Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 37

‘කිසි විවේකයක් නොගෙන බීජ වපුරන්න’

‘කිසි විවේකයක් නොගෙන බීජ වපුරන්න’

“උදෑසන ඔබේ බීජ වපුරන්න. කිසි විවේකයක් නොගෙන සවස් වන තුරුම එසේ කරන්න.”—දේශ. 11:6.

ගීතිකාව 68 රාජ්‍යයේ බීජ වපුරමු

මේ ලිපියෙන් *

1-2. දේශනාකාරයා 11:6 කියන දේ දේශනා සේවයට අදාළ කරගන්න පුළුවන් කොහොමද?

සමහර රටවල්වල මිනිස්සු හරිම ආසාවෙන් ශුභාරංචියට සවන් දෙනවා. ඒත් තවත් රටවල්වල වැඩිදෙනෙක් දෙවියන් ගැන, බයිබලය ගැන දැනගන්න ඒ තරම් කැමති නැහැ. ඔයා සේවය කරන පැත්තේ ඉන්න අය මොන වගේද? එයාලා ශුභාරංචිය අහන්න කැමති වුණත් නැතත් යෙහෝවා දෙවියන් ඒ සේවය නතර කරන්න කියලා කියන කල් අපි ඒක කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා.

2 ශුභාරංචිය දේශනා කරන එක නතර කරන්න ඕනෙ කවදාද කියලා යෙහෝවා දෙවියන් දැනටමත් තීරණය කරලා ඉවරයි. ඊටපස්සේ “අවසානය පැමිණෙයි.” (මතෙ. 24:14, 36) දෙවියන් තීරණය කරලා තියෙන ඒ දවස එන කල් ‘කිසි විවේකයක් නොගෙන බීජ වපුරන්න’ කියලා දීලා තියෙන ආඥාවට කීකරු වෙන්න අපිට පුළුවන් කොහොමද? *දේශනාකාරයා 11:6 කියවන්න.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 දක්ෂ විදිහට දේශනා කරන්න උදව් වෙන දේවල් හතරක් ගැන අපි කලින් ලිපියේ බැලුවා. මොන තත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වුණත් අත් නෑර දේශනා සේවයේ හවුල් වෙන්න අපි අරන් තියෙන අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න අපිට උදව් වෙන පැති තුනක් ගැන අපි මේ ලිපියෙන් බලනවා. (මතෙ. 4:19) ඒවා තමයි (1) දේශනා සේවයට ජීවිතේ මුල් තැන දෙන එක, (2) ඉවසීමෙන් බලන් ඉන්න එක සහ (3) ශක්තිමත් විශ්වාසයක් ඇතුව ඉන්න එක.

දේශනා සේවයට දිගටම මුල් තැන දෙන්න

4. යෙහෝවා දෙවියන් අපිට භාර දීලා තියෙන වැඩේට මුල් තැන දෙන එක වැදගත් ඇයි?

4 අන්තිම කාලේ මොන වගේ මිනිසුන්ද ඉන්නේ, මොන වගේ දේවල්ද වෙන්නේ කියලා යේසුස් කිව්වා. සේවයට ජීවිතේ මුල් තැන දෙන්න ඔහුගේ අනුගාමිකයන්ට ඒ දේවල් බාධා වෙන්න පුළුවන් කියලා යේසුස් දැනන් හිටියා. යේසුස් එයාලට කිව්වා “සෝදිසියෙන් සිටින්න” කියලා. (මතෙ. 24:42) නෝවා දීපු අනතුරු ඇඟවීමට අවධානය නොදී ඉන්න එදා හිටපු මිනිසුන්ට හේතු වුණු දේවල්ම අපේ අවධානය වෙනතකට යොමු වෙන්න හේතු වෙන්න පුළුවන්. (මතෙ. 24:37-39; 2 පේතෘ. 2:5) ඒ නිසයි යෙහෝවා දෙවියන් අපිට භාර දීලා තියෙන වැඩේට අපි දිගටම අවධානය දෙන්න ඕනේ.

5. ක්‍රියා 1:6-8 කියන විදිහට ශුභාරංචිය කොයි තරම් දුරකට ව්‍යාප්ත වෙනවාද?

5 අද දේශනා සේවයට අපේ ජීවිතවල මුල් තැන දෙන එක හරිම වැදගත්. යේසුස් කිව්වා ඔහුගේ මරණයෙන් පස්සේ ඔහුගේ අනුගාමිකයන් දේශනා සේවය දිගටම කරනවා කියලා. ඒ වගේම ඔහු කළාටත් වඩා වැඩි ප්‍රදේශ ගාණක ඒ අය ඒක කරනවා කියලත් යේසුස් කිව්වා. (යොහ. 14:12) යේසුස් මැරුණාට පස්සේ සමහර අනුගාමිකයන් ආයෙත් ධීවර රැකියාවට ගියා. නැවත නැඟිටීමෙන් පස්සේ යේසුස් ආශ්චර්යයක් කරලා ඔහුගේ අනුගාමිකයන් කීපදෙනෙක්ට විශාල මාළු ප්‍රමාණයක් අල්ලන්න උදව් කළා. ඊටපස්සේ යේසුස් එයාලට පෙන්නලා දුන්නා දේශනා කරන සහ උගන්වන කාර්යය ජීවිතේ අනිත් හැම දේටම වඩා වැදගත් කියලා. (යොහ. 21:15-17) යේසුස් ස්වර්ගයට යන්න ටිකකට කලින් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා ඔහු පටන්ගත්ත දේශනා කිරීමේ කාර්යය ඊශ්‍රායෙල් දේශයේ විතරක් නෙමෙයි පොළොවේ දුර ඈත කෙළවර දක්වා ව්‍යාප්ත වෙනවා කියලා. (ක්‍රියා 1:6-8 කියවන්න.) ඊට අවුරුදු ගාණකට පස්සේ යේසුස් “ස්වාමීන්ගේ දවසේ” සිදු වෙන දේවල් දර්ශනයකින් යොහන්ට පෙන්නුවා. * එයා දැක්ක එක දෙයක් තමයි දේවදූතයන්ගේ මඟ පෙන්වීමෙන් ‘සදාකාල ශුභාරංචිය සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත්’ දේශනා කරන විදිහ. (එළි. 1:10; 14:6) යෙහෝවා දෙවියන් දේශනා සේවය නතර කරන්න කියන කල් ලොව පුරා සිද්ධ වෙන ඒ කාර්යයේ අපි හවුල් වෙයි කියලා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙනවා කියන දේ පැහැදිලියි.

6. දේශනා සේවයේ දිගටම හවුල් වෙන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

6 අපිට උදව් කරන්න යෙහෝවා දෙවියන් මොන තරම් දේවල් දීලා තියෙනවාද කියලා හිතන එක සේවයට අපේ ජීවිතේ මුල් තැන දෙන්න උදව් වෙනවා. උදාහරණෙකට යෙහෝවා දෙවියන් එක්ක අපිට තියෙන බැඳීම ශක්තිමත්ව තියාගන්න මුද්‍රිත සහ ඉලෙක්ට්‍රෝනික ප්‍රකාශන, ඕඩියෝ වීඩියෝ වැඩසටහන් සහ බ්‍රෝඩ්කාස්ටිං හරහා කොයි තරම් වටිනා තොරතුරු අපිට ලැබෙනවාද! හිතන්න අපේ වෙබ් අඩවිය ගැන. දැන් ඒකේ භාෂා 1,000කට වැඩියෙන් තොරතුරු තියෙනවා. (මතෙ. 24:45-47) විවිධ දේශපාලනික මත, ආගමික විශ්වාසයන්, දුප්පත් පොහොසත්කම නිසා මිනිසුන් බෙදිලා හිටියත් ලොව පුරා මිලියන අටකට වැඩි යෙහෝවා දෙවියන්ගේ සෙනඟ එක පවුලක් විදිහට එක්සත්ව ඉන්නවා. උදාහරණෙකට 2019 අප්‍රියෙල් 19වෙනි සිකුරාදා ලොව පුරාම ඉන්න සාක්ෂිකරුවන් හැමෝම එදා දවසට අදාළ දිනපද සාකච්ඡාව ඇතුළත් වීඩියෝ එකක් බැලුවා. එදා හවස යේසුස්ගේ මරණය සිහි කරන්න 2,09,19,041දෙනෙක් සහභාගි වුණා. යෙහෝවා දෙවියන් කරන ඒ පුදුම දේවල් දකින්න, ඒවාට සහභාගි වෙන්න අපිට ලැබිලා තියෙන අවස්ථාව ගැන හිතද්දී අපේ ජීවිතේ මුල් තැන දේශනා සේවයට දෙන්න අපි පෙලඹෙනවා.

සත්‍යය ගැන සාක්ෂි දැරීමෙන් ඔහුව වළක්වන්න යේසුස් කිසිම දෙයකට ඉඩ දුන්නේ නැහැ (7 ඡේදය බලන්න)

7. සේවයට මුල් තැන දෙන්න යේසුස්ගේ ආදර්ශය අපිට උදව් වෙන්නේ කොහොමද?

7 දේශනා සේවයට ජීවිතේ මුල් තැන දෙන්න අපිට උදව් වෙන තවත් දෙයක් තමයි යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරන එක. සත්‍යය ගැන සාක්ෂි දැරීමෙන් ඔහුව වළක්වන්න යේසුස් කිසිම දේකට ඉඩ දුන්නේ නැහැ. (යොහ. 18:37) එක අවස්ථාවක සාතන් “ලෝකයේ සියලු රාජ්‍යයන්ද ඒවායේ තේජසද” යේසුස්ට දෙන්න පොරොන්දු වුණා. තවත් අවස්ථාවක මිනිසුන් උත්සාහ කළා යේසුස්ව රජ විදිහට පත් කරන්න. ඒත් ඒ හැම දෙයක්ම යේසුස් එකහෙළාම ප්‍රතික්ෂේප කළා. (මතෙ. 4:8, 9; යොහ. 6:15) යේසුස් ධන සම්පත් පස්සේ ගියේ නැහැ. දැඩි විරුද්ධවාදිකම් ආවත් ඒවාට බය වුණෙත් නැහැ. (ලූක් 9:58; යොහ. 8:59) අපේ විශ්වාසය සෝදිසියට ලක් වෙන අවස්ථාවලට අපිටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවලදී වුණත් සේවයට දිගටම මුල් තැන දෙන්න අපිට උදව් වෙන දෙයක් පාවුල් කිව්වා. ඔහු කිව්වේ අපි යේසුස්ව ආදර්ශයට ගන්නවා නම් ‘වෙහෙසට පත් නොවී අපේ උත්සාහය අත් නොහැර’ ඉන්න අපිට පුළුවන් කියලයි.—හෙබ්‍රෙ. 12:3.

ඉවසීමෙන් බලන් ඉන්න

8. ඉවසන කෙනෙක් මොන වගේද? විශේෂයෙන්ම මේ කාලේ ඉවසන එක හුඟක් වැදගත් ඇයි?

8 ඉවසීමෙන් වැඩ කරන කෙනෙක් තත්වයන් හොඳ අතට හැරෙන කල් සන්සුන්ව ඉන්නවා. අපි හැමෝටමත් ඉවසීමෙන් වැඩ කරන්න වෙන අවස්ථාවන් උදා වෙනවා. උදාහරණෙකට කාලයක් තිස්සේ අද්දකින දුෂ්කර තත්වයක් නිමා වෙන කල් එහෙමත් නැත්නම් අපි ආස වෙන දෙයක් ලැබෙන කල් අපිට ඉවසීමෙන් බලන් ඉන්න වෙනවා. යුදයේ පැවතුණු ප්‍රචණ්ඩකාරී වාතාවරණය වෙනස් වෙන කල් අනාගතවක්තෘ හබක්කුක් ලොකු වුවමනාවකින් බලන් හිටියා. (හබ. 1:2) ‘ඉක්මනින්ම’ දේවරාජ්‍යයේ පාලනය ඇරඹිලා රෝම පාලනයෙන් තමන්ට නිදහසක් ලැබෙයි කියලා යේසුස්ගේ ගෝලයන් බලාපොරොත්තු වුණා. (ලූක් 19:11) අපිත් ආසාවෙන් බලන් ඉන්නේ දේවරාජ්‍යයේ පාලනය මාර්ගයෙන් දුෂ්ටකම්වලට නිමාවක් ගෙනල්ලා ධර්මිෂ්ඨකම රජයන කාලයක් අපිට ලැබෙන කල්. (2 පේතෘ. 3:13) හැබැයි ඒ දේවල්වලට යෙහෝවා දෙවියන් නියම කරලා තියෙන කාලය එන කල් අපි ඉවසීමෙන් බලන් ඉන්න ඕනේ. ඉවසීමෙන් වැඩ කරන්න යෙහෝවා දෙවියන් අපිට උගන්වලා තියෙන විදි කීපයක් අපි දැන් බලමු.

9. යෙහෝවා දෙවියන් ඉවසීමෙන් වැඩ කරන කෙනෙක් කියලා පැහැදිලි වෙන උදාහරණ කීපයක් කියන්න.

9 ඉවසීමෙන් වැඩ කරන එක සම්බන්ධයෙන් හොඳම ආදර්ශය තියලා තියෙන්නේ යෙහෝවා දෙවියන්. උදාහරණෙකට නැවක් හදන්නත් ජලගැල්ම ගැන මිනිසුන්ට අනතුරු අඟවන්නත් ඔහු නෝවාට ප්‍රමාණවත් කාලයක් දුන්නා. (2 පේතෘ. 2:5; 1 පේතෘ. 3:20) දුෂ්ටකම්වලින් පිරිලා තිබුණු සොදොම් සහ ගොමෝරා නගර විනාශ කරන්න යෙහෝවා දෙවියන් ගත්ත තීරණය ගැන ආබ්‍රහම් ආයේ ආයේ ප්‍රශ්න කරද්දී ඔහු ඉවසීමෙන් ඇහුම්කන් දුන්නා. (උත්. 18:20-33) තමන්ට අකීකරු වුණු ඊශ්‍රායෙල් සෙනඟත් එක්ක යෙහෝවා දෙවියන් අවුරුදු සිය ගාණක් හුඟක් ඉවසීමෙන් කටයුතු කළා. (නෙහෙ. 9:30, 31) අදටත් යෙහෝවා දෙවියන් තමන්ගේ යාළුවන් කරගන්න කැමති හැමෝටම “පසුතැවිලි වීමේ ප්‍රස්තාව” දීලා එයාලගේ ජීවිත වෙනස් කරගන්න ප්‍රමාණවත් කාලයක් දීලා තියෙනවා. (2 පේතෘ. 3:9; යොහ. 6:44; 1 තිමෝ. 2:3, 4) ඉවසීමෙන් වැඩ කරන එක ගැන යෙහෝවා දෙවියන් තියලා තියෙන ආදර්ශය ගැන හිතද්දී අපිත් ඉවසීමෙන් දේශනා කරන සහ උගන්වන කාර්යයේ දිගටම හවුල් වෙන එක මොන තරම් වැදගත්ද කියලා පැහැදිලි වෙනවා. ඉවසීමෙන් වැඩ කරන්න යෙහෝවා දෙවියන් උදාහරණයක් මාර්ගයෙන් අපිට උගන්වලා තියෙන්නේ කොහොමද කියලා දැන් බලමු.

මහන්සි වෙලා වැඩ කළත් ඉවසීමෙන් බලන් ඉන්න ගොවියෙක් වගේ අපිත් අපේ වෑයමට ප්‍රතිඵල ලැබෙන කල් ඉවසීමෙන් බලන් ඉමු (10 සහ 11 ඡේද බලන්න)

10. යාකොබ් 5:7, 8 සඳහන් ගොවියාගේ උදාහරණෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

10 යාකොබ් 5:7, 8 කියවන්න. අපිට ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් කොහොමද කියලා ඒ පදවල සඳහන් ගොවියාගෙන් ඉගෙනගන්න පුළුවන්. ඇත්ත, සමහර පැළ හරිම ඉක්මනට වැවෙනවා. ඒත් හුඟක් පැළ, විශේෂයෙන්ම පලදාවක් ලැබෙන පැළ වැවිලා අස්වැන්න ලබාගන්න සෑහෙන කාලයක් යනවා. ඊශ්‍රායෙල් දේශයේ හිටපු ගොවියන් බීජ වැපුරුවේ සරත් ඍතුවේ මුලින්ම ඒ කියන්නේ ඔක්තෝබර් මැද ඇද හැළුණු වැස්සට පස්සේ. එයාලා අස්වැන්න නෙළාගත්තේ වසන්ත ඍතුවේ අන්තිමට ඒ කියන්නේ අප්‍රියෙල් මැද ඇද හැළුණු වැස්සට පස්සේ. අස්වැන්න නෙළාගන්න එයාලට මාස හයක් විතර බලන් ඉන්න වුණා. (මාක් 4:28) ගොවියන් වගේ අපිත් ඉවසීමෙන් වැඩ කරන එක හරිම වැදගත්. හැබැයි ඒක අපිට ලේසි නැත්තේ ඇයි කියලා අපි බලමු.

11. ඉවසීමෙන් වැඩ කරන එක අපේ සේවය හොඳින් කරන්න උදව් වෙන්නේ කොහොමද?

11 පාපය උරුම කරගෙන ඉන්න අපි සාමාන්‍යයෙන් කැමති අපි කරන වැඩවල ප්‍රතිඵල ඉක්මනින්ම දකින්න. හැබැයි වගාවක් කරද්දී ඒක ඊට වඩා වෙනස්. මොකද අපි පැළ කරන දෙයින් හොඳ අස්වැන්නක් ලබාගන්න නම් කාලයක් පුරා ලොකු වෑයමක් දරන්න වෙනවා. ඒ කියන්නේ පස සකස් කරන්න, බීජ පැළ කරන්න, වල් පැළ ගලවන්න, වතුර දාන්න අපිට සිද්ධ වෙනවා. මිනිසුන්ට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කරද්දීත් අපිට ලොකු වෙහෙසක් දරන්න වෙනවා. බයිබල් ශිෂ්‍යයන්ගේ හදවත්වල තියෙන උස් පහත් භේද නැති කරගෙන හැමෝටම ආදරෙන් සලකන්න එයාලට උදව් කරන්න අපිට සෑහෙන කාලයක් යනවා. මිනිසුන් අපේ පණිවිඩයට ඇහුම්කන් දෙන්නේ නැති වෙද්දී අධෛර්යය වෙන්නේ නැතුව දිගටම සේවේ කරන්න ඉවසීම අපිට උදව් වෙනවා. අපේ පණිවිඩයට හොඳින් සවන් දෙන අය එක්කත් අපි ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ. මොකද දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගන්න කියලා එයාලට බල කරන්න අපිට බැහැ. සමහර අවස්ථාවලදී යේසුස් කියපු දේවල අර්ථය වටහාගන්න ඔහුගේ අනුගාමිකයන්ටත් යම් කාලයක් ගියා. (යොහ. 14:9) පැළ කරන, වතුර දාන කාර්යයට අපි හවුල් වුණත් වර්ධනය දෙන්නේ දෙවියන් කියන දේ අපි මතක තියාගන්න ඕනේ.—1 කොරි. 3:6.

12. සත්‍යයේ නැති පවුලේ සාමාජිකයන්ට සාක්ෂි දරද්දී අපිට ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් කොහොමද?

12 සත්‍යයේ නැති පවුලේ අයට සාක්ෂි දරන්න වෙද්දීත් ඉවසීමෙන් වැඩ කරන එක අභියෝගයක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී දේශනාකාරයා 3:1, 7 සඳහන් ප්‍රතිපත්තිය අපිට උදව් වෙයි. එතන කියන්නේ “නිහඬව සිටීමට කාලයක්ද කතා කිරීමට කාලයක්ද” තියෙනවා කියලා. වචනයක්වත් කියන්නේ නැතුව යහපත් හැසිරීමෙන් සත්‍යයේ නැති පවුලේ අයට හොඳ සාක්ෂියක් දරන්න අපිට පුළුවන්. ඒ වගේම සාක්ෂි දරන්න ලැබෙන හැම අවස්ථාවකම සත්‍යය ගැන කතා කරන්න අපි සූදානමින් ඉන්න ඕනේ. (1 පේතෘ. 3:1, 2) අපි උද්‍යෝගයෙන් දේශනා කරන්නත් උගන්වන්නත් ඕනෙ තමයි. හැබැයි එහෙම කරද්දී අපේ පවුලේ අය ඇතුළුව හැමෝම එක්ක ඉවසීමෙන් වැඩ කරන එක හරිම වැදගත්.

13-14. ඉවසීමෙන් වැඩ කරන එක ගැන අපිට ඉගෙනගන්න පුළුවන් කාගේ ආදර්ශවලින්ද?

13 බයිබල් චරිතවලිනුත් අපේ කාලේ දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන අයගෙනුත් ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් කොහොමද කියලා අපිට ඉගෙනගන්න පුළුවන්. උදාහරණෙකට හබක්කුක්ට ලොකු වුවමනාවක් තිබුණා දුෂ්ටකම් ඉවර වෙනවා දකින්න. ඒත් “මගේ මුරපොළට වී මම බලා සිටින්නෙමි” කියලා එයා කියපු එකෙන් පැහැදිලි වෙනවා ඒ දේ සිද්ධ වෙන කල් ඉවසීමෙන් බලන් ඉන්න එයා කැමැත්තෙන් හිටියා කියලා. (හබ. 2:1) තමන්ගේ පැවරුම ‘නිම කරලා’ ස්වර්ගයේ ත්‍යාගය ලබාගන්න පාවුල්ට ලොකු ආසාවක් තිබුණා. ඒත් එයා දිගටම ඉවසීමෙන් “ශුභාරංචිය ගැන සම්පූර්ණ සාක්ෂියක්” දැරුවා.—ක්‍රියා 20:24.

14 ගිලියද් පාසැලට සහභාගි වෙලා සාක්ෂිකරුවන් ටිකදෙනෙක් හිටපු රටක සේවය කරන්න පැවරුමක් ලැබුණ යුවළකගේ අද්දැකීම බලන්න. එහේ වැඩියෙන් හිටියේ ක්‍රිස්තියානි නොවන අය. ඒ නිසා එයාලා බයිබලේ පණිවිඩේ ගැන දැනගන්න කැමති වුණේ නැහැ. හැබැයි මේ යුවළත් එක්ක ගිලියද් පාසැලේ හිටපු අනිත් අය එයාලා සේවය කරන රටවල්වල එයාලා කරන බයිබල් පාඩම් ගැන, ඒ පාඩම් දියුණු වෙන විදිහ ගැන විස්තර මේ යුවළත් එක්ක බෙදාගත්තා. මේ යුවළ සේවය කරපු රටේ වැඩිදෙනෙක් ශුභාරංචියට සවන් දෙන්න කැමති වුණේ නැතත් එයාලා දිගටම ඉවසීමෙන් සේවය කරගෙන ගියා. ප්‍රතිඵලයක් විදිහට අවුරුදු අටකට පස්සේ එයාලගේ බයිබල් ශිෂ්‍යයෙක් බව්තීස්ම වුණා. අපි බලපු බයිබල් ආදර්ශවලිනුත් අපේ කාලේ දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන අයගෙනුත් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? කිසිම හේතුවක් නිසා එයාලා උද්‍යෝගය නැති කරගත්තේ නැහැ. ‘කිසි විවේකයක් නොගෙන එයාලා දිගටම බීජ වැපුරුවා.’ ඒ නිසා එයාලගේ ඉවසීමට දෙවියන් ආශීර්වාද කළා. අපිටත් පුළුවන් “විශ්වාසයකින් හා ඉවසීමකින් කටයුතු කර පොරොන්දු වූ දේවල ඉටු වීම අද්දකින අයව අනුකරණය කරන්න.”—හෙබ්‍රෙ. 6:10-12.

දිගටම ශක්තිමත් විශ්වාසයක් ඇතුව ඉන්න

15. අත් නෑර දේශනා කරන්න අරන් තියෙන අදිටන ශක්තිමත් කරගන්න විශ්වාසය උදව් වෙන එක විදිහක් මොකක්ද?

15 අපි දේශනා කරන පණිවිඩය ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා අපිට ඕනෙ පුළුවන් තරම් දෙනෙක්ට ඒ ගැන දැනුම් දෙන්න. බයිබලේ තියෙන පොරොන්දු ගැන අපිට කිසිම සැකයක් නැහැ. (ගීතා. 119:42; යෙසා. 40:8) බයිබල් අනාවැකි අපේ ඇස් පනාපිටම ඉටු වෙනවා. මිනිසුන් බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගෙන ජීවිත වෙනස් කරගන්න විදිහ අපි දැකලා තියෙනවා. ඒ දේවල් දකිද්දී ශුභාරංචිය හැමෝම දැනගන්න ඕනෙ කියලා අපි තුළ තියෙන නිසැකකම තවත් වැඩි වෙනවා.

16. ගීතාවලිය 46:1-3 අනුව අත් නෑර සේවයේ හවුල් වෙන්න දෙවියන් ගැන අපිට තියෙන විශ්වාසය උදව් වෙන්නේ කොහොමද? ඒ දේ කරන්න යේසුස් ගැන අපිට තියෙන විශ්වාසය උදව් වෙන්නේ කොහොමද?

16 දේශනා කරන්න ඕන පණිවිඩය අපිට දැනුම් දීලා තියෙන යෙහෝවා දෙවියන් ගැනත් දේවරාජ්‍යයේ රජ හැටියට ඔහු පත් කරලා තියෙන යේසුස් ගැනත් අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. (යොහ. 14:1) යෙහෝවා දෙවියන් අපේ රැකවරණයත් ශක්තියත් වෙන නිසා මොන දේකට මුහුණ දෙන්න වුණත් අපි බය වෙන්න ඕනෙ නැහැ. (ගීතාවලිය 46:1-3 කියවන්න.) දෙවියන් දීලා තියෙන බලයත් අධිකාරියත් පාවිච්චි කරලා යේසුස් ස්වර්ගයේ ඉඳන් දේශනා සේවයට මඟ පෙන්නනවා කියන එක ගැනත් අපිට නිසැකයි.—මතෙ. 28:18-20.

17. අපි අත් නෑර දේශනා කරන්න ඕනෙ ඇයි කියලා අද්දැකීමකින් පැහැදිලි කරන්න.

17 විශ්වාසය අපිට උදව් වෙනවා යෙහෝවා දෙවියන් අපේ වෑයම්වලට ආශීර්වාද කරනවා කියන එක ගැන අපිට තියෙන නිසැකකම තවත් වැඩි කරගන්න. සමහර වෙලාවට ඔහු ආශීර්වාද කරන්නේ අපි හිතන්නේවත් නැති විදිහට. (දේශ. 11:6) උදාහරණෙකට ජංගම පුවරු තියන් සාක්ෂි දරද්දී මිනිසුන් දහස් ගාණක් අපිව පහු කරන් යනවා. සමහරවිට අපිට හිතෙයි ඇත්තටම මේ ක්‍රමය සාර්ථකයිද කියලා. ඒක තේරුම්ගන්න 2014 නොවැම්බර් මාසේ පළ වුණු ‘රාජ්‍ය සේවාවේ’ සඳහන් අද්දැකීමක් බලන්න. විශ්වවිද්‍යාලයක ඉගෙනගන්න යෞවනියක්ට ඕන වුණා සාක්ෂිකරුවන් ගැන රචනාවක් ලියන්න. හැබැයි එයා හිටිය පළාතේ නමස්කාර මධ්‍යස්ථානයක් හොයාගන්න එයාට බැරි වුණා. ඒත් සාක්ෂිකරුවන් විශ්වවිද්‍යාලයේ තියන් හිටපු ජංගම පුවරුවකින් එයාගේ රචනාවට ඕන තොරතුරු ඇතුළත් ප්‍රකාශන ලබාගන්න එයාට පුළුවන් වුණා. කාලයක් යද්දී එයාත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වුණා. දැන් එයා ස්ථාවර පුරෝගාමියෙක්. ඒ වගේ අද්දැකීම් අහද්දී අපිට තේරෙනවා ශුභාරංචියට ඇහුම්කන් දෙන්න කැමති මිනිසුන් තාමත් ඉන්නවා කියලා. ඒක අපිව පොලඹවනවා අත් නෑර සේවයේ හවුල් වෙන්න.

අත් නෑර සේවයේ යන්න අදිටන් කරගන්න

18. යෙහෝවා දෙවියන් අරමුණු කරපු විදිහටම දේශනා කිරීමේ කාර්යය සම්පූර්ණයෙන්ම ඉටු වෙයි කියලා අපිට නිසැක වෙන්න පුළුවන් ඇයි?

18 දේශනා සේවය ප්‍රමාද වෙන්නේ නැතුව නියමිත කාලේදී අවසන් වෙනවා කියලා අපිට නිසැකයි. නෝවාගේ කාලේ යෙහෝවා දෙවියන් වැඩ කරපු විදිහෙන් ඔහු හරිම වෙලාවට දේවල් කරනවා කියලා ඔප්පු වුණා. ජලගැල්ම ගේන දවස ඔහු තීරණය කළේ ඊට අවුරුදු 120කට විතර කලින්. ඊට අවුරුදු ගාණකට පස්සේ ඔහු නෝවාට කිව්වා විශාල නැවක් හදන්න කියලා. පේන විදිහට ජලගැල්ම ගේන්න අවුරුදු 40කට 50කට කලින් ඉඳන්ම නෝවා යෙහෝවා දෙවියන් භාර දීපු වැඩේ වෙහෙස මහන්සි වෙලා කළා. එයා කියපු පණිවිඩයට මිනිසුන් ඇහුම්කන් දුන්නේ නැතත් නැවට සතුන්ව ඇතුල් කරගන්න කියලා යෙහෝවා දෙවියන් කියන කල්ම එයා අත් නෑර පණිවිඩය දේශනා කළා. ඊටපස්සේ හරි වෙලාවට ‘යෙහෝවා දෙවියන් නැවේ දොර වැහුවා.’—උත්. 6:3; 7:1, 2, 16.

19. අපි අත් නෑර දේශනා කරනවා නම් අපිට අද්දකින්න පුළුවන් වෙන්නේ මොකක්ද?

19 ළඟදීම දේශනා සේවය නතර කරන්න කියලා යෙහෝවා දෙවියන් අපිට කියනවා. ඊටපස්සේ ඔහු සාතන්ගේ දුෂ්ට සමාජය විනාශ කරලා ඔහුට කීකරු අයට ප්‍රීතිමත් කාලයක් උදා කරනවා. ඒ දවස එන කල් නෝවා, හබක්කුක් වගේ අත් නෑර දේශනා කරපු අයව ආදර්ශයට ගමු. සේවයට ජීවිතේ මුල් තැන දෙන්නත් ඉවසිලිවන්තව බලන් ඉන්නත් දෙවියන්ගේ පොරොන්දු ගැන දිගටම ශක්තිමත් විශ්වාසයක් ඇතුව ඉන්නත් අපි අදිටන් කරගමු.

ගීතිකාව 75 “මම යන්න කැමතියි මාව යවන්න”

^ 5 ඡේ. ජීවිත වෙනස් කරමින් ඉන්න බයිබල් ශිෂ්‍යයන්ට කලින් ලිපියේ දිරිගැන්නුවා මිනිසුන් අල්ලන්නන් වෙන්න කියලා යේසුස් කරපු ආරාධනය පිළිගන්න කියලා. මේ ලිපියේ කතා කරන්නේ හැම ප්‍රචාරකයෙක්ටම එයාලා අලුත් අය වුණත් අද්දැකීම් තියෙන අය වුණත් යෙහෝවා දෙවියන් දේශනා සේවය නතර කරන්න කියලා කියන කල් අත් නෑර දේශනා කරන්න එයාලා අරන් තියෙන අධිෂ්ඨානය ශක්තිමත් කරන්න උදව් වෙන පැති තුනක් ගැනයි.

^ 2 ඡේ. පැහැදිලි කිරීමක්: මේ ලිපියේ ‘කිසි විවේකයක් නොගෙන බීජ වපුරන්න’ කියන එකෙන් අදහස් වෙන්නේ යෙහෝවා දෙවියන් දේශනා සේවය නතර කරන්න කියන කල් සේවයේ හවුල් වෙන්න අපි අධිෂ්ඨාන කරගෙන ඉන්න ඕනෙ කියන එකයි.

^ 5 ඡේ. ”ස්වාමීන්ගේ දවස” පටන්ගත්තේ 1914 යේසුස් ස්වර්ගයේ රජ වුණාම. ඒක අවසන් වෙන්නේ දහස් අවුරුදු පාලනය අවසානයේදී.