පාඩම් ලිපිය 20
යාච්ඤාව තව අර්ථවත් කරගන්න
“ඔබේ හදවතේ ඇති සියල්ල දෙවිට පවසන්න.”—ගීතා. 62:8.
ගීතිකාව 45 මාගේ සිතුවිලි විමසන්න
මේ ලිපියෙන් a
1. දෙවියන් අපිට ආරාධනා කරන්නේ මොනවා කරන්න කියලාද? (පින්තූරයත් බලන්න.)
අපි හැමෝටම සහනය, මඟ පෙන්වීම් ඕන වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවට අපිට යන්න පුළුවන් කා ළඟටද? ඔව්, අපි හැමෝම දන්නවා අපිට යෙහෝවා දෙවියන් ඉන්නවා කියලා. ඇත්තටම ඔහු අපිට ආරාධනා කරනවා “නොකඩවා යාච්ඤා කරන්න” කියලා. (1 තෙස. 5:17) ඒ නිසා ජීවිතේ හැම කාරණයකදීම කිසිම බයක් සැකක් නැතුව ඔහුගේ මඟ පෙන්වීම් පතන්න අපිට පුළුවන්. (හිතෝ. 3:5, 6) අපේ ආදරණීය දෙවි පියාණන් වන යෙහෝවා හරිම ත්‍යාගශීලී කෙනෙක්. ඕන වෙලාවක ඕන තරම් වෙලාවක් ඔහුත් එක්ක කතා කරන්න ඔහු අපිට අවස්ථාව දීලා තියෙනවා.
2. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
2 යාච්ඤාව කියන තෑග්ග අපිට ගොඩක් වටිනවා. ඒත් සමහර වෙලාවට අපිට තියෙන වැඩ කන්දරාවත් එක්ක යාච්ඤා කරන්න වෙලාව හොයාගන්න ලේසි නැහැ. ඒ වගේම අපේ යාච්ඤා තව අර්ථවත් වුණා නම් හොඳයි කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා. ඒත් අපි දුක් වෙන්න ඕනෙ නැහැ. අපිට ඒ පැතිවලින් දියුණු වෙන්න බයිබලෙන් උදව් ගන්න පුළුවන්. අපි මේ ලිපියෙන් බලමු යේසුස්ව ආදර්ශයට අරන් යාච්ඤා කරන්න වෙලාව වෙන් කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම අපේ යාච්ඤාව තවත් අර්ථවත් කරගන්න නම් ඒකට ඇතුළත් කරන්න පුළුවන් දේවල් පහක් ගැනත් අපි බලමු.
යාච්ඤා කරන්න යේසුස් වෙලාවක් වෙන් කළා
3. යාච්ඤාව ගැන යේසුස් හොඳටම දැනන් හිටියේ මොකක්ද?
3 යාච්ඤාව කියන දේ දෙවියන් කොච්චර වටින දෙයක් විදිහට සලකනවාද කියලා යේසුස් දැනන් හිටියා. පොළොවට එන්න අවුරුදු දහස් ගාණකට කලින් ඉඳන්ම විශ්වාසවන්ත අයගේ යාච්ඤාවලට යෙහෝවා ඇහුම්කන් දීපු විදිහ යේසුස් ඇස් දෙකෙන්ම දැක්කා. උදාහරණෙකට හන්නා, දාවිත්, එලියා වගේ අය හදවතින්ම කරපු යාච්ඤාවලට උත්තර දුන්න විදිහ යේසුස් දෙවියන්ගේ ළඟින්ම ඉඳන් බලන් හිටියා. (1 සාමු. 1:10, 11, 20; 1 රාජා. 19:4-6; ගීතා. 32:5) එහෙම බලද්දී නිතරම දෙවියන්ට යාච්ඤා කරන්න කියලා යේසුස් ගෝලයන්ට කියපු එක අහන්නත් දෙයක්ද!—මතෙ. 7:7-11.
4. යේසුස් කරපු යාච්ඤාවලින් අපි ඉගෙනගන්නේ මොනවාද?
4 යේසුස් නිතරම යෙහෝවා දෙවියන්ට යාච්ඤා කළා. ඔහු පොළොවේ ගත කරපු කාලේ පුරාම ඔහුට කරන්න හුඟක් වැඩ තිබුණා. ඒ වගේම හැම තිස්සේම මිනිස්සු ඔහුව වට කරගෙනයි හිටියේ. ඒ නිසා යාච්ඤා කරන්න යේසුස් වෙලාව වෙන් කරගත්තා. (මාක් 6:31, 45, 46) තාත්තාත් එක්ක තනියම කතා කරන්න යේසුස් පාන්දරින්ම නැඟිට්ටා. (මාක් 1:35) බයිබලේ වාර්තා වෙලා තියෙන විදිහට අඩුම තරමින් එක අවස්ථාවකදීවත් බැරෑරුම් තීරණයක් ගන්න කලින් යේසුස් මුළු රැයක් පුරාම යාච්ඤා කරලා තියෙනවා. (ලූක් 6:12, 13) ඒ වගේම මැරෙන්න කලින් රෑ ඒ කියන්නේ පැවරුමේ අමාරුම හරියට එද්දී යේසුස් මොකද කළේ කියලා මතකද? ඔහු ඒකට සාර්ථකව මුහුණ දෙන්න කීපවතාවක්ම යෙහෝවාගෙන් උදව් ඉල්ලුවා.—මතෙ. 26:39, 42, 44.
5. යේසුස්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
5 කොයි තරම් වැඩ තිබුණත් අපිත් යේසුස් වගේ යාච්ඤා කරන්න වෙලාව වෙන් කරගන්න ඕනේ. සමහර වෙලාවට අපිට යේසුස් වගේ පාන්දරින්ම නැඟිටින්න වෙයි. එහෙම නැත්නම් ටිකක් රෑ වෙන කල් ඇහැරගෙන ඉන්න වෙයි. එහෙම කරද්දී අපි පෙන්නන්නේ යාච්ඤාව කියන ඒ වටිනා තෑග්ග අපිට කොච්චර වටිනවාද කියලයි. සහෝදරි ලින්ගේ අද්දැකීම බලන්න. යෙහෝවා දෙවියන් එක්ක කතා කරන්න තියෙන අවස්ථාව ගැන පළවෙනි වතාවට දැනගත්තාම එයාට හැඟුණ විදිහ ගැන එයා මෙහෙම කියනවා. “මට ඕනම වෙලාවක යෙහෝවා එක්ක කතා කරන්න පුළුවන්. හරියට කිට්ටු යාළුවෙක් එක්ක කතා කරනවා වගේ. ඒ වගේම මට තේරුණා යාච්ඤාවෙන් යෙහෝවාට මොනවාද කියන්නේ කියලා හොඳට හිතලා බලන එක කොච්චර වැදගත්ද කියලා.” කිසිම සැකයක් නැහැ අපෙන් හුඟදෙනෙක්ට දැනෙන්නෙත් සහෝදරි ලින්ට දැනුණා වගේමයි. ඉතින් අපේ යාච්ඤාත් තව අර්ථවත් කරගන්න අපිට පුළුවන් කොහොමද? ඒ ගැන දැන් අපි බලමු.
වැදගත් දේවල් පහක්
6. එළිදරව් 4:10, 11 කියන විදිහට යෙහෝවා දෙවියන් ලබන්න වටින්නේ මොන දේද?
6 යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න. දවසක් යොහන් හරිම පුදුමාකාර දර්ශනයක් දැක්කා. එයා දැක්කේ ස්වර්ගයේ ඉඳලා වැඩිමහල්ලෝ 24දෙනෙක් යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන විදිහ. ‘සියලු ප්‍රශංසාවත් ගෞරවයත් ලබන්න වටින්නේ යෙහෝවා දෙවියන්’ කියලා එයාලා දෙවියන්ට ප්‍රශංසා කරනවා. (එළිදරව් 4:10, 11 කියවන්න.) එයාලට විතරක් නෙවෙයි ස්වර්ගයේ ඉන්න විශ්වාසවන්ත දේවදූතයන්ටත් යෙහෝවා දෙවියන්ට ප්‍රශංසාව, ගෞරවය දෙන්න ඕන තරම් හේතු තියෙනවා. මොකද එයාලා නිතරම ඉන්නේ යෙහෝවා එක්ක. ඒ නිසා දෙවියන් කොයි වගේ කෙනෙක්ද කියලා එයාලා හොඳින්ම දන්නවා. යෙහෝවා කරන කියන හැම දේකින්ම ඔහුගේ ලස්සන ගුණාංග ඉස්මතු වෙන විදිහ එයාලට හොඳටම පේනවා. ඒ නිසා එයාලා දෙවියන්ට ප්‍රශංසා කරන්න පෙලඹෙන්නේ නිතැතින්මයි.—යෝබ් 38:4-7.
7. දෙවියන්ට ප්‍රශංසා කරන්න අපිට තියෙන හේතු මොනවාද?
7 අපිටත් ඕනෙ යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්න. අපේ හිතේ ඔහු ගැන තියෙන ආදරය, ගෞරවය, අගය ඔහුට කියන්නයි අපිට ඕනේ. ඒක කරන්න ඔයාට උදව් වෙන එක දෙයක් තමයි බයිබලේ කියවද්දී, අධ්‍යයනය කරද්දී ඒ කොටසෙන් ඔයාගේ හිතට වැඩියෙන්ම දැනුණ දෙවියන්ගේ ගුණාංගයක් ගැන හිතන එක. (යෝබ් 37:23; රෝම 11:33) ඊටපස්සේ ඒ ගැන ඔයාට හැඟෙන විදිහ යාච්ඤාවෙන් ඔහුට කියන්න. ඒ විතරක් නෙවෙයි යෙහෝවා අපිට කොච්චර උදව් කරනවාද, අපිව කොච්චර ආරක්ෂා කරනවාද කියලත් හිතන්න. අපි වෙනුවෙන් වගේම අපේ සහෝදරයන් වෙනුවෙනුත් ඔහු දැනටමත් කරලා තියෙන දේවල්වලට ප්‍රශංසා කරන්නත් අමතක කරන්න එපා.—1 සාමු. 1:27; 2:1, 2.
8. යෙහෝවාට ස්තුති කරන්න අපිට තියෙන හේතු මොනවාද? (1 තෙසලෝනික 5:18)
8 යෙහෝවා දෙවියන්ට ස්තුති කරන්න. යාච්ඤාවෙන් දෙවියන්ට ස්තුති කරන්න අපිට දහසකුත් හේතු තියෙනවා. (1 තෙසලෝනික 5:18 කියවන්න.) ඇත්තෙන්ම කිව්වොත් අපේ ජීවිතේ තියෙන හැම හොඳ දෙයක්ම, හැම තෑග්ගක්ම ලැබුණේ ඔහුගෙන්. ඒ හැම දේටම අපි ඔහුට ස්තුති කරන්න ඕනේ. (යාකො. 1:17) ටිකකට හිතලා බලන්න පෘථිවිය කියන මේ නිවහනේ සුන්දරත්වය ගැන. මේ හැම දේම අපිට දුන්නේ කවුද? අපේ ජීවිතය, අපේ පවුලේ අය, යාළුවෝ, අපේ බලාපොරොත්තුව අපිට ලැබුණේ කවුරු නිසාද? යෙහෝවා දෙවියන් නිසා නෙවෙයිද? ඒ හැම දේටම වඩා ඔහුත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඔහු අපිට අවස්ථාව දීලා තියෙනවා. එහෙම බලද්දී ඔහුට ස්තුති කරන්න කොච්චර නම් හේතු තියෙනවාද!
9. යෙහෝවා අපි වෙනුවෙන් කරන දේවල් ගැන අගයක් ඇති කරගන්න අපි මහන්සි වෙන්න ඕනෙ ඇයි?
9 අපි ජීවත් වෙන්නේ කිසිම දෙයක් ගැන ස්තුතිවන්ත වෙන්නේ නැති, කිසි කෙළෙහි ගුණයක් නැති සමාජයක. මිනිස්සු තව තව දේවල් ගන්න හදනවා මිසක් තමන්ට තියෙන දේවල් ගැන කිසි අගයක් නැහැ. අපි පරෙස්සම් වුණේ නැත්නම් එයාලාගේ ආකල්ප අපිටත් හොරෙන් අපිට බෝ වෙන්න පුළුවන්. එහෙම වුණොත් නම් අපේ යාච්ඤා ඉල්ලීම්වලින් විතරක් පිරුණු දිග ලැයිස්තුවක් වෙයි. එහෙම වෙනවාට අපි කවුරුත් කැමති නැහැ නේද? ඒ නිසා යෙහෝවා දෙවියන් අපි වෙනුවෙන් දැනටමත් කරලා තියෙන දේවල් ගැන හිතන්න, ඒවා අගය කරන්න අපි විශේෂ වෑයමක් දරන්න ඕනේ. ඒ අගය වචනවලට පෙරළලා යාච්ඤාවෙන් යෙහෝවාට කියන්නත් ඕනේ.—ලූක් 6:45.
10. ස්තුතිවන්ත වෙන එක සහෝදරියකට විඳදරාගන්න උදව් වුණේ කොහොමද? (පින්තූරයත් බලන්න.)
10 ස්තුතිවන්ත වෙන එක අපේ ජීවිතේ ඕනම අමාරු දේකට හොඳින් මුහුණ දෙන්න අපිට උදව් වෙනවා. ඒ කොහොමද? ඒක දැනගන්න 2015 ජනවාරි 15 ‘මුරටැඹ’ සඟරාවේ තියෙන සහෝදරි කයෝං සූක්ගේ අද්දැකීම අපි බලමු. එයාට දැනගන්න ලැබුණා එයාට දරුණුවටම පැතිරුණ පෙනහලු පිළිකාවක් තියෙනවා කියලා. එයා මෙහෙම කියනවා. “මට දැනුණේ මුළු ලෝකෙම කඩාගෙන වැටුණා වගේ. මට ගොඩක් බය හිතුණා.” ඒකට මුහුණ දෙන්න කයෝං සූක්ට උදව් වුණේ මොකක්ද? එයා හැමදාම රෑ නිදාගන්න කලින් සඳලුතලයට ගිහිල්ලා යෙහෝවා එක්ක කතා කළා. එයා යාච්ඤා කළේ නිහඬව නෙවෙයි, එයාටම ඇහෙන විදිහට. හැම දවසකම දෙවියන්ට ස්තුති කරන්න පුළුවන් දේවල් පහක් ගැන එයා දෙවියන්ට කිව්වා. එහෙම කරද්දී එයාට ලොකු සහනයක් දැනුණා. අමාරුම අමාරු කාලවලදී වුණත් යෙහෝවා ඔහුගේ සෙනඟට ශක්තිය දෙන විදිහ කයෝං සූක් එයාගේ ජීවිතෙන්ම අද්දැක්කා. ඒ වගේම එයා තේරුම්ගත්තා පීඩා එක්ක බලද්දී ලැබිලා තියෙන ආශීර්වාද ඊට වඩා වැඩියි කියලා. දරුණු පීඩා, ප්‍රශ්න මැදදී වුණත් කයොං සූක් වගේ යෙහෝවාට ස්තුති කරන්න අපිට ඕන තරම් හේතු තියෙනවා. ඔහු අපි වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන අපේ හිතේ තියෙන අගය ඔහුට කියද්දී දිගටම විඳදරාගන්නත් ප්‍රශ්න මැද සතුටින් ඉන්නත් අපිට පුළුවන්.
11. යේසුස් ස්වර්ගයට ගියාට පස්සේ ගෝලයන්ට ලොකු නිර්භීතකමක් ඕන වුණේ ඇයි?
11 නිර්භීතව සේවේ කරන්න ශක්තිය ඉල්ලන්න. යේසුස් ස්වර්ගයට යන්න ටිකකට කලින් ගෝලයන්ට මතක් කළා “යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ දුර ඈත කෙළවරවලද” ඔහු ගැන සාක්ෂි දරන්න කියලා. (ක්‍රියා 1:8; ලූක් 24:46-48) ඒත් වැඩි දවසක් යන්න කලින් යුදෙව් ආගමික නායකයන් පේතෘස්වයි, යොහන්වයි අල්ලගෙන යුදෙව් මහාධිකරණයට ගෙනල්ලා එයාලට තර්ජනය කළා. සේවේ නවත්තන්න කියලා අණ කළා. (ක්‍රියා 4:18, 21) ඒ වෙලාවේ පේතෘස් සහ යොහන් කළේ මොනවාද?
12. ක්‍රියා 4:29, 31 කියන විදිහට ගෝලයන් කළේ මොනවාද?
12 යුදෙව් ආගමික නායකයන් තර්ජනය කරපු වෙලාවේ පේතෘස් සහ යොහන් එයාලට මෙහෙම කිව්වා. “දෙවිට සවන් දෙනවාට වඩා ඔබට සවන් දීම දෙවි ඉදිරියෙහි හරිද කියා ඔබම තීරණය කරන්න. නමුත් අප ඇසූ දුටු දේ ගැන කතා කරන එක නතර කරන්න නම් අපිට බැහැ.” (ක්‍රියා 4:19, 20) පේතෘස්වයි, යොහන්වයි නිදහස් කළාට පස්සේ ගෝලයන් දෙවියන්ගේ කැමැත්ත කරන්න එයාලට තිබුණ අධිෂ්ඨානය ගැන කියලා යෙහෝවාට මෙහෙම යාච්ඤා කළා. “ඔබේ දාසයන්ට කිසිම බියක් සැකක් නැතුව ඔබ පවසන දේවල් දිගටම කතා කරන්න හැකියාව ලබා දෙන්න.” හදවතින්ම කරපු ඒ යාච්ඤාවට යෙහෝවා උත්තර දුන්නා.—ක්‍රියා 4:29, 31 කියවන්න.
13. සහෝදර ජින් හයූක්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
13 බලධාරීන් සේවේ කරන්න එපා කියලා අණ කරද්දී අපිට පුළුවන් දිගටම සේවේ කරලා යේසුස්ගේ නියෝජිතයන්ව ආදර්ශයට ගන්න. සහෝදර ජින් හයූක්ගේ අද්දැකීම බලන්න. විශ්වාසය නිසා එයාව හිරේ දාලා තිබුණා. එහෙදී හුදෙකලා හිරකුටිවල හිටපු හිරකරුවන් කීපදෙනෙක්ව බලාගන්න එයාට පැවරුවා. හැබැයි එයාගේ වැඩේට අදාළ දේවල් ඇරෙන්න වෙන කිසිම දෙයක් ගැන කතා කරන එක තහනම් කරලා තිබුණා. ඒ කියන්නේ බයිබලේ ගැන කතා කරන්නත් අවසර නැහැ. ඉතින් සහෝදර ජින් හයූක් මොකද කළේ? හම්බ වෙන හැම අවස්ථාවකම තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා නිර්භීතව දේශනා කරන්න එයා යෙහෝවාගෙන් ශක්තිය ඉල්ලුවා. (ක්‍රියා 5:29) එයා මෙහෙම කියනවා. “මගේ යාච්ඤාවලට යෙහෝවා උත්තර දීලා මට ඕන කරන ධෛර්යයයි, ප්රඥාවයි දුන්නා. ඒ නිසා මට පුළුවන් වුණා හිරකුටිවල දොරකොඩ ළඟ ඉඳලාම විනාඩි පහේ බයිබල් පාඩම් කීපයක්ම පටන්ගන්න. ඊටපස්සේ රෑට මං ලියුම් ලියලා පහුවදා එයාලට ඒවා ගිහිං දෙනවා.” අපිටත් පුළුවන් සහෝදර ජින් හයූක් වගේ යෙහෝවාගෙන් ප්රඥාවයි, නිර්භීතකමයි ඉල්ලන්න. එතකොට අපේ සේවේ සාර්ථකව කරන්නත් යෙහෝවා අනිවාර්යයෙන්ම උදව් කරයි.
14. ප්‍රශ්න දරාගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද? (ගීතාවලිය 37:3, 5)
14 ප්‍රශ්න දරාගන්න උදව් ඉල්ලන්න. අපි හැමෝම වගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. සමහර වෙලාවට ඒක ශාරීරික ලෙඩක් නැත්නම් මානසික ලෙඩක් වෙන්න පුළුවන්. නැත්නම් වියෝදුක නිසා ඔයා ලොකු වේදනාවකින් ඉන්නවා ඇති. එහෙම නැත්නම් පවුලේ ප්‍රශ්නයක් නිසා, විරුද්ධවාදිකම් නිසා නැත්නම් වෙන දෙයක් නිසා ලොකු පීඩනයක් දැනෙනවත් ඇති. ඒ ප්‍රශ්න මදිවට වසංගත, යුද්ධ වගේ දේවල් ඇති වෙද්දී අපි තවත් අසරණ වෙනවා. ඒ වගේ වෙලාවට ඔයාට දැනෙන හැම වේදනාවක්ම යෙහෝවාට කියන්න. හරියට ඔයාගේ හොඳම යාළුවාට හැම දේම කියනවා වගේ. එහෙම කරද්දී ඔයාට සහතික වෙන්න පුළුවන් යෙහෝවා “ඔයා වෙනුවෙන් නිසි පියවර ගනියි” කියලා.—ගීතාවලිය 37:3, 5 කියවන්න.
15. ‘පීඩා එද්දී ඒවා විඳදරාගන්න’ යාච්ඤාව උදව් වෙන්නේ කොහොමද? උදාහරණයක් දෙන්න.
15 ‘පීඩා එද්දී ඒවා විඳදරාගන්න’ යාච්ඤාව අපිට උදව් වෙනවා. (රෝම 12:12) තමන්ගේ සෙනඟ මුහුණ දෙන හැම ප්‍රශ්නයක්ම, හැම පීඩාවක්ම යෙහෝවා හොඳින්ම දන්නවා. ‘උපකාර ඉල්ලලා ඔවුන් කන්නලව් කරන විට ඔහු ඔවුන්ට සවන් දෙනවා.’ (ගීතා. 145:18, 19) ඒ දේ කොච්චර ඇත්තක්ද කියලා අවුරුදු 29ක් වයස පුරෝගාමි සහෝදරියක් අද්දැක්කා. එයාගේ නම ක්‍රිස්ටි. හිටිහැටියේම එයා බරපතළ විදිහට අසනීප වුණා. ඒ ගැන හිතලා හිතලා එයා කොච්චර මානසිකව වැටුණාද කියනවා නම් අන්තිමේදී එයාට ඒකටත් බෙහෙත් ගන්න වුණා. ඒ මදිවට පස්සේ එයා දැනගත්තා එයාගේ අම්මාටත් මාරාන්තික අසනීපයක් තියෙනවා කියලා. ක්‍රිස්ටි මෙහෙම කියනවා. “හැම දවසකම මං යෙහෝවාට කන්නලව් කළා දවස ගෙවාගන්න මට ශක්තිය දෙන්න කියලා. ඒ වෙනුවෙන් මගේ පැත්තෙන් කරන්න පුළුවන් දේවලුත් මං කළා. මං වරද්දන්නේ නැතුව රැස්වීම් ගියා. පෞද්ගලික අධ්‍යයනය කළා. ඇත්තටම යෙහෝවාට ඒ විදිහට යාච්ඤා කරපු එක තමයි මට උදව් වුණේ මගේ ජීවිතේ වෙළාගත්ත ඒ අඳුරෙන් මිදෙන්න. මං දැනං හිටියා යෙහෝවා කවදාවත් මං ළඟින් හෙල්ලෙන්නේ නැහැ කියලා. ඒ නිසා මට පුදුම සහනයක් දැනුණේ. ඇත්ත මගේ අසනීපේ එක රැයෙන් සනීප වුණේ නෑ. ඒත් යෙහෝවා මගේ යාච්ඤාවලට උත්තර දීලා මගේ හිත සන්සුන් කරපු විදිහ මං අද්දැක්කා.” අපි කවදාවත් අමතක කරන්න හොඳ නැති දෙයක් තියෙනවා. ඒ තමයි “දෙවිට භක්තියක් ඇතිව ජීවත් වන අයව හිංසා පීඩාවලින් ගලවාගන්නේ කොහොමද කියලා යෙහෝවා දෙවි දන්නවා” කියන එක.—2 පේතෘ. 2:9.
16. වැරදි පෙලඹීම් එක්ක සටන් කරන්න අපිට යෙහෝවාගේ උදව් ඕනෙ ඇයි?
16 වැරදි පෙලඹීම් එක්ක සටන් කරන්න උදව් ඉල්ලන්න. අපි පාපය උරුම කරගෙන ඉන්න නිසා වැරදි පෙලඹීම් එක්ක අපිට හැම තිස්සේම සටන් කරන්න වෙනවා. ඒ මදිවට ඒ පෙලඹීම් තව වැඩි කරන්න සාතනුත් පොහොර දානවා. අපේ සිතුවිලි විකෘති කරන්න සාතන් කරන එක දෙයක් තමයි පහත් දේවල්වලින් විනෝදයක් ලබන්න අපිව පොලඹවන එක. ඒ වගේ දේවල්වලින් අපි හිත පුරවාගත්තොත් අපි ටිකෙන් ටික යෙහෝවාගෙන් ඈත් වෙයි. දවසක අපි අතින් බරපතළ වරදක් වුණත් වෙන්න බැරි නැහැ.—මාක් 7:21-23; යාකො. 1:14, 15.
17. වැරදි පෙලඹීම්වලට අහු නොවී ඉන්න නම් අපි තව මොනවාද කරන්න ඕනේ? (පින්තූරයත් බලන්න.)
17 වැරදි පෙලඹීම්වලට යට නොවී ඉන්න අපිට යෙහෝවාගේ උදව් නැතුවම බැහැ. ඒ නිසයි “වරදට පෙලඹීමට ඉඩ නොදී දුෂ්ටයාගෙන් අපව ගලවාගන්න” කියලා යේසුස් කන්නලව් කරන්න කිව්වේ. (මතෙ. 6:13) ඇත්ත, යෙහෝවා දෙවියන් අපිට උදව් කරන්න ආසාවෙන් ඉන්නවා. හැබැයි අපි අපේ පැත්තෙන් ඒ උදව් ඔහුගෙන් ඉල්ලන්න ඕනේ. ඒ වගේම අපේ යාච්ඤාවලට එකඟව වැඩ කරන්නත් ඕනේ. සාතන්ගේ ලෝකේ පහත් දේවල්වලින් පිරිලා. මිනිස්සු අතරත් ඒවාට ලොකු තැනක් තියෙනවා. ඒ නිසා ඒවා අපේ ඔළුවට දාගන්නේ නැතුව ඉන්න අපි ලොකු මහන්සියක් ගන්න ඕනේ. (ගීතා. 97:10) අපි බයිබලේ කියවලා, ඒක අධ්‍යයනය කරලා හොඳ දේවල්වලින් අපේ මනස පුරවාගන්න ඕනේ. අපේ හිත ආරක්ෂා කරගන්න රැස්වීම් සහ සේවෙත් උදව් වෙනවා. අපි අපේ පැත්තෙන් උපරිමය කරද්දී යෙහෝවාත් පොරොන්දු වෙනවා අපිට දරන්න පුළුවන් ප්‍රමාණයට වඩා දේවලට මුහුණ දෙන්න අපිට ඉඩ දෙන්නේ නැහැ කියලා. වැරදි පෙලඹීම්වලට සම්පූර්ණයෙන්ම යටපත් නොවී ඒවායින් ගොඩ එන්න ඔහු අපිට උදව් කරනවා.—1 කොරි. 10:12, 13.
18. අපි හැමෝම කරන්න ඕනෙ මොකක්ද?
18 මේ අමාරු කාලේ දිගටම විශ්වාසවන්තව ඉන්න අපි හැමෝම තව වැඩි වැඩියෙන් යෙහෝවාට යාච්ඤා කරලා ඔහුගෙන් උදව් ඉල්ලන්න ඕනේ. ඒ නිසා හිතේ තියෙන හැම දේම යෙහෝවාට කියන්න හැම දවසකම වෙලාව වෙන් කරගන්න. මොකද යෙහෝවාත් අපෙන් ඉල්ලන්නේ ‘හදවතේ ඇති සියල්ල ඔහුට කියන්න’ කියලා. (ගීතා. 62:8) ඒ වගේම ඔහුට ප්‍රශංසා කරන්න. ඔහු කරලා තියෙන හැම දෙයක් වෙනුවෙන්ම ස්තුති කරන්න. නිර්භීතව දේශනා කරන්න උදව් ඉල්ලන්න. ප්‍රශ්න, වැරදි පෙලඹීම් එද්දී ඒවායින් ගොඩ එන්න උදව් ඉල්ලලා යෙහෝවාට කන්නලව් කරන්න. යාච්ඤා කරන එක නතර කරන්න කිසිම දේකට, කිසිම කෙනෙක්ට ඉඩ දෙන්න එපා. ඒත් යෙහෝවා අපේ යාච්ඤාවලට උත්තර දෙන්නේ කොහොමද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.
ගීතිකාව 42 දෙවිගේ සේවකයෙකුගේ අයැදීම
a ඔයා හිතේ තියෙන හැම දේම කියලා යාළුවෙක්ට ලියුමක් ලියලා තියෙනවාද? අපේ යාච්ඤාත් ඒ වගේ වෙනවාටයි අපි කැමති. ඒත් සමහර වෙලාවට යාච්ඤා කරන්න වෙලාව හොයාගන්න ලේසි නැහැ. ඒ වගේම යාච්ඤාවේදී එකම දේ කියනවා කියලත් අපිට හිතෙන්න පුළුවන්. එහෙමනම් ඒ පැති දෙක ගැන අපි බලන තොරතුරු යාච්ඤාව අර්ථවත් කරගන්න ඔයාට උදව් වෙයි.