Skip to content

පටුනට යන්න

පාලකයන් ඉදිරියේ ඔහු ශුභාරංචිය වෙනුවෙන් කතා කළා

පාලකයන් ඉදිරියේ ඔහු ශුභාරංචිය වෙනුවෙන් කතා කළා

‘මම මේ මිනිසාව විශේෂ අරමුණක් සඳහා තෝරාගෙන තිබෙනවා. ඔහු මගේ නාමය ගැන ජාතීන්ටත් රජවරුන්ටත් ප්‍රකාශ කරයි.’ (ක්‍රියා 9:15) යේසුස් ඒ කතා කළේ වෙන කවුරුත් ගැන නෙමෙයි නියෝජිත පාවුල් ගැනයි.

යේසුස් කියපු දේ ඉටු වුණා. පාවුල් ශුභාරංචිය වෙනුවෙන් කතා කරන්න සීසර්ගේ උසාවියෙත් පෙනී හිටියා. ඔයාටත් ඔයාගේ විශ්වාසයන් ගැන උසස් නිලධාරීන් ඉදිරියේ පැහැදිලි කරන්න වුණොත් ඔයාට කොහොම හැඟෙයිද? ඒ වගේ අවස්ථාවකදී පාවුල්ව ආදර්ශයට ගන්න පුළුවන්. (1 කොරි. 11:1) ඒ කාලේ තිබුණු නීතිය එයා දක්ෂ විදිහට පාවිච්චි කළා.

ඊශ්‍රායෙලයේ තිබුණේ දෙවි දුන්න නීතියයි. යුදෙව්වන් කොහේ ජීවත් වුණත් ඒ නීතිය පිළිපැද්දා. ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසින් පස්සේ දෙවිට නමස්කාර කරන අය ඒ නීතිය පිළිපදින්න අවශ්‍ය වුණේ නැහැ. (ක්‍රියා 15:28, 29; ගලා. 4:9-11) ඒත් පාවුල් ඇතුළු අනිත් ක්‍රිස්තියානීන් ඒ නීතිය පහත් කරලා කතා කළේ නැහැ. යුදෙව්වන්ට දේශනා කරන්න නීතිය එයාලට බාධාවක් වුණේ නැහැ. (1 කොරි. 9:20) පාවුල් හුඟක් වෙලාවට දේශනා කළේ සිනගෝගවලට ගිහින්. මොකද යුදෙව්වන් ඒ වෙද්දීත් ආබ්‍රහම්ගේ දෙවි ගැන දැනගෙන හිටියා. ඒ වගේම හෙබ්‍රෙව් ලියවිලිවලින් දේවල් තර්කානුකූලව එයාලට පැහැදිලි කරලා දෙන්නත් පුළුවන්කම තිබුණා.—ක්‍රියා 9:19, 20; 13:5, 14-16; 14:1; 17:1, 2.

නියෝජිතයන් දේශනා කිරීමේ කාර්යය සැලසුම් කරන්න පටන්ගත්තේ යෙරුසලමෙන්. එයාලා නිතරම වගේ දේවමාලිගාවට ගිහින් දේශනා කළා. (ක්‍රියා 1:4; 2:46; 5:20) ඉඳලා හිටලා පාවුලුත් යෙරුසලමට ගියා. ඒ වගේ අවස්ථාවකදී එයාව අත්අඩංගුවට ගත්තා. එදා පටන්ගත්ත නඩුව ඉවර වුණේ රෝමයෙන්.

පාවුල් රෝම නීතිය ප්‍රයෝජනයට ගත්තා

පාවුල් දේශනා කරපු දේවල් ගැන රෝම පාලකයන් දරන්න ඇත්තේ මොන වගේ අදහසක්ද? රෝමවරුන් එයාලගේ අධිරාජ්‍යය යටතේ හිටපු ජන පිරිස්වලට තම තමන්ගේ ආගම නිදහසේ අදහන්න අවසර දීලා තිබුණා. යම් ආගමක් නිසා දේශපාලන කටයුතුවලට, සමාජයේ පිළිගත් ප්‍රමිතිවලට තර්ජනයක් එල්ල වෙනවා නම් ඒ වගේ අවස්ථාවලදී පාලකයන් මැදිහත් වුණා.

රෝමවරුන් යුදෙව්වන්ට හුඟක් අයිතිවාසිකම් දීලා තිබුණා. ඒ ගැන පොතක මෙහෙම සඳහන් වුණා. ‘යුදෙව්වන්ට රෝම අධිරාජ්‍යය පුරාම ලොකු පිළිගැනීමක් තිබුණා. එයාලගේ ආගමික වත්පිළිවෙත් නිදහසේ කරන්න අවසර දීලා තිබුණා විතරක් නෙමෙයි රෝම දෙවි දේවතාවියන්ට නමස්කාර කරන එකත් අනිවාර්යය දෙයක් වුණේ නැහැ. යුදෙව්වන් ජීවත් වුණු ප්‍රදේශවල එයාලගේම නීතිය ක්‍රියාත්මක කරන්නත් අවසර තිබුණා.’ (Backgrounds of Early Christianity) ඒ වගේම හමුදා සේවයට බැඳෙන එක එයාලගෙන් බලාපොරොත්තු වුණේ නැහැ. * ශුභාරංචිය දේශනා කරන්න තියෙන අයිතිය තහවුරු කරන්න පාවුල් පාවිච්චි කළේ රෝම නීතියෙන් යුදෙව්වන්ට දීලා තිබුණු ඒ අයිතීන්මයි.

පාවුල්ගේ සතුරෝ සාමාන්‍ය ජනතාව සහ පාලකයන්ව එයාට විරුද්ධව උසිගන්වන්න විවිධ දේවල් කළා. (ක්‍රියා 13:50; 14:2, 19; 18:12, 13) පාවුල් “මෝසෙස්ට දෙන ලද නීතියට විරුද්ධ දෙයක් කිරීමට” උගන්වනවා කියලා යුදෙව්වන් අතරේ කටකතාවක් පැතිරෙනවා කියලා යෙරුසලමේ හිටපු වැඩිමහල්ලන්ට ආරංචි වුණා. ඒ කටකතාව නිසා පාවුල් දෙවි ඇති කරලා තියෙන සැලැස්මට විරුද්ධව වැඩ කරනවා කියලා අලුතින් ක්‍රිස්තියානීන් වුණු යුදෙව්වන් හිතන්න ඉඩ තිබුණා. ක්‍රිස්තියානීන් යුදෙව් ආගමට විරුද්ධව වැඩ කරන පිරිසක් හැටියට මන්ත්‍රණ සභාව තීන්දු කරන්නත් ඉඩ තිබුණා. ඒ වගේ දෙයක් වුණොත් ක්‍රිස්තියානීන්ගේ ඉගැන්වීම් පිළිගත්ත යුදෙව්වන්ට දඬුවම් කරන්න වගේම එයාලව සමාජයෙන් කොන් කරන්නත් ඉඩ තිබුණා. සිනගෝගවල, දේවමාලිගාවේ සාක්ෂි දරන එක තහනම් කරන්නත් තිබුණා. ඒ නිසා ඒ කටකතා බොරුයි කියලා ඔප්පු කරන්න වැඩිමහල්ලන් යම් යෝජනාවක් පාවුල්ට දුන්නා. යෝජනා කරපු දේ කරන එක දෙවි අලුතින් පිහිටවපු සැලැස්මට අනුව අනිවාර්යය දෙයක් නොවුණත් ඒකේ වරදක් තිබුණෙත් නැහැ.—ක්‍රියා 21:18-27.

“ශුභාරංචිය වෙනුවෙන් කතා කර එය ප්‍රකාශ කිරීමේ අයිතිය නීත්‍යනුකූලව තහවුරු කිරීමට” ඒ සිද්ධිය මඟ පෑදුවේ කොහොමද? (ෆිලි. 1:7) වැඩිමහල්ලන් යෝජනා කරපු විදිහට පාවුල් දේවමාලිගාවට ගියාම යුදෙව්වන් කෝලහලයක් ඇති කරලා එයාව මරන්න හැදුවා. එතනට ආපු රෝම හමුදාපති පාවුල්ව අත්අඩංගුවට ගත්තා. කසයෙන් පහර දෙන්න හදද්දී තමන් රෝම පුරවැසියෙක් කියලා පාවුල් කියපු නිසා එයාව සිසේරියට ගෙනියන්න තීරණය කළා. එහෙදී එයාට නොහිතපු විදිහට පාලකයන් ඉදිරියේ නිර්භීතව සාක්ෂි දරන්න අවස්ථාව උදා වුණා. ක්‍රිස්තියානීන්ගේ විශ්වාසයන් ගැන වැඩි අවබෝධයක් නොතිබුණු අයට ඒ ගැන තේරුම් කරලා දෙන්න ඒකෙන් පුළුවන් වුණා.

යුදයේ ආණ්ඩුකාරයා වුණු ෆීලික්ස් ඉදිරියේ පාවුල් ශුභාරංචිය වෙනුවෙන් කතා කරපු විදිහ ක්‍රියා 24 පරිච්ඡේදයේ තියෙනවා. පාවුල් රෝම නීතිය කඩ කරනවා කියලා පෙන්නන්න යුදෙව්වරු චෝදනා 3ක් එල්ල කළා. එයා යුදෙව්වරුන් අතර භේද ඇති කරනවා කියලත් නාසරෙත් නුවරෙන් බිහි වුණු නිකායේ ප්‍රධාන නියෝජිතයෙක් කියලත් දේවමාලිගාව අපවිත්‍ර කළා කියලත් චෝදනා කළා. (ක්‍රියා 24:5, 6) ඒ චෝදනා හරියි කියලා ඔප්පු වුණා නම් පාවුල්ට මරණ දණ්ඩනය හිමි වෙනවා.

ඒ චෝදනා හමුවේ පාවුල් වැඩ කරපු විදිහ අපිට ආදර්ශයක්. එයා කලබල වුණේ නැහැ. අනිත් අයට අගෞරවයක් වෙන විදිහට කතා කළේ නැහැ. මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතිය සහ අනාගතවක්තෘවරුන් කියපු දේවල් එයා විශ්වාස කරනවා කියලා පැහැදිලි කළා. එයාගේ “මුතුන්මිත්තන්ගේ දෙවිට” නමස්කාර කරන්න තියෙන අයිතිය ගැනත් කිව්වා. මොකද රෝම නීතියෙන් ඒක යුදෙව්වන්ට දීලා තිබුණු අයිතියක්. (ක්‍රියා 24:14) ඒ නඩු විභාගයෙන් පස්සේ ආණ්ඩුකාරයා වුණු ෆෙස්ටස් ඉදිරියෙත් හෙරොද් අග්‍රිපා රජු ඉදිරියෙත් පාවුල් පෙනී හිටියා. ඒ අය ඉදිරියෙත් තමන් විශ්වාස කරපු දේවල් වෙනුවෙන් එයා කතා කළා.

නඩුව සාධාරණ විදිහට විභාග කරනවා දකින්න ඕනෙ වුණු නිසා බලවත්ම පාලකයා වුණු “සීසර්ගෙන් තීන්දුවක් අවශ්‍යයි” කියලා පාවුල් කිව්වා.—ක්‍රියා 25:11.

සීසර්ගේ උසාවියේදී

“ඔබ සීසර් ඉදිරියේ පෙනී සිටිය යුතුයි” කියලා දේවදූතයෙක් පාවුල්ට කිව්වා. (ක්‍රියා 27:24) ඒ වෙද්දී රෝම අධිරාජ්‍යයා වුණේ නීරෝ. තමන් පෞද්ගලිකව හැම නඩුවක්ම විභාග කරන්නේ නැහැ කියලා පාලනය පටන්ගත්ත කාලෙදීම එයා කියලා තිබුණා. පාලනයේ මුල් අවුරුදු 8 ඇතුළතදී නඩු විභාග කරන්න එයා වෙන අයට පැවරුවා. පොතක සඳහන් වෙන විදිහට යම් නඩුවක් විභාග කරන්න නීරෝ තීරණය කළොත් එයා ඒ නඩුව ඇහුවේ එයාගේම මාලිගාවේ. බලතල තිබුණු, අද්දැකීම් ලත් උපදේශකයන් පිරිසක්වත් ඒකට හවුල් කරගත්තා.—The Life and Epistles of Saint Paul.

පාවුල්ගේ නඩුව නීරෝම විභාග කළාද නැත්නම් වෙන කෙනෙක්ව පත් කරලා ඒකේ වාර්තාව තමන්ට ඉදිරිපත් කරන්න කියලා නීරෝ කිව්වද කියලා බයිබලේ සඳහන් වෙන්නේ නැහැ. ඒ මොකක් වුණත් තමන් නමස්කාර කරන්නේ යුදෙව්වරුන්ගේ දෙවිටමයි කියලත් තමන් උගන්වන්නේ උසස් නිලධාරීන්ට ගෞරවය දෙන්න කියලත් ඒ නඩු විභාගයේදී පාවුල් පැහැදිලි කරන්න ඇති. (රෝම 13:1-7; තීත. 3:1, 2) උසස් නිලධාරීන් ඉදිරියේ ශුභාරංචිය වෙනුවෙන් කතා කරන්න පාවුල් දරපු උත්සාහය සාර්ථක වුණා. මොකද සීසර්ගේ උසාවියෙන් පාවුල්ව නිදහස් කළා.—ෆිලි. 2:24; ෆිලෙ. 22.

ශුභාරංචිය වෙනුවෙන් කතා කරන්න

යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙහෙම කිව්වා. “මා නිසා ඔබව ආණ්ඩුකාරයන් හා රජුන් ඉදිරියට ඇදගෙන යනු ලබයි. එය ඔවුන්ටත් ජාතීන්ටත් මා ගැන සාක්ෂි දරන්න ඔබට හොඳ අවස්ථාවක්.” (මතෙ. 10:18) ඒ විදිහට යේසුස්ව නියෝජනය කරන්න ලැබෙන එක මොන තරම් ආශීර්වාදයක්ද! ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන්න අපි වෑයම් කරද්දී නඩු ජය ගන්න අපිට පුළුවන් වෙයි. ඒත් මිනිසුන් දෙන තීන්දුවලින් දේශනා කිරීමේ අයිතිය 100%ක්ම තහවුරු වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. යුක්තිය හරියටම ඉටු වෙන්නේ දේවරාජ්‍යය පොළොව පාලනය කරන කාලේදියි.—දේශ. 8:9; යෙරෙ. 10:23.

අද අපිත් අපේ විශ්වාසයන් වෙනුවෙන් නිර්භීතව කතා කරද්දී ඒකෙන් දෙවිගේ නම ගෞරවයට පත් වෙනවා. ඒ වගේ අවස්ථාවකදී පාවුල් වගේ අපිත් උත්සාහ කරන්න ඕනෙ සන්සුන්ව, අවංකව, කාරණා තර්කානුකූලව පැහැදිලි කරන්නයි. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙහෙම සහතික වුණා. “ඔබ නිදොස් බව ඔප්පු කර පෙන්වන්නේ කෙසේද කියා සිතමින් කරදර වෙන්න එපා. මන්ද ඒ අවස්ථාවේදී මම ඔබට ප්‍රඥාවන්තව කතා කරන්න හැකියාව ලබා දෙනවා. ඒ නිසා ඔබ පවසන දේවලට විරුද්ධව දේවල් කියන්න ඔබට විරුද්ධව නැඟී සිටින අයට කොහොමටවත් බැරි වෙයි.”—ලූක් 21:14, 15; 2 තිමෝ. 3:12; 1 පේතෘ. 3:15.

රජවරුන්, ආණ්ඩුකාරයන්, උසස් නිලධාරීන් ඉදිරියේ අපේ විශ්වාසයන් වෙනුවෙන් කතා කරද්දී පහසුවෙන්ම මුණගැහිලා ශුභාරංචිය කියන්න බැරි අයටත් ඒ ගැන සාක්ෂි දරන්න අපිට අවස්ථාව උදා වෙනවා. අපිට පක්ෂව ලැබුණු සමහර නඩු තීන්දු නිසා නීති පවා වෙනස් කරලා තියෙනවා. ඒකෙන් කතා කිරීමේ නිදහස, නමස්කාර කිරීමේ නිදහස තහවුරු වෙලා තියෙනවා. ලැබෙන තීන්දුව මොකක් වුණත් විශ්වාසයන් වෙනුවෙන් නිර්භීතව කතා කරන්න දෙවිගේ සේවකයන් ගන්න උත්සාහය දකිද්දී යෙහෝවා දෙවි හුඟක් සතුටු වෙනවා.

විශ්වාසයන් වෙනුවෙන් නිර්භීතව කතා කරද්දී දෙවිගේ නම ගෞරවයට පත් වෙනවා

^ 8 ඡේ. ජේම්ස් පාක්ස් කියන ලේඛකයා මෙහෙම කියනවා. ‘යුදෙව්වන්ට එයාලගේ ආගමික වත්පිළිවෙත් කරගෙන යන්න අයිතියක් තිබුණා. ඒත් ඒක එයාලට විශේෂයෙන් දීපු අයිතියක් නෙමෙයි. සාමාන්‍යයෙන් අධිරාජ්‍යයේ විවිධ පළාත්වල හිටපු අයට නිදහසේ දේවල් කරන්න රෝමවරු ඉඩ දුන්නා. යුදෙව්වන්ට අයිතීන් ලබා දුන්නෙත් ඒ හේතුව මතයි.’