Skip to content

පටුනට යන්න

ඔයාව සකස් කරන්න ශ්‍රේෂ්ඨ කුඹල්කරුට ඉඩ දෙනවද?

ඔයාව සකස් කරන්න ශ්‍රේෂ්ඨ කුඹල්කරුට ඉඩ දෙනවද?

“තම අතේ තිබෙන මැටි පිඩට කැමති දෙයක් කිරීමට කුඹල්කරුට අයිතියක් තිබෙන්නාක් මෙන් ඔබ සම්බන්ධයෙන් කැමති දෙයක් කිරීමට මටද අයිතියක් තිබේ.”—යෙරෙ. 18:6.

ගීතිකා: 60, 22

1, 2. “බොහෝ ප්‍රේම ලත්” කෙනෙක් හැටියට දෙවි දානියෙල්ව සැලකුවේ ඇයි? දානියෙල් වගේ කීකරු වෙන්න අපිට පුළුවන් කොහොමද?

වහලුන් විදිහට බැබිලෝනියට අරන් ගිය යුදෙව්වන් ජීවත් වුණේ රූප නමස්කාරය, භූත නමස්කාරය පිරුණ නගරෙක. ඒත් දානියෙල් සහ එයාගේ යාළුවෝ 3දෙනා වගේ දෙවිට විශ්වාසවන්තව හිටපු අය බැබිලෝනිවරුන්ගේ ජීවිත රටාවට අනුව සකස් වෙන්න කැමති වුණේ නැහැ. (දානි. 1:6, 8, 12; 3:16-18) එයාලා තමන්ගේ කුඹල්කරු විදිහට සලකපු යෙහෝවා දෙවිට විතරක් නමස්කාර කරන්න අදිටන් කරගත්තා. ජීවිත කාලෙන් වැඩි හරියක්ම දානියෙල් ගත කළේ දෙවි පිළිකුල් කරපු සමාජයක වුණත් එයාව “බොහෝ ප්‍රේම ලත් තැනැත්තෙක්” කියලා හැඳින්නුවේ ඒ නිසයි.—දානි. 10:11, 19.

2 කුඹල්කරුවෝ සමහර වෙලාවට යම් බඳුන් හදන්නේ තමන්ට ඕනෙ හැඩේට හදපු අච්චුවකට මැටි ටික දාලා තද කරලයි. යෙහෝවා දෙවිටත් තමන් කැමති විදිහට ඕනම සෙනඟක්, ජාතියක් සකස් කරන්න විශ්වයේ පාලකයා විදිහට අයිතියක් තියෙනවා. (යෙරෙමියා 18:6 කියවන්න.) අපි එක් එක් කෙනාව සකස් කරන්නත් දෙවිට අයිතිය තියෙනවා. ඒත් ඔහු අපිව බලෙන් සකස් කරන්නේ නැහැ. අපිව සකස් කරන්න කැමැත්තෙන්ම අපි දෙවිට ඉඩ දෙනවටයි ඔහු කැමති. දෙවිගේ අතේ තියෙන මොළොක් මැටි පිඩක් වගේ වෙන්න අපිට පුළුවන් කොහොමද කියලා මේ ලිපියේ කතා කරනවා. ඒකට උදව් වෙන ප්‍රශ්න 3ක් ගැන බලමු. (1) දෙවිගේ උපදෙස්වලට පිටු පාන තරමට සිත දැඩි වෙන්න හේතු වෙන ගතිලක්ෂණ අයින් කරගන්නේ කොහොමද? (2) මොළොක් මැටි පිඩක් වගේ වෙන්න උදව් වෙන ගුණාංග ඇති කරගන්නේ කොහොමද? (3) දරුවන්ව සකස් කරද්දී දෙවිට කීකරු වෙන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

සිත දැඩි කරන ගතිලක්ෂණ අයින් කරගමු

3. අපේ සිත් දැඩි වෙන්න පුළුවන් මොන වගේ ගතිලක්ෂණ නිසාද? පැහැදිලි කරන්න.

3 “සියලු දේටම වඩා ඔබේ සිත ආරක්ෂා කරගන්න. මන්ද ජීවනය නික්මෙන්නේ එයින්ය” කියලා හිතෝපදේශ 4:23 කියනවා. අපේ සිත් තද මැටි පිඩක් වගේ නොවෙන්න නම් උඩඟුකම, දිගටම පාපයේ නියැලීම, විශ්වාසය අඩුකම වගේ ගතිලක්ෂණ අපි අයින් කරගන්න ඕනේ. නැත්නම් අපි අකීකරු, කැරලිගහන අය වෙන්න ඉඩ තියෙනවා. (දානි. 5:1, 20; හෙබ්‍රෙ. 3:13, 18, 19) උසියා රජුට වුණේ ඒ වගේ දෙයක්. (2 ලේකම් 26:3-5, 16-21 කියවන්න.) එයා මුලින් දෙවිට කීකරු, දෙවි එක්ක හොඳ බැඳීමක් තිබුණ කෙනෙක්. ඒත් එයා “බලවත් පාලකයෙකු වූ විට උඩඟු ලෙස ක්‍රියා කළා.” කොච්චර උඩඟු වුණාද කියනවා නම් එයා දේවමාලිගාවට ඇතුල් වෙලා සුවඳ දුම් ඔප්පු කරන්න හැදුවා. ඒක පූජකයන්ට අයිති කාර්යයක්. ඒක වැරදියි කියලා පූජකයන් කිව්වම උසියාට හොඳටම කේන්ති ගියා. උඩඟුකම නිසා දෙවි එයාට ලාදුරු රෝගයෙන් පහර දුන්නා.—හිතෝ. 16:18.

4, 5. උඩඟුකම අයින් කරගත්තේ නැත්නම් වෙන්න පුළුවන් මොකක්ද? උදාහරණයක් දෙන්න.

4 උඩඟුකම අයින් කරගත්තේ නැත්නම් අපි අනිත් අයට වඩා හොඳයි, දක්ෂයි කියන හැඟීම අපි තුළ ඇති වෙන්න පුළුවන්. බයිබලෙන් ලැබෙන උපදෙස් පිළි නොගෙන ඉන්නත් පෙලඹෙයි. (හිතෝ. 29:1; රෝම 12:3) වැඩිමහල්ලෙක් විදිහට සේවය කරපු ජිම්ට වුණෙත් ඒකයි. සභාවේ යම් කාරණයක් ගැන සාකච්ඡා කරද්දී ජිම් අනිත් වැඩිමහල්ලන්ගේ අදහසට එකඟ වුණේ නැහැ. “ඔයාලා කිසි ප්‍රේමයක් නැති අය” කියලා අනිත් අයට කියලා එයා එතනින් නැඟිටලා ගියා. මාස 6කට විතර පස්සේ එයා වෙන සභාවකට ගියා. ඒත් එහෙදී එයාව වැඩිමහල්ලෙක් විදිහට පත් කළේ නැති නිසා එයා කලකිරුණා. තමන් හිතපු විදිහ තමයි හරි කියන මතයේ එයා දිගටම හිටියා. අන්තිමේදී එයා දෙවිට සේවය කරන එක නතර කරලම දැම්මා. ඔය විදිහට අවුරුදු 10ක්ම ගෙවුණා. කොච්චර උඩඟු වුණාද කියනවා නම් වෙච්ච දේට එයා දොස් කිව්වේ දෙවිටයි. අවුරුදු ගාණක්ම සහෝදරයන් එයාට උදව් කරන්න හැදුවත් එයා ඒකට කැමති වුණේ නැහැ.

5 “මං හරි, අනිත් අය වැරදි කියන අදහස මගේ මනසින් අයින් කරගන්න මට බැරි වුණා” කියලා ජිම් කියනවා. ඒකෙන් පේන්නේ අපි අතින් වරදක් වුණාම ඒක පිළි නොගෙන ඉන්න උඩඟුකම අපිව පොලඹවනවා කියලයි. එතකොට අපිත් තද මැටි පිඩක් වගේ. (යෙරෙ. 17:9) මේ ගැන හිතන්න. සභාවේ කෙනෙක් ඔයාගේ හිත රිද්දලා තියෙනවද? වගකීමක් නැති වුණ නිසා දුකක් දැනිලා තියෙනවද? ඒ වගේ වෙලාවලදී ඔයා මොනවද කළේ? ඔයා උඩඟු විදිහට වැඩ කළාද නැත්නම් සහෝදරයන් එක්ක සමාදානයෙන් ඉන්න එක, දෙවිට ළැදිව ඉන්න එක හැම දේටම වඩා වටිනවා කියලා හිතුවද?—ගීතාවලිය 119:165; කොලොස්සි 3:13 කියවන්න.

6. අපි දිගටම වැරදි කළොත් මොකද වෙන්නේ?

6 කෙනෙක් දිගටම පාපයේ නියැලෙන අතරේ ඒවා හංගනවා නම් එයාගේ සිත දැඩිවෙනවා. ඒ වගේ කෙනෙක්ට දෙවිගේ උපදෙස් ගැන කිසි තැකීමක් නැහැ. එයාට වරදක් කරන එක ලොකු දෙයක් නෙමෙයි. කාලයක් යද්දී එයා කරන වරද ගැන එයාට කිසි ගාණක් නැතුව යනවා. (දේශ. 8:11) කාමුක දර්ශන බලන්න පුරුදු වෙලා හිටපු සහෝදරයෙක් මෙහෙම කියනවා. “වැඩිමහල්ලෝ දිහා හැම වෙලාවෙම මං වපර ඇහෙන් බලන්න පටන්ගත්තා.” එයාගේ නරක පුරුද්ද නිසා දෙවි එක්ක තිබුණ බැඳීමත් එන්න එන්නම අඩු වුණා. එයාගේ දුර්වලකම දැනගත්තම ඒකෙන් ගොඩ එන්න වැඩිමහල්ලන් එයාට උදව් කළා. ඇත්ත, පව්කාරයන් නිසා අපි අතින් වැරදි වෙන්න පුළුවන්. ඒත් වරදක් වුණාම දෙවිගෙන් සමාව, ඒක හදාගන්න උදව් ඉල්ලන්නේ නැතුව නිදහසට කරුණු කියනවා නම් අපේ සිත් දැඩි වෙනවා.

7, 8. (අ) විශ්වාසය අඩු වෙද්දී සිත දැඩි වෙනවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද? (ආ) අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

7 තමන්ව ඊජිප්තුවෙන් නිදහස් කරගන්න යෙහෝවා දෙවි කරපු ආශ්චර්යයන් ඊශ්‍රායෙල්වරුන් දැක්කා. එච්චර දේවල් දැක්කත් පොරොන්දු දේශයට ඔන්න මෙන්න කියලා තියෙද්දී එයාලගේ සිත් දැඩි වුණා. ඒ ඇයි? එයාලට දෙවි ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. එයාලා බය වුණා. මෝසෙස්ට දොස් කිව්වා. ආයෙත් ඊජිප්තුවට යන්න හැදුවා. ඒ ගැන දෙවිට දැනුණේ ලොකු වේදනාවක්. “මේ සෙනඟ තව කොතරම් කාලයක් මේ විදිහට මට අගෞරව කරයිද” කියලා දෙවි කිව්වේ ඒ නිසයි. (ගණන්. 14:1-4, 11; ගීතා. 78:40, 41) විශ්වාසය අඩුකම නිසයි එයාලගේ සිත් දැඩි වුණේ. ඒ නිසා පාළුකරයේදීම මිය යන්න එයාලට සිද්ධ වුණා.

8 අපි ඉන්නෙත් පාරාදීසය අද්දර. අපේ විශ්වාසයත් හැම දවසකම සෝදිසියට ලක් වෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ මොන වගේ විශ්වාසයක්ද කියලා සෝදිසි කරලා බලන්න ඕනේ. ඒක කරන්න පුළුවන් විදිහක් තමයි මතෙව් 6:33 තියෙන දේ කියවලා මේ ප්‍රශ්න ඔයාගෙන්ම අහගන්න එක. ‘යේසුස් කියපු දේ මං ඇත්තටම විශ්වාස කරනවා කියලා මගේ ඉලක්කවලින්, තීරණවලින් පේනවද? වැඩියෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් නම් සේවය, රැස්වීම් මං අතපසු කරයිද? තව වැඩියෙන් කාලය, ශ්‍රමය රැකියාව වෙනුවෙන් දෙන්න වුණොත් මං මොකද කරන්නේ? දෙවිගෙන් මාව ඈත් කරන්න මං මේ සමාජයට ඉඩ දෙනවද?’

9. අපි සත්‍ය ඉගැන්වීම්වලට ඇලීලා ඉන්නවද කියලා නිතරම “සෝදිසි කරලා බලන්න” ඕනෙ ඇයි? ඒක කරන්න පුළුවන් කොහොමද?

9 යාළුවන් ගැන, සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු අය ගැන, විනෝදයට කරන දේවල් ගැන බයිබලේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගන්න අපි අදිමදි කරනවා නම් ටිකෙන් ටික අපේ සිත් දැඩි වෙන්න පුළුවන්. ඔයාගේ හිතත් දැඩි වෙන්න පටන් අරන් කියලා තේරුණොත් මොකද කරන්නේ? ඉක්මනින්ම ඔයාගේ විශ්වාසය කොයි වගේද කියලා සෝදිසි කරලා බලන්න. බයිබලේ මෙහෙම කියනවා. “ඔබ විශ්වාස කරන සත්‍ය ඉගැන්වීම්වලට ඔබ ඇලී සිටිනවාද කියා නොකඩවා සෝදිසි කර බලන්න. ඔබ කුමනාකාරයේ පුද්ගලයන්ද කියා නිරතුරුවම පරීක්ෂා කර බලන්න.” (2 කොරි. 13:5) එහෙම කරද්දී ඔයාටම අවංක වෙන්න. නිතරම බයිබලේ තියෙන මඟ පෙන්වීම්වලට අනුව ඔයා හිතන විදිහ සකස් කරගන්න සූදානමින් ඉන්න.

මොළොක් මැඩි පිඩක් වෙන්න

10. දෙවිගේ අතේ තියෙන මොළොක් මැටි පිඩක් වගේ වෙන්න අපිට උදව් වෙන්නේ මොනවද?

10 දෙවි ඔහුගේ වචනය, සභාව සහ දේශනා සේවය මාර්ගයෙන් මොළොක් මැටි පිඩක් වගේ වෙන්න අපිට උදව් කරනවා. හැමදාම බයිබලේ කියවලා, කියවපු දේ ගැන හොඳට හිතද්දී සකස් කරන්න පුළුවන් මොළොක් මැටි පිඩක් වගේ වෙන්න අපිට පුළුවන්. අතීතයේ ඊශ්‍රායෙල් රජවරුන්ට දෙවි ආඥාවක් දීලා තිබුණා නීතියේ පිටපතක් හදාගෙන දිනපතා ඒක කියවන්න කියලා. (ද්වි. 17:18, 19) දේවවචනය කියවලා ඒ ගැන හිතන එක සේවයට හුඟක් ප්‍රයෝජනවත් කියලා යේසුස්ගේ නියෝජිතයනුත් දැනගෙන හිටියා. එයාලා ලියපු පොත්වල හෙබ්‍රෙව් ලියවිල්ලෙන් පද සිය ගාණක් උපුටලා අරන් තියෙනවා. ශුද්ධ ලියවිලි පරීක්ෂා කරලා බලන්න කියලා එයාලා අනිත් අයවත් දිරිගැන්නුවා. (ක්‍රියා 17:11) බයිබලේ කියවලා ඒ ගැන හිතන එක කොච්චර වැදගත්ද කියලා අපිත් දන්නවා. (1 තිමෝ. 4:15) දිගටම නිහතමානීව ඉන්න ඒක අපිට උදව්වක්. එතකොට දෙවිට අපිව සකස් කරන්න පහසුයි.

දෙවි දීලා තියෙන දේවලින් ප්‍රයෝජන අරන් මොළොක් මැටි පිඩක් වගේ වෙන්න (10-13 ඡේද බලන්න)

11, 12. අපේ තත්වයන්ට අනුව අපිව සකස් කරන්න දෙවි සභාව පාවිච්චි කරන්නේ කොහොමද? පැහැදිලි කරන්න.

11 අපි එක් එක් කෙනාගේ තත්වය දෙවි දන්න නිසා සභාව මාර්ගයෙන් අපිව සකස් කරන්න ඔහුට පුළුවන්. කලින් සඳහන් කරපු ජිම් ගැන එක වැඩිමහල්ලෙක් ලොකු සැලකිල්ලක් දැක්වුවා. එයා හිතපු විදිහ ටිකෙන් ටික වෙනස් කරගන්න ඒක එයාට උදව් වුණා. “එයා මට කවදාවත් දොස් කිව්වේ නැහැ. මං වෙනස් වෙයි කියලා එයාට ලොකු විශ්වාසයක් තිබුණා. එයාට ඇත්තටම ඕන වුණේ මට උදව් කරන්න කියලා මට තේරුණා” කියලා ජිම් කියනවා. දවසක් එයා ජිම්ට කිව්වා රැස්වීමකට එන්න කියලා. රැස්වීමේදී හැමෝම එයාව ආදරෙන් පිළිගත්තා. හිතපු විදිහ වෙනස් කරගන්න එයාලගේ ආදරෙත් ජිම්ට උදව් වුණා. එයාගේ හැඟීම් නෙමෙයි වැදගත්ම දේ කියලා එයා තේරුම්ගත්තා. වැඩිමහල්ලන්ගෙත් එයාගේ බිරිඳගෙත් දිරිගැන්වීම් එක්ක එයා ආයෙත් දෙවිට සේවය කරන්න පටන්ගත්තා. 1992 නොවැම්බර් 15 ‘මුරටැඹ’ සඟරාවේ “දෙවිට දොස් කියන්න එපා” සහ “විශ්වාසවන්තව සේවය කරන්න” කියන ලිපිත් (සිංහලෙන් නැහැ.) එයාට උදව් වුණා.

12 කාලයත් එක්කම ආයෙත් වැඩිමහල්ලෙක් විදිහට සේවය කරන්න ජිම්ට පුළුවන් වුණා. එයාට තිබුණා හා සමාන ප්‍රශ්න තියෙන අයට ඒවා විසඳගෙන, එයාලගේ විශ්වාසය ශක්තිමත් කරගන්න ජිම් උදව් කරලා තියෙනවා. “මං හිතුවේ මට දෙවි එක්ක කිට්ටු බැඳීමක් තිබුණා කියලා. ඒත් ඒක වැරදියි. වඩා වැදගත් දේවලට අවධානය දෙන්නේ නැතුව අනිත් අයගේ වැරදි දිහා බලන්න මං පෙලඹුණේ උඩඟුකම නිසයි. ඒ ගැන අදටත් මං දුක් වෙනවා” කියලා ජිම් කියනවා.—1 කොරි. 10:12.

13. දේශනා සේවය අපිට උදව් කරන්නේ මොන වගේ ගතිලක්ෂණ ඇති කරගන්නද? ඒකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද?

13 වඩාත් හොඳ පුද්ගලයන් විදිහට අපිව සකස් කරන්න දෙවි දේශනා සේවයත් පාවිච්චි කරනවා. ඒ කොහොමද? නිහතමානීකම සහ දෙවිගේ බලය ක්‍රියාත්මක වෙද්දී ඇති වෙන ගුණාංග වර්ධනය කරගන්න දේශනා සේවය අපිට උදව් වෙනවා. (ගලා. 5:22, 23) සේවය නිසා ඔයාට වර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ මොන වගේ ගුණාංගද? යේසුස්ගේ පෞද්ගලිකත්වය අපි ආදර්ශයට ගද්දී අපේ පණිවිඩය අහන්න මිනිසුන් තුළ ආසාවක් ඇති වෙයි. කලින් එයාලට අපි ගැන තිබුණ වැරදි අදහස් වෙනස් කරගන්නත් ඒක උදව් වෙයි. දවසක් සාක්ෂිකරුවන් දෙන්නෙක් කාන්තාවකට දේශනා කරද්දී එයාට කේන්ති ගිහින් එයාලට බැන්නා. ඒත් සාක්ෂිකරුවන් දෙන්නා කේන්ති ගන්නේ නැතුව එයා කියන දේ අහගෙන හිටියා. එදා හැසිරුණ විදිහ ගැන කනගාටු වුණ ඒ කාන්තාව සමාව ඉල්ලලා ශාඛා කාර්යාලයට ලිපියක් එව්වා. “දේවවචනය ගැන කියලා දෙන්න ආව අයව පන්නලා දාපු එක මං කරපු මෝඩකමක්” කියලා ඒ ලිපියේ තිබුණා. දේශනා කරද්දී මෘදු අය වෙන එකේ වටිනාකම ඒ සිද්ධියෙන් පැහැදිලියි. අපේ සේවය නිසා අනිත් අයට ප්‍රයෝජන ලැබෙනවා වගේම හොඳ ගුණාංග වර්ධනය කරගන්නත් අපිට පුළුවන්.

දරුවන්ව සකස් කරද්දී දෙවිට කීකරු වෙන්න

14. දරුවන්ව හොඳින් සකස් කරන්න නම් දෙමාපියන් කරන්න ඕනෙ මොකක්ද?

14 හුඟක් දරුවෝ පුංචි කාලෙදී නිහතමානීයි. දේවල් ඉගෙනගන්නත් ආසයි. (මතෙ. 18:1-4) ඒ නිසා සත්‍යය ගැන ඉගෙනගන්නත් ඒ ගැන හිතේ ලොකු ආදරයක් ඇති කරගන්නත් පුංචි කාලේ ඉඳන්ම දරුවන්ට උදව් කරන එක දෙමාපියන්ට කරන්න පුළුවන් ඥානවන්තම දෙයයි. (2 තිමෝ. 3:14, 15) ඒක කරන්න නම් මුලින් දෙමාපියන්ට සත්‍ය ඉගැන්වීම් ගැන ලොකු ආදරයක් තියෙන්න ඕනේ. ඒවා ජීවිතේට අදාළ කරගන්නත් ඕනේ. එතකොට දෙවිගේ ප්‍රතිපත්ති ගැන ආදරයක් ඇති කරගන්න දරුවන්ට පහසු වෙයි. දෙමාපියන් හික්මවීම් දෙන්නේ දෙමාපියනුත් යෙහෝවා දෙවිත් එයාලට ආදරේ නිසා කියලත් දරුවෝ තේරුම්ගන්නවා.

15, 16. දරුවෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළත් දෙවි ගැන තියෙන විශ්වාසය පෙන්නන්න දෙමාපියන්ට පුළුවන් කොහොමද?

15 දරුවන්ව පොඩි කාලේ ඉඳන්ම සත්‍ය ඉගැන්වීම්වලට අනුව පුහුණු කළත් කාලයක් යද්දී සමහර දරුවෝ දෙවිව අත්හැරලා යනවා. සමහරුන්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරනවා. ඒක පවුලේ අයට ලොකු දුකක්. එක සහෝදරියක් මෙහෙම කියනවා. “මගේ අයියාව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළාම අපිට දැනුණේ දරාගන්න බැරි දුකක්.” ඒත් ඒ සහෝදරියත් එයාගේ දෙමාපියනුත් බයිබලේ තියෙන මඟ පෙන්වීම්වලට කීකරු වුණා. (1 කොරින්ති 5:11, 13 කියවන්න.) දෙවිට කීකරු වෙද්දී හැමෝටම හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියලා ඒ දෙමාපියන් දැනගෙන හිටියා. සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන සැලැස්ම දෙවි ඇති කරපු ප්‍රේමණීය සැලැස්මක් කියලා එයාලා දැනගෙන හිටියා. ඒ නිසා පුතා එක්ක එයාලා කතා කළේ පවුලේ කාරණයක් ගැන කතා නොකරම බැරි අවස්ථාවකදී විතරයි.

16 පුතාට ඒ ගැන හැඟුණේ කොහොමද? එයා මෙහෙම කියනවා. “මගේ පවුලේ අයට මාත් එක්ක තරහක් නැහැ. එයාලා කරන්නේ දෙවිටත් සංවිධානයටත් කීකරු වෙන එකයි කියලා මං දැනං හිටියා. යෙහෝවා දෙවිගෙන් සමාව, උදව් නොඉල්ලා බැරි තත්වයට පත් වුණාම තමයි තේරෙන්නේ දෙවි ළඟට ආයෙත් යන එක කොච්චර වටිනවද කියලා.” එයා දෙවි ළඟට ආයෙත් ආවම පවුලේ අය කොයි තරම් සතුටු වෙන්න ඇද්ද! හැම කාරණයකදීම දෙවිට කීකරු වෙනවා නම් හොඳ ප්‍රතිඵල ලබන්න අපිට පුළුවන්.—හිතෝ. 3:5, 6; 28:26.

17. හැම දේකදීම දෙවිට කීකරු වෙන්න ඕනෙ ඇයි? ඒක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

17 බැබිලෝනියේ හිටපු යුදෙව්වන් තමන් කරපු වැරදි ගැන පසුතැවිලි වෙලා දෙවිට මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවියනි, අපේ පියාණන් ඔබය. අප නිකම්ම නිකම් මැටි පිඩක් වැනිය. ඔබ අපේ කුඹල්කරුය. අප සියල්ලන්ම ඔබේ අතින් නිමැවුණු භාණ්ඩ මෙනි. දෙවියනි, අපගේ වැරදි ක්‍රියා සැමදා සිතේ තබා නොගන්න. අපි ඔබේ සෙනඟ බව සිහි කරන මෙන් ඔබෙන් ඉල්ලා සිටිමු.’ (යෙසා. 64:8, 9) අපිත් නිහතමානී නම්, නිතරම දෙවිට කීකරු වෙනවා නම් දානියෙල්ට වගේ අපිටත් දෙවිගේ ආදරේ ලබන්න පුළුවන්. දෙවි ඔහුගේ වචනය, බලය සහ සංවිධානය මාර්ගයෙන් අපිව දිගටම සකස් කරයි. ඒකට අපි ඉඩ දුන්නොත් අනාගතයේදී ‘දෙවිගේ පරිපූර්ණ දරුවන්’ වෙන්න අපිට පුළුවන්.—රෝම 8:21.