Skip to content

පටුනට යන්න

කුඹල්කරු හැටියට යෙහෝවා දෙවි කරන දේ අගයමු

කුඹල්කරු හැටියට යෙහෝවා දෙවි කරන දේ අගයමු

‘යෙහෝවා දෙවියනි, ඔබ අපේ කුඹල්කරුය. අප සියල්ලන්ම ඔබේ අතින් නිමැවුණු භාණ්ඩ මෙනි.’—යෙසා. 64:8.

ගීතිකා: 89, 26

1. යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨතම කුඹල්කරු කියන්නේ ඇයි?

2010 නොවැම්බර් මාසේ ලන්ඩන් නුවර තිබුණ වෙන්දේසියකදී 18වෙනි සියවසට අයත් චීන මැටි බඳුනක් ඩොලර් මිලියන 70කට කිට්ටු ගාණකට අළෙවි වුණා. පහසුවෙන් ලබාගන්න පුළුවන්, හරිම අඩු මුදලකට ගන්න පුළුවන් මැටි පිඩකින් එච්චර වටිනා, සිත් ඇද බැඳ ගන්නා බඳුනක් නිර්මාණය කරන්න කුඹල්කරුවෙකුට තියෙන හැකියාව හරිම පුදුමයි. ඒත් ඒ කිසිම කුඹල්කරුවෙක්ව යෙහෝවා දෙවිට සමාන කරන්න බැහැ. ඔහු “භූමියේ දූවිල්ලෙන් [මැටිවලින්]” පරිපූර්ණ මිනිසෙක්ව නිර්මාණය කළා කියලා බයිබලේ කියනවා. (උත්. 2:7) දෙවිගේ ගතිලක්ෂණ ආදර්ශයට ගන්න පුළුවන් විදිහට නිර්මාණය කරපු ඒ මිනිසාගේ “පියා දෙවිය.”—ලූක් 3:38.

2, 3. පසුතැවිලි වුණ ඊශ්‍රායෙල්වරුන්ව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

2 ආදම් තම නිර්මාතෘට විරුද්ධව කැරලිගැහුවම එයා තවදුරටත් දෙවිගේ පුතෙක් වුණේ නැහැ. ඒත් එයාගෙන් පැවත ආපු හුඟක් අය දෙවිව තම පාලකයා හැටියට කැමැත්තෙන්ම පිළිගත්තා. (හෙබ්‍රෙ. 12:1) තමන්ගේ නිර්මාතෘට නිහතමානීව කීකරු වෙලා එයාලා ඔප්පු කරලා පෙන්නුවේ ආදරණීය පියා සහ කුඹල්කරු විදිහට තමන් තෝරගන්නේ යෙහෝවා දෙවිව මිසක් සාතන්ව නෙමෙයි කියලයි. (යොහ. 8:44) දෙවිට එයාලා කොච්චර ළැදිව හිටියද කියලා පසුතැවිලි වුණ ඊශ්‍රායෙල්වරු කියපු මේ වචනවලින් පැහැදිලියි. “යෙහෝවා දෙවියනි, අපේ පියාණන් ඔබය. අප නිකම්ම නිකම් මැටි පිඩක් වැනිය. ඔබ අපේ කුඹල්කරුය. අප සියල්ලන්ම ඔබේ අතින් නිමැවුණු භාණ්ඩ මෙනි.”—යෙසා. 64:8.

3 අද ඉන්න දෙවිගේ සෙනඟ හිතන්නෙත් ඒ විදිහටමයි. යෙහෝවා දෙවි තමන්ගේ පියා සහ කුඹල්කරු කියලා කියන්න ලැබීම එයාලා සලකන්නේ ලොකු ගෞරවයක් විදිහට. ඔයාට හැඟෙන්නෙත් එහෙමද? ඔයාත් දෙවිගේ අතේ තියෙන මොළොක් මැටි පිඩක්ද? ඔයාව සකස් කරන්න ඔයා දෙවිට ඉඩ දෙනවද? දෙවි තවමත් සකස් කරමින් ඉන්න අය හැටියට සභාවේ අය දිහා බලන්න ඔයාට පුළුවන්ද? ඒ ගැන දැනගන්න උදව් වෙන ප්‍රශ්න 3ක් මේ ලිපියේ සාකච්ඡා කරනවා. (1) සකස් කරන්න සුදුසු අයව දෙවි තෝරගන්නේ කොහොමද? (2) එයාලව දෙවි සකස් කරන්නේ ඇයි? (3) ඔහු ඒක කරන්නේ කොහොමද?

කෙනෙක්ව තෝරගන්නේ යෙහෝවා දෙවියි

4. සකස් කරන්න කෙනෙක්ව දෙවි තෝරගන්නේ කොහොමද? උදාහරණයක් දෙන්න.

4 යෙහෝවා දෙවි මිනිසුන් දිහා බලන්නේ අපි බලනවා වගේ පිටින් පේන දේ දිහා නෙමෙයි. කෙනෙක් මොන වගේද කියලා දෙවි බලන්නේ එයාගේ සිත සෝදිසි කරලයි. (1 සාමුවෙල් 16:7 කියවන්න.) ක්‍රිස්තියානි සභාවේ මුල් සාමාජිකයන් ගැන හිතද්දී ඒක පැහැදිලියි. දෙවි ගැනත් යේසුස් ගැනත් දැනගන්න හිතේ ආසාවක් ඇති කරන්න දෙවි තෝරගත්ත වැඩිදෙනෙක්ව මිනිසුන් සැලකුවේ කිසි වටිනාකමක් නැති අය විදිහටයි. (යොහ. 6:44) සාවුල් ගැන හිතන්න. එයා ‘දෙවිට අපහාස කරපු, මිනිසුන්ට පීඩා කරපු, කාටවත් ගරු නොකරපු කෙනෙක්.’ (1 තිමෝ. 1:13) ඒත් සාවුල්ගේ සිත සෝදිසි කරද්දී දෙවි එයාව දැක්කේ පාවිච්චි කරන්න බැරි මැටි පිඩක් විදිහට නෙමෙයි. (හිතෝ. 17:3) ඒ වෙනුවට “විශේෂ අරමුණක්” සඳහා සකස් කරන්න පුළුවන් කෙනෙක් විදිහටයි. “ජාතීන්ටත් රජවරුන්ටත් ඊශ්‍රායෙල්වරුන්ටත්” සාක්ෂි දරන්න එයාව තෝරගත්තේ ඒ නිසයි. (ක්‍රියා 9:15) සාවුල්ව විතරක් නෙමෙයි කලින් බේබද්දන්, සොරුන් වෙලා හිටපු, අනාචාරයේ යෙදුණු අයවත් “ගෞරවනීය කාර්යයක් සඳහා” සකස් කරන්න පුළුවන් අය විදිහට දෙවි දැක්කා. (රෝම 9:21; 1 කොරි. 6:9-11) ශුද්ධ ලියවිලි අධ්‍යයනය කරද්දී ඒ අයට දෙවි ගැන විශ්වාසයක් ඇති වුණා. ඊටපස්සේ තමන්ව සකස් කරන්න ඒ අය දෙවිට ඉඩ දුන්නා.

5, 6. කුඹල්කරු හැටියට දෙවි ගැන අපිට තියෙන විශ්වාසය (අ) සේවය කරන ප්‍රදේශයේ ඉන්න අය ගැන, (ආ) සභාවේ අය ගැන, හොඳ ආකල්පයක් ඇතුව ඉන්න උදව් වෙන්නේ කොහොමද?

5 සිත් සෝදිසි කරලා සකස් කරන්න සුදුසු අය කවුද කියලා තෝරගන්න දෙවිට පුළුවන් කියලා අපිට හොඳටම විශ්වාසයි. ඒ නිසා සේවයේ යද්දී ‘මෙයාට නම් කතා කරලා වැඩක් නෑ’ කියලා කලින්ම තීරණය කරන්න හොඳ නැහැ. මයිකල්ගේ අද්දැකීමෙන් ඒක පැහැදිලියි. “සාක්ෂිකරුවන් ආවම මං එයාලව සත පහකටවත් ගණන් ගත්තේ නැහැ. ඒත් මං දන්න හොඳ පවුලක් හිටියා. එයාලා ගැන මගේ හිතේ තිබුණේ ලොකු පැහැදීමක්. එයාලා සාක්ෂිකරුවන් කියලා දැනගත්තම මට පුදුම හිතුණා. සාක්ෂිකරුවන් ගැන වැරදි විදිහට හිතන්න මට පදනමක් තියෙනවද කියලා කල්පනා කරන්න එයාලගේ ආදර්ශය මාව පෙලඹුවා. මං සාක්ෂිකරුවන්ට නරක විදිහට සැලකුවේ වෙන අය කියපු දේවල් අහලා මිසක් හරි තොරතුරු දැනගෙන නෙමෙයි කියලා එතකොට මට තේරුණා” කියලා මයිකල් කියනවා. එයා බයිබල් පාඩමක් පටන් අරන් බව්තීස්ම වෙලා පස්සේ පූර්ණකාලීන සේවයත් පටන්ගත්තා.

6 අපේ කුඹල්කරු හැටියට යෙහෝවා දෙවි ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා නම් ඒක සහෝදරයන්ට අපි සලකන විදිහටත් බලපානවා. අපි ඒ අය දිහා බලන්නෙත් දෙවි බලන විදිහටද? ඒ කියන්නේ දෙවි තවමත් සකස් කරමින් ඉන්න අය හැටියටද? ඇතුළාන්තය දකින නිසා එයාලා ඇත්තටම මොන වගේ අයද කියලා දෙවි හොඳින්ම දන්නවා. එයාලගේ දුර්වලකම් හැමදාටම තියෙන්නේ නැහැ කියලත් අනාගතයේදී එයාලට මොන වගේ පුද්ගලයන් වෙන්න පුළුවන්ද කියලත් දෙවි දන්නවා. (ගීතා. 130:3) අපිත් අපේ සහෝදරයන් දිහා ඒ විදිහට බලනවා නම් අපිට පුළුවන් දෙවිව ආදර්ශයට ගන්න. සකස් කිරීම් කරගන්න අපි එයාලට උදව් කරද්දී අපි කරන්නේ අපේ කුඹල්කරු එක්ක එකතු වෙලා වැඩ කරන එකයි. (1 තෙස. 5:14, 15) වැඩිමහල්ලන් ඒ සම්බන්ධයෙන් ආදර්ශයක් වෙන්න ඕනේ.—එෆී. 4:8, 11-13.

දෙවි අපිව සකස් කරන්නේ ඇයි?

7. යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් අපි අගය කරන්නේ ඇයි?

7 “දරුවෝ ලැබුණට පස්සේ තමයි මට තේරුණේ දෙමාපියෝ මාව හික්මවපු එකේ තියෙන වටිනාකම” කියලා සමහරු කියනවා. ජීවිතේ අද්දැකීම් ලබද්දී තමයි අපිට තේරෙන්නේ හික්මවීමක් දෙන්නේ කෙනෙක්ට තියෙන ආදරේට කියලා. (හෙබ්‍රෙව් 12:5, 6, 11 කියවන්න.) යෙහෝවා දෙවිත් ඔහුගේ දරුවන්ට හුඟක් ආදරෙයි. ඒ නිසයි ඔහු හරිම ඉවසීමෙන් අපිව හික්මවන්නේ. ඔහු කැමති අපි ඥානවන්ත තීරණ අරන් සතුටින් ඉන්නවට. තාත්තා කෙනෙක් විදිහට ඔහුට ආදරේ කරනවට. (හිතෝ. 23:15) අපි දුක් විඳිනවා දකින්න, පසුතැවිලි නොවුණ පව්කාරයන් විදිහට මැරිලා යනවා දකින්න දෙවි කැමති නැහැ.—එෆී. 2:2, 3.

8, 9. දෙවි අපිට උගන්වන්නේ කොහොමද? දෙවි අපිට හැමදාටම උගන්වනවා කියලා කියන්න පුළුවන් කොහොමද?

8 දෙවි ගැන දැනගන්න කලින් අපිට නරක ගුණාංග තියෙන්න ඇති. ඒත් දෙවි අපිව සකස් කරලා ලස්සන ගුණාංග වර්ධනය කරගන්න අපිට උදව් කළා. (යෙසා. 11:6-8; කොලො. 3:9, 10) දෙවි අපිව සකස් කරමින් ඉන්න නිසා අද අපි පාරාදීසයක් හා සමාන තත්වයක් අද්දකිනවා කියලා කියන්න පුළුවන්. ඒ නිසා අවට ලෝකෙ මොන තරම් දුෂ්ට වුණත් අපි ලොකු ආරක්ෂාවක් අද්දකිනවා. පුංචි කාලේ ඉඳන් ආදරේ නොලබපු අය දැන් ආදරේ අද්දකිනවා. (යොහ. 13:35) අනිත් අයට ආදරෙන් සලකන්න දැන් අපි දන්නවා. ඒත් වැදගත්ම දේ අපිට යෙහෝවා දෙවිව දැන හඳුන ගන්නත් ඔහුගේ ආදරේ ලබන්නත් පුළුවන් වෙලා තියෙන එකයි.—යාකො. 4:8.

9 අද අපි අද්දකිමින් ඉන්න පාරාදීසයක් හා සමාන තත්වය පාරාදීස පොළොවේදී සීයට සීයක්ම අද්දකින්න අපිට පුළුවන්. දේවරාජ්‍යයේ පාලනය යටතේ එදාට අපි ජීවිතේ සතුටින් ගත කරයි. ඒ විතරක් නෙමෙයි අපිට හිතාගන්නවත් බැරි විදිහට ඒ කාලෙදීත් දෙවි අපිව සකස් කරයි. අපිට උගන්වයි. (යෙසා. 11:9) අපිව හැම අතින්ම පරිපූර්ණ පුද්ගලයන් කරයි. ඒ නිසා දෙවිගේ මඟ පෙන්වීම් හොඳින් තේරුම්ගන්නත් ඒවාට සම්පූර්ණයෙන්ම කීකරු වෙන්නත් එදාට අපිට පුළුවන් වෙයි. දැන් ඉඳන්ම අපිව සකස් කරන්න දෙවිට ඉඩ දෙමු. අපිව සකස් කිරීමෙන් දෙවි අපිට පෙන්නන ආදරේ අපි හුඟක් අගය කරනවා කියලා පෙන්නමු.—හිතෝ. 3:11, 12.

දෙවි අපිව සකස් කරන්නේ කොහොමද?

10. ශ්‍රේෂ්ඨ කුඹල්කරුගේ දක්ෂතාව, ඉවසීම යේසුස් වැඩ කරපු විදිහෙන් පේන්නේ කොහොමද?

10 දක්ෂ කුඹල්කරුවෙක්ට එයාගේ අතේ තියෙන මැටි පිඩ ගැන හොඳ අවබෝධයක් තියෙනවා වගේ යෙහෝවා දෙවිටත් අපි ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අපේ දුර්වලකම්, සීමාවන්, අපි කොයි තරම් දුරට සකස් වෙලාද කියලා ඔහු දන්නවා. ඔහු අපිව සකස් කරන්නේ ඒ හැම දේම මනසේ තියාගෙනයි. (ගීතාවලිය 103:10-14 කියවන්න.) නියෝජිතයන් අතින් අඩුපාඩු වෙද්දී යේසුස් වැඩ කළේ කොහොමද කියලා දැනගත්තොත් දෙවි අපි දිහා බලන විදිහ තේරුම්ගන්න අපිට පුළුවන් වෙයි. සමහර වෙලාවලදී එයාලා තමන් අතරේ උතුම්ම කෙනා කවුද කියලා වාද කළා. ඒ වගේ වෙලාවක ඔයා එතන හිටියා නම් එයාලා ගැන ඔයාට කොහොම හැඟෙයිද? එයාලා තද මැටි පිඩක් වගේ කියලා හිතෙයිද? ඒත් යේසුස් එහෙම හිතුවේ නැහැ. කරුණාවෙන්, ඉවසීමෙන් එයාලව හික්මවද්දී එයාලා ඒක පිළිගත්තොත් නිහතමානීව වැඩ කළොත් එයාලව සකස් කරන්න පුළුවන් කියලා යේසුස් දැනගෙන හිටියා. (මාක් 9:33-37; 10:37, 41-45; ලූක් 22:24-27) යේසුස්ව නැවත නැඟිටෙව්වට පස්සේ එයාලට දෙවිගේ බලය ලැබුණම තමන් අතරේ කවුද උතුම්ම තැනැත්තා කියලා එයාලා හිතන්න ගියේ නැහැ. ඒ වෙනුවට එයාලා අවධානය දුන්නේ යේසුස් පවරපු කාර්යයටයි.—ක්‍රියා 5:42.

11. තමන් මොළොක් මැටි පිඩක් වගේ කියලා දාවිත් පෙන්නුවේ කොහොමද? එයාව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

11 යෙහෝවා දෙවි බයිබලය, ඔහුගේ බලය සහ සභාව මාර්ගයෙන් අපිව සකස් කරනවා. බයිබලේ මාර්ගයෙන් අපිව සකස් කරන්න ඉඩ දෙන්නේ කොහොමද? අපි බයිබලේ කියවලා, කියවපු දේ ගැන හොඳට හිතන්න ඕනේ. ඉගෙනගත්ත දේ අදාළ කරගන්න දෙවිගෙන් උදව් ඉල්ලන්න ඕනේ. දාවිත් මෙහෙම කිව්වා. “මම යහනේ සිටින විට ඔබව සිහි කළෙමි. මැදියම් රැයේ මම ඔබ ගැන ගැඹුරින් කල්පනා කළෙමි.” (ගීතා. 63:6) “මට මඟ පෙන්වූ යෙහෝවා දෙවිට මම ප්‍රශංසා කරමි. මාගේ ඇතුළාන්තයටම කාවැදුණු ඒ මඟ පෙන්වීම් රාත්‍රී කාලයේදී මාව නිවැරදි කළේය.” (ගීතා. 16:7) දෙවි දෙන හික්මවීම් ගැන දාවිත් හුඟක් හිතුවා. ඊටපස්සේ මොන තරම් අමාරු වුණත් ඒ අනුව ඔහුගේ හැඟීම්, සිතුවිලි සකස් කරගත්තා. (2 සාමු. 12:1-13) මාත් ඒ වගේද? මං බයිබලේ කියවද්දී කියවන දේ ගැන හොඳට හිතලා ඒ අනුව මගේ සිතුවිලි, හැඟීම් සකස් කරගන්නවද? ඒක තව හොඳින් කරන්න මට පුළුවන්ද?—ගීතා. 1:2, 3.

12, 13. තම බලය සහ සභාව මාර්ගයෙන් දෙවි අපිව සකස් කරන්නේ කොහොමද?

12 අපිව සකස් කරන්න දෙවි ඔහුගේ බලයත් යොදාගන්නවා. දෙවිගේ බලය කෙනෙක් තුළ ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන හැම ගුණාංගයක්ම යේසුස්ට තිබුණා. (ගලා. 5:22, 23) දෙවිගේ බලයට පුළුවන් යේසුස්ට තිබුණ ඒ ගුණාංග ආදර්ශයට ගන්න අපිට උදව් කරන්න. ප්‍රේමය ඒ වගේ එක ගුණාංගයක්. දෙවිගේ බලයේ උදව්වෙන් ඒ ගුණාංගය අපි තුළ වර්ධනය වෙද්දී අපිට දෙවි ගැන ලොකු ආදරයක් ඇති වෙනවා. එතකොට අපිට ඕනෙ ඔහුට කීකරු වෙන්නයි. ඔහුගේ ආඥා අපේ ප්‍රයෝජනයටයි කියලා අපි තේරුම් අරන් කීකරු වෙද්දී අපිව සකස් කරන්න දෙවිගේ බලයට අපි ඉඩ දෙනවා. ඒ විතරක් නෙමෙයි මේ දුෂ්ට සමාජයේ අච්චුවට අනුව හැඩගැහෙන්නේ නැතුව ඉන්න අවශ්‍ය ශක්තියත් දෙවි තම බලය මාර්ගයෙන් අපිට දෙනවා. (එෆී. 2:2) පාවුල් ගැන හිතන්න. එයා හැදුණේ වැඩුණේ උඩඟු ආගමික නායකයන් එක්ක. ඒත් දෙවිගේ බලය පාවුල්ට උදව් කළා එයාගේ ආකල්ප හදාගන්න. “මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ” කියලා ඔහු කිව්වේ ඒ නිසයි. (ෆිලි. 4:13) අපිත් දිගටම දෙවිගෙන් බලය ඉල්ලමු. දෙවි කවදාවත් අපිව ඉවත දාන්නේ නැහැ.—ගීතා. 10:17.

අපිව සකස් කරන්න දෙවි වැඩිමහල්ලන්ව පාවිච්චි කරනවා. අපි එයාලට සවන් දෙනවද? (12 සහ 13 ඡේද බලන්න)

13 සභාව සහ වැඩිමහල්ලන් මාර්ගයෙනුත් දෙවි අපිව සකස් කරනවා. උදාහරණෙකට වැඩිමහල්ලන් අපේ දුර්වල පැත්තක් දැක්කම එයාලා උත්සාහ කරනවා ඒක හදාගන්න අපිට උදව් කරන්න. ඒත් එයාලා උපදෙස් දෙන්නේ එයාලගේ අදහස්වලට අනුව නෙමෙයි. (ගලා. 6:1) ඒ වෙනුවට ඔයාට උදව් කරන්න අවශ්‍ය අවබෝධය, ප්‍රඥාව ඉල්ලලා දෙවිට යාච්ඤා කරනවා. ඊළඟට බයිබලෙන්, ප්‍රකාශනවලින් තොරතුරු හොයනවා. වැඩිමහල්ලන් ආදරෙන්, කරුණාවෙන් ඔයා හදාගන්න ඕන යම් පැත්තක් ගැන පෙන්නලා දෙද්දී උදාහරණෙකට ඔයාගේ ඇඳුම් පැළඳුම් ගැන යම් මඟ පෙන්වීමක් දෙද්දී ඒක දෙවි ඔයාට ආදරේ පෙන්නන විදිහක් කියලා තේරුම්ගන්න. එයාලා දෙන උපදෙස් අදාළ කරගන්නවා නම් ඔයාත් දෙවිට සකස් කරන්න පුළුවන් මොළොක් මැටි පිඩක් වගේ. ඒකෙන් ප්‍රයෝජන ඔයාටමයි.

14. තීරණ ගන්න අපිට තියෙන නිදහසට දෙවි ගරු කරනවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

14 කුඹල්කරුවෙක් බඳුනක් හදන්න කලින් මැටි පිඩේ තියෙන රොඩු, ගල් අයින් කරලා ඒක සූදානම් කරගන්නවා. යෙහෝවා දෙවිට අපිව සකස් කරන්න අධිකාරියක් තියෙනවා. ඒත් දෙවි සකස් කිරීම් කරගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ව දැක්කම එකපාරටම එයාව සකස් කරන්න පටන්ගන්නේ නැහැ. දෙවි මුලින්ම ඔහුගේ පරිශුද්ධ ප්‍රමිති ගැන ඒ පුද්ගලයාට කියලා දෙනවා. ඒවා අදාළ කරගෙන ජීවිතේ වෙනස්කම් කරගන්න එයාට ඉඩ දෙනවා. වෙනස් වෙන්න කියලා දෙවි කවදාවත් බල කරන්නේ නැහැ. අපිත් දෙවිව ආදර්ශයට ගන්නවා නම් අපේ සහෝදරයන්ට, බයිබල් පාඩම් ඇතුළුව සේවයේදී හම්බ වෙන අයට වෙනස්කම් කරගන්න කියලා බලපෑම් කරන්නේ නැහැ. වෙනස්කම් කරගන්න අපිට එයාලට කාලේ දෙනවා.

15, 16. දෙවි තමන්ව සකස් කරනවට කැමතියි කියලා බයිබලේ පාඩම් කරන අයට පෙන්නන්න පුළුවන් කොහොමද? අද්දැකීමක් කියන්න.

15 ටෙසිගේ අද්දැකීම බලන්න. බයිබල් පාඩමේදී ඉගෙනගත්ත දේවල් තේරුම්ගන්න එයාට එච්චර අමාරු වුණේ නැහැ. ඒත් එයා වෙනස්කම් කරගත්තෙවත් රැස්වීම්වලට ගියේවත් නැහැ. එයාත් එක්ක පාඩම කරපු සහෝදරිය ඒ ගැන දෙවිට යාච්ඤා කළාට පස්සේ පාඩම නතර කරන්න තීරණය කළා. අන්තිම වතාවට පාඩම කරන්න කියලා හිතාගෙන එයා ටෙසිව හම්බ වෙන්න ගියා. මෙච්චර කල් වෙනස්කම් කරගත්තේ නැති හේතුව එදා ටෙසි එයාට කිව්වා. ටෙසි සූදුවට හුඟක් ආස කරපු නිසා ඒක අත්හරින්නේ නැතුව මොන වෙනස්කම් කරගත්තත් වැඩක් නැහැ කියලයි එයාට හැඟුණේ. එහෙම කරනවා නම් ඒක මහ බොරුවක් කියලයි එයා හිතුවේ. ඒත් දැන් එයා සූදුව අත්හරින්න තීරණය කළා කියලත් කිව්වා.

16 එයා රැස්වීම් යන්න පටන්ගත්තා. එයාගේ පරණ යාළුවන් විහිළු කළත් එයා දිගටම යේසුස් වගේ වැඩ කළා. ටික කාලෙකින් එයා බව්තීස්ම වුණා. පොඩි දරුවෝ 4දෙනෙක් හිටියත් ස්ථාවර පුරෝගාමි සේවයත් පටන්ගත්තා. ඒ අද්දැකීමෙන් තේරෙන්නේ මොකක්ද? දෙවිව සතුටු කරන්න තියෙන කැමැත්ත නිසා බයිබලේ පාඩම් කරන අය තමන්ගේ ජීවිතවල වෙනස්කම් කරගද්දී දෙවි එයාලට ළං වෙනවා. ගෞරවනීය කාර්යයක් සඳහා පාවිච්චි කරන්න පුළුවන් විදිහට දෙවි එයාලව සකස් කරනවා කියලයි.

17. (අ) ඔයාගේ කුඹල්කරු හැටියට යෙහෝවා දෙවි ඉන්න එක ගැන ඔයා සතුටු වෙන්නේ ඇයි? (ආ) ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවද?

17 ලොකු කාලයක්, අවධානයක් දීලා සියුම් විදිහට සිත් ඇද බැඳ ගන්නා බඳුන් නිර්මාණය කරන කුඹල්කරුවන් අදත් ඉන්නවා. යෙහෝවා දෙවි අපිව සකස් කරද්දීත් ඒ වගේ සැලකිල්ලක් පෙන්නනවා. මඟ පෙන්වීම්, උපදෙස් දීලා හුඟක් ඉවසීමෙන් අපිව සකස් කරනවා. අපි ඒ සකස් කිරීම් පිළිගන්න විදිහ ගැන ඔහු කිට්ටු අවධානයක් දෙනවා. (ගීතාවලිය 32:8 කියවන්න.) දෙවි ඔයා ගැනත් සැලකිලිමත් කියලා ඔයාට දැනෙනවද? දෙවි හරිම සැලකිල්ලෙන් ඔයාව සකස් කරනවා කියලා පේනවද? එහෙමනම් මොළොක් මැටි පිඩක් වගේ වෙන්න ඔයාට උදව් වෙන්නේ මොන වගේ ගුණාංගද? තද මැටි පිඩක් වගේ නොවෙන්න නම් අපි පරෙස්සම් වෙන්න ඕනෙ මොන වගේ දේවලින්ද? දෙවි එක්ක එකතු වෙලා දරුවන්ව සකස් කරන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද? ඒ ගැන ඊළඟ ලිපියෙන් බලමු.