Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 35

මහලු සහෝදර සහෝදරියන් අපිට සම්පතක්

මහලු සහෝදර සහෝදරියන් අපිට සම්පතක්

“මිනිසෙකුගේ පැසුණු හිසකෙස් අලංකාර ඔටුන්නක් මෙනි.”—හිතෝ. 16:31.

ගීතිකාව 138 පැසුණු හිසකෙස් අලංකාරය

මේ ලිපියෙන් *

1-2. (අ) හිතෝපදේශ 16:31 අනුව මහලු සහෝදරයන්ව අපි සලකන්න ඕනෙ කොහොමද? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

ඇමරිකාවේ ආකර්න්සාස්වල තියෙන රක්ෂිත උද්‍යානයක පොළොවේ තැනින් තැන දියමන්ති තියෙනවා. හැබැයි හුඟදෙනෙක් ඒවා දැක්කත් අහුලගන්නේ නැතුව පහු කරගෙන යනවා. මොකද කපලා ඔප මට්ටම් කරලා නැති නිසා ඒවා දියමන්තිද නැත්නම් සාමාන්‍ය ගල්ද කියලා අඳුරගන්න එයාලට බැහැ.

2 යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න මහලු අයත් ඒ දියමන්ති වගේ වටිනවා. බයිබලේ කියන්නේ පැසුණු හිසකෙස් අලංකාර ඔටුන්නක් වගේ කියලා. (හිතෝපදේශ 16:31 කියවන්න; 20:29) හැබැයි සමහර වෙලාවට එයාලා කොච්චර වටිනවාද කියලා අපිට තේරුම්ගන්න බැරි වෙන්න පුළුවන්. ඇත්තටම යෞවන අයට එයාලගෙන් ලැබෙන දිරිගැන්වීම්, උපදෙස් දියමන්තිවලටත් වඩා වටිනවා. යෙහෝවා දෙවියන්ට මහලු සහෝදර සහෝදරියන්ව ගොඩක් වටින්නේ ඇයි? යෙහෝවා දෙවියන්ගේ සංවිධානයට එයාලව වටින්නේ ඇයි? එයාලගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් කොහොමද? ඒ ප්‍රශ්නවලට උත්තර අපි මේ ලිපියෙන් බලමු.

යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න මහලු අයව ඔහුට ගොඩක් වටින්නේ ඇයි?

යෙහෝවා දෙවියන්ටයි අපිටයි මහලු සහෝදර සහෝදරියන්ව ගොඩක් වටිනවා (3 ඡේදය බලන්න)

3. ගීතාවලිය 92:12-15 අනුව විශ්වාසවන්ත මහලු අයව යෙහෝවා දෙවියන්ට වටින්නේ ඇයි?

3 මහලු සහෝදර සහෝදරියන්ව යෙහෝවා දෙවියන්ට ගොඩක් වටිනවා. මොකද එයාලා මොන වගේ අයද, එයාලට තියෙන ලස්සන ගුණාංග මොනවාද කියලා ඔහු දකිනවා. ඒ වගේම මහලු කෙනෙක් තරුණ අයත් එක්ක එයාගේ ජීවිත කාලෙම එකතු කරගත්ත දැනුම, අද්දැකීම් බෙදාගද්දී යෙහෝවා දෙවියන් ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. (යෝබ් 12:12; හිතෝ. 1:1-4) එයාලගේ විඳදරාගැනීමත් යෙහෝවා දෙවියන් අගය කරනවා. (මලා. 3:16) මොකද ජීවිත කාලේ පුරාම මොන ප්‍රශ්නවලට මුහුණ දුන්නත් එයාලා යෙහෝවා දෙවියන් ගැන තියෙන විශ්වාසය කවදාවත් අත්හැරියේ නැහැ. අනාගතය ගැන එයාලට තියෙන බලාපොරොත්තුව දවසින් දවස ශක්තිමත් වෙනවා. “මහලු වයසේ” හිටියත් උද්‍යෝගයෙන් අනිත් අයට යෙහෝවා දෙවියන් ගැන කියලා දෙන ඒ සහෝදර සහෝදරියන්ට යෙහෝවා දෙවියන් හුඟක් ආදරෙයි.ගීතාවලිය 92:12-15 කියවන්න.

4. මහලු සහෝදර සහෝදරියන්ට දිරිගැන්වීමක් වෙන්නේ මොකක්ද?

4 ඔයා මහලු වයසේ ඉන්න කෙනෙක් නම් අවුරුදු ගාණක් පුරා ඔයා යෙහෝවා දෙවියන් වෙනුවෙන් කරපු දේවල් ඔහු කවදාවත්ම අමතක කරන්නේ නැහැ කියලා මතක තියාගන්න. (හෙබ්‍රෙ. 6:10) ඔයා මෙච්චර කාලයක් උද්‍යෝගයෙන් ශුභාරංචිය දේශනා කළා. කොච්චර අමාරු තත්වයන්වලට මුහුණ දුන්නත් යෙහෝවා දෙවියන් වෙනුවෙන් ඒවා විඳදරාගත්තා. කවදාවත් බයිබල් ප්‍රතිපත්ති පාවලා දුන්නේ නැහැ. සංවිධානයේ වගකීම් කරට අරගෙන හුඟක් මහන්සි වෙලා වැඩ කළා. ඒ වගකීම් දරන්න අනිත් අයවත් පුහුණු කළා. සංවිධානය වෙනස්කම් කරද්දී ඒවාට කැමැත්තෙන්ම කීකරු වුණා. ඒ විතරක් නෙවෙයි පූර්ණකාලීනව දෙවියන්ට සේවය කරන අයට ඔයා ලොකු ශක්තියක් වුණා. ඒ හැම දේම කරලා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න ඔයාට ඔහු ගොඩක් ආදරෙයි. ඒ නිසයි “තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය” කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙන්නේ. (ගීතා. 37:28) ඒ වගේම ඔහු පොරොන්දු වෙනවා “ඔබ මහලු වී හිසකෙස් පැසුණු පසුත් මම දිගටම ඔබව උසුලාගෙන යන්නෙමි” කියලා. (යෙසා. 46:4) ඔයා දැන් මහලු නිසා යෙහෝවා දෙවියන්ගේ සංවිධානයට ඔයාව වටින්නේ නැහැ කියලා කවදාවත් හිතන්න එපා. තවමත් ඔයාව අපිට ගොඩක් වටිනවා.

විශ්වාසවන්ත මහලු අයව යෙහෝවා දෙවියන්ගේ සංවිධානයට ගොඩක් වටිනවා

5. මහලු අය මතක තියාගන්න ඕනෙ මොකක්ද?

5 මහලු අයට යෙහෝවා දෙවියන්ගේ සංවිධානයේ කරන්න ගොඩක් වැඩ තියෙනවා. කලින් තරම් ඇඟේපතේ හයිය නැති වුණත් අවුරුදු ගාණක් පුරා එකතු කරගත්ත අද්දැකීම් එයාලට තියෙනවා. සංවිධානය වෙනුවෙන් සේවය කරන්න විවිධ ක්‍රමවලින් එයාලව පාවිච්චි කරන්න යෙහෝවා දෙවියන්ට පුළුවන්. අපි බලන්න යන උදාහරණවලින් ඒක තවත් පැහැදිලි වෙනවා.

6-7. අවුරුදු ගාණක් පුරා විශ්වාසවන්තව හිටපු අයට දෙවියන් ආශීර්වාද කළේ කොහොමද? උදාහරණ දෙන්න.

6 වයසට ගියත් වෙහෙස මහන්සි වෙලා යෙහෝවා දෙවියන්ට සේවය කරපු හුඟක් අයගේ ආදර්ශ බයිබලේ තියෙනවා. මෝසෙස් ඒ වගේ කෙනෙක්. යෙහෝවා දෙවියන් එයාව අනාගතවක්තෘවරයෙක් විදිහටත් ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා විදිහටත් පත් කරද්දී එයාට අවුරුදු 80ක් විතර ඇති. වයස අවුරුදු 90 පැනලත් දානියෙල් අනාගතවක්තෘවරයෙක් විදිහට සේවය කළා. ඒ විතරක් නෙවෙයි එළිදරව් පොත ලියන්න යෙහෝවා දෙවියන් යොහන්ට මඟ පෙන්වද්දී පේන විදිහට එයා හිටියේ වයස 90 ගණන්වල.

7 කලින් කියපු අය තරම් ප්‍රසිද්ධ නැති වුණත් යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරපු තවත් හුඟක් අය ගැන බයිබලේ තියෙනවා. සමහරවිට එයාලා යෙහෝවා දෙවියන්ට කරපු සේවය අනිත් අය දැක්කේ නැතුව ඇති. හැබැයි යෙහෝවා දෙවියන් ඒක දැකලා එයාලට ආශීර්වාද කළා. ‘ධර්මිෂ්ඨ, දේවගරුබියෙන් ක්‍රියා කරපු’ සිමියොන් ඒ වගේ කෙනෙක්. ළදරු යේසුස්ව දකින්නත් යේසුස් සහ මරියා ගැන අනාවැකියක් කියන්නත් යෙහෝවා දෙවියන් එයාට අවස්ථාව දුන්නා. (ලූක් 2:22, 25-35) අනාගතවක්තෘවරියක් වන ආනාත් ඒ වගේ කෙනෙක්. එයා අවුරුදු 84ක වැන්දඹුවක් වුණත් “එක දවසක්වත් අතපසු නොකර නමස්කාරය සඳහා දේවමාලිගාවට” ගියා. යෙහෝවා දෙවියන් ඒක ගොඩක් අගය කරපු නිසා ළදරු යේසුස්ව දකින්න එයාටත් අවස්ථාව දුන්නා. ඒ දෙන්නාව යෙහෝවා දෙවියන්ට ගොඩක් වටිනවා කියලා ඒකෙන් පැහැදිලියි නේද?—ලූක් 2:36-38.

අවුරුදු 80 ගණන්වල ඉන්න සහෝදරි ඩීඩර් දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරනවා (8 ඡේදය බලන්න)

8-9. සහෝදරි ලොයිස් වගේ වැන්දඹු සහෝදරියන් කරන්නේ මොනවාද?

8 යෞවනයන්ට හොඳ ආදර්ශයක් වෙන මහලු සහෝදර සහෝදරියන් මේ කාලෙත් ඕන තරම් ඉන්නවා. සහෝදරි ලොයිස් ඩීඩර් ඒ වගේ කෙනෙක්. එයායි එයාගේ මහත්තයායි කැනඩාවේ විශේෂ පුරෝගාමි සේවය පටන්ගද්දී ලොයිස්ට අවුරුදු 21යි. ඊට ටික කාලෙකට පස්සේ එයාලා චාරිකා සේවය කළා. ඊටපස්සේ අවුරුදු 20ක්ම එයාලා සේවය කළේ බෙතෙල් එකේ. ඒ සහෝදරියට අවුරුදු 58දී යුක්රේනයේ සේවය කරන්න එයාලට පැවරුමක් ලැබුණා. ඉතින් එයාලා මොනවාද කළේ? ඒ වගේ පැවරුමක් භාරගන්න වයස වැඩියි කියලා එයාලා හිතුවේ නැහැ. ඒ පැවරුම භාර අරගෙන එයාලා යුක්රේනයට ගියා. ශාඛා කමිටු සාමාජිකයෙක් විදිහට ජෝන් එහෙ සේවය කළා. අවුරුදු 7කට පස්සේ ජෝන් මැරුණත් සහෝදරි ලොයිස් බෙතෙල් සේවය නතර කළේ නැහැ. දැන් ඒ සහෝදරියගේ වයස අවුරුදු 81යි. එයා තාමත් යුක්රේනයේ බෙතෙල් පවුලත් එක්ක එකතු වෙලා සතුටින් යෙහෝවා දෙවියන්ට සේවය කරනවා. බෙතෙල් පවුලේ අයත් සහෝදරි ලොයිස්ට ගොඩක් ආදරෙයි.

9 මහත්තයා මැරුණාට පස්සේ ලොයිස් වගේ සහෝදරියන්ට කලින් තරම් අනිත් අයගේ අවධානය ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි එයාලගේ වටිනාකම පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. අවුරුදු ගාණක් මහත්තයාට ලොකු ශක්තියක් වුණ, තාමත් විශ්වාසවන්තව සේවය කරන ඒ සහෝදරියන්ව යෙහෝවා දෙවියන්ට ගොඩක් වටිනවා. (1 තිමෝ. 5:3) එයාලගේ ආදර්ශයෙන් යෞවනයන් කොච්චර දිරිගැන්වෙනවාද!

10. සහෝදර ටෝනිගේ ආදර්ශයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

10 වැඩිහිටි නිවාසවල ඉන්න අපේ ආදරණීය මහලු සහෝදර සහෝදරියන්වත් අපිට ගොඩක් වටිනවා. සහෝදර ටෝනි ඒ වගේ වැඩිහිටි නිවාසයක ඉන්න කෙනෙක්. 1942දී ඇමෙරිකාවේ පෙන්සිල්වේනියාවල එයා බව්තීස්ම වුණා. එතකොට එයාට වයස අවුරුදු 20යි. බව්තීස්ම වුණ ගමන්ම වගේ හමුදාවට බැඳෙන එක ප්‍රතික්ෂේප කරපු නිසා අවුරුදු දෙකහමාරක් එයාට හිරේ ඉන්න වුණා. එයායි එයාගේ බිරිඳ හිල්ඩායි එයාලගේ දරුවන් දෙන්නාව සත්‍යයේ හොඳින් ඇතිදැඩි කළා. එයා හිටපු සභා 3කම මුලසුන භාර අවේක්ෂක * විදිහට ටෝනි සේවය කළා. ඒ වගේම සමුළු සේවක විදිහටත් එයා වැඩ කළා. ටෝනි හිරගෙවල්වලට ගිහිල්ලා බයිබල් පාඩම් සහ රැස්වීම් පවත්වලත් තියෙනවා. දැන් සහෝදර ටෝනිට 98ක් වෙනවා. එයා තාමත් සභාවේ අයත් එක්ක එකතු වෙලා උද්‍යෝගයෙන් යෙහෝවා දෙවියන්ට සේවය කරනවා.

11. වැඩිහිටි නිවාසවල ඉන්න අයව අපිට ගොඩක් වටිනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

11 වැඩිහිටි නිවාසවල ඉන්න සහෝදර සහෝදරියන්ට අපේ ආදරය, සැලකිල්ල පෙන්නන්න පුළුවන් කොහොමද? වැඩිමහල්ලන්ට පුළුවන් රැස්වීම්, සේවයේ හවුල් වෙන්න එයාලට උදව් කරන්න. අපි හැමෝටම පුළුවන් එයාලව බලන්න යන්න. එහෙම නැත්නම් වීඩියෝ කෝල් එකක් අරන් එයාලත් එක්ක කතා කරන්න. සභාවෙන් ගොඩක් ඈත වැඩිහිටි නිවාසවල ඉන්න සහෝදර සහෝදරියන් ගැන අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද එහෙම නොවුණොත් එයාලව අපිට අමතක වෙන්න පුළුවන්. සමහර මහලු සහෝදර සහෝදරියන් එයාලා ගැනම කතා කරන්න ටිකක් අදිමදි කරනවා. හැබැයි එයාලා සේවයෙන් ලබපු අද්දැකීම් ගැන අහන්න අපි කාලය හොයාගන්නවා නම් ඒකෙන් අපි ගොඩක් දිරිගැන්වෙයි කියලා කිසිම සැකයක් නැහැ.

12. අපේ සභාවෙත් ඉන්න පුළුවන් මොන වගේ සහෝදර සහෝදරියන්ද?

12 ඔයාගෙම සභාවේ ඉන්න මහලු සහෝදර සහෝදරියන් අවුරුදු ගාණක් තිස්සේ යෙහෝවා දෙවියන්ට සේවය කරලා ලබපු අද්දැකීම් ගැන දැනගත්තොත් ඔයා පුදුම වෙයි. සහෝදරි හැරියට් දශක ගාණක් ඇමරිකාවේ නිව් ජර්සි සභාවේ සේවය කරපු කෙනෙක්. කාලයක් ගියාට පස්සේ එයා දුවගේ ගෙදර පදිංචියට ගියා. එහෙ සභාවේ සහෝදර සහෝදරියන් කාලය අරන් එයත් එක්ක කතාබහ කළා. එයාගේ අද්දැකීම් අහලා එයාලා පුදුම වුණා. මේ සහෝදරිය සත්‍යය ගැන ඉගෙනගෙන තියෙන්නේ 1920 ගණන්වල. ඒ කාලේ එයා සේවේ යද්දී නිතරම වගේ බෑග් එකේ දත් බුරුසුවක් දාගෙන ගිහින් තියෙනවා. මොකද කොයි වෙලේ එයාව අත්අඩංගුවට ගනීද කියලා එයා දැනන් හිටියේ නැහැ. 1933දී සතිය ගාණේ දෙපාරක් එයාට හිරේ යන්න සිද්ධ වුණා. ඒ කාලෙදි එයාගේ දරුවෝ තුන්දෙනාව බලාගෙන තියෙන්නේ සත්‍යයේ නැති එයාගේ මහත්තයා. අපේ සභාවේ ඉන්න හැරියට් වගේ මහලු සහෝදර සහෝදරියන්ව අපිට කොච්චර වටිනවාද!

13. අපේ මහලු සහෝදර සහෝදරියන් ගැන අපි ඉගෙනගත්තේ මොනවාද?

13 අපේ මහලු සහෝදර සහෝදරියන් යෙහෝවා දෙවියන්ගේ සංවිධානයට සම්පතක්. යෙහෝවා දෙවියන් සංවිධානයේ වැඩකටයුතුවලටත් තමන්ටත් ආශීර්වාද කරලා තියෙන විදිහ එයාලා අද්දැකලා තියෙනවා. ජීවිතේ වුණ වැරදි අඩුපාඩුකම්වලින් එයාලා වටිනා පාඩම් ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා එයාලව ‘ප්‍රඥාවේ උල්පතක්’ විදිහට සලකන්න පුළුවන්. (හිතෝ. 18:4) ඉතින් ඔයා කාලය අරන් එයාලව දැන හඳුන ගන්නවා නම් එයාලගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නත් ඔයාගේ විශ්වාසය ශක්තිමත් කරගන්නත් ඔයාට පුළුවන්.

මහලු සහෝදර සහෝදරියන්ගේ ආදර්ශවලින් ඉගෙනගමු

එලිෂා එලියාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා වගේ අවුරුදු ගාණක් යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරපු සහෝදර සහෝදරියන්ගෙන් අපිටත් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් (14-15 ඡේද බලන්න)

14. ද්විතීය කතාව 32:7 යෞවන අයට කරන්න කියන්නේ මොකක්ද?

14 මහලු සහෝදර සහෝදරියන් ඔයාත් එක්ක කතා කරන කල් ඉන්නේ නැතුව ඔයාම ගිහින් එයාලත් එක්ක කතා කරන්න. (ද්විතීය කතාව 32:7 කියවන්න.) දැන් එයාලගේ ඇස් පෙනීමත් දුර්වලයි. කන් ඇහෙනවත් අඩුයි. ඇවිදින්නෙත් කතා කරන්නෙත් හරිම හෙමින්. හැබැයි එයාලගේ ශරීරය දුර්වල වෙලා තිබුණත් යෙහෝවා දෙවියන්ට සේවය කරන්න එයාලට තියෙන උද්‍යෝගය, ආසාව පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ කියලා මතක තියාගන්න. එයාලට යෙහෝවා දෙවියන් ඉදිරියේ තියෙන්නේ “හොඳ නමක්.” (දේශ. 7:1) යෙහෝවා දෙවියන්ට එයාලව වටින්නේ ඇයි කියලා නිතරම මතක් කරගන්න. දිගටම එයාලට ගෞරවයෙන් සලකන්න. අතීතයේ හිටපු එලිෂාව ඔයාට මතකද? එලියා එලිෂාත් එක්ක ගත කරපු අන්තිම දවසේ, “මම ඔබව අත්හැර යන්නේ නැහැ” කියලා තුන් පාරක්ම එලිෂා එලියාට කිව්වා. (2 රාජා. 2:2, 4, 6) එලිෂා වගේ මහලු සහෝදර සහෝදරියන්ට ආදරේ, සැලකිල්ල පෙන්නන්න ඔයාටත් පුළුවන්ද?

15. මහලු සහෝදර සහෝදරියන්ගෙන් අපිට අහන්න පුළුවන් මොනවාද?

15 මහලු සහෝදර සහෝදරියන්ව තවත් හොඳින් දැන හඳුන ගන්න කාලය ගන්න එකෙන් අපි පෙන්නන්නේ අපි එයාලා ගැන ඇත්තටම සැලකිලිමත් කියලා. (හිතෝ. 1:5; 20:5; 1 තිමෝ. 5:1, 2) අපිට එයාලගෙන් මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. “මේක තමයි සත්‍යය කියලා ඔයා තේරුම්ගත්තේ කොහොමද?” “යෙහෝවා දෙවියන්ට තවත් ළං වෙන්න ඔයාට උදව් වුණේ මොන වගේ අද්දැකීම්ද?” “දෙවියන්ට දිගටම සතුටින් සේවය කරන්න ඔයාට උදව් වුණේ මොනවාද?” (1 තිමෝ. 6:6-8) එයාලගේ විස්තර ඔයාට කියද්දී ආසාවෙන් ඒවාට ඇහුම්කන් දෙන්න.

16. යෞවනයන් මහලු සහෝදර සහෝදරියන් එක්ක කතා කරන එකෙන් දෙගොල්ලන්ටම ලැබෙන ප්‍රයෝජන මොනවාද?

16 යෞවනයන් මහලු සහෝදර සහෝදරියන් එක්ක කතා කරද්දී දෙගොල්ලන්ටම ඒකෙන් ලොකු දිරිගැන්වීමක් ලැබෙනවා. (රෝම 1:12) ඔයා යෞවන කෙනෙක් නම් මහලු සහෝදර සහෝදරියන් එයාලගේ අද්දැකීම් කියද්දී යෙහෝවා දෙවියන් ඔහුගේ සේවකයන්ව ආදරෙන් රැකබලා ගන්නවා කියලා ඔයාට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. අනිත් අතට ඔයාට එයාලව හුඟක් වටිනවා කියලා ඒ සහෝදර සහෝදරියන්ටත් දැනෙයි. ඒ නිසා එයාලා හරිම ආසාවෙන් යෙහෝවා දෙවියන් එයාලට ආශීර්වාද කරලා තියෙන විදිහ ගැන ඔයාට රස කරකර කියයි.

17. මහලු සහෝදර සහෝදරියන් දවසින් දවස අලංකාර වෙනවා කියලා කියන්න පුළුවන් ඇයි?

17 සාමාන්‍යයෙන් වයසට යන්න යන්න කෙනෙක්ගේ ලස්සන අඩු වෙනවා. හැබැයි යෙහෝවා දෙවියන්ට නම් ඔහුට විශ්වාසවන්තව ඉන්න මහලු සහෝදර සහෝදරියන්ගේ අලංකාරය දවසින් දවස වැඩි වෙනවා. (1 තෙස. 1:2, 3) එහෙම කියන්න පුළුවන් ඇයි? මොකද ගෙවුණු අවුරුදු ගාණ පුරාම එයාලා යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් ලස්සන ගුණාංග වර්ධනය කරගෙන දෙවියන් කැමති විදිහට ජීවිතය වෙනස් කරගෙන තියෙනවා. ඉතින් අපි අපේ ආදරණීය මහලු සහෝදර සහෝදරියන්ව තවත් දැන හඳුන ගද්දී එයාලට ගෞරව කරද්දී එයාලගෙන් ඉගෙනගනිද්දී එයාලා කොච්චර වටිනා සම්පතක්ද කියලා අපිට තේරෙයි.

18. ඊළඟ ලිපියේ කතා කරන්නේ මොනවා ගැනද?

18 සභාවක් ශක්තිමත් වෙන්න නම් යෞවන අය මහලු අයට ගරු කරන්න ඕනෙ වගේම මහලු අයත් යෞවන අයව වටිනා අය විදිහට සලකන්න ඕනේ. සභාවේ ඉන්න යෞවන අයව ගොඩක් වටිනවා කියලා වැඩිහිටියන්ට පෙන්නන්න පුළුවන් කොහොමද කියන එක ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 144 යොමු කරන්න ඔබේ දෑස් ත්‍යාගය වෙත

^ 5 ඡේ. මහලු වයසේ ඉන්න සහෝදර සහෝදරියන් අපිට වටිනා සම්පතක්. එයාලා ගැන අපේ හිතේ තියෙන අගය වැඩි කරගන්න පුළුවන් කොහොමද කියලත් එයාලට තියෙන අවබෝධයෙන් සහ අද්දැකීම්වලින් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද කියලත් අපි මේ ලිපියෙන් බලනවා. ඒ වගේම මහලු සහෝදර සහෝදරියන්ට තමන්ව යෙහෝවා දෙවියන්ගේ සංවිධානයට ගොඩක් වටිනවා කියලා තේරුම්ගන්න මේ ලිපිය උදව් වෙයි.

^ 10 ඡේ. මුලසුන භාර අවේක්ෂක දැන් හඳුන්වන්නේ වැඩිමහල් මණ්ඩලයේ සම්බන්ධීකාරක කියලයි.