Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 22

“ශුද්ධ මඟේ” දිගටම යන්න

“ශුද්ධ මඟේ” දිගටම යන්න

“ඒ දේශයෙහි මාර්ගයක් ඉදි කරනු ලබයි. එය ශුද්ධ මඟ ලෙස හඳුන්වනු ඇත.”—යෙසා. 35:8.

ගීතිකාව 31 දෙවි සමඟ පා නඟන්න

මේ ලිපියෙන් a

1-2. බැබිලෝනියේ හිටපු යුදෙව්වන්ට ගන්න වුණ වැදගත් තීරණය මොකක්ද? (එස්රා 1:2-4)

 රාජ අණ දැනටමත් නිකුත් කරලා ඉවරයි! අවුරුදු 70ක් පුරා බැබිලෝනියේ වහල්ලු විදිහට හිටපු යුදෙව්වන්ට දැන් අවසර ලැබෙනවා එයාලාගේ මව්බිමට ඒ කියන්නේ ඊශ්‍රායෙල් දේශයට යන්න. (එස්රා 1:2-4 කියවන්න.) ඒක නම් කීයටවත් වෙන්න බැරි දෙයක්. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් යෙහෝවා දෙවියන්ට විතරයි! ඇයි එහෙම කියන්නේ? සාමාන්‍යයෙන් බැබිලෝනිවරු තමන්ගේ වහල්ලුන්ව ලේසියෙන් නිදහස් කරන ජාතියක් නම් නෙවෙයි. (යෙසා. 14:4, 17) හැබැයි මේ වෙද්දී බැබිලෝනියේ බලය බිඳලා වෙනත් ජාතියක් ඒක යටත් කරගෙන ඉවරයි. දැන් මේ අලුත් පාලකයා අවසර දෙනවා යුදෙව්වන්ට ආයෙත් තමන්ගේ මව්බිමට යන්න. මේ අණත් එක්ක හැම යුදෙව්වෙක්ටම විශේෂයෙන්ම පවුලේ මූලිකයන්ට තීරණයක් ගන්න වෙනවා දිගටම බැබිලෝනියේ ඉන්නවාද නැත්නම් ඊශ්‍රායෙල් දේශයට යනවාද කියලා. හැබැයි ඒ තීරණය හිතන තරම් ලේසි එකක් නෙවෙයි. ඇයි එහෙම කියන්නේ?

2 ඒ වෙද්දී මහලු වයසේ හිටපු හුඟදෙනෙක්ට එච්චර දුරක් ගෙවාගෙන ඊශ්‍රායෙල් දේශයට යන එක ලේසි වුණේ නැහැ. ඒ වගේම ඊශ්‍රායෙල්වරු අතර හිටපු හුඟක් අය ඉපදුණේ, හැදුණේ වැඩුණේ බැබිලෝනියේ. ඒ නිසා ඊශ්‍රායෙල් කියන්නේ එයාලට එයාලාගේ මුතුන්මිත්තන්ගේ දේශය විතරයි. පේන විදිහට සමහර ඊශ්‍රායෙල්වරු ව්‍යාපාර කටයුතු කරලා බැබිලෝනියේදී ගොඩක් දියුණු වෙලත් තිබුණා. ඒ නිසා එයාලාගේ සැපපහසු ගෙවල් දොරවල්, ව්‍යාපාර දාලා නන්නාඳුනන පැත්තකට ගිහින් අලුතින්ම ජීවිතේ පටන්ගන්න එක ලොකු අභියෝගයක් වුණා.

3. ඊශ්‍රායෙල් දේශයට යන්න තීරණය කරපු යුදෙව්වන් ඉස්සරහා තිබුණ ආශීර්වාදය මොකක්ද?

3 විශ්වාසවන්ත යුදෙව්වන් දැනගෙන හිටියා ඊශ්‍රායෙල් දේශයට යන්න මොන කැප කිරීම කරන්න වුණත් ලැබෙන ආශීර්වාද ඒ කැප කිරීම්වලට වඩා සිය දහස් ගුණයකින් වැඩියි කියලා. එයාලට ලැබුණ ලොකුම ආශීර්වාදය තමයි නිදහසේ දෙවියන්ට නමස්කාර කරන්න ලැබුණ එක. ඇයි එහෙම කියන්නේ? බැබිලෝනියේ බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න දේවාල 50කටත් වඩා තිබුණා. හැබැයි සැබෑ දෙවියන් වෙනුවෙන් එක තැනක්වත් තිබුණේ නැහැ. ඒ වගේම මෝසෙස්ගේ නීතියේ කියලා තිබුණ විදිහට පූජා ඔප්පු කරන්න තැනක් තිබුණේවත් ඒවා ඔප්පු කරන්න පූජකයන් හිටියේවත් නැහැ. ඒ විතරක් නෙවෙයි යුදෙව්වන් වට වෙලා හිටියේ දෙවියන්ගේ ප්‍රමිති තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැති, බොරු දෙවිවරුන්ට නමස්කාර කරපු අයගෙන්. ඒ නිසා මේ රාජ නියෝගය අහපු හැටියේ දහස් ගාණක් යුදෙව්වන් ආයේ තමන්ගේ මව්බිමට යන්න බලන් හිටියේ නොඉවසිල්ලෙන්. මොකද එයාලා දැනගෙන හිටියා එහෙට ගිහින් සැබෑ නමස්කාරය ආයෙත් පිහිටුවන්න පුළුවන් කියලා.

4. විශ්වාසවන්ත යුදෙව්වන්ට යෙහෝවා දෙවියන් පොරොන්දු වුණේ මොකක්ද?

4 ඊශ්‍රායෙල් දේශයට යන මේ ගමන මාස හතරක විතර දුෂ්කර ගමනක්. හැබැයි යෙහෝවා දෙවියන් එයාලට පොරොන්දු වුණා එයාලා ඉස්සරහා තියෙන බාධක අයින් කරලා එයාලා යන මඟ සමතලා කරනවා කියලා. එතකොට එයාලට බාගයක් දුර ගිහිල්ලා ආයේ හැරිලා එන්න වෙන්නේ නැහැ. බලන්න ඒ ගැන යෙසායා කියපු දේ. ‘ජනයෙනි, යෙහෝවා දෙවිගේ මාර්ගය එළිපෙහෙළි කර සූදානම් කරන්න. කාන්තාරය හරහා දිව යන අපේ දෙවිගේ ගමන් මඟ සමතලා කරන්න. සමතලා නැති තැන් සකස් කර රළුබිම් සුමට කරන්න.’ (යෙසා. 40:3, 4) එයාලා ගිය මාර්ගය ටිකක් හිතින් මවාගන්න. ඒ දෙපැත්තේ කඳු හෙල් තිබුණාට එයාලා ගියේ ඒ හරහා නෙවෙයි. ඒ වෙනුවට යෙහෝවා දෙවියන් එයාලව අරන් ගියේ කාන්තාරයක් හරහා වැටිලා තිබුණ සමතලා පාරක. කඳු පල්ලම් නඟිනවා බහිනවාට වඩා ඒක කොච්චර ලේසිද! කොච්චර ඉක්මන්ද!

5. බැබිලෝනියේ ඉඳන් සෙනඟව අරන් ගිය මාර්ගය දෙවියන් හැඳින්නුවේ මොන නමින්ද?

5 සාමාන්‍යයෙන් හැම ප්‍රධාන පාරක්ම මොකක් හරි නමකින් නැත්නම් අංකයකින් හඳුන්වනවා. යෙසායා කියපු මේ සංකේතවත් මාර්ගයටත් යෙහෝවා දෙවියන් නමක් දීලා තියෙනවා. බලන්න ඒ ගැන යෙසායා කියන දේ. “ඒ දේශයෙහි මාර්ගයක් ඉදි කරනු ලබයි. එය ශුද්ධ මඟ ලෙස හඳුන්වනු ඇත. අපවිත්‍ර වූ කිසිවෙක් එහි ගමන් නොකරයි.” (යෙසා. 35:8) ඒක අතීතයේදී ඉටු වුණේ කොහොමද? අද කාලේ ඉටු වෙන්නේ කොහොමද?

“ශුද්ධ මඟ” එදා සහ අද

6. ඒ මඟ ශුද්ධයි කියලා කියන්නේ ඇයි?

6 “ශුද්ධ මඟ.” ඒක මාර්ගයකට දෙන්න පුළුවන් හරි අපූරු නමක් නේද? ඒත් ඇයි ඒකට ශුද්ධයි කියලා කියන්නේ? ටිකක් හිතන්න බැබිලෝනියෙන් නිදහස් වෙලා ගිය යුදෙව්වන් ඊශ්‍රායෙලයට ගියේ සැබෑ නමස්කාරය ආයෙත් පිහිටුවන්න. ඒ වගේම එයාලා දෙවියන්ට “ශුද්ධ සෙනඟක්” වෙන්න යනවා. (ද්වි. 7:6) එහෙම බලද්දී “අපවිත්‍ර වුණ කිසිම කෙනෙක්ට” ඒ කියන්නේ අනාචාරය, රූප වන්දනාව වගේ බරපතළ වැරදි කරන අයට ඒ අතරේ ඉන්න කිසිම ඉඩක් නැහැ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ බැබිලෝනියෙන් පිටත් වෙන යුදෙව්වන් හැම දෙයක්ම 100%ක් හරියටම කරනවා කියලා. යෙහෝවාව සතුටු කරන්න නම් එයාලත් වෙනස්කම් කරගන්න ඕනෙ වුණා.

7. සමහර යුදෙව්වන්ට කරන්න වුණේ මොන වගේ වෙනස්කම්ද? උදාහරණයක් දෙන්න.

7 අපි කලිනුත් බැලුවා වගේ හුඟක් යුදෙව්වන් ඉපදුණේ බැබිලෝනියේ. ඉතින් එයාලා බැබිලෝනිවරු වගේ හිතන්න, ජීවිතේ ගත කරන්න පුරුදු වෙලා හිටියේ. ඒ නිසා ඊශ්‍රායෙල් දේශයට ගිහින් දශක ගාණකට පස්සෙත් සමහර යුදෙව්වන් බොරු දෙවිවරුන්ට නමස්කාර කරන ස්ත්‍රීන් එක්ක විවාහ වෙලා ඉන්නවා කියලා එස්රාට දැනගන්න ලැබුණා. (නික්. 34:15, 16; එස්රා 9:1, 2) ආණ්ඩුකාර නෙහෙමියාගේ කාලේ වෙද්දීත් හුඟක් ඊශ්‍රායෙල් ළමයි හෙබ්‍රෙව් භාෂාවවත් දැනන් හිටියේ නැහැ. (ද්වි. 6:6, 7; නෙහෙ. 13:23, 24) ඒ භාෂාව දන්නේ නැතුව කොහොමද දෙවියන්ට නමස්කාර කරන්නේ, ඔහුට ආදරේ කරන්නේ? මොකද දෙවියන්ගේ වචනයෙන් වැඩි හරියක්ම ලියලා තිබුණේ හෙබ්‍රෙව් භාෂාවෙන්. (එස්රා 10:3, 44) ඒ දේවල්වලින් පැහැදිලි වෙනවා ඒ කාලේ හිටපු යුදෙව්වන්ටත් ගොඩක් පැතිවලින් වෙනස්කම් කරගන්න තිබුණා කියලා. හැබැයි ඒක කරන එක එයාලට ඒ තරම්ම අමාරු දෙයක් වුණේ නැහැ. මොකද එයාලා හිටියේ සැබෑ නමස්කාරය යළි පිහිටුවමින් තිබුණ ඊශ්‍රායෙල් දේශයේ.—නෙහෙ. 8:8, 9.

ක්‍රි.ව. 1919 ඉඳලා පුරුෂයන්, ස්ත්‍රීන් සහ දරුවන් මිලියන ගාණක් මහ බැබිලෝනිය අත්හැරලා “ශුද්ධ මඟේ” ගමන් කරන්න පටන් අරන් තියෙනවා (8 ඡේදය බලන්න)

8. අවුරුදු ගාණකට කලින් වුණ ඒ සිද්ධීන් අපිට වැදගත් වෙන්නේ ඇයි? (කවරයේ පින්තූරය බලන්න.)

8 සමහරවිට ඔයාට හිතෙන්න පුළුවන් ‘ඒක හරිම රසවත් කතාවක්. හැබැයි ඒකෙන් අද ඉන්න අපිට ප්‍රයෝජනයක් තියෙනවාද’ කියලා. ඔව්, තියෙනවා. මොකද අපිත් අද සංකේතාත්මක විදිහට “ශුද්ධ මඟක” ගමන් කරනවා. ඉතින් අපි අභිෂේක ලත් අය වුණත් “වෙනත් බැටළුවන්” වුණත් අපිට තියෙන්නේ එකම අධිෂ්ඨානයක්. ඒ තමයි දෙවියන්ගේ ශුද්ධ සෙනඟ විදිහට දැනුත් අනාගතයේදීත් දෙවියන් දෙන ආශීර්වාද දිගටම ලබාගන්න දිගටම මේ මාර්ගයේ ගමන් කරන එක. b (යොහ. 10:16) ක්‍රි.ව. 1919 ඉඳන් මිලියන ගාණක් පුරුෂයන්, ස්ත්‍රීන්, දරුවන් ලෝක අධිරාජ්‍යයක් වගේ තියෙන බොරු ආගම් කියන මහ බැබිලෝනියෙන් අයින් වෙලා සංකේතාත්මක මේ ශුද්ධ මාර්ගයට ඇතුල් වෙලා තියෙනවා. ඔයාත් ඒ මාර්ගයේ යන කෙනෙක් වෙන්න ඇති. මේ මඟ විවෘත කළේ මීට අවුරුදු 100කට විතර කලින්. හැබැයි ඒක එළිපෙහෙළි කරන්න පටන්ගත්තේ මීට සියවස් ගාණකට කලින්.

මාර්ගය එළිපෙහෙළි කරයි!

9. යෙසායා 57:14 කියන විදිහට “ශුද්ධ මඟ” එළිපෙහෙළි කළේ කොහොමද?

9 යුදෙව්වන් බැබිලෝනියෙන් නිදහස් වෙලා එද්දී යෙහෝවා දෙවියන් එයාලාගේ මාර්ගයේ තිබුණ බාධා අයින් කරලා ඒක සමතලා කළා. (යෙසායා 57:14 කියවන්න.) එතකොට මේ කාලේ තියෙන “ශුද්ධ මඟ” ගැන කියන්න පුළුවන් මොකක්ද? යෙහෝවා දෙවියන් 1919ට සියවස් ගාණකට කලින් ඉඳන් ඔහුට ගරුබිය දක්වන පුරුෂයන්ව පාවිච්චි කරලා මේ මඟ එළිපෙහෙළි කරන්න පියවර ගත්තා. (යෙසා. 40:3) ඒ නිසයි පස්සේ කාලේ මහ බැබිලෝනියෙන් නිදහස් වෙලා ආපු අයට ලේසියෙන්ම මේ මාර්ගයට ඇතුල් වෙන්න පුළුවන් වුණේ. ඒ වගේම දෙවියන්ගේ සෙනඟ එක්ක එකතු වෙලා ඔහුට නමස්කාර කරන්න පුළුවන් වුණේ. ඒත් ඒ කාලේ හිටපු අය මාර්ගය “එළිපෙහෙළි” කළේ කොහොමද? දැන් අපි එයාලා ඒ වෙනුවෙන් කරපු දේවල් කීපයක් බලමු.

සියවස් ගාණකට කලින් හිටපු විශ්වාසවන්ත අය මහ බැබිලෝනියෙන් නිදහස් වෙලා එන මාර්ගය එළිපෙහෙළි කළා (10-11 ඡේද බලන්න)

10-11. සත්‍යය ගැන අවබෝධය වැඩි කරගන්න බයිබල් මුද්‍රණය සහ පරිවර්තනය උදව් වුණේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

10 මුද්‍රණය. 15වෙනි සියවසේ මැදභාගය වෙන කල්ම බයිබලේ පිටපත් කළේ අතින්. ඒ නිසා ඒකට ලොකු වෙලාවක් ගියා. බයිබල් පිටපත් හොයාගන්න තිබුණෙත් හරිම අඩුවෙන්. ඒවාත් ගිනි ගණන්. හැබැයි මුද්‍රණ තාක්ෂණය හඳුන්වලා දෙනවාත් එක්කම බයිබලේ මුද්‍රණය කරන එක, බෙදාහරින එක වේගවත් වුණා.

11 පරිවර්තනය. සියවස් ගාණක් යන කල් බයිබල් පිටපත් වැඩි හරියක්ම තිබුණේ ලතින් භාෂාවෙන්. ඒ නිසා ඒවා කියවලා තේරුම්ගන්න පුළුවන් වුණේ උගත් අයට විතරයි. හැබැයි මුද්‍රණ තාක්ෂණයේ දියුණුවත් එක්ක දෙවියන්ට ළැදි හුඟක් අය මිනිස්සු සාමාන්‍යයෙන් කතා කරන භාෂාවලට බයිබලේ තව වැඩියෙන් පරිවර්තනය කළා. එයාලාගේ මහන්සියේ ප්‍රතිඵල තියෙනවාද? ඔව්. ඒ නිසයි පල්ලිවල උගන්වන්නේ බයිබලේ තියෙන දේවල්මද කියලා අද ඉන්න ඕනම කෙනෙක්ට හොයලා බලන්න පුළුවන් වෙලා තියෙන්නේ.

දෙවියන්ට ළැදි අය අනිත් අයටත් මහ බැබිලෝනියෙන් නිදහස් වෙන්න මාර්ගය එළිපෙහෙළි කළා (12-14 ඡේද බලන්න) c

12-13. 19වෙනි සියවසේ හිටපු අය බොරු ඉගැන්වීම් හෙළි කළේ කොහොමද? උදාහරණ දෙන්න.

12 බයිබල් අධ්‍යයනයට උදව් වෙන ප්‍රකාශන. දෙවියන්ට විශ්වාසවන්ත හුඟක් අය බයිබලේ ගැඹුරින් අධ්‍යයනය කරලා ගොඩක් සත්‍යයන් හොයාගත්තා. ඒ හොයාගත්ත සත්‍යය එයාලා හංගගෙන ඉන්නේ නැතුව හැමෝටම කිව්වා. උදාහරණෙකට 19වෙනි සියවස වෙද්දී පල්ලිවල උගන්වන දේවල් අමූලික බොරු කියලා හෙළි කරන්න පත්‍රිකා පවා මුද්‍රණය කළා. ඒ නිසා පූජකයන් එයාලත් එක්ක හිටියේ පුදුම කේන්තියෙන්.

13 හෙන්රි ගෲ කියන්නෙත් දෙවියන්ට ගරුබිය දක්වපු කෙනෙක්. මැරුණාට පස්සේ ඇත්තටම මොකද වෙන්නේ කියලා සඳහන් කරපු පත්‍රිකාවක් එයා 1835දී විතර මුද්‍රණය කළා. ඒකේ එයා ශුද්ධ ලියවිල්ලෙන් ඔප්පු කරලා පෙන්නුවා අරමණීයත්වය කියන්නේ පල්ලිවල උගන්වන විදිහට හැමෝටම උපතින්ම ලැබෙන දෙයක් නෙවෙයි, ඒක කෙනෙක්ට දෙවියන් දෙන තෑග්ගක් කියලා. ඒ පත්‍රිකාව 1837දී කෝච්චියෙන් ගමන් කරකර හිටපු දේවගැතිවරයෙක් වන ජෝර්ජ් ස්ටෝර්ස්ට හම්බ වුණා. ඒක කියෙව්වාම එයා තේරුම්ගත්තා මේක තමයි සත්‍යය කියලා. ඒ නිසා එයා ඒ ගැන අනිත් අයටත් දැනුම් දුන්නා. 1842දී “දුෂ්ටයන් අමරණීයද?” කියන මාතෘකාව යටතේ ජෝර්ජ් දේශන කීපයක්ම දුන්නා. පස්සේ කාලෙක ජෝර්ජ් ලියපු දේවල් එක තරුණයෙක්ගේ හිතට තදින්ම කාවැදුණා. ඒ තමයි චාල්ස් ටේස් රසල්.

14. කලින් හිටපු අය ඒ මඟ එළිපෙහෙළි කරපු එක සහෝදර රසල්ටයි, එයාගේ යාළුවන්ටයි උදව් වුණේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

14 සහෝදර රසල්ගේ කාලෙට කලින් හිටපු අය මඟ එළිපෙහෙළි කරන්න කරපු දේවල් සහෝදර රසල්ටයි, එයාගේ යාළුවන්ටයි ගොඩක් උදව් වුණා. සහෝදර රසල්ගේ කාලෙට කලින් හිටපු ඒ අය නිකුත් කරපු බයිබල් ශබ්දකෝෂ, සූචි සහ විවිධ බයිබල් පරිවර්තන සහෝදර රසලුයි, එයාගේ යාළුවොයි කරපු අධ්‍යයන කටයුතු තවත් ලේසි කළා. ඒ විතරක් නෙවෙයි හෙන්රි ගෲ, ජෝර්ජ් ස්ටෝර්ස් වගේ අය පර්යේෂණ කරලා හොයාගත්ත තොරතුරුත් එයාලට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඒ නිසා සහෝදර රසල්ටයි, එයාගේ යාළුවන්ටයි පුළුවන් වුණා පොත් පත්, පත්‍රිකා මාර්ගයෙන් බයිබල් සත්‍යයන් තව වැඩියෙන් මිනිස්සුන්ට හෙළි කරන්න. ඒ විදිහට ඒ මඟ එළිපෙහෙළි කරන වැඩේට එයාලත් දායක වුණා.

15. 1919දී සිද්ධ වුණ වැදගත් දේවල් මොනවාද?

15 1919දී දෙවියන්ගේ සෙනඟ මහ බැබිලෝනියේ බැමිවලින් නිදහස් වුණා. ඒ අවුරුද්දේම යේසුස් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයාවත්” පත් කළා. (මතෙ. 24:45-47) ඒ හැම දෙයක්ම සිද්ධ වුණේ නියම වෙලාවට කියලා කියන්න පුළුවන්. මොකද ඒ නිසා තමයි අවංක හදවත් තිබුණ අයට මේ “ශුද්ධ මඟට” ඇතුල් වෙන්න අවස්ථාව ලැබුණේ. මේ මඟ එළිපෙහෙළි කරන්න මහන්සි වුණ ඒ වැඩකරුවන්ට ස්තුති වෙන්න දැන් අපි ඕනම කෙනෙක්ට පුළුවන් මේ මාර්ගයට අඩිය තියලා දෙවියන්ගේ අරමුණ ගැන තව වැඩියෙන් දැනගන්න. (හිතෝ. 4:18) ඒ වගේම දෙවියන්ගේ කැමැත්තට අනුව ජීවිතේ වෙනස්කම් කරගන්නත් දෙවියන්ගේ සෙනඟට අවස්ථාව තියෙනවා. හැබැයි එක රැයකින් හැම දේම වෙනස් කරගනියි කියලා යෙහෝවා එයාලාගෙන් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ වෙනුවට කාලයත් එක්කම ඔහු ක්‍රමානුකූලව එයාලව පවිත්‍ර කළා. (“ යෙහෝවා තමන්ගේ සෙනඟව පවිත්‍ර කරපු විදිහ” කියන කොටුව බලන්න.) ටිකක් හිතන්න අපි අනාගතයේදී සම්පූර්ණයෙන්ම පවිත්‍ර වෙලා දෙවියන්ගේ කැමැත්ත 100%ක් කරන දවස උදා වුණාම හිතට කොච්චර සතුටක් දැනෙයිද!—කොලො. 1:10.

“ශුද්ධ මඟ” තාමත් විවෘතයි!

16. 1919 ඉඳලා “ශුද්ධ මඟ” නඩත්තු කරලා තියෙන්නේ කොහොමද? (යෙසායා 48:17; 60:17)

16 හැම පාරක්ම කාලෙන් කාලෙට නඩත්තු කරන්න ඕනේ. 1919 ඉඳන් මේ ශුද්ධ මඟත් නඩත්තු කරන්න පටන්ගත්තා. තව තව අයට බැබිලෝනියෙන් ගැලවිලා එන්න ඒක උදව් වුණා. ඒත් කොහොමද ඒක නඩත්තු කළේ? අලුත් අයට බයිබලේ ගැන අධ්‍යයනය කරන්න 1921දී නුවණ ඇති දාසයා අලුත්ම ප්‍රකාශනයක් මුදාහැරියා. ඒ තමයි ‘දෙවිගේ වීණාව’ කියන පොත. (සිංහලෙන් නැහැ.) ඒක භාෂා 36කින් පිටපත් මිලියන හයක් විතර මුද්‍රණය කළා. ඒකේ උදව්වෙන් හුඟක් අයට පුළුවන් වුණා මේ “ශුද්ධ මඟට” ඇතුල් වෙන්න. මෑතකදී බයිබලේ ඉගෙනගන්න නුවණ ඇති දාසයා උණු උණුවෙන්ම අලුත් ප්‍රකාශනයක් හඳුන්වලා දුන්නා. ඒ තමයි ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොත. ඒ විදිහට යෙහෝවා දෙවියන් සංවිධානය මාර්ගයෙන් ඔහුගේ සෙනඟව නොනවත්වාම පෝෂණය කරනවා. ඒක එයාලට උදව් වෙනවා මේ “ශුද්ධ මඟේ” දිගටම ගමන් කරන්න.—යෙසායා 48:17; 60:17 කියවන්න.

17-18. “ශුද්ධ මඟේ” ගමනාන්තය මොකක්ද?

17 අපි කලිනුත් බලපු විදිහට කෙනෙක් බයිබලේ පාඩම් කරන්න පටන්ගද්දී “ශුද්ධ මඟේ” ගමන් කරන්න පටන්ගන්නවා කියලා කියන්න පුළුවන්. හැබැයි සමහරු ටික දුරක් ගිහින් ඒ මඟෙන් අයින් වෙන්න තීරණය කරනවා. හැබැයි තවත් අයගේ අධිෂ්ඨානය තමයි ගමනාන්තයට යන කල් කොහොමහරි දිගටම ඒකේ යන එක. ඒත් මොකක්ද ඒකේ ගමනාන්තය?

18 අභිෂේක ලත් අයට නම් ඒකේ ගමනාන්තය තමයි “දෙවිගේ පාරාදීසය.” ඒ කියන්නේ ස්වර්ගයට යන එක. (එළි. 2:7) හැබැයි මේ පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට නම් ඒකේ ගමනාන්තය දහස් අවුරුදු පාලනයේ අවසානය වෙන කල්ම දිවයනවා. එයාලාගේ එකම ආසාව පරිපූර්ණත්වයට එන එක. ඉතින් ඔයා දැනටමත් මේ මඟේ ගමන් කරන කෙනෙක් නම් පිටිපස්ස හැරිලා ඔයා දාලා ආපු දේවල් දිහා බලන්න එපා. දේවරාජ්‍යය යටතේ සදහටම ආශීර්වාද ලබන දවස එන කල් ඒ මඟේ දිගටම පරෙස්සමෙන් යන්න. එහෙමනම් ඔයාලට “සුභ ගමන්!”

ගීතිකාව 24 එන්න දෙවිගේ කන්දට

a බැබිලෝනියෙන් නිදහස් වුණ ඊශ්‍රායෙල්වරුන්ව අරන් ගිය මාර්ගය යෙහෝවා දෙවියන් හැඳින්නුවේ “ශුද්ධ මඟ” කියලා. යෙහෝවා අදත් ඔහුගේ සෙනඟව අරන් යන ඒ වගේ මාර්ගයක් තියෙනවාද? ඔව්. ක්‍රි.ව. 1919 ඉඳන් මහ බැබිලෝනියෙන් නිදහස් වුණ මිලියන ගාණක් දෙනාව දෙවියන් “ශුද්ධ මඟක” ගෙනල්ලා තියෙනවා. අපිත් ගමනාන්තයට යන කල්ම ඒ මාර්ගයේ දිගටම ගමන් කරන්න ඕනේ.

c පින්තූරේ අදහස: සහෝදර රසල්ගේ කාලෙට කලින් තිබුණ ප්‍රකාශන රසල්ටයි, එයාගේ යාළුවන්ටයි බයිබලේ අධ්‍යයනය කරන්න ගොඩක් උදව් වුණා.