Skip to content

පටුනට යන්න

තීරණයක් ගන්න වෙද්දී ඔයා මොකක්ද කරන්නේ?

තීරණයක් ගන්න වෙද්දී ඔයා මොකක්ද කරන්නේ?

“යෙහෝවා දෙවිගේ කැමැත්ත කුමක්ද කියා වටහාගැනීමට නිරතුරුවම උත්සාහ කරන්න.”—එෆී. 5:17.

ගීතිකා: 69, 57

1. බයිබලේ සඳහන් සමහරක් නීති මොනවද? ඒවාට කීකරු වෙන එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?

යෙහෝවා දෙවි අපිට පැහැදිලි නීති දීලා තියෙනවා. රූප නමස්කාරය, සොරකම, බේබදුකම, අනාචාරය තහනම් කියලා දුන්න නීති ඒවාවලින් කීපයක්. (1 කොරි. 6:9, 10) යේසුත් අපිට ආඥාවක් දුන්නා. ඔහු කිව්වේ මෙහෙමයි. “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නා අයව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න. මෙයද මතක තබාගන්න. මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම ඔබ සමඟ සැමදා සිටිනවා.” (මතෙ. 28:19, 20) යෙහෝවා දෙවිත් යේසුත් හැම ආඥාවක්ම දීලා තියෙන්නේ අපේම යහපතටයි. අනතුරුවලින් ආරක්ෂා වෙන්න, පවුලේ අය එක්ක හොඳ බැඳීමක් තියාගන්න, හොඳ ශරීර සෞඛ්‍යයක් තියාගන්න දෙවිගේ නීති අපිට උදව්වක්. වැදගත්ම දේ තමයි ශුභාරංචිය දේශනා කරන්න කියන ආඥාව ඇතුළුව අනිත් ආඥාවලට කීකරු වෙද්දී යෙහෝවා දෙවි අපි ගැන සතුටු වෙන එක. අපිට ආශීර්වාද කරන්නත් ඔහු අමතක කරන්නේ නැහැ.

2, 3. (අ) ජීවිතේ හැම කාරණයක් ගැනම බයිබලේ නීති දීලා නැත්තේ ඇයි? (ආ) මේ ලිපියෙන් සලකා බලන්නේ මොනවද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

2 කොහොමවුණත් ජීවිතේ හැම කාරණයක් ගැනම බයිබලේ නීති දීලා නැහැ. උදාහරණෙකට අපි අඳින්න, පළඳින්න ඕනෙ කොහොමද කියලා බයිබලේ නිශ්චිත නීති සඳහන් වෙන්නේ නැහැ. යෙහෝවා දෙවි කොයි තරම් ප්‍රඥාවන්ත කෙනෙක්ද කියලා ඒකෙන් තේරෙනවා. එහෙම කියන්නේ ඇයි? අඳින පළඳින විදිහ රටින් රටට, සංස්කෘතියෙන් සංස්කෘතියට විතරක් නෙමෙයි කාලෙන් කාලෙටත් වෙනස් වෙනවා. අපි අඳින්න, පළඳින්න ඕනෙ මෙන්න මේ විදිහටයි කියලා නිශ්චිත නීති බයිබලේ තිබුණා නම් ඒ නීති කාලයත් එක්ක යල්පැන යයි. ඒ සම්බන්ධයෙන් බයිබලේ තියෙන්නේ අපිට තීරණ ගන්න උදව් වෙන මඟ පෙන්වීම් නිසා ඒවා කවදාවත් යල්පනින්නේ නැහැ. රැකියාව, විනෝදය, ශරීර සෞඛ්‍යය වගේ කාරණා ගැනත් නිශ්චිත නීති දීලා නැහැ. එක් එක් පුද්ගලයාට, පවුලේ මූලිකයන්ට ඒවා තීරණය කරන්න දෙවි ඉඩ දීලා තියෙනවා.

3 අපේ ජීවිතවලට බලපාන වැදගත් තීරණ ගන්න වෙද්දී ඒ ගැන නිශ්චිත නීතියක් බයිබලේ සඳහන් කරලා නැත්නම් අපිට මෙහෙම හිතෙන්න පුළුවන්. ‘මං මොන තීරණය ගත්තත් දෙවිට ගානක් නැද්ද? බයිබලේ නීතියක් කඩන්නේ නැත්නම් මං මොන තීරණය ගත්තත් ඒ ගැන දෙවි සතුටු වෙයිද? මං ගන්න තීරණය දෙවි සතුටු වෙන විදිහේ එකක් කියලා මට නිසැක වෙන්න පුළුවන් කොහොමද?’

අපේ තීරණ අපිටත් අනිත් අයටත් බලපානවා

4, 5. අපි ගන්න තීරණ අපිටත් අනිත් අයටත් බලපාන්නේ කොහොමද?

4 සමහරු හිතනවා තමන්ට හරි කියලා හිතෙන ඕනෙම දෙයක් කරන්න පුළුවන්, ඒක ප්‍රශ්නයක් නැහැ කියලා. ඒත් අපිට ඕනෙ යෙහෝවා දෙවි සතුටු වෙන විදිහේ තීරණ ගන්න. ඒ නිසා තීරණයක් ගන්න කලින් ඒ ගැන බයිබලේ තියෙන්නේ මොනවද කියලා අපි හොයලා බලලා ඒකට කීකරු වෙන්න ඕනේ. උදාහරණෙකට ලේ ගැන දෙවිට හැඟෙන විදිහ බයිබලේ සඳහන් වෙනවා. අපි තීරණ ගන්න ඕනෙ ඒ අනුවයි. (උත්. 9:4; ක්‍රියා 15:28, 29) දෙවි සතුටු වෙන විදිහේ තීරණ ගන්න උදව් කරන්න කියලා දෙවිට යාච්ඤා කරන්නත් අපිට පුළුවන්.

5 අපි ගන්න තීරණ අපිට බලපානවා. හොඳ තීරණ ගන්නවා නම් දෙවිට තව කිට්ටු වෙන්න අපිට පුළුවන්. නරක තීරණ ගත්තොත් යෙහෝවා දෙවි එක්ක තියෙන අපේ බැඳීමට ඒක හානියක්. අපේ තීරණ අනිත් අයටත් බලපානවා. අපේ සහෝදරයන්ව දුකට පත් කරන, එයාලගේ විශ්වාසය දුර්වල කරන විදිහේ තීරණ ගන්න අපිට ඕනෙ නැහැ. සහෝදරයන් අතර තියෙන එක්සත්කමට හානි වෙන විදිහේ තීරණ ගන්නත් අපි කැමති නැහැ. ඒ නිසා අපි මොන තීරණය ගත්තත් කමක් නැහැ කියලා කවදාවත් හිතන්න එපා.—රෝම 14:19; ගලාති 6:7 කියවන්න.

6. තීරණ ගද්දී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද?

6 හිතන්න, ඔයාට යම් දෙයක් සම්බන්ධයෙන් තීරණයක් ගන්න වෙනවා කියලා. ඒත් කරන්න ඕනෙ මොකක්ද කියලා බයිබලේ කෙළින්ම සඳහන් කරලා නැහැ. ඒ වගේ අවස්ථාවක ඔයාට ඕනෙ දේ කරනවා වෙනුවට ඔයා ඉන්න තත්වයට සම්බන්ධ වෙන දේවල් ගැන හොඳට හිතලා බලලා යෙහෝවා දෙවි සතුටු වෙන විදිහේ තීරණයක් ගන්න. එහෙම කරනවා නම් ගත්ත තීරණය සාර්ථක කරගන්න දෙවි අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි.—ගීතාවලිය 37:5 කියවන්න.

මං මොනවා කරනවටද දෙවි කැමති?

7. බයිබලේ නීතියක් සඳහන් නොවන අවස්ථාවකදී දෙවි අපෙන් බලාපොරොත්තු වෙන දේ දැනගන්න පුළුවන් කොහොමද?

7 එෆීස 5:17 කියන්නේ “යෙහෝවා දෙවිගේ කැමැත්ත කුමක්ද කියා වටහාගැනීමට නිරතුරුවම උත්සාහ කරන්න” කියලයි. බයිබලේ නිශ්චිත නීතියක් සඳහන් වෙලා නැති අවස්ථාවලදී දෙවිගේ කැමැත්ත මොකක්ද කියලා අපි දැනගන්නේ කොහොමද? යෙහෝවා දෙවිට යාච්ඤා කරලා ඔහු තම බලය මාර්ගයෙන් ලබා දෙන මඟ පෙන්වීම් පිළිගන්නවා නම් දෙවිගේ කැමැත්ත වටහාගන්න අපිට පුළුවන්.

8. දෙවි තමන්ගෙන් බලාපොරොත්තු වෙන දේ යේසුස් තේරුම්ගත්තේ කොහොමද? උදාහරණයක් දෙන්න.

8 තමන් මොනවා කරනවටද දෙවි කැමති කියලා යේසුස් හැම වෙලාවෙම තේරුම් අරගෙනයි හිටියේ. මේ ගැන හිතන්න. මිනිසුන් කුසගින්නේ හිටපු අවස්ථා 2කදීම යේසුස් දෙවිට යාච්ඤා කරලා ආශ්චර්යයකින් ඒ අයට කන්න දුන්නා. (මතෙ. 14:17-20; 15:34-37) ඒත් පාළුකරයේ යේසුස් කුසගින්නේ ඉද්දී ගල් රොටි කරලා කන්න කියලා සාතන් කිව්වත් යේසුස් ඒක කළේ නැහැ. (මතෙව් 4:2-4 කියවන්න.) මොකද තමන්ගේ තාත්තා හිතන විදිහ යේසුස් තේරුම් අරන් හිටියා. තමන්ගේ ඕනෑ එපාකම් පිරිමහගන්න දෙවිගේ බලය යොදාගන්නවට දෙවි කැමති නැහැ කියලා ඔහු දැනගෙන හිටියා. අවශ්‍ය මඟ පෙන්වීම් දෙවි ලබා දෙනවා කියලත් අවශ්‍යතා සපුරන්න දෙවිට පුළුවන් කියලත් ඔහුට කිසිම සැකයක් තිබුණේ නැහැ.

9, 10. ඥානවන්ත තීරණ ගන්න අපිට උදව් වෙන්නේ මොනවද? පැහැදිලි කරන්න.

9 හැම වෙලාවෙම දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව වැඩ කරනවා නම් යේසුස් වගේ අපිටත් පුළුවන් හොඳ තීරණ ගන්න. ඒ ගැන බයිබලේ කියන්නේ මෙහෙමයි. “ඔබේම නුවණෙහි රඳා නොසිට මුළු හදවතින්ම යෙහෝවා දෙවිව විශ්වාස කරන්න. ඔබේ ජීවන ගමනේදී ඔබ තබන සෑම පියවරකදීම දෙවිව සිහි කරන්න. එවිට ඔහු ඔබ යා යුතු හරි මඟ පෙන්වා දී ඔබේ දිවිය සාර්ථක කර දෙනු ඇත. ඔබ ප්‍රඥාවන්තයෙකුයයි නොසිතන්න. යෙහෝවා දෙවිට ගරුබිය දක්වා දුෂ්ටකමෙන් ඉවත්ව සිටින්න.” (හිතෝ. 3:5-7) බයිබලේ අධ්‍යයනය කරලා යෙහෝවා දෙවි හිතන විදිහ ගැන අපි දැනුවත් වෙලා ඉන්නවා නම් යම් තීරණයක් ගන්න වෙද්දී අපි මොකක් කරනවටද දෙවි කැමති කියලා තේරුම්ගන්න පුළුවන්. දෙවි හිතන විදිහ තේරුම්ගන්න තරමට දෙවිගේ මඟ පෙන්වීම්වලට අනුව වැඩ කරන්න අපි තව තවත් පුරුදු වෙනවා.—එස. 11:19.

10 ඒක උදාහරණෙකින් තේරුම්ගමු. කාන්තාවක් කඩේකට ගියාම එතන තියෙන ලස්සන සපත්තු ජෝඩුවකට එයාගේ හිත යනවා. ඒත් ඒක හුඟක් ගණන්. සැමියා ඒ වෙලාවේ ළඟ නැතත් ඒ තරම් මුදලක් වියදම් කළොත් ඒ ගැන සැමියාට කොහොම හැඟෙයිද කියලා එයා දන්නවා. ඒ කොහොමද? විවාහ වෙලා කාලයක් ගත වෙලා තියෙන නිසා එයාලගේ මුදල් පාවිච්චි කරන්න ඕනෙ කොහොමද කියලා සැමියා හිතන විදිහ එයා දන්නවා. ඒ වගේ යෙහෝවා දෙවි හිතන විදිහ, ඔහු අතීතයේදී දේවල් කරපු විදිහ ගැන කාලයක් තිස්සේ අපි දැනුවත් වෙද්දී යම් යම් අවස්ථාවලදී අපි මොන තීරණය ගන්නවටද දෙවි කැමති කියලා තේරුම්ගන්න අපිට තියෙන හැකියාවත් වැඩි වෙනවා.

දෙවි හිතන විදිහ ඔයා දැනගන්නේ කොහොමද?

11. බයිබලය කියවද්දී, අධ්‍යයනය කරද්දී අපි හිතන්න ඕන ප්‍රශ්න මොනවද? (“ බයිබලේ අධ්‍යයනය කරද්දී මේ ගැන හිතන්න” යන කොටුව බලන්න.)

11 දෙවි හිතන විදිහ තේරුම්ගන්න පුළුවන් හොඳම විදිහ තමයි නිතිපතා බයිබලය කියවලා ඒක හොඳට අධ්‍යයනය කරන එක. එහෙම කරද්දී මේ ප්‍රශ්න ගැන හිතමු. ‘මේ කොටසෙන් මට යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න පුළුවන්මොනවද? දෙවි ඒ වෙලාවේ එහෙම කළේ ඇයි?’ ඒ වගේම දෙවිව තවත් හොඳට දැනගන්න උදව් කරන්න කියලා දාවිත් වගේ අපිත් දෙවිගෙන් ඉල්ලන්න ඕනේ. දාවිත් කිව්වේ මෙහෙමයි. “යෙහෝවා දෙවියනි, ඔබේ මාර්ග දැනගැනීමට මට උපකාර කරන්න. ඔබේ මාවතේ ගමන් කිරීමට මට උගන්වන්න. සත්‍යය නමැති ඔබේ මාවතේ මාව ගෙන යමින් මට උගන්වන්න. මන්ද ඔබ මට ගැලවීම සලසා දෙන දෙවිය. දවස පුරා මා බලාපොරොත්තු තබන්නේ ඔබ කෙරෙහිය.” (ගීතා. 25:4, 5) බයිබලෙන් අධ්‍යයනය කරපු දේවල් ගැන හොඳට හිතද්දී ඒක අදාළ කරගන්න පුළුවන් කොයි අවස්ථාවලදීද කියලා හිතන එකත් වැදගත්. ඒක අදාළ කරගන්න පුළුවන් පවුලේ කාරණාවලදීද, පාසැලේදීද නැත්නම් සේවයේදීද කියලා හිතන්න. නිශ්චිත අවස්ථාව හඳුනගත්තම ඒ තොරතුරු අදාළ කරගන්න පුළුවන් කොහොමද කියලා තේරුම්ගන්න ලේසියි.

12. විවිධ කාරණා ගැන දෙවි හිතන විදිහ තේරුම්ගන්න රැස්වීම් සහ අපේ ප්‍රකාශන උදව් වෙන්නේ කොහොමද?

12 යෙහෝවා දෙවි හිතන විදිහ තේරුම්ගන්න පුළුවන් තවත් විදිහක් තමයි දෙවිගේ සංවිධානය බයිබලෙන් අපිට උගන්වන දේවලට හොඳ අවධානයක් දෙන එක. උදාහරණෙකට අපිට තීරණයක් ගන්න වෙද්දී ඒ ගැන දෙවි හිතන විදිහ තේරුම්ගන්න ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ කියන ප්‍රකාශනය අපිට පාවිච්චි කරන්න පුළුවන්. හොඳින් සූදානම් වෙලා රැස්වීම්වලට සහභාගි වෙද්දී, ඒකට හොඳින් සවන් දෙද්දී, ඉදිරිපත් කරන තොරතුරු ගැන හොඳින් හිතලා බලද්දී දෙවි හිතන විදිහ තේරුම් අරන් ඒ විදිහට හිතන්න අපිත් පුරුදු වෙනවා. එතකොට දෙවි සතුටුවෙන විදිහේ තීරණ ගන්නත් ඔහුගේ ආශීර්වාද ලබන්නත් අපිට පුළුවන්.

ඔයාට මඟ පෙන්වන්න දෙවිට ඉඩ දෙන්න

13. දෙවි හිතන විදිහ සැලකිල්ලට ගන්න එක ඥානවන්ත තීරණ ගන්න අපිට උදව් වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න.

13 යෙහෝවා දෙවි හිතන විදිහ ගැන දැනුවත් වෙලා ඉන්න එක ඥානවන්ත තීරණ ගන්න උදව් වෙන්නේ කොහොමද කියලා උදාහරණෙකින් බලමු. පුරෝගාමි සේවය කරන්න ඔයා කැමතියි කියලා හිතමු. වැඩිපුර සේවය කරන්න පුළුවන් වෙන්න ඔයා ජීවිතේ වෙනස්කම් කරගන්නවා. ඒත් කලින් තිබුණට වඩා අඩු මුදලකින්, අඩු පහසුකම් මැද්දේ සතුටින් ඉන්න පුළුවන් වෙයිද කියලා ඔයා තාමත් ඉන්නේ දෙගිඩියාවෙන්. ඇත්ත, දෙවිට සේවය කරන්න පුරෝගාමියෙක් වෙන්න ඕනෙමයි කියලා බයිබලේ කියන්නේ නැහැ. ප්‍රචාරකයෙක් විදිහටත් දෙවිට විශ්වාසවන්තව සේවය කරන්න පුළුවන්. අනිත් අතට දේවරාජ්‍යය වෙනුවෙන් කැප කිරීම් කරන අයට දෙවි ආශීර්වාද කරනවා කියලා යේසුස් කිව්වා. (ලූක් 18:29, 30 කියවන්න.) දෙවිට ප්‍රශංසා කරන්න අපිට පුළුවන් හැම දේම කරද්දී දෙවි සතුටු වෙනවා කියලත් අපි ඒ හැම දේම සතුටු සිතින් කරනවා දකින්න දෙවි කැමතියි කියලත් බයිබලේ කියනවා. (ගීතා. 119:108; 2 කොරි. 9:7) බයිබලේ සඳහන් ඒ ප්‍රතිපත්ති ගැන හොඳට හිතනවා නම්, දෙවිගෙන් උදව් ඉල්ලනවා නම් අපි ඉන්න තත්වයට අනුව හරි තීරණයක් ගන්න අපිට පුළුවන්. යෙහෝවා දෙවිත් ඒකට ආශීර්වාද කරනවා.

14. යම් විලාසිතාවක් ගැන දෙවි සතුටු වෙයිද කියලා තේරුම්ගන්න ඔයාට පුළුවන් කොහොමද?

14 තවත් උදාහරණයක් බලමු. යම් විලාසිතාවකට ඔයාගේ හිත ඇදිලා යනවා. ඒත් ඔයා දන්නවා ඒක ඇන්දොත් සභාවේ සමහරු ඒ දිහා වැරදි විදිහට බලන්න පුළුවන් කියලා. ඒ විලාසිතාව වැරදියි කියලා කියන්න බයිබලේ නිශ්චිත නීතියකුත් නැහැ. එහෙමනම් ඒ කාරණය ගැන යෙහෝවා දෙවි හිතන්නේ මොකක්ද කියලා තේරුම්ගන්නේ කොහොමද? බයිබලේ මෙහෙම කියනවා. “ස්ත්‍රීන් මනා පිළිවෙළකින් යුත් වස්ත්‍රවලින් සැරසී සිටිය යුතු අතර ඔවුන් තුළින් විනීතකමද හොඳ සිහිකල්පනාවකින් ක්‍රියා කරන ආකාරයද පිළිබිඹු විය යුතුයි. විශේෂ කොණ්ඩ මෝස්තරවලින්ද රනින්ද මුතුවලින්ද ඉතා මිල අධික වස්ත්‍රවලින්ද සැරසී සිටිනවාට වඩා, දෙවිට ගැඹුරු ගෞරවයක් හා භක්තියක් පෙන්වන ස්ත්‍රියකට ඔබින ආකාරයකින් එනම්, යහපත් ක්‍රියාවලින් ඔවුන් සැරසී සිටිය යුතුයි.” (1 තිමෝ. 2:9, 10) ඒ උපදෙස සහෝදරයන් සහෝදරියන් දෙපිරිසටම අදාළයි. විනීත කෙනෙක් තමන් අඳින්න කැමති දේ ගැන විතරක් නෙමෙයි ඒ ගැන අනිත් අයට කොහොම හැඟෙයිද කියලත් හිතනවා. ඒ වගේම සහෝදර සහෝදරියන්ට තියෙන ආදරේ නිසා ඒ අයව අපහසුතාවට පත් කරන, ඒ අයට නුරුස්සන කිසිම දෙයක් කරන්නේ නැහැ. (1 කොරි. 10:23, 24; ෆිලි. 3:17) බයිබලේ සඳහන් දේවල් ගැන හොඳට හිතද්දී ඒ කාරණය ගැන දෙවි හිතන විදිහ තේරුම්ගන්න පුළුවන්. එතකොට දෙවි සතුටු වෙන විදිහේ තීරණයක් ගන්න අපිට පුළුවන්.

15, 16. (අ) කාමුක දේවල් ගැන අපි හිතනවා නම් ඒ ගැන දෙවිට කොහොම හැඟෙයිද? (ආ) විනෝදය සඳහා දේවල් තෝරගද්දී ඒ ගැන දෙවි සතුටු වෙනවද කියලා දැනගන්නේ කොහොමද? (ඇ) ජීවිතේ වැදගත් තීරණ ගන්න කලින් අපි කරන්න ඕනෙ මොනවද?

15 මිනිසුන් නරක දේවල් කරද්දී, නරක දේවල් ගැන හිතද්දී යෙහෝවා දෙවිට ලොකු දුකක් දැනෙනවා කියලා බයිබලෙන් අපි ඉගෙනගෙන තියෙනවා. (උත්පත්ති 6:5, 6 කියවන්න.) අපි කාමුක දේවල් හිතින් මවාගෙන ඒවා රස විඳිනවට දෙවි කැමති නැහැ. ඒවා ගැන දිගටම හිතන්න ගියොත් ඒවා කරන්නත් අපි පෙලඹෙයි. දෙවි කැමති අපි නිර්මල, යහපත් දේවල් ගැන හිතනවටයි. දෙවිගේ “ප්‍රඥාව තියෙන කෙනෙක් තුළ මුලින්ම දක්නට ලැබෙන්නේ නිර්මලකමය. එසේම ඔහු සාමකාමීය. ඔහු සාධාරණ ලෙස කටයුතු කරන, කීකරු වීමට සූදානම්, දයාවෙන් සහ යහපත් ගතිගුණවලින් පිරී සිටින කෙනෙකි. ඔහු සියලුදෙනාටම එක හා සමානව සලකයි. ඔහු කුහකකමින් තොර මිනිසෙකි.” (යාකො. 3:17) අපවිත්‍ර දේවල් හිතින් මවාගන්න නැත්නම් ඒවා ගැන ආසාවක් ඇති කරගන්න අපිව පොලඹවන දේවල් විනෝදයට තෝරගන්නේ නැතුව ඉන්න ඕනේ. යෙහෝවා දෙවි කැමති මොනවටද, පිළිකුල් කරන්නේ මොනවටද කියලා පැහැදිලිව තේරුම්ගන්නවා නම් අපි තෝරගන්න ඕනෙ මොන වගේ පොත් පත්ද, චිත්‍රපටිද, වීඩියෝ ගේම්ස්ද කියලා තීරණය කරන්න අපිට ලේසියි. එතකොට කරන්න ඕනෙ මොකක්ද කියලා වෙන අයගෙන් අහන්න ඕනෙත් නැහැ.

16 තීරණයක් ගන්න වෙද්දී දෙවි සතුටු වෙන විදිහේ තීරණ කීපයක්ම අපි ඉදිරියේ තියෙන්න පුළුවන්. ඒත් ජීවිතේ වැදගත් තීරණ ගන්න වෙද්දී ඒ ගැන වැඩිමහල්ලෙක්ගෙන් නැත්නම් අද්දැකීම් තියෙන සහෝදරයෙක්ගෙන්, සහෝදරියකගෙන් යම් උපදෙසක් ගන්න එක හොඳයි. (තීත. 2:3-5; යාකො. 5:13-15) ඒත් ඔයා ගන්න ඕනෙ තීරණය මොකක්ද කියලා ඒ අයගෙන් අහන්න එපා. ඒ කාරණය ගැන ඒ වෙනකොටත් ඔයා බයිබලෙන් දන්න තොරතුරු ගැන හොඳට හිතලා ඔයාම තීරණයක් ගන්න. (හෙබ්‍රෙ. 5:14) බයිබලේ කියන්නේ “සෑම කෙනෙක්ම තමාට පැවරී ඇති වගකීම ඉටු කළ යුතුයි” කියලා.—ගලා. 6:5.

17. දෙවි සතුටු වෙන විදිහේ තීරණ ගද්දී අපිට ලැබෙන ආශීර්වාද මොනවද?

17 දෙවි සතුටු වෙන විදිහේ තීරණ ගද්දී අපි තවත් දෙවිට ළං වෙනවා. ඔහුගේ අනුමැතියත් ආශීර්වාදත් අපිට ලැබෙනවා. (යාකො. 4:8) දෙවි ගැන තියෙන විශ්වාසයත් තව ශක්තිමත් වෙනවා. ඒ නිසා බයිබලෙන් අපි කියවන දේවල් ගැන හොඳට හිතමු. එතකොට දෙවි හිතන විදිහ තේරුම්ගන්න අපිට පුළුවන් වෙයි. ඇත්ත, යෙහෝවා දෙවි ගැන අපිට හැමදාම අලුත් දේවල් ඉගෙනගන්න තියෙයි. (යෝබ් 26:14) ඒත් දෙවි ගැන ඉගෙනගන්න දැන් අපි අපේ උපරිමය කරනවා නම් හොඳ තීරණ ගන්න අවශ්‍ය කරන ප්‍රඥාව, වටහාගැනීමේ හැකියාව ලබාගන්න අපිට පුළුවන්. (හිතෝ. 2:1-5) මිනිසුන්ගේ අදහස්, සැලසුම් කලින් කලට වෙනස් වුණත් යෙහෝවා දෙවි කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ ගැන ගීතිකාකරු කිව්වේ මෙහෙමයි. “යෙහෝවා දෙවිගේ අරමුණ සදහටම පවතින්නේය. පරම්පරා ගණනාවක් ගත වුවත් ඔහුගේ කැමැත්ත එලෙසම පවතින්නේය.” (ගීතා. 33:11) යෙහෝවා දෙවි හිතන විදිහට හිතලා ඔහු සතුටු වෙන විදිහට දේවල් කරන්න අපි පුරුදු වෙනවා නම් ගන්න පුළුවන් හොඳම තීරණ ගන්න අපිට පුළුවන් වෙනවා.