Skip to content

පටුනට යන්න

යෞවනයෙනි, ඔයාලගේ විශ්වාසය තව ශක්තිමත් කරගන්න

යෞවනයෙනි, ඔයාලගේ විශ්වාසය තව ශක්තිමත් කරගන්න

‘විශ්වාසය යනු තමන් විශ්වාස කරන දේ ඇසට නොපෙනුණත් ඒවා සැබෑ බවට ස්ථිර සාක්ෂි ඇති නිසා ඒවා නිසැකව පිළිගැනීමයි.’—හෙබ්‍රෙ. 11:1.

ගීතිකා: 41, 69

1, 2. සමහර යෞවනයන්ගේ මනසට එන ප්‍රශ්නේ මොකක්ද? බයිබලේ දෙන උපදෙස මොකක්ද?

“මෙච්චර මොළකාරයෙක් වෙලත් ඔයා දෙවිව විශ්වාස කරනවද” කියලා බ්‍රිතාන්‍යයේ ඉන්න සහෝදරියකගෙන් එයාගේ ඉස්කෝලේ ළමයෙක් ඇහුවා. ජර්මනියේ ඉන්න යෞවනයෙක් මෙහෙම කියනවා. “හැම දේම නිර්මාණය කරපු විදිහ ගැන බයිබලේ තියෙන වාර්තාව බොරුවක් කියලයි මගේ ටීචර්ස්ලා හිතන්නේ. එයාලා හිතන්නේ හැම ළමයෙක්ම පරිණාමවාදය විශ්වාස කරන්න ඕනෙ කියලා.” තව යෞවනියක් මෙහෙම කියනවා. “බයිබලේ විශ්වාස කරන ළමයි ඉන්නවද කියලා අපේ ටීචර්ස්ලා පුදුම වෙනවා.”

2 දෙවි අපිව නිර්මාණය කළා කියලා හුඟදෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. සමහරවිට ඔයා දෙවිට සේවය කරන යෞවනයෙක් වෙන්න ඇති. නැත්නම් දෙවි ගැන ඉගෙනගන්න කෙනෙක් වෙන්න ඇති. දෙවි අපිව නිර්මාණය කළා කියලා ඔප්පු කරන්න පුළුවන් කොහොමද කියලා ඔයාත් කල්පනා කරලා තියෙනවද? බයිබලේ අපිට උනන්දු කරන්නේ වැඩිදෙනෙක් විශ්වාස කරන නිසා දේවල් පිළිගන්න කියලා නෙමෙයි. අපි අහන, කියවන දේවල් ගැන හොඳට හිතලා ඒ දේවල ඇත්ත නැත්ත අවබෝධ කරගන්න කියලයි. “සිතීමේ හැකියාව ඔබව සුරකිනු ඇත” කියලා බයිබලේ කියනවා. අපේ විශ්වාසය දුර්වල කරන බොරු මතවලට රැවටෙන්නේ නැතුව ඉන්න සිතීමේ හැකියාව ඔයාට උදව් වෙයි.—හිතෝපදේශ 2:10-12 කියවන්න.

3. මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 යෙහෝවා දෙවි ගැන නොසැලෙන විශ්වාසයක් ඇති කරගන්න නම් ඔහුව හොඳින් දැන හඳුන ගන්න ඕනේ. (1 තිමෝ. 2:4) බයිබලේ, අපේ ප්‍රකාශන කියවද්දී උඩින් පල්ලෙන් කියවන්නේ නැතුව කියවන දේ ගැන හොඳට හිතන්න. තේරුම්ගන්න උත්සාහ කරන්න. (මතෙ. 13:23) ඒ විදිහට අධ්‍යයනය කරද්දී දෙවි අපේ නිර්මාතෘ කියලත් බයිබලේ දෙවිගේ වචනය කියලත් සාක්ෂි ඇතුව පිළිගන්න ඔයාට පුළුවන්. දැන් අපි ඒ ගැන බලමු.—හෙබ්‍රෙ. 11:1.

ඔයාගේ විශ්වාසය වැඩි කරගන්න

4. පරිණාමවාදය විශ්වාස කරන කෙනෙක් සහ දෙවි ගැන විශ්වාස කරන කෙනෙක් අතර තියෙන සමානකම මොකක්ද? ඒ නිසා මොකක් කරන එක වැදගත්ද?

4 “මං පිළිගන්නේ පරිණාමවාදය. විද්‍යාඥයන් කියන්නේ ඒක ඇත්තක් කියලා. ඒත් කවුරුත් දැකලා නැති දෙවි කෙනෙක්ව කොහොමද ඔයා විශ්වාස කරන්නේ” කියලා සමහරු ඔයාට කියයි. ඇත්ත, අපි දෙවිව කවදාවත් දැකලා නැහැ. දෙවි යම් නිර්මාණයක් කරනවා දැකලත් නැහැ. (යොහ. 1:18) ඒත් පරිණාමවාදය පිළිගන්න අයත් විශ්වාස කරන්නේ එයාලා කවදාවත් දැකලා නැති දෙයක් නේද? ජීවියෙක් පරිණාමය වෙලා තවත් වර්ගයක ජීවියෙක් වෙනවා කිසිම විද්‍යාඥයෙක්වත් කිසිම මිනිසෙක්වත් දැකලා නැහැ. උදාහරණෙකට උරගයෙක් පරිණාමය වෙලා ක්ෂීරපායි සතෙක් වෙනවා කවුරුවත් දැකලා තියෙනවද? (යෝබ් 38:1, 4) ඒ නිසා දෙයක් විශ්වාස කරන්න කලින් ඒ ගැන තොරතුරු හොයලා, ඒවා ගැන හොඳින් හිතන්න. ඊටපස්සේ ඒකෙන් ඔප්පු වෙන්නේ මොකක්ද කියලා ඔයාම තීරණයකට එන්න. පරිසරයේ තියෙන දේවල් නිරීක්ෂණය කරපු හුඟක් අය තේරුම් අරන් තියෙනවා දෙවි කෙනෙක් ඉන්නවා කියලා. දෙවි හැම දේම නිර්මාණය කළා කියලත් ඔහු බලවත් කෙනෙක් කියලත් ඔහුට ලස්සන ගතිලක්ෂණ තියෙනවා කියලත් එයාලට පැහැදිලි වෙලා තියෙනවා.—රෝම 1:20.

සංවිධානය දීලා තියෙන දේවල් පාවිච්චි කරනවා නම් ඔයාගේ විශ්වාසයන් ගැන අනිත් අයට පැහැදිලි කරන්න පුළුවන් (5 ඡේදය බලන්න)

5. අවට ලෝකය ගැන තොරතුරු හොයන්න අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් මොනවද?

5 පරිසරයේ තියෙන දේවල් දිහා හොඳට බලලා, ඒවා ගැන කාලය අරන් කල්පනා කරද්දී ඒ හැම දේටම පුදුම සැලැස්මක් තියෙනවා කියලා ඔයාට තේරෙයි. ඒවා කවුරු හරි නිර්මාණය කළා කියලා ස්ථිර වෙයි. නිර්මාතෘව දැකලා නැතත් “අපි තුළ ඇති විශ්වාසය නිසා” ඔහු ඇත්තටම ඉන්නවා කියලා ‘වටහාගන්න’ අපිට පුළුවන්. ඔහු ලස්සන පෞද්ගලිකත්වයක් තියෙන, ප්‍රඥාවන්ත කෙනෙක් කියලත් ඔයාට තේරෙයි. (හෙබ්‍රෙ. 11:3, 27) විද්‍යාඥයන් හොයාගෙන තියෙන දේවල් ගැන අධ්‍යයනය කළොත් නිර්මාණකරු ගැන තව හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ඒ වගේ තොරතුරු අධ්‍යයනය කරන්න ‘දෙවිව ගෞරවයට පත් කරන විස්මිත නිර්මාණ’ කියන වීඩියෝ එක, ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’ සහ ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ කියන සඟරා, ‘ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?’ කියන පොත උදව් වෙයි. ඒ වගේම ප්‍රවීණයන් එක්ක කරපු සාකච්ඡාවන් ‘පිබිදෙව්!’ සඟරාවේ පළ වෙනවා. කලින් විශ්වාස නොකළත් දැන් එයාලා දෙවිව විශ්වාස කරන්නේ ඇයි කියලා ඒ ලිපිවල කතා කරනවා. “නිර්මාණයක්ද?” කියන ලිපි මාලාවේ විවිධ සතුන්ට, පරිසරයේ තියෙන වෙනත් දේවලට කොයි තරම් පුදුම සැකැස්මක් තියෙනවද කියලත් ඒවා අනුකරණය කරන්න විද්‍යාඥයන් ගන්න උත්සාහය ගැනත් සඳහන් වෙනවා. ඒ වගේ ලිපිත් ප්‍රයෝජනයට ගන්න.

6. අපේ ප්‍රකාශන ඔයාට ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ කොහොමද?

6 කලින් සඳහන් කරපු සඟරා ගැන යෞවනයෙක් කිව්වේ මෙහෙමයි. “ඒවාවල වටිනාකම කියලා නිම කරන්න බැහැ. මං ඒ සඟරා 10 පාරකට වඩා අධ්‍යයනය කළා.” ප්‍රංශයේ ඉන්න යෞවනියක් මෙහෙම කියනවා. “‘නිර්මාණයක්ද?’ කියන ලිපි කියවද්දී මට පුදුම හිතෙනවා. පරිසරයේ තියෙන දේවල් කොච්චර සංකීර්ණද කියනවා නම් ඉංජිනේරුවන් ඒවා අනුකරණය කරන්න හැදුවට 100%ක්ම ඒක කරන්න බැහැ.” යෞවන වයසේ දුවෙක් ඉන්න යුවළක් මෙහෙම කියනවා. “‘පිබිදෙව්!’ සඟරාව අතට ගත්ත ගමන් දුව කියවන්නේ ‘පිළිසඳරක්’ කියන ලිපිය.” නිර්මාණකරුවෙක් ඉන්නවා කියන්න තියෙන සාක්ෂි හොයාගන්නත් බොරු මත ප්‍රතික්ෂේප කරන්නත් ඒ ප්‍රකාශන ඔයාට උදව් වෙයි. ඒ විදිහට තොරතුරු හොයද්දී ඔයාගේ විශ්වාසයත් හරියට ඕනම සැඩ සුළඟකට ඔරොත්තු දෙන, ගැඹුරට මුල් ඇදපු ගහක් වගේ වෙයි.—යෙරෙ. 17:5-8.

බයිබලය ගැන ඔයාගේ විශ්වාසය

7. ඔයා හිතලා බලලා දේවල් පිළිගන්නවා දකින්න දෙවි කැමැති ඇයි?

7 ‘බයිබලේ තියෙන දේවල් විශ්වාස කරන්න මට පුළුවන්ද’ කියලා ඔයාටත් හිතිලා තියෙනවද? එහෙම හිතෙන එකේ වරදක් නැහැ. මොකද යෙහෝවා දෙවිට ඕනෙ අනිත් අය පිළිගන්න නිසාම අපි දේවල් පිළිගන්නවා දකින්න නෙමෙයි. ඔහුට ඕනෙ ඔයා බයිබලේ තියෙන දේවල් හොඳින් ඉගෙනගෙන ඒක දෙවිගෙන්ම ලැබුණ පොතක් කියලා සාක්ෂි ඇතුව පිළිගන්නවා දකින්නයි. ඒ කියන්නේ දේවල් ගැන ඔයා ‘බුද්ධිමත්ව’ හිතනවටයි ඔහු කැමති. ඔයා බයිබලේ අධ්‍යයනය කරන තරමට ඒක විශ්වාස කරන්න සාක්ෂිත් ඔයාට හම්බ වෙයි.—රෝම 12:1, 2; 1 තිමෝති 2:4 කියවන්න.

8, 9. (අ) සමහරු අධ්‍යයනය කරන්න තෝරගන්නේ මොන වගේ කරුණුද? (ආ) අධ්‍යයනය කරන දේ ගැන හොඳින් හිතන එක සමහරුන්ට ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ කොහොමද?

8 සමහරු ආසයි බයිබලේ තියෙන අනාවැකි ගැන අධ්‍යයනය කරන්න. එහෙම නැත්නම් එයාලා කැමතියි බයිබලේ තියෙන වාර්තා ඉතිහාසඥයන්, විද්‍යාඥයන්, පුරාවිද්‍යාඥයන් කියන දේවල් එක්ක සසඳලා බලන්න. උදාහරණෙකට උත්පත්ති 3:15 තියෙන අනාවැකිය බලන්න. දෙවි ඒ අනාවැකිය කිව්වේ මුල් යුවළ දෙවිටත් ඔහුගේ පාලනයටත් විරුද්ධව කැරලිගහලා වැඩි කල් යන්න කලින්. පාලනය කරන්න සුදුසුම කෙනා යෙහෝවා දෙවියි කියන කාරණය දේවරාජ්‍යය මාර්ගයෙන් ඔප්පු කරන්නේ කොහොමද කියලත් මිනිසුන් අද්දකින හැම ප්‍රශ්නයක්ම දෙවි විසඳන්නේ කොහොමද කියලත් අපිට තේරුම්ගන්න උදව් වෙන මුල්ම අනාවැකිය ඒකයි. ඒ අනාවැකිය ගැන අධ්‍යයනය කරන්න ඔයාට පුළුවන් කොහොමද? ඔයාට පුළුවන් කාල රේඛාවක් අඳින්න. ඒ අනාවැකිය ඉටු වෙන විදිහ ගැන සඳහන් වෙන බයිබල් පද ඒකේ ලියන්න. ඒ තොරතුරු ලියපු අය හිටියේ විවිධ කාලවල වුණත් ඒ එක් එක් කෙනා ඒකේ ඉටු වීම තේරුම්ගන්න උදව් වෙන තොරතුරු ටිකෙන් ටික එළිදරව් කරපු විදිහ එතකොට ඔයාට පැහැදිලි වෙයි. බයිබලේ ලිව්වේ දෙවිගේ මඟ පෙන්වීමෙන් කියන දේට ඒ අනාවැකිය හොඳ සාක්ෂියක්.—2 පේතෘ. 1:21.

9 තවත් අය බයිබලේ එක් එක් පොත්වල දේවරාජ්‍යය ගැන සඳහන් වෙන තොරතුරු අධ්‍යයනය කරනවා. එහෙම කරපු සහෝදරයෙක් කිව්වේ “එක එක කාලවල හිටපු, එකිනෙකාව අඳුරන්නේ නැති ලේඛකයෝ 40දෙනෙක් විතර බයිබලේ ලිව්වත් දේවරාජ්‍යය ගැන තියෙන තොරතුරු එකකට එකක් සම්බන්ධ වෙන විදිහ හරිම පුදුමයි” කියලයි. ඕස්ට්‍රේලියාවේ ඉන්න සහෝදරියක් 2013 දෙසැම්බර් 15 ‘මුරටැඹ’ කලාපයේ පාස්කු උත්සවය ගැන පළ වුණ ලිපිය අධ්‍යයනය කළා. පාස්කුව උත්පත්ති 3:15ට සහ ගැලවුම්කරුට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා ඒකෙන් එයා තේරුම්ගත්තා. එයා මෙහෙම කියනවා. “ඊශ්‍රායෙල්වරුන්ට පවත්වන්න කියපු පාස්කුවට සම්බන්ධ හැම දේම යේසුස් මාර්ගයෙන් ඉටු වෙන්න සලස්වපු විදිහ ගැන හිතද්දී මට දෙවි ගැන ඇති වුණේ පුදුම විශ්වාසයක්. අපිට පේනවට වඩා කොච්චර ලොකු අර්ථයක් පාස්කුව පිටිපස්සේ තියෙනවද!” ඒ වගේ අගයක් එයාට ඇති වුණේ ඇයි? ඒ එයා කියවපු දේ ගැන හොඳින් කල්පනා කරලා ඒක තේරුම්ගත්ත නිසයි. එයාගේ විශ්වාසය තව ශක්තිමත් කරගන්න ඒක උදව් වුණා .—මතෙ. 13:23.

10. බයිබල් ලේඛකයන්ගේ අවංකකම නිසා බයිබලේ ගැන තියෙන විශ්වාසය වැඩි වෙන්නේ කොහොමද?

10 බයිබල් ලේඛකයන්ගේ අවංකකම ගැන හිතන එකත් බයිබලේ ගැන අපිට තියෙන විශ්වාසය තව වැඩි කරගන්න පුළුවන් විදිහක්. එයාලා ඇත්ත වාර්තා කරන්න බය වුණේ නැහැ. ඉතිහාසය ගැන ලියපු හුඟක් අය වාර්තා කළේ තමන්ගේ ජාතිය, රජවරුන් කරපු ශ්‍රේෂ්ඨ දේවල් විතරයි. ඒත් බයිබල් ලේඛකයන් ඊට වඩා වෙනස්. එයාලා ඊශ්‍රායෙල්වරුන්, රජවරුන් කරපු හොඳ දේවල් විතරක් නෙමෙයි වැරදි ගැනත් බයිබලේ සඳහන් කළා. (2 ලේක. 16:9, 10; 24:18-22) තමන් අතින් වුණ අඩුපාඩු වගේම දෙවිගේ අනිත් සේවකයන් අතින් වුණ අඩුපාඩුත් එයාලා වාර්තා කළා. (2 සාමු. 12:1-14; මාක් 14:50) එක යෞවනයෙක් මෙහෙම කියනවා. “ඒ වගේ අවංකව ලියපු වාර්තා දකින්න නැති තරම්. බයිබලේ යෙහෝවා දෙවිගෙන්ම ලැබුණ පොතක් කියලා අපිට තියෙන විශ්වාසය ඒකෙන් වැඩි වෙනවා.”

11. බයිබලය දෙවිගේ වචනය කියලා ඒකේ තියෙන මඟ පෙන්වීම්වලින් ඔප්පු වෙන්නේ කොහොමද?

11 බයිබලේ තියෙන මඟ පෙන්වීම්වලින් හුඟදෙනෙක් ප්‍රයෝජන ලබලා තියෙනවා. ඒ නිසා බයිබලේ දෙවිගෙන්ම ලැබුණ පොතක් කියලා එයාලට ස්ථිරයි. (ගීතාවලිය 19:7-11 කියවන්න.) ජපානයේ යෞවනියක් මෙහෙම කියනවා. “පවුලේ හැමෝම බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත්ත නිසා අපි අතරේ තිබුණ එකමුතුකම, ආදරේ වැඩි වුණා.” තමන් විශ්වාස කරපු සමහර දේවල් බොරුයි කියලා තේරුම්ගන්නත් හුඟදෙනෙක්ට බයිබලේ උදව් වෙලා තියෙනවා. (ගීතා. 115:3-8) ඒත් දෙවි කෙනෙක් නැහැ කියන අදහස පතුරුවන එකෙන් වෙලා තියෙන්නේ මොකක්ද? දෙවිට ලැබෙන්න ඕනෙ ගෞරවය මිනිසුන් ස්වභාවධර්මයට දෙනවා. අනාගතය සුරක්ෂිත එකක් කරගන්න මිනිසුන් ගැනම විශ්වාසය තියලා වැඩ කරනවා. ඒත් මිනිසුන් මේ වෙන කල් කරලා තියෙන දේවලින් පැහැදිලියි අනාගතය සුරක්ෂිත එකක් කරන්න එයාලට කවදාවත් බැහැ කියලා.—ගීතා. 146:3, 4.

කරුණු පැහැදිලි කරන්නේ කොහොමද?

12, 13. නිර්මාණයන් ගැන, බයිබලේ ගැන අනිත් අයට පැහැදිලි කරන්නේ කොහොමද?

12 බයිබලේ ගැන, නිර්මාණයන් ගැන ඔයා කෙනෙක් එක්ක කතා කරනවා කියලා හිතන්න. මුලින්ම එයා විශ්වාස කරන දේ ගැන ඔයා දැනගන්න ඕනේ. පරිණාමවාදය විශ්වාස කරන සමහරුන්ට දෙවි ගැනත් විශ්වාසයක් තියෙනවා. දෙවි හැම දේම නිර්මාණය කළේ ජීවය පරිණාමය වෙන්න සලස්වලා කියලයි එයාලා කියන්නේ. තවත් අය පරිණාමවාදය ඇත්තක් කියලා පිළිගන්නේ ඒක ඉස්කෝලවල උගන්වන නිසයි. සමහරු දෙවි කෙනෙක්ව විශ්වාස කරන්නේ නැත්තේ ආගම් ගැන කලකිරිලා නිසයි. ඒ නිසා කෙනෙක්ට කාරණා පැහැදිලි කරන්න කලින් එයා විශ්වාස කරන්නේ මොනවද, ඇයි එයා ඒ දේවල් විශ්වාස කරන්නේ කියලා අහන්න. එයා කියන දේට හොඳින් සවන් දෙන්න. එතකොට එයාත් ඔයාට ඇහුම්කන් දෙයි.—තීත. 3:2.

13 දෙවිව විශ්වාස කරන එක මොන මෝඩ දෙයක්ද’ කියලා කවුරු හරි ඔයාට කිව්වොත් ඔයාට කියන්න පුළුවන් මොනවද? ජීවයේ ආරම්භය ගැන එයාගේ අදහස කාරුණිකව අහන්න. ජීවය පරිණාමය වුණා නම් මුල්ම සෛලයට තව තව සෛල පිටපත් කරන්න හැකියාව තියෙන්න ඕනෙ කියලා එයාට කියන්න. මොකද ජීවය පරිණාමය වෙනවා කියන දේ හිතන තරම් සරල දෙයක් නෙමෙයි කියලා එයා තේරුම්ගන්න එක වැදගත්. රසායනික විද්‍යාඥයෙක් කියන විදිහට සෛලයක් තව තව සෛල පිටපත් කරන්න නම් මේ දේවල් 4 තියෙන්නම ඕනේ. (1) ආරක්ෂක පටලයක්, (2) ශක්තිය ලබාගෙන ඒක පාවිච්චි කරන්න හැකියාව, (3) ජානමය තොරතුරු ගබඩා කරන්න හැකියාව (DNA), (4) ඒ තොරතුරු ආයේ ආයේ පිටපත් කරන්න හැකියාව ඒ සෛලයට තියෙන්න ඕනේ. “සෛලයක් කොච්චර සංකීර්ණද කියලා කෙනෙක්ට හිතාගන්නවත් බැහැ” කියලයි ඒ විද්‍යාඥයා කියන්නේ.

14. හැම දේම නිර්මාණය කළා කියන කාරණය සරලව පැහැදිලි කරන්න ඔයාට පුළුවන් කොහොමද?

14 දෙවි හැම දේම නිර්මාණය කළා කියලා කෙනෙක්ට පැහැදිලි කරද්දී බයිබලේ තියෙන මේ දේ ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. “සෑම ගෘහයක්ම සෑදීමට යම් කෙනෙකු සිටිය යුතු බව සියලුදෙනාම පිළිගනිති. එසේනම් සියලු දේවල් සෑදූ තැනැත්තාණන් දෙවිය.” (හෙබ්‍රෙ. 3:4) ගෙයක් හදන්න නම් ඒක සැලසුම් කරන්න, ගොඩනඟන්න කෙනෙක් ඉන්න ඕනේ. සෛලයක් වගේ පුංචිම දෙයක් වුණත් ගේකට වඩා හුඟක් සංකීර්ණයි. එහෙමනම් අනිවාර්යයෙන්ම යම් කෙනෙක් ඒක නිර්මාණය කරන්නම ඕනේ. නිර්මාණයන් ගැන පැහැදිලි කරද්දී අපේ ප්‍රකාශනවල තියෙන තොරතුරු පාවිච්චි කරන්නත් ඔයාට පුළුවන්. දෙවි කෙනෙක්ව විශ්වාස නොකරපු යෞවනයෙකුට සහෝදරියක් නිර්මාණයන් ගැන විස්තර කරන සඟරා 2 දුන්නා. සතියකට විතර පස්සේ එයා කිව්වා “දෙවි කෙනෙක් ඉන්නවා කියලා දැන් මම පිළිගන්නවා” කියලා. එයා බයිබල් පාඩමක් පටන් අරන් පස්සේ බව්තීස්මත් වුණා.

15, 16. බයිබලය දෙවිගේ වචනය කියලා පැහැදිලි කරන්න කලින් ඔයා කරන්න ඕනෙ මොකක්ද? අපි නිතරම මතක තියාගන්න ඕනෙ මොකක්ද?

15 බයිබලේ ගැන සැකයන් තියෙන කෙනෙක්ට කරුණු පැහැදිලි කරන්න ඔයාට පුළුවන් කොහොමද? මුලින්ම එයා විශ්වාස කරන්නේ මොකක්ද කියලා අහන්න. එයා ආස මොන වගේ විෂයන්ටද කියලත් අහන්න. (හිතෝ. 18:13) එයා ආස විද්‍යාවට නම් බයිබලේ විද්‍යාවට සම්බන්ධ කාරණා ගැන කතා කරද්දී ඒවා හැම වෙලාවෙම නිවැරදියි කියලා බයිබලෙන්ම එයාට පෙන්නන්න. එයා ආස ඉතිහාසයට නම් ඉතිහාස පොත්වල සඳහන් වෙන යම් සිද්ධියක් ගැන කතා කරන්න. ඒ සිද්ධිය වෙන්න සියවස් ගාණකට කලින් බයිබලේ ඒ ගැන කියලා තිබුණ අනාවැකි එයාට පෙන්නන්න. තවත් අය ආසයි එයාලගේ ජීවිතේට ප්‍රයෝජනවත් වෙන මඟ පෙන්වීම් ගැන කතා කරන්න. ඒ වගේ කෙනෙක් එක්ක කන්ද උඩ දේශනයේ සඳහන් දේවල් ගැන කතා කරන්න.

16 අපිට ඕනෙ අනිත් අය එක්ක වාද කරන්න නෙමෙයි, බයිබලේ තියෙන දේවල් ගැන එයාලගේ හිතේ ආසාවක් ඇති කරන්නයි. ඒ නිසා ප්‍රශ්න අහද්දී කාරුණික වෙන්න. එයාලගේ අදහස්වලට සවන් දෙන්න. එයාලව පහත් කරන විදිහට කතා කරන්න එපා. විශේෂයෙන්ම ඔයා කතා කරන්නේ වැඩිහිටියෙක්ට නම් ඒක අමතක කරන්න එපා. ඔයා අනිත් අයට ගරු කරද්දී එයාලත් ඔයාට ගරු කරයි. ඔයා යෞවනයෙක් වුණත් ආවට ගියාට දේවල් විශ්වාස කරනවා වෙනුවට හේතු ඇතුව දේවල් විශ්වාස කරන කෙනෙක් කියලා තේරුණාම ඔයා ගැන එයාලට හොඳ හැඟීමක් ඇති වෙයි. ඒත් කෙනෙක්ට ඕනෙ ඔයාත් එක්ක වාද කරන්න නම්, ඔයාව විහිළුවට ගන්න නම් එයාත් එක්ක දිගින් දිගට කතා කරන එකේ තේරුමක් නැහැ.—හිතෝ. 26:4.

ශක්තිමත් විශ්වාසයක් ගොඩනඟාගන්න

17, 18. (අ) බයිබලය ගැන ඔයාට තියෙන විශ්වාසය වැඩි කරගන්න ඔයාට උදව් වෙන්නේ මොකක්ද? (ආ) ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවද?

17 ශක්තිමත් විශ්වාසයක් ගොඩනඟාගන්න නම් බයිබලේ තියෙන මූලික ඉගැන්වීම් විතරක් දැනගෙන මදි. නිධානයක් හොයලා වටිනා දේවල් එළියට ගන්නවා වගේ බයිබලේ තියෙන ගැඹුරු කාරණා හොයලා ඒවා තේරුම්ගන්න ඕනේ. (හිතෝ. 2:3-6) මුළු බයිබලේම කියවන එක ඔයාට තියෙන විශ්වාසය වැඩි කරගන්න පුළුවන් හොඳ විදිහක්. අවුරුද්දක් ඇතුළත මුළු බයිබලේම කියවන්න ඉලක්කයක් තියාගන්න. චාරිකා සේවකයෙක් කියන දේ බලන්න. “මුළු බයිබලේම කියෙව්වම ඒක දෙවිගෙන් ලැබුණ පොතක් කියලා මට හොඳටම තහවුරු වුණා. පුංචි කාලේ මං ඉගෙනගත්ත බයිබල් කතන්දර එකකට එකක් සම්බන්ධ වෙන විදිහත් මං තේරුම්ගත්තා.” බයිබලේ කියවද්දී ‘වොච්ටවර් ලයිබ්‍රරි’ එක, ‘ඔන්ලයින් ලයිබ්‍රරි’ එක, ‘මුරටැඹ’ සූචිය, ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන පොත පාවිච්චි කරලා කියවන දේ තේරුම්ගන්න උත්සාහ කරන්න.

18 අම්මේ, තාත්තේ, යෙහෝවා දෙවි ගැන ඔයාගේ දරුවන්ට කියලා දෙන්න පුළුවන් හොඳම කෙනා ඔයායි. ශක්තිමත් විශ්වාසයක් ඇති කරගන්න දරුවන්ට උදව් කරන්න ඔයාට පුළුවන් කොහොමද? ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.