Skip to content

පටුනට යන්න

“ඔබේ දෑත් සවිමත් කරගන්න”

“ඔබේ දෑත් සවිමත් කරගන්න”

“ඔබේ දෑත් සවිමත් කරගන්න.”—ශෙප. 3:16.

ගීතිකා: 81, 32

1, 2. (අ) අද ඉන්න හුඟක් අය මුහුණ දෙන අභියෝග මොනවද? ප්‍රතිඵලය මොකක්ද? (ආ) යෙසායා 41:10, 13 දෙන පොරොන්දුව මොකක්ද?

“නමස්කාරයට සම්බන්ධ හැම දේම මං පිළිවෙළකට කළත් නිතරම වගේ මං දේවල් ගැන හිතින් වද වුණා. අවුරුදු ගාණක්ම ඒ ප්‍රශ්නේ තිබුණා. ඒ කාලේ මට හරියට නින්ද ගියේ නෑ. මං ලෙඩ වුණා. අනිත් අයට මං සලකපු විදිහටත් ඒක බලපෑවා. සමහර වෙලාවට මට හැම දේම එපා වුණා.” එහෙම කිව්වේ වැඩිමහල්ලෙක් එක්ක විවාහ වෙලා ඉන්න, ස්ථාවර පුරෝගාමි සේවය කරන සහෝදරියක්.

2 ඒ සහෝදරියට හැඟුණා වගේ ඔයාටත් හැඟිලා තියෙනවද? අපි ජීවත් වෙන්නේ දුෂ්ට සමාජයක නිසා නිතරම ලොකු පීඩනයක් අපි අද්දකිනවා. ඒ නිසා අපිට කනස්සල්ලක් දැනෙයි. මානසිකව වැටෙයි. හරියට බෝට්ටුවකට නැංගුරම් දැම්මම ඒක ඉස්සරහට යන්නේ නැහැ වගේ කනස්සල්ල නිසා අපිටත් කිසි දෙයක් හරියට කරගන්න බැරි වෙන්න පුළුවන්. (හිතෝ. 12:25) කනස්සල්ලක් දැනෙන්නේ මොන වගේ හේතු නිසාද? ඔයා ආදරේ කරපු කෙනෙක් මිය ගිය නිසා ඔයාට ලොකු පාළුවක් දැනෙනවා ඇති. දරුණු අසනීපයක් නිසා ඔයා වේදනා විඳිනවා ඇති. විරුද්ධවාදිකම් නැත්නම් ආර්ථික ප්‍රශ්න නිසා ඔයා ලොකු පීඩනයකින් ඉන්නවා ඇති. ඒ විදිහට කාලයක් තිස්සේ හිතින් දුක් වෙද්දී ඔයාගේ ශක්තිය ටිකෙන් ටික අඩු වෙයි. සතුටත් අහිමි වෙයි. ඒත් යෙහෝවා දෙවි පොරොන්දු වෙලා තියෙන්නේ ඔයාට අත දීලා, ඔයාට ශක්තියක් වෙනවා කියලයි.—යෙසායා 41:10, 13 කියවන්න.

3, 4. (අ) බයිබලේ ‘අත’ කියන වචනය යොදාගෙන තියෙන්නේ මොනවා විස්තර කරන්නද? (ආ) අපි අධෛර්යය වෙන්නේ මොන වගේ හේතු නිසාද?

3 බයිබල් ලේඛකයන් යම් ගතිලක්ෂණ නැත්නම් යම් ක්‍රියාවක් විස්තර කරන්න ශරීරයේ අවයවයන් යොදාගත්ත තැන් හුඟක් තියෙනවා. උදාහරණෙකට කෙනෙක්ව ශක්තිමත් කරන්න, යම් වැඩක් කරන්න සූදානම් කරන්න කියන අදහස දෙන්න දෑත් සවිමත් කරන්න කියන යෙදුම මුල් භාෂාවේ පාවිච්චි කරලා තියෙනවා. (1 සාමු. 23:16; එස්රා 1:6) දේවල් දිහා හොඳ විදිහට බලනවා නැත්නම් අනාගතය ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා කියන අදහසත් ඒ යෙදුමට ඇතුළත් වෙන වෙලාවල් තියෙනවා.

4 තවත් අවස්ථාවලදී අධෛර්යය වුණ නැත්නම් බලාපොරොත්තු සුන් වුණ කෙනෙක්ව විස්තර කරන්න දුර්වල අත්, පහතට වැටුණ අත් කියන යෙදුම් මුල් භාෂාවේ පාවිච්චි කරලා තියෙනවා. (2 ලේක. 15:7; හෙබ්‍රෙ. 12:12) කෙනෙක් ලොකු පීඩනයක් අද්දකිද්දී, හෙම්බත් වෙලා ඉද්දී නැත්නම් යෙහෝවා දෙවිත් එක්ක තියෙන බැඳීම ටිකෙන් ටික දුර්වල වෙලා කියලා හැඟෙද්දී එයා කලකිරෙන්න පුළුවන්. ඔයා ඉන්නෙත් ඒ වගේ තත්වයක නම් ඔයාට අවශ්‍ය දිරිය ලැබෙන්නේ කොහෙන්ද? ඔයාගේ දෑත් සවිමත් කරගෙන සතුටින් සේවය කරන්නේ කොහොමද?

ඔයාට උදව් කරන්න දෙවිට බැරිද?

5. (අ) ප්‍රශ්න එද්දී අපිට කොහොම හැඟෙන්න පුළුවන්ද? ඒත් අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද? (ආ) අපි දැන් බලන්නේ මොනවා ගැනද?

5 ශෙපනියා 3:16, 17 කියවන්න. කරබාගෙන, අත් දෙක පහතට දාගෙන දුකෙන් ඉන්න කෙනෙක්ව හිතින් මවාගන්න පුළුවන්ද? ප්‍රශ්න එද්දී අධෛර්යය වෙනවා නම්, බය වෙනවා නම් අපිත් ඒ වගේ. ඒත් අපි එහෙම වෙන්න ඕනෙ නැහැ. මොකද අපේ ආදරණීය තාත්තා වන යෙහෝවා දෙවි අපිට කියන්නේ කනස්සල්ලට හේතු වෙන හැම බරක්ම ඔහුට දෙන්න කියලයි. (1 පේතෘ. 5:7) දෙවි ඊශ්‍රායෙල්වරුන්ට පෙන්නපු සැලකිල්ල අපිටත් පෙන්නනවා කියලා නිසැකයි. දෙවි එයාලගෙන් මෙහෙම ඇහුවා. “ඔබව බේරාගැනීමට යෙහෝවා දෙවිගේ හස්තය දිග මදි කියා ඔබ සිතනවාද?” (යෙසා. 59:1) දෙවිට ආදරේ කරන අයට උදව් කරන්න ඔහු හැම වෙලේම ලෑස්තියි. දැන් අපි සිද්ධීන් 3ක් බලමු. මොන අභියෝගයට මුහුණ දුන්නත් දෙවිගේ අරමුණට එකඟව වැඩ කරන්න දෙවි තම සෙනඟව ශක්තිමත් කරනවා කියලා ඒවාවලින් පැහැදිලි වෙනවා. ඒවා ඔයාට උදව් වෙන්නේ කොහොමද කියලත් බලන්න.

6, 7. අමලෙක්වරු එක්ක සටන් කරලා ඊශ්‍රායෙල්වරුන් ලබපු ජයග්‍රහණයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

6 ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ වහල්කමින් නිදහස් වෙලා වැඩි කල් යන්න කලින් අමලෙක්වරු එයාලා එක්ක යුද්දෙට ආවා. ඊශ්‍රායෙල්වරු මොකද කළේ? නිර්භීත කෙනෙක් වුණ යොෂුවාට මෝසෙස් කිව්වා ඊශ්‍රායෙල්වරුන්වත් අරගෙන යුද්දෙට යන්න කියලා. ඊටපස්සේ මෝසෙස් ආරොන්වයි, හූර්වයි එක්කගෙන ළඟ තිබුණ කන්දකට නැග්ගා. යුධ පිටියේ වෙන දේවල් ඒ කන්දට හොඳට පෙනුණා. එයාලා කන්දට නැග්ගේ අමලෙක්වරුන්ට තිබුණ බය නිසාද? කොහෙත්ම නැහැ.

7 කන්දට නැඟලා මෝසෙස් කරපු දේ ඊශ්‍රායෙල්වරුන්ට යුද්දේ ජය ගන්න උදව් වුණා. මෝසෙස් සැබෑ දෙවිගේ සැරයටිය අත් දෙකෙන්ම අල්ලගෙන ඒක අහස දිහාවට ඉස්සුවා. එහෙම කරද්දී අමලෙක්වරුන්ට විරුද්ධව සටන් කරන්න දෙවි ඊශ්‍රායෙල්වරුන්ට බලය දුන්නා. ඒත් මෝසෙස්ට එක දිගට අත් දෙක උස්සගෙන ඉන්න එක ලේසි වුණේ නැහැ. එයාගේ අත් පහතට වැටෙද්දී අමලෙක්වරුන් දක්ෂ විදිහට සටන් කරන්න පටන්ගත්තා. ඒ වෙලාවේ ආරොන් සහ හූර් ඉක්මනින්ම ‘එයාට ඉඳගන්න ගලක් දීලා එයාගේ දෙපැත්තේ ඉඳන් එයාට අත් ඔසවාගෙන ඉන්න උපකාර කළා. හිරු බැස යන තෙක් එයා තම අත් පහතට දැම්මේ නැහැ.’ දෙවි තම බලය දීලා ඊශ්‍රායෙල්වරුන්ට උදව් කරපු නිසා එයාලා අමලෙක්වරුන්ව පරාජය කළා.—නික්. 17:8-13.

8. (අ) ඉතියෝපීය හමුදාව යුදයට විරුද්ධව යුද්දෙට ආවාම ආසා රජ කළේ මොකක්ද? (ආ) එයාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

8 තම සෙනඟව බේරගන්න යෙහෝවා දෙවිගේ හස්තය දිග මදි නැහැ කියලා ආසා රජුගේ කාලෙදීත් දෙවි ඔප්පු කරලා පෙන්නුවා. ඉතියෝපියානු ජාතික සේරා දක්ෂ සෙබළු දසලක්ෂයක් එක්ක දෙවිගේ සෙනඟට විරුද්ධව යුද්දෙට ආවා. බයිබලේ සඳහන් වෙන හමුදාවන් අතරින් විශාලම හමුදාව ඒකයි. ඒ හමුදාව ආසා රජුගේ හමුදාවට වඩා දෙගුණයක් විතර වැඩියි. එයාලව දැකලා ආසා රජ බය වුණාද? කලබල වුණාද? දිනන්න බැහැ කියලා හිතුවද? නැහැ. එයා මුලින්ම කළේ දෙවිගෙන් උදව් ඉල්ලන එකයි. ඒ හමුදාව එක්ක යුද්ධ කරලා දිනන එක කරන්න බැරි දෙයක් කියලා සාමාන්‍ය හමුදාවකට හිතෙන්න පුළුවන්. ඒත් “දෙවිට සියල්ල කළ හැකියි.” (මතෙ. 19:26) දෙවි තම මහත් බලය යොදාගෙන ‘ආසා රජු ඉදිරිපිටදීම ඉතියෝපීය හමුදාව පරාජය කළා.’ ජීවිත කාලය පුරාම ‘මුළු හදවතින්ම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කළ’ ආසා රජ දෙවිගේ හස්තය කොච්චර බලවත්ද කියලා අද්දැක්කා.—2 ලේක. 14:8-13; 1 රාජා. 15:14.

9. (අ) යෙරුසලමේ පවුරු දැකලා නෙහෙමියා අධෛර්යය වුණාද? පැහැදිලි කරන්න. (ආ) නෙහෙමියාගේ යාච්ඤාවට දෙවි උත්තර දුන්නේ කොහොමද?

9 නෙහෙමියාගේ කාලෙත් දෙවිගේ සෙනඟ ඔහුගේ බලය අද්දැක්කා. සතුරන්ගේ තර්ජන නිසා යුදෙව්වරු යෙරුසලමේ පවුරු ගොඩනඟන එක අතරමඟ නවත්තලා දාලයි තිබුණේ. නගරේ අයට කිසිම ආරක්ෂාවක් තිබුණේ නැහැ. යුදෙව්වරු හිටියේ කලකිරිලා. ඒවා දැකලා නෙහෙමියාත් අධෛර්යය වුණාද? නැහැ. එයාත් මෝසෙස්, ආසා සහ දෙවිගේ අනිත් විශ්වාසවන්ත සේවකයන් වගේ හැම වෙලේම යෙහෝවා දෙවිව විශ්වාස කරලා වැඩ කරපු කෙනෙක්. මේ අවස්ථාවේදීත් නෙහෙමියා උදව් ඉල්ලලා දෙවිට යාච්ඤා කළා. දෙවි ඔහුගේ “අතිමහත් බලයෙන්” යුදෙව්වරුන්ව ශක්තිමත් කළා. (නෙහෙමියා 1:10; 2:17-20; 6:9 කියවන්න.) අදත් යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව ශක්තිමත් කරන්න තම මහත් බලය යොදාගන්නවා කියලා ඔයාට විශ්වාසද?

යෙහෝවා දෙවි ඔයාගේ දෑත් සවිමත් කරයි

10, 11. (අ) සාතන් අපිව අධෛර්යය කරන්න හදන්නේ කොහොමද? (ආ) යෙහෝවා දෙවි අපිව ශක්තිමත් කරන්නේ කොහොමද? (ඇ) දෙවිගේ ඉගැන්වීම්වලින්, පුහුණුවෙන් ඔයා ලබලා තියෙන්නේ මොන වගේ ප්‍රයෝජනද?

10 අපිව අධෛර්යය කරලා, දෙවිට කරන නමස්කාරය කඩාකප්පල් කරන්න ගන්න උත්සාහය සාතන් කවදාවත් අත්හරියි කියලා හිතන්න බැහැ. ආණ්ඩු, ආගමික නායකයන්, සත්‍ය ඉගැන්වීම් අත්හැරලා ගිය අයව පාවිච්චි කරලා සාතන් අපි ගැන බොරු පතුරුවනවා. අපිට තර්ජනය කරනවා. ඔහුට ඕනෙ දේවරාජ්‍යය ගැන දේශනා කරන එක නවත්තන්නයි. ඒත් තම බලයෙන් අපිව ශක්තිමත් කරන්න දෙවිට පුළුවන්. දෙවිට ඕනෙ ඒ දේ කරන්නයි. (1 ලේක. 29:12) ඒ නිසා සාතනුත්, ඔහුගේ දුෂ්ට සමාජයත් අපිට විරුද්ධව ගේන අභියෝගවලට මුහුණ දෙන්න දෙවිගේ බලය ඉල්ලන්න. (ගීතා. 18:39; 1 කොරි. 10:13) දෙවිගේ බලයෙන් ලියවුණ දේවවචනයෙන් ශක්තියක් ලබන්න. හැම මාසෙකම පළ වෙන බයිබලේ මත පදනම් ප්‍රකාශනවලින් ප්‍රයෝජන ගන්න. දේවමාලිගාව නැවත ගොඩනඟද්දී දෙවිගේ සෙනඟට ශක්තියක් වුණ සෙකරියා 8:9, 13 (කියවන්න.) සඳහන් වදන් අපිටත් දිරියක් නෙමෙයිද?

11 රැස්වීම්වලින්, සමුළුවලින්, විවිධ පාසැල්වලින් යෙහෝවා දෙවි අපිට උගන්වලා අපිව ශක්තිමත් කරනවා. ආදරෙන් පෙලඹිලා දෙවිට සේවය කරන්න, වැඩි සේවයක් කරන්න ඉලක්ක තියාගන්න, හැම වෙලාවෙම දෙවි කැමති විදිහට වැඩ කරන්න ඒවාවලින් ලැබෙන ඉගැන්වීම්, පුහුණුව අපිට උදව් වෙනවා. (ගීතා. 119:32) දෙවිගෙන් ඉගෙනගෙන ශක්තියක් ලබන්න තියෙන හැම අවස්ථාවක්ම ඔයා අගය කරනවද?

12. දිගටම ශක්තිමත්ව ඉන්න නම් අපි කරන්න ඕනෙ මොනවද?

12 අමලෙක්වරුන්ව, ඉතියෝපියානුවන්ව පරාජය කරන්න දෙවි ඊශ්‍රායෙල්වරුන්ට උදව් කළා. යෙරුසලමේ පවුරු නැවත ගොඩනඟන්න නෙහෙමියාටයි, යුදෙව්වරුන්ටයි දෙවි බලය දුන්නා. ඒ වගේ දෙවි අද අපිටත් උදව් කරනවා. කනස්සලු වීම්, විරුද්ධවාදිකම් මැද වුණත් අත් නෑර දේශනා කරන්න අවශ්‍ය ශක්තිය දෙවි අපිට දෙනවා. මිනිසුන් අපේ පණිවිඩය අහන්න අකමැති වුණත් අධෛර්යය නොවී සේවය කරන්න ඔහු අපිට බලය දෙනවා. (1 පේතෘ. 5:10) ඒත් යෙහෝවා දෙවි ආශ්චර්යයක් කරලා අපේ ප්‍රශ්න නැති කරයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. දෙවිගේ බලයෙන් ශක්තියක් ලබන්න අපි අපේ පැත්තෙනුත් වෑයමක් දරන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද? හැමදාම බයිබලේ කියවන්න. හැම රැස්වීමකටම හොඳින් සූදානම් වෙලා සහභාගි වෙන්න. පෞද්ගලික අධ්‍යයනය, පවුලේ නමස්කාරය නිතිපතා කරන්න. හැම කාරණයකදීම යාච්ඤා කරලා දෙවිගේ උදව් ඉල්ලන්න. අපිව ශක්තිමත් කරන්න, දිරිගන්වන්න දෙවි දීලා තියෙන ඒ දේවල් අපේ ජීවිතේ දෙවෙනි තැනට දාන්න අපි කිසිම දෙයකට ඉඩ නොදී ඉමු. ඒ දේවලින් එකක් හරි ඔයාට අතපසු වෙනවා කියලා හැඟෙනවා නම් දෙවිගෙන් උදව් ඉල්ලන්න. එතකොට ඒ දේවල් කරන්න ‘ඔයා තුළ ආශාවක් මෙන්ම පෙලඹීමක්’ ඇති කරන්න දෙවි තම බලය යොදාගන්න විදිහ ඔයා අද්දකියි.—ෆිලි. 2:13.

‘පහතට වැටී ඇති අත් ශක්තිමත් කරන්න’

13, 14. (අ) දුකෙන් හිටපු සහෝදරයෙක් දිරිමත් වුණේ කොහොමද? (ආ) අනිත් අයට දිරියක් වෙන්න අපිට පුළුවන් කොහොමද?

13 ලෝකෙ පුරාම ඉන්න දෙවිගේ සේවකයන් එක පවුලක් වගේ. අපිට ශක්තියක් වෙන්න ඒ වගේ විශාල පවුලක් දෙවි දුන්න එක ගැන මොන තරම් සතුටු වෙන්න ඕනෙද! පාවුල් කිව්වේ ‘පහතට වැටී ඇති අත්ද දුබල වී ඇති දණහිස්ද ශක්තිමත් කරන්න. ඔබේ පාදවලට ඍජු මාවත් සාදාගන්න’ කියලයි. (හෙබ්‍රෙ. 12:12, 13) මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් හුඟදෙනෙකුට සභාවේ අය ලොකු ශක්තියක් වුණා. අදත් එහෙමයි. බිරිඳගේ මරණයත් එක්කම එක සහෝදරයෙක්ට හුඟක් කටුක දේවලට මුහුණ දෙන්න වුණා. එයා මෙහෙම කියනවා. “තෝරලා බේරලා පීඩාවලට මුහුණ දෙන්න අපිට බැහැ. ඒවා එන්නේ කොයි මොහොතේද කියලා තීරණය කරන්නත් අපිට බැහැ. ප්‍රශ්නවලින් යටපත් වෙන්නේ නැතුව ඉන්න මට උදව් වුණේ යාච්ඤාවයි, පෞද්ගලික අධ්‍යයනයයි. සභාවේ අයගෙන් ලැබුණ උදව් මට ලොකු හයියක් වුණා. හැම වෙලේම යෙහෝවා දෙවි එක්ක කිට්ටු බැඳීමක් තියාගන්න එක කොච්චර වැදගත්ද කියලා මං තේරුම්ගත්තා.”

අනිත් අයට දිරියක් වෙන්න අපි හැමෝටම පුළුවන් (14 ඡේදය බලන්න)

14 සැරයටිය ඉහළට උස්සගෙන ඉන්න මෝසෙස්ට උදව් කරපු ආරොන් සහ හූර් එයාගේ දෑතට සවියක් වුණා. ඒ වගේ අනිත් අයට සවියක් වෙන්න පුළුවන් විදි ගැන හිතලා එයාලට උදව් කරන්න අපිත් සූදානමින් ඉන්න ඕනේ. සමහරු මහලු වයස, අසනීප, පවුලේ අයගේ විරුද්ධවාදිකම්, තනිකම, ආදරේ කරපු කෙනෙකුගේ මරණය නිසා ඉන්නේ ලොකු වේදනාවකින්. එහෙම අයට දිරියක් වෙන්න ඔයාට පුළුවන්ද? දෙවි අකමැති දේවල් කරන්න, දියුණුවේ හිණිපෙත්තටම නඟින්න අද සමාජය යෞවනයන්ට ලොකු බලපෑමක් කරනවා. ඒවාට විරුද්ධ වෙන්න එයාලට සවියක් වෙන්න ඔයාට පුළුවන්ද? (1 තෙස. 3:1-3; 5:11, 14) රැස්වීම්වලදී, සේවයේදී, කට්ටියක් එක්ක එකතු වෙලා කෑම වේලක රස බලද්දී, කාට හරි කෝල් එකක් දෙද්දී දිරිගන්වන්න අවස්ථාවන් හොයාගන්න.

15. ගොඩනංවන විදිහට කතා කරද්දී අනිත් අයට ඒක උදව්වක් වෙන්නේ කොහොමද?

15 ඉතියෝපීය හමුදාව පරාජය කරලා ආසා රජ විශිෂ්ට ජයක් ලැබුවට පස්සේ අනාගතවක්තෘ අෂරියා රජුවත් සෙනඟවත් දිරිගන්වමින් මෙහෙම කිව්වා. “දැන් ඔබ කරන දේවලට දෙවිගේ ආශීර්වාදය ලැබෙනවා. ඒ නිසා ඔබ අධෛර්යය නොවී ශක්තිමත් වන්න.” (2 ලේක. 15:7) ඒ දිරිගැන්වීම නිසා සැබෑ නමස්කාරය ආයෙත් පිහිටුවන්න ආසා රජ පියවර ගත්තා. ඒ වගේ ඔයාත් අනිත් අයව ගොඩනංවන විදිහට කතා කරනවා නම් නොසැලී දෙවිට සේවය කරන්න ඒ අයට හයියක් වෙන්න ඔයාටත් පුළුවන්. (හිතෝ. 15:23) රැස්වීම්වලදී ඔයා දිරිගන්වන විදිහට අදහස් ඉදිරිපත් කරද්දී සභාවේ අය ඒකෙන් ලොකු ශක්තියක් ලබනවා කියලා කවදාවත් අමතක කරන්න එපා.

16. නෙහෙමියාව ආදර්ශයට ගන්න වැඩිමහල්ලන්ට පුළුවන් කොහොමද? සහෝදර සහෝදරියන් ඔයාට දිරියක් වෙලා තියෙන්නේ කොහොමද කියලා කියන්න.

16 යෙහෝවා දෙවි නෙහෙමියාවත් යුදෙව්වන්වත් ශක්තිමත් කරපු නිසා දවස් 52කින් යෙරුසලමේ පවුරු ආපහු ගොඩනඟන්න එයාලට පුළුවන් වුණා. (නෙහෙ. 2:18; 6:15, 16) පවුරු ගොඩනඟද්දී නෙහෙමියාත් ඒ වැඩේට හවුල් වුණා. (නෙහෙ. 5:16) එයාව ආදර්ශයට ගන්න හුඟක් වැඩිමහල්ලන් නමස්කාර මධ්‍යස්ථාන හදද්දී, අලුත්වැඩියා කරද්දී, පිරිසිදු කරද්දී ඒ වැඩවලට හවුල් වෙනවා. කනස්සල්ලෙන් ඉන්න අයව බලන්න ගිහින්, එයාලා එක්ක එකට සේවයේ ගිහින් එයාලව ශක්තිමත් කරනවා.—යෙසායා 35:3, 4 කියවන්න.

“දෑත් සවිමත් කරගන්න”

17, 18. ප්‍රශ්න ආවත් කනස්සල්ලක් දැනුණත් අපිට නිසැක වෙන්න පුළුවන් මොකක් ගැනද?

17 සහෝදර සහෝදරියන් එක්ක එකතු වෙලා දෙවිට සේවය කරද්දී අපි අතරේ තියෙන එක්සත්කම වැඩි වෙනවා. නොබිඳෙන මිතුදම් ඇති කරගන්නත් දේවරාජ්‍යයෙන් ලැබෙන ආශීර්වාද ගැන අපිට තියෙන විශ්වාසය තව ශක්තිමත් කරගන්නත් ඒ එක්සත්කම උදව්වක්. අපි අනිත් අයට දිරියක් වෙද්දී දුෂ්කරතා විඳදරාගන්නත් දෙවිගේ පොරොන්දු ගැන බලාපොරොත්තුවෙන් ඉන්නත් එයාලට පුළුවන් වෙනවා. එහෙම කරද්දී ශක්තිමත් වෙන්නේ එයාලා විතරක් නෙමෙයි. ප්‍රශ්නවලින් යටපත් වෙන්නේ නැතුව දෙවිගේ පොරොන්දුවල ඉටු වීම දිහා බලාගෙන හැම දවසක්ම ගත කරන්න ඒක අපිටත් ලොකු ශක්තියක්.

18 අතීතයේ හිටපු දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ව යෙහෝවා දෙවි ශක්තිමත් කරපු විදිහ, එයාලව බලාගත්ත විදිහ ගැන හිතද්දී දෙවි ගැන අපිට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. ප්‍රශ්න එද්දී, කනස්සල්ලක් දැනෙද්දී හදවතේ තියෙන දේ දෙවිට කියන්න. දෙවි ඔහුගේ බලය දීලා ඔයාව ශක්තිමත් කරයි. දේවරාජ්‍යයේ පාලනය යටතේ ආශීර්වාද අද්දකින්න ඔයාට මඟ පෙන්වයි. (ගීතා. 73:23, 24) ඒ නිසා අධෛර්යය නොවී “ඔයාගේ දෑත් සවිමත් කරගන්න.”