Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 40

‘ඔයාට විශ්වාසයෙන් භාර දීලා තියෙන දේවල් රැකගන්න’

‘ඔයාට විශ්වාසයෙන් භාර දීලා තියෙන දේවල් රැකගන්න’

“ආදරණීය තිමෝති, ඔබට මහත් විශ්වාසයකින් භාර දී ඇති දේවල් රැකගන්න.”—1 තිමෝ. 6:20.

ගීතිකාව 29 රැකගනිමු අපගේ නාමය

මේ ලිපියෙන් *

1-2. 1 තිමෝති 6:20 අනුව තිමෝති කරන්න ඕනෙ වුණේ මොකක්ද?

අපි ළඟ තියෙන වටින දෙයක් අපි තව කෙනෙක්ට භාර දෙන්නේ ඒ කෙනා ඒක ආරක්ෂිතව තියාගනියි කියලා අපිට විශ්වාස නිසයි. උදාහරණෙකට අපි ළඟ තියෙන සල්ලි අපි බැංකුවේ තැන්පත් කරනවා. මොකද බැංකුව අපේ සල්ලි නැති වෙන්න, හොරකම් කරන්න ඉඩ නොදී ඒවා ආරක්ෂා කරයි කියලා අපිට විශ්වාසයි.

2 1 තිමෝති 6:20 කියවන්න. පාවුල් තිමෝතිට මතක් කළා එයාටත් ලොකු විශ්වාසයකින් වටිනා දේවල් භාර දීලා තියෙනවා කියලා. එකක් තමයි මිනිසුන් සම්බන්ධයෙන් දෙවියන්ගේ අරමුණ දැනගන්න ලැබුණ අවස්ථාව. ඒ වගේම දෙවියන්ගේ පණිවිඩය ගැන “දේශනා කරන්න” කියලත් “දේශනා කරන කෙනෙකුගේ කාර්යයෙහි නිරත වන්න” කියලත් පාවුල් තිමෝතිට කිව්වා. ඒකත් තිමෝතිට භාර දීලා තිබුණු වටිනා දෙයක්. (2 තිමෝ. 4:2, 5) ඒ දේවල් ආරක්ෂා කරගන්න කියලා පාවුල් එයාට උනන්දු කළා. යෙහෝවා දෙවියන් විශ්වාසයෙන් අපිටත් දේවල් භාර දීලා තියෙනවා. ඒ මොනවාද? අපි ඒවා ආරක්ෂා කරගන්න ඕනෙ ඇයි?

අපිට භාර දීලා තියෙන වටිනා සත්‍යයන්

3-4. බයිබලේ සඳහන් සත්‍යයන් වටින්නේ ඇයි?

3 බයිබලේ සඳහන් වටිනා සත්‍යයන් නිවැරදිව තේරුම්ගන්න යෙහෝවා දෙවියන් අපිට අවස්ථාව දීලා තියෙනවා. ඒවා හුඟක් වටිනවා කියලා කියන්නේ ඇයි? යෙහෝවා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න පුළුවන් කොහොමද සැබෑ සතුට අද්දකින්න පුළුවන් කොහොමද කියලා දැනගන්න ඒ සත්‍යයන් අපිට උදව් වෙනවා. අපි ඒවා පිළි අරන් ඒවාට එකඟව ජීවත් වෙද්දී අසත්‍ය ඉගැන්වීම්වලින් නිදහස් වෙන්නත් උසස් සදාචාර ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්නත් අපිට පුළුවන් වෙනවා.—1 කොරි. 6:9-11.

4 ඒ වටිනා සත්‍යයන් තේරුම්ගන්න යෙහෝවා දෙවියන් අවස්ථාව දෙන්නේ “සත්‍යය පිළිගැනීමට කැමති,” නිහතමානී අයට විතරයි. (ක්‍රියා 13:48) ඒ සත්‍යයන් හුඟක් වටිනවා කියන්න ඒකත් හොඳ හේතුවක්. නිහතමානී අය පිළිගන්නවා අපේ කාලෙදී යෙහෝවා දෙවියන් ඒ වටිනා සත්‍යයන් තේරුම් කරලා දෙන්නේ විශ්වාසවන්ත නුවණැති දාසයා මාර්ගයෙන් කියලා. (මතෙ. 11:25; 24:45) දාසයාගේ උදව් නැතුව බයිබලේ සඳහන් වටිනා සත්‍යයන් තේරුම්ගන්න අපිට බැහැ. ඒවා තේරුම්ගන්න එක තරම් වටින දෙයක් තවත් නැහැ.—හිතෝ. 3:13, 15.

5. යෙහෝවා දෙවියන් විශ්වාසයෙන් භාර දීලා තියෙන්නේ තව මොනවාද?

5 යෙහෝවා දෙවියන් විශ්වාසයෙන් භාර දීලා තියෙන තවත් දෙයක් තමයි ඔහු ගැනත් ඔහුගේ අරමුණු ගැනත් අනිත් අයට කියන්න අපිට දීලා තියෙන අවස්ථාව. (මතෙ. 24:14) අපි දේශනා කරන පණිවිඩය හරිම වැදගත්. මොකද මිනිසුන්ට දෙවියන්ගේ පවුලේ සාමාජිකයන් වෙන්නත් සදාකාල ජීවනය අත් කරගන්නත් ඒකෙන් අවස්ථාව ලැබෙනවා. (1 තිමෝ. 4:16) අපි සේවය කරන පැය ප්‍රමාණය මොකක් වුණත් සේවයේ හවුල් වෙන එකෙන් අපි කරන්නේ මේ කාලේ සිද්ධ වෙන වැදගත්ම කාර්යයට හවුල් වෙන එකයි. (1 තිමෝ. 2:3, 4) දෙවියන් එක්ක හවුලේ වැඩ කරන්න අපිට ලැබිලා තියෙන එක මොන තරම් ගෞරවයක්ද!—1 කොරි. 3:9.

ඔයාට භාර දීලා තියෙන දේවල් රැකගන්න

සමහරු සත්‍ය දාලා යද්දී දිගටම සත්‍ය මාර්ගයේ ඉන්න තිමෝතිට ලොකු වෑයමක් දරන්න වුණා (6 ඡේදය බලන්න)

6. දෙවියන් භාර දීපු දේවල් ගැන තිබුණු අගය නැති කරගත්ත අයට මොකද වුණේ?

6 තිමෝතිගේ කාලේ හිටපු සමහර ක්‍රිස්තියානීන් දෙවියන් එක්ක හවුලේ වැඩ කරන්න ලැබිලා තිබුණු අවස්ථාව දිගටම අගය කළේ නැහැ. උදාහරණෙකට දේමස් පවතින සමාජයේ දේවලට ඇලුම් කරපු නිසා සේවය අත්හැරලා ගියා. (2 තිමෝ. 4:10) පේන විදිහට පාවුල් මුහුණ දීපු පීඩාවලට තමන්ටත් මුහුණ දෙන්න වෙයි කියන බය නිසා ෆිගෙලස් සහ හර්මොජෙනිස් දේශනා කරන එක නතර කළා. (2 තිමෝ. 1:15) හිමනේයස්, ඇලෙක්සැන්ඩර් සහ ෆිලේටස් සත්‍ය ඉගැන්වීම්වලට විරුද්ධව කැරලිගහලා සත්‍ය මාර්ගයෙන් ඉවත් වුණා. (1 තිමෝ. 1:19, 20; 2 තිමෝ. 2:16-18) ඒ හැමෝම කාලයක් දෙවියන්ට විශ්වාසවන්තව සේවය කළත් දෙවියන් එයාලට භාර දීපු දේවල් ගැන තිබුණු අගය එයාලා නැති කරගත්තා.

7. අපිට භාර දීලා තියෙන දේවල් අත්හරින්න සාතන් අපිව පොලඹවන්න හදන්නේ කොහොමද?

7 යෙහෝවා දෙවියන් විශ්වාසයෙන් භාර දීලා තියෙන වටිනා දේවල් අත්හරින්න අපිව පොලඹවන්නයි සාතන් උත්සාහ කරන්නේ. සාතන් ඒකට ක්‍රම කීපයක්ම පාවිච්චි කරනවා. විනෝදයට කරන දේවල්, TV, ඉන්ටර්නෙට්, පුවත්පත් වගේ දේවල් මාර්ගයෙන් අපි හිතන විදිහ, අපි දේවල් කරන විදිහ එයාට ඕනෙ විදිහට සකස් කරන්න සාතන් උත්සාහ කරනවා. මොකද සාතන් දන්නවා එහෙම කළාම යෙහෝවා දෙවියන් ගැන අපේ හිතේ තියෙන ආදරේ ටිකෙන් ටික අඩු වෙලා ඔහුගේ ප්‍රමිති කඩන්න අපි පෙලඹෙනවා කියලා. අනිත් අය අපි ගැන මොනවා හිතයිද කියන දේ ගැන නැත්නම් විරුද්ධවාදිකම් ගැන අපේ හිතේ බයක් ඇති කරන්න සාතන් උත්සාහ කරනවා. ඒ බය නිසා අපි දේශනා සේවය නතර කරයි කියලා එයා හිතනවා. සත්‍ය ඉගැන්වීම් අත්හැරපු අයගේ “බොරු දැනුමට” සවන් දෙන්න අපිව පොලඹවන්න හදන එකත් සාතන් පාවිච්චි කරන තව ක්‍රමයක්.—1 තිමෝ. 6:20, 21.

8. ඩැනියෙල්ගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

8 පරෙස්සම් වුණේ නැත්නම් අපිත් ටිකෙන් ටික සත්‍ය මාර්ගයෙන් ඈත් වෙන්න ඉඩ තියෙනවා. ඩැනියෙල්ගේ * අද්දැකීම බලන්න. එයා මෙහෙම කියනවා. “මං වීඩියෝ ගේම්ස් ගහන්න පටන්ගත්තේ මට අවුරුදු 10දී විතර. මුලදී නම් මං තෝරගත්ත ගේම්ස්වල කිසිම වරදක් තිබුණේ නැහැ. හැබැයි කාලයක් යද්දී සැහැසියාව, භූතවාදී දේවල් තිබුණු ගේම්ස්සුත් ගහන්න මං පටන්ගත්තා.” එයා ඒකට කොච්චර ඇබ්බැහි වුණාද කියනවා නම් අන්තිමේදී දවසකට පැය 15ක් විතර එයා ගේම්ස් ගැහුවා. එයා මෙහෙම කියනවා. “මං දැනන් හිටියා මං ගහපු ගේම්ස් නිසාත් ඒකට ගොඩක් කාලේ නාස්ති කරපු නිසාත් මං ටිකෙන් ටික යෙහෝවා දෙවියන්ගෙන් ඈත් වෙනවා කියලා. ඒත් මගේ හිත කොච්චර මුරණ්ඩු වුණාද කිව්වොත් මට හිතුණා මං බයිබලේ කියන විදිහටම ජීවත් වෙන්න ඕනෙ නෑ කියලා.” පරෙස්සම් වුණේ නැත්නම් විනෝදයට තෝරගන්න දේවල් නිසා අපිත් ටිකෙන් ටික සත්‍ය මාර්ගයෙන් ඈත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් දෙවියන් අපිට භාර දීලා තියෙන වටිනා දේවල් අපිට නැති වෙයි.

ඔයාට භාර දීලා තියෙන දේවල් රැකගන්න පුළුවන් කොහොමද?

9. 1 තිමෝති 1:18, 19 අනුව පාවුල් තිමෝතිව සමාන කළේ කාටද?

9 1 තිමෝති 1:18, 19 කියවන්න. පාවුල් තිමෝතිව සොල්දාදුවෙක්ට සමාන කරලා ‘යහපත උදෙසා ඔබ කරන යුද්ධය සාර්ථකව කරන්න’ කියලා දිරිගැන්නුවා. පාවුල් ඒ වෙලාවේ කතා කළේ මිනිසුන් එක්ක කරන යුද්ධයක් ගැන නෙමෙයි. ක්‍රිස්තියානීන් විදිහට අපි හැමෝම සොල්දාදුවන් වගේ වෙන්නේ මොන විදිවලින්ද? සටන් කරන්න අපිට උදව් වෙන්නේ මොනවාද? පාවුල් කියපු උදාහරණෙන් ඉගෙනගන්න පුළුවන් පාඩම් පහක් අපි බලමු. අපිට භාර දීලා තියෙන වටිනා දේවල් රැකගන්න ඒ පාඩම් උදව් වෙයි.

10. අපි දෙවියන් සඳහා භක්තියක් ඇති කරගන්න ඕනෙ ඇයි?

10 දෙවියන් සඳහා භක්තියක් ඇති කරගන්න. හොඳ සොල්දාදුවෙක් එයා ආදරේ කරන කෙනෙක්, දෙයක් වෙනුවෙන් අත්හරින්නේ නැතුව සටන් කරනවා. පාවුල් තිමෝතිව දිරිගැන්නුවා දෙවියන් සඳහා භක්තියක් ඇති කරගන්න කියලා. (1 තිමෝ. 4:7) ඒ වගේ කෙනෙක් දෙවියන්ට ළැදියි. දෙවියන් ගැන අපිට තියෙන ආදරේ, භක්තිය වැඩි වෙන තරමටම ඔහු අපිට භාර දීලා තියෙන දේවල් රැකගන්න අපි පෙලඹෙනවා.—1 තිමෝ. 4:8-10; 6:6.

හොඳටම හෙම්බත් වෙලා ඉන්න දවසක රැස්වීම් යන්න අපිට ලොකු වෑයමක් දරන්න වෙනවා. එහෙම කරන එක කොච්චර වටිනවාද! (11 ඡේදය බලන්න)

11. අපි අපිවම හික්මවගන්න ඕනෙ ඇයි?

11 හරි දේ කරන්න ඔයාවම හික්මවගන්න. ඕනෙම වෙලාවක යුද්දෙට යන්න සූදානමින් ඉන්න නම් සෙබළෙක් එයාවම හික්මවගන්න ඕනේ. සාතන් ගෙනාපු පීඩාවලට විරුද්ධව සටන් කරන්න තිමෝති හිටියේ සූදානමින්. එහෙම කරන්න එයාට පුළුවන් වුණේ හිතට එන වැරදි ආශාවන් අයින් කරගන්න කියලත් දෙවියන් කැමති ගුණාංග වර්ධනය කරගන්න කියලත් දෙවියන් ආදරේ කරන අයව ආශ්‍රය කරන්න කියලත් පාවුල් දීපු උපදෙස් එයා අදාළ කරගත්ත නිසයි. (2 තිමෝ. 2:22) ඒ දේවල් කරන්න තිමෝතිට තමන්වම හික්මවගන්න වුණා. වැරදි ආශාවන්ට විරුද්ධව අපි කරන සටන දිනන්න නම් අපිත් අපිවම හික්මවගන්න ඕනේ. (රෝම 7:21-25) ඒ වගේම පරණ පෞද්ගලිකත්වය අයින් කරලා අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න අපිට නිතරම වගේ සටනක් කරන්න වෙනවා. (එෆී. 4:22, 24) හොඳටම හෙම්බත් වෙලා ඉන්න දවසක රැස්වීම් යන්න අපිට ලොකු වෑයමක් දරන්න වෙනවා.—හෙබ්‍රෙ. 10:24, 25.

12. බයිබලේ තවත් හොඳින් පාවිච්චි කරන්න අපිට පුළුවන් කොහොමද?

12 සොල්දාදුවෙක් එයාගේ ආයුධ පාවිච්චි කරන්න පුහුණු වෙන්න ඕනේ. හැබැයි දක්ෂ විදිහට ආයුධ පාවිච්චි කරන්න නම් එයා නිතරම පුහුණු වෙන්න ඕනේ. අපිටත් ඕනෙ බයිබලේ දක්ෂ විදිහට පාවිච්චි කරන්න ඉගෙනගන්න. (2 තිමෝ. 2:15) ඒ දේ කරන්න පුළුවන් සමහර පැති අපේ රැස්වීම්වලින් ඉගෙනගන්න පුළුවන්. හැබැයි බයිබලේ තියෙන සත්‍යයන් ඇත්තටම වටිනවා කියලා අනිත් අයට කාවද්දන්න නම් අපි නොකඩවාම බයිබලේ අධ්‍යයනය කරන්න ඕනේ. විශ්වාසය ශක්තිමත් කරගන්නත් අපි බයිබලේ පාවිච්චි කරන්න ඕනේ. හැබැයි ඒ දේ කරන්න බයිබලේ නිකම්ම කියවලා මදි. කියවන දේවල් ගැන හොඳට හිතන්නත් ඕනේ. ඒ වගේම කියවන දේවල් නිවැරදිව තේරුම්ගන්න, ඒවා ජීවිතේට අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලා තේරුම්ගන්න අපේ ප්‍රකාශනවලින් තොරතුරු ගවේෂණය කරන්න ඕනේ. (1 තිමෝ. 4:13-15) එතකොට බයිබලේ තියෙන දේවල් හිතට කාවදින විදිහට අනිත් අයට කියලා දෙන්නත් අපිට පුළුවන් වෙනවා. හැබැයි ඒ දේ කරන්න අපි කෙනෙක්ට ඇහෙන්න බයිබල් පද කියවන එක විතරක් මදි. ඒවා තේරුම්ගන්නත් ඒවා ජීවිතේට අදාළ කරගන්නත් අනිත් අයට උදව් කරන්න ඕනේ.—2 තිමෝ. 3:16, 17.

13. හෙබ්‍රෙව් 5:14 අනුව අපි හරි වැරැද්ද අතර වෙනස හඳුනගන්න ඕනෙ ඇයි?

13 හරි වැරැද්ද අතර වෙනස හඳුනගන්න. සොල්දාදුවෙක් අනතුරක් වෙන්න පුළුවන් පැති කලින්ම හඳුනගෙන ඒ දේවලින් වැළකිලා ඉන්න එක හරිම වැදගත්. අපිත් ඒ දේම කරන්න ඕනේ. (හිතෝ. 22:3; හෙබ්‍රෙව් 5:14 කියවන්න.) උදාහරණෙකට විනෝද වෙන්න අපි තෝරගන්න දේවල් ගැන ඥානවන්ත තීරණ ගන්න එක වැදගත්. මොකද TV වැඩසටහන්වලින්, චිත්‍රපටිවලින් වැඩිහරියක් පෙන්නන්නේ අනාචාරයට සම්බන්ධ දේවල්. අපි දන්නවා දෙවියන් ඒ දේවල් පිළිකුල් කරනවා කියලා. ඒ වගේම ඒ ක්‍රියාවල යෙදෙන අය තමන්ටත් අනිත් අයටත් කරන්නේ ලොකු හානියක්. ඒ විතරක් නෙමෙයි ඒවා බලන එකෙන් අපේ හිතේ යෙහෝවා දෙවියන් ගැන තියෙන ආදරේ ටිකෙන් ටික අඩු වෙන්න පුළුවන්. ඒ නිසා විනෝද වෙන්න අපි ඒ දේවල් තෝරගන්නේ නැහැ.—එෆී. 5:5, 6.

14. හරි වැරැද්ද අතර වෙනස හඳුනගත්ත එක ඩැනියෙල්ට උදව් වුණේ කොහොමද?

14 සැහැසියාව සහ අනාචාරය ඇතුළත් වීඩියෝ ගේම්ස් ගහන එක තමන්ට කොච්චර අනතුරක්ද කියලා ඩැනියෙල් ටිකෙන් ටික තේරුම්ගත්තා. ඒ නරක පුරුද්ද අත්හරින්න උදව් වෙන තොරතුරු එයා ‘වොච්ටවර් ලයිබ්‍රරි’ එකෙන් හොයලා බැලුවා. ඒක එයාට උදව් වුණේ කොහොමද? ක්‍රිස්තියානීන්ට සුදුසු නැති වීඩියෝ ගේම්ස් ගහන එකත් අනිත් අයත් එක්ක ඔන්ලයින් ගේම්ස් ගහන එකත් එයා නතර කළා. ඩැනියෙල් මෙහෙම කියනවා. “කාමරේට වෙලා ගේම්ස් ගහනවා වෙනුවට එළියට ගිහින් මොනවා හරි දෙයක් කරන්න, සභාවේ අයව ආශ්‍රය කරන්න මං පටන්ගත්තා.” දැන් ඩැනියෙල් පුරෝගාමි සේවය කරන වැඩිමහල්ලෙක්.

15. බොරු තොරතුරුවලට ඇහුම්කන් දෙන එක භයානක ඇයි?

15 තිමෝති වගේ අපිත් සත්‍ය ඉගැන්වීම් අත්හැරලා ගිය අය පතුරුවන බොරු තොරතුරුවලින් පරෙස්සම් වෙන්න ඕනේ. (1 තිමෝ. 4:1, 7; 2 තිමෝ. 2:16) ඒ වගේ අය සහෝදරයන් ගැන බොරු තොරතුරු පතුරුවන්නත් සංවිධානය ගැන සැකයන් ඇති කරන්නත් උත්සාහ කරයි. ඒ වගේ තොරතුරු නිසා අපේ විශ්වාසය දුර්වල වෙන්න පුළුවන්. ඒවාට රැවටෙන්න එපා. මොකද ඒ තොරතුරු පතුරුවන්නේ “දූෂිත මනස් ඇති, සත්‍යයෙන් දුරස් වී ඇති මිනිසුන්.” එයාලට ඕනෙ මතභේද ඇති කරලා වාදවිවාදවලට පැටලෙන්න. (1 තිමෝ. 6:4, 5) එයාලා එහෙම කරන්නේ එයාලා කියන බොරු විශ්වාස කරන්න අපිව පොලඹවලා සහෝදරයන් ගැන අපේ හිත්වල සැකයන් ඇති කරන්නයි.

16. අපේ අවධානය වෙනතකට යන්න පුළුවන් මොන වගේ දේවල් නිසාද?

16 අවධානය වෙනතකට යන්න දෙන්න එපා. “යේසුස්ගේ යහපත් හේවායෙක්” විදිහට තිමෝති ධන සම්පත්වලට අවධානය දෙනවා වෙනුවට දේවසේවයට අවධානය දෙන එක වැදගත් වුණා. (2 තිමෝ. 2:3, 4) අපිත් ධන සම්පත්වලට තියෙන ආසාව නිසා අපේ අවධානය වෙනතකට යන්න ඉඩ නොදී ඉන්න ඕනේ. ඒවා පස්සේ ගිහින් මුළා වුණොත් යෙහෝවා දෙවියන් ගැන අපිට තියෙන ආදරේ, දේවවචනය ගැන අපිට තියෙන අගය විතරක් නෙමෙයි සේවයේ හවුල් වෙන්න අපිට තියෙන ආසාවත් අඩු වෙලා යයි. (මතෙ. 13:22) ඒ නිසා අපි අපේ ජීවිත සරල කරගන්න ඕනේ. ‘නොකඩවා දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න’ ඕනේ. ඒ වෙනුවෙන් ලොකු වෑයමක් දරන්නත් ඕනේ.—මතෙ. 6:22-25, 33.

17-18. දෙවියන් එක්ක අපිට තියෙන බැඳීමට හානියක් වෙන දේවලින් ආරක්ෂා වෙන්න අපි කරන්න ඕනෙ මොකක්ද?

17 ලෑස්ති පිට ඉන්න. සොල්දාදුවෙක් අනතුරුවලින් ආරක්ෂා වෙන්න ලෑස්ති පිට ඉන්න ඕනේ. ඒ වගේ අපිත් දෙවියන් එක්ක අපිට තියෙන බැඳීමට හානියක් වෙන්න පුළුවන් අනතුරුවලින් ආරක්ෂා වෙන්න ලෑස්ති පිට ඉන්න ඕනේ. එහෙම නොකළොත් යෙහෝවා දෙවියන් විශ්වාසෙන් භාර දීලා තියෙන වටිනා දේවල් අපිට අහිමි වෙන්න ඉඩ තියෙනවා. අපි ලෑස්ති පිට ඉන්නවා කියන්නේ අනතුරකට මුහුණ දෙන්න වුණොත් අපි කරන්න ඕන දේ ගැන කලින්ම සූදානම් වෙලා ඉන්නවා කියන එකයි.

18 සාමාන්‍යයෙන් සමුළුවකදී හදිසි අවස්ථාවක් මතු වුණොත් පිට වෙන්න ඕනෙ මොන දොරටුවෙන්ද කියලා නිවේදනය කරනවා. ඒ දොරටුව පැහැදිලිව ලකුණු කරලත් තියෙනවා. ඒ නිසා හදිසි තත්වයක් ඇති වුණොත් කරන්න ඕනෙ දේ ගැන හිතහිත ඉන්න ඕනෙ නැහැ. අපි ඉන්ටර්නෙට් එකේ ඉද්දී, TV බලබල ඉද්දී එකපාරටම අසභ්‍ය දර්ශනයක්, සැහැසික දේවල් ඇතුළත් දර්ශනයක්, සත්‍යය අත්හැරලා ගිය අය පතුරුවන බොරු අදහස් තිරයේ මතු වුණොත් කරන්න ඕනෙ මොනවාද කියලා අපි කලින්ම සූදානම් වෙලා ඉන්න ඕනේ. එතකොට කරන්න ඕනෙ මොනවාද කියලා හිතහිත ඉන්න ඕනෙ නැහැ. අනතුරුවලින් ආරක්ෂා වෙන්න අපි කලින්ම සූදානම් වෙලා ඉන්නවා නම් දිගටම යෙහෝවා දෙවියන් එක්ක තියෙන බැඳීම ආරක්ෂා කරගන්නත් පවිත්‍ර ජීවිතයක් ගත කරන්නත් අපිට පුළුවන් වෙනවා.—ගීතා. 101:3; 1 තිමෝ. 4:12.

19. දෙවියන් විශ්වාසයෙන් භාර දීලා තියෙන දේවල් අපි ආරක්ෂා කරගත්තොත් ලැබෙන ආශීර්වාද මොනවාද?

19 සත්‍යය ගැන දැනගන්න සහ ඒ ගැන අනිත් අයට කියන්න අපිට ලැබිලා තියෙන අවස්ථාව කොච්චර වටිනවාද! යෙහෝවා දෙවියන් විශ්වාසයෙන් භාර දීලා තියෙන ඒ දේවල් අපි ආරක්ෂා කරගන්න ඕනේ. එතකොට දෙවියන් ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්නත් අර්ථවත් ජීවිතයක් ගත කරන්නත් දෙවියන් ගැන අනිත් අයට කියලා දෙන එකෙන් ලැබෙන සතුට අද්දකින්නත් අපිට පුළුවන්. දෙවියන්ගේ උදව් ලැබෙන නිසා ඔහු විශ්වාසයෙන් භාර දීලා තියෙන දේවල් දිගටම රැකගන්න අපිට පුළුවන්.—1 තිමෝ. 6:12, 19.

ගීතිකාව 127 දෙවියනි, මා ඔබට ප්‍රිය කෙනෙක්ද?

^ 5 ඡේ. සත්‍යය ගැන දැනගන්නත් ඒ ගැන අනිත් අයට කියන්නත් අපිට ලැබිලා තියෙන අවස්ථාව යෙහෝවා දෙවියන්ගෙන් අපිට ලැබිලා තියෙන වටිනා තෑග්ගක්. ඒ ගැන අපේ හිතේ තියෙන අගය නැති කරගන්නේ නැතුව දිගටම තියාගන්න මේ ලිපිය අපිට උදව් වෙනවා.

^ 8 ඡේ. නම වෙනස් කර ඇත.