Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 24

ඉලක්කවලට යන්න ඔයාටත් පුළුවන්

ඉලක්කවලට යන්න ඔයාටත් පුළුවන්

“අපගේ උත්සාහය අත් නොහැර දිගටම යහපත් දේ කරමු. මන්ද අප විඩාවට පත් වී හෙම්බත් වන්නේ නැත්නම් නියමිත කාලයේදී ප්‍රතිඵල නෙළාගන්න අපට හැකි වේ.”ගලා. 6:9.

ගීතිකාව 84 කරන්නට බොහෝ දේ ඇත

මේ ලිපියෙන් a

1. අපෙන් හුඟදෙනෙක්ට තියෙන අභියෝගය මොකක්ද?

 ඔයාත් නමස්කාරයේ පැත්තෙන් ඉලක්කයක් තියලා ඒක ජය ගන්න සටනක් කරන කෙනෙක්ද? b ෆිලිප් කියන්නෙත් ඒ වගේ කෙනෙක්. එයාට ඕනෙ වුණේ එයාගේ යාච්ඤාව තව අර්ථවත් කරගන්න, තව වැඩියෙන් යෙහෝවා එක්ක කතා කරන්න. හැබැයි ඒකට වෙලාව හොයාගන්න එයාට ලේසි වුණේ නැහැ. එරිකාගේ ඉලක්කය වුණේ ක්ෂේත්‍ර සේවා රැස්වීමට වෙලාවට යන එක. හැබැයි එයා හැම රැස්වීමකටම වගේ යන්නේ පරක්කු වෙලා. ටෝමාෂ් කීප සැරයක්ම උත්සාහ කළා බයිබලේ සම්පූර්ණයෙන්ම කියවලා ඉවර කරන්න. එයා මෙහෙම කියනවා. “බයිබලේ කියවන්න මට කිසිම ආසාවක් තිබ්බේ නෑ. මං තුන් පාරක්ම කියවන්න හැදුවා. හැබැයි ඒ හැම වතාවකම ලෙවී කතාව පොතෙන් එහාට ගියේ නෑ.”

2. ඉලක්කයකට තාමත් ළඟා වෙන්න බැරි වුණා නම් ඒ ගැන අධෛර්යය වෙන්න හොඳ නැත්තේ ඇයි?

2 ඔයාත් ඉලක්කයක් තියලා ඒකට යාගන්න බැරුව ඉන්න කෙනෙක්ද? එහෙමනම් ඔයා පැරදුණා කියලා හිතන්න එපා. මොකද පුංචි ඉලක්කයකට වුණත් යන්න සෑහෙන කාලයක් යනවා, වෙහෙසක් දරන්න වෙනවා. ඒ ඉලක්කයට යන්න ඔයාට ලොකු වුවමනාවක් තියෙන එකෙන්ම පේනවා යෙහෝවා එක්ක තියෙන බැඳීම ඔයාට කොච්චර වටිනවාද, ඔහුට හොඳම දේ දෙන්න ඔයාට කොච්චර වුවමනාවක් තියෙනවාද කියලා. ඉතින් ඉලක්කයට යන්න ඔයා කරන හැම පුංචි දෙයක්ම යෙහෝවා ගොඩක් අගය කරනවා. මේකත් මතක තියාගන්න. යෙහෝවා දෙවියන් කවදාවත් ඔයාගෙන් කරන්න බැරි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (ගීතා. 103:14; මීකා 6:8) ඒ නිසා ඔයාගේ තත්වයට ගැළපෙන, සාධාරණ ඉලක්ක තියාගන්න. ඔයා දැනටමත් තියලා තියෙන්නේ ඒ වගේ ඉලක්කයක් නම් ඒකට ළඟා වෙන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද? ඒකට උදව් වෙන යෝජනා ටිකක් අපි දැන් බලමු.

ආසාව තියෙන්නම ඕනේ

ආසාව වැඩි කරගන්න උදව් ඉල්ලන්න (3-4 ඡේද බලන්න)

3. ආසාවක් තියෙන එක වැදගත් ඇයි?

3 ඉලක්කයකට යන්න ආසාවක් තියෙන්නම ඕනේ. මොකද ලොකු ආසාවක් තියෙන කෙනෙක් එයාගේ ඉලක්කය වෙනුවෙන් මහන්සි වෙනවා. අපේ හිතේ තියෙන ආසාව හරියට රුවල් බෝට්ටුවක් ඉස්සරහට තල්ලු කරන හුළඟ වගේ. හුළං දිගටම හමනවා නම් බෝට්ටුව දිගටම ඉස්සරහට යනවා. හුළං සැර වැඩි වෙන්න වැඩි වෙන්න හිතනවාටත් වඩා ඉක්මනට ගමනාන්තයට යන්න පුළුවන්. ඒ වගේ අපේ හිතේ තියෙන ආසාව වැඩි වෙන්න වැඩි වෙන්න ඉලක්කයට යන්න ලේසියි. බලන්න ඒ ගැන එල් සැල්වදෝරයේ ඉන්න සහෝදර ඩේවිඩ් කියන දේ. “ආසාව තමයි ඔයාව ඉලක්කය දිහාවට තල්ලු කරන්නේ. මොකද ආසාවක් තියෙනවා නං ඔයාව පස්සට ඇදලා දාන්න ඔයා කිසිම දේකට ඉඩ දෙන්නේ නෑ.” ඒත් ආසාව කියන හුළං සැර තව වැඩි කරගන්නේ කොහොමද?

4. අපිට යාච්ඤා කරන්න පුළුවන් මොනවා ගැනද? (ෆිලිප්පි 2:13) (පින්තූරයත් බලන්න.)

4 ආසාව වැඩි කරන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන්න. යෙහෝවා දෙවියන්ට පුළුවන් ඔහුගේ බලය ඔයාට දීලා ඉලක්කයට යන්න ඔයාගේ හිතේ ආසාවක් ඇති කරන්න. (ෆිලිප්පි 2:13 කියවන්න.) අපි දන්නවා සමහර දේවල් අපි අනිවාර්යයෙන්ම කරන්න ඕනෙ කියලා. ඒක නිසා අපි ඒකට ඉලක්කයක් තියාගන්නවා. හැබැයි සමහරවිට අපි ඉලක්කයක් තිබ්බාට ඒකට යන්න අපිට එච්චර ආසාවක් නැති වෙන්න පුළුවන්. උගන්ඩාවේ ඉන්න සහෝදරි නොරීනාටත් තිබුණේ ඒ ප්‍රශ්නෙමයි. එයා බයිබල් පාඩමක් පටන්ගන්න ඉලක්කයක් තියාගත්තා. හැබැයි එයාගේ හිතේ ඒකට කිසිම ආසාවක් තිබ්බේ නැහැ. මොකද එයාට හිතුණේ එයා උගන්නන්න දක්ෂ නැහැ කියලා. ඉතින් එයා මොකද කළේ? බලන්න එයා කියන දේ. “පාඩමක් කරන්න තියෙන ආසාව වැඩි කරන්න කියලා මං හැම දවසකම යෙහෝවාගෙන් ඉල්ලුවා. ඉගැන්වීමේ හැකියාව දියුණු කරගන්නත් මං මහන්සි වුණා. මාස කීපයක් යද්දී මට තේරුණා කලින්ට වඩා දැන් ඒකට මගේ හිතේ ආසාවක් තියෙනවා කියලා. කොහොමහරි ඒ අවුරුද්දේම මට බයිබල් පාඩම් දෙකක් පටන්ගන්න පුළුවන් වුණා.”

5. ආසාව තව වැඩි කරගන්න නම් අපි හිතන්න ඕනෙ මොනවා ගැනද?

5 යෙහෝවා දැනටමත් ඔයා වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන හිතන්න. (ගීතා. 143:5) පාවුල් දෙවියන් පෙන්නලා තියෙන මහත් කරුණාව ගැන හිතන්න කාලේ ගත්තා. ඒක තමයි ඔහු වෙනුවෙන් වෙහෙස මහන්සි නොබලා සේවේ කරන්න එයාව පෙලඹුවේ. (1 කොරි. 15:9, 10; 1 තිමෝ. 1:12-14) ඔයාටත් පුළුවන් යෙහෝවා දැනටමත් ඔයා වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන හිතන්න. ඒක ඉලක්කයට යන්න ඔයාගේ හිතේ ලොකු ආසාවක්, පෙලඹීමක් ඇති කරයි. (ගීතා. 116:12) හොන්ඩ්‍යුරාස්වල ඉන්න සහෝදරියකට ඕනෙ වුණා ස්ථාවර පුරෝගාමි කරන්න. එයා මෙහෙම කියනවා. “යෙහෝවා මට කොච්චර ආදරේද කියලා මං හිතුවා. ඔහු මාව තෝරගෙන ඔහුගේ සෙනඟට ළං කරලා තියෙනවා. හැම දවසකම මාව ආදරෙන් බලාගන්නවා, මාව ආරක්ෂා කරනවා. ඒ ගැන හිතන්න හිතන්න යෙහෝවා ගැන තිබ්බ ආදරේ තව වැඩි වුණා. ඒක තමයි ඉලක්කයට යන්න මට උදව් වුණේ.”

6. ආසාව වැඩි කරගන්න තව මොනවාද උදව් වෙන්නේ?

6 ඉලක්කයට ගියාම ලැබෙන ආශීර්වාද ගැන හිතන්න. මේ ලිපියේ කතා කරපු එරිකාව මතකද? එයාගේ ඉලක්කය වුණේ වෙලාවට වැඩ කරන එක. එයා මෙහෙම කියනවා. “පරක්කු වෙලා සේවේ යද්දී මට ගොඩක් දේවල් මිස් වුණා. හැබැයි වේලාසනින් ගියොත් අනිත් අයව පිළිගන්න, එයාලා එක්ක කතාබහ කරන්න මට පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒ රැස්වීමෙන් දෙන යෝජනා අදාළ කරගද්දී මගේ සතුටත් වැඩි වෙනවා. සේවේ දක්ෂ වෙන්නත් පුළුවන්.” වෙලාවට වැඩ කරන එකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන හිතපු එක එරිකාට උදව් වුණා එයාගේ ඉලක්කයට යන්න. ඔයාගේ ඉලක්ක මොනවාද? බයිබලේ කියවන එක ගැන, යාච්ඤා කරන එක ගැන ඔයා ඉලක්ක තියලා තියෙනවා නම් ඒ ඉලක්කයට ගියාම ඔයා යෙහෝවාට තවත් කොච්චර කිට්ටු වෙයිද කියලා හිතන්න. (ගීතා. 145:18, 19) ඔයාගේ ඉලක්කය ගුණාංග තව දියුණු කරගන්න එක නම් ඒක ඔයාව අනිත් අයට කොච්චර ළං කරයිද කියලා හිතන්න. (කොලො. 3:14) ඔයාට පුළුවන් ඉලක්කයට ගියාම ලැබෙන ප්‍රයෝජන ගැන, ආශීර්වාද ගැන පොඩි ලැයිස්තුවකුත් හදන්න. කාලෙන් කාලෙට ඒක බලන්න. කලින් කතා කරපු ටෝමාෂ් මෙහෙම කියනවා. “ඉලක්කයකට ගියාම ලැබෙන ප්‍රයෝජන ගැන හිතද්දී ඒක හිතෙන් අයින් කරන්න හිතෙන්නෙම නෑ.”

7. ජූලියෝ යුවළට ඉලක්කයට යන්න උදව් වුණේ මොනවාද?

7 ඉලක්කයට යන්න උදව් කරන අයත් එක්ක කාලේ ගත කරන්න. (හිතෝ. 13:20) ජූලියෝ සහ එයාගේ නෝනා ඉලක්කයක් තිබ්බා ප්‍රචාරකයන් අඩු පැත්තකට ගිහින් සේවේ කරන්න. බලන්න ඒක ජය ගන්න උදව් වුණ දේ ගැන ජූලියෝ කියන දේ. “අපේ ඉලක්කයට යන්න දිරිගන්වපු අයව තමයි අපි යාළුවෝ කරගත්තේ. එයාලා අපිත් එක්ක ඒ ගැන ගොඩක් දේවල් කතා කළා. ඒ අයගෙන් වැඩිදෙනෙක් අපි වගේම ඉලක්ක තියලා ඒවා ජය ගත්ත අය. ඒ නිසා අපිට දෙන්න එයාලා ගාව හොඳ යෝජනා තිබ්බා. ඒ වගේම එයාලා කාලෙන් කාලෙට අපේ ඉලක්කය ගැන අහනවා. ඇත්තටම ඕනම වෙලාවේදී එයාලා අපේ පිටිපස්සෙන් ඉඳන් අපිට තල්ලුවක් දුන්නා.”

මොනවා කළත් ආසාවක් නැත්නම්?

ඉලක්කයට ළඟා වෙන්න මහන්සි වෙන්න (8 ඡේදය බලන්න)

8. අපි ඉලක්කය වෙනුවෙන් වැඩ කරන්නේ ආසාවක් ඇති වුණ වෙලාවට විතරයි නම් මොනවා වෙයිද? (පින්තූරයත් බලන්න.)

8 සමහර වෙලාවට කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැති දවස් තියෙනවා. ඒ කියන්නේ කවදාවත්ම අපිට ඉලක්කයට යන්න බැහැ කියන එකද? නැහැ. ඒක තේරුම්ගන්න අපි ආයෙත් අර උදාහරණයට යමු. අපි කලින් බලපු විදිහට රුවල් බෝට්ටුවක් ඉස්සරහට ගෙනියන්න බලපාන ප්‍රධානම දෙයක් තමයි හුළඟ. හැබැයි සමහර දවස්වල හුළං වැඩියි. සමහර දවස්වල අඩුයි. තවත් දවස්වල හුළං පොදක්වත් නැහැ. දැන්, හුළං නැති දවසක් ගැන හිතන්න. ඒ වගේ දවසකට බෝට්ටුව පදින කෙනා හිතයිද ‘හුළං හමන කල් මං ඔහේ නවත්තගෙන ඉන්නවා’ කියලා? නැහැ නේද? මොකද සමහර බෝට්ටුවල මෝටරයක් තියෙනවා. තවත් ඒවාවල හබල් තියෙනවා. ඉතින් ඒවා පාවිච්චි කරලා එයා කොහොමහරි බලන්නේ බෝට්ටුව ගමනාන්තයට ගෙනියන්න. අපේ හිතේ තියෙන ආසාවත් අර හුළඟ වගේ. හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ. සමහර දවස්වලට ආසාවක් ඇත්තෙම නැහැ. එහෙම වුණත් ඔහේ බලන් ඉන්නේ නැතුව ඉලක්කය වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒකට අපි අපිවම පාලනය කරගෙන අමාරුවෙන් හරි ඒකට යන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වෙනුවෙන් කොච්චර වෙහෙසක් දැරුවත් ඒක අපතේ යන්නේ නැහැ. ඒත් කොහොමද ඒක කරන්නේ? ඒ ගැන බලන්න කලින් අපි වැදගත් ප්‍රශ්නයක් ගැන ටිකක් බලලා ඉමු.

9. හිතේ කිසිම ආසාවක් නැතුව ඉලක්කයක් වෙනුවෙන් වැඩ කරන එක වැරදියිද? පැහැදිලි කරන්න.

9 යෙහෝවා දෙවියන්ට ඕනෙ අපි ලොකු ආසාවකින් ඔහුට සේවේ කරනවා දකින්න. (ගීතා. 100:2; 2 කොරි. 9:7) ඒ කියන්නේ හිතේ කිසිම ආසාවක් නැතුව ඉලක්කයක් වෙනුවෙන් වැඩ කරන එකේ තේරුමක් නැද්ද? ඒක තේරුම්ගන්න අපි පාවුල් ගැන බලමු. එයා මෙහෙම කිව්වා. “මම මගේ ශරීරයට දැඩි ලෙස පහර දෙමින් වහලෙකුව ඇදගෙන යන්නා සේ එය මගේ පාලනයට යටත් කරගන්නෙමි.” (1 කොරි. 9:25-27) ඒකෙන් තේරෙනවා පාවුල් පවා සමහර දේවල් කළේ ගොඩක් අමාරුවෙන් කියලා. හරි දේ කරන්න එයා එයාත් එක්කම ලොකු සටනක් කළා. ඉතින් පාවුල් කරපු දේවල් යෙහෝවා පිළිගත්තාද? ඔව්, අනිවාර්යයෙන්ම! එයා දරපු මහන්සියට ඔහු ගොඩක් ආශීර්වාද කළා.—2 තිමෝ. 4:7, 8.

10. ආසාවක් නැතුව තියෙද්දී වුණත් ඉලක්කයක් වෙනුවෙන් වැඩ කරන එකේ තියෙන ප්‍රයෝජන මොනවාද?

10 ආසාවක් නැති දවස්වලදී වුණත් අපි ඉලක්කයක් වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරද්දී දෙවියන් ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. මොකද ඔහු දකිනවා අපි කරන දේ ගැන අපේ හිතේ ඇල්මක් නැති වුණාට අපි ඒක කරන්නේ ඔහු ගැන ලොකු ඇල්මක් තියෙන නිසා කියලා. ඉතින් පාවුල්ට වගේ යෙහෝවා අපේ වෑයම්වලටත් අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා. (ගීතා. 126:5) එතකොට සමහරවිට කලින් තිබුණේ නැති ආසාව කියන ඒ හුළං රැල්ල ටිකෙන් ටික හමන්න පටන්ගන්නවා. බලන්න ඒ ගැන පෝලන්තයේ ඉන්න සහෝදරි ලූට්සිනා කියන දේ. “සමහර දවස්වලට සේවේ යන්න බෑ කියලමයි හිතෙන්නේ. විශේෂයෙන්ම මහන්සි දවස්වලට. හැබැයි කොහොමහරි සේවේ ගියාම ඒ දැනෙන සතුට නං වචනවලින් විස්තර කරන්න බෑ. ඒක ඇත්තටම යෙහෝවාගෙන් ලැබෙන තෑග්ගක්.” දැන් අපි බලමු අපේ හිතේ ආසාවක් නැති වෙලාවට අපිට කරන්න පුළුවන් මොනවාද කියලා.

11. අපිවම පාලනය කරගන්න දෙවියන් අපිට උදව් කරන්නේ කොහොමද?

11 ඔයාවම පාලනය කරගන්න උදව් ඉල්ලන්න. තමාවම පාලනය කරගන්නවා කියන එකට අපේ හැඟීම්, ක්‍රියාවන් පාලනය කරගන්න එක ඇතුළත් වෙනවා. හුගක් වෙලාවකට අපි ඒ යෙදුම පාවිච්චි කරන්නේ වැරදිවලින් වළකින එක ගැන කතා කරද්දී. හැබැයි හොඳ දේවල් කරද්දීත් අපිට ඒ ගුණාංගය ඕනේ. විශේෂයෙන්ම ඒ දේ කරන්න අපිට එච්චර ආසාවක් නැත්නම්, ඒක කරන එක අමාරුයි කියලා හිතෙනවා නම්. තමන්වම පාලනය කරගන්න එක දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංගයක්. ඒ නිසා ඒක වර්ධනය කරගන්න යෙහෝවාගේ උදව් නැතුවම බැහැ. (ලූක් 11:13; ගලා. 5:22, 23) මේ ලිපියේ කතා කරපු ඩේවිඩ්ව මතකද? එයාගේ ඉලක්කය වුණේ අතපසු කරගන්නේ නැතුව බයිබලේ අධ්‍යයනය කරන එක. එයා මෙහෙම කියනවා. “මං මාව පාලනය කරගන්න යෙහෝවාගෙන් ගොඩක් උදව් ඉල්ලුවා. අන්තිමේදී ඔහුගේ උදව්වෙන් මං ඒ ඉලක්කය ජය ගත්තා.”

12. ඉලක්කයකට යන්න දේශනාකාරයා 11:4 තියෙන ප්‍රතිපත්තිය උදව් වෙන්නේ කොහොමද?

12 හැම දෙයක්ම හරියටම වෙන කල් ඉන්න එපා. සාතන්ගේ මේ දුෂ්ට ලෝකේ හැම දේම හොඳටම වෙන දවසක් එන කල් හිටියොත් කවදාවත් ඉලක්කයට යන්න වෙන්නේ නැහැ. (දේශනාකාරයා 11:4 කියවන්න.) බලන්න සහෝදර ඩේනියල් ඒ ගැන කියන දේ. “හැම දේම හරියටම වෙන දවසක් එන්නේ නෑ. අපි තමයි පළවෙනි අඩිය තියලා ඒ දවස හොඳ එකක් කරගන්න ඕනේ.” උගන්ඩාවේ ඉන්න සහෝදර පෝල් මෙහෙම කියනවා. “කොච්චර අභියෝග තිබ්බත් අපි අමාරුවෙන් හරි වැඩේට බැස්සොත් යෙහෝවා අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවාමයි.”—මලා. 3:10.

13. මුලින්ම පුංචි පුංචි ඉලක්ක තියාගන්න එකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

13 පොඩියට පටන්ගන්න. සමහර වෙලාවට ඉලක්කේ ලොකුයි වගේ පෙනෙද්දී ඒකට ළං වෙන්නත් අමාරුයි කියලා දැනෙන්න පුළුවන්. ඔයාටත් තියෙන ප්‍රශ්නේ ඒක නම් ඔයාගේ ඉලක්කය පුංචි කෑලිවලට කඩාගන්න. ඒ කොහොමද? හිතන්න ඔයාගේ ඉලක්කය ගුණාංගයක් වර්ධනය කරගන්න එක කියලා. ඉස්සෙල්ලාම ඒ ගුණාංගය පෙන්නන්න පුංචි දෙයක් කරන්න. නැත්නම් ඔයාගේ ඉලක්කය හැමදාම බයිබලේ කියවන එක කියලා හිතන්න. මුලදී ලොකු වෙලාවක් ගන්නේ නැතුව පොඩි වෙලාවක් අරන් පොඩි කොටසක් කියවන්න. මේ ලිපියේ කතා කරපු ටෝමාෂ්ව මතකද? එයාගේ ඉලක්කය වුණේ කොහොමහරි අවුරුද්දකින් බයිබලේ කියවලා ඉවර කරන්න. එයා මෙහෙම කියනවා. “මට තේරුණා මං දවසකට කියවන්න වෙන් කරපු ප්‍රමාණය ඕනෑවටත් වඩා වැඩියි කියලා. ඉතින් මං ආයෙත් පටන්ගත්තා. මේ පාර එක සැරේ ගොඩක් බදාගන්නේ නැතුව ඡේද කීපයක් කියවලා ඒ ගැන කල්පනා කළා. ඒකෙන් මට ලොකු සතුටක් දැනුණා.” කොහොමහරි ඔහොම යද්දී දවසකට කියවන ප්‍රමාණය ටික ටික වැඩි කරගන්න ටෝමාෂ්ට පුළුවන් වුණා. අන්තිමේදී එයා සම්පූර්ණ බයිබලේම කියෙව්වා. c

අභියෝග එද්දී කලකිරෙන්න එපා!

14. අපිට එන්න පුළුවන් අභියෝග මොනවාද?

14 සමහරවිට අපි කොච්චර ආස වුණත්, අපිවම පාලනය කරගන්න පුරුදු වුණත් ඉලක්කයට යන එක අභියෝගයක් වෙන්න පුළුවන්. උදාහරණෙකට “බලාපොරොත්තු නොවූ දේවල්” වෙද්දී අපි ඉලක්කය වෙනුවෙන් දෙන කාලය, අවධානය වෙනතකට යොමු වෙන්න පුළුවන්. (දේශ. 9:11) ඒ වගේම එක පිට එක අභියෝග එද්දී අපි හුඟක් කලකිරිලා මානසිකව වැටෙයි. (හිතෝ. 24:10) අපේම පව්කාර පෙලඹීමුත් අපිව ඉලක්කයෙන් තව ඈතට ඈතට ඇදගෙන යයි. (රෝම 7:23) සමහරවිට අපිට ලොකු වෙහෙසක් දැනෙන්නත් පුළුවන්.—මතෙ. 26:43.

15. අභියෝග එද්දී වැටුණා කියන්නේ අසාර්ථකයි කියන එකද? පැහැදිලි කරන්න. (ගීතාවලිය 145:14)

15 අභියෝග නිසා වැටුණත් පැරදුණා කියලා හිතන්න එපා. බයිබලේ කියනවා අපිට එක පිට එක ප්‍රශ්න එන්න පුළුවන් කියලා. හැබැයි දෙවියන්ගේ උදව්වෙන් ඒවාට හොඳට මුහුණ දෙන්න පුළුවන් කියලත් බයිබලේ කියනවා. (ගීතාවලිය 145:14 කියවන්න.) මේ ලිපියේ කතා කරපු සහෝදර ෆිලිප් කියන දේ බලන්න. “වැදගත්ම දේ කෙනෙක් කී සැරයක් වැටුණාද කියන එක නෙවෙයි, කී සැරයක් නැඟිට්ටාද කියන එක. ඒක තමයි සාර්ථකත්වය කියන්නේ.” ඩේවිඩ් මෙහෙම කියනවා. “සමහර දවස්වලට මොන දේ කළත් අවුල්. හැම දේම වරදිනවා. හැබැයි එහෙම වෙද්දී මං ඒක සලකන්නේ යෙහෝවාට තියෙන ආදරේ පෙන්නන්න ලැබෙන අවස්ථාවක් විදිහට.” ඔව්, මොන අභියෝගය තිබ්බත් ඔයා දිගටම ඉලක්කයටම දුවනවා නම් ඒකෙන් ඔයා පෙන්නනවා යෙහෝවාව සතුටු කරන්න ඔයාට කොච්චර ආසාවක් තියෙනවාද කියලා. ඒ ආසාව දකිද්දී ඔහුගේ හිතෙත් ඔයා ගැන ලොකු අගයක් ඇති වෙයි.

16. ඉලක්කයට යන්න බාධා වෙන දේවල්වලින් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

16 බාධාවලින් ඉගෙනගන්න. ඉලක්කයකට යද්දී බාධා එන්න පුළුවන්. ඒ නිසා මුලින්ම හිතන්න ඒ වගේ බාධාවක් ආවේ ඇයි කියලා. ඒ විතරක් නෙවෙයි ඒ වගේ දෙයක් ආයෙත් නොවෙන්න නම් ඔයා මොනවාද කරන්න ඕනෙ කියලත් හිතන්න. (හිතෝ. 27:12) ඉලක්කයට යන මේ ගමනේ සමහර වෙලාවට එන බාධාවලින්ම තේරෙනවා ඒ ඉලක්කය හිතපු තරම් ප්‍රායෝගික එකක් නෙවෙයි කියලා. ඉතින් ඔයාට පුළුවන් ඔයා තියලා තියෙන ඉලක්කය ඔයාගේ සීමාව ඇතුළේ තියෙන සාධාරණ එකක්ද නැත්නම් ඒක සීමාවෙන් එහා තියෙන එකක්ද කියලා හිතන්න. d මොකද සීමාවෙන් එහා තියෙන ඉලක්කයක් ජය ගන්න බැරි වුණා කියලා යෙහෝවා කවදාවත් ඔයාව පරාජිතයෙක් විදිහට දකින්නේ නැහැ.—2 කොරි. 8:12.

17. අපි දැනටමත් ජය අරන් තියෙන දේවල් ගැන හිතන එක වැදගත් ඇයි?

17 දැනටමත් ජය අරන් තියෙන දේවල් අමතක කරන්න එපා. බයිබලේ කියනවා ‘ඔබ කළ සේවය අමතක කිරීමට තරම් දෙවි අධර්මිෂ්ඨ කෙනෙක් නෙවෙයි’ කියලා. (හෙබ්‍රෙ. 6:10) දෙවියන්ම ඔයා කරපු දේවල් අමතක කරන්නේ නැත්නම් ඔයා අමතක කරන එක හොඳයිද? නැහැ නේද? ඉතින් ඔයාට පුළුවන් දැනටමත් ඔයා ජය අරන් තියෙන්නේ මොන වගේ ඉලක්කද කියලා හොඳට හිතලා බලන්න. ඔයා යෙහෝවා එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගෙන ඇති. ඔහු ගැන අනිත් අයට කතා කරනවා ඇති. ඒ වගේම බව්තීස්මය කියන ඉලක්කයටත් ගිහිල්ලා ඇති. ඉතින් ටිකෙන් ටික ඒ ඉලක්කවලට ළඟා වෙන්න ඔයාට පුළුවන් වුණා වගේ ඔයා දැන් තියලා තියෙන ඉලක්කවලටත් අනිවාර්යයෙන්ම ළඟා වෙන්න ඔයාට පුළුවන්.—ෆිලි. 3:16.

අවට සිරි නරඹන්න (18 ඡේදය බලන්න)

18. අපි මතක තියාගන්න ඕනෙ මොනවාද? (පින්තූරයත් බලන්න.)

18 රුවල් බෝට්ටුවක ගමනක් අරඹන කෙනෙක් අන්තිමේදී කොහොමහරි එයාගේ ගමනාන්තයට යනවා. ඒ වගේ ඔයාටත් පුළුවන් යෙහෝවාගේ උදව්වෙන් ඔයාගේ ඉලක්කයට යන්න. හැබැයි බෝට්ටුවක යන කෙනෙක් ගමන අතරතුරේදීත් අවට සිරි නරඹලා සතුටක් ලබනවා. ඉතින් ඉලක්කයට යන අතරතුරේදී යෙහෝවා ඔයාට උදව් කරන විදිහ, ආශීර්වාද කරන විදිහ දිහා බලලා සතුටක් ලබන්න. (2 කොරි. 4:7) ඔයාත් උත්සාහය අත්හරින්නේ නැතුව ඔයාගේ ඉලක්ක වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කළොත් ඔයාගේ ගමනාන්තයත් ආශීර්වාදවලින් පිරුණු එකක් වෙයි.—ගලා. 6:9.

ගීතිකාව 126 අවදිව, ස්ථිරව සිටිමු

a සංවිධානයෙන් අපිව නිතරම දිරිගන්වනවා යෙහෝවා දෙවියන්ට කරන නමස්කාරය පැත්තෙන් ඉලක්ක තියලා වැඩ කරන්න කියලා. ඔයාටත් ඒ වගේ ඉලක්ක තියෙනවාද? සමහරවිට ඔයා ඒ වගේ ඉලක්කයක් තියලා තාමත් ඒකට යාගන්න බැරුව ඉන්නවා ඇති. එහෙමනම් ඒ ඉලක්කවලට යන්න මේ ලිපියේ තියෙන යෝජනා ඔයාට උදව් වෙයි.

b පැහැදිලි කිරීමක්: නමස්කාරයේ පැත්තෙන් තියන ඉලක්කයක් කියන්නේ යෙහෝවා වෙනුවෙන් තව වැඩියෙන් දෙයක් කරන්න, ඔහුව සතුටු කරන්න ඔයා මහන්සි වෙලා කරන්න හිතාගෙන ඉන්න ඕනම දෙයක්. උදාහරණෙකට යෙහෝවාගේ ගුණාංගයක් වර්ධනය කරගන්න නැත්නම් බයිබලේ කියවන්න, පෞද්ගලික අධ්‍යයනය කරන්න, සේවේ යන්න වගේ නමස්කාරයට ඇතුළත් දෙයක් තව හොඳට කරන්න ඉලක්කයක් තියාගන්න ඔයාට පුළුවන්.

c ‘දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු’ පොතේ 10-11​පි. 4​ඡේ. බලන්න.

d මේ ගැන තවත් තොරතුරු දැනගන්න 2008 ජූලි 15 ‘මුරටැඹ’ සඟරාවේ තියෙන “ඔබට හැකි දේ කර ප්‍රීතිය ලබන්න” කියන ලිපිය බලන්න.