයි යෙහෝවා. (ගීතා. 36:9) (2) ඔහු දෙන මඟ පෙන්වීම්, උපදෙස් කවදාවත් වැරදිලත් නැහැ, වැරදෙන්නෙත් නැහැ.—යෙසා. 48:17.

5. (අ) දෙවියන්ගේ සංවිධානයෙන් දෙමාපියන්ට දීලා තියෙන්නේ මොනවාද? (ආ) වීඩියෝ එකෙන් පෙන්නන විදිහට දරුවන් හදා වඩා ගන්න එක ගැන අමෝරිම් යුවළගෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?

5 ඔයාගේ දරුවාගේ හිතේ යෙහෝවා ගැන ආදරයක් ඇති කරන එක ලේසි පහසු දෙයක් නෙවෙයි කියලා අපි දන්නවා. හැබැයි ඔයාලා තනි වෙලා නැහැ. යෙහෝවා දෙවියන් ඔහුගේ වචනයෙන්, සංවිධානයෙන් ඔයාලගේ උදව්වට ඕන තරම් දේවල් දීලා තියෙනවා. (මතෙ. 24:45) ඒකට උදාහරණයක් තමයි jw.org වෙබ් අඩවියේ තියෙන “පවුලේ හැමෝටම මඟ පෙන්වීම්” කියන ලිපි මාලාව. අවුරුදු ගාණක් පුරා ‘පිබිදෙව්!’ සඟරාවේ පළ වුණ ලිපිත් ඒකේ තියෙනවා. ඒ විතරක් නෙවෙයි යෙහෝවා දෙමාපියන්ට දෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න පුළුවන් විදිහ පෙන්නන වීඩියෝත් අපේ වෙබ් අඩවියේ තියෙනවා. *හිතෝ. 2:4-6.

6. සංවිධානයෙන් ලැබුණ මඟ පෙන්වීම් ගැන තාත්තා කෙනෙක්ට හැඟුණේ කොහොමද?

6 සංවිධානය මාර්ගයෙන් යෙහෝවා දෙවියන් දෙන උදව් හුඟක් අම්මලා තාත්තලා අගය කරනවා. ජෝ කියන්නෙත් ඒ වගේ තාත්තා කෙනෙක්. එයා මෙහෙම කියනවා. “අපිට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. එයාලව සත්‍ය මාර්ගයේ ගෙනියන එක ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසා මායි, මගේ නෝනායි යෙහෝවාට යාච්ඤා කරලා ගොඩක් උදව් ඉල්ලනවා. ඒ විදිහට උදව් ඉල්ලන හැම වෙලාවකම වගේ අපේ ප්‍රශ්නෙට හරියටම උත්තරේ තියෙන වීඩියෝ එකක් හරි ලිපියක් හරි සංවිධානයෙන් අපිට ලැබෙනවා. ඒක හරිම පුදුමයි. ඇත්තටම යෙහෝවා හිටියේ නැත්නම් තනියම දරුවන්ව කොහොම හදා වඩා ගන්නද කියලා අපිටම තේරෙන්නේ නෑ.” දරුවන්ව යෙහෝවාට ළං කරන්න සංවිධානයෙන් දෙන දේවල් කොච්චර උදව් වෙනවාද කියලා ජෝ සහ එයාගේ බිරිඳ අද්දැක්කා.

7. දෙමාපියන් දරුවන්ට ආදර්ශයක් වෙන එක වැදගත් ඇයි? (රෝම 2:21)

7 2වෙනි ප්‍රතිපත්තිය: ආදර්ශයෙන් උගන්වන්න. දෙමාපියෙනි, දරුවන් ඔයාලා දිහා හොඳට බලාගෙන ඉන්නවා කියලා අමතක කරන්න එපා. ඔයාලා කරන දේවල්ම තමයි ගොඩක් වෙලාවට දරුවොත් කරන්නේ. ඇත්ත, මේ ලෝකේ ඉන්න කිසිම අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් පරිපූර්ණ නැහැ. එයාලගේ අතිනුත් වැරදි වෙනවා. (රෝම 3:23) ඒත් ඥානවන්ත දෙමාපියන් තමන්ගේ දරුවන්ට ආදර්ශයක් වෙන්න එයාලගේ පැත්තෙන් කරන්න පුළුවන් හැම දේම කරනවා. (රෝම 2:21 කියවන්න.) එක තාත්තා කෙනෙක් මෙහෙම කිව්වා. “දරුවන් හරියට ස්පොන්ජ් කෑල්ලක් වගේ. අපි කරන කියන හැම දෙයක්ම එයාලා ඉක්මනට උරාගන්නවා. එයාලට දෙයක් කරන්න කියලා අපිම ඒක කළේ නැත්නම් එයාලා ඒ ගැන අපෙන් කෙළින්ම අහනවා.” අම්මේ තාත්තේ, දරුවන්ගේ හිත්වල යෙහෝවා ගැන ආදරයක් ඇති කරන්න නම් මුලින්ම ඔයාගේ හිතේ යෙහෝවා ගැන ආදරයක් තියෙන්න ඕනේ. ඒ වගේම ඒ ආදරේ ඔයාගේ දරුවන්ට පැහැදැලිව පේන්නත් ඕනේ.

8-9. ඇන්ඩෘ සහ එමා කියපු දේවල්වලින් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

8 දරුවන්ගේ හිතේ යෙහෝවා ගැන ආදරයක් ඇති කරන්න දෙමාපියන්ට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. අවුරුදු 17ක් වයස ඇන්ඩෘ කියන දේ බලන්න. “යාච්ඤාව කොච්චර වැදගත්ද කියලා අම්මායි, තාත්තායි හැම තිස්සෙම අපිට කියලා දුන්නා. හැමදාම රෑට තාත්තා මාත් එක්ක එකට යාච්ඤා කරනවා. සමහර දවස්වලට මං යාච්ඤා කරලා තිබුණත් තාත්තා ආයෙත් මාත් එක්ක යාච්ඤාවක් කරනවා. අම්මායි, තාත්තායි හැම වෙලාවෙම අපිට කියන දෙයක් තමයි ‘ඔයාට බය නැතුව සිය සැරයක් වුණත් යෙහෝවාට යාච්ඤා කරන්න පුළුවන්’ කියන එක. පොඩි කාලේ ඉඳන් ඒක මගේ හිතට ගොඩක් වැදුණා. ඒ නිසයි මට දැනෙන ඕනෙම දෙයක් මට අද නිදහසේ දෙවියන්ට කියන්න පුළුවන් වෙලා තියෙන්නේ. යෙහෝවා කියන්නේ මට ආදරණීය තාත්තා කෙනෙක්.” මොකක්ද අපි මේකෙන් ඉගෙනගන්නේ? දෙමාපියෙනි, ඔයාලගේ හිතේ යෙහෝවා ගැන තියෙන ආදරේ කවදාවත් අඩු තක්සේරු කරන්න එපා. මොකද ඔයා හිතන්නෙවත් නැති විදිවලින් ඒක ඔයාගේ දරුවන්ට බලපානවා.

9 දැන් අපි එමාගේ අද්දැකීම බලමු. එමාගේ තාත්තා එයාලව දාලා ගියා. ඒ යද්දී තාත්තා හැමෝටම ගොඩක් ණය වෙලයි තිබුණේ. ඒ ණය ගෙවන්න වුණේ එයාගේ අම්මාට. එයා මෙහෙම කියනවා. “අපි එදා වේල පිරිමහගත්තේ හරිම අමාරුවෙන්. හැබැයි මගේ අම්මා හැම තිස්සෙම කියපු දෙයක් තමයි ‘යෙහෝවා අපිව බලාගන්නවා, ඔහු කවදාවත් තමන්ගේ සේවකයන්ව අත්හරින්නේ නෑ’ කියන එක. ඒ පොරොන්දුව ගැන අම්මාගේ හිතේ කොච්චර විශ්වාසයක් තිබ්බාද කියලා එයා වැඩ කරපු විදිහෙන් අපි දැක්කා.” මොකක්ද පාඩම? ජීවිතේ අමාරු තත්වයන්ට මුහුණ දෙද්දී වුණත් දෙමාපියන්ට පුළුවන් තමන්ගේ ආදර්ශයෙන් දරුවන්ට උගන්නන්න.—ගලා. 6:9.

10. ඊශ්‍රායෙල් දෙමාපියන්ට තමන්ගේ දරුවන් එක්ක කතා කරන්න ලැබුණ අවස්ථා මොනවාද? (ද්විතීය කතාව 6:6, 7)

10 3වෙනි ප්‍රතිපත්තිය: නිතරම දරුවන් එක්ක කතාබහ කරන්න. අතීතයේ හිටපු ඊශ්‍රායෙල් සෙනඟට යෙහෝවා දෙවියන් කිව්වා ඔහු ගැන දරුවන්ට නිතරම කියලා දෙන්න කියලා. (ද්විතීය කතාව 6:6, 7 කියවන්න.) ඒ කාලේ හිටපු දෙමාපියන්ට ඒක උදව් වුණා දරුවන්ගේ හිතේ යෙහෝවා ගැන ආදරයක් ඇති කරන්න. ඒක තවත් තේරුම්ගන්න අපි ටිකක් ඊශ්‍රායෙල් කාලෙට යමුද? ඊශ්‍රායෙල් පිරිමි දරුවෙක් එයාගේ තාත්තාත් එක්ක එකතු වෙලා පැළ හිටවනවා, අස්වැන්න නෙළනවා. එයාගේ නංගි අම්මත් එක්ක එකතු වෙලා ගෙදර දොරේ වැඩපළ, මැහුම් ගෙතුම් වැඩ කරනවා. මේ අම්මායි, තාත්තායි දවසේ වැඩි හරියක්ම ගත කරන්නේ එයාලගේ දරුවොත් එක්ක. ඉතින් දරුවන් එක්ක යෙහෝවා ගැන කතා කරන්න එයාලට ඕන තරම් වෙලාව තියෙනවා. උදාහරණෙකට යෙහෝවා දෙවියන් කොච්චර යහපත්ද, ඔහු එයාලගේ පවුලට කොච්චර උදව් කරලා තියෙනවාද කියලා එයාලට පුළුවන් දරුවොත් එක්ක කතා කරන්න.

11. අද ඉන්න දෙමාපියන්ට දරුවෝ එක්ක කතා කරන්න පුළුවන් අවස්ථාවක් කියන්න.

11 අද තත්වය ඊශ්‍රායෙල් කාලේ වගේ නෙවෙයි. කාලය වෙනස් වෙලා, හැමෝම කාර්යබහුල වෙලා. අම්මලා තාත්තලා රස්සාවට යනවා. ළමයි ඉස්කෝලේ යනවා. හුඟක් රටවල්වල දෙමාපියන්ට දරුවන් එක්ක ඉන්න කාලයක් නැති තරම්. ඒ නිසා දෙමාපියන්ට සිද්ධ වෙනවා දරුවෝ එක්ක ටිකක් නිදහසේ කතාබහ කරන්න කාලේ හොයාගන්න. (එෆී. 5:15, 16; ෆිලි. 1:10) ඒකට පවුලේ නමස්කාරය හොඳ අවස්ථාවක්. යෞවනයෙක් වන ඇලෙක්ස් කියන දේ බලන්න. “මොන වැඩේ තිබ්බත් තාත්තා පවුලේ නමස්කාරය නම් වරද්දන්නේ නෑ. ඒක ඉවර වුණාට පස්සේ ඉතින් අපි කට්ටියම එකතු වෙලා පොඩ්ඩක් කතා කරකර ඉන්නවා.”

12. පවුලේ නමස්කාරය කරද්දී පවුල් මූලිකයන් මතක තියාගන්න ඕනෙ මොකක්ද?

12 ඔයා පවුලේ මූලිකයෙක්ද? එහෙමනම් පවුලේ නමස්කාරය දරුවන්ට ආස හිතෙන විදිහට කරන්න ඔයාට පුළුවන් කොහොමද? අපිට අලුතෙන් හම්බ වුණ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොත දරුවන් එක්ක සාකච්ඡා කරන එක ගැන ඔයා හිතලා තියෙනවාද? දරුවන්ගේ හිතේ තියෙන දේවල් දැනගන්න ඒ පොත ඔයාට ලොකු උදව්වක් වෙයි. ඔයාට ඕනෙ පවුලේ නමස්කාරයේදී දරුවන් එයාලට හැඟෙන, දැනෙන විදිහ නිදහසේ කතා කරනවා දකින්න නේද? එහෙමනම් ඒ වෙලාව දරුවන්ට ලොකු දේශන දෙන්න, එයාලා කරපු වැරදි මතක් කරලා උපදෙස් දෙන්න අවස්ථාවක් කරගන්න එපා. ඒ වගේම පවුල් මූලිකයන් මතක තියාගන්න ඕනෙ තව දෙයක් තියෙනවා. දරුවෙක් බයිබලේට එකඟ නැති මොනවා හරි දෙයක් කිව්වොත් තරහා ගන්න එපා. ඒ වෙනුවට එයාගේ හිතේ තියෙන දේ අවංකවම කියපු එක ගැන එයාව අගය කරන්න. හිතට එන ඕනෙම දෙයක් නිදහසේ කියන්න කියලා එයාව දිරිගන්වන්න. මොකද දරුවන්ට උදව් කරන්න නම් එයාලගේ හිතේ ඇත්තටම තියෙන්නේ මොනවාද කියලා ඔයා දැනගන්නම ඕනේ.

යෙහෝවාගේ නිර්මාණවලින් ඔහුගේ ගුණාංග ගැන දරුවන්ට කියලා දෙන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද? (13 ඡේදය බලන්න)

13. දරුවන්ව යෙහෝවා ළං කරන්න දෙමාපියන්ට පුළුවන් තව මොන විදිවලින්ද?

13 දෙමාපියෙනි, හොඳට කල්පනා කරල බැලුවොත් දරුවන්ව යෙහෝවාට ළං කරන්න ඕන තරම් අවස්ථා දවස ඇතුළත ඔයාට හොයාගන්න පුළුවන්. ඒකට බයිබලේ දිග ඇරගෙන දරුවෝ එක්ක පාඩමක් කරන වෙලාව එන කල්ම ඉන්න ඕනෙ නැහැ. ලීසා කියන දේ බලන්න. “අපි හැම වෙලාවෙම උත්සාහ කළා නිර්මාණ දිහා බලලා යෙහෝවා ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා දරුවන්ට කියලා දෙන්න. උදාහරණෙකට අපේ බල්ලා සෙල්ලමට කරන දෙයක් දැකලා දරුවෝ හිනා වෙද්දී අපි එයාලට කියලා දෙනවා ‘අපේ නිර්මාතෘ සතුටින් ඉන්න කැමති කෙනෙක්, ඒ වගේ දේවල් බලලා සතුටු වෙන්න අපි වගේම ඔහුත් ආසයි’ කියලා.”

දෙමාපියෙනි, දරුවන්ගේ යාළුවන්ව ඔයාලා හොඳට අඳුරනවාද? (14 ඡේදය බලන්න) *

14. හොඳ යාළුවෝ තෝරගන්න දරුවන්ට උදව් කරන එක වැදගත් ඇයි? (හිතෝපදේශ 13:20)

14 4වෙනි ප්‍රතිපත්තිය: හොඳ මිතුරන් ඇති කරගන්න දරුවන්ට උදව් කරන්න. බයිබලේ පැහැදිලිවම කියලා තියෙනවා යාළුවෝ අපේ හොඳට හරි නරකට හරි කෙළින්ම බලපානවා කියලා. (හිතෝපදේශ 13:20 කියවන්න.) දෙමාපියෙනි, දරුවන්ගේ යාළුවෝ කවුද කියලා ඔයාලා දන්නවාද? ඒ යාළුවන්ව ඔයාලා මුණගැහිලා තියෙනවාද? එයාලත් එක්ක කාලේ ගත කරලා තියෙනවාද? යෙහෝවාට ආදරය කරන අයත් එක්ක හොඳ මිතුදම් ඇති කරගන්න දරුවන්ට උදව් කරන්න ඔයාලට පුළුවන් කොහොමද? (1 කොරි. 15:33) පවුලේ අය එකට එකතු වෙලා කරන දේවල්වලදී යෙහෝවා එක්ක කිට්ටු බැඳීමක් තියෙන අයවත් ඒවාට සම්බන්ධ කරගන්න. හොඳ යාළුවෝ හොයාගන්න දරුවන්ට ඒක උදව් වෙයි.—ගීතා. 119:63.

15. හොඳ මිතුදම් ඇති කරගන්න දරුවන්ට උදව් කරන්න පුළුවන් කොහොමද?

15 ටෝනි කියන්නේ දරුවෝ පස්දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්. එයායි, එයාගේ නෝනායි දරුවන්ට හොඳ මිතුදම් ඇති කරගන්න එයාලගේ පැත්තෙන් ගොඩක් දේවල් කළා. ටෝනි කියන දේ බලන්න. “දරුවෝ පුංචි කාලේ මායි, මගේ නෝනායි එක එක පසුබිම්වල, එක එක වයස්වල ඉන්න සහෝදර සහෝදරියන් හුඟදෙනෙක්ට අපේ ගෙදරට ආරාධනා කළා. සමහර වෙලාවට එයාලා ඇවිත් අපිත් එක්ක පුංචි කෑම වේලක් ගන්නවා. නැත්නම් අපේ පවුලේ නමස්කාරයට සම්බන්ධ වෙනවා. ඒ නිසා යෙහෝවාට ආදරය කරන, ඔහුට සතුටින් සේවය කරන හුඟක් අයව අපිට කිට්ටුවෙන් ආශ්‍රය කරන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම චාරිකා සේවකයන්ට, මිෂනාරිවරුන්ට සහ තවත් සහෝදර සහෝදරියන්ට අපි අපේ ගෙදර නවාතැන් දුන්නා. එයාලගේ අද්දැකීම්, එයාලට තිබුණ උද්‍යෝගය, යෙහෝවා වෙනුවෙන් එයාලා කරපු කැප කිරීම් අපේ දරුවන්ටත් ගොඩක් බලපෑවා. ඒක එයාලට උදව් වුණා යෙහෝවාට තව තවත් ළං වෙන්න.” දෙමාපියෙනි, දරුවන්ට හොඳ යාළුවෝ ඇති කරගන්න ඔයාලගේ පැත්තෙන් පුළුවන් උපරිමය කරන්න.

බලාපොරොත්තු අත්හරින්න එපා!

16. “යෙහෝවාට සේවේ කරන්න මට බෑ” කියලා දරුවා කිව්වොත් මොකද කරන්නේ?

16 සමහරවිට දරුවන්ව යෙහෝවාට ළං කරන්න ඔයා ඔයාට පුළුවන් උපරිමය කරනවා ඇති. ඒත් “යෙහෝවාට සේවේ කරන්න මට බෑ” කියලා දරුවෙක් කිව්වොත් මොකද කරන්නේ? ඔයා ඔයාගේ වගකීම හරියට කළේ නැහැ කියලා කවදාවත් හිතන්න එපා. මොකද යෙහෝවාට සේවය කරනවාද, නැද්ද කියලා තීරණය කරන්න යෙහෝවා දෙවියන් හැමෝටම නිදහස දීලා තියෙනවා. ඒක අපිට ඔහුගෙන් ලැබුණ තෑග්ගක්. ඒ තෑග්ග යෙහෝවා දරුවන්ටත් දීලා තියෙනවා. ඉතින් දරුවෙක් යෙහෝවාව අත්හරින්න තීරණය කළත් ඔයාලා බලාපොරොත්තු අත්හරින්න එපා. මොකද දවසක ඇත්ත තේරිලා එයා ආපහු හැරිලා එන්න ඉඩ තියෙනවා. මතකද අකීකරු පුත්‍රයාගේ උපමාව? (ලූක් 15:11-19, 22-24) ඒ උපමාවේ හිටපු පුතාත් ගොඩක් වැරදි කරලා යෙහෝවාව අත්හැරියා. එයා සත්‍ය මාර්ගයෙන් ගොඩක් ඈතට ගියා. හැබැයි අන්තිමේදී එයා ආයෙත් හැරිලා ආවා. සමහරවිට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ‘ඒක කතන්දරයක් විතරයිනේ, ඕවා ඇත්තටම වෙන්න පුළුවන්ද’ කියලා. ඔව් පුළුවන්, ඒකම තමයි යෞවනයෙක් වුණ එලීටත් වුණේ.

17. එලීගේ අද්දැකීම ඔයාට දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?

17 එලී මෙහෙම කියනවා. “මගේ හිතේ යෙහෝවා ගැන ආදරයක් ඇති කරන්න, සත්‍ය ගැන අගයක් ඇති කරන්න අම්මායි, තාත්තායි නොකරපු දෙයක් නෑ. හැබැයි යෞවන වයසට එද්දී මං එයාලා කියපු දේවල් කනකටවත් ගත්තේ නෑ. මං කළේ මට ඕන දේ.” එලී ගත කළේ දෙබිඩි ජීවිතයක්. එයාගේ අම්මායි, තාත්තායි එයාට කොච්චර උදව් කරන්න හැදුවත් එයා ඒ උදව් පිළිගත්තේ නැහැ. අන්තිමේදී එයා ගෙදරින් ගියා. ඊටපස්සේ එයා ගෙව්වේ හරිම නරක ජීවිතයක්. හැබැයි එයා සමහර වෙලාවට එයාගේ යාළුවෙක් එක්ක බයිබලේ තියෙන සත්‍යය ගැන කතා කළා. ඒ ගැන එලී මෙහෙම කියනවා. “යාළුවාට යෙහෝවා ගැන කියන හැම වතාවකම මං යෙහෝවා ගැන කල්පනා කරන්න පටන්ගත්තා. අම්මලා හරිම අමාරුවෙන් මගේ හිතේ පැළ කරපු සත්‍යය කියන ඒ බීජය කාලෙකට පස්සේ ආයෙත් දළු දැම්මා.” අන්තිමේදී මොකද වුණේ? එලී ආයෙත් යෙහෝවා දෙවියන්ව හොයාගෙන ආවා. * ඒ වෙලාවේ එයාගේ අම්මාටයි, තාත්තාටයි කොහොම දැනෙන්න ඇද්ද කියලා හිතාගන්න පුළුවන්ද? පුංචි කාලේ ඉඳන් එලීගේ හිතේ යෙහෝවා ගැන ආදරයක් ඇති කරන්න ඒ දෙමාපියන් ගත්ත මහන්සිය අපතේ ගියේ නැහැ.—2 තිමෝ. 3:14, 15.

18. දරුවන්ගේ හිතේ යෙහෝවා ගැන ආදරයක් ඇති කරන්න මහන්සි වෙන දෙමාපියන් ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද?

18 අම්මේ තාත්තේ, යෙහෝවා ඔයාට හරිම විශේෂ තෑග්ගක් දීලා තියෙනවා. ඒ තමයි ඊළඟ පරම්පරාවේ ඉන්න අපේ පුංචි මල් කැකුළුවලට යෙහෝවාට ළං වෙන්න උදව් කරන එක. (ගීතා. 78:4-6) ඒක එසේ මෙසේ වැඩක් නෙවෙයි කියලා අපි දන්නවා. ඔයා ඒ වෙනුවෙන් ගන්න හැම උත්සාහයක්ම අපි හුඟක් අගය කරනවා. පුංචි හිත්වල දෙවියන් ගැන ආදරයක් ඇති කරන්න දිගටම මහන්සි වෙන්න. යෙහෝවා කැමති විදිහට ජීවත් වෙන්න එයාලට උදව් කරන්න. ඔයා අත්හරින්නේ නැතුව ඒ දේ කළොත් අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් විදිහට ඔයාගේ වගකීම හොඳට ඉටු කරපු එක ගැන යෙහෝවා දෙවියන් ගොඩක් සතුටු වෙයි.—එෆී. 6:4.

ගීතිකාව 135 යෙහෝවා දෙවිගේ ආයාචනය, ‘මාගේ පුත්‍රය, ප්‍රඥාවන්ත වෙන්න’

^ ක්‍රිස්තියානි දෙමාපියන් එයාලගේ දරුවන්ට ගොඩක් ආදරෙයි. දරුවන්ගේ ඕනෑ එපාකම් බලන්න, දුකේදී සැපේදී එයාලා ළඟින්ම ඉඳලා එයාලව සතුටින් තියන්න දෙමාපියන් නොකරන දෙයක් නැහැ. හැබැයි ඒ හැම දේකටම වඩා එයාලා කරන්න ඕනෙ තව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි යෙහෝවා ගැන ආදරයක් ඇති කරගන්න දරුවන්ට උදව් කරන එක. ඒක කරන්න දෙමාපියන්ට උදව් වෙන ප්‍රතිපත්ති හතරක් ගැන අපි මේ ලිපියෙන් බලමු.

^ jw.org වෙබ් අඩවියේ තියෙන “අපේ දරුවන් හදා වඩාගන්න හැටි යෙහෝවා දෙවි අපිට කියලා දුන්නා” කියන වීඩියෝ එක බලන්න.

^ 2012 අප්‍රියෙල් 1 ‘මුරටැඹ’ සඟරාවේ “ජීවිත වෙනස් කළ පොතක්” කියන ලිපිය බලන්න.

^ පින්තූරයේ අදහස: තාත්තා කෙනෙක් එයාගේ පුතායි, පුතාගේ යාළුවයි එක්ක සෙල්ලම් කරනවා. එයා එහෙම කරන්නේ පුතාගේ යාළුවාව අඳුරගන්න.