Skip to content

පටුනට යන්න

නොසැලෙන විශ්වාසයක් ඇති කරගන්න දරුවාට උදව් කරන්න

නොසැලෙන විශ්වාසයක් ඇති කරගන්න දරුවාට උදව් කරන්න

‘තරුණ තරුණියෙනි, යෙහෝවා දෙවිගේ නාමයට ප්‍රශංසා කරන්න.’—ගීතා. 148:12, 13.

ගීතිකා: 88, 115

1, 2. (අ) දෙමාපියන්ගේ ලොකුම අභියෝගය මොකක්ද? ඒක ජය ගන්න පුළුවන් කොහොමද? (ආ) මේ ලිපියෙන් බලන කරුණු 4 මොනවද?

“අපිට යෙහෝවා දෙවි ගැන විශ්වාසයක් තියෙනවා. ඒත් ඒ නිසාම දරුවන්ටත් දෙවි ගැන විශ්වාසයක් ඇති වෙන්නේ නැහැ. විශ්වාසය උපතින් එන දෙයක් නෙමෙයි. ඒක ටිකෙන් ටික ඇති කරගන්න ඕනෙ දරුවන්මයි.” එහෙම කිව්වේ ප්‍රංශයේ ඉන්න යුවළක්. තව සහෝදරයෙක් මෙහෙම කියනවා. “දරුවාගේ හිතේ දෙවි ගැන විශ්වාසයක් ඇති කරගන්න උදව් කරන එක තමයි දෙමාපියන්ට තියෙන ලොකුම අභියෝගේ. දරුවා අහපු ප්‍රශ්නෙකට එයාගේ හිතට දැනෙන විදිහට ඔයා උත්තර දුන්නා කියලා හිතෙයි. ඒත් එයා ඒ ප්‍රශ්නෙම ආයේ දවසක අහනවා. දරුවන් හිතන විදිහ දවස ගානේ වෙනස් වෙනවා. ඒ නිසා එකම දේ එක එක විදිවලින් ආයේ ආයේ එයාට කියලා දෙන්න වෙයි.”

2 දෙවිට ආදරේ කරන්නත් දිගටම විශ්වාසවන්තව ඉන්නත් දරුවාව පුහුණු කරන වගකීම ඉටු කරන්න අපිට පුළුවන් වෙයිද කියලා දෙමාපියන් විදිහට ඔයාලා හිතෙනවා ඇති. ඒක තනියෙන් කරන්න පුළුවන් දෙයක් කියලා හිතන්න එපා. (යෙරෙ. 10:23) ඒකට යෙහෝවා දෙවිගේ උදව් ඕනෙමයි. දරුවන්ට උගන්වන්න උදව් වෙන මඟ පෙන්වීම් හුඟක් දෙවි ඔයාලට දීලා තියෙනවා. ඒවාවලින් 4ක් ගැන දැන් බලමු. (1) දරුවාව හොඳින් තේරුම්ගන්න. (2) දෙවි ගැන ඔයාගේ හිතේ තියෙන විශ්වාසය, අගය දරුවාත් එක්ක බෙදාගන්න. (3) උදාහරණ පාවිච්චි කරන්න. (4) දෙවිගේ උදව් ඉල්ලන අතරේ දරුවාත් එක්ක ඉවසීමෙන් වැඩ කරන්න.

දරුවාව තේරුම්ගන්න

3. යේසුස් උගන්වපු විදිහ ආදර්ශයට ගන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

3 ගෝලයන් විශ්වාස කරන්නේ මොනවද කියලා යේසුස් නිතරම එයාලගෙන් ඇහුවා. (මතෙ. 16:13-15) ඔයාත් යේසුස්ව ආදර්ශයට ගන්න. දරුවෝ එක්ක කතා කරකර ඉද්දී, වැඩක් කරද්දී යම් කාරණා ගැන එයාලට හිතෙන, හැඟෙන දේ අහන්න. එයාලට තියෙන සැකයන් ගැන වුණත් නිදහසේ කියන්න ඉඩ දෙන්න. යෞවනයෙක් මෙහෙම කියනවා. “තාත්තා නිකම්ම දේවල් කියලා දෙනවා වෙනුවට ‘බයිබලේ මොනවද කියන්නේ? ඔයා ඒක පිළිගන්නවද? ඇයි පිළිගන්නේ’ කියලා නිතරම මගෙන් අහනවා. ඒවාට මමම හිතලා උත්තර දෙනවටයි තාත්තා කැමති. වයසින් වැඩි වෙද්දී විස්තර ඇතුව දේවල් පැහැදිලි කරන්න කියලා තාත්තා මට කිව්වා.”

4. දරුවන් අහන ප්‍රශ්නවලට ඉවසීමෙන් උත්තර දෙන්න ඕනෙ ඇයි? අද්දැකීම්වලින් ඒක පැහැදිලි වෙන්නේ කොහොමද?

4 දරුවා බයිබලේ තියෙන ඉගැන්වීමක් එකපාරටම විශ්වාස කළේ නැත්නම් කලබල වෙන්න එපා. එයාගේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න උදව් කරන්න. තාත්තා කෙනෙක් මෙහෙම කියනවා. “දරුවා ප්‍රශ්න අහද්දී ඇහුම්කන් දෙන්න. ඒවා මෝඩ ප්‍රශ්න කියලා හිතලා නැත්නම් එයා අහපු දේ ගැන එයාත් එක්ක කතා කරන්න අමාරුයි කියලා හිතලා උත්තර නොදී ඉන්න එපා.” දරුවෝ ප්‍රශ්න අහන එක හොඳ දෙයක්. ඒකෙන් පේන්නේ නොතේරෙන දෙයක් තේරුම්ගන්න එයාලට ඕනෙ කියලයි. යේසුත් පොඩි කාලේ ප්‍රශ්න ඇහුවා. (ලූක් 2:46 කියවන්න.) ඩෙන්මාර්කයේ ඉන්න යෞවනයෙක් මෙහෙම කියනවා. “‘මං මේ කල්පනා කරන්නේ ඇත්තටම අපි ඉන්නේ හරි ආගමේද’ කියලා දවසක් මං කිව්වා. ඒක අහලා අම්මායි තාත්තායි කලබල වුණේ නෑ. එයාලට ටිකක් දුක හිතෙන්න ඇති. ඒත් ඒක පෙන්නුවේ නෑ. මං අහපු හැම ප්‍රශ්නෙකටම බයිබලෙන් උත්තර දුන්නා.”

5. දරුවාට දෙවි ගැන විශ්වාසයක් තියෙනවා කියලා පේන්න තිබුණත් දෙමාපියන් කරන්න ඕනෙ මොකක්ද?

5 දරුවාව හොඳින් තේරුම්ගන්න. රැස්වීම්, සේවයේ යන නිසාම දරුවාට දෙවි ගැන ශක්තිමත් විශ්වාසයක් තියෙනවා කියලා හිතන්න එපා. යෙහෝවා දෙවි ගැන එයාට හැඟෙන්නේ කොහොමද, බයිබලේ ගැන එයා හිතන්නේ මොනවද කියලා දැනගන්න වෑයම් කරන්න. දෙවිට විශ්වාසවන්තව ඉන්න එයාට බාධාවක් වෙන දේවල් තියෙනවද කියලා දැනගන්න. හැමදාම දරුවාත් එක්ක දෙවි ගැන කතා කරන්න. එයාත් එක්ක දෙවිට යාච්ඤා කරන්න. ඔයාගේ පෞද්ගලික යාච්ඤාවලදීත් එයාට උදව් කරන්න කියලා දෙවිට කියන්න.

දෙවි ගැන ඔයාට තියෙන විශ්වාසය දරුවාත් එක්ක බෙදාගන්න

6. දරුවන්ට උගන්වන්න නම් දෙවි ගැන, බයිබලේ ගැන දෙමාපියන් දිගටම ඉගෙනගන්න ඕනෙ ඇයි?

6 යේසුස් යෙහෝවා දෙවිට හුඟක් ආදරේ කරපු නිසාත් ශුද්ධ ලියවිලි ගැන හොඳ දැනුමක් තිබුණ නිසාත් මිනිසුන්ගේ හිත්වලට කාවදින විදිහට උගන්වන්න ඔහුට පුළුවන් වුණා. ඔහුගේ ආදරේ දැනුණ නිසා මිනිසුන් ඔහුට ආසාවෙන් සවන් දුන්නා. (ලූක් 24:32; යොහ. 7:46) ඔයාත් දෙවිට ආදරෙයි කියලා දරුවා දකිද්දී එයාගේ හිතෙත් දෙවි ගැන ආදරයක් ඇති වෙයි. (ද්විතීය කතාව 6:5-8; ලූක් 6:45 කියවන්න.) ඔයා දිගටම බයිබලේ හොඳින් අධ්‍යයනය කරන්න. නිතිපතා අපේ ප්‍රකාශන කියවන්න. දෙවිගේ නිර්මාණ ගැන හොඳින් දැනුවත් වෙන්න. (මතෙ. 6:26, 28) දෙවි ගැන ඔයාට තියෙන දැනුම වැඩි වෙන තරමට දරුවාට හොඳින් උගන්වන්න ඔයාට පුළුවන්.—ලූක් 6:40.

7, 8. යෙහෝවා දෙවි ගැන ඔයා යම් දෙයක් ඉගෙනගද්දී කරන්න පුළුවන් මොකක්ද? සමහර දෙමාපියන් ඒක කළේ කොහොමද?

7 යෙහෝවා දෙවි ගැන යම් දෙයක් ඔයා ඉගෙනගත්තම ඒ ගැන දරුවාත් එක්ක කතා කරන්න. පවුලේ නමස්කාරයේදී, රැස්වීම්වලට සූදානම් වෙද්දී විතරක් නෙමෙයි එයාලා එක්ක ඉන්න ඕනෑම වෙලාවක ඒක කරන්න පුළුවන්. ඇමරිකාවේ ඉන්න යුවළක් පරිසරයේ තියෙන ලස්සන දෙයක් දැක්කම, රසවත් කෑමක් කද්දී දරුවන් එක්ක දෙවි ගැන කතා කරන්න අමතක කළේ නැහැ. “යෙහෝවා දෙවි අපිට දීලා තියෙන හැම දේකින්ම ඔහු අපිට කොච්චර ආදරේද, අපි ගැන කොච්චර හිතලා තියෙනවද කියලා දරුවන්ට තේරුම් කරන්නයි අපිට ඕන වුණේ” කියලා ඒ යුවළ කියනවා. තව යුවළක් එයාලගේ දුවලා දෙන්නා එක්ක වත්තේ වැඩ කරද්දී දෙවිගේ නිර්මාණ ගැන, උදාහරණෙකට පුංචි ඇටයකින් ලොකු ගහක් හැදෙන විදිහ කොච්චර පුදුමද කියලා කතා කළා. “ජීවිතේ කොච්චර වටින දෙයක්ද කියන හැඟීම දුවලගේ හිත්වල ඇති කරන්නයි අපි නිතරම උත්සාහ කළේ” කියලා එයාලා කියනවා.

8 ඕස්ට්‍රේලියාවේ ඉන්න තාත්තා කෙනෙක් එයාගේ පුතාත් එක්ක කෞතුකාගාරයක් බලන්න ගියා. හැම දේම නිර්මාණය කළේ දෙවි කියන දේ පුතාට කාවද්දන්න ඒක හොඳ අවස්ථාවක් කියලා තාත්තා හිතුවා. “කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කරලා තිබුණ වඳ වුණ මුහුදු ජීවීන්ව දැක්කම උන් කොච්චර ලස්සනද කියලා මට හිතුණා. උන්ගේ ශරීර සැකැස්මත් අද අපි දකින මුහුදු ජීවීන්ගේ සැකැස්ම වගේම සංකීර්ණයි. සරල සැකැස්මක් තිබුණ ජීවීන් පරිණාමය වෙලයි සංකීර්ණ ජීවීන් බිහි වුණේ කියන අදහස පිළිගන්නේ කොහොමද? මොකද ඈත අතීතයේ හිටපු ඒ ජීවීන්ටත් සංකීර්ණ සැකැස්මක් තිබුණා. ඒක මගේ හිතට තදින්ම කාවැදුණා. මං ඒක පුතාටත් කියලා දුන්නා.”

උදාහරණ පාවිච්චි කරන්න

9. උදාහරණ පාවිච්චි කරන එක ප්‍රයෝජනවත් ඇයි? අම්මා කෙනෙක් දරුවන්ට උගන්වන්න පාවිච්චි කළේ මොන වගේ ක්‍රමයක්ද?

9 යේසුස් උගන්වද්දී වටිනා පාඩම් කියලා දෙන්න උදාහරණ, කතන්දර පාවිච්චි කළා. (මතෙ. 13:34, 35) දරුවන්ට දේවල් සිතින් මවාගන්න හොඳ හැකියාවක් තියෙන නිසා උගන්වද්දී උදාහරණ පාවිච්චි කරනවා නම් ඒක හුඟක් ප්‍රයෝජනවත්. එතකොට උගන්වන දේ ගැන හිතන්න, ඒක තේරුම්ගන්න, මතක තියාගන්න දරුවාට ලේසියි. ඉගෙනගන්නත් ආස හිතෙයි. අවුරුදු 8 සහ 10 පුතාලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්ට ඕනෙ වුණා යෙහෝවා දෙවි වායු ගෝලය නිර්මාණය කරලා තියෙන්නේ අපි ගැන හුඟක් හිතලයි කියන දේ උගන්වන්න. ඒ නිසා අම්මා පුතාලට කරන්න පොඩි වැඩක් දුන්නා. සීනි, කිරි, කෝපි දීලා කිව්වා කෝපි එකක් හදලා දෙන්න කියලා. අම්මා මෙහෙම කියනවා. “එයාලා කෝපි එක හැදුවේ හරිම සැලකිල්ලෙන්. ඇයි එච්චර සැලකිල්ලක් පෙන්නුවේ කියලා ඇහුවම පුතාලා කිව්වේ ‘අපිට ඕනෙ වුණේ අම්මා ආසම විදිහට කෝපි එක හදන්න’ කියලයි. එතකොට මං එයාලට කිව්වා එක එක වායු වර්ග ඒ ඒ ප්‍රමාණවලින් තියන්න දෙවි සැලසුම් කළෙත් අපි ගැන හුඟක් හිතපු නිසයි කියලා.” ඒ පාඩම එයාලට කවදාවත් අමතක වුණේ නැහැ.

උදාහරණ පාවිච්චි කරලා නිර්මාණකරුවෙක් ඉන්නවා කියලා දරුවාට පැහැදිලි කරන්න (10 ඡේදය බලන්න)

10, 11. (අ) නිර්මාණකරුවෙක් ඉන්නවා කියන දේ දරුවාට පැහැදිලි කරන්න යොදාගන්න පුළුවන් උදාහරණේ මොකක්ද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) ඔයා පාවිච්චි කරලා තියෙන්නේ මොන වගේ උදාහරණද?

10 හැම දේම නිර්මාණය කරපු කෙනෙක් ඉන්නවා කියන දේ දරුවාට ඔප්පු කරන්න ඔයාට මෙහෙම කරන්න පුළුවන්. කේක් හදන විදිහ විස්තර කරන පොතක් බලලා දරුවාත් එක්ක එකතු වෙලා කේක් එකක් හදන්න. කේක් එක හොඳට එන්න නම් පොතේ කියන විදිහටම ඒක හදන්න ඕනෙ කියලා දරුවාට කියන්න. ඊටපස්සේ එයාට ඇපල් ගෙඩියක් දීලා ‘මේ ඇපල් ගෙඩිය හැදෙන්න ඕනෙ විදිහත් කොහේ හරි ලියලා තියෙනවද’ කියලා අහන්න. ගෙඩිය කපලා ඇපල් ඇටයක් පෙන්නලා ‘මෙන්න මේකේ තමයි ඇපල් ගෙඩිය හැදෙන විදිහ ලියලා තියෙන්නේ’ කියලා කියන්න. ඒත් කේක් හදන විදිහ විස්තර කරනවට වඩා හුඟක් විස්තර මේකේ තියෙනවා. ‘කේක් හදන විදිහ කවුරු හරි පොතේ ලිව්වා වගේ ඇපල් ගෙඩි හැදෙන හැටිත් කවුරු හරි මේකේ ලියන්න ඕනෙ නේද’ කියලා දරුවාගෙන් අහන්න. දරුවා ටිකක් වයසින් වැඩි කෙනෙක් නම් ඇපල් ගහක් හැදෙන්නත් ඒ ගහේ තව ගෙඩි හැදෙන්නත් අවශ්‍ය හැම තොරතුරක්ම DNAවල තියෙනවා කියලා පැහැදිලි කරන්න. ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ කියන සඟරාවේ 10-20 දක්වා පිටුවල තියෙන උදාහරණත් පින්තූරත් පාවිච්චි කරන්න.

11 හුඟක් දෙමාපියන් ‘පිබිදෙව්!’ සඟරාවේ එන “නිර්මාණයක්ද?” කියන ලිපිය දරුවන් එක්ක කියවනවා. දරුවා පුංචි නම් ඒකෙ තියෙන තොරතුරු එයාට තේරෙන විදිහට කියලා දෙන්න ඔයාට පුළුවන්. ඩෙන්මාර්කයේ ඉන්න යුවළක් කුරුල්ලෙක්වයි ප්ලේන් එකකුයි සසඳන ගමන් මෙහෙම ඇහුවා. “ප්ලේන් එකයි, කුරුල්ලයි එක වගේ වුණාට බිත්තර දාලා පැටව් හදන්න ප්ලේන් එකට පුළුවන්ද? පියාඹගෙන යන කුරුල්ලෙක්ට බිමට එන්න ඕනෙ වුණාම ප්ලෙන් එකකට වගේ විශේෂ තැනක් ඕනෙද? ප්ලේන් එකේ සද්දෙයි කුරුල්ලෙක්ගේ සද්දෙයි බලද්දී කොයි එකද වඩා හොඳ? ඔයා හිතන විදිහට ප්ලේන් එක හදපු කෙනාද දක්ෂ, කුරුල්ලව හදපු කෙනාද?” ඒ විදිහට ප්‍රශ්න අහද්දී දරුවා හිතන්න පුරුදු වෙනවා. ඒකෙන් “වටහාගැනීමේ හැකියාව” වැඩි වෙනවා. යෙහෝවා දෙවි ගැන තියෙන විශ්වාසයත් ශක්තිමත් වෙනවා.—හිතෝ. 2:10-12.

12. බයිබලේ තියෙන තොරතුරු නිවැරදියි කියලා දරුවාට පැහැදිලි කරන්න ඔයාට පුළුවන් කොහොමද?

12 බයිබලේ තියෙන තොරතුරු නිවැරදියි කියලා දරුවාට පැහැදිලි කරන්න ඔයාට බයිබලේම පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණෙකට යෝබ් 26:7 (කියවන්න.) දරුවාට ඇහෙන්න කියවන්න. ඒක ලියලා තියෙන්නේ දෙවිගේ මඟ පෙන්වීමෙන් කියලා නිකම්ම කියනවා වෙනුවට යෝබ්ගේ කාලේ මිනිසුන් විශ්වාස කරපු, නොකරපු දේවල් ගැන එයාට කියන්න. පොළොව වගේ විශාල දෙයක් කිසිම ආධාරකයක් නැතුව අවකාශයේ නිකම්ම තියෙනවා කියලා ඒ කාලේ හිටපු අය විශ්වාස කළේ නැහැ. දුරේක්ෂ, අභ්‍යවකාශ යානා ඒ කාලේ තිබුණේ නැති නිසා පොළොව තියෙන්නේ ආධාරකයක් උඩ නෙමෙයි කියලා කවුරුත් දැනගෙන හිටියේ නැහැ. ඒත් පොළොව ගැන බයිබලේ තියෙන දේ හරියටම හරි. මොකද ඒක ලියන්න මඟ පෙන්නුවේ යෙහෝවා දෙවියි.—නෙහෙ. 9:6.

බයිබලේ තියෙන මඟ පෙන්වීම්වල වටිනාකම පෙන්නන්න

13, 14. බයිබලේ තියෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න දරුවන්ට උගන්වන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

13 බයිබලේ තියෙන මඟ පෙන්වීම්වලට කීකරු වුණොත් සතුට අද්දකින්න පුළුවන් කියලා දරුවාට උගන්වන එක වැදගත්. (ගීතාවලිය 1:1-3 කියවන්න.) ඒක තේරුම් කරන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන්. දරුවාගෙන් මෙහෙම අහන්න. “පුතේ, හිතන්න ඔයාට ඈත දූපතකට ගිහින් ජීවත් වෙන්න වෙනවා කියලා. ඔයාත් එක්ක එහෙට යන්නේ කවුද කියලා තෝරන්න ඔයාට පුළුවන්. රණ්ඩු වෙන්නේ නැතුව හැමෝම සතුටින් ඉන්න නම් ඔයා තෝරන්නේ මොන වගේ අයවද?” ඊටපස්සේ දරුවාට ඇහෙන්න ගලාති 5:19-23 කියවලා පාරාදීසයේ ජීවත් වෙන්න යෙහෝවා දෙවි තෝරගන්නේ මොන වගේ අයවද කියලා පෙන්නන්න.

14 එහෙම කරද්දී දරුවාට වටිනා පාඩම් 2ක් කියලා දෙන්න ඔයාට පුළුවන්. (1) අනිත් අය එක්ක එකමුතුව ඉන්නත් ජීවිතේ සතුටින් ගත කරන්නත් දෙවි අපිට කියලා දෙනවා. (2) පාරාදීසයේ ජීවත් වෙන්න දැන් ඉඳන්ම දෙවි අපිව පුහුණු කරනවා. (යෙසා. 54:13; යොහ. 17:3) බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගෙන ප්‍රයෝජන ලබපු අයගේ අද්දැකීම් ගැනත් දරුවා එක්ක කතා කරන්න ඔයාට පුළුවන්. ‘මුරටැඹ’ සඟරාවේ පළ වෙන “ජීවිත වෙනස් කළ පොතක්” කියන ලිපිවල තියෙන අද්දැකීම් ඒකට පාවිච්චි කරන්න. බයිබල් ප්‍රතිපත්තිවලට කීකරු වෙලා ජීවිතේ වෙනස්කම් කරගත්ත කෙනෙක් සභාවේ ඉන්නවා නම් එයාගේ අද්දැකීම ඔයාලත් එක්ක බෙදාගන්න කියලා ආරාධනා කරන්න.—හෙබ්‍රෙ. 4:12.

15. දරුවාගේ හිතට දැනෙන විදිහට උගන්වන්න උදව් වෙන්නේ මොකක්ද?

15 දරුවාගේ හිතට දැනෙන විදිහට උගන්වන්න නම් හැමදාම එකම ක්‍රමය පාවිච්චි කරන්න එපා. එයාට උගන්වන්න එයා ආස කරන දේවල් පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියලා හිතන්න. එයාගේ වයසත් මනසේ තියාගන්න. එතකොට යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න එක එයාට රසවත් අද්දැකීමක් වෙයි. එයාගේ විශ්වාසයත් වැඩි වෙයි. හුරුපුරුදු තොරතුරු වුණත් අලුත් ක්‍රම පාවිච්චි කරලා උගන්වද්දී ඒක දරුවාගේ හිතට කාවදිනවා කියලයි එක තාත්තා කෙනෙක් කියන්නේ.

දෙවිගේ උදව් ඉල්ලන්න, ඉවසීමෙන් වැඩ කරන්න

16. දරුවන්ට උගන්වද්දී ඉවසීම තියෙන්නම ඕනෙ ඇයි? දෙමාපියන් ඉවසීමෙන් වැඩ කරලා තියෙන්නේ කොහොමද?

16 දරුවාගේ හිතේ ශක්තිමත් විශ්වාසයක් ඇති වෙන්න නම් දෙවිගේ බලයේ උදව් ඕනෙමයි. (ගලා. 5:22, 23) ඒත් ඒ වගේ විශ්වාසයක් ඇති කරගන්න යම් කාලයක් යනවා. ඒ නිසා දිගටම එයාලට උගන්වන්න නම් ඉවසීම තියෙන්නම ඕනේ. තාත්තා කෙනෙක් මෙහෙම කිව්වා. “අපි දරුවන් වෙනුවෙන් කාලේ දුන්නා. රැස්වීම් දවස්වලදී ඇරෙන්න අනිත් හැම දවසකම මං විනාඩි 15ක් බයිබලේ තියෙන දෙයක් ගැන එයාලත් එක්ක කතා කළා. එයාලා පුංචි කාලේ ඉඳන්ම මං ඒක කළා.” චාරිකා සේවකයෙක් මෙහෙම කිව්වා. “යෞවන කාලේ මගේ හිතට ආපු හැම ප්‍රශ්නයක්ම මම ඇහුවේ නැහැ. ඒත් හිතට ආපු හුඟක් ප්‍රශ්නවලට උත්තර මට රැස්වීම්වලින්, පවුලේ නමස්කාරයේදී, පෞද්ගලික අධ්‍යයනයේදී ලැබුණා. අත් නෑර දරුවන්ට උගන්වන එක කොච්චර වැදගත්ද!”

දරුවාට හොඳින් උගන්වන්න නම් දේවවචනය ගැන ඔයාට ලොකු ඇල්මක් තියෙන්න ඕනේ (17 ඡේදය බලන්න)

17. දෙමාපියන්ට ශක්තිමත් විශ්වාසයක් තියෙන එක වැදගත් ඇයි? යුවළක් එයාලගේ දුවලට ආදර්ශයක් වුණේ කොහොමද?

17 දරුවන්ගේ හිතේ ශක්තිමත් විශ්වාසයක් ඇති කරගන්න උදව් කරන්න නම් ඔයාට දෙවි ගැන ලොකු විශ්වාසයක් තියෙන්නම ඕනේ. ඔයා කරන කියන දේවල් දිහා දරුවා බලාගෙන ඉන්නවා කියලා මතක තියාගන්න. ඒ නිසා හැම දවසකම ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්න. යෙහෝවා දෙවි ඔයාට සැබෑ කෙනෙක් කියලා දරුවා දකින්න ඕනේ. බර්මියුඩාවේ ඉන්න යුවළකගේ අද්දැකීම බලන්න. ප්‍රශ්නෙකට මුහුණ දීලා ඉද්දී එයාලා දුවලා දෙන්නත් එක්ක දෙවිට යාච්ඤා කරලා උදව් ඉල්ලනවා. ඒ ගැන යාච්ඤා කරන්න කියලා දුවලටත් කියනවා. “ලොකු දුවට අපි නිතරම කියපු දෙයක් තමයි ‘දෙවිව සැක කරන්න එපා. ප්‍රශ්නේ ගැන වද වෙන්නේ නැතුව සේවයට මුල් තැන දෙන්න’ කියලා. එහෙම කරන එකේ ප්‍රයෝජන දකිද්දී දෙවි අපිට උදව් කරනවා කියලා එයාට දැනෙනවා. ඒකෙන් බයිබලේ ගැන, දෙවි ගැන එයාගේ විශ්වාසය පුදුම විදිහට ශක්තිමත් වුණා.”

18. දෙමාපියන් තේරුම්ගන්න ඕනෙ මොකක්ද?

18 දෙමාපියෙනි, දරුවාගේ හිතේ බලෙන් විශ්වාසයක් ඇති කරන්න ඔයාලට බැහැ. සත්‍ය බීජය පැළ කරලා ඒකට වතුර දාන්න ඔයාලට පුළුවන්. ඒත් වර්ධනය දෙන්න පුළුවන් යෙහෝවා දෙවිට විතරයි. (1 කොරි. 3:6) ඒ නිසා දෙවි ගැන දරුවාට කියලා දෙන්න ඔයාට පුළුවන් උපරිමය කරන්න. විශ්වාසය ඇති කරගන්න දරුවාට උදව් කරන්න කියලා දෙවිට කන්නලව් කරන්න. ඔයා දරන වෙහෙසට දෙවි අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි.—එෆී. 6:4.