Skip to content

පටුනට යන්න

අනිත් අයගේ අඩුපාඩුකම් නිසා දෙවිව අත්හරින්න එපා!

අනිත් අයගේ අඩුපාඩුකම් නිසා දෙවිව අත්හරින්න එපා!

“නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න.”—කොලො. 3:13.

ගීතිකා: 121, 75

1, 2. යෙහෝවා දෙවිගේ සෙනඟ අද්දකින වර්ධනය ගැන බයිබලේ කියලා තිබුණේ මොකක්ද?

යෙහෝවා දෙවිට ආදරේ කරන, ඔහුට සේවය කරන්න කැමති අයගෙන් හැදුණ ලෝකෙ පුරා ව්‍යාප්ත වුණ සංවිධානයක් තියෙනවා. ඒ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානයයි. ඒකේ ඉන්න අය අතින් වැරදි, අඩුපාඩු වෙන්නේ නැතුව නෙමෙයි. ඒත් දෙවි ඒ සෙනඟට ඔහුගේ බලයෙන් මඟ පෙන්නනවා. දෙවි ඒ අයට ආශීර්වාද කරලා තියෙනවා කියලා ඔප්පු වෙන්නේ කොහොමද?

2 1914 වෙද්දී යෙහෝවා දෙවිට නමස්කාර කරපු අය හිටියේ ටිකදෙනයි. ඒත් දෙවි ඒ අයගේ දේශනා කිරීමේ කාර්යයට ආශීර්වාද කළා. ප්‍රතිඵලයක් විදිහට දැන් මිලියන ගාණක් බයිබලේ තියෙන සත්‍ය තොරතුරු ඉගෙනගෙන දෙවිගේ සාක්ෂිකරුවන් වෙලා. ඒ පුදුමාකාර වර්ධනය ගැන දෙවි මෙහෙම කිව්වා. “කුඩා තැනැත්තා දහසක් බවටත් සුළු තැනැත්තා බලවත් ජාතියක් බවටත් පත් වෙයි. යෙහෝවා දෙවි වන මම නියම කාලයට එය වේගයෙන් සිදු වෙන්න සලස්වමි.” (යෙසා. 60:22) ඒ අනාවැකිය ඉටු වෙනවා කියලා හොඳටම පැහැදිලියි. දැන් දෙවිගේ සෙනඟ විශාල ජාතියක් වගේ. කොච්චරද කියනවා නම් සාක්ෂිකරුවන්ගේ මුළු ගාණ හුඟක් රටවල ජනගහනයට වඩා වැඩියි.

3. දෙවිගේ සෙනඟ ආදරේ පෙන්නලා තියෙන්නේ කොහොමද?

3 අවසානය ළං වෙන්න වෙන්න එකිනෙකා අතරේ තියෙන ආදරේ තව වැඩි කරගන්න යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟට උදව් කරලා තියෙනවා. ආදරේ දෙවිගේ ප්‍රධානම ගතිලක්ෂණය නිසා ඔහුගේ සෙනඟත් ඔහු වගේ අනිත් අයට ආදරේ කරනවා. (1 යොහ. 4:8) යේසුත් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වේ ‘ඔබ එකිනෙකාට ප්‍රේම කළ යුතුයි. ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි’ කියලා. (යොහ. 13:34, 35) දෙවිගේ සෙනඟ ඇත්තටම අනිත් අයට ආදරෙයි කියලා ඉතිහාසය දිහා බලද්දී පැහැදිලියි. උදාහරණෙකට 2වෙනි ලෝක මහා යුද්ධ කාලෙදී විවිධ ජාතීන් එකිනෙකාට විරුද්ධව යුද්ධ කරලා මිනිසුන් මිලියන 55ක් විතර මරා දැම්මත් යෙහෝවා දෙවිගේ සෙනඟ කිසිම කෙනෙකුව මැරුවේ නැහැ. (මීකා 4:1, 3 කියවන්න.) ඒ නිසා “සියලුදෙනාගේ ලෙයින් නිදහස්” කියලා කියන්න එයාලට පුළුවන් වෙලා තියෙනවා.—ක්‍රියා 20:26.

4. යෙහෝවා දෙවිගේ සෙනඟගේ වර්ධනය පුදුමාකාර දෙයක් වෙන්නේ ඇයි?

4 දෙවිගේ සෙනඟගේ ප්‍රධානම සතුරා වන සාතන් හරිම බලවත්. ඔහුව හඳුන්වන්නේ “මේ සමාජයේ දෙවියා” හැටියටයි. (2 කොරි. 4:4) කොච්චර බලවත් වුණත් දෙවිගේ සෙනඟගේ ගාණ දවසින් දවස වැඩි වෙන එක නවත්තන්න ඔහුට බැරි වෙලා තියෙනවා. මේ ලෝකේ තියෙන දේශපාලනය, ජනමාධ්‍යය තියෙන්නේ සාතන්ගේ අතේ. ඒවා යොදාගෙන දේශනා සේවය නවත්තන්න උත්සාහ කළත් ඒක කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. කොහොමවුණත් තමන්ට තියෙන්නේ තව ටික කාලයයි කියලා දන්න නිසා අපි එක් එක් කෙනාව දෙවිගෙන් ඈත් කරන්න ගන්න උත්සාහය නම් ඔහු අත්හරින්නේ නැහැ.—එළි. 12:12.

අනිත් අය අතින් වැරදි වෙද්දී ඔයාගේ විශ්වාසය අඩු වෙනවද?

5. සමහර අය අතින් අපේ හිත් පෑරෙන දේවල් වෙන්නේ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

5 යෙහෝවා දෙවිටත් අනිත් අයටත් ආදරේ කරන එක හරිම වැදගත් කියලා දෙවිගේ සෙනඟ ඉගෙනගෙන තියෙනවා. යේසුස් ඒ ගැන මෙහෙම කිව්වා. “‘ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න. ඔහු වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම කැප කරන්න. නිතරම ඔබේ මනසේ මුල් තැන හිමි විය යුත්තේ ඔහුටයි.’ උතුම්ම සහ පළමුවෙනි ආඥාව එයයි. දෙවෙනි ආඥාවත් ඒ හා සමානව වැදගත්. එනම්, ‘ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.’” (මතෙ. 22:35-39) ඒත් ආදම්ගෙන් පැවතෙන අය හැටියට අපි හැමෝම අතින් වැරදි වෙනවා. (රෝම 5:12, 19 කියවන්න.) ඒ නිසා සභාවේ කෙනෙක් අපේ හිත් රිදෙන දෙයක් කරන්න, කියන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවට ඔයා මොනවද කරන්නේ? දෙවි ගැන ඔයාට තියෙන ආදරේ ඒ විදිහටම තියාගන්නවද? දෙවිටත් ඔහුගේ සෙනඟටත් ඔයා දිගටම ළැදිව ඉන්නවද? අතීතයේ හිටපු දෙවිගේ සමහර සේවකයන් කරපු, කියපු දේවල් නිසා අනිත් අයට වේදනාවක් ගෙනාපු අවස්ථා ගැන බයිබලේ තියෙනවා. ඒවාවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද කියලා දැන් බලමු.

ඒලී ජීවත් වුණ කාලේ ඔයාත් හිටියා නම් එයාගේ පුතුන් කරපු දේවල් ගැන ඔයාට කොහොම හැඟෙයිද? (6 ඡේදය බලන්න)

6. ඒලී එයාගේ පුතාලව නිවැරදි කරන්න අපොහොසත් වුණේ ඇයි?

6 ඒලී ගැන හිතන්න. එයා ඊශ්‍රායෙල් දේශයේ හිටපු උත්තම පූජකයෙක්. ඒත් එයාගේ පුතුන් දෙන්නා දෙවිගේ නීතිය කඩ කළා. ඒ ගැන බයිබලේ කියන්නේ මෙහෙමයි. “ඒලීගේ පුත්‍රයෝ යෙහෝවා දෙවිට කොහෙත්ම ගෞරව නොකළ කිසි කමකට නැති මිනිස්සු වූහ.” (1 සාමු. 2:12) පුතාලා හුඟක් නරක වැඩ කරනවා කියලා ඒලී දැනගෙන හිටියත් අවශ්‍ය හික්මවීම් දීලා එයාලාව හදාගත්තේ නැහැ. ඒ නිසා කාලෙකට පස්සේ යෙහෝවා දෙවි ඒලීටත් එයාගේ පුතාලටත් දඬුවම් කළා. ඒ වගේම එයාගෙන් පැවතෙන කිසිම කෙනෙකුට උත්තම පූජකයා විදිහට සේවය කරන්න අවස්ථාව දුන්නෙත් නැහැ. (1 සාමු. 3:10-14) ඔයා ඒ කාලේ හිටියා නම් පුතුන් දෙන්නට නරක වැඩ කරන්න ඒලී ඉඩ දුන්න එක ගැන ඔයාට කොහොම හැඟෙයිද? ඔයාගේ හිත පෑරෙයිද? දෙවි ගැන ඔයාට තියෙන විශ්වාසය දුර්වල වෙයිද? ඔයා දෙවිව අත්හැරලා යයිද?

7. දාවිත් කරපු බරපතළ වරද මොකක්ද? ඒ ගැන දෙවි මොනවද කළේ?

7 දාවිත්ට හුඟක් හොඳ ගුණාංග තිබුණා. ඒ නිසා යෙහෝවා දෙවි එයාට ගොඩක් ආදරේ කළා. (1 සාමු. 13:13, 14; ක්‍රියා 13:22) ඒත් එයා අතිනුත් බරපතළ වරදක් වුණා. උරියා සටන් කරන්න ගිහින් ඉද්දී දාවිත් උරියාගේ භාර්යාව එක්ක ලිංගික සම්බන්ධකම් පැවැත්තුවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට බැත්ෂෙබාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තම දාවිත් උරියාට පණිවිඩයක් යවලා ගෙන්නගත්තා. උරියා ගෙදර ගියොත් තමන්ගේ වරද වහගන්න පුළුවන් වෙයි කියලත් දාවිත් හිතුවා. ඒත් උරියා ගෙදර ගියේ නැහැ. ඒ නිසා යුද්දෙදී උරියා මිය යන විදිහට දාවිත් දේවල් සැලසුම් කළා. එයා කරපු වරද නිසා එයාටත් එයාගේ පවුලේ අයටත් දුක් විඳින්න වුණා. (2 සාමු. 12:9-12) ඒත් දෙවි දාවිත්ට දයාව පෙන්නලා සමාව දුන්නා. මොකද හරි දේ කරන්න දාවිත්ට ලොකු ආසාවක් තියෙනවා කියලා දෙවි දැනගෙන හිටියා. (1 රාජා. 9:4) ඔයා ඒ කාලේ හිටියා නම් දාවිත් කරපු දේ දැනගත්තම ඔයාට කොහොම හැඟෙයිද? දෙවිට සේවය කරන එක ඔයා නවත්තයිද?

8. (අ) පේතෘස් අතින් වුණ වරද මොකක්ද? (ආ) ඒත් දෙවි එයාව දිගටම පාවිච්චි කළේ ඇයි?

8 යේසුස් පේතෘස්ව නියෝජිතයෙක් විදිහට තෝරගත්තා. ඒත් එයා අතිනුත් වැරදි දේවල් වුණා. වැරදි දේ කිව්වා. උදාහරණෙකට දවසක් එයා කිව්වා කවුරු යේසුස්ව අත්හැරියත් එයා නම් යේසුස්ව අත්හරින්නේ නැහැ කියලා. (මාක් 14:27-31, 50) ඒත් යේසුස්ව අත්අඩංගුවට ගත්ත වෙලාවේ පේතෘස් ඇතුළු නියෝජිතයෝ හැමෝම යේසුස්ව අත්හැරලා ගියා. ඊටපස්සේ අවස්ථා 3කදීම යේසුස්ව අඳුරන්නේ නැහැ කියලා එයා කිව්වා. (මාක් 14:53, 54, 66-72) ඒත් තමන් කරපු වරද ගැන පේතෘස් හුඟක් දුක් වුණා. ඒ නිසා යෙහෝවා දෙවි එයාට සමාව දීලා විවිධ වගකීම් ඉටු කරන්න දිගටම එයාව පාවිච්චි කළා. ඔයා ඒ කාලේ හිටියා නම් පේතෘස් කරපු දේ දැනගත්තට පස්සෙත් දිගටම දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරයිද?

9. දෙවි හැම වෙලාවෙම යුක්තිය ඉටු කරනවා කියලා ඔයාට විශ්වාස ඇයි?

9 අතීතයේ දෙවිට සේවය කරපු සමහරු අතින් අනිත් අයට ලොකු වේදනාවක් ගෙනාපු වැරදි වුණා කියලා ඒ සිද්ධීන්වලින් පැහැදිලියි. අදත් ඒ වගේ දේවල් වෙනවා. එතකොට ඔයා මොකද කරන්නේ? රැස්වීම් යන එක නවත්තනවද? දෙවිවත් ඔහුගේ සෙනඟවත් අත්හරිනවද? එහෙම නැත්නම් දෙවි දයාවන්ත කෙනෙක් නිසා වරද කරපු කෙනාට පසුතැවෙන්න කාලේ දීලා බලාගෙන ඉන්නවා ඇති කියලා ඔයා තේරුම්ගන්නවද? බරපතළ වරදක් කරලා ඒ ගැන පසුතැවෙන්නේ නැති අයත් ඉන්නවා. ඒ අය ගැන දෙවි දන්නවා කියලත් නියමිත කාලෙදී ඔහු ඒ ගැන යමක් කරයි කියලත් ඔයාට විශ්වාසද? අවශ්‍ය නම් ඒ කෙනාව දෙවි සභාවෙන් අයින් කරයි. යෙහෝවා දෙවි හැම වෙලාවෙම හරි දේ කරනවා කියලත් යුක්තිය ඉටු කරනවා කියලත් ඔයාට විශ්වාසද?

දිගටම දෙවිට ළැදිව ඉන්න

10. නියෝජිතයන් අතින් වැරදි වුණත් යේසුස් තේරුම් අරන් හිටියේ මොකක්ද?

10 වෙන අය මොන තරම් බරපතළ වැරදි කළත් දෙවිටත් ඔහුගේ සෙනඟටත් ළැදිව හිටපු හුඟක් අය ගැන බයිබලේ කතා කරනවා. හොඳම උදාහරණේ යේසුස්. රැයක් පුරා දෙවිගෙන් උදව් ඉල්ලලා ඔහු තමන්ගේ නියෝජිතයන් 12දෙනාව තෝරගත්තා. ඒත් ඒ අයගෙන් කෙනෙක් වුණ යූදස් පස්සේ ඔහුට ද්‍රෝහි වුණා. පේතෘස් ඔහුව අඳුරන්නේ නැහැ කියලා කිව්වා. (ලූක් 6:12-16; 22:2-6, 31, 32) සමහර නියෝජිතයන් කරපු දේවල් ගැන යම් දුකක් දැනුණත් යේසුස් කවදාවත් යෙහෝවා දෙවි එක්කවත් දෙවිගේ සෙනඟ එක්කවත් තරහාගත්තේ නැහැ. ඒ දේවල් නිසා දෙවි එක්ක තිබුණ බැඳීමට හානියක් වෙන්න ඔහු ඉඩ දුන්නේ නැහැ. දිගටම දෙවිට විශ්වාසවන්තව සේවය කළා. ප්‍රතිඵලය? යෙහෝවා දෙවි යේසුස්ව නැවත නැඟිටුවලා දේවරාජ්‍යයේ රජු විදිහට ඔහුව පත් කළා.—මතෙ. 28:7, 18-20.

11. මේ කාලේ ඉන්න දෙවිගේ සෙනඟ ගැන බයිබලේ කියලා තියෙන්නේ මොකක්ද?

11 යේසුස්ගේ ආදර්ශය අපිට උගන්වන්නේ යෙහෝවා දෙවිටත් ඔහුගේ සෙනඟටත් ළැදිව ඉන්න කියලයි. ඇත්තටම එහෙම ඉන්න අපිට හොඳ හේතු තියෙනවා. මේ අන්තිම කාලේ දෙවි ඔහුගේ සෙනඟට මඟ පෙන්නනවා කියලා හොඳටම පැහැදිලියි. ලෝකෙ පුරා ශුභාරංචිය දේශනා කරන්න ඔහු ඒ අයට උදව් කරනවා. ඒක කරන එකම සෙනඟත් එයාලා විතරයි. දෙවි එයාලට උගන්වන නිසයි එයාලා අතරේ පුදුම එක්සත්කමක්, සතුටක් තියෙන්නේ. ඒ ගැන දෙවි කියලා තිබුණේ මෙහෙමයි. “මාගේ සේවකයන් සතුටු සිතින් ප්‍රීති ඝෝෂා නඟනවා.”—යෙසා. 65:14.

12. අනිත් අයගේ අඩුපාඩු දිහා අපි බලන්න ඕනෙ කොහොමද?

12 යෙහෝවා දෙවිගෙන් මඟ පෙන්වීම් ලැබෙන නිසා හුඟක් යහපත් දේවල් කරන්න දෙවිගේ සෙනඟට පුළුවන් වෙලා තියෙනවා. ඒක අපිට කොච්චර සතුටක්ද! ඒත් හිතන්න, මේ දුෂ්ට සමාජයේ ඉන්න මිනිසුන් ගැන. එයාලට කිසිම බලාපොරොත්තුවක් නැහැ. එහෙමනම් සභාවේ කෙනෙක් කරන, කියන වැරදි දෙයක් නිසා දෙවිවත් ඔහුගේ සෙනඟවත් අත්හැරලා ඒ සමාජයට යන එක මොන තරම් මෝඩද! ඒක කොච්චර වැරදිද! ඒ වෙනුවට අපි දිගටම දෙවිට ළැදිව ඔහු මඟ පෙන්නන විදිහට ජීවත් වෙමු. අනිත් අය අතින් අඩුපාඩුකම් වෙද්දී ඒ දිහා හරි ආකල්පයකින් බලන්න අපි පුරුදු වෙන එක අත්‍යවශ්‍යයි.

සමාව දෙන්න

13, 14. (අ) එකිනෙකා එක්ක ඉවසීමෙන් වැඩ කරන්න ඕනෙ ඇයි? (ආ) අපි මතක තියාගන්න ඕන පොරොන්දුව මොකක්ද?

13 කවුරු හරි සහෝදරයෙක් ඔයාගේ හිත රිද්දුවොත් ඔයා මොකද කරන්න ඕනේ? බයිබලේ මෙහෙම කියනවා. “අමනාප වීමට ඉක්මන් නොවන්න. මන්ද සිත තුළ අමනාපයක් ඇති කරගන්නේ මෝඩයන්ය.” (දේශ. 7:9) පාපය උරුම වෙලා තියෙන නිසා අපි හැමෝම අතින් වැරදි වෙනවා. එහෙමනම් අපේ සහෝදරයෝ හැම වෙලාවෙම හරි දේ කරයි, කියයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? අනික එයාලගේ අඩුපාඩු ගැනම හිතහිත ඉන්න එකෙන් අපිට හොඳක් වෙන්නෙත් නැහැ. එහෙම හිතන්න ගියොත් දෙවිට සේවය කරලා ලබන සතුට අපිට නැති වෙයි. ඊටත් වඩා භයානක දේ තමයි අපේ විශ්වාසය ටික ටික දුර්වල වෙලා දෙවිගෙන්, සංවිධානයෙන් අපි ඈත් වෙන්න ඉඩ තියෙනවා. එහෙමවුණොත් යෙහෝවා දෙවිට සේවය කරන්න තියෙන අවස්ථාව අපිට අහිමි වෙයි. පාරාදීසයේ ජීවත් වෙන්නත් බැරි වෙයි.

14 එහෙමනම් කෙනෙක් කරපු, කියපු දෙයක් නිසා ඔයාට වේදනාවක් දැනුණත් සතුටින් දෙවිට සේවය කරන්න ඔයාට උදව් වෙන්නේ මොකක්ද? දෙවි දෙන මේ පොරොන්දුව නිතරම මතකයේ තියාගන්න. “මම අලුත් අහසක්ද අලුත් පොළොවක්ද සාදන්නෙමි. පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත.” (යෙසා. 65:17; 2 පේතෘ. 3:13) ඒ ආශීර්වාද අද්දකින්න ලැබෙන්නේ ඔයා දිගටම දෙවිට ළැදිව හිටියොත් විතරයි.

15. අනිත් අය අතින් අඩුපාඩුකම් වෙද්දී අපි මොනවා කරන්න ඕනෙ කියලද යේසුස් කිව්වේ?

15 දෙවි දීලා තියෙන පොරොන්දු ඉටු වෙන දවස එන කල් හිත් රිදවන දේවල් අනිත් අය අතින් වෙයි. ඒ වගේ වෙලාවට දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා තේරුම්ගන්න අපි උත්සාහ කරන්න ඕනේ. උදාහරණෙකට යේසුස් මෙහෙම දෙයක් කිව්වා. “ඔබ අනිත් අයගේ වැරදිවලට සමාව දෙනවා නම් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් ඔබටත් සමාව දෙයි. නමුත් ඔබ ඔවුන්ගේ වැරදිවලට සමාව දෙන්නේ නැත්නම් ඔබේ පියාණන් ඔබේ වැරදිවලටත් සමාව දෙන්නේ නැහැ.” තව අවස්ථාවක පේතෘස් ඇහුවා “හත් වරක් දක්වා සමාව දුන්නොත් සෑහෙයිද” කියලා. යේසුස් කිව්වේ “හත් වරක් දක්වා නොව හැත්තෑහත් වරක් දක්වා සමාව දෙන්න” කියලයි. ඒකෙන් යේසුස් ඉගැන්නුවේ අනිත් අයට සමාව දෙන්න අපි හැම වෙලාවෙම ලෑස්ති වෙලා ඉන්න ඕනෙ කියලයි.—මතෙ. 6:14, 15; 18:21, 22.

16. යෝසෙප්ගෙන් ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

16 වෙන අය අපේ බලාපොරොත්තු කඩ වෙන විදිහට වැඩ කළොත් අපි කරන්න ඕනෙ මොනවද කියලා යෝසෙප්ගෙනුත් ඉගෙනගන්න පුළුවන්. යාකොබ් යෝසෙප්ට වැඩියෙන් ආදරේ කරපු නිසා අනිත් සහෝදරයෝ යෝසෙප්ට ඊර්ෂ්‍යා කළා. ඒක වෛරයකට පෙරළිලා අන්තිමේදී එයාලා යෝසෙප්ව වහලෙක් විදිහට විකුණනවා. අවුරුදු ගාණකට පස්සේ ඊජිප්තුවේ රජ යෝසෙප් ගැන හුඟක් පැහැදිලා එයාව රටේ අගමැති කරනවා. ඊට ටික දවසකට පස්සේ යෝසෙප්ගේ සහෝදරයෝ ඊජිප්තුවට එනවා කෑම මිල දී ගන්න. එයාලා යෝසෙප්ව අඳුරගත්තේ නැතත් යෝසෙප් එයාලව අඳුරගන්නවා. කලින් එයාලා තමන්ට නපුරු විදිහට සැලකුවත් යෝසෙප් එයාලට දඬුවම් කරන්නේ නැහැ. එයාලා දැන් වෙනස් වෙලාද කියලා සෝදිසි කරලා බලනවා විතරයි. එයාලා වෙනස් වෙලා කියලා දැනගත්තම තමන් කවුද කියලා යෝසෙප් එයාලට කියනවා. එයාලා කරපු හැම නපුරු දෙයක්ම අමතක කරලා තමන්ගේ සහෝදරයන්ට එයා මෙහෙම කියනවා. “භය වෙන්න එපා. මම ඔබටත් ඔබේ දරුවන්ටත් දිගටම කෑම දෙන්නම්.”—උත්. 50:21.

17. අනිත් අය අතින් අඩුපාඩුකම් වෙද්දී ඔයා කැමති මොකක් කරන්නද?

17 හැමෝගෙම අතින් වැරදි වෙන නිසා ඔයා කරපු, කියපු දෙයක් නිසා අනිත් අයට ලොකු වේදනාවක් දැනුණ අවස්ථාත් ඇති. එහෙම දෙයක් ඔයා අතින් වෙලා කියලා තේරුණොත් බයිබලේ තියෙන උපදෙස අදාළ කරගන්න. එයාගෙන් සමාව ඉල්ලලා එයා එක්ක සමාදාන වෙන්න උත්සාහ කරන්න. (මතෙව් 5:23, 24 කියවන්න.) අනිත් අය අපිට සමාව දෙනවා නම් අපි කැමතියි. අපි අනිත් අයට කරන්න ඕනෙත් ඒ දේම නේද? කොලොස්සි 3:13 මෙහෙම කියනවා. “අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න. යෙහෝවා දෙවි ඔබට මුළු හදවතින්ම සමාව දී තිබෙන ආකාරයටම ඔබත් සමාව දෙන්න.” අපි ඇත්තටම අපේ සහෝදරයන්ට ආදරේ නම් එයාලා අතීතයේදී කරපු දෙයක් ගැන හිතහිත අමනාපයෙන් ඉන්නේ නැහැ. (1 කොරි. 13:5) අපි අනිත් අයට සමාව දෙනවා නම් යෙහෝවා දෙවිත් අපිට සමාව දෙනවා. ඒ නිසා අනිත් අය අතින් අපිට වරදක් වුණත් අපේ ආදරණීය දෙවි යෙහෝවා වගේ අපිත් මුළු හදවතින්ම ඒ අයට සමාව දෙමු.—ගීතාවලිය 103:12-14 කියවන්න.