Skip to content

පටුනට යන්න

අපේ දෙවි යෙහෝවා එකම දෙවියි

අපේ දෙවි යෙහෝවා එකම දෙවියි

“ඊශ්‍රායෙල්වරුනි, සවන් දෙන්න. අපගේ දෙවි යෙහෝවා දෙවියි. යෙහෝවා යන නමින් සිටින්නේ එකම දෙවි කෙනෙක් පමණයි.”—ද්වි. 6:4.

ගීතිකා: 138, 112

1, 2. (අ) ද්විතීය කතාව 6:4 සඳහන් දේ ජනප්‍රිය වෙලා තියෙන්නේ කොහොමද? (ආ) මෝසෙස් ඒ දේ කිව්වේ ඇයි?

යුදෙව්වන් සියවස් ගාණක් තිස්සේ කරන විශේෂ යාච්ඤාවකට ද්විතීය කතාව 6:4 තියෙන වචන ඇතුළත් කරලා තියෙනවා. දෙවිට හැර වෙන කිසිම කෙනෙක්ට නමස්කාර කරන්නේ නැහැ කියලා පෙන්නන්න එයාලා උදේ හවස ඒ යාච්ඤාව කියනවා.

2 අවුරුදු 40ක් තිස්සේ ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්නපු මෝසෙස් ක්‍රි.පූ. 1473දී ජාතිය අමතලා ඔහුගේ අවසාන කතාව කරනවා. ඒ වෙද්දී ඊශ්‍රායෙල්වරු හිටියේ යොර්දාන් ගඟෙන් එහා තියෙන පොරොන්දු දේශය අත්පත් කරගන්න සූදානම් වෙලයි. (ද්වි. 6:1) ඉස්සරහට එන අභියෝගවලට ධෛර්යයෙන් මුහුණ දෙන්න නම් යෙහෝවා දෙවිව විශ්වාස කරන එකත් දෙවිට විශ්වාසවන්තව ඉන්න එකත් අත්‍යවශ්‍යයි කියලා මෝසෙස් මතක් කළා. දසපනත ඇතුළු දෙවි දුන්න නීති ගැන මතක් කළාට පස්සේ මෝසෙස් ද්විතීය කතාව 6:4, 5 (කියවන්න.) තියෙන ප්‍රබල සිහිගැන්වීම සෙනඟට දුන්නා.

3. මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 “යෙහෝවා යන නමින් සිටින්නේ එකම දෙවි කෙනෙක් පමණයි” කියලා ඊශ්‍රායෙල්වරු දැනගෙන හිටියා. එයාලා නමස්කාර කළෙත් එයාලගේ මුතුන්මිත්තන් නමස්කාර කරපු දෙවිටමයි. එහෙමනම් ‘යෙහෝවා යන නමින් ඉන්නේ එකම දෙවි කෙනෙක් විතරයි’ කියලා මෝසෙස් එයාලට මතක් කළේ ඇයි? මෝසෙස් කියපු ඒ කාරණයත් ඊටපස්සේ එයා කියපු දේත් ඒ කියන්නේ ද්විතීය කතාව 6:5 සඳහන් දේත් අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒක අපිට අදාළ වෙන්නේ කොහොමද?

යෙහෝවා එකම දෙවියි

4, 5. (අ) ‘එකම දෙවි යෙහෝවා’ කියද්දී ඒකට ඇතුළත් වෙන එක දෙයක් මොකක්ද? (ආ) වෙනත් ජාතීන් නමස්කාර කරපු දෙවිවරුන්ට වඩා යෙහෝවා දෙවි වෙනස් වුණේ කොහොමද?

4 කාටවත් සම කරන්න බැහැ. ‘යෙහෝවා යන නමින් ඉන්නේ එකම දෙවි කෙනෙක් විතරයි’ කියද්දී ඒකට ඇතුළත් වෙන එක දෙයක් තමයි දෙවිට සමාන කිසිම කෙනෙක් නැහැ කියන එක. හැම දේකම නිර්මාතෘ යෙහෝවා දෙවියි. විශ්වයේ පාලකයාත් එකම සැබෑ දෙවිත් ඔහුයි. ඔහුට සමාන කිසි කෙනෙක් නැහැ. (2 සාමු. 7:22) මෝසෙස් ඒ කාරණය මතක් කළේ ඇයි? එයා එහෙම කළේ ත්‍රිත්ව දෙවි කෙනෙක් ගැන වෙනත් ජාතීන්ට තිබුණ විශ්වාසය බොරුවක් කියලා කාවද්දන්න නෙමෙයි. ඒ වෙනුවට ඊශ්‍රායෙල්වරුන් නමස්කාර කරන්න ඕනෙ යෙහෝවා දෙවිට විතරයි කියන කාරණය මතක් කරන්නයි. ඊශ්‍රායෙල්වරු වෙනත් ජාතීන් නමස්කාර කරපු බොරු දෙවි දේවතාවියන්ට නමස්කාර නොකරයි කියලා දෙවි බලාපොරොත්තු වුණා. සොබාදහමේ තියෙන දේවල් පාලනය කරන්න එයාලාගේ දෙවිවරුන්ට පුළුවන් කියලා ඒ ජාතීන් විශ්වාස කළා.

5 ඊජිප්තුවරු හිරුට රා දෙවියා කියලත් අහසට නර්ට් දේවතාවිය කියලත් පොළොවට ගෙබ් දෙවියා කියලත් නයිල් ගඟට හාපි දෙවියා කියලත් හඳුන්වලා ඒවාට නමස්කාර කළා. හුඟක් සතුන්ටත් වන්දනා මාන කළා. මිනිසුන් නමස්කාර කරපු ඒ හැම දෙවි කෙනෙකුටම වඩා තමන් බලවත් කියලා ඊජිප්තුවරුන්ට ගෙනාපු පීඩා 10දී යෙහෝවා දෙවි ඔප්පු කළා. කානානිවරුන්ගේ ප්‍රධාන දෙවියා වුණේ බාල්. ජීවිතේ දුන්නේ බාල් කියලයි එයාලා විශ්වාස කළේ. අහසට, වැස්සට, සුළඟට අධිපති බාල් කියලත් තමන්ට ආරක්ෂාව දෙන්න ඔහුට පුළුවන් කියලත් එයාලා විශ්වාස කළා. (ගණන්. 25:3) අවට ජාතීන් අතරේ ඒ වගේ විශ්වාසයන් තිබුණ නිසා ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා “සැබෑ දෙවි” කියලත් ‘යෙහෝවා යන නමින් ඉන්නේ එකම දෙවි කෙනෙක් විතරයි’ කියලත් එයාලගේ මතකයේ තියාගන්න එක හුඟක් වැදගත් වුණා.—ද්වි. 4:35, 39.

6, 7. ‘එකම දෙවි යෙහෝවා’ කියද්දී ඒකට ඇතුළත් වෙන තව දෙයක් මොකක්ද? ඒ කාරණය යෙහෝවා දෙවි ඔප්පු කළේ කොහොමද?

6 විශ්වාසවන්තයි, ළැදියි. ‘යෙහෝවා යන නමින් ඉන්නේ එකම දෙවි කෙනෙක් විතරයි’ කියද්දී ඔහුගේ අරමුණ, ඔහු වැඩ කරන විදිහ වෙනස් වෙන්නේ නැහැ කියන දේත් ඇතුළත් වෙනවා. ඔහු එකක් කියලා තව දෙයක් කරන දෙවි කෙනෙක් නෙමෙයි. ඔහු විශ්වාසවන්ත, වෙනස් නොවන, ළැදි, ඇත්ත කතා කරන දෙවි කෙනෙක්. උදාහරණෙකට දෙවි ආබ්‍රහම්ට පොරොන්දු වුණා එයාගෙන් පැවතෙන්නන්ට සරුසාර දේශයක් දෙනවා කියලා. ඒ පොරොන්දුව රකින්න දෙවි හුඟක් ආශ්චර්යයන් කළා. පොරොන්දුව දීලා අවුරුදු 430කට පස්සෙත් ඔහු ඒක අමතක කළේ නැහැ.—උත්. 12:1, 2, 7; නික්. 12:40, 41.

7 මෝසෙස්ගේ කාලෙන් සියවස් ගාණකට පස්සේ දෙවි ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කිව්වා. “මා කිසිදා නොවෙනස් වන දෙවි කෙනෙකු බව තේරුම්ගන්නා පිණිස මම ඔබව තෝරාගතිමි. මට පෙර කිසි දෙවි කෙනෙක් සිටියේ නැත. මින් මතු කිසිදාක මා හැර වෙන කිසි දෙවි කෙනෙක් සිටින්නේද නැත.” තමන්ගේ අරමුණ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා පෙන්නන්න “මම කිසිදා වෙනස් නොවෙමි” කියලා දෙවි ආයෙත් කිව්වා. (යෙසා. 43:10, 13; 44:6; 48:12) ඒ වගේ දෙවි කෙනෙක්ට නමස්කාර කරන්න ලැබීම ඊශ්‍රායෙල්වරුන්ටත් අද අපිටත් මොන තරම් වරප්‍රසාදයක්ද!—මලා. 3:6; යාකො. 1:17.

8, 9. (අ) දෙවිගේ සේවකයන්ගෙන් ඔහු බලාපොරොත්තු වෙන්නේ මොනවද? (ආ) මෝසෙස් කියපු දේ වැදගත් කියලා යේසුස් කාවැද්දුවේ කොහොමද?

8 මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට මතක් කළේ තමන්ගේ සෙනඟ ගැන යෙහෝවා දෙවිට තියෙන ආදරේ, සැලකිල්ල කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලයි. ඒ නිසා එයාලත් යෙහෝවා දෙවිට විතරක් නමස්කාර කරයි, මුළු හදවතින්ම ඔහුට ආදරේ කරයි කියලා දෙවිත් බලාපොරොත්තු වුණා. දෙවි ගැන දරුවන්ට කියලා දෙන එකත් දෙවි දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වුණා. එතකොට ඒ දරුවනුත් නමස්කාර කරන්නේ යෙහෝවා දෙවිට විතරයි.—ද්වි. 6:6-9.

9 යෙහෝවා දෙවි ඔහුගේ අරමුණ වෙනස් කරන්නේ නැති නිසා ඔහුගේ සේවකයන්ගෙන් මූලිකවම බලාපොරොත්තු වෙන දේවලුත් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අපේ නමස්කාරය ගැන දෙවි සතුටු වෙන්න නම් අපි නමස්කාර කරන්න ඕනෙ ඔහුට විතරයි. මුළු හදවතින්ම දෙවිට ආදරේ කරලා, ජීවිතේම ඔහුට කැප කරලා මනසේ මුල් තැන ඔහුට දෙන්න ඕනේ. ඒක තමයි උතුම්ම ආඥාව කියලා යේසුස් කිව්වා. (මාක් 12:28-31 කියවන්න.) ‘යෙහෝවා එකම දෙවි’ කියලා අපි විශ්වාස කරනවා නම් අපි වැඩ කරන විදිහෙන් ඒක පේනවා.

යෙහෝවා දෙවිට විතරක් නමස්කාර කරන්න

10, 11. (අ) යෙහෝවා දෙවිට විතරක් නමස්කාර කරනවා කියද්දී අදහස් වෙන්නේ මොකක්ද? (ආ) හෙබ්‍රෙව් තරුණයන් ඒ දේ පෙන්නුවේ කොහොමද?

10 අපිට ඉන්න එකම දෙවියන් යෙහෝවා දෙවි විතරයි. වෙන කිසිම දෙවි කෙනෙකුට නමස්කාර කරන්නවත් බොරු මත, චාරිත්‍ර ඔහුට කරන නමස්කාරයට සම්බන්ධ කරගන්නවත් අපිට බැහැ. අපි යෙහෝවා දෙවිට විතරක් නමස්කාර කරන්න ඕනෙ අනිත් දෙවිවරුන් අතරේ උසස්ම, බලවත්ම දෙවි යෙහෝවා කියලා හිතලා නෙමෙයි. ඇත්තටම ඉන්න එකම සැබෑ දෙවි ඔහු විතරයි. ඒ නිසයි අපි ඔහුට විතරක් නමස්කාර කරන්න ඕනේ.—එළිදරව් 4:11 කියවන්න.

11 දානියෙල් සහ එයාගේ යාළුවන් 3දෙනා දෙවි කන්න එපා කියපු අපවිත්‍ර කෑම ප්‍රතික්ෂේප කරලා එයාලා නමස්කාර කරන්නේ යෙහෝවා දෙවිට විතරයි කියලා ඔප්පු කළා. තවත් අවස්ථාවකදී දානියෙල්ගේ යාළුවන් 3දෙනා රජුගේ රූපයට නමස්කාර කරන එක ප්‍රතික්ෂේප කළා. එයාලගේ මනසේ මුල් තැන හිමි වුණේ යෙහෝවා දෙවිටයි.—දානි. 1:1–3:30.

12. යෙහෝවා දෙවිට විතරක් නමස්කාර කරන්න නම් අපි සැලකිලිමත් වෙන්න ඕනෙ මොකක් ගැනද?

12 අපේ ජීවිතේ මුල් තැන හිමි වෙන්න ඕනෙ යෙහෝවා දෙවිටයි. අපිට ඕනෙ දෙවිට විතරක් නමස්කාර කරන්න නම් දෙවිට හිමි ඒ තැන වෙන කිසිම දේකට නොදී ඉන්න අපි අදිටන් කරගන්න ඕනේ. පරෙස්සම් වුණේ නැත්නම් දෙවිට හිමි තැන අපි වෙන දේවලට දෙන්න ඉඩ තියෙනවා. ඒ මොන වගේ දේවල්ද? දෙවි දසපනතේ කෙළින්ම කිව්වා ඔහුගේ සෙනඟ වෙනත් දෙවිවරුන්ට නමස්කාර නොකළ යුතුයි කියලා. කිසිම විදිහේ රූප නමස්කාරයකට හවුල් වෙන්න එපා කියලා දෙවි එයාලට මතක් කළා. (ද්වි. 5:6-10) එදා හිටපු යෙහෝවා දෙවිමයි අද ඉන්නෙත්. දෙවි ඔහුගේ සේවකයන්ගෙන් බලාපොරොත්තු වුණ ඒ දේ අදටත් වෙනස් වෙලා නැහැ. ඒ නිසා රූප නමස්කාරයට සමාන කරන්න පුළුවන් දේවල් හඳුනගෙන ඒවාවලින් අපි වළකින්න ඕනේ. මොකද ඒවාවලින් සමහරක් බැලූ බැල්මට හඳුනගන්න අමාරුයි.

13. දෙවිට දෙන්න ඕනෙ ආදරේ වෙන මොන දේවලට දෙන්න අපි පෙලඹෙන්න පුළුවන්ද?

13 යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම පලුදු කරන්න පුළුවන් දේවල් ගැන කොලොස්සි 3:5 (කියවන්න.) කතා කරනවා. තණ්හාව රූප නමස්කාරයට සමානයි කියලා එතන කියනවා. ඒ කොහොමද? යම් දෙයක් ලබාගන්න අපිට ලොකු ආසාවක් තියෙනවා නම් උදාහරණෙකට සල්ලිවලට, සැප පහසු දේවලට ලොකු ආසාවක් තියෙනවා නම් අපේ මුළු ජීවිතේම ඒ දේ වෙනුවෙන් කැප කරන්න ඉඩ තියෙනවා. එතකොට අපේ දෙවි වෙන්නේ ඒ ආසාව. ඒ පදේ සඳහන් වෙන අනිත් හැම පව්කාර ක්‍රියාවක්ම තණ්හාවට යම් විදිහකින් සම්බන්ධයි. ඒ කියන්නේ ඒ හැම ක්‍රියාවක්ම රූප නමස්කාරයක් හා සමානයි. ඒ දේවලට අපේ හිතේ ආසාවක් තියෙනවා නම් දෙවිට හිමි තැන අපි ඒවාට දෙන්න පටන්ගනියි. එතකොට අපි නමස්කාර කරන්නේ යෙහෝවා දෙවිට විතරයි කියලා කියන්න බැහැ. ඒකට අපි කවුරුත් කැමති නැහැ.

14. යොහන් දුන්න අනතුරු ඇඟවීම මොකක්ද?

14 යොහනුත් ඒ වගේ දෙයක් කිව්වා. ‘තම ඉඳුරන් පිනවීමේ ආශාව, තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාව, තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමේ නැඹුරුවාව’ කෙනෙක් තුළ ඇති වුණොත් ඒ කියන්නේ මේ ලෝකේ තියෙන දේවලට ඇල්මක් ඇති වුණොත් “පියාණන් සඳහා ප්‍රේමයක් ඔහු තුළ නැත” කියලා එයා කිව්වා. (1 යොහ. 2:15, 16) ඒ නිසා ලෝකේ තියෙන දේවලට අපේ හිතේ ඇල්මක් ඇති වෙන්න පටන් අරන්ද කියලා අපිවම සෝදිසි කරලා බලන්න ඕනේ. එහෙම කරද්දී දෙවිට සේවය නොකරන අයව ආශ්‍රය කරන්න වැඩි කැමැත්තක් අපි තුළ ඇති වෙලා කියලා තේරෙයි. විනෝදය සඳහා සමාජය ඉදිරිපත් කරන දේවලට, වැඩිදෙනෙක් අඳින පළඳින විදිහට අපේ හිත ඇදිලා ගිහින් කියලා හිතෙයි. නැත්නම් ඉහළට ඉගෙනගෙන අපිටම “බොහෝ දේවල්” ලබාගන්න අපි තුළ ආසාවක් ඇති වෙලා කියලා දැනෙයි. (යෙරෙ. 45:4, 5) අපි ඉන්නේ පාරාදීසය අද්දර. ‘යෙහෝවා එකම දෙවි’ කියන දේ අපි හොඳින් තේරුම් අරන් ඉන්නවා නම්, ඒ ගැන 100% විශ්වාසයි නම් ඔහුට විතරක් නමස්කාර කරන්න අපි අදිටන් කරගන්නවා. ඔහු සතුටු වෙන විදිහට ඒ දේ කරන්න අපි අදිටන් කරගන්නවා.—හෙබ්‍රෙ. 12:28, 29.

සභාවේ එක්සත්කම රැකගන්න

15. යෙහෝවා දෙවි ‘එකම දෙවි’ කියලා පාවුල් මතක් කළේ ඇයි?

15 ‘යෙහෝවා යන නමින් ඉන්නේ එකම දෙවි කෙනෙක් විතරයි’ කියලා අපිට ස්ථිර නම් අපි එක්සත්ව ඉඳියි කියලත් එක අරමුණක් ඇතුව වැඩ කරයි කියලත් දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා කියන දේ අපි තේරුම්ගන්නවා. මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් අතරේ යුදෙව්, ග්‍රීක, රෝම සහ වෙනත් ජාතීන්ට අයත් අය හිටියා. එයාලගේ පසුබිම, සංස්කෘතීන්, රුචි අරුචිකම් එකිනෙකට වෙනස්. ඒ නිසා නමස්කාර කරන්න දෙවි ඇති කරපු අලුත් සැලැස්මට හුරු වෙන්න, පරණ පිළිවෙත් අත්හරින්න සමහරුන්ට අමාරු වුණා. ‘අපිට ඉන්නේ එක දෙවි කෙනෙක්’ කියලා පාවුල් එදා හිටපු ක්‍රිස්තියානීන්ට මතක් කළේ ඒ මොන වෙනස්කම් තිබුණත් එයාලා එක්සත්ව ඉන්න ඕනෙ නිසයි.—1 කොරින්ති 8:5, 6 කියවන්න.

16, 17. (අ) අපේ කාලේ ඉටු වෙන අනාවැකිය මොකක්ද? ඒකේ ප්‍රතිඵලය මොකක්ද? (ආ) අපේ එක්සත්කම බිඳෙන්න පුළුවන් මොකක් නිසාද?

16 අද ඉන්න දෙවිගේ සේවකයන් අතරෙත් ඒ වගේ වෙනස්කම් තියෙනවද? යෙසායා කිව්වේ “අවසාන කාලයේදී” සියලු ජාතීන්ට අයත් මිනිසුන් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න එක් රැස් වෙනවා කියලයි. “දෙවි අපට ඔහුගේ මාර්ග ගැන උගන්වයි. අපිද ඔහුගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙමු” කියලා ඒ සෙනඟ කියනවා. (යෙසා. 2:2, 3) ඒ අනාවැකිය අපේ කාලෙදී ඉටු වෙනවා. විවිධ භාෂා කතා කරන, විවිධ සංස්කෘතීන්ට අයත් සහෝදර සහෝදරියන් අපි අතරේ හිටියත් අපි එක්සත්ව යෙහෝවා දෙවිට නමස්කාර කරනවා. ඒත් සමහර වෙලාවට අපි අතරේ තියෙන ඒ වෙනස්කම් අපේ එක්සත්කමට තර්ජනයක් වෙන්න පුළුවන්.

එක්සත්කම රැකගන්න පුළුවන් හැම දේම ඔයා කරනවද? (16-19 ඡේද බලන්න)

17 මේ ගැන හිතන්න. වෙන සංස්කෘතියකට අයත් සහෝදරයන් ගැන ඔයාට හැඟෙන්නේ කොහොමද? එයාලගේ භාෂාව, ඇඳුම් පැළඳුම්, කතාබහ කරන විදිහ, දේවල් කරන විදිහ, කෑම බීම ඔයා හුරු වෙලා තියෙන දේවලට වඩා හුඟක් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා එයාලව ඇසුරු කරන්නේ නැතුව ඔයාගේ පසුබිමට සමාන අය එක්ක විතරද ඔයා ඇසුරු කරන්නේ? ඔයා අයිති ප්‍රදේශයේ ඉන්න ඔයාට වඩා වයසින් බාල, වෙන සංස්කෘතියකට අයිති වැඩිමල්ලන් ගැන ඔයාට කොහොමද හැඟෙන්නේ? ඒ වෙනස්කම් ගැන අපිට හැඟෙන විදිහ ගැන අපි සැලකිලිමත් වුණේ නැත්නම් අපේ එක්සත්කමට ලොකු හානියක් වෙන්න පුළුවන්.

18, 19. (අ) එෆීස 4:1-3 සඳහන් වෙන උපදෙස මොකක්ද? (ආ) සභාවේ එක්සත්කම රැකගන්න අපිට කරන්න පුළුවන් මොනවද?

18 අපි අතරේ තියෙන වෙනස්කම් දිහා හරි විදිහට බලන්න අපිට උදව් වෙන්නේ මොනවද? පාවුල් එෆීසයේ ක්‍රිස්තියානීන්ට දුන්න උපදෙසකින් ඒ ගැන දැනගන්න පුළුවන්. (එෆීස 4:1-3 කියවන්න.) එෆීසය හුඟක් ධනවත්, විවිධ පසුබිම්වලට අයත් මිනිසුන් හිටපු නගරයක්. පාවුල් එයාලට කියනවා නිහතමානිකම, මෘදුකම, බොහෝ ඉවසිලිවන්තකම, ආදරේ කියන ගුණාංග වර්ධනය කරගන්න කියලා. සාමාන්‍යයෙන් නිවසක ශක්තිය රැඳිලා තියෙන්නේ ඒ නිවසේ බර දරාගන්න කණුවල. ඒ ගුණාංගත් හරියට ඒ කණු වගේ. නිවසක් හොඳ තත්වයේ තියාගන්න හුඟක් මහන්සි වෙන්නත් ඕනේ. “දෙවිගේ බලය ඔබ අතරෙහි ක්‍රියාත්මක වීම මගින් ඔබ අද්දකින එක්සත්කම රැකගැනීමට” වෙහෙසක් දරන්න කියලා පාවුල් කිව්වේ ඒ නිසයි.

19 සභාවේ එක්සත්කම රැකගන්න අපි හැමෝම පුළුවන් හැම දේම කරන්න ඕනේ. මුලින්ම පාවුල් කියපු ගුණාංග අපි වර්ධනය කරගන්න ඕනේ. අපි වැඩ කරන විදිහෙන් ඒවා පේන්න ඕනේ. එකිනෙකා එක්ක “සමාදානයෙන් ජීවත් වෙන්න” ලොකු වෑයමක් දරන්න ඕනේ. වරදවා වටහාගැනීම් හරියට නිවසක ඇති වෙන ඉරිතැළීම් වගේ. ඒවා ඉක්මනින්ම විසඳගන්න වෑයමක් දැරුවොත් අනිත් අයත් එක්ක සාමයෙන් ඉන්නත් එක්සත්කම රැකගන්නත් අපිට පුළුවන්.

20. ‘යෙහෝවා දෙවි එකම දෙවි’ කියන කාරණේ අපි තේරුම් අරන් ඉන්නවා කියලා අපිට පෙන්නන්න පුළුවන් කොහොමද?

20 ‘යෙහෝවා යන නමින් ඉන්නේ එකම දෙවි කෙනෙක් විතරයි’ කියන දේ මොන තරම් ප්‍රබල සිහිගැන්වීමක්ද! පොරොන්දු දේශය යටත් කරගද්දී මුහුණ දෙන්න වුණ දුෂ්කරතා ජය ගන්න ඒ සිහිගැන්වීම ඊශ්‍රායෙල්වරුන්ට හුඟක් උදව් වුණා. ළඟ ළඟම එන මහත් පීඩාවට සාර්ථකව මුහුණ දෙන්නත් පාරාදීසයේදී සාමය, එක්සත්කමට දායක වෙන්නත් ඒක අපිටත් ලොකු ශක්තියක් වෙයි. දිගටම යෙහෝවා දෙවිට විතරක් නමස්කාර කරන්න අපි අදිටන් කරගමු. මුළු හදවතින්ම ඔහුට ආදරේ කරන්න, ජීවිතයම කැප කරලා මනසේ මුල් තැන ඔහුට දෙන්න පුළුවන් උපරිමය කරමු. සහෝදරයන් එක්ක එක්සත්ව ඉන්න ලොකු වෑයමක් දරමු. එහෙම කරනවා නම් යේසුස් අපිවත් බැටළුවන් විදිහට ගණන් ගනියි. “මාගේ පියාණන්ගෙන් ආශීර්වාද ලද්දෙනි, එන්න. පොළොවේ දරුවන් බිහි වූ දා සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍යය උරුමයක් වශයෙන් ලබාගන්න” කියලා යේසුස් කියපු වචන අද්දකින්න එතකොට අපිටත් පුළුවන්.—මතෙ. 25:34.