Skip to content

පටුනට යන්න

ඔයා අඳින පළඳින විදිහෙන් දෙවිව ගෞරවයට පත් වෙනවාද?

ඔයා අඳින පළඳින විදිහෙන් දෙවිව ගෞරවයට පත් වෙනවාද?

“සියල්ල දෙවිගේ ප්‍රශංසාව හා ගෞරවය වෙනුවෙන් කරන්න.”—1 කොරි. 10:31.

ගීතිකා: 34, 61

1, 2. ඇඳුම් පැළඳුම් තෝරගද්දී සාක්ෂිකරුවන් දෙවිගේ උසස් ප්‍රමිති අදාළ කරගන්නේ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අඳින පළඳින විදිහ අනිත් අය නිතරම අගය කරනවා. උදාහරණෙකට ඕලන්ද පුවත්පතක ආගමික නායකයන්ගේ රැස්වීමක් ගැන විස්තර කරද්දී සඳහන් වුණේ “රැස්වීමට ආපු ආගමික නායකයන් ඇඳගෙන හිටියේ සාමාන්‍ය ගමන් බිමන් යද්දී අඳින ඇඳුම්” කියලයි. ඒත් සාක්ෂිකරුවන් එයාලගේ සමුළුවට සහභාගි වෙද්දී ඇඳලා හිටපු විදිහ ඊට වඩා හුඟක් වෙනස් කියලා ඒ පුවත්පතේම සඳහන් වුණා. සමුළුවට සහභාගි වුණ අය ඇඳලා හිටපු විදිහ ඒකේ විස්තර කළේ පිරිමි අය වගේම කාන්තාවනුත් පිළිවෙළට, විනීතව ඇඳලා හිටියා කියලයි. ඒත් එයාලා ඇඳලා හිටියේ පරණ තාලේ විලාසිතා නෙමෙයි කියලත් ඒ පුවත්පතේ සඳහන් වුණා. අඳින පළඳින විදිහෙන් “විනීතකමද හොඳ සිහිකල්පනාවකින් ක්‍රියා කරන ආකාරයද” දකින්න තියෙන්න ඕනෙ කියන ප්‍රතිපත්තිය දෙවිගේ සේවකයන් හිතට අරන් තියෙනවා කියලා ඒකෙන් පැහැදිලියි. (1 තිමෝ. 2:9, 10) ඒ ප්‍රතිපත්තිය ගැහැනු අයට වගේම පිරිමින්ටත් අදාළයි.

2 දෙවිගේ සේවකයන් වන අපි අඳින පළඳින විදිහ සැහැල්ලුවට ගන්නේ නැහැ. මොකද අපි නමස්කාර කරන යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන් අඳින පළඳින විදිහ ගැන සැලකිලිමත් කියලා අපි දන්නවා. (උත්. 3:21) ඇඳුම් පැළඳුම් ගැන බයිබලේ සඳහන් වෙන දේවලින් පැහැදිලියි විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවිට ඒ සම්බන්ධයෙන් උසස් ප්‍රමිතියක් තියෙනවා කියලා. ඒ නිසා අපි ඇඳුම් තෝරගද්දී අපේ කැමැත්ත ගැන විතරක් හිතනවා වෙනුවට අපි තෝරගන්න ඇඳුම් ගැන දෙවි සතුටු වෙයිද කියලත් හිතලා බලනවා.

3. ඊශ්‍රායෙල්වරුන්ට දෙවි දුන්න නීතියෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

3 ගැහැනු අයගේ විලාසිතා පිරිමි අයගේ විලාසිතාවන්ට එකතු කරන එක නැත්නම් පිරිමි අයගේ විලාසිතා ගැහැනු අයගේ විලාසිතාවන්ට එකතු කරන එක අද රැල්ලක් වෙලා. ඒත් ඒ ගැන යෙහෝවා දෙවිට හැඟෙන්නේ කොහොමද කියලා මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතියෙන් අපිට තේරුම්ගන්න පුළුවන්. කෙනෙක් ගැහැනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලා වෙනස පැහැදිලිව හඳුනගන්න බැරි වෙන විදිහට ඇඳුම් අඳින්න එපා කියලා නීතියේ තිබුණා. (ද්විතීය කතාව 22:5 කියවන්න.) එදා ඊශ්‍රායෙල්වරුන් වට වෙලා හිටියේ ඉවක් බවක් නැතුව අනාචාරයේ යෙදුණ ජාතීන්ගෙන් නිසා නීතියේ සඳහන් වුණ ඒ දේ එයාලට ආරක්ෂාවක් වුණා. ඒ වගේ විලාසිතා දෙවි පිළිකුල් කරපු හේතුවත් ඒකෙන් පැහැදිලි වුණා. අදත් දෙවි ඒ වගේ විලාසිතා අනුමත කරන්නේ නැහැ.

4. ඇඳුම් තෝරගද්දී ඥානවන්ත තීරණ ගන්න දෙවිගේ සේවකයන්ට උදව් වෙන්නේ මොනවද?

4 ඇඳුම් තෝරගද්දී ඥානවන්ත තීරණ ගන්න අපිට උදව් වෙන්නේ බයිබල් ප්‍රතිපත්ති. රට, සංස්කෘතිය, දේශගුණය මොකක් වුණත් ඒ ප්‍රතිපත්ති අපි හැමෝටම අදාළයි. අඳින්න සුදුසු, නුසුදුසු මොන වගේ ඇඳුම්ද කියලා දිග ලැයිස්තුවක් අපිට අවශ්‍ය නැහැ. බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන අපි කැමති ඇඳුම් තෝරගන්න අපිට පුළුවන්. දැන් අපි ඒ වගේ ප්‍රතිපත්ති කීපයක් බලමු. “දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත කුමක්ද කියා හොඳින් වටහාගන්න” ඒවා අපිට උදව් වෙනවා.—රෝම 12:1, 2.

‘දේවසේවකයෙක් වෙන්න සුදුසුයි’ කියලා පෙන්නමු

5, 6. අපි අඳින විදිහෙන් අනිත් අයට පැහැදිලි වෙන්න ඕනෙ මොකක්ද?

5 දෙවිගේ සේවකයන් මතක තියාගන්න ඕනෙ වැදගත් ප්‍රතිපත්තියක් 2 කොරින්ති 6:4 (කියවන්න.) තියෙනවා. අපි අඳින විදිහෙන් අපි මොන වගේ අයද කියලා අනිත් අයට පෙන්නනවා. හුඟක් වෙලාවට මිනිසුන් තව කෙනෙක්ව මනින්නේ එයාගේ පෙනුමෙන්. (1 සාමු. 16:7) අපි දෙවිගේ සේවකයන් කියන දේ හැම වෙලාවෙම මතක තියාගන්නවා නම් ඇඳුමක් තෝරගද්දී අපේ පහසුව, කැමැත්ත ගැන විතරක් හිතන්නේ නැහැ. ඒ වෙනුවට බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන ඇඟට හිර, ඇඟ පේන, අනිත් අයගේ හැඟීම් අවුස්සන විදිහේ ඇඳුම් තෝරගන්න එකෙන් අපි වළකිනවා. ඒ කියන්නේ ශරීරයේ වහගන්න ඕනෙ තැන් නිරාවරණය වෙන විදිහට, ඒවා කැපිලා පේන විදිහට අඳින්නේ නැහැ කියන එකයි. අපි අඳින විදිහ නිසා කෙනෙක් අපහසුතාවට පත් වෙනවා නම්, එයාට අහක බලාගන්න වෙනවා නම් ඒක සුදුසු නැහැ.

6 අපි පිරිසිදුව, පිළිවෙළකට, විනීතව ඇඳ පැළඳගෙන ඉද්දී විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවිගේ සේවකයන් හැටියට මිනිසුන් අපිව පිළිගන්න තියෙන ඉඩකඩ වැඩියි. අපි නමස්කාර කරන දෙවි ගැනත් ඔහුගේ සංවිධානය ගැනත් එයාලට ගෞරවයක් ඇති වෙයි. ඒ විතරක් නෙමෙයි ශුභාරංචියට සවන් දෙන්නත් එයාලා පෙලඹෙයි.

7, 8. විශේෂයෙන්ම අපි අපේ ඇඳුම් ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ මොන අවස්ථාවලදීද?

7 යෙහෝවා දෙවිවත් අපේ පණිවිඩයත් ගෞරවයට පත් වෙන විදිහට අඳින එක අපේ වගකීමක්. අපේ ශුද්ධ දෙවිට, සහෝදර සහෝදරියන්ට, දේශනා කරන මිනිසුන්ට අපි ආදරේ නම් අපි ඒ වගකීම බැරෑරුම් විදිහට සලකනවා. (රෝම 13:8-10) ඒ නිසා විශේෂයෙන්ම සේවයේ යද්දී, රැස්වීම්වලට යද්දී අපි අපේ ඇඳුම් ගැන සැලකිලිමත් වෙන එක වැදගත්. අපි “දෙවිට ගැඹුරු ගෞරවයක් හා භක්තියක්” පෙන්නන අය කියලා අපි අඳින විදිහෙන් පේන්න ඕනේ. (1 තිමෝ. 2:10) එක ප්‍රදේශයකට ගැළපෙන ඇඳුමක් තවත් ප්‍රදේශයකට නොගැළපෙන්න පුළුවන්. ඒත් අපි කොහේ ජීවත් වුණත් දෙවිගේ සේවකයන් විදිහට අපිට ඕනෙ අපි අඳින පළඳින විදිහෙන් අනිත් අයගේ හැඟීම් ගැන අපි සැලකිලිමත් කියලා පෙන්නන්නයි.

ඔයා ඇඳලා ඉන්න විදිහ දැක්කම මිනිසුන්ගේ හිතේ දෙවි ගැන ගෞරවයක් ඇති වෙයිද? (7 සහ 8 ඡේද බලන්න)

8 1 කොරින්ති 10:31 කියවන්න. සමුළුවලට සහභාගි වෙද්දී අපේ ඇඳුම් ඒ අවස්ථාවට ගැළපෙන, විනීත ඒවා වෙන්න ඕනේ. විලාසිතා ලෝකෙ අන්තයටම ගිය පහත් විලාසිතාවන් අපි අනුකරණය කරන්නේ නැහැ. සාක්ෂිකරුවන් විදිහට විනීතව ඇඳ පැළඳගෙන ඉන්න ඕනෙ සමුළු වෙලාවලදී විතරක් නෙමෙයි. සමුළුවට යද්දී එද්දී වගේම සමුළු දවස්වල අපි හෝටලයක නතර වෙනවා නම් එතනදීත් අපේ ඇඳුම් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ගෙදරට අඳින සැහැල්ලු ඇඳුම්වත් කිසි පිළිවෙළක් නැති ඇඳුම්වත් අඳින්නේ නැතුව ඉන්න අපි වගබලා ගන්න ඕනේ. එතකොට බය නැතුව අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා අපිව හඳුන්වලා දෙන්න පුළුවන්. අවස්ථාවක් ලැබුණොත් සාක්ෂි දරන්නත් අපිට පුළුවන්.

9, 10. ඇඳුම් තෝරගද්දී ෆිලිප්පි 2:4 තියෙන දේ ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි?

9 ෆිලිප්පි 2:4 කියවන්න. අපි අඳින විදිහ සහෝදර සහෝදරියන්ට කොහොම බලපායිද කියලා හිතලා බලන්න ඕනෙ ඇයි? ‘වේශ්‍යාකම් කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද සහමුලින්ම ඔබේ ශරීරයේ අවයවවලින් නැති කර දැමිය යුතුයි’ කියන උපදෙසට කීකරු වෙන්න දෙවිගේ සේවකයන් ලොකු වෑයමක් දරනවා. (කොලො. 3:2, 5) අනිත් අය දරන ඒ වෑයමට බාධාවක් වෙන්න කැමති නැති නිසා අපි අඳින විදිහ එයාලට කොහොම බලපායිද කියලා අපි හිතන්න ඕනේ. සමහරු දෙවි ගැන දැනගන්න කලින් ගත කරලා තියෙන්නේ අනාචාර ජීවිත. තවමත් එයාලා වැරදි ආශාවන් පාලනය කරගන්න ලොකු සටනක් කරනවා වෙන්න පුළුවන්. අපි අඳින ඇඳුම් ගැන සැලකිලිමත් වුණේ නැත්නම් බයිබලේ තියෙන උපදෙස් අදාළ කරගන්නත් වැරදි හැඟීම්වලට විරුද්ධව සටන් කරන්නත් ඒ අයට අමාරු වෙයි. (1 කොරි. 6:9, 10) එහෙම කරන්න අපි කවුරුත් කැමති නැහැ නේද?

10 දෙවිගේ සෙනඟ අතරේ තියෙන්නේ සුරක්ෂිත වාතාවරණයක්. අනාචාරයට මඟ පාදන දේවල් එයාලා අතරේ වෙන්නේ නැහැ කියන හැඟීම එයාලට තියෙනවා. අපි අඳින විදිහ ගැන සැලකිලිමත් වෙනවා නම් ඒ සුරක්ෂිත හැඟීමට දායක වෙන්න අපිටත් පුළුවන්. ඒ නිසා අපි රැස්වීම්වලට යද්දී, සුහද ආශ්‍රයන්වලට යද්දී අපේ ඇඳුම් අනිත් අයට කොහොම බලපායිද කියලා හිතන එක වැදගත්. අඳින්නේ මොන ඇඳුම්ද කියලා තීරණය කරන්න අපිට නිදහස තියෙනවා. ඒත් අනිත් අයට එයාලගේ සිතුවිලි, හැසිරීම, කතාබහ දෙවි බලාපොරොත්තු වෙන විදිහට පවිත්‍රව තියාගන්න උදව් වෙන විදිහේ ඇඳුම් අඳින එක අපේ වගකීමක්. (1 පේතෘ. 1:15, 16) අනිත් අයට ඇත්තටම ආදරේ කරන කෙනෙක් කවදාවත් “අවිනීතව හැසිරෙන්නේ නැහැ. තමාගේම වාසිය සොයන්නේ නැහැ.”—1 කොරි. 13:4, 5.

තැනට ගැළපෙන ඇඳුම්

11, 12. ඇඳුම් තෝරගද්දී සැලකිලිමත් වෙන්න ඕන මොන දේ ගැනද?

11 දෙවිගේ සේවකයන් ඇඳුම් තෝරගද්දී “සෑම කාරණයක් සඳහාද සෑම ක්‍රියාවක් සඳහාද නියමිත කාලයක් ඇත” කියන දේත් මනසේ තියාගන්නවා. (දේශ. 3:1, 17) කාලගුණය, ඍතු, අපි ජීවත් වෙන පරිසරය අනුව අපි අඳින විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඒ දේවලට අනුව දෙවිගේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නැහැ.—මලා. 3:6.

12 රස්නේ කාලෙට විනීතව, පිළිවෙළකට අඳින එක අභියෝගයක් වෙන්න පුළුවන්. ඒත් ඇඟෙන් වැඩි හරියක් පේන විදිහට, ඇඟටම ඇලුණු නැත්නම් පහසුව ගැන හිතලා ප්‍රමාණයෙන් ලොකු ඇඳුම් අඳින්නේ නැතුව ඉන්න අපි දරන වෑයම සහෝදර සහෝදරියන් හුඟක් අගය කරයි. (යෝබ් 31:1) නාන්න මුහුදු වෙරළට ගියත් පිහිනුම් තටාකයකට ගියත් අපි අඳින ඇඳුම් විනීත වෙන්න ඕනේ. (හිතෝ. 11:2, 20) අද හුඟදෙනෙක් ඒ වගේ වෙලාවලදී අඳින්නේ ඇඟේ වැඩි හරියක් පේන ඇඳුම්. ඒත් අපි අඳින ඇඳුම නිසා යෙහෝවා දෙවිට අගෞරවක් වෙනවා දකින්න අපි කැමති නැහැ.

13. ඇඳුම් තෝරගද්දී 1 කොරින්ති 10:32, 33 තියෙන ප්‍රතිපත්තිය මතකයේ තියාගන්න ඕනෙ ඇයි?

13 ඇඳුම් තෝරගද්දී අපි මතක තියාගන්න ඕන තව ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ අපි අඳින ඇඳුම නිසා අනිත් අයගේ හෘදය සාක්ෂියට බලපෑමක් වෙයිද කියලා හිතන එක. (1 කොරින්ති 10:32, 33 කියවන්න.) සභාවේ අයගේ වගේම දෙවිට සේවය නොකරන අයගේ හෘදය සාක්ෂියට බලපාන විදිහේ ඇඳුම් තෝරගන්න එකෙන් අපි වළකිනවා. පාවුල් මෙහෙම කිව්වා. “අප සියලුදෙනාගේ උත්සාහය විය යුත්තේ අපගේ අසල්වැසියාව සතුටු කිරීමයි. ඒ සඳහා ඔහුගේ යහපත ගැන සිතමින් ඔහුව ගොඩනැංවීමට කටයුතු කරමු.” මොකද “ක්‍රිස්තුස් පවා තමාගේම සතුට ගැන සිතුවේ නැහැ.” (රෝම 15:2, 3) යේසුස් ඔහුගේ පහසුව, කැමැත්ත ගැන හිතනවා වෙනුවට මුල් තැන දුන්නේ දෙවි සතුටු වෙන දේ කරන්නයි. අපිත් යේසුස්ව ආදර්ශයට ගන්නවා නම් යම් විලාසිතාවකට කැමති වුණත් ඒක ඇන්දොත් අපේ පණිවිඩයට සවන් දෙන අය අපහසුතාවට පත් වෙයි කියලා හිතෙනවා නම් අපි ඒක අඳින්නේ නැතුව ඉන්න තීරණය කරනවා.

14. දෙවිට ගෞරවයක් ගේන විදිහේ ඇඳුම් තෝරගන්න දරුවන්ව පුහුණු කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

14 බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න දරුවන්ව පුහුණු කරන වගකීම තියෙන්නේ දෙමාපියන්ට. තමන් වගේම තමන්ගේ දරුවනුත් අඳින්නේ දෙවි සතුටු වෙන විදිහටද කියන දේ ගැන දෙමාපියන් නිතරම සැලකිලිමත් වෙන එකත් ඒකට ඇතුළත්. (හිතෝ. 22:6; 27:11) දෙමාපියන් දෙවිගේ ප්‍රතිපත්ති අදාළ කරගෙන හොඳ ආදර්ශයක් වෙනවා නම් දෙවි ගැනත් ඔහුගේ ප්‍රතිපත්ති ගැනත් දරුවන්ගේ හිත්වල ගෞරවයක් ඇති වෙයි. අවස්ථාවට, තැනට ගැළපෙන ඇඳුම් තෝරගන්නේ කොහොමද, ඒවා මිල දී ගන්න පුළුවන් කොහෙන්ද කියලා දෙමාපියන් දරුවන්ට කියලා දෙන්න ඕනේ. යම් ඇඳුමකට හිත ඇදිලා යන නිසාම ඒක තෝරගන්නවා වෙනුවට ඒක ඇන්දොත් තමන් නමස්කාර කරන යෙහෝවා දෙවිට ගෞරවයක් ගේන්න පුළුවන් වෙයිද කියලා හිතන එකේ වැදගත්කම දරුවන් තේරුම්ගන්න ඕනේ.

දෙවිට ගෞරවයක් ගේන විදිහේ තීරණ ගන්න

15. ඇඳුම් සම්බන්ධයෙන් ඥානවන්ත තීරණ ගන්න අපිට උදව් වෙන්නේ මොනවද?

15 දෙවිට ගෞරවයක් ගේන විදිහේ ඇඳුම් පැළඳුම් තෝරගන්න බයිබලේ තියෙන වටිනා මඟ පෙන්වීම් අපිට උදව් වෙනවා. ඒ මඟ පෙන්වීම් අදාළ කරගෙන අපි කැමති විදිහේ විලාසිතා තෝරගන්න අපිට නිදහස තියෙනවා. අපි එක් එක් කෙනාගේ තේරීම් වෙනස් වෙන්න පුළුවන්. ඇඳුම් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් මුදල් ප්‍රමාණයත් වෙනස්. ඒත් අපේ ඇඳුම් හැම වෙලාවෙම පිළිවෙළකට, පිරිසිදුව, විනීතව තියෙන්න ඕනේ. අවස්ථාවට, අපි ජීවත් වෙන ප්‍රදේශයට ගැළපෙන්න ඕනේ.

16. පිළිවෙළකට අඳින්න අපි ගන්න උත්සාහය අපතේ යන්නේ නැත්තේ ඇයි?

16 අවස්ථාවට ගැළපෙන, විනීත ඇඳුම් හොයාගන්න එක ලේසි නැහැ. මොකද අද හුඟක් සාප්පුවල විකුණන්නේ ජනප්‍රිය විලාසිතාවන් විතරයි. ඒ නිසා විනීත සායවල්, ගවුම්, බ්ලවුස්, ඇඟට හිර නැති ෂර්ට්, කලිසම් හොයාගන්න ටිකක් මහන්සි වෙන්න වෙයි. කාලෙත් යයි. ඒත් විනීතව, අවස්ථාවට ගැළපෙන විදිහට අඳින්න අපි ගන්න උත්සාහය සභාවේ අය දකිද්දී එයාලට අපි ගැන අගයක් ඇති වෙයි. අපේ ඇඳුම් නිසා අපේ ආදරණීය දෙවිව ගෞරවයට පත් වුණා කියන හැඟීම හිතේ ඇති වෙද්දී අපි ගත්ත උත්සාහය අපතේ ගියේ නැහැ කියලා අපිට දැනෙයි.

17. මූණ පුරා රැවුල වවනවද නැද්ද කියන තීරණය ගන්න කලින් කෙනෙක් හිතන්න ඕනෙ මොන කාරණා ගැනද?

17 සහෝදරයෙක් මූණ පුරා රැවුල වැවුවට කමක් නැද්ද? මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතියට අනුව පිරිමි අය මූණ පුරා රැවුල වවන එක එදා අනිවාර්යය දෙයක්. ඒත් යේසුස්ගේ අනුගාමිකයන් ඉන්නේ ඒ නීතිය යටතේ නෙමෙයි. ඒ නිසා රැවුල වවන එක අනිවාර්යය නැහැ. (ලෙවී. 19:27; 21:5; ගලා. 3:24, 25) මූණ පුරා රැවුල වැව්වත් ඒක පිළිවෙළකට කපලා තියෙනවා නම් සමහර රටවල සංස්කෘතියට අනුව එහෙම කෙනෙක්ට යම් පිළිගැනීමක් තියෙනවා. එයා දිහා අමුතු විදිහට බලන්නේ නැහැ. අනිත් අයට දේශනා කරන්න ඒක එයාට බාධාවක් නෙමෙයි. ඒ විදිහට රැවුල වවපු සභාවේ වගකීම් දරන සමහර සහෝදරයනුත් ඉන්නවා. ඒ වගේ රටක ජීවත් වෙන සහෝදරයෙක් රැවුල වවන්නේ නැතුව ඉන්න තීරණය කරන්නත් පුළුවන්. (1 කොරි. 8:9, 13; 10:32) ඒත් තවත් රටවල, මූණ පුරා රැවුල වවන එක සලකන්නේ හරිම අසාමාන්‍ය දෙයක් හැටියට. දේවසේවකයෙක් ඒ විදිහට රැවුල වවලා ඉන්නවා දැක්කොත් එයාව කොහොමටවත් පිළිගන්නේ නැහැ. ඒ වගේ රටක ජීවත් වෙන සහෝදරයෙක් රැවුල වවන්න තීරණය කළොත් දෙවිට ගෞරවයක් ගේන්න තියෙන අවස්ථාව එයාට අහිමි වෙයි. එයාගේ පෙනුම නිසා අනිත් අය දෙවිගේ සෙනඟට දොස් කියන්න වුණත් ඉඩ තියෙනවා.—1 තිමෝ. 3:2, 7; රෝම 15:1-3.

18, 19. මීකා 6:8 තියෙන උපදෙස අපිට උදව් වෙන්නේ කොහොමද?

18 අඳින්න සුදුසු, නුසුදුසු මොන වගේ ඇඳුම්ද කියලා දිග ලැයිස්තුවක් දෙවි අපිට දීලා නැති එක ගැන අපි කොයි තරම් සතුටු වෙන්න ඕනෙද! බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන අපිට කැමති ඇඳුම් තෝරගන්න දෙවි නිදහස දීලා තියෙනවා. ඒ නිසා ඇඳුම් පැළඳුම්, අපේ පෙනුම ගැන තීරණ ගද්දී අපිට ඕනෙ නිහතමානීව දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙන්නයි කියලා පෙන්නන්න අපිට පුළුවන්.—මීකා 6:8.

19 යෙහෝවා දෙවි ශුද්ධ දෙවි කෙනෙක් කියලත් අපිට මඟ පෙන්වීම් දෙන්න පුළුවන් හොඳම කෙනා ඔහු කියලත් අපි නිහතමානීව පිළිගන්නවා නම් අපි ඔහුගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙනවා. අනිත් අයගේ හැඟීම්, අදහස් ගැන සැලකිලිමත් වෙන්න අපිට උදව් වෙන්නෙත් නිහතමානිකමයි.

20. අපි අඳින පළඳින විදිහෙන් පැහැදිලි වෙන්න ඕනෙ මොකක්ද?

20 අපි අඳින පළඳින විදිහෙන් අපි යෙහෝවා දෙවිගේ සේවකයන් කියන දේ පැහැදිලිව පේන්න ඕනේ. දෙවිගේ උසස් ප්‍රතිපත්තිවලට අපි කීකරු වෙන්නේ කැමැත්තෙන්මයි. පිළිවෙළට අඳින නිසා, හොඳ හැසිරීම නිසා දෙවිගේ සෙනඟව අනිත් අය අගය කරනවා. සමහරු බයිබලේ තියෙන පණිවිඩයට සවන් දෙන්න ඒ නිසා පෙලඹිලා තියෙනවා. දෙවි ඒ ගැන කොයි තරම් සතුටු වෙනවා ඇද්ද! ඇඳුම් පැළඳුම් තෝරගද්දී අපි ඥානවන්ත තීරණ ගන්නවා නම් “ගෞරවයෙන්ද තේජශ්‍රීයෙන්ද සැරසී සිටින” දෙවිව තව තවත් ගෞරවයට පත් කරන්න අපිට පුළුවන්.—ගීතා. 104:1, 2.