Skip to content

පටුනට යන්න

‘ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට දේශනා කරන්න’

‘ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට දේශනා කරන්න’

‘ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. ඔවුන්ව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න.’—මතෙ. 28:19, 20.

ගීතිකා: 141, 97

1, 2. මතෙව් 24:14 යේසුස් කියපු දේ නිසා මතු වෙන ප්‍රශ්න මොනවද?

අවසාන කාලෙදී දේවරාජ්‍යය ගැන ශුභාරංචිය හැම කෙනෙක්ටම දේශනා කරනවා කියලා යේසුස් කිව්වා. (මතෙ. 24:14) ලෝකෙ ඉන්න හැමෝම වගේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව දන්නේ දේශනා කරන සෙනඟක් විදිහටයි. අපේ පණිවිඩේ අහන්න අකමැති සමහරුන් පවා අපේ සේවය අගය කරනවා. එදා යේසුස් කියපු කාර්යය කරන්නේ අපියි කියලා අපි කියනවා. එහෙම කියන්න අපිට අයිතියක් තියෙනවද? අපි කරන්නේ යේසුස් කියපු කාර්යයයි කියලා අපි දන්නේ කොහොමද?

2 යේසුස් කියපු පණිවිඩේ දේශනා කරන්නේ තමන් කියලා කියන ආගමික කණ්ඩායම් හුඟක් අද තියෙනවා. ඒත් එයාලගේ දේශනා කිරීම පල්ලියේ, TV එකේ, ඉන්ටර්නෙට් එකේ ඉදිරිපත් කරන දේශනවලට විතරක් සීමා වෙලා. එහෙම නැත්නම් එයාලට යේසුස් ගැන විශ්වාසයක් ඇති වුණේ කොහොමද කියලා විස්තර කරන අද්දැකීම්වලට විතරක් සීමා වෙලා. අගහිඟකම් තියෙන අයට උදව් කරන එක, වෛද්‍යවරු, හෙදියන්, ගුරුවරුන් විදිහට සමාජ සේවයේ නියැලෙන එක දේශනා කරන විදිහක් කියලා හිතන අයත් ඉන්නවා. ඒත් දේශනා කරනවා කියද්දී එදා යේසුස් අදහස් කළේ ඒ දේවල්ද?

3. මතෙව් 28:19, 20 සඳහන් දේට අනුව යේසුස්ගේ අනුගාමිකයන් කරන්න ඕන දේවල් 4 මොනවද?

3 ශුභාරංචිය දේශනා කරන්න කියද්දී මිනිසුන් තමන් ළඟට එන කල් ඔහුගේ අනුගාමිකයන් බලාගෙන ඉන්න ඕනෙ කියලා යේසුස් අදහස් කළාද? නැහැ. නැවත නැඟිට්ටෙව්වට පස්සේ යේසුස් තමන්ගේ අනුගාමිකයන්ට මෙහෙම කිව්වා. ‘ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. ඔවුන්ව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න.’ (මතෙ. 28:19, 20) එහෙමනම් යේසුස්ගේ අනුගාමිකයන් විදිහට අපි කරන්න ඕනෙ දේවල් 4ක් තියෙනවා. මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න ඕනේ. එයාලව බව්තීස්ම කරන්න ඕනේ. එයාලට උගන්වන්න ඕනේ. ඒත් ඒ දේවල් 3 කරන්න නම් අපි මිනිසුන් ළඟට යන්න ඕනේ. “‘ගොස්’ දේශනා කරන්න කියන කාර්යය හැම අනුගාමිකයෙක්ගෙම වගකීමක්. ළඟපාතක වුණත් සත් සමුදුර තරණය කරලා වුණත් ඒක ඉටු කරන්න ඕනෙ” කියලා බයිබල් විශාරදයෙක් කියනවා.—මතෙ. 10:7; ලූක් 10:3.

4. තම අනුගාමිකයන් “මිනිසුන් අල්ලන්නන්” වෙනවා කියද්දී යේසුස් අදහස් කළේ මොකක්ද?

4 යේසුස් ඔහුගේ අනුගාමිකයන්ගෙන් බලාපොරොත්තු වුණේ ඒ අය තනි තනියෙන් දේශනා කරයි කියලද? නැත්නම් කණ්ඩායමක් විදිහට සංවිධානය වෙලා ඒ කාර්යය කරයි කියලද? “සියලු ජාතීන්ට” දේශනා කරන එක තනි පුද්ගලයෙක්ට කරන්න බැහැ. ඒ නිසා ඒ කාර්යය කරන්න ඔහුගේ අනුගාමිකයන් අනිවාර්යයෙන්ම කණ්ඩායමක් හැටියට සංවිධානය වෙන්න ඕනේ. එක අවස්ථාවක යේසුස් ඔහුගේ ගෝලයන්ට ආරාධනා කළා “මිනිසුන් අල්ලන්නන්” වෙන්න කියලා. (මතෙව් 4:18-22 කියවන්න.) එහෙම කියද්දී ඔහුගේ මනසේ තිබුණේ මාළුවෙක් ඇම ගිලින කල් බිලි පිත්ත අල්ලගෙන ඉන්න ධීවරයෙක්ව නෙමෙයි. ඒ වෙනුවට දැල් දාලා මාළු අල්ලන ධීවරයන්වයි. ඒ විදිහට මාළු අල්ලන්න හුඟක් මහන්සි වෙන්න ඕනේ. හොඳට සංවිධානය වෙන්නත් ඕනේ. ඒ වගේම හුඟක් අය ඒ වැඩේට සහයෝගය දෙන්න ඕනේ.—ලූක් 5:1-11.

5. අපි උත්තර දැනගන්න ඕනෙ ප්‍රශ්න 4 මොනවද? ඒ ඇයි?

5 අද ශුභාරංචිය දේශනා කරන්නේ කවුද කියලා දැනගන්න අපි මේ ප්‍රශ්න 4ට උත්තර දැනගන්න ඕනේ.

  • යේසුස්ගේ අනුගාමිකයන් දේශනා කරන්න ඕනෙ පණිවිඩේ මොකක්ද?

  • දේශනා කරන අරමුණ මොකක්ද?

  • දේශනා කරන විදි මොනවද?

  • ඒ කාර්යය කොච්චර දුරට ව්‍යාප්ත වෙන්න ඕනෙද? ඒක කොච්චර කාලයක් පුරා කරන්න ඕනෙද?

ඒවාට ලැබෙන උත්තරවලින් අපිට දැනගන්න පුළුවන් ජීවිත ගලවන කාර්යය කරන්නේ කවුද කියලා. ඒ වගේම දිගටම දේශනා කරන්න අපිට තියෙන අධිෂ්ඨානයත් ශක්තිමත් වෙනවා.—1 තිමෝ. 4:16.

දේශනා කරන්න ඕනෙ පණිවිඩේ මොකක්ද?

6. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දේශනා කරන්නේ හරි පණිවිඩේ කියලා ඔයාට නිසැක වෙන්න පුළුවන් ඇයි?

6 ලූක් 4:43 කියවන්න. යේසුස් දේශනා කළේ “දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචියයි.” ඔහුගේ අනුගාමිකයනුත් ඒ පණිවිඩේම දේශනා කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා. අද ඒ පණිවිඩේ දේශනා කරන්නේ කවුද? ඒ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විතරයි. අපිට අකමැති අයත් ඒක පිළිගන්නවා. විවිධ රටවල සේවය කරපු පූජකයෙක් සාක්ෂිකරුවෙකුට කියපු දෙයකින් ඒක පැහැදිලියි. ඒ පූජකයා එයා ජීවත් වුණු හැම රටකදීම සාක්ෂිකරුවන්ගෙන් ඇහුවා එයාලා දේශනා කරන පණිවිඩේ මොකක්ද කියලා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “එයාලා හරිම මෝඩයි. හැමෝම කියන්නේ එකම දේ. එයාලා කිව්වේ ‘රාජ්‍යය ගැන ශුභාරංචිය’ කියලයි.” ඒ පූජකයා කියපු දෙයින් පැහැදිලි වෙන්නේ අපි මෝඩයි කියලා නෙමෙයි. සැබෑ ක්‍රිස්තියානීන් අතරේ තියෙන්න ඕනෙ එක්සත්කම අපි අතරේ තියෙනවා කියලයි. (1 කොරි. 1:10) ‘මුරටැඹ’ සඟරාවේ ප්‍රධාන අරමුණත් යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කිරීමයි. ඒකේ හැම කලාපයක්ම භාෂා 254කින් පිටපත් මිලියන 59ක් විතර මුද්‍රණය කරනවා. ලෝකෙ වැඩියෙන්ම බෙදාහරින සඟරාවත් ඒකයි.

7. ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ආගම්වල පූජකයන් දේශනා කරන්නේ හරි පණිවිඩේ නෙමෙයි කියලා අපි දන්නේ කොහොමද?

7 තමන් ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ආගම්වල පූජකයන් දේවරාජ්‍යය ගැන දේශනා කරන්නේ නැහැ. දේවරාජ්‍යය ගැන කතා කළත් ඒ අයගෙන් වැඩිදෙනෙක් කියන්නේ ඒක මිනිසුන්ගේ හිතේ තියෙන දෙයක් කියලයි. (ලූක් 17:21) ඒක යේසුස් පාලනය කරන, ස්වර්ගයේ තියෙන සැබෑ ආණ්ඩුවක් කියලා එයාලා මිනිසුන්ට කියලා දෙන්නේ නැහැ. මිනිසුන්ගේ හැම ප්‍රශ්නෙකටම විසඳුම් ලැබෙන්නෙත් පොළොවෙන් හැම දුෂ්ටකමක්ම ඉවත් කරන්නෙත් දේවරාජ්‍යයෙන් කියලා එයාලා උගන්වන්නේ නැහැ. (එළි. 19:11-21) එයාලට යේසුස්ව මතක් වෙන්නේ නත්තල, පාස්කුව සමරද්දී විතරයි. දේවරාජ්‍යයේ රජු විදිහට යේසුස් ඉදිරියේදී කරන්නේ මොනවද කියලා එයාලා දන්නේ නැහැ. දේශනා කරන්න ඕන පණිවිඩේ මොකක්ද කියලා තේරුම්ගන්නේ නැති නිසා දේශනා කරන්න ඕනෙ ඇයි කියලා එයාලට තේරුම්ගන්න බැහැ.

දේශනා කරන අරමුණ මොකක්ද?

8. මොන අරමුණින් දේශනා කරන එකද වැරදි?

8 යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් දේශනා කරන්න ඕනෙ මුදල් රැස් කරගන්නවත් අලංකාර ගොඩනැඟිලි ඉදි කරන්නවත් බලාගෙන නෙමෙයි. යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වේ ‘ඔබට ලැබුණේ නොමිලේ. ඒ නිසා නොමිලේම දෙන්න’ කියලයි. (මතෙ. 10:8) දේශනා සේවය ලාභ ලබන ව්‍යාපාරයක් කරගන්න හොඳ නැහැ. (2 කොරි. 2:17) ඒ නිසා දේශනා සේවය වෙනුවෙන් ගෙවීමක් කරයි කියලා යේසුස්ගේ අනුගාමිකයන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. (ක්‍රියා 20:33-35 කියවන්න.) ඒ ගැන යේසුස් පැහැදිලි මඟ පෙන්වීම් දීලා තිබුණත් හුඟක් ආගමික කණ්ඩායම් ඒ අයගේ පූජකයන්ව, පල්ලි, ඒ අය යටතේ වැඩ කරන අයව නඩත්තු කරන්න සාමාජිකයන්ගෙන් මුදල් එකතු කරනවා. ඒ නිසා ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ආගම්වල නායකයන්ගෙන් වැඩිදෙනෙක් ධනවතුන් වෙලා.—එළි. 17:4, 5.

9. තමන් දේශනා කරන්නේ හරි අරමුණින් කියලා සාක්ෂිකරුවන් ඔප්පු කරලා තියෙන්නේ කොහොමද?

9 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නමස්කාර මධ්‍යස්ථානවලදී, සමුළුවලදී මුදල් එකතු කරනවද? නැහැ. එයාලා හැම දේම කරන්නේ කැමැත්තෙන්ම දෙන සම්මාදම්වලින්. (2 කොරි. 9:7) ගිය අවුරුද්දේදී විතරක් සාක්ෂිකරුවන් දේශනා කරන්න පැය බිලියන 2කට කිට්ටු ප්‍රමාණයක් වැය කරලා තියෙනවා. ඒ වගේම හැම මාසෙකම බයිබල් පාඩම් ලක්ෂ 90කට වඩා පවත්වලා තියෙනවා. ඒ විදිහට කරන සේවයට එයාලට පඩියක් ගෙවන්නේ නැහැ. එයාලා ඒක කරන්නේ තමන්ගෙම වියදමින්. සාක්ෂිකරුවන් ගැන එක සමීක්ෂකයෙක් කිව්වේ “එයාලගේ ප්‍රධානම අරමුණ දේශනා කිරීම සහ ඉගැන්වීම” කියලයි. නඩත්තු කරන්න පූජකයන් නැති නිසා එයාලට මුදල් ඉතුරු කරගන්නත් පුළුවන් කියලා එයා කියනවා. අපි දේශනා කරන්නේ මුදල් බලාගෙන නෙමෙයි නම් ඒක කරන්න අපිව පොලඹවන්නේ මොකක්ද? අපි කැමැත්තෙන්ම මේ සේවය කරන්නේ යෙහෝවා දෙවිටත් මිනිසුන්ටත් ආදරේ නිසයි. අපි එහෙම කැමැත්තෙන් සේවය කරද්දී ගීතාවලිය 110:3 (කියවන්න.) සඳහන් අනාවැකිය අපි ඉටු කරනවා.

දේශනා කරන විදි මොනවද?

මිනිසුන් ඉන්න හැම තැනටම ගිහින් අපි දේශනා කරනවා (10 ඡේදය බලන්න)

10. දේශනා කරන්න යේසුස් සහ ඔහුගේ ගෝලයන් යොදාගත්තේ මොන වගේ විදිද?

10 යේසුස් සහ ඔහුගේ ගෝලයන් දේශනා කරන්න යොදාගත්තේ මොන වගේ විදිද? මිනිසුන්ව මුණගැහෙන්න පුළුවන් හැම තැනකටම එයාලා ගියා. ප්‍රසිද්ධ තැන්වල වගේම ගෙයින් ගෙට ගිහිල්ලත් දේශනා කළා. (මතෙ. 10:11; ලූක් 8:1; ක්‍රියා 5:42; 20:20) ගෙයින් ගෙට සේවය නිසා හොඳ සැලැස්මකට අනුව හැම තරාතිරමකම ඉන්න මිනිසුන්ට ශුභාරංචිය දේශනා කරන්න පුළුවන් වුණා.

11, 12. දේශනා කරන්න සාක්ෂිකරුවන් දරන වෑයම එක්ක සසඳද්දී ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ආගම් ගැන කියන්න පුළුවන් මොනවද?

11 ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ආගම්වල අය යේසුස් කරපු විදිහට ශුභාරංචිය දේශනා කරනවද? සාමාන්‍යයෙන් පූජකයන් කරන්නේ එයාලගේ සාමාජිකයන්ට දේශන ඉදිරිපත් කරන එකයි. ඒ සඳහා එයාලට ගෙවීමක් කරනවා. යේසුස්ගේ ගෝලයන් වෙන්න අලුත් අයට උදව් කරනවට වඩා එයාලා උත්සාහ කරන්නේ දැනටම ඉන්න සාමාජිකයන්ව රැකගන්නයි. අනිත් අයට දේශනා කරන්න කියලා සමහර පූජකයන් උනන්දු කරන්නේ නැතුවමත් නෙමෙයි. උදාහරණෙකට 2001දී දෙවෙනි ජුවාම් පාවුලු පාප්වරයා ලිපියකින් තමන්ගේ සාමාජිකයන්ගෙන් ඉල්ලා හිටියේ “‘ශුභාරංචිය දේශනා නොකළොත් එය මට මොන තරම් දුකක්ද’ කියලා කිව්ව පාවුල් වගේ උද්‍යෝගයෙන් දේශනා කරන්න” කියලයි. දේශනා කරන එක ටිකදෙනෙකුගේ නෙමෙයි හැමෝගෙම වගකීමයි කියලත් එයා කිව්වා. ඒත් ඒ උපදෙසට කන් දුන්නේ ටිකදෙනෙක් විතරයි.

12 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඊට වඩා වෙනස්. 1914 ඉඳන් යේසුස් රජකම් කරනවා කියලා දේශනා කරන්නේ එයාලා විතරයි. එයාලා යේසුස්ට කීකරු වෙලා දේශනා සේවය තමන්ගේ ජීවිතවල ප්‍රධානම දේ කරගෙන තියෙනවා. (මාක් 13:10) එක පොතක සාක්ෂිකරුවන් ගැන සඳහන් වෙන්නේ මෙහෙමයි. “සාක්ෂිකරුවන් දේශනා සේවය සලකන්නේ ජීවිතේ වැදගත්ම දේ විදිහටයි. කුසගින්නෙන්, තනිකමින්, අසනීපෙන් ඉන්න අයව හම්බ වුණාම එයාලා අහක බලාගන්නේ නැහැ, පුළුවන් විදිහට උදව් කරනවා. ඒත් එයාලගේ ප්‍රධානම කාර්යය එයාලා අමතක කරන්නේ නැහැ. ඒ දුෂ්ට සමාජයේ අවසානය ගැන දේශනා කරන එක සහ ගැලවීම ලබාගන්න කරන්න ඕනෙ මොනවද කියලා මිනිසුන්ට උගන්වන එකයි.” (Pillars of Faith—American Congregations and Their Partners) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යේසුස් සහ ඔහුගේ නියෝජිතයන් දේශනා කරපු විදි ආදර්ශයට අරන් දිගටම ශුභාරංචිය දේශනා කරනවා.

කොච්චර දුරට ව්‍යාප්ත වෙන්න ඕනෙද? කොච්චර කාලයක්ද?

13. දේශනා කිරීමේ කාර්යය කොච්චර දුරට ව්‍යාප්ත වෙන්න ඕනෙද?

13 යේසුස් කිව්වේ ඔහුගේ අනුගාමිකයන් “ජනාවාස වූ මුළු පොළොව පුරාම” දේශනා කරනවා කියලයි. (මතෙ. 24:14) “සෑම ජාතියකටම අයත් මිනිසුන්ට” යේසුස්ගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න කියලත් ඔහු එයාලට ආඥා කළා. (මතෙ. 28:19, 20) ඒකෙන් පේන්නේ ශුභාරංචිය ලෝකෙ අස්සක් මුල්ලක් නෑර දේශනා කරන්න ඕනෙ කියලයි.

14, 15. ශුභාරංචියේ ව්‍යාප්තිය ගැන යේසුස් කියපු අනාවැකිය සාක්ෂිකරුවන් ඉටු කරලා තියෙනවා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද? (ලිපියේ මුල් පින්තූර බලන්න.)

14 ලෝකෙ පුරාම ශුභාරංචිය දේශනා කරනවා කියලා යේසුස් කියපු අනාවැකිය ඉටු කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විතරයි. එහෙම කියන්නේ ඇයි? ඇමරිකාවේ ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ආගම්වල පූජකයන් ලක්ෂ 6ක් විතර ඉන්නවා. ඒත් ඒ රටේ සාක්ෂිකරුවන් ලක්ෂ 12ක් විතර ශුභාරංචිය දේශනා කරනවා. ලෝකෙ පුරාම කතෝලික පූජකයන් ඉන්නේ ලක්ෂ 4ක විතර ප්‍රමාණයක්. ඒත් සාක්ෂිකරුවන් ලක්ෂ 80ක් විතර රටවල් 240ක ශුභාරංචිය දේශනා කරනවා. සාක්ෂිකරුවන් ලෝකෙ පුරාම ශුභාරංචිය දේශනා කරනවා කියලා පැහැදිලියි. ඒකෙන් ගෞරවයත් ප්‍රශංසාවත් ලැබෙන්නේ යෙහෝවා දෙවිට.—ගීතා. 34:1; 51:15.

15 සාක්ෂිකරුවන් විදිහට අපේ ප්‍රධානම අරමුණ අවසානයට කලින් පුළුවන් තරම් දෙනෙක්ට ශුභාරංචිය දේශනා කරන එකයි. ඒක කරන්න අපි භාෂා 700කට වඩා වැඩි ගාණකට අපේ පොත්, සඟරා, පත්‍රිකා, ආරාධනා පත් පරිවර්තනය කරලා තියෙනවා. ඒවා අපි බෙදා දෙන්නේ කිසිම අය කිරීමක් කරන්නේ නැතුව. ගිය අවුරුද්දේ විතරක් පොත් පත් බිලියන 4.5ක් නිකුත් කරලා තියෙනවා. ඒ වගේම ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ භාෂා 130කට වැඩි ගාණකින් පිටපත් මිලියන 200කට වැඩි ප්‍රමාණයක් නිකුත් කරලා තියෙනවා. භාෂා 750කට වඩා වැඩි ගාණකින් අපේ වෙබ් අඩවියෙන් තොරතුරු ලබාගන්න පුළුවන්. ඒ තරම් පුදුමාකාර වැඩක් ලෝකෙ පුරා කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විතරයි.

16. සාක්ෂිකරුවන්ට දෙවිගේ බලය තියෙනවා කියලා අපි දන්නේ කොහොමද?

16 දේශනා කිරීමේ කාර්යය කොයි තරම් කාලයක් යන කල් කරනවද? යේසුස් කිව්වේ අවසානය දක්වාම ඒක කරනවා කියලා. මේ අවසානය කාලය පුරාම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ශුභාරංචිය දේශනා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ යෙහෝවා දෙවිගේ බලය එයාලට තියෙන නිසයි. (ක්‍රියා 1:8; 1 පේතෘ. 4:14) හුඟක් ආගම්වල අය හිතනවා එයාලට දෙවිගේ බලය තියෙනවා කියලා. ඒත් මේ අවසාන දවස්වල දිගටම දේශනා කරන්න එයාලට පුළුවන් වෙලා තියෙනවද? සමහර ආගමික කණ්ඩායම් සාක්ෂිකරුවන් වගේ දේශනා කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒත් එයාලා සාර්ථක වෙලා නැහැ. තවත් අයට දේශනා කරන්න කැමැත්තක් තිබුණත් ඒක ටික කාලෙකට විතරයි. සමහරු ගෙයින් ගෙට ගිහින් දේශනා කරනවා. ඒත් ඒ දේවරාජ්‍යය ගැන ශුභාරංචිය නෙමෙයි. ඒවායින් පැහැදිලි වෙන්නේ ඒ හැමෝම කරන්නේ යේසුස් එදා පටන්ගත්ත කාර්යය නෙමෙයි කියලයි.

ඇත්තටම ශුභාරංචිය දේශනා කරන්නේ කවුද?

17, 18. (අ) දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්නේ සාක්ෂිකරුවන් කියලා අපිට නිසැක වෙන්න පුළුවන් ඇයි? (ආ) ඒ කාර්යය දිගටම කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද?

17 දේවරාජ්‍යය ගැන ශුභාරංචිය අද දේශනා කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විතරයි කියන දේ හොඳින්ම පැහැදිලියි. ඒ ගැන අපිට නිසැක වෙන්න පුළුවන් ඇයි? මොකද අපි දේශනා කරන්නේ හරි පණිවිඩය. ඒ දේවරාජ්‍යය ගැන ශුභාරංචිය. යේසුස් සහ ගෝලයන් කළා වගේ අපිත් ශුභාරංචිය කියන්න මිනිසුන් ළඟට යනවා. ඒ නිසා අපි යොදාගන්නේ හරි විදිහයි කියලා කියන්න පුළුවන්. අපි දේශනා කරන්නේ යෙහෝවා දෙවිටත් මිනිසුන්ටත් තියෙන ආදරේ නිසයි. අපි ඒ කාර්යය කරන්නේ හරි අරමුණින් කියලා ඒකෙන් පැහැදිලියි. සියලු ජාතීන්ටත් සියලුම භාෂා කතා කරන අයටත් අපි දේශනා කරන නිසා ශුභාරංචිය ලෝකෙ පුරාම ව්‍යාප්ත කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම අපේ අදිටන අවසානය එන කල්ම දිගටම දේශනා කරන්නයි.

18 මේ අන්තිම දවස්වල දෙවිගේ සෙනඟ කරන කාර්යය ඇත්තටම පුදුමාකාරයි! ඒක කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද කියලා පාවුල් විස්තර කරන්නේ මෙහෙමයි. “ඔබව ශක්තිමත් කරන්නේ දෙවිය. ඒ නිසා ඔහුට ප්‍රසන්න වන දේ ඉටු කිරීමට ඔහු ඔබ තුළ ආශාවක් මෙන්ම පෙලඹීමක් ඇති කරයි.” (ෆිලි. 2:13) යේසුස් කියපු විදිහට ශුභාරංචිය දිගටම දේශනා කරන්න අවශ්‍ය ශක්තිය අපි යෙහෝවා දෙවිගෙන් ඉල්ලමු.—2 තිමෝ. 4:5.