Skip to content

පටුනට යන්න

දියමන්තිවලටත් වඩා වටිනා දෙයක්

දියමන්තිවලටත් වඩා වටිනා දෙයක්

ඈත අතීතයේ ඉඳන්ම දියමන්ති සලකන්නේ මැණික් අතර තියෙන වටිනාම දෙයක් විදිහටයි. ඩොලර් මිලියන ගාණක් වටින දියමන්තිත් තියෙනවා. ඒත් දියමන්තිවලටත් වඩා වටිනවා කියලා දෙවි සලකන දේවල් තියෙනවද?

හෙයිකනූෂ් සහ එයාගේ සැමියා බව්තීස්ම නොලත් ප්‍රචාරකයෝ. දවසක් හෙයිකනූෂ්ට එයාගේ ගෙවල් ළඟ තිබිලා පාස්පෝට් එකක් හම්බ වුණා. ඒක ඇතුළේ ඩෙබිට් කාඩ් කීපයකුත් ලොකු මුදලකුත් තිබුණා.

ඒ දෙන්නා ආර්ථික අමාරුකම් මැද ජීවත් වුණ යුවළක්. ගෙවන්න ණයකුත් තිබුණා. ඒ වුණත් එයාලා තීරණය කළා පාස්පෝට් එකත් ඒක ඇතුළේ තිබුණ දේවලුත් අයිතිකරුට භාරදෙන්න. දෙන්නා ඒකේ තිබුණ ලිපිනය හොයාගෙන ගිහින් ඒක භාර දුන්නම අයිතිකරුටත් එයාගේ පවුලේ අයටත් ඒක අදහාගන්න බැරි වුණා. තමන් එහෙම කළේ බයිබලෙන් ඉගෙනගන්න දේවල් නිසයි කියලා එයාලා පැහැදිලි කළා. ඊටපස්සේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන කතා කරන්න ඒක අවස්ථාවක් කරගෙන අපේ ප්‍රකාශන කීපයකුත් දුන්නා.

ඒ පවුලේ අයට ඕනෙ වුණා හෙයිකනූෂ්ට මුදල් තෑග්ගක් දෙන්න. ඒත් එයා ඒක ගන්න කැමති වුණේ නැහැ. පහුවදා පාස්පෝට් එක අයිතිකරුගේ බිරිඳ හෙයිකනූෂ්ගේ ගෙදරටම ඇවිත් එයා කරපු දේ අගය කිරීමක් විදිහට දියමන්ති මුද්දක් තෑගි කළා.

හෙයිකනූෂ්ගෙත් එයාගේ සැමියාගෙත් අවංකකම ගැන ඒ පවුලේ අයට විතරක් නෙමෙයි තවත් හුඟක් අයට පුදුම හිතෙයි. ඒත් යෙහෝවා දෙවි ඒ ගැන පුදුම වෙයිද? එයාලගේ අවංකකම ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද? අවංක වුණා කියලා ප්‍රයෝජනයක් තියෙනවද?

රන්මිණි මුතුවලටත් වඩා වටින ගුණාංග

ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න එච්චර අමාරු නැහැ. මොකද දෙවිගේ ගතිලක්ෂණ ජීවිතවලින් පෙන්නන එක රන්මිණි මුතුවලටත් වඩා වටින දේවල් විදිහට දෙවි සලකනවා කියලා අපි දන්නවා. යෙහෝවා දෙවි වටිනවා කියලා සලකන්නේ මිනිසුන්ගෙන් වැඩිදෙනෙක් වටිනවා කියලා සලකන දේවලට වඩා හාත්පසින්ම වෙනස් දේවල්. (යෙසා. 55:8, 9) දෙවිගේ ගතිලක්ෂණ අපේ ජීවිතවලින් පෙන්නන්න පුළුවන් නම් දෙවිගේ සෙනඟ හැටියට අපි ඒක සලකන්නේ ලෝකෙ තියෙන මොනම වස්තුවකටවත් සම කළ නොහැකි ජයග්‍රහණයක් විදිහටයි.

වටහාගැනීමේ හැකියාව සහ ප්‍රඥාව ගැන බයිබලේ කියන මේ දෙයින් ඒක පැහැදිලියි. “ප්‍රඥාව සොයාගෙන වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න තැනැත්තා සන්තෝෂවත්ය. මන්ද ප්‍රඥාවෙන් ලැබෙන ප්‍රයෝජන රන් රිදීවලටත් වඩා අගනේය. එය කොරල්වලටත් ඔබ ආශා කරන අන් සියලු දේවලටත් වඩා වටින්නේය. ඊට සම කළ හැකි දෙයක් නොමැත.” (හිතෝ. 3:13-15) ඒ ගතිලක්ෂණ ලෝකෙ තියෙන මිල අධිකම වස්තුවටත් වඩා යෙහෝවා දෙවිට වටිනවා කියලා නම් සැකයක් නැහැ.

එතකොට අවංකකම ගැන මොනවද කියන්න පුළුවන්?

“කිසි බොරුවක් නොපවසන” යෙහෝවා දෙවි අවංක දෙවි කෙනෙක්. (තීත. 1:2) “අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමති නිසා දෙවි ඉදිරියේ අවංක හෘදය සාක්ෂියක් ඇති බව අපට විශ්වාසයි. එහෙයින් අප වෙනුවෙන් නිරතුරුවම යාච්ඤා කරන්න” කියලා ලියන්න පාවුල්ට මඟ පෙන්නුවෙත් යෙහෝවා දෙවියි.—හෙබ්‍රෙ. 13:18.

යේසුත් අවංකකම සම්බන්ධයෙන් හොඳ ආදර්ශයක්. “මා ජීවමාන දෙවිගේ නාමයෙන් දිවුරා ඔබ ඉදිරියේ ප්‍රශ්නයක් අසන්න කැමතියි. ඔබ දෙවිගේ පුත්‍රයා වන ක්‍රිස්තුස්ද කියා අපට කියන්න” කියලා උත්තම පූජක කායෆස් අහපු වෙලාවේ යේසුස් අවංකවම තමන් ගැලවුම්කරු කියලා කිව්වා. එහෙම කියන එකෙන් දෙවිට අපහාස කරන්නෙක් විදිහට තමන්ව වැරදිකරු කරලා මරණ දණ්ඩනය දෙන්න යුදෙව් මන්ත්‍රණ සභාව පියවර ගන්නවා කියලා දැනගෙන හිටියත් ඔහු ඒක පිළිගත්තා.—මතෙ. 26:63-67.

අපිත් යේසුස් වගේ අවංකද? ඇත්ත ටිකක් වෙනස් කළොත් නැත්නම් සමහර දේවල් නොකියා හිටියොත් අපිට යම් වාසියක් ලැබෙයි කියලා දැනෙද්දී වුණත් අපි අවංක වෙන්න උත්සාහ කරනවද?

අවංක වෙන එක අභියෝගයක්

“තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින” මිනිසුන් ඉන්න මේ අන්තිම කාලේ අවංක වෙන එක අභියෝගයක්. (2 තිමෝ. 3:2) හුඟක් රටවල ආර්ථිකය කඩා වැටිලා, රැකියා අහිමි වීමේ අවදානමත් වැඩියි. ඒ නිසාත් වංකව දේවල් කරන්න හුඟදෙනෙක් පෙලඹෙනවා. හුඟක් අය හිතන්නේ හොර, බොරු, වංචා, සොරකම වැරදි නැහැ කියලා. අතට ගාණක් හම්බ වෙනවා නම් හුඟක් අයට අවංකකම කියන වචනෙවත් මතක් වෙන්නේ නැහැ. “අයුතු ලෙස ලාභ ලබාගැනීමට” තියෙන ආසාව නිසා සාක්ෂිකරුවන්ගෙන් සමහරුත් ඒ විදිහට වැඩ කරන්න පෙලඹිලා තියෙනවා. ඒකෙන් එයාලට සභාවේ තිබුණ හොඳ නම නැති වෙලා.—1 තිමෝ. 3:8; තීත. 1:7.

ඒත් සාක්ෂිකරුවන්ගෙන් වැඩිදෙනෙක් යේසුස්ව ආදර්ශයට ගන්නවා. දෙවිගේ ගතිලක්ෂණ අපි තුළත් ඇති කරගන්න එක මොනම වස්තුවකටත්, වාසියකටත් වඩා හුඟක් වටිනවා කියලා එයාලා දන්නවා. ඒ නිසයි අපේ යෞවනයන් හොඳ ලකුණු ගන්න ඕනෙ නිසා විභාගවලදී හොර වැඩ කරන්නේ නැත්තේ. (හිතෝ. 20:23) අවංක වෙන හැම අවස්ථාවකදීම හෙයිකනූෂ්ට ලැබුණා වගේ තෑගි ලැබෙන එකක් නැහැ. ඒත් දෙවි ඒක හුඟක් අගය කරනවා. නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව ඉන්නත් ඒකෙන් අපිට පුළුවන්. වැඩියෙන්ම වටින්නේ ඒ දේ නෙමෙයිද?

ගාගික් කියන දේ බලන්න. “සාක්ෂිකරුවෙක් වෙන්න කලින් මං වැඩ කළේ ලොකු කොම්පැනියක කළමනාකාර අධ්‍යක්ෂක විදිහට. ඒකේ අයිතිකාරයා අඩුවෙන් බදු ගෙවන්න ඕනෙ නිසා ලාභය අඩුවෙන් පෙන්නුවා. ඒ බදු වංචාව හංගන්න විගණන නිලධාරීන්ට අල්ලස් දෙන්න වුණේ මටයි. ඒ නිසා ඒ අය අතරේ මං ප්‍රසිද්ධ වෙලා හිටියේ වංචාකාරයෙක් විදිහට. ඒත් සත්‍යය දැනගත්තට පස්සේ ඒක කරන්න මට බැහැ කියලා මං කිව්වා. මොන තරම් ලොකු පඩියක් හම්බ වුණත් ඒ රස්සාවෙන් මං අස් වුණා. පස්සේ මගේම ව්‍යාපාරයක් පටන්ගත්තා. මුල ඉඳන් හැම දේම නීත්‍යනුකූලව කළා. ගෙවන්න ඕනෙ බදුත් හරියටම ගෙව්වා.—2 කොරි. 8:21.

“දැන් මගේ ආදායම කලින් ආදයමෙන් භාගයයි. ඒ නිසා පවුල රැකබලා ගන්න එක ලේසි නෑ. ඒත් දැන් මං ඉන්නේ සතුටින්. යෙහෝවා දෙවි ඉදිරියේ මට නිදොස් හෘදය සාක්ෂියක් තියෙනවා. මගේ පුතාලා දෙන්නට හොඳ ආදර්ශයක් වෙන්නත් මට පුළුවන් වෙලා තියෙනවා. සභාවේ වගකීම් දරන්නත් මට අවස්ථාව ලැබිලා තියෙනවා. විගණන නිලධාරීන් ඇතුළුගනුදෙනුකරුවන් අතරේ මං දැන් ප්‍රසිද්ධ අවංක කෙනෙක් හැටියටයි.”

යෙහෝවා දෙවි අත්හරින්නේ නැහැ

අවංකකම ඇතුළු දෙවිගේ ගතිලක්ෂණ තමන්ගේ ජීවිතවලින් පෙන්නලා දෙවිගේ ඉගැන්වීම් තවත් ලස්සන කරන අයට දෙවි හුඟක් ආදරෙයි. (තීත. 2:10) දාවිත් ඒක සහතික කරන්නේ මේ වචනවලින්. “දැන් මම මහලු වයසේ සිටිමි. මාගේ තරුණ කාලයේ සිට මේ වන තෙක් ධර්මිෂ්ඨයෙකුව කිසිසේත් අත්හැර දැමූ අවස්ථාවක් මම දැක නැත. ඔහුගේ දරුවන් කෑම හිඟනවාවත් මම දැක නැත.”—ගීතා. 37:25.

රූත්ගේ කතාව ඒකට හොඳ උදාහරණයක්. රූත් මහලු වයසේ හිටපු නැන්දම්මාව දාලා ගියේ නැහැ. දෙවිට නමස්කාර කරන්න නායොමි එක්ක ඊශ්‍රායෙලයට ආවා. (රූත් 1:16, 17) නීතියට අනුව කෙත්වල අත්හැරලා දාලා ගිය කරල් අහුලන්න දුප්පත් අයට ඒ කාලේ අවස්ථාව තිබුණා. ඒ සැලැස්මෙන් ප්‍රයෝජන ගත්ත රූත් අවංකව, හුඟක් මහන්සි වෙලා වැඩ කළා. දෙවි රූත්ටයි නායොමිටයි හිඟමන් යදින තත්වයට පත් වෙන්න ඉඩ දුන්නේ නැහැ. (රූත් 2:2-18) අවශ්‍ය කරන දේවල් දුන්නා විතරක් නෙමෙයි දාවිත් රජුගෙත් ගැලවුම්කරුගෙත් මිත්තනියක් වෙන්න දෙවි රූත්ව තෝරගත්තා.—රූත් 4:13-17; මතෙ. 1:5, 16.

අමාරුවෙන් දවස ගැටගහගන්න අය සාක්ෂිකරුවන් අතරෙත් ඉන්නවා. ලේසියෙන් ඒත් වංක විදිහට හම්බ කරගන්නවට වඩා එයාලා අවංකව, මහන්සි වෙලා වැඩ කරනවා. ඒකෙන් පේන්නේ අවංකකම වගේ දෙවිගේ ගතිලක්ෂණ ආදර්ශයට ගන්න එක මොනම වස්තුවකටත් වඩා එයාලට වටිනවා කියන එකයි.—හිතෝ. 12:24; එෆී. 4:28.

එදා රූත් වගේ අද ලෝකෙ පුරාම ඉන්න සාක්ෂිකරුවනුත් තමන්ට උදව් කරන්න යෙහෝවා දෙවිට පුළුවන් කියන විශ්වාසයෙන් වැඩ කරනවා. “මා ඔබව කිසි ලෙසකින්වත් අත්හරින්නේ නැත. මම ඔබව කිසිදාක අසරණ නොකරන්නෙමි” කියලා දෙවි දීපු පොරොන්දුව ගැන එයාලට කිසිම සැකයක් නැහැ. (හෙබ්‍රෙ. 13:5) අලාභ විඳින්න සිදු වුණත් හැම වෙලාවෙම අවංකව වැඩ කරන අයට උදව් කරන්න තමන්ට පුළුවන් කියලා දෙවි කී වතාවක් නම් ඔප්පු කරලා පෙන්නලා තියෙනවද! අවශ්‍ය දේ දෙනවා කියලා දෙවි වුණ පොරොන්දුව ඔහු ඒ විදිහටම රැකලා තියෙනවා.—මතෙ. 6:33.

මිනිසුන් දියමන්තිවලට මිලක් නියම කරයි. ඒත් අවංකකමත් දෙවිගේ අනිත් ගතිලක්ෂණත් අපේ ජීවිතවලින් පෙන්නද්දී අපේ ආදරණීය දෙවි ඒකට නියම කරන වටිනාකම මේ ලෝකෙ තියෙන වටිනාම දියමන්තියටත් වඩා අනර්ඝයි!

අවංක වෙද්දී නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සේවයේ ගිහින් කතා කරන්න අපිට පුළුවන්