Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 22

හරි මඟ පෙන්නන යෙහෝවා දෙවියන්ගේ ප්‍රඥාව

හරි මඟ පෙන්නන යෙහෝවා දෙවියන්ගේ ප්‍රඥාව

“ප්‍රඥාව යෙහෝවා දෙවිගෙන් ලැබෙන දීමනාවකි.”—හිතෝ. 2:6.

ගීතිකාව 89 දෙව්ට කීකරු වීමෙන් ලැබේ ආශීර්වාද

මේ ලිපියෙන් *

1. අපි හැමෝටම දෙවියන්ගේ ප්‍රඥාව ඕනෙ ඇයි? (හිතෝපදේශ 4:7)

 ඔයාටත් කවදා හරි වැදගත් තීරණයක් ගන්න වෙලා තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ප්‍රඥාව ඉල්ලලා යෙහෝවාට ගොඩක් යාච්ඤා කරන්න ඇති. මොකද ඔයා දන්නවා ඒ වගේ තීරණයක් ගන්න ප්‍රඥාව නැතුවම බැහැ කියලා. (යාකො. 1:5) “වැදගත්ම දේ නම් ප්‍රඥාවය” කියලා සලමොන් රජත් කිව්වා. (හිතෝපදේශ 4:7 කියවන්න.) සලමොන් රජ කතා කළේ නිකම්ම මිනිස්සුන්ගේ ප්‍රඥාව ගැන නෙවෙයි. යෙහෝවා දෙවියන්ගෙන් ලැබෙන ප්‍රඥාව ගැන. (හිතෝ. 2:6) අපිට තියෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න දෙවියන්ගේ ප්‍රඥාව ඒ කියන්නේ ඔහු දෙන මඟ පෙන්වීම් ඇත්තටම අපිට උදව් වෙයිද? ඔව්, අනිවාර්යයෙන්ම! එහෙම කියන්නේ ඇයි කියලා අපි මේ ලිපියෙන් බලමු.

2. සැබෑ ප්‍රඥාව ලබාගන්න පුළුවන් එක විදිහක් මොකක්ද?

2 අපි දැන් මේ පොළොවේ ජීවත් වුණ ප්‍රඥාවන්ත දෙන්නෙක් ගැන බලමු. ඒ දෙන්නා ගැන ඉගෙනගද්දී, එයාලා කියපු දේවල් අදාළ කරගද්දී අපිටත් ප්‍රඥාවන්ත අය වෙන්න පුළුවන්. අපි මුලින්ම බලන්නේ සලමොන් රජ ගැන. බයිබලේ කියනවා “දෙවි, සලමොන් රජුට ප්‍රඥාවත් තේරුම්ගැනීමේ හැකියාවත් නොඅඩුව දුන්නා” කියලා. (1 රාජා. 4:29) ඊළඟට මේ පොළොවේ ජීවත් වුණ ප්‍රඥාවන්තම කෙනා ඒ කියන්නේ යේසුස් ගැන බලමු. (මතෙ. 12:42) එක අනාවැකියක යේසුස් ගැන මෙහෙම කියලා තිබුණා. ‘ඔහුට යෙහෝවා දෙවිගේ බලය නොඅඩුව ලැබෙයි. එමගින් ඔහුට ප්‍රඥාවද දැනුමද තේරුම්ගැනීමේ හැකියාවද ලැබෙන්නේය.’—යෙසා. 11:2.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 යෙහෝවා දෙවියන් සලමොන්ටයි, යේසුස්ටයි ප්‍රඥාව නොඅඩුව දුන්නා. ඒ නිසා එයාලා දීපු මඟ පෙන්වීම්, උපදෙස් අද ඉන්න අපි හැමෝටම ප්‍රයෝජනවත්. ඒ මඟ පෙන්වීම් සල්ලි ගැන, රස්සාව ගැන, අපි ගැන සමබරව හිතන්න අපිට උදව් වෙන්නේ කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු.

සල්ලි ගැන හරි විදිහට හිතන්න

4. සලමොන් ගත කරපු ජීවිතෙයි, යේසුස් ගත කරපු ජීවිතෙයි අතර තිබුණ වෙනස මොකක්ද?

4 සලමොන් රජ කෙනෙක් නිසා එයා ගත කළේ හරිම සුඛෝපභෝගී ජීවිතයක්. එයා ජීවත් වුණේ මහා විශාල මන්දිරයක. (1 රාජා. 10:7, 14, 15) හැබැයි යේසුස් ඉපදුණේ දුප්පත් පවුලක. ඔහුට ගොඩක් සල්ලි තිබ්බේ නැහැ. අඩුම තරමේ තමන්ටම කියලා ඉන්න තැනක්වත් තිබ්බේ නැහැ. (මතෙ. 8:20) හැබැයි ඒ දෙන්නාම ධන සම්පත් ගැන හිතුවේ හරිම සමබර විදිහට. මොකද ඒ දෙන්නාටම ප්‍රඥාව ලැබුණේ එකම තැනකින්. ඒ යෙහෝවාගෙන්.

5. සලමොන් සල්ලි ගැන හිතුවේ කොහොමද?

5 සලමොන් කිව්වා සල්ලි තියෙන එක “ආරක්ෂාවක්” කියලා. (දේශ. 7:12) ඒක ඇත්ත. මොකද සල්ලි තියෙනවා නම් අත්‍යවශ්‍ය දේවල්, අපි ආස කරන දේවල් ගන්න පුළුවන්. සලමොන් කොච්චර පොහොසත් වුණත් එයා තේරුම්ගත්තා සල්ලිවලට වඩා වැදගත් දේවල් අපේ ජීවිතේ තියෙනවා කියලා. උදාහරණෙකට එයා ලිව්වා “වස්තු සම්භාරයක් තිබීමට වඩා වටින්නේ හොඳ නමක් ඇතුව සිටීමයි” කියලා. (හිතෝ. 22:1) ඒ විතරක් නෙවෙයි සල්ලිවලට වහ වැටිලා හිටපු අය ඉන්නේ සතුටින් නෙවෙයි කියලා එයා දැක්කා. (දේශ. 5:10, 12) ඇත්තටම සල්ලි කියන්නේ මේ තිබිලා මේ නැති වෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා සල්ලි ගැන විශ්වාසය තියෙන එක මෝඩකමක් කියලා සලමොන් අනතුරු ඇඟෙව්වා.—හිතෝ. 23:4, 5.

ඔයා ධන සම්පත් ගැන හිතන විදිහ දේවරාජ්‍යයට මුල් තැන දෙන්න ඔයාට බාධාවක්ද? (6 සහ 7 ඡේද බලන්න) *

6. යේසුස් ධන සම්පත් ගැන හිතුවේ කොහොමද? (මතෙව් 6:31-33)

6 යේසුස් ධන සම්පත් ගැන හිතුවේ හරිම සමබර විදිහට. ඔහු හොඳට කාලා බීලා සතුටින් හිටපු කෙනෙක්. (ලූක් 19:2, 6, 7) යේසුස් කරපු පළවෙනිම ආශ්චර්යය වුණේ වතුර වයින් කරන එක. ඒකත් එසේ මෙසේ වයින් නෙවෙයි, ඉස්තරම්ම වයින්. (යොහ. 2:10, 11) යේසුස්ව මරන්න අල්ලගෙන ගිය දවසේ ඔහු ඇඳගෙන හිටියෙත් මිල අධික, හරිම වටින ඇඳුමක්. (යොහ. 19:23, 24) හැබැයි යේසුස් ධන සම්පත් ඔහුගේ ජීවිතේ අංක එක කරගත්තේ නැහැ. ඒ වෙනුවට ඔහු ඔහුගේ අනුගාමිකයන්ට මෙහෙම කිව්වා. ‘ස්වාමිවරුන් දෙන්නෙක්ට දාසයෙක් වෙන්න කිසි කෙනෙක්ට බැහැ. දෙවිට සේවය කරන අතරම ඔබට මුදල් පසුපස හඹා යන්න බැහැ.’ (මතෙ. 6:24) අපි දෙවියන්ගේ රාජ්‍යයට මුල් තැන දෙනවා නම් අපිට අවශ්‍ය දේවල් යෙහෝවා දෙනවා කියලා යේසුස් ඉගැන්නුවා.—මතෙව් 6:31-33 කියවන්න.

7. සල්ලි ගැන හරි විදිහට හිතපු එකෙන් සහෝදරයෙක් ප්‍රයෝජන ලැබුවේ කොහොමද?

7 සල්ලි ගැන යෙහෝවා දෙවියන් දීලා තියෙන ප්‍රඥාවන්ත මඟ පෙන්වීම් අදාළ කරගෙන අපේ සහෝදර සහෝදරියන් හුඟක් ප්‍රයෝජන ලබලා තියෙනවා. ඒ වගේ එක අද්දැකීමක් බලමු. මේ තනිකඩ සහෝදරයාගේ නම ඩැනියෙල්. එයා මෙහෙම කියනවා. “මං යෙහෝවා දෙවියන් වෙනුවෙන් වැඩි දෙයක් කරන්න ඕනෙ කියලා යෞවන කාලේදීම තීරණය කළා.” ඩැනියෙල් එයාගේ ජීවිතේ සරල කරගත්ත නිසා එයාට පුළුවන් වුණා එයාගේ කාලය, හැකියාවන් පාවිච්චි කරලා යෙහෝවා දෙවියන්ට වැඩි සේවයක් කරන්න. එයා සහන සේවා කමිටුවලත් බෙතෙල් එකෙත් සේවය කළා. එයා මෙහෙම කියනවා. “එදා ගත්ත තීරණය ගැන මං කවදාවත් දුක් වෙන්නේ නෑ. ඇත්ත, එදා මං සල්ලි පස්සේ ගියා නම් මේ වෙද්දී ඇති වෙන්න සල්ලි හම්බ කරලා නං තියෙයි. හැබැයි අද මට ඉන්න යාළුවෝ, එයාලත් එක්ක තියෙන බැඳීම ඒ සල්ලිවලින් ගන්න පුළුවන් වෙයිද? යෙහෝවාට සේවය කරන එකෙන් දැන් මගේ හිතට දැනෙන සතුට ගන්න පුළුවන් වෙයිද? කවදාවත් බෑ. මිලියන ගාණක් සල්ලි තිබ්බත් යෙහෝවා දෙන ආශීර්වාදවලට ඒවා සම කරන්න බෑ.” මොකක්ද මේ අද්දැකීමෙන් අපි ඉගෙනගන්නේ? සල්ලිවලට බැහැ ඔයාට ජීවිතේ නියම සතුට දෙන්න. ඒක ලැබෙන්නේ යෙහෝවාට සේවය කරන එකෙන් විතරයි.

රස්සාව ගැන හරි විදිහට හිතන්න

8. සලමොන් වැඩ ගැන සමබරව හිතපු කෙනෙක් කියලා අපි දන්නේ කොහොමද? (දේශනාකාරයා 5:18, 19)

8 සලමොන් කිව්වා දහඩිය මහන්සිය හෙළලා වැඩ කරන එකෙන් ලැබෙන ප්‍රතිඵල ‘දෙවියන්ගෙන් ලැබෙන ආශීර්වාදයක්’ කියලා. (දේශනාකාරයා 5:18, 19 කියවන්න.) ඒ වගේම “වෙහෙස මහන්සි වී කරන හැම වැඩකින්ම ප්‍රයෝජන අත් වෙනවා” කියලත් එයා කිව්වා. (හිතෝ. 14:23) සලමොන් ඒක කිව්වේ අද්දැකීමෙන්මයි. මොකද එයා ගොඩක් මහන්සි වෙලා වැඩ කරපු කෙනෙක්. එයා ගෙවල් හැදුවා, මිදි වතු වැව්වා, ලස්සන උයන් සහ පොකුණු හැදුවා. ඒ වගේම නුවරවල් ඉදි කළා. (1 රාජා. 9:19; දේශ. 2:4-6) ඒ වගේ වැඩවලින් සලමොන්ගේ හිතට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද! හැබැයි එයා තේරුම්ගත්තා ජීවිතේ නියම සතුට ලබන්න ඒ දේවල් විතරක් කරලා මදි, යෙහෝවා දෙවියන් වෙනුවෙනුත් දේවල් කරන්න ඕනෙ කියලා. ඒ නිසයි එයා සැබෑ නමස්කාරය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කළේ. උදාහරණෙකට එයා යෙහෝවා දෙවියන්ගේ තේජවත් දේවමාලිගාව ඉදි කරන වැඩ කටයුතු අධීක්ෂණය කළා. ඒක අවුරුදු හතක දැවැන්ත ව්‍යාපෘතියක්. (1 රාජා. 6:38; 9:1) තමන්ගේ සතුට වෙනුවෙනුත් සැබෑ නමස්කාරය වෙනුවෙනුත් සලමොන් ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. අන්තිමේදී සලමොන් තේරුම්ගත්තා යෙහෝවා වෙනුවෙන් මහන්සි වෙන එක තමයි කෙනෙක්ට කරන්න පුළුවන් හොඳම දේ කියලා. ඒ නිසයි එයා මෙහෙම ලිව්වේ. “සියල්ල සලකා බැලූ පසු මගේ අවසන් නිගමනය මෙයයි. සැබෑ දෙවිට ගරුබිය දක්වමින් ඔහුගේ ආඥා පිළිපදින්න.”—දේශ. 12:13.

9. යේසුස් රස්සාවට දුන්නේ මොන වගේ තැනක්ද?

9 යේසුස් කියන්නෙත් කය වෙහෙසලා වැඩ කරපු කෙනෙක්. ඔහු යෞවන කාලේ ගොඩක් මහන්සි වෙලා වඩු වැඩ කළා. (මාක් 6:3) හරිම අමාරුවෙන් ජීවිතේ ගැට ගහගත්ත යේසුස්ගේ පවුලේ අයට යේසුස් හම්බ කරපු දේ ලොකු උදව්වක් වෙන්න ඇති. ඒ වගේම පරිපූර්ණ කෙනෙක් විදිහට යේසුස් හදපු බඩුවලට ඒ කාලේ ලොකු ඉල්ලුමකුත් තියෙන්න ඇති. ඒ විතරක් නෙවෙයි වඩු වැඩ කරපු එකෙන් යේසුස් ලොකු සතුටක් ලැබුවා කියලා අපිට කිසිම සැකයක් නැහැ. ඒත් ඒ මොන දේ කළත් යෙහෝවා දෙවියන් වෙනුවෙන් සේවය කරන්න තියෙන කාලය යේසුස් රස්සාවට කැප කළේ නැහැ. (යොහ. 7:15) පස්සේ කාලෙක යේසුස් වඩු වැඩ නවත්තලා යෙහෝවාට කරන සේවයට සම්පූර්ණ අවධානය දුන්නා. එක අවස්ථාවක යේසුස් මෙහෙම කිව්වා. “නැති වී යන මෙවැනි ආහාර වෙනුවෙන් ඔබ වෙහෙසෙන්න එපා. ඒ වෙනුවට මනුෂ්‍ය පුත්‍රයා ඔබට ලබා දෙන කිසිදා නැති වී නොයන සදාකාල ජීවනයට මඟ පාදන ආහාර ලබාගන්න උත්සාහ කරන්න.” (යොහ. 6:27) යේසුස් කන්ද උඩ දේශනාවේදීත් කිව්වේ “ස්වර්ගයෙහි වස්තු රැස් කරගන්න” කියලා.—මතෙ. 6:20.

රස්සාවයි, නමස්කාරේ දේවලුයි සමබරව කරන්න මට පුළුවන් කොහොමද? (10 සහ 11 ඡේද බලන්න) *

10. රස්සාව කරද්දී සමහර අයට මුහුණ දෙන්න වෙන්නේ මොන අභියෝගයටද?

10 රස්සාව ගැන හරි විදිහට හිතන්න දෙවියන් දීලා තියෙන ප්‍රඥාවන්ත මඟ පෙන්වීම් අපිට උදව් වෙනවා. බයිබලේ කියන්නේ “වෙහෙස වී තම අත්වලින් යහපත් වැඩ” කරන්න කියලා. (එෆී. 4:28) ඉතින් අපිට වැඩක් බාර දුන්නාම ඒක අතගගා ඉන්නේ නැතුව වෙහෙස මහන්සි වෙලා, කැපවීමෙන්, අවංකව ඒක කරන්න ඕනේ. ඒක දකිද්දී අපි රස්සාව කරන තැන ප්‍රධානියාගේ හිතේ අපි ගැන හොඳ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සමහරවිට අපිටත් හිතෙයි තව වැඩිපුර පැය ගාණක් වැඩ කරලා සාක්ෂිකරුවන් ගැන එයාගේ හිතේ තියෙන අගය තව වැඩි කරන්න ඕනෙ කියලා. හැබැයි අන්තිමේදී මොකද වෙන්නේ? සමහරවිට අපිටත් හොරා පවුලේ වගකීම්, නමස්කාරයේ දේවල් අපේ අතින් ටිකෙන් ටික මඟ ඇරෙන්න පුළුවන්. එහෙම වෙනවා කියලා ඔයාටත් දැනෙනවා නම් වෙනස්කම් කරගෙන වැදගත් දේවල්වලට ඔයාගේ ජීවිතේ දිගටම මුල් තැන දෙන්න.

11. රස්සාව ගැන හරි විදිහට හිතන්න සහෝදරයෙක් ඉගෙනගත්තේ කොහොමද?

11 අපි දැන් විලියම් කියන මේ යෞවන සහෝදරයාගේ අද්දැකීම බලමු. එයා රස්සාව කළේ වැඩිමහල්ලෙක් ළඟ. රස්සාවට දෙන්න ඕනෙ කොයි වගේ තැනක්ද කියලා තේරුම්ගන්න එයාට ඒ වැඩිමහල්ලාගේ ආදර්ශය උදව් වුණා. විලියම් ඒ ගැන මෙහෙම කියනවා. “එයා දන්නවා රස්සාවට දෙන්න ඕනෙ කොයි තැනද කියලා. ඇත්තටම එයාගේ ආදර්ශය මගේ හිතට ගොඩක් වැදුණා. එයා හොඳට මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. වැඩපොළෙත් එයාට හොඳ නමක් තියෙනවා. වැඩක් බාර දුන්නොත් ඉතින් කතා දෙකක් නෑ, ඒක හොඳටම කරනවා. හැබැයි වැඩ ඉවර වුණාට පස්සේ ඒවා එතනින් ඉවරයි. එයා කවදාවත් ජොබ් එකේ වැඩ ගෙදර ගෙනියන්නේ නෑ. ඊටපස්සේ එයා සම්පූර්ණ අවධානය දෙන්නේ එයාගේ පවුලේ අයටයි, නමස්කාරේ දේවල්වලටයි. ඔයාලට කියන්න එයා මං දැකපු සතුටින්ම ඉන්න අයගෙන් කෙනෙක්!” *

ඔයා ගැන හරි විදිහට හිතන්න

12. මුලදී සලමොන් තමන් ගැන හිතුවේ කොහොමද? හැබැයි පස්සේ මොකද වුණේ?

12 සලමොන් යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරපු කාලේදී තමන් ගැන මහ ඉහළින් හිතුවේ නැහැ. තරුණ වයසේදී එයා තේරුම්ගත්තා එයාට අද්දැකීම් නැහැ, ඒ නිසා එයාට දෙවියන්ගේ උදව් ඕනෙ කියලා. ඉතින් එයා යෙහෝවාගේ මඟ පෙන්වීම් පැතුවා. (1 රාජා. 3:7-9) සලමොන් දැනගෙන හිටියා අහංකාර වෙන එක කොච්චර භයානකද කියලා. ඒ නිසයි එයා රජ වුණ මුල් කාලේදී ලිව්වේ “විනාශයට මුල උඩඟුකමය. වැටීමට හේතුව අහංකාර සිතකි” කියලා. (හිතෝ. 16:18) හැබැයි එයාම දීපු උපදෙස එයාටම අමතක වුණා. එයා රජ වෙලා කාලයක් ගියාට පස්සේ තමන් ගැන මහ ඉහළින් හිතලා එළිපිටම දෙවියන්ගේ නීති කැඩුවා. උදාහරණෙකට නීතියේ රජවරුන්ට මේ වගේ දෙයක් කියලා තිබුණා. “ඔහු බොහෝ ස්ත්‍රීන්ව විවාහ කර නොගත යුතුයි. එසේ කළොත් ඔහුගේ සිත දෙවිගෙන් දුරස් වී ඔහු මුළා වීමට ඉඩ තිබෙනවා.” (ද්වි. 17:17) සලමොන් ඒ නීතිය ගාණකටවත් ගන්නේ නැතුව බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු ස්ත්‍රීන් අතරින් භාර්යාවන් 700ක් සහ උප භාර්යාවන් 300ක් විවාහ කරගත්තා. (1 රාජා. 11:1-3) සලමොන් හිතන්න ඇති ‘මං එහෙම කළාට කිසි ප්‍රශ්නයක් වෙන එකක් නෑ’ කියලා. හැබැයි වැඩි කල් යන්න කලින් වපුරපු දේ කපාගන්න එයාට සිද්ධ වුණා.—1 රාජා. 11:9-13.

13. නිහතමානිකම ගැන යේසුස් අපිට හොඳ ආදර්ශයක් වෙන්නේ කොහොමද?

13 යේසුස් හරිම නිහතමානී කෙනෙක්. ඔහු කවදාවත් තමන් ගැන ලොකුවට හිතුවේ නැහැ. මේ පොළොවට එන්න කලින් යේසුස් තමන්ගේ ආදරණීය තාත්තා එක්ක එකතු වෙලා හුඟක් පුදුමාකාර දේවල් කරලා තිබුණා. බයිබලේ කියනවා ‘ස්වර්ගයෙහි හා පොළොවෙහි ඇති අන් සියල්ල සෑදීමට දෙවි හවුල් කරගත්තේ’ යේසුස්ව කියලා. (කොලො. 1:16) පේන විදිහට ස්වර්ගයේ ඉද්දී කරපු කියපු ඒ හැම දේකම මතකයන් යේසුස් බව්තීස්ම වුණ වෙලාවේ දෙවියන් ආපහු ඔහුට දුන්නා. (මතෙ. 3:16; යොහ. 17:5) හැබැයි කලින් කරපු දේවල් මතක් කරගෙන යේසුස් හිස උදුම්මා ගත්තේ නැහැ. ඒ වගේම ඔහු අනිත් අයට වඩා තමන් උසස් කියලා පෙන්නන්න හැදුවෙත් නැහැ. ඒ වෙනුවට යේසුස් ගෝලයන්ට කිව්වේ ඔහු පොළොවට ආවේ ‘සේවය ලබන්න නෙවෙයි, සේවය කරන්න සහ බොහෝදෙනෙකුව මුදවාගන්න තමන්ගේ ජීවිතය පූජා කරන්න’ කියලා. (මතෙ. 20:28) ඒ වගේම යෙහෝවාගේ උදව් නැතුව තමන්ට කිසිම දෙයක් කරන්න බැහැ කියලා යේසුස් තේරුම් අරන් හිටියා. (යොහ. 5:19) නිහතමානිකම ගැන අපේ නායකයා අපිට මොන තරම් වටිනා ආදර්ශයක්ද!

14. යේසුස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

14 තමන් ගැන හරි විදිහට හිතන්න යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ඉගැන්නුවා. එක අවස්ථාවක යේසුස් එයාලට කිව්වා “ඔබේ පියාණන් ඔබේ සියලුම හිසකෙස් පවා ගණන් කරලා තියෙනවා” කියලා. (මතෙ. 10:30) යේසුස් කියපු ඒ දේ අපිට මොන තරම් සහනයක්ද! විශේෂයෙන්ම අපි වටින්නේ නැහැ කියලා හිතෙන අවස්ථාවලදී ඒක අපිට ලොකු දිරිගැන්වීමක්. ඔහු කියපු දෙයින් තේරෙනවා ස්වර්ගයේ ඉන්න අපේ ආදරණීය තාත්තා අපි එක් එක් කෙනා ගැන කොයි තරම් සැලකිලිමත්ද, ඔහුට අපිව කොච්චර වටිනවාද කියලා. යෙහෝවා අපිව එච්චර වටින අය විදිහට සලකනවා නම් ‘යෙහෝවාගේ ආදරේ ලබන්නවත් සදාකාල ජීවනය ලබන්නවත් මං වටින්නේ නෑ’ කියලා කියන්න අපි කවුද? එහෙම හිතනවා නම් අපි කරන්නේ හරියට යෙහෝවා හිතන විදිහ වැරදියි කියලා කියනවා වගේ දෙයක්.

ඔයා ඔයා ගැනම හරි විදිහට හිතුවේ නැත්නම් ඔයාට නැති වෙන්න පුළුවන් ආශීර්වාද මොනවාද? (15 ඡේදය බලන්න) *

15. (අ) එක ‘මුරටැඹ’ සඟරාවක දිරිගන්වලා තිබුණේ අපි ගැන කොහොම හිතන්න කියලාද? (ආ) 24වෙනි පිටුවේ තියෙන පින්තූරෙනුත් පෙන්නන විදිහට අපි ගැන ඕනෑවට වඩා හිතුවොත් නැති වෙන්න පුළුවන් මොන ආශීර්වාදද?

15 මීට අවුරුදු 15කට විතර කලින් ආපු ‘මුරටැඹ’ සඟරාවක මෙහෙම කියලා තිබුණා. “අපි අපි ගැනම ඕනෑවට වඩා වැඩියෙන් සිතමින් උඩඟු වෙන එක කොහෙත්ම සුදුසු වන්නේ නැහැ. ඒකේ අනිත් පැත්ත, ඒ කියන්නේ අපි කොහෙත්ම වටින්නේ නැති අය කියා සිතීමත් සුදුසු නැහැ. ඒ වෙනුවට අපි උත්සාහ කළ යුත්තේ අපි ගැනම සමබරව සිතීමටයි. අපිට කරන්න පුළුවන් දේවල් මොනවාද කියාත් කරන්න බැරි දේවල් මොනවාද කියාත් අපි තේරුම්ගත යුතුයි. එක් ක්‍රිස්තියානි කාන්තාවක් තමා ගැන සිතන ආකාරය විස්තර කළේ මේ විදිහටයි. ‘මම නරක කෙනෙක් නෙවෙයි. නමුත් මම ශුද්ධවන්තයෙකුත් නෙවෙයි. මගේ හොඳ පැති වගේම නරක පැතිත් තියෙනවා. අනිත් අයත් ඒ වගේමයි.’” * අපි අපි ගැනම ඒ විදිහට සමබරව හිතන එක කොච්චර වැදගත්ද!

16. යෙහෝවා දෙවියන් අපිට ප්‍රඥාවන්ත මඟ පෙන්වීම් දෙන්නේ ඇයි?

16 යෙහෝවා දෙවියන් ඔහුගේ වචනය මාර්ගයෙන් අපිට මඟ පෙන්වන්නේ අපිට ආදරේ නිසයි. අපි සතුටින් ඉන්න එක තමයි ඔහුගෙත් සතුට. (යෙසා. 48:17, 18) අපි කරන්න ඕනෙ ඥානවන්තම දේ තමයි යෙහෝවා දෙවියන්ට අපේ ජීවිතේ පළවෙනි තැන දෙන එක. එහෙම කරද්දී සල්ලිවලට, රස්සාවට සහ තමන්ටම ජීවිතේ පළවෙනි තැන දෙන අය මුහුණ දෙන අමිහිරි ප්‍රතිඵල අද්දකින්න අපිට සිද්ධ වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ජීවිතේ නියම සතුට භුක්ති විඳින්නත් අපිට පුළුවන්. ඒ නිසා යෙහෝවා දෙන ප්‍රඥාවන්ත මඟ පෙන්වීම් අදාළ කරගෙන ඔහුගේ හිත සතුටු වෙන විදිහට වැඩ කරන්න අපි හැමෝම අධිෂ්ඨාන කරගමු.—හිතෝ. 23:15.

ගීතිකාව 94 ස්තුති වෙමු දේවවචනයට

^ සලමොන් සහ යේසුස් කියන්නේ ගොඩක් ප්‍රඥාවන්ත දෙන්නෙක්. එයාලට ඒ ප්‍රඥාව ලැබුණේ යෙහෝවා දෙවියන්ගෙන්. ධන සම්පත් ගැන, රස්සාව ගැන, තමන් ගැන සමබරව හිතන්න පුළුවන් කොහොමද කියලා දෙවිගේ බලයේ මඟ පෙන්වීමෙන් එයාලා දීපු උපදෙස් අපි මේ ලිපියෙන් බලමු. ඒ වගේම ඒ කාරණා තුන ගැන බයිබලේ තියෙන ප්‍රඥාවන්ත උපදෙස් අදාළ කරගෙන අපේ සහෝදර සහෝදරියන් දැනටමත් ප්‍රයෝජන ලබලා තියෙන්නේ කොහොමද කියලත් අපි බලමු.

^ 2015 පෙබරවාරි 1 ‘මුරටැඹ’ සඟරාවේ “වෙහෙස වී වැඩ කරලා ලබන්න සතුටක්!” කියන ලිපිය බලන්න.

^ 2005 අගෝස්තු 1 ‘මුරටැඹ’ සඟරාවේ “නියම සතුට ලබන ආකාරය බයිබලයෙන් දැනගන්න” කියන ලිපිය බලන්න.

^ පින්තූරයේ අදහස: ජෝන් සහ ටොම් කියන්නේ එකම සභාවේ ඉන්න යෞවන සහෝදරයෝ දෙන්නෙක්. ජෝන් එයාගේ කාර් එකට ගොඩක් ආදරෙයි. එයා ඒක බලාගන්න ලොකු කාලයක් වැය කරනවා. හැබැයි ටොම් සහෝදරයන්ට රැස්වීම්, සේවේ යන්න උදව් කරන්න එයාගේ වාහනේ පාවිච්චි කරනවා.

^ පින්තූරයේ අදහස: ජෝන් රෑ වෙන කල් ඕවර් ටයිම් කරනවා. මොකද එයා බොස්ගේ හිත රිද්දන්න කැමති නැහැ. වැඩිපුර වැඩ කරන්න කියලා බොස් කියන ඕනෙම වෙලාවක එයා ඒක කරන්න ලෑස්තියි. සහායක සේවකයෙක් විදිහට සේවය කරන ටොම් එදා හැන්දෑවේ වැඩිමහල්ලෙක් එක්ක සහෝදරියක්ව දිරිගන්වන්න යනවා. මොකද ටොම් කලින්ම එයාගේ බොස්ට කියලයි තියෙන්නේ නමස්කාරේ දේවල් තියෙන නිසා සතියේ සමහර දවස්වල වැඩිපුර වැඩ කරන්න බැහැ කියලා.

^ පින්තූරයේ අදහස: ජෝන් තමන් ගැන ඕනෑවට වඩා හිතනවා. හැබැයි ටොම් වැඩිපුර හිතන්නේ යෙහෝවා ගැනයි, අනිත් අය ගැනයි. ඒ නිසා එයා සමුළු ශාලාවක් අලුත්වැඩියා කරන ව්‍යාපෘතියකට හවුල් වෙනවා. ඒකෙන් එයාට හුඟක් යාළුවොත් හම්බ වෙනවා.