Skip to content

පටුනට යන්න

ආශීර්වාද ලැබෙන කල් සටන අත්හරින්න එපා

ආශීර්වාද ලැබෙන කල් සටන අත්හරින්න එපා

“ඔබ දෙවි සමඟත් මිනිසුන් සමඟත් පොරබැද ජය ගත්තා.”—උත්. 32:28.

ගීතිකා: 60, 38

1, 2. යෙහෝවා දෙවිගේ සේවකයන් සටන් කරන්න ඕනෙ මොනවා එක්කද?

දෙවිට විශ්වාසවන්තව හිටපු මුල්ම කෙනා වුණ ආබෙල් ඇතුළුව දෙවිට ළැදිව හිටපු හැමෝටම ලොකු පොරබැදීමක් කරන්න සිද්ධ වුණා. හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට පාවුල් කිව්වේ දෙවිගේ අනුමැතිය ලබාගන්න තිබුණ ආසාව නිසා එයාලා “මහත් පොරබැදීමක් කරමින් බොහෝ දුක් හිරිහැර වින්දා” කියලයි. (හෙබ්‍රෙ. 10:32-34) ක්‍රිස්තියානියෙක්ට කරන්න තියෙන පොරබැදීම පාවුල් සමාන කළේ ක්‍රීඩකයෙක් තරඟයක් දිනන්න දරන වෑයමටයි. (හෙබ්‍රෙ. 12:1, 4) අද අපි ඉන්නෙත් ධාවන තරඟයකයි. අපි දුවන්නේ ජීවනයට යන පාරේ. ඒත් අපේ අවධානය බිඳින්න, අපිව වට්ටන්න මාන බලන සතුරන්ගෙන් අපි වට වෙලා. එයාලට ඕනෙ අපේ සතුට, අනාගතයේදී අපිට ලැබෙන්න යන ආශීර්වාද අපෙන් උදුරගන්නයි.

2 අපිට කරන්න තියෙන අමාරුම සටන නැත්නම් “පොරබැදීම” සාතන්ට සහ දුෂ්ට සමාජයට විරුද්ධවයි. (එෆී. 6:12) බොරු ඉගැන්වීම්වලට, සමාජය ඉදිරිපත් කරන විවිධ තර්ක විතර්කවලට අහු නොවී ඉන්න අපි ලොකු වෑයමක් දරන්න ඕනේ. ඒ වගේම දුම් බීම, මත්පැන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන එක වගේ නරක පුරුදුවලට, අනාචාරයේ යෙදීම වගේ වැරදි හැසිරීම්වලට විරුද්ධව දිගටම සටන් කරන්න ඕනේ. අපේම දුර්වලකම්, අධෛර්යය කරවන හැඟීම් එක්කත් අපිට ලොකු පොරබැදීමක් කරන්න වෙනවා.—2 කොරි. 10:3-6; කොලො. 3:5-9.

3. අපේ සතුරන්ට විරුද්ධව සටන් කරන්න දෙවි අපිව පුහුණු කරන්නේ කොහොමද?

3 ඒ වගේ බලවත් සතුරන් එක්ක කරන සටන ජය ගන්න පුළුවන්ද? ඔව්, ඒත් අපේ පැත්තෙන් අපි ලොකු වෑයමක් දරන්න ඕනේ. “මා පහර දෙන්නේ ඉලක්කයට මිස නිකම්ම සුළඟට පහර දෙන ආකාරයට නොවේ” කියලා පාවුල් කියද්දී එයාගේ මනසේ තියෙන්න ඇත්තේ බොක්සිං ක්‍රීඩකයෙක්. (1 කොරි. 9:26) බොක්සිං ක්‍රීඩකයෙක් අත් නෑර ප්‍රතිවාදියා එක්ක සටන් කරනවා වගේ අපිත් අපේ සතුරාට විරුද්ධව දිගටම සටන් කරන්න ඕනේ. ඒ සටන කරන්න යෙහෝවා දෙවි අපිට උදව් කරනවා. අපිව පුහුණු කරනවා. බයිබලෙන්, අපේ ප්‍රකාශනවලින්, රැස්වීම්වලින්, සමුළුවලින් දෙවි අපිට ඒ පුහුණුව දෙනවා. දෙවිගේ ඉගැන්වීම්වලින්, පුහුණුවෙන් ඔයා ප්‍රයෝජන ගන්නවද? එහෙම කළේ නැත්නම් ඔයාත් හරියට සුළඟට පහර දෙන බොක්සිං ක්‍රීඩකයෙක් වගේ. සතුරාව පරාජය කරන්න ඔයාට බැරි වෙයි.

4. නපුරු දේවලට අපිව පරාජය කරන්න ඉඩ නොදී ඉන්න පුළුවන් කොහොමද?

4 අපේ සතුරන් අපිට පහර දෙන්නේ අපි නොහිතන වෙලාවක. අපි දුර්වල වෙලා ඉන්න වෙලාවක. ඒ නිසා අපි හැම වෙලාවෙම සෝදිසියෙන් ඉන්න ඕනේ. බයිබලේ අනතුරු අඟවන්නේ “නපුරු දේවලට ඔබව පරාජය කරන්න ඉඩ නොදෙන්න. දිගටම යහපතින් නපුරු දේවල් පරාජය කරන්න” කියලයි. (රෝම 12:21) අපි අත් නෑර නපුරු දේවලට විරුද්ධව සටන් කරනවා නම් අපිට දිනන්න පුළුවන්. ඒත් අපි සටන අතරමඟ නවත්තලා දැම්මොත් සෝදිසියෙන් හිටියේ නැත්නම් සාතන්ට, දුෂ්ට සමාජයේ බලපෑම්වලට, අපේම දුර්වලකම්වලට අපි අහු වෙයි. ඒ නිසා අධෛර්යය වෙලා සටන කවදාවත් අත්හරින්න එපා.—1 පේතෘ. 5:9.

5. (අ) දෙවිගේ අනුමැතිය ලබාගන්න නම් අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද? (ආ) මේ ලිපියෙන් බලන්නේ මොන බයිබල් චරිත ගැනද?

5 අපි කරන සටනින් ජය ගන්න නම් ‘ඇයි අපි මේ පොරබැදීම කරන්නේ’ කියන දේ නිතරම මතක තියාගන්න ඕනේ. අපි පොරබදින්නේ දෙවිගේ අනුමැතිය, ආශීර්වාදය ලබාගන්නයි. හෙබ්‍රෙව් 11:6 කියන්නේ “දෙවිට නමස්කාර කිරීම සඳහා ඔහු වෙතට ළඟා වන කෙනෙක් ඔහු ජීවමාන බවත් දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට ඔහු ආශීර්වාද කරන බවත් විශ්වාස කළ යුතුයි” කියලයි. “දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින්” පතනවා කියද්දී ඒකෙන් අදහස් කරන්නේ ඔහුගේ අනුමැතිය ලබාගන්න නම් අපේ පැත්තෙන් ලොකු වෑයමක් දරන්න ඕනෙ කියන එකයි. (ක්‍රියා 15:17) ඒ වගේ වෑයමක් දරපු හුඟක් අය ගැන බයිබලේ සඳහන් වෙනවා. යාකොබ්, රාකෙල්, යෝසෙප් සහ පාවුල් ඒ අය අතරින් කීපදෙනෙක්. එයාලා හුඟක් අමාරු තත්වයන්ට මුහුණ දුන්නා. ලොකු වේදනාවක් අද්දැක්කා. ඒත් එයාලා සටන අත්හැරියේ නැහැ. ඒක ජය ගත්තා. අපිත් අත් නෑර සටන් කරනවා නම් දෙවිගේ අනුමැතිය දිනාගන්න පුළුවන් වෙනවා නිසැකයි.

අත් නෑර සටන් කළොත් ආශීර්වාද ලැබෙයි

6. විඳදරාගන්න යාකොබ්ට උදව් වුණේ මොකක්ද? දෙවි එයාට ආශීර්වාද කළේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

6 යාකොබ් විඳදරාගෙන, අත් නෑර සටන් කළේ යෙහෝවා දෙවිත් එක්ක එයාට තිබුණ කිට්ටු බැඳීම දිගටම රැකගන්න ලොකු ආසාවක් තිබුණ නිසයි. දෙවිට මුළු හදවතින්ම ආදරේ කරපු නිසයි. එයාගෙන් පැවතෙන අයට ආශීර්වාද කරනවා කියලා දෙවි දුන්න පොරොන්දුව දෙවි ඉටු කරනවා කියලා යාකොබ්ට ලොකු විශ්වාසයක් තිබුණා. (උත්. 28:3, 4) වයස අවුරුදු 100ක් විතර වුණත් දෙවිගෙන් ආශීර්වාදයක් ලබාගන්න එයා දේවදූතයෙක් එක්ක පොරබැද්දේ ඒ නිසයි. (උත්පත්ති 32:24-28 කියවන්න.) දේවදූතයා එක්ක එයා පොරබැද්දේ එයාගේම ශක්තියෙන්ද? නැහැ. ඒත් එයා අත් නෑර, ලොකු වෙහෙසක් දරලා පොරබැද්ද එකෙන් පැහැදිලි වෙන්නේ දෙවිගේ ආශීර්වාදය ලබාගන්න එයාට කොච්චර වුවමනාවක් තිබුණද කියලයි. එයාගේ වෑයම ගැන සතුටු වුණ දෙවි එයාට ආශීර්වාද කළා. ඒකයි දෙවි එයාට “දෙවි සමඟ පොරබදන්නා” කියන අර්ථය තියෙන ඊශ්‍රායෙල් කියන නම දුන්නේ. දෙවිගේ අනුමැතිය ලබාගන්න අපිට තියෙන්නෙත් ලොකු ආසාවක්. එදා යාකොබ් ඒ ආශීර්වාදය ලැබෙන කල් සටන අත්හැරියේ නැහැ.

7. (අ) රාකෙල් මුහුණ දුන්න වේදනාකාරී දේ මොකක්ද? (ආ) එයා කළේ මොකක්ද? දෙවි එයාට ආශීර්වාද කළේ කොහොමද?

7 යාකොබ්ගේ ආදරණීය බිරිඳ වන රාකෙල් යෙහෝවා දෙවි තමන්ගේ සැමියාට දුන්න පොරොන්දුව ඉටු වෙන කල් බලාගෙන හිටියේ හරිම ආසාවෙන්. ඒත් ඒ වෙද්දී රාකෙල්ට දරුවෝ හිටියේ නැහැ. තමන්ට දරුවෝ නැත්නම් ඒ කාලේ ජීවත් වුණ ස්ත්‍රීන් හුඟක් දුක් වුණා. කලකිරුණා. රාකෙල්ගේ හිතට කොච්චර වේදනාවක් දැනුණත් එයා දිගටම විඳදරාගත්තේ කොහොමද? බලාපොරොත්තු අත්හරිනවා වෙනුවට එයා වැඩි වැඩියෙන් යෙහෝවා දෙවිට යාච්ඤා කළා. දෙවි එයාට සවන් දීලා පස්සේ කාලෙක එයාට දරුවන් ලබා දුන්නා. “මහත් පොරබැදීමක් කර මම ජය ගත්තා” කියලා රාකෙල් කිව්වේ දෙවි එයාට ආශීර්වාද කළා කියලා එයා තේරුම්ගත්ත නිසයි.—උත්. 30:8, 20-24.

8. යෝසෙප් මුහුණ දුන්නේ මොන වගේ අමාරු දේවලටද? එයා අපිට ආදර්ශයක් වෙන්නේ කොහොමද?

8 දෙවිට විශ්වාසවන්තව ඉඳලා යාකොබ් සහ රාකෙල් තියපු ආදර්ශය අනිවාර්යයෙන්ම යෝසෙප්ටත් උදව් වෙන්න ඇති. අවුරුදු 17දී යෝසෙප්ගේ ජීවිතේ කණපිට පෙරළුණා. එයාට ඊර්ෂ්‍යා කරපු එයාගේ අයියලා එයාව වහල්කමට විකුණුවා. පස්සේ කාලෙක එයා නොකරපු වරදකට අවුරුදු ගාණක් හිරේ ඉන්න වුණා. (උත්. 37:23-28; 39:7-9, 20, 21) ඒත් එයා අධෛර්යය වුණේ නැහැ. අමනාප වෙලා පළිගන්න හැදුවේ නැහැ. මොකද එයාගේ ජීවිතේ වටිනාම දේ විදිහට එයා සැලකුවේ දෙවිත් එක්ක තියෙන බැඳීමයි. ඒක පොඩ්ඩක්වත් පලුදු වෙනවට යෝසෙප් කැමති වුණේ නැහැ. (ලෙවී. 19:18; රෝම 12:17-21) යෝසෙප්ව ආදර්ශයට ගන්න අපිටත් පුළුවන්. සමහරවිට ළමා වියේදී ඔයා කටුක දේවලට මුහුණ දීලා ඇති. දැන් ඔයා ඉන්න ප්‍රශ්නයෙන් ගොඩ ඒමක් නැහැ කියලා හිතෙනවා ඇති. ඒත් ඒ හැඟීම්වලට ඔයාව යටපත් කරන්න ඉඩ නොදී දිගටම විඳදරාගන්න. අත් නෑර පොරබදින්න. එහෙම කරද්දී දෙවිගේ ආශීර්වාදය ඔයාත් අද්දකියි.—උත්පත්ති 39:21-23 කියවන්න.

9. යාකොබ්, රාකෙල් සහ යෝසෙප්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

9 දුෂ්කර තත්වයන්ට අද අපිත් මුහුණ දෙනවා. සමහරවිට අයුක්තිය, උස් පහත් භේද, නින්දා අපහාස නිසා ඔයා ඉන්නෙත් දුකෙන් වෙන්න ඇති. නැත්නම් ඊර්ෂ්‍යාව නිසා කෙනෙක් ඔයාට අසාධාරණ විදිහට සලකනවා ඇති. ඒත් සැලෙන්න එපා. අත් නෑර, සතුටින් දෙවිට සේවය කරන්න යාකොබ්ට, රාකෙල්ට, යෝසෙප්ට උදව් වුණේ මොකක්ද කියලා මතක තියාගන්න. දෙවි එයාලට ශක්තියක් වුණේ, ආශීර්වාද කළේ දෙවිත් එක්ක තිබුණ බැඳීම අනිත් හැම දේටම වඩා එයාලා අගය කරපු නිසයි. එයාලා කරපු සටන කවදාවත් අත්හැරියේ නැහැ. ඒ වගේම කරපු යාච්ඤාවලට එකඟව එයාලා වැඩ කළා. අපිත් එයාලව ආදර්ශයට ගමු. අපි ඉන්නේ විනාශය අද්දර නිසා දෙවිගේ පොරොන්දු ගැන ලොකු විශ්වාසයක් තියෙන එක වැදගත්. දෙවිගේ අනුමැතිය දිනාගන්න දිගටම පොරබදින්න ඔයාත් ලෑස්තිද?

ආශීර්වාදයක් ලැබෙන කල් පොරබදින්න

10, 11. (අ) දෙවිගේ අනුමැතිය ලබන්න අපි ලොකු පොරබැදීමක් කරන්න ඕනෙ ඇයි? (ආ) හරි තීරණ ගන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

10 දෙවිගේ අනුමැතිය ලබන්න අපි ලොකු පොරබැදීමක් කරන්න ඕනෙ ඇයි? පාපය උරුම වෙලා තියෙන නිසා වැරදි ආසාවන් පාලනය කරගන්න එක හුඟදෙනෙක්ට ලේසි නැහැ. වැඩිදෙනෙක් ශුභාරංචිය පිළිගන්නේ නැති වෙද්දී උනන්දුව දක්වන එක් කෙනෙක්ව හරි හම්බ වෙයි කියන ආකල්පයෙන් සේවය කරන එක සමහරුන්ට අභියෝගයක්. තවත් අය අසනීප, තනිකම නිසා වේදනා විඳිනවා. හිත රිදවපු, තමන්ට වරදක් කරපු කෙනෙක්ට සමාව දෙන එක සමහරුන්ට අභියෝගයක්. අපේ අභියෝගය මොකක් වුණත් දෙවිට විශ්වාසවන්තව සේවය කරන්න ඒක අපිට බාධාවක්. ඒ නිසා අපි කොච්චර කාලයක් තිස්සේ දෙවිට සේවය කළත් ඒ අභියෝගය ජය ගන්න දිගටම සටන් කරන්න ඕනේ. මොකද දෙවිගේ අනුමැතිය ලැබෙන්නේ විශ්වාසවන්ත අයටයි.

දෙවිගේ ආශීර්වාද ලබාගන්න ඔයා පොරබදිනවද? (10 සහ 11 ඡේද බලන්න)

11 දෙවිගේ සේවකයෙක් විදිහට ඔහුගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන එකත් නිවැරදි තීරණ ගන්න එකත් ලේසි නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වැරදි ආසාවන්ට විරුද්ධව සටන් කරන්න වෙද්දී ඒක තවත් අමාරුයි. (යෙරෙ. 17:9) ඔයාටත් එහෙම හැඟෙනවා නම් දෙවිට යාච්ඤා කරලා ඔහුගේ බලය ඉල්ලන්න. යාච්ඤා කරලා දෙවි මත රඳා ඉද්දී, දෙවිගේ බලය ලැබෙද්දී දෙවි සතුටු වෙන විදිහට දේවල් කරන්න ඔයාට ලොකු හයියක් ලැබෙනවා. යාච්ඤාවෙන් දෙවිට කියන දේවලට එකඟව ජීවත් වෙන්නත් අදිටන් කරගන්න. හැමදාම බයිබලය කියවන්න. පවුලේ නමස්කාරය, පෞද්ගලික අධ්‍යයනය අතපසු කරන්න එපා.—ගීතාවලිය 119:32 කියවන්න.

12, 13. වැරදි ආසාවන් එක්ක දිගටම සටන් කරන්න දෙන්නෙක්ට උදව් වුණේ මොනවද?

12 වැරදි ආසාවලින් ගොඩ එන්න දේවවචනය, දෙවිගේ බලය, බයිබලේ මත පදනම් ප්‍රකාශන හුඟක් අයට උදව් වෙලා තියෙනවා කියලා පැහැදිලි වෙන අද්දැකීම් ඕන තරම් තියෙනවා. 2003 දෙසැම්බර් 8 ‘පිබිදෙව්!’ කලාපයේ පළ වුණ “වැරදි ආශාවන්ගෙන් සිත ආරක්ෂා කරගන්නේ කෙසේද?” කියන ලිපිය කියෙව්ව යෞවනයෙක් මෙහෙම කියනවා. “මගේ හිතට එන නරක සිතුවිලි අයින් කරගන්න මං ලොකු සටනක් කරනවා. ඒ ලිපිය කියෙව්වම මට තේරුණා වැරදි ආසාවන් පාලනය කරගන්න හුඟදෙනෙක් ලොකු සටනක් කරනවා කියලා. මං තනි වෙලා නැහැ කියලා මට දැනුණා.” 2003 ඔක්තෝබර් 8 ‘පිබිදෙව්!’ කලාපයේ පළ වුණ “විකල්ප ජීවන රටාවන් දෙවි අනුමත කරනවාද?” කියන ලිපියත් ඒ යෞවනයට උදව් වුණා. ඒ ලිපිය කියවද්දී එයාට තේරුණා වැරදි ආසාවන්ට විරුද්ධව කරන සටන සමහරුන්ට කාලයක් තිස්සේ කරන්න වෙනවා කියලා. ඒක හරියට ‘ශරීරයට ඇනිලා තියෙන කටුවක් වගේ.’ (2 කොරි. 12:7) අපවිත්‍ර දේවලින් වැළකිලා ඉන්න ඒ අය ලොකු පොරබැදීමක් කළත් කවදා හරි ඒකෙන් ගොඩ එනවා කියන බලාපොරොත්තුව එයාලට තිබුණා. ඒ යෞවනයා මෙහෙම කියනවා. “මගේ අධිෂ්ඨානයත් ගත වෙන දවසක් දවසක් ගානේ දෙවිට විශ්වාසවන්තව ඉන්නයි. නරක බලපෑම්වලට අහු වෙන්නේ නැතුව ඉන්න සංවිධානය මාර්ගයෙන් දෙවි දෙන මඟ පෙන්වීම් හැම දවසකම මට උදව් වෙනවා. මං ඒ ගැන දෙවිට ස්තුති කරනවා.”

13 ඇමරිකාවේ ඉන්න සහෝදරියක් මෙහෙම ලියලා එව්වා. “අපිට අවශ්‍යම තොරතුරු නියම වෙලාවට අපිට දෙන එක ගැන හුඟක් ස්තුතියි. මේ ලිපි ලියලා තියෙන්නේ මටමයි කියලා මට නිතරම හිතෙනවා. දෙවි පිළිකුල් කරන ආසාවක් එක්ක මං අවුරුදු ගාණක් තිස්සේ සටන් කරනවා. ඒ සටන අත්හරින්න හිතුණ වෙලාවලුත් තිබුණා. මං දන්නවා යෙහෝවා දෙවි දයාවන්තයි, සමාව දෙන්න ලෑස්තියි කියලා. ඒත් ඒ වැරදි ආසාව ගැන ඇත්තටම මගේ හිතේ ලොකු පිළිකුලක් තිබුණේ නැති නිසා දෙවිගේ උදව් ලබන්න මං වටින්නේ නැහැ කියලයි මට හිතුණේ. මං කලකිරුණා. ඒත් 2013 මාර්තු 15 ‘මුරටැඹ’ කලාපයේ පළ වුණ ‘යෙහෝවා දෙවිව තේරුම්ගැනීමට හැකි හදවතක්!’ කියන ලිපිය කියෙව්වම යෙහෝවා දෙවිට ඕනෙ මට උදව් කරන්නයි කියලා මට දැනුණා.”

14. (අ) තමන් කරපු සටන ගැන පාවුල්ට හැඟුණේ කොහොමද? (ආ) දුර්වලකම් එක්ක කරන පොරබැදීම ජය ගන්න අපිට පුළුවන් කොහොමද?

14 රෝම 7:21-25 කියවන්න. වැරදි ආසාවන්ට, දුර්වලකම්වලට විරුද්ධව සටන් කරන එක කොච්චර අමාරුද කියලා පාවුල් අද්දැකීමෙන්ම තේරුම්ගත්තා. දෙවිට යාච්ඤා කරනවා නම් තමන් ගැන විශ්වාසය තියනවා වෙනුවට දෙවි මත රඳා ඉන්නවා නම් යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියනවා නම් ඒ සටන ජය ගන්න පුළුවන් කියලා පාවුල්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. පාවුල් වගේ අපිත් අපේ හැකියාව ගැන විශ්වාසය තියන්නේ නැතුව දෙවි මත රඳා ඉන්නවා නම් යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාසය තියනවා නම් අපේ දුර්වලකම් එක්ක කරන සටන ජය ගන්න පුළුවන්.

15. දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්නත් පීඩා විඳදරාගන්නත් දෙවි අපිට උදව් කරන්නේ කොහොමද?

15 යම් අභියෝගයක් එක්ක කාලයක් තිස්සේ අපිට පොරබදින්න දෙවි ඉඩහරින්න පුළුවන්. දෙවි ගැන අපිට කොච්චර විශ්වාසයක් තියෙනවද කියලා ඔප්පු කරන්න ඒක අවස්ථාවක්. උදාහරණෙකට ඔයාට, ඔයාගේ පවුලේ කෙනෙක්ට දරුණු අසනීපයක් හැදුණොත් නැත්නම් යම් අසාධාරණයකට මුහුණ දෙන්න වුණොත් ඔයා මොකද කරන්නේ? අපි මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරනවා නම් දෙවිට ළැදිව ඉන්නත් දෙවිත් එක්ක තියෙන බැඳීම දිගටම රැකගන්නත් උදව් කරන්න කියලා අපි දෙවිට කන්නලව් කරනවා. අපේ සතුට අහිමි කරගන්නේ නැතුව ඉන්න දෙවිගෙන් උදව් ඉල්ලනවා. (ෆිලි. 4:13) යාච්ඤාවෙන් හිතේ තියෙන දේ දෙවිට කියද්දී නොසැලී, දිගටම විඳදරාගන්න අවශ්‍ය ශක්තිය දෙවි දෙනවා කියලා හුඟදෙනෙක් අද්දැකලා තියෙනවා.

සටන අත්හරින්න එපා!

16, 17. ඔයාගේ අදිටන මොකක්ද?

16 දෙවිට ළැදිව ඉන්න කරන සටන අපි අත්හැරලා දානවා නම් සාතන් හරිම කැමතියි. ඒ නිසා “යහපත් දේ හඳුනාගෙන එය තදින් අල්ලාගන්න” අදිටන් කරගන්න. (1 තෙස. 5:21) සාතන්ට, දුෂ්ට සමාජයට, වැරදි ආසාවන්ට විරුද්ධව කරන සටන ජය ගන්න ඔයාට පුළුවන්. ඒත් ඒක කරන්න පුළුවන් වෙන්නේ ඔයාව ශක්තිමත් කරන්න, ඔයාට උදව් කරන්න දෙවිට පුළුවන් කියලා ඔයා මුළු හදවතින්ම විශ්වාස කරනවා නම් විතරයි.—2 කොරි. 4:7-9; ගලා. 6:9.

17 දිගටම සටන් කරන්න. අත් නෑර පොරබදින්න. නොසැලී විඳදරාගන්න. එහෙම කරනවා නම් “ඔබේ ගබඩා පිරී ඉතිරී යන තරමට ඔබට ආශීර්වාද කරන්නෙමි” කියලා දෙවි වුණ පොරොන්දුවේ ඉටු වීම ඔයා අද්දකියි.—මලා. 3:10.