Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 23

“ප්‍රේමයේ ගිනිදලු” නිවෙන්න දෙන්න එපා!

“ප්‍රේමයේ ගිනිදලු” නිවෙන්න දෙන්න එපා!

“ප්‍රේමය ගිනිදලු මෙන් ඇවිළෙන්නේය. ඒ ගින්න යෙහෝවා දෙවිගෙන්ය.”—සල. 8:6.

ගීතිකාව 131 ‘දෙවි එක් කළ දේ වෙන් නොකළ යුතුයි’

මේ ලිපියෙන් a

1. සැබෑ ආදරේ බයිබලේ විස්තර කරලා තියෙන්නේ කොහොමද?

 “ප්‍රේමය ගිනිදලු මෙන් ඇවිළෙන්නේය. ඒ ගින්න යෙහෝවා දෙවිගෙන්ය. මහා ජල කඳකින්වත් ප්‍රේමය නමැති ඒ ගින්න නිවාලිය නොහැක. මහා ගංවතුරකින්වත් එය නිවාලිය නොහැක.” b (සල. 8:6, 7) ඒ ගීතිකාවේ සැබෑ ආදරේ නිර්වචනය කරලා තියෙන විදිහ කොච්චර ලස්සනද! ඔයාත් විවාහක කෙනෙක් නම් ඔයාලා දෙන්නා අතරේ නොමියෙන ආදරයක් ඇති කරගන්න පුළුවන් කියලා ඒ වචනවලින් ඔයාටත් සහතිකයක් ලැබෙනවා.

2. ආදරේ නිවෙන්න නොදී තියාගන්න යුවළක් කරන්න ඕනෙ මොනවාද?

2 විවාහ වුණ දෙන්නෙක්ගේ එකම පැතුම ජීවත් වෙන තාක් කල් ආදරෙන් බැඳිලා ඉන්න එක. හැබැයි ඒක එහෙම වෙනවාද නැද්ද කියන තීරණය තියෙන්නේ එයාලාගේ අතේමයි. ඒක තේරුම්ගන්න ගිනිමැලයක් ගැන හිතන්න. ගිනිමැලයක් දිගටම ඇවිළිලා තියෙන්න නම් ඒකට දිගටම දර දාන්න ඕනේ. දෙන්නෙක් අතර තියෙන ආදරෙත් ඒ වගේ. ඒක අවුළලා තියාගන්න දෙන්නාම මහන්සි වෙන්න ඕනේ. හැබැයි ආර්ථික ප්‍රශ්න නිසා, අසනීප නිසා, දරුවන් ඇතිදැඩි කරද්දී දැනෙන පීඩනය නිසා යුවළකට හිතෙන්න පුළුවන් ආදරේ ටිකෙන් ටික නිවිලා යනවා කියලා. ඔයාටත් එහෙම හිතෙනවාද? එහෙමනම් යෙහෝවා දෙවියන් දෙන ‘ආදරේ කියන ගින්න’ දිගටම අවුළලා තියාගන්න පුළුවන් කොහොමද? ඒකට උදව් වෙන දේවල් තුනක් අපි මේ ලිපියෙන් බලනවා. c

යෙහෝවාට තව තවත් කිට්ටු වෙන්න

යුවළක් යෝසෙප් සහ මරියා වගේ දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න ඕනේ (3 ඡේදය බලන්න)

3. ආදරේ ගිනිදැල් අවුළලා තියාගන්න දෙවියන් එක්ක තියෙන බැඳීම උදව් වෙන්නේ කොහොමද? (දේශනාකාරයා 4:12) (පින්තූරයත් බලන්න.)

3 ‘දෙවියන් දෙන ආදරය කියන ගින්න’ දිගටම අවුළලා තියාගන්න නම් සැමියායි, බිරිඳයි දෙන්නාම යෙහෝවාත් එක්ක ශක්තිමත් බැඳීමක් ඇති කරගන්න ඕනේ. ඒත් ඒ බැඳීම දෙන්නා අතර තියෙන බැඳීමට උදව් වෙන්නේ කොහොමද? යුවළක් යෙහෝවාට කිට්ටු වෙන තරමට ඔහු දෙන මඟ පෙන්වීම් ඉක්මනටම අදාළ කරගන්නවා. එතකොට දෙන්නා අතර තියෙන ආදරේ නිවලා දාන ප්‍රශ්න ඇති වෙන එක වළක්වාගන්න එයාලට පුළුවන්. ප්‍රශ්නයක් ඇති වුණත් ඒක ඉක්මනටම විසඳගන්නත් පුළුවන්. (දේශනාකාරයා 4:12 කියවන්න.) දෙවියන් එක්ක හොඳ බැඳීමක් තියෙන කෙනෙක් නිතරම උත්සාහ කරන්නේ ඔහුව ආදර්ශයට ගන්න. ඒ වගේම කරුණාවන්තකම, ඉවසීම, සමාව දෙන එක වගේ ගුණාංග පෙන්නන්නත් එයා උත්සාහ කරනවා. (එෆී. 4:32–5:1) ඒ වගේ ගුණාංග තියෙනවා නම් දෙන්නෙක් අතරේ තියෙන ආදරෙත් දවසින් දවස වැඩි වෙනවා. සහෝදරි ලීනා විවාහ වෙලා අවුරුදු 25කටත් වැඩියි. එයා කියනවා “යෙහෝවා එක්ක හොඳ බැඳීමක් තියෙන කෙනෙක්ට ආදරේ, ගෞරවය පෙන්නන්න ඕනම කෙනෙක්ට ලේසියි” කියලා.

4. යේසුස්ගේ දෙමාපියන් විදිහට දෙවියන් යෝසෙප්වයි, මරියාවයි තෝරගත්තේ ඇයි?

4 අපි දැන් බයිබල් ආදර්ශයක් බලමු. දාවිත්ගේ පෙළපතින් එන තව හුඟක් අය ඉද්දී ඇයි දෙවියන් ගැලවුම්කරුගේ දෙමාපියන් විදිහට යෝසෙප්වයි, මරියාවයි තෝරගත්තේ? ඒ, එයාලට ඔහු එක්ක ශක්තිමත් බැඳීමක් තිබ්බ නිසා. ඔහු දැනන් හිටියා විවාහ වුණාට පස්සෙත් එයාලා ඔහුට තියෙන ආදරේ මත එයාලාගේ ජීවිත ගොඩනඟයි කියලා. අද ඉන්න යුවළයන්ට එයාලාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

5. යෝසෙප්ගෙන් ස්වාමිපුරුෂයන්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

5 දෙවියන් දීපු මඟ පෙන්වීම් අදාළ කරගත්ත නිසයි යෝසෙප්ට හොඳ සැමියෙක් වෙන්න පුළුවන් වුණේ. අඩුම තරමේ අවස්ථා තුනකදීවත් පවුලට සම්බන්ධ කාරණා ගැන දෙවියන් එයාට කෙළින්ම මඟ පෙන්වීම් දීලා තියෙනවා. කොච්චර කැප කිරීම් කරන්න වුණත් යෝසෙප් කල් දාන්නේ නැතුව ඒවාට කීකරු වුණා. (මතෙ. 1:20, 24; 2:13-15, 19-21) ඒ නිසා මරියාව ආරක්ෂා කරන්න, එයාට සහයෝගය දෙන්න, අවශ්‍ය දේවල් දීලා එයාව රැකබලා ගන්න යෝසෙප්ට පුළුවන් වුණා. යෝසෙප් ඒ විදිහට වැඩ කරද්දී මරියාට යෝසෙප් ගැන කොච්චර ආදරයක්, ගෞරවයක් ඇති වෙන්න ඇද්ද! ස්වාමිපුරුෂයෙනි, ඔයාලත් හැම වෙලාවෙම බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්නවා නම් ඔයාලටත් පුළුවන් යෝසෙප් වගේ වෙන්න. d සමහරවිට දෙවියන් කියන දේ කරන්න කැප කිරීම් කරන්න වෙයි. හැබැයි ඒක අහක යන්නේ නැහැ. මොකද එහෙම කරද්දී ඔයා ඔයාගේ බිරිඳට කොච්චර ආදරෙයිද කියලා එයාට දැනෙනවා. අවුරුදු 20කට විතර කලින් විවාහ වුණ වානුවාටුවල ජීවත් වෙන සහෝදරියක් මෙහෙම කියනවා. “මගේ මහත්තයා හැම තිස්සේම බයිබලේ තියෙන මඟ පෙන්වීම් හොයලා බලලා වැඩ කරද්දී මට එයා ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. මං හොඳටම දන්නවා එයා කවදාවත් අපිට නරකක් වෙන තීරණයක් ගන්නේ නෑ කියලා.”

6. භාර්යාවන්ට මරියාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

6 මරියාටත් යෙහෝවා දෙවියන් එක්ක නොබිඳෙන බැඳීමක් තිබ්බා. එයාගේ විශ්වාසය රැඳිලා තිබ්බේ යෝසෙප් කරපු දේවල් මත නෙවෙයි. එයා ශුද්ධ ලියවිලි හොඳට දැනන් හිටියා. (ලූක් 1:46) කියවපු දේවල් ගැන එයා ගැඹුරින් කල්පනා කළා. (ලූක් 2:19, 51) කිසිම සැකයක් නැහැ දෙවියන් එක්ක තිබුණ ඒ කිට්ටු බැඳීම නිසයි මරියා ගුණවත් බිරිඳක් වුණේ. එයාව ආදර්ශයට ගන්න හුඟක් භාර්යාවන් අදත් ඉන්නවා. සහෝදරි අමිකෝ කියන දේ බලන්න. “තනිකඩ කාලේ නං මං නමස්කාරයේ දේවල් වරද්දන්නේ නැතුව කළා. හැබැයි බැන්දාට පස්සේ ඒ දේවල්වලදී පෙරමුණ ගන්නේ මහත්තයානේ. යාච්ඤා කරන්නෙත් එයානේ. ඉතින් මට දැනුණා මගේ විශ්වාසය රැඳිලා තියෙන්නේ එයා කරන දේවල් මත කියලා. හැබැයි පස්සේ මට තේරුණා යෙහෝවාත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න මටත් වගකීමක් තියෙනවා කියලා. ඊටපස්සේ මං තනියම යාච්ඤා කරන්න, බයිබලේ කියවන්න, ඒ ගැන කල්පනා කරන්න කාලේ වෙන් කළා.” (ගලා. 6:5) ඔයාත් යෙහෝවා එක්ක තියෙන බැඳීම දිගටම ශක්තිමත් කරගන්න මහන්සි වෙන භාර්යාවක්ද? එහෙමනම් ඔයාට ආදරේ කරන්න, ප්‍රශංසා කරන්න ඔයාගේ සැමියාට ගොඩක් හේතු තියෙයි.—හිතෝ. 31:30.

7. එකතු වෙලා නමස්කාර කරන එක ගැන යෝසෙප් සහ මරියාගෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

7 යෝසෙප් සහ මරියා එකට එකතු වෙලා යෙහෝවා එක්ක තිබ්බ බැඳීම ශක්තිමත් කරගන්න වැඩ කළා. මොකද පවුලක් විදිහට එහෙම කරන එකේ වැදගත්කම එයාලා හොඳට තේරුම් අරන් හිටියා. (ලූක් 2:22-24, 41; 4:16) සමහරවිට පවුල ටිකෙන් ටික ලොකු වෙද්දී ඒක කරන එක ලේසි නැති වෙන්න ඇති. හැබැයි කොහොමහරි එයාලා ඒක කළා. යෝසෙප් සහ මරියා අද ඉන්න යුවළයන්ට හොඳ ආදර්ශයක්. ඔයාලටත් දරුවෝ ඉන්නවා නම් රැස්වීම් යන එක, පවුලේ නමස්කාරය කරන්න වෙලාවක් හොයාගන්න එක ලේසි නැති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාලා දෙන්නාටත් බයිබලේ අධ්‍යයනය කරන්න, එකට යාච්ඤා කරන්න වෙලාවක් වෙන් කරගන්නත් ටිකක් අමාරු වෙයි. හැබැයි මතක තියාගන්න එකට එකතු වෙලා නමස්කාරේ දේවල් කරන තරමට තමයි ඔයාලා යෙහෝවාටත් එකිනෙකාටත් තව තවත් ළං වෙන්නේ. ඒ නිසා ඒ දේවල්වලට ජීවිතේ වැදගත්ම තැන දෙන්න.

8. දෙන්නාට දෙන්නා ඈත් වෙලා කියලා දැනෙන යුවළකට පවුලේ නමස්කාරය කරන්න පුළුවන් කොහොමද?

8 ප්‍රශ්න නිසා ඔයාලා පොඩ්ඩක් ඈත් වෙලා වගේ දැනෙනවාද? එහෙමනම් පවුලේ නමස්කාරය කරනවා තියා ඒ ගැන හිතන එකත් අභියෝගයක් වෙයි. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් මොනවාද? ඒකට දෙන්නාම සතුටු වෙන විදිහේ දෙයක් තෝරගෙන පුංචි වෙලාවකට පවුලේ නමස්කාරය කරන්න. එතකොට ඔය පොඩි පොඩි ප්‍රශ්න ඇරිලා ගිහින් දෙන්නාට දෙන්නා තව ළං වෙයි. එකට එකතු වෙලා නමස්කාරයේ දේවල් කරන්න ඔයාලට තියෙන ආසාවත් තව වැඩි වෙයි.

එකට කාලේ ගත කරන්න

9. යුවළක් එකට කාලේ ගත කරන්න ඕනෙ ඇයි?

9 විවාහක යුවළයෙනි, ඔයාලා එකට කාලේ ගත කරන තරමටම ඔයාලා අතරේ තියෙන ආදරෙත් තව වැඩි වෙනවා. එතකොට අනිත් කෙනා හිතන විදිහ, එයාට හැඟෙන විදිහ තව හොඳට තේරුම්ගන්නත් ඔයාට පුළුවන්. (උත්. 2:24) ලිලියා සහ රුස්ලාන් විවාහ වෙලා දැන් අවුරුදු 15කටත් වඩා වැඩියි. විවාහ වුණ අලුතම එයාලා තේරුම්ගත්ත දෙයක් ගැන ලිලියා මෙහෙම කියනවා. “අපි හිතපු තරම්ම අපි දෙන්නාට එකට දේවල් කරන්න වෙලාව හොයාගන්න බැරි වුණා. රස්සාවයි, ගෙදර වැඩයි, ළමයින්ගේ වැඩයි කරලා ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දී දවස ගිහිල්ලා. ඉතින් අපිට තේරුණා අපි දෙන්නා වෙනුවෙනුත් වෙලාවක් වෙන් කරගත්තේ නැත්තං අපේ බැඳීම අනතුරේ කියලා.”

10. එෆීස 5:15, 16 තියෙන ප්‍රතිපත්තිය අදාළ කරගන්න යුවළකට පුළුවන් කොහොමද?

10 එකට කාලේ ගත කරන එක අතපසු කරගන්නේ නැතුව ඉන්න යුවළකට පුළුවන් කොහොමද? ඒකට ඔයාලා වෙනුවෙනුත් කාලසටහනේ වෙලාවක් වෙන් කරගන්න. (එෆීස 5:15, 16 කියවන්න.) බලන්න නයිජීරියාවේ ඉන්න සහෝදර ඌසෝන්ඩු කියන දේ. “මං දවසේ වැඩ ටික සැලසුම් කරද්දී නෝනා එක්ක දේවල් කරන්නත් වෙන මම වෙලාවක් වෙන් කරගන්නවා. ඒ වෙලාවට වෙන කිසිම වැඩක් දාගන්නේ නෑ.” (ෆිලි. 1:10) සහෝදරි ඇනස්ටේෂියා කියන්නේ මෝල්දාවියාවේ ඉන්න චාරිකා සේවකයෙක්ගේ බිරිඳක්. එයා කාලේ හොයාගත්තේ කොහොමද කියලා බලන්න. “මං ගෙදර වැඩ ටික කරගන්නේ මහත්තයා සභාවේ වැඩ කරන වෙලාවට. එතකොට එයාගේ වැඩ ටික ඉවර වෙද්දී මගේ වැඩ ටිකත් ඉවරයිනේ. ඒකෙන් අපි දෙන්නා වෙනුවෙනුත් දෙන්න වෙලාව ඉතුරු වෙනවා.” ඒත් ඔයාලා දෙන්නා වෙනුවෙන් කාලේ වෙන් කරගන්න බැරි තරමටම කාලසටහන පිරිලා නම්?

ඔයාලා දෙන්නාට එකතු වෙලා කරන්න පුළුවන් මොන වගේ දේවල්ද? (11-12 ඡේද බලන්න)

11. අකිලායි, ප්‍රිසිලායි එකට එකතු වෙලා කළේ මොන වගේ දේවල්ද?

11 අකිලා සහ ප්‍රිසිලා කියන්නේ මුල් ක්‍රිස්තියානීන්ගේ ආදරය, ගෞරවය දිනාගෙන හිටපු යුවළක්. (රෝම 16:3, 4) අද ඉන්න යුවළයන්ටත් එයාලා හොඳ ආදර්ශයක්. බයිබලේ ඒගොල්ලන්ගේ විවාහ ජීවිතේ ගැන ගොඩක් තොරතුරු නැහැ. හැබැයි තියෙන ටිකෙන් පේනවා එයාලා රස්සාව, සේවය සහ අනිත් අයට උදව් කරන එක වගේ හැම දේම කරලා තියෙන්නේ එකට එකතු වෙලා කියලා. (ක්‍රියා 18:2, 3, 24-26) ඒ නිසා තමයි බයිබලේ එයාලා දෙන්නාගේ නම් හැම තිස්සේම එකට තියෙන්නේ.

12. යුවළකට එකට දේවල් කරන්න තව වැඩියෙන් කාලේ හොයාගන්න පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)

12 විවාහක යුවළයෙනි, අකිලාවයි, ප්‍රිසිලාවයි ආදර්ශයට ගන්න ඔයාලට පුළුවන් කොහොමද? ටිකකට හිතන්න ඔයාලට තියෙන වැඩ රාජකාරි ගැන. සමහර දේවල් දෙන්නා බෙදාගෙන කරනවා වෙනුවට එකට එකතු වෙලා කළොත් නරකද? උදාහරණෙකට අකිලායි, ප්‍රිසිලායි සේවේ ගියේ එකට. ඔයාලටත් පුළුවන්ද එකට සේවේ යන්න? අකිලායි, ප්‍රිසිලායි වැඩ කළෙත් එකට. සමහරවිට ඔයාලා දෙන්නා රස්සාව කරන්නේ එකට නොවෙන්න පුළුවන්. හැබැයි ඔයාලට පුළුවන් ගෙදරදොරේ වැඩ එකතු වෙලා කරන්න. (දේශ. 4:9) පුළුවන් තරම් එකට එකතු වෙලා දේවල් කළොත් ඔයාලට දැනෙයි ඔයාලා එක ටීම් එකක් කියලා. ඒ වගේම ඔයාලට කතා කරන්නත් ඕන තරම් අවස්ථා හම්බ වෙයි. රොබට් සහ ලින්ඩා විවාහ වෙලා අවුරුදු 50කටත් වඩා වැඩියි. බලන්න රොබට් කියන දේ. “අපි දෙන්නාට එකට එකතු වෙලා විනෝදයෙන් ඉන්න වෙලාව හොයාගන්න අමාරුයි. හැබැයි අපි පුළුවන් තරම් එකට දේවල් කරන්න උත්සාහ කරනවා. මං වළං පිඟන් හෝදද්දී එයා ඒවා පිහදානවා. මං වත්තේ වැඩක් කරද්දී එයා ඇවිත් මට උදව් කරනවා. එතකොට ලොකු සතුටක් දැනෙනවා. දෙන්නාට දෙන්නා තව ළං වෙනවා. අපේ ආදරෙත් දවසින් දවස දලු දානවා.”

13. දෙන්නාගේ බැඳීම ශක්තිමත් කරගන්න සැමියෙක් සහ බිරිඳක් කරන්න ඕනෙ මොනවාද?

13 දෙන්නා එක ළඟ හිටියා කියලම දෙන්නාගේ බැඳීම ශක්තිමත් වෙනවා කියලා කියන්න බැහැ. ඇයි ඒ? බලන්න ඒ ගැන බ්‍රසීලයේ ඉන්න බිරිඳක් කියන දේ. “දෙන්නෙක් එක වහලක් යට ජීවත් වුණා කියලා ඒ දෙන්නා එකට කාලේ ගත කරනවා කියලා කියන්න බෑ. මොකද අද කාලේ අපේ අවධානය හොරාගන්න දේවල් ඕන තරම් තියෙනවා. ඉතින් සමහරවිට දෙන්නා ඉන්නේ එකට. හැබැයි හිත් දෙතැනක. ඒ නිසා එකට කාලේ ගත කරන්න නං ඇත්තටම එකිනෙකාට සැලකිල්ල පෙන්නන්න ඕනේ.” බෲනෝ සහ එයාගේ බිරිඳ ටායිස් ඒක කළේ කොහොමද කියලා බලන්න. බෲනෝ මෙහෙම කියනවා. “එකට කාලේ ගත කරද්දී අපි කවදාවත් ෆෝන්, ටැබ්වලට අපි අතරට එන්න දෙන්නේ නෑ. අපි ඒවා ඕෆ් කරනවා. එතකොට අනිත් කෙනාට සම්පූර්ණ අවධානය දෙන්න පුළුවන්. අපේ සතුටත් වැඩි වෙනවා.”

14. එකට කාලේ ගත කරන එකෙන් යුවළකට සතුටක් ලැබෙන්නේ නැත්නම් මොකක්ද කරන්න පුළුවන්?

14 හැබැයි එකට කාලේ ගත කරද්දී සතුටක් දැනෙන්නේ නැත්නම් මොකද කරන්නේ? සමහරවිට ඔය දෙන්නා කැමති දේවල් වෙනස් ඇති. අනික ඔයාගේ සැමියා, බිරිඳ කරන සමහර දේවල් ඔයාට එච්චර අල්ලන්නේ නැතුවත් ඇති. තත්වය ඒක නම් මොකද කරන්නේ? මතකද අර ගිනිමැලය? ගිනිමැලයක් සාමාන්‍යයෙන් එක පාරටම ඇවිළෙන්නේ නැහැ. මුලින් පුංචි පුංචි කෝටු කෑලි දාලා ගිනිදලු නැඟෙද්දී තමයි ලොකු ලොකු දර දාන්නේ. ඒ වගේ දෙයක් ඔයාටත් කරන්න පුළුවන්. මුලින්ම එකට කාලේ ගත කරන්න හැම දවසකම පුංචි වෙලාවක් වෙන් කරන්න. හැබැයි ඒ වෙලාවටත් ඔයාලා කරන්න ඕනෙ අනිත් කෙනාගේ තරහා අවුස්සන දේවල් නෙවෙයි දෙන්නාටම සතුටක් දැනෙන දේවල්. (යාකො. 3:18) එහෙම කරනවා නම් නිවිලා තියෙන ඒ ආදරේ ගින්න පුංචි පුංචි දර කෑලි දාලා ආයෙත් අවුළලා ගන්න ඔයාටත් පුළුවන්.

එකිනෙකාට ගෞරව කරන්න

15. ආදරේ දිගටම තියාගන්න ගෞරවය පෙන්නන එක අත්‍යවශ්‍ය ඇයි?

15 ගිනිමැලයක් දැල්වෙන්න ඔක්සිජනුත් ඕනේ. ඔක්සිජන් නැත්නම් ඒක නිවිලා යනවා. ගෞරවය කියන්නෙත් දෙන්නෙක්ගේ ආදරේ වැඩි කරන ඔක්සිජන් වගේ. ගෞරවය නැත්නම් එයාලාගේ ආදරෙත් නිකම්ම නිවිලා යයි. සමහරවිට ඔයාට හිතෙන්න පුළුවන් ‘මං එයාට ගෞරව කරනවානේ’ කියලා. හැබැයි ඒක ඔයාට විතරක් හිතිලා මදි. අනිත් කෙනාටත් දැනෙන්න ඕනේ. පෙනී සහ ආරෙත් විවාහ වෙලා අවුරුදු 25කටත් වැඩියි. බලන්න පෙනී කියන දේ. “එකිනෙකාට ගෞරව කරන නිසා අපේ පුංචි කැදැල්ල ආදරෙන් පිරිලා. හිතේ තියෙන දේවල් බය නැතුව කතා කරන්න අපි දෙන්නාට පුළුවන්. මොකද අපි දන්නවා ඒ කියන දේවල් දෙන්නාටම හුඟක් වටිනවා කියලා.” ඒත් අනිත් කෙනාට දැනෙන විදිහට ගෞරවය පෙන්නන්න පුළුවන් කොහොමද? ඒ ගැන ආබ්‍රහම් සහ සාරාගෙන් ඉගෙනගමු.

බිරිඳට ගෞරව කරන සැමියෙක් එයාට හොඳින් ඇහුම්කන් දෙනවා (16 ඡේදය බලන්න)

16. ආබ්‍රහම්ගෙන් සැමියෙක්ට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (1 පේතෘස් 3:7) (පින්තූරයත් බලන්න.)

16 ආබ්‍රහම් සාරාට ගෞරව කළා. එයා සාරා කියපු දේවල්වලට හොඳට ඇහුම්කන් දුන්නා. එයාගේ හැඟීම් ගැන සැලකිලිමත් වුණා. කොහොමද අපි ඒක දන්නේ? සැරයක් සාරා හිටියේ ගොඩක් පීඩනයෙන්. ඉතින් එයා එයාගේ හිතට දැනුණ හැම දෙයක්ම ඇවිත් ආබ්‍රහම්ට කිව්වා. ඇත්තටම කිව්වොත් ඒ වෙලාවේ සාරා ඇවිත් ආබ්‍රහම්ට දොස් කිව්වා. හැබැයි ආබ්‍රහම් කොහොමද වැඩ කළේ? ඒක අහලා කේන්ති අරන් එහා පැත්තට සාරාට දෙක තුනක් කියලා දැම්මාද? නැහැ. මොකද ආබ්‍රහම් දැනන් හිටියා සාරා කියන්නේ මූලිකත්වයට යටත් වෙන, එයාට සහයෝගය දෙන බිරිඳක් කියලා. ඒ නිසා එයා සාරාට ඇහුම්කන් දීලා ප්‍රශ්නේ විසඳන්න එයාට පුළුවන් දේ කළා. (උත්. 16:5, 6) මොකක්ද පාඩම? ස්වාමිපුරුෂයෙනි, ඔයාලා තමයි පවුලට අදාළ තීරණ ගන්න ඕනේ. (1 කොරි. 11:3) හැබැයි තීරණයක් ගන්න කලින් විශේෂයෙන්ම ඔයාගේ බිරිඳට බලපාන තීරණයක් ගන්න කලින් ඒ ගැන එයාගෙනුත් ඇහුවොත් හොඳයි නේද? (1 කොරි. 13:4, 5) ඒ වගේම සමහර වෙලාවට ඔයාගේ බිරිඳ පීඩනයකින් ඉද්දී එයාට හැඟෙන විදිහ ඔයාට ඇවිත් කියයි. ඒ වගේ වෙලාවට එයාට ඇහුම්කන් දෙන එකෙන් එයාට ගෞරව කරනවා කියලා පෙන්නන්න පුළුවන්ද? (1 පේතෘස් 3:7 කියවන්න.) ඇන්ජලා සහ ඩිමිට්‍රි විවාහ වෙලා දැන් අවුරුදු 30ක් විතර. බලන්න ඇන්ජලා කියන දේ. “මං අප්සෙට් එකේ ඉද්දී මට ඕනෙ මගේ දුක ඩිමිට්‍රිට කියන්න. ඒ වගේ වෙලාවට එයා කවදාවත් කියන්නේ නෑ ‘දැන් කතා කරන්න බෑ පස්සේ එන්න’ කියලා. මං කේන්තියෙන්, දුකෙන් ඉන්න වෙලාවට මොනවා කියනවාද කියලා මංම දන්නේ නෑ. ඒත් කවදාවත් එයා කේන්ති ගන්නේ නෑ. හැම තිස්සේම ඉවසනවා.”

17. සාරාව ආදර්ශයට ගන්න බිරිඳකට පුළුවන් කොහොමද? (1 පේතෘස් 3:5, 6)

17 සාරා කියන්නේ ආබ්‍රහම්ගේ තීරණවලට හැම තිස්සේම සහයෝගය දීපු බිරිඳක්. (උත්. 12:5) කොහොමද අපි ඒක දන්නේ? සැරයක් හදිස්සියේ ආබ්‍රහම්ගේ ගෙදරට අමුත්තෝ කීපදෙනෙක් ආවා. ඉතින් ආබ්‍රහම් සාරාට කිව්වා කරකර හිටපු වැඩේ නවත්තලා එයාලට ඇති වෙන්න කෑම හදන්න කියලා. (උත්. 18:6) ඒක අහලා සාරාට තරහා ගියාද? නැහැ. එයා ආබ්‍රහම්ට කීකරු වෙලා ඉක්මනටම කෑම ලෑස්ති කළා. භාර්යාවෙනි, සාරා වගේ ඔයාලටත් පුළුවන්ද සැමියා ගන්න තීරණවලට උපරිම සහයෝගය දෙන්න? එහෙම කරද්දී ඔයාලාගේ ආදරේ තව තවත් දැල්වෙයි. (1 පේතෘස් 3:5, 6 කියවන්න.) කලින් ඡේදේ කතා කරපු ඩිමිට්‍රි මෙහෙම කියනවා. “මං ගන්න සමහර තීරණවලට ඇන්ජලා අකමැති වුණත් මං ඒ තීරණේ ගත්තාට පස්සේ එයා එයාගේ පැත්තෙන් උපරිම සහයෝගය දෙනවා. සමහර වෙලාවට එයාගේ අකමැත්තෙන් ගන්න තීරණ වරදිනවා. හැබැයි කවදාවත් ඇන්ජලා ඒ ගැන දොස් කියන්නේවත් ඒක මතක් කරකර මට රිද්දන්නේවත් නෑ.” ඇත්තටම ගෞරවය තියෙන තැන ආදරේ පෙන්නන්න කොච්චර ලේසිද!

18. දෙන්නාගේ ආදරේ දල්වලා තියාගන්න මහන්සි වෙද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද?

18 සාතන්ට ඕනෙ ඔයාලා අතර තියෙන ආදරේ ගිනිදලු නිවලා දාන්න. මොකද එයා දන්නවා එහෙම කළොත් ඔයාලා ඔය දෙන්නාගෙන් විතරක් නෙවෙයි යෙහෝවාගෙනුත් ඈත් වෙයි කියලා. ඒත් සැබෑ ආදරේ කවදාවත් නිවන්න බැහැ. ඒ නිසා ඔයාගේ ආදරෙත් සලමොන් කතා කරන ගින්න වගේ හැමදාටම දල්වලා තියාගන්න. ඒ වගේම ඔයාලා දෙන්නා අතර තියෙන බැඳීම හැම තිස්සේම යෙහෝවා මත ගොඩනඟන්න. එකිනෙකා එක්ක කාලේ ගත කරන්න. අනිත් කෙනාගේ හැඟීම් ගැන, අවශ්‍යතා ගැන සැලකිලිමත් වෙලා එයාට ගෞරවය පෙන්නන්න. එහෙම කරද්දී ඔයාලා ඇත්තටම ප්‍රශංසාවට පත් කරන්නේ ආදරේ උල්පත වන යෙහෝවා දෙවියන්වයි. ඉතින් ජීවත් වෙලා ඉන්න තාක් කල් ඔයාලා අතර තියෙන ආදරේ උණුසුම කවදාවත් අඩු නොවේවා!

ගීතිකාව 132 අප දැන් එක් කෙනෙකු මෙන් වේ

a විවාහය කියන්නේ යෙහෝවා දෙවියන්ගෙන් ලැබිලා තියෙන වටිනා තෑග්ගක්. ඒ තෑග්ග නිසා ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතරේ හරිම විශේෂ බැඳීමක් ඇති වෙනවා. එයාලා අතර ඇති වෙන ඒ ආදරේ හරියට ගිනිදැල් වගේ. හැබැයි කාලයත් එක්කම ඒ ගිනිදැල් ටිකෙන් ටික නිවිලා යන්න පුළුවන්. එහෙම වෙන්න දෙන්නේ නැතුව දිගටම සතුටින් විවාහ ජීවිතේ ගත කරන්න මේ ලිපිය උදව් වෙයි.

b මොන දේට මුහුණ දුන්නත් කවදාවත් වෙනස් වෙන්නේ නැති සැබෑ ආදරේ යෙහෝවා දෙවියන්ගෙන් එන ගින්නක් කියලා කියන්නේ ආදරේ උල්පත යෙහෝවා දෙවියන් නිසයි.

c ඔයාගේ සැමියා, බිරිඳ සත්‍යයේ නැති වුණත් මේ ලිපියේ තියෙන යෝජනා අදාළ කරගෙන ඔයාලා අතර තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න ඔයාට පුළුවන්.—1 කොරි. 7:12-14; 1 පේතෘ. 3:1, 2.

d බයිබලේ තියෙන වටිනා මඟ පෙන්වීම් කීපයක් ගැන දැනගන්න jw.org වෙබ් අඩවියේ සහ ‘JW ලයිබ්‍රරි’ ඇප් එකේ තියෙන “පවුලේ හැමෝටම මඟ පෙන්වීම්” කියන ලිපි මාලාව බලන්න.