Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 36

තරුණ සහෝදර සහෝදරියන්ව වටිනා අය විදිහට සලකන්න

තරුණ සහෝදර සහෝදරියන්ව වටිනා අය විදිහට සලකන්න

“තරුණයන්ගේ අලංකාරය වන්නේ ඔවුන්ගේ ශක්තියයි.”—හිතෝ. 20:29.

ගීතිකාව 88 ඔබගේ මාර්ගය මට උගන්වන්න

මේ ලිපියෙන් *

1. මහලු අයට තියාගන්න පුළුවන් ඉලක්කය මොකක්ද?

වයසට යද්දී කලින් තරම් යෙහෝවා දෙවියන්ට සේවය කරන්න බැරි වෙයි කියලා අපිට බයක් දැනෙන්න පුළුවන්. ඇත්ත, වයසට යද්දී ඇඟේපතේ හයිය අඩු වෙනවා තමයි. හැබැයි අවුරුදු ගාණක් එකතු කරගත්ත අද්දැකීම්, දැනුම ඔයාලට තියෙනවා. ඉතින් ඒවා පාවිච්චි කරලා සභාවේ වගකීම් හොඳින් කරන්න තරුණ අයව පුහුණු කරන්න ඔයාට පුළුවන්. “වයසත් එක්ක කලින් වගේ දේවල් කරන්න මට අමාරු වෙද්දී සභාවේ වගකීම් කරට අරන් වැඩ කරන්න හොඳින් පුහුණු වුණ තරුණ සහෝදරයන් ඉන්න එක ගැන මට හරිම සතුටුයි” කියලා එක වැඩිමහල්ලෙක් කියනවා.

2. මේ ලිපියේ කතා කරන්නේ මොනවා ගැනද?

2 සභාවේ ඉන්න වැඩිහිටි අයත් එක්ක එකතු වෙලා වැඩ කරද්දී තරුණ අයට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලා අපි කලින් ලිපියෙන් බැලුවා. තරුණ අයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න නිහතමානිකම, සීමාව තේරුම්ගන්න එක, අගය කරන එක, ත්‍යාගශීලීකම වගේ ගුණාංග වැඩිහිටි අයට උදව් වෙන්නේ කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු. ඒ වගේම එහෙම කරද්දී ඒකෙන් සභාවේ හැමෝටම ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද කියලත් අපි බලමු.

නිහතමානී වෙන්න

3. ෆිලිප්පි 2:3, 4 අනුව නිහතමානී කෙනෙක් මොන වගේද? ඒ ගුණාංගය එයාට උදව් වෙන්නේ මොනවා කරන්නද?

3 තරුණ අයට උදව් කරන්න නම් වැඩිහිටි අය නිහතමානී වෙන්න ඕනේ. නිහතමානී කෙනෙක් හැම තිස්සේම අනිත් අය තමන්ට වඩා උසස් කියලා හිතනවා. (ෆිලිප්පි 2:3, 4 කියවන්න.) ඒ ගුණාංගය තියෙන වැඩිහිටි අය තේරුම්ගන්නවා බයිබල් ප්‍රතිපත්තියක් කැඩෙන්නේ නැති විදිහට පැවරුමක් සාර්ථකව කරන්න ගොඩක් ක්‍රම තියෙන්න පුළුවන් කියලා. ඒ නිසා තමන් කරපු විදිහටම පැවරුමක් කරන්න කියලා එයාලා තරුණ අයට බල කරන්නේ නැහැ. (දේශ. 7:10) තරුණ අයත් එක්ක බෙදාගන්න එයාලට ගොඩක් වටිනා අද්දැකීම් තියෙනවා. හැබැයි ‘මේ ලෝකේ වාතාවරණය වෙනස් වෙමින් පවතින’ නිසා අලුත් දේවල්වලට හුරු වෙන්න සිද්ධ වෙනවා කියලා එයාලා තේරුම්ගන්නවා.—1 කොරි. 7:31.

මහලු අය එයාලගේ අද්දැකීම් අනිත් අයත් එක්ක කැමැත්තෙන්ම බෙදාගන්නවා (4 සහ 5 ඡේද බලන්න) *

4. චාරිකා සේවකයන් ලෙවීවරුන්ව ආදර්ශයට ගන්නේ කොහොමද?

4 වයසට යද්දී කලින් තරම් දේවල් කරන්න බැහැ කියලා නිහතමානී වැඩිහිටි සහෝදරයන් තේරුම්ගන්නවා. උදාහරණෙකට චාරිකා සේවකයන්ට අවුරුදු 70ක් වුණාම වෙන පැවරුමක් ලැබෙනවා. අවුරුදු ගාණක් පුරා සහෝදර සහෝදරියන් වෙනුවෙන් මහන්සි වෙලා සේවය කරලා ඒක එකපාරටම නවත්තන එක ලේසි නැහැ. දිගටම ඒ සේවේ කරන්න එයාලා ගොඩක් ආසයි. හැබැයි ඒ පැවරුම තරුණ කෙනෙක්ට දෙන එක තමයි හොඳම දේ කියලා එයාලා තේරුම්ගන්නවා. මේ ආදරණීය සහෝදරයන් හරියට අතීතේ හිටපු ලෙවීවරුන් වගේ. අවරුදු 50දී ලෙවීවරුන්ට ශුද්ධ කූඩාරමේ කරපු සේවය නවත්තන්න සිද්ධ වුණා. ඒ ලෙවීවරුන් එයාලගේ සතුට නැති කරගන්නේ නැතුව පුළුවන් දේ කළා. ඒ වැඩේට තරුණ අයව පුහුණු කරන්න එයාලගේ උපරිමය කළා. (ගණන්. 8:25, 26) කලින් චාරිකා සේවය කරපු සහෝදරයන් කලින් වගේ සභාවෙන් සභාවට ගිහින් සේවය කරන්නේ නැති වුණත් දැන් සේවය කරන සභාවට එයාලා ලොකු ආශීර්වාදයක්.

5. ඩෑන් සහ කේටිගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

5 සහෝදර ඩෑන් අවුරුදු 23ක්ම චාරිකා සේවය කරපු කෙනෙක්. එයාට අවුරුදු 70ක් වුණාම එයාටයි එයාගේ බිරිඳටයි විශේෂ පුරෝගාමීන් විදිහට සේවය කරන්න අලුත් පැවරුමක් ලැබුණා. ඒ අලුත් පැවරුමට එයාලා හැඩගැහුණේ කොහොමද? කලින් තරම් සේවයක් කරගන්න බැරි වෙයි කියලා එයාලා හිතුවාද? ඒ ගැන ඩෑන් කියන්නේ “චාරිකා සේවය කරපු කාලෙටත් වඩා දැන් මට වැඩ වැඩියි” කියලා. ඇයි එයා එහෙම කියන්නේ? දැන් ඉන්න සභාවේ එයාට වගකීම් ගොඩක් තියෙනවා. සහෝදරයන්ට සහායක සේවකයන් වෙන්න අවශ්‍ය ගුණාංග දියුණු කරගන්න එයා උදව් කරනවා. ඒ වගේම ජනාකීර්ණ නගරවල, හිරගෙවල්වල සේවය කරන්න අනිත් අයව පුහුණු කරනවා. වැඩිහිටි සහෝදරයෙනි, ඔයාලා පූර්ණකාලීනව සේවය කළත් නැතත් අනිත් අය වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න ඔයාලට පුළුවන්. එහෙම කරන්න නම් ඔයා මොනවාද කරන්න ඕනේ? අලුත් තත්වයට හැඩගැහෙන්න. අලුත් ඉලක්ක තියාගන්න. කරන්න බැරි දේවල් ගැන දුක් වෙනවා වෙනුවට කරන්න පුළුවන් දේවල් ගැන හිතන්න.

සීමාව තේරුම් අරන් වැඩ කරන්න

6. අපි සීමාව තේරුම් අරන් වැඩ කරන්න ඕනෙ ඇයි? පැහැදිලි කරන්න.

6 තමන්ගේ සීමාව තේරුම් අරන් වැඩ කරන එක නිහතමානී කෙනෙක්ගේ එක ලක්ෂණයක්. (හිතෝ. 11:2) ඒ වගේ කෙනෙක් තමන්ගෙන්ම ඕනෑවට වඩා දේවල් බලාපොරොත්තු වෙන්නේ නැති නිසා එයාට දිගටම සතුටින් දෙවියන්ට සේවය කරන්න පුළුවන් වෙනවා. ඒක තේරුම්ගන්න මේ උදාහරණය බලන්න. බයිසිකලයක් පැදගෙන යද්දී ඉස්සරහින් කන්දක් හම්බ වුණොත් ඔයා මොකද කරන්නේ? කන්දේ බයිසිකලේ පදින්න බැරි නිසා ඔයා බයිසිකලෙන් බැහැලා ඒක තල්ලු කරගෙන යනවා. එහෙම කරද්දී කලින්ට වඩා ඔයාගේ වේගය අඩු වෙයි. හැබැයි ඔයා දිගටම ඔයාගේ ගමන යනවා. ඒ වගේ සීමාව තේරුම් අරන් වැඩ කරන කෙනෙක් තත්වයන් වෙනස් වෙද්දී ඒකට අනුව හැඩගැහෙන්න ඕනෙ කියලා තේරුම්ගන්නවා. ඒ නිසා කලින් තරම් දේවල් කරන්න බැරි වුණත් දිගටම උපරිමයෙන් යෙහෝවා දෙවියන්ට සේවය කරන්න එයාට පුළුවන් වෙනවා.—ෆිලි. 4:5.

7. බාසිල්ලයි සීමාව තේරුම් අරන් වැඩ කළේ කොහොමද?

7 බාසිල්ලයි තමන්ගේ සීමාව තේරුම් අරන් වැඩ කරපු කෙනෙක්. දාවිත් රජ අවුරුදු 80ක් වුණ බාසිල්ලයිට රජමාලිගාවේ සේවය කරන්න එන්න කියලා ආරාධනා කළා. වයසත් එක්ක කලින් වගේ දුවලා පැනලා දේවල් කරන්න බැහැ කියලා බාසිල්ලයි තේරුම්ගත්ත නිසා ඒ අවස්ථාව කිම්හාම්ට දෙන්න කියලා එයා රජගෙන් ඉල්ලුවා. (2 සාමු. 19:35-37) බාසිල්ලයි වගේ අද ඉන්න වැඩිහිටි සහෝදරයනුත් කැමැත්තෙන්ම තරුණ සහෝදරයන්ට වගකීම් භාර දෙනවා.

දේවමාලිගාව හදන්නේ එයා නෙවෙයි එයාගේ පුතා කියලා දෙවියන් කිව්වාම දාවිත් රජ ඒකට කැමැත්තෙන්ම කීකරු වුණා (8 ඡේදය බලන්න)

8. දාවිත් රජ සීමාව තේරුම් අරන් වැඩ කළේ කොහොමද?

8 දාවිත් රජගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද කියලා දැන් අපි බලමු. යෙහෝවා දෙවියන් වෙනුවෙන් ගෘහයක් ගොඩනඟන්න දාවිත් හිටියේ හරිම ආසාවෙන්. හැබැයි ඒ අවස්ථාව ලැබෙන්නේ එයාගේ පුතා සලමොන්ට කියලා යෙහෝවා දෙවියන් කිව්වා. එතකොට දාවිත් යෙහෝවා දෙවියන්ගේ තීරණය කැමැත්තෙන්ම පිළි අරන් ගෘහය ගොඩනඟන වැඩේ කරන්න එයාගේ පුතාට උපරිමයෙන්ම උදව් කළා. (1 ලේක. 17:4; 22:5) සලමොන් ‘අද්දැකීම් නැති තරුණ කෙනෙක්’ නිසා මේ පැවරුම කරන්න හොඳම කෙනා මමයි කියලා දාවිත් කවදාවත් හිතුවේ නැහැ. (1 ලේක. 29:1) මොකද දාවිත් දැනගෙන හිටියා ඒ වැඩේ සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ කෙනෙක්ගේ වයස නිසාවත් අද්දැකීම් නිසාවත් නෙවෙයි යෙහෝවා දෙවියන්ගේ උදව් නිසයි කියලා. අද ඉන්න වැඩිහිටි සහෝදරයනුත් එයාලගේ පැවරුම වෙනස් වුණත් දාවිත් වගේ යෙහෝවා දෙවියන් වෙනුවෙන් දැන් එයාලට කරන්න පුළුවන් උපරිමය කරනවා. ඒ වගේම එයාලා කලින් කරපු පැවරුම් දැන් භාරගෙන ඉන්න සහෝදරයන්ට යෙහෝවා දෙවියන් උදව් කරනවා කියලා එයාලට කිසිම සැකයක් නැහැ.

9. ශාඛා කමිටු සාමාජිකයෙක් සීමාව තේරුම් අරන් වැඩ කළේ කොහොමද?

9 සහෝදර ෂිගෙයෝගේ අද්දැකීම බලන්න. 1976දී ශාඛා කමිටු සාමාජිකයෙක් විදිහට වැඩ කරන්න පටන්ගන්නකොට එයාගේ වයස අවුරුදු 30යි. 2004දී එයා ශාඛා කමිටු සම්බන්ධීකාරක විදිහට සේවය කරන්න පටන්ගත්තා. හැබැයි කාලයක් යද්දී එයාට තේරුණා කලින් වගේ මහන්සි වෙලා දේවල් කරන්න එයාට අමාරුයි කියලා. ඒ නිසා යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරලා ඒ පැවරුම එයාට වඩා තරුණ සහෝදරයෙක්ට භාර දෙන්න සහෝදර ෂිගෙයෝ තීරණය කළා. දැන් එයා ශාඛා කමිටු සම්බන්ධීකාරක නොවුණත් දිගටම ශාඛා කමිටු සාමාජිකයෙක් විදිහට අනිත් සහෝදරයන් එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. බාසිල්ලයි, දාවිත් රජ, ෂිගෙයෝ වගේ නිහතමානීව තමන්ගේ සීමාව තේරුම් අරන් වැඩ කරන කෙනෙක් කවදාවත් තරුණ අයට අද්දැකීම් අඩු නිසා වගකීම් භාර දෙන්න එයාලා සුදුසු මදි කියලා හිතන්නේ නැහැ. ඒ වෙනුවට එයාලා අවධානය දෙන්නේ තරුණ අයගේ හැකියාවන් දෙවියන්ගේ සංවිධානයට කොච්චර වටිනවාද කියන එකටයි. ඒ නිසා එයාලා කවදාවත් තරුණ සහෝදරයන්ව තමන්ගේ තරඟකරුවන් විදිහට දකින්නේ නැහැ. ඒ වෙනුවට එයාලත් එක්ක එකතු වෙලා සහයෝගයෙන් යෙහෝවා දෙවියන්ට සේවය කරනවා.—හිතෝ. 20:29.

අගය කරන්න

10. සභාවේ ඉන්න තරුණ අය ගැන මහලු අය හිතන්න ඕනෙ කොහොමද?

10 සභාවේ ඉන්න මහලු අය තරුණ අයව සලකන්නේ යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණ තෑගි විදිහට. සභාව වෙනුවෙන් තරුණ අය කරන සේවය එයාලා ගොඩක් අගය කරනවා. එයාලගේ ශක්තිය අඩු වෙද්දී එයාලා වෙනුවට සභාවේ බර කරට අරන් වැඩ කරන්න තරුණ සහෝදරයන් ඉන්න එක ගැන මහලු අය ගොඩක් සතුටු වෙනවා.

11. රූත් 4:13-16 අනුව මහලු අය තරුණ අයගෙන් ලැබෙන උදව් පිළිගද්දී තියෙන ප්‍රයෝජන මොනවාද?

11 නායොමි මහලු අයට හොඳ ආදර්ශයක්. එයා තරුණ අයගෙන් ලැබුණු උදව් කැමැත්තෙන්ම පිළිගත්තා. රූත්ගේ මහත්තයා මැරුණාට පස්සේ නායොමි කීප සැරයක්ම එයාට කිව්වා එයාගේ ගමට ගිහිල්ලා පවුලේ අයත් එක්ක ජීවත් වෙන්න කියලා. හැබැයි රූත් නායොමිව දාලා යන්න කැමති වුණේම නැහැ. රූත් එයාගේ තීරණය වෙනස් කරන්නේ නැහැ කියලා නායොමි තේරුම්ගත්තාම එයා කැමැත්තෙන්ම රූත්ගේ උදව් පිළිගත්තා. ඒ වගේම රූත් එයාත් එක්ක බෙත්ලෙහෙමට ආවාම එයා ඒ ගැන ගොඩක් සතුටු වුණා. (රූත් 1:7, 8, 18) ඒකෙන් ඒ දෙන්නාටම කොච්චර ආශීර්වාද ලැබුණාද! (රූත් 4:13-16 කියවන්න.) මහලු අය නායොමිව ආදර්ශයට අරන් තරුණ අයගෙන් ලැබෙන උදව් පිළිගද්දී ඒකෙන් ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා.

12. පාවුල් එයාට ලැබුණ උදව් අගය කළේ කොහොමද?

12 පාවුල් අනිත් අයගෙන් ලැබුණු උදව් කැමැත්තෙන්ම පිළිගත්ත කෙනෙක්. උදාහරණෙකට ෆිලිප්පියේ අය එයාගේ ඕනෑ එපාකම් ගැන හොයලා, එයාට අවශ්‍ය දේවල් දුන්නාම එයා ඒකට ස්තුති කළා. (ෆිලි. 4:16) ඒ වගේම තරුණ තිමෝති එයා වෙනුවෙන් කරපු දේවල් එයා මුළු හදවතින්ම අගය කළා. (ෆිලි. 2:19-22) තවත් අවස්ථාවක පාවුල් හිරකාරයෙක් විදිහට රෝමයට යද්දී එයාව දිරිගන්වන්න සහෝදර සහෝදරියන් ආපු එක ගැන එයා යෙහෝවා දෙවියන්ට ස්තුති කළා. (ක්‍රියා 28:15) පාවුල් කියන්නේ කිලෝමීටර් දහස් ගාණක් දුර ගිහින් දේශනා කරපු, සභාවන් ශක්තිමත් කරන්න බැහැලා වැඩ කරපු කෙනෙක්. ඒ වුණත් අනිත් අයගෙන් ලැබුණ උදව් පිළිගන්න එයා අදිමදි කළේ නැහැ.

13. තරුණ අයව අගය කරන්න මහලු අයට පුළුවන් කොහොමද?

13 මහලු සහෝදර සහෝදරියෙනි, සභාවේ ඉන්න තරුණ අයව ඔයා අගය කරනවා කියලා පෙන්නන්න ගොඩක් විදි තියෙනවා. බඩු ගන්න, ගමනක් යන්න වගේ දේවල්වලට එයාලා උදව් කරන්න හදද්දී ඒක ප්‍රතික්ෂේප කරන්න එපා. එයාලව පාවිච්චි කරලා ඔයාට ආදරය දැනෙන්න සලස්වන්නේ යෙහෝවා දෙවියන් කියලා මතක තියාගන්න. කාලයක් යද්දී එයාලත් එක්ක ඔයාට ගොඩක් කිට්ටු බැඳීමක් ඇති වෙයි. තරුණ අය වෙනුවෙන් ඔයාටත් කරන්න පුළුවන් දේවල් තියෙනවා. යෙහෝවා දෙවියන්ට තවත් ළං වෙන්න ඒ අයට උදව් කරන්න. එයාලා යෙහෝවා දෙවියන් වෙනුවෙන් වැඩිපුර සේවයක් කරන්න උත්සාහ කරද්දී ඔයාට දැනෙන සතුට ගැන කියන්න. ඒ විතරක් නෙවෙයි ඔයාට තියෙන වටිනා අද්දැකීම් එයාලත් එක්ක බෙදාගන්නත් පුළුවන්. එහෙම කරද්දී යෙහෝවා දෙවියන් අපේ ආදරණීය තරුණ සහෝදර සහෝදරියන්ව දෙවියන්ගේ පවුලට එකතු කරගත්ත එක ගැන ඔයා ඔහුට කොච්චර “ස්තුතිවන්ත” වෙනවාද කියලා පේනවා.—කොලො. 3:15; යොහ. 6:44; 1 තෙස. 5:18.

ත්‍යාගශීලී වෙන්න

14. දාවිත් රජ ත්‍යගශීලීකම පෙන්නුවේ කොහොමද?

14 මහලු අයට දාවිත් රජගෙන් ආදර්ශයට ගන්න පුළුවන් තවත් ගුණාංගයක් තමයි ත්‍යාගශීලීකම. දේවමාලිගාව හැදුවාට පස්සේ ඒකේ ගෞරවය, ප්‍රශංසාව යන්නේ සලමොන්ට කියලා දාවිත් හොඳින්ම දැනන් හිටියා. හැබැයි ඒ වැඩේට එයා එයාගේ පෞද්ගලික වස්තුවෙන් ගොඩක් දේවල් සම්මාදම් කළා. (1 ලේක. 22:11-16; 29:3, 4) වයස නිසා සංවිධානයේ ඉදි කිරීම් ව්‍යාපෘතිවලට හවුල් වෙන්න ඔයාට බැරි වුණොත් පුළුවන් විදිහට ඒවාට සම්මාදම් කරන එකෙන් ඒ වැඩවලට සහයෝගය දෙන්න පුළුවන්. ඒ වගේම තරුණ අයට ප්‍රයෝජනවත් වෙන අද්දැකීම් ඔයාට තියෙනවා නම් ඒවා එයාලත් එක්ක බෙදාගන්න.

15. පාවුල් තිමෝතිට උදව් කළේ කොහොමද?

15 ත්‍යාගශීලී වෙන එක ගැන පාවුල්ගෙනුත් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. පාවුල් එයාගේ මිෂනාරි ගමන්වලට තිමෝතිවත් එක්කගෙන ගියා. ඒ වගේ වෙලාවලදී මිනිසුන්ගේ හිතට කාවදින විදිහට දේශනා කරන්නේ, උගන්වන්නේ කොහොමද කියලා පාවුල් තිමෝතිට කියලා දුන්නා. (ක්‍රියා 16:1-3) පාවුල්ගෙන් ඉගෙනගත්ත ඒ දේවල් දක්ෂ ගුරුවරයෙක් වෙන්න තිමෝතිට ගොඩක් උදව් වුණා. (1 කොරි. 4:17) පස්සේ කාලෙක තිමෝතිත් පාවුල්ගෙන් ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා අනිත් අයව පුහුණු කළා.

16. ෂිගෙයෝ කාලය අරන් අනිත් අයව පුහුණු කළේ ඇයි?

16 අද ඉන්න මහලු අය සභාවේ වැඩ කරන්න තරුණ අයව පුහුණු කරනවා. එහෙම කරද්දී ඉස්සරහට තමන්ගෙන් සභාවට වැඩක් නැති වෙයි කියලා එයාලා බය වෙන්නේ නැහැ. උදාහරණෙකට කලින් කතා කරපු ෂිගෙයෝ ශාඛා කමිටුවේ ඉන්න එයාට වඩා වයසින් අඩු සහෝදරයන්ව අවුරුදු ගාණක් තිස්සේ පුහුණු කළා. එයා එහෙම කළේ එයා සේවය කරපු රටේ වැඩකටයුතු දිගටම හොඳින් කරගෙන යනවා දකින්න එයා ආස වුණ නිසයි. සහෝදර ෂිගෙයෝ ඒ විදිහට කරපු නිසා එයාට කලින් වගේ දේවල් කරගන්න බැරි වෙද්දී ශාඛා කමිටු සම්බන්ධීකාරක විදිහට සේවය කරන්න හොඳින් පුහුණුව ලබපු සහෝදරයෙක් හිටියා. සහෝදර ෂිගෙයෝ මේ වෙද්දී අවුරුදු 45කටත් වඩා වැඩියෙන් ශාඛා කමිටු සාමාජිකයෙක් විදිහට සේවය කරනවා. එයා දිගටම එයාට තියෙන අද්දැකීම් තරුණ සහෝදරයන් එක්ක බෙදාගන්නවා. ෂිගෙයෝ වගේ සහෝදරයන් අපිට කොච්චර වටිනවාද!

17. මහලු අයට අනිත් අය වෙනුවෙන් දෙන්න පුළුවන් වටිනා දේවල් මොනවාද? (ලූක් 6:38)

17 ආදරණීය මහලු සහෝදර සහෝදරියෙනි, යෙහෝවා දෙවියන්ට සේවය කරන එක තමයි ජීවිතේ ගත කරන්න පුළුවන් හොදම විදිහ කියලා ඔයාලා ආදර්ශයෙන්ම පෙන්නලා තියෙනවා. ඒ වගේම අමාරු තත්වයන්වලදී වුණත් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්න එක ගොඩක් වටිනවා කියලත් ඔයාලා පෙන්නලා තියෙනවා. කාලයක් තිස්සේ සත්‍යයේ ඉන්න නිසා ඉස්සර සංවිධානයේ වැඩකටයුතු සිද්ධ වුණේ කොහොමද කියලා ඔයාලා අද්දැකීමෙන්ම දන්නවා. ඒ වගේම සංවිධානය වෙනස්කම් කරද්දී ඒවාට අනුව හැඩගැහෙන්න ඔයාලා හැම තිස්සේම සූදානමින් ඉන්නවා. ඔයා ළඟදී බව්තීස්ම වුණ මහලු කෙනෙක්ද? එහෙනම් මහලු වයසේදී හරි යෙහෝවා දෙවියන්ව අඳුරගන්න ලැබුණ එක කොච්චර වටිනවාද කියලා අනිත් අයට කියන්න. ඔයාගේ අද්දැකීම් ගැන, ඔයා ජීවිතෙන් ඉගෙනගත්ත පාඩම් ගැන තරුණ අයට ඔයා කියද්දී එයාලා ඒවා ගොඩක් ආසාවෙන් අහන් ඉඳියි. ඒ විදිහට ඔයා ළඟ තියෙන වටිනා දේවල් ඔයා ‘දීමට පුරුදු වෙනවා’ නම් යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම ඔයාට ආශීර්වාද කරනවා.ලූක් 6:38 කියවන්න.

18. මහලු අයයි තරුණ අයයි එකට එකතු වෙලා වැඩ කරද්දී ලැබෙන ප්‍රයෝජන මොනවාද?

18 මහලු වයසේ ඉන්න ආදරණීය සහෝදර සහෝදරියනි, ඔයාලා තරුණ අයත් එක්ක එකට එකතු වෙලා වැඩ කරද්දී ඒකෙන් දෙගොල්ලන්ටම ප්‍රයෝජන ලැබෙනවා. (රෝම 1:12) මහලු අයට ඇඟේපතේ හයිය අඩු වුණත් කාලයක් තිස්සේ එකතු කරගත්ත අද්දැකීම්, දැනුම එයාලට තියෙනවා. අනිත් අතට අද්දැකීම් අඩු වුණත් තරුණ අයට දුවලා පැනලා වැඩ කරන්න ශක්තිය තියෙනවා. ඉතින් එයාලා එකට එකතු වෙලා වැඩ කරද්දී ඒකෙන් යෙහෝවා දෙවියන්ට ගෞරවයක් ලැබෙනවා. ඒ වගේම සභාවේ අයටත් ඒක ලොකු ආශීර්වාදයක්.

ගීතිකාව 90 එකිනෙකාව දිරිගන්වමු

^ 5 ඡේ. යෙහෝවා දෙවියන්ට උපරිමයෙන් සේවය කරන්න ආසාවෙන් ඉන්න තරුණ සහෝදර සහෝදරියන් ගොඩක් ඉන්න එක අපිට කොච්චර ලොකු සතුටක්ද! වැඩිහිටි සහෝදරයන් මොන වගේ සංස්කෘතියකින්, පසුබිමකින් ආවත් යෙහෝවා දෙවියන්ට උපරිමයෙන් සේවය කරන්න ඒ තරුණ අයට උදව් කරන්න එයාලට පුළුවන්.

^ 55 ඡේ. පින්තූරවල අදහස: චාරිකා සේවකයෙක්ට අවුරුදු 70ක් වුණාම එයාටයි එයාගේ බිරිඳටයි අලුත් පැවරුමක් ලැබෙනවා. අවුරුදු ගාණක් පුරා එකතු කරගත්ත අද්දැකීම් පාවිච්චි කරලා එයාලා අලුත් සභාවේ ඉන්න අයව පුහුණු කරනවා.