Skip to content

පටුනට යන්න

“දෙවිගේ වදන් ජීවමානය”

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

“ජීවමානය, බලවත්ය” කියලා හෙබ්‍රෙව් 4:12 හඳුන්වලා තියෙන “දෙවිගේ වදන්” මොනවද?

දෙවිගේ වදන් කියද්දී පාවුල් අදහස් කළේ දෙවි ඔහුගේ අරමුණ හෙළි කරද්දී පවසපු තොරතුරු කියලා අවට පද, පසුබිම බලද්දී පැහැදිලි වෙනවා. ඒ තොරතුරු සමහරක් බයිබලේ සඳහන් වෙනවා.

අපේ ප්‍රකාශනවල හුඟක් වෙලාවට හෙබ්‍රෙව් 4:12 යොදාගන්නේ ජීවිත වෙනස් කරන්න බයිබලේට තියෙන බලය කාවද්දන්නයි. ඒ පැහැදිලි කිරීම නිවැරදියි. ඒත් ඒ පදයේ අවට පද, පසුබිම ගැන අවබෝධ කරගන්න එක ප්‍රයෝජනවත්. දෙවිගේ අරමුණ තේරුම් අරන් ඒ අනුව ජීවත් වෙන්න හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට උදව් කරන්නයි පාවුල්ට ඕන වුණේ. දෙවිගේ අරමුණට ඇතුළත් හුඟක් දේවල් ශුද්ධ ලියවිලිවල සඳහන් වුණා. දෙවිගේ අරමුණ තේරුම් අරන් ඒ අනුව වැඩ කරන එකේ වැදගත්කම පෙන්නන්න ඊජිප්තුවේ වහල්කමින් නිදහස් වුණු ඊශ්‍රායෙල් ජාතියව පාවුල් උදාහරණෙට ගත්තා. දෙවි එයාලට පොරොන්දු වුණේ “කිරියෙන්, පැණියෙන් ඉතිරෙන සාරවත් දේශයකට” ගෙනියනවා කියලයි. එයාලා දෙවිගේ අරමුණ තේරුම් අරන් ඒ අනුව ජීවත් වුණා නම් ඒ පොරොන්දුවේ ඉටු වීම අද්දකින්න තිබුණා.—නික්. 3:8; ද්වි. 12:9, 10.

ඊශ්‍රායෙල්වරුන් සඳහා දෙවි ඒ දේ අරමුණු කළත් එයාලා දෙවිට අකීකරු වුණා. දෙවි ගැන තිබුණු විශ්වාසය නැති කරගත්තා. ඒ නිසා වැඩිදෙනෙක්ට දෙවිගේ පොරොන්දුවේ ඉටු වීම අද්දකින්න බැරි වුණා. ඒ කියන්නේ දෙවි මෙන් විවේක ගන්න තිබුණු අවස්ථාව නැති වුණා. (ගණන්. 14:30; යොෂු. 14:6-10) ඒත් පාවුල් කිව්වා දැනුත් දෙවි මෙන් “විවේක ගැනීමේ අවස්ථාවක්” තියෙනවා කියලා. (හෙබ්‍රෙ. 3:16-19; 4:1) ඒක පොරොන්දුවක්. ඒ පොරොන්දුව දෙවි හෙළි කරලා තියෙන අරමුණට ඇතුළත්. ඒකට ශුද්ධ ලියවිල්ලේ පදනමක් තියෙනවා කියලා පෙන්නන්න පාවුල් උත්පත්ති 2:2 සහ ගීතාවලිය 95:11 කියන පදවලින් උපුටාගත්තා. හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට වගේ අපිටත් පුළුවන් දෙවි හෙළි කරලා තියෙන අරමුණ බයිබලෙන් තේරුම් අරන් ඊට එකඟව ජීවත් වෙන්න.

‘දෙවි මෙන් විවේක ගැනීමේ අවස්ථාව’ අපිටත් ලැබිලා තියෙන එක මොන තරම් වටින දෙයක්ද! බයිබලේ තියෙන ඒ පොරොන්දුව ඉටු වෙනවා කියලා අපිට විශ්වාසයි. ඒ විශ්වාසය අපි පෙන්නන්නේ මෝසෙස් මාර්ගයෙන් දුන්න නීතිය පිළිපදින්න වෑයම් කරලවත් අපිට හරියි කියලා හිතෙන දේවල් කරලවත් නෙමෙයි. ඒ වෙනුවට දෙවි හෙළි කරලා තියෙන අරමුණ තේරුම් අරන් ඊට එකඟව ජීවත් වීමෙනුයි. දහස් ගණන් දෙනෙක් බයිබලය අධ්‍යයනය කරලා දෙවි හෙළි කරලා තියෙන අරමුණ තේරුම්ගන්න වෑයම් කරනවා. ඒ අතරින් හුඟදෙනෙක් දෙවි ගැන විශ්වාසයක් ඇති කරගෙන, ජීවිත වෙනස් කරගෙන බව්තීස්ම වෙලා තියෙනවා. හෙබ්‍රෙව් 4:12 “දෙවිගේ වදන්” කියද්දී සම්පූර්ණ බයිබලය අදහස් වෙන්නත් පුළුවන් කියලා ඒකෙන් පැහැදිලියි. දෙවි ඔහුගේ අරමුණ ගැන බයිබලෙන් හෙළි කරලා තියෙන දේවල් අපේ ජීවිත දැනටමත් වෙනස් කරලා තියෙනවා. දිගටම වෙනස් කරයි.